Monday, June 6, 2016

Goodbye Amigos!


ඉතාම කනගාටුවෙන් උනත් දැනුම් දෙන්නට කැමතියි, මම බ්ලොග් ලෝකෙන් ඉවත් වෙලා යනවා කියල. මේකට කිසිම විදියකින් බ්ලොගර්ස් ලාගේ සම්බන්ධයක් නැහැ.


ඒ හැමෝම තාමත් මගේ හිතවත්තු/හිතවතියන් .

මේක මගේ පුද්ගලික තීරණයක්.

මෙතෙක් කාලයක් මට දීපු සහයෝගයට ස්තුතියි

Friday, April 29, 2016

273. හොක්කි බල්ලාගේ යුක්තිය





ඉදින් ඕ
ගැලවී ගියාහුය.

'හොක්කි බල්ලෙකු' නිසාවෙන්
මට පරදින්ට සිදුවිය.

මලින් බැඳී මාලාද,
සවන් ගත් අම තෙපුලින්ද ,
ඈ පිදු මා
පෙලා - උන්
සතුටින්ම නික්මුනෝය.

ඇසේ මට, සිනා හඬ
වේදිකා තිරය පසුපසට.
කවර යුක්තියද ,
'හොක්කි බල්ලන්ට?'


~~~ නරි බෑනා ~~~~



Wednesday, April 27, 2016

272. කවි කොලේ




අපි ලියමු
එකම කොලයේ දෙපැත්තක,

ඔබ එක පෙළක් ලියනවිට
මම තව පෙළක් ලියමි - පිළිතුරට

තහනම්ය සපුරාම
පිළිතුර කියවීම ,

උත්තරය හිතාගෙන
ප්‍රතිපිළිතුරු සැපයීම,

කාබන් වෙනුවට
ඔබේ රුධිරය සැපයීම!



Tuesday, April 26, 2016

271. ස්වප්නෙහි හමුවෙමු මැරයෝ



"චුටි නංගි....."
අඳුර කපාගෙන අක්කගේ වචන මට ඇහෙන්නේ ඇඳේ එක එක අතට පෙරලෙන අතරේ. 

"හ්ම්ම්..."
"නින්ද යන්නේ නැහැ හලෝ"
"හ්ම්ම්..."
මමත් හුස්මක් හෙළුව. 

මට අඳුරේ උනත් අක්කගේ ඇඳේ ඉඳන් ආපු හුස්මේ සද්දෙත් ඇහුනේ ඒ වෙනකොට කෑලි කපන අඳුර වගේම, අල්පෙනිත්තක් උනත් බිමට වැටෙන නිහඬතාවය රජකරන වෙලාව හින්ද. 

මට වෙලාව පෙනුනේ නැහැ. කොටිම්ම මට වෙලාව ගැන නිච්චියක් තිබ්බෙත් නැහැ. නින්දට ආවේ හරියට ඒකට සැරසිලා නොවන හින්දද මන්ද නිදිමතක් තිබ්බෙම නැහැ.

ඒ හැමදේකටම වඩා හිත ඔද්දල් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති දෙන්නම ඇඳට ආවෙත් කකුල් අද්ද අද්දා, ගෙදර හැටියට 'නීතිවිරෝධී' විදියට. ඒ වෙනකොට නීතිවිරෝධී කියන වචනෙත් අපි දෙන්නට පෙනුනෙම අපිත් එක්ක අරෝවක් තියෙන වචනයක් වගේ.

පපුව පැලෙන දුකක් දැනෙනකොට, නින්දක් දැනෙයිද කෙනෙක්ට? ඊටත් වයසක නොවෙන හිතකට??

"පව් හලෝ..."

"හ්ම්ම්..."

මගේ උගුරත් පැටලෙන්න වගේ ආව හින්දා මම කතාකලේම නැහැ. හුමිටි තිබ්බ විතරයි.

'විකාර... ඌ මැරයෙක්... මිනිමරුවෙක්... ඌට එහෙම වෙච්ච එකමයි හොඳ. ඒ වගේ උන් හින්දා තමයි හොඳ මිනිස්සුන්ට ජිවත් වෙන්නත් බැරි' 

මගේ ඇතුලේ හිටපු එකෙක් මගේ කන්දෙක දෙදරන්න කෑගහුවම ඇතුලෙන් ආපු දෝන්කාරය අන්තිමට 'කුඋං' ගාමින් ඉවර උනා. ආයෙමත් අඳුරේ ගිලුණු නිහඬ රාත්‍රිය. එකම කාමරේ අල්ලපු ඇඳේ නින්දක් නැතුව නොසන්සුමට ඉන්නා අක්කා ආයෙමත් සුසුමක් හෙළනවා ඇහුනා.

"කමක් නැහැ හලෝ. ඇත්ත එකක් නෙවෙයි වෙන්න ඇති. එහෙම උනත් සත්‍යා හොඳ එකෙක් නෙවෙයිනේ. දැන් නිදාගම්මු"

Wednesday, April 20, 2016

270. එදා මල් වරුසාවමයි




ප්‍රේමය කෙතරම් සුන්දරද කිවහොත් විරහ වේදනාව පවා රසවත් සුන්දර විඳීමක් බව ඕනෑම අයෙකු පිලිගන්නවා නොඅනුමානයි. බොහෝවිට ප්‍රේමය ප්‍රස්තුතයක් වශයෙන් ගනිමින් කළා නිර්මාණ බිහිවන්නේත්, ඒවායේ එකිනෙකට වෙනස් රසයන් උත්පාදනය කරගැනීමට හැකිවන්නේත් ප්‍රේමය එතරම්ම පරාසයක් තුල රසයන් ජනිත කිරීමේ හැකියාවක් ඇති නිසා බව නොකියයුතුමනාය.

ප්‍රේමයේ ඇති සුන්දර අසුන්දර භාවය ගීතය තුල භාවිතයේදී  යොදා නොගත් රචකයෙක් වේනම් එය නිකිණි සොයනවා වැනි විය යුතුය. එසේ වන්නේ ප්‍රේමය වනාහි යොවුන් සෘන්ගාරාත්මක ප්‍රේමය ඉක්මවා ගිය දාරක ප්‍රේමය දක්වා අක්මුල් කේශනාලිකා සහිතවූ අතිශය ගැඹුරු සහ සියුම් භාවරුපයන්ගෙන් සමන්විත නිලයක් බැවිනි.

දාරක ප්‍රේමය බොහෝවිට රැඳෙන්නේ මව-දුදරුවන් අතරේ බැවින්, 'පියසෙනෙහසට කවි ගී ලිය උනා මදියි' කියා යමෙක් පවසද්දී , මට දැනෙනෙන්නේ එය එතරම්ම සුමට වක්‍රයක් නොවන බවයි. ඊට වඩා අවිෂය වූ ප්‍රේමයේ භාවයන් තිබිය නොහැකිද?

ප්‍රේමය අස්වද්දන කෙතක් බඳු විවාහයේදී අයෙක් සැමියාත්, අනෙකා බිරිඳත් ලෙස උපදිති. ගීත රචකයින් මෙම සුසංයෝගය නොයෙකුත් කෝණයන්ගෙන් බැලුවද ඒ සෑම විටකදීම ප්‍රේමයේ තවත් පැතිකඩක් පිළිබිඹු වීම වලක්වාලිය නොහැකිය. නමුදු ඒ අතුරින් වියත් රචකයින් පමණක් මෙම වලගොඩැලි සහිත මාර්ගය තරණයේදී රසිකයින් තුල සියුම් රසවින්දනයක්ද  , එසේ නොවන්නන් අතුරින් ඉතා කටොර ගමනක අවසානයේදී රසිකයින් තුල ප්‍රාථමික වින්දනයක්ද  ශේෂ කරනු දක්නට ලැබෙන කාරණයකි.

Tuesday, April 19, 2016

269. ගැහැණු - පිරිමි




ගැහැණුය, පිරිමිය,
මල්ය , පලතුරුය...
සත්තුය, නගරය.....
හැමකක්ම කොටුය.
එකසේම බියකරුය.

කොයි මොහොතක වුව ,
එකම වචනෙට 
ලකුණු කැපිය හැකිය.

අවසන ලකුණුය






ප.ලි.
නොතේරුණාට කමක් නැත. ඒවා හැමදාම එලෙසය.


Monday, April 18, 2016

268. යාළු



ඒක පැතිරෙන්න පටන් ගත්තේ හුළගෙන් බෝවෙන ලෙඩක් වගේ.

උතුරු පැත්තෙන් හමාගෙන ආපු හුළඟට වසන් වෙන්න කියල ඊසානට හැරුනම බටහිරින් ආපු හුළඟට අහුවෙලා අපි ඔක්කොම හිත හදාගත්ත.

ඔන්නොහෙ ලෙඩ වෙලාම බලනව කියල ඒකායන අරමුණකට නැති , සම්මුතියකට ආවා වගේ අපිත් ලෙඩේට ගොදුරුවෙන්න පටන්ගත්ත.

මුලිම්ම උනේ මට අලුත් යාලුවෙක් හම්බ උන එක. ඒක මුලිම්ම උන දේ නොවුනත් මම හිතන්නේ එතැනයි මුලින්ම වෙන්න ඕනේ දේ සිද්ද උනේ කියල.

එයා හිටියේ පැසිපන්දු පිටියේ ලොකු පඩිපෙල් වලින් දෙවැනි පඩිපෙලේ මැද්දට වෙන්න වාඩිවෙලා. ටෙනිස් රැකට් එකත් කරක - කරක මම එතැන පහුකරනකොට හොඳටම හවස් වෙලා තිබ්බේ. මම කොහොමත් කාත් එක්කවත් ඇයිහොඳය්යක් තිබ්බ කෙනෙක් නෙවෙයි.

"ඔයා 'බී' පංතියේ නේද?"

එයා එහෙම කිව්වේ 'බී' කියන වචනේ අමුතු උරුවට සද්ද කරමින්, ඒ කියන්නේ වෙනමම තියෙන පංතියක් වගෙයි. එතකොට තමයි මම එයාව යන්තමට මතකෙට ආවේ. අපේ ශ්‍රේණියේ එහෙම ළමයෙක් ඉන්න බව මතක් උනෙත් ඒ මොහොතෙමයි.

"ඔව්... ඔයා බාස්කට්බෝල් ගහනවද?"