ඇරඹුම
දෙවන සුරඟන පබැඳුම
තෙවන සුරඟන පබැඳුම
සිව්වන සුරඟන පබැඳුම
පස්වන සුරඟන පබැඳුම
සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.
"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."
සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.
"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"
අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.
"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."
කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.
"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"
සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.
"ම.. මාඅ.. ම.."
"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"
මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.
සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.
හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.
"පුතා.... උත්තර දෙන්න බැරිද?..."
කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.
".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."
මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.
"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "
පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.
*********************************