Wednesday, March 30, 2016

260. සුසාන සයන

Art By : Walter H.Everett





ප්‍රියාවිය,
සුසානය සයනයකි
උට්ඨාන විය යුතු,
දිනපතා මැරියයුතු...



ප්‍රස්තුතය:

සිතුම් පැතුම් ලියන රයිටර් ගේ 'විරසක සයන' කවිය 

Wednesday, March 23, 2016

258. ටැක්ෂි... හරේ යාං හර්රේ....




ලංකාවේ දැනට ජනප්රියව පවතින සහ මෑත කාලයේ ඉතා වේගයෙන් දියුණුවට පත්වූ ගමනාගමන ආකාරයක් තිබේ නම් ඒ අන් කිසිවක් නොවේ ටැක්සි සේවයයි. ගමනාගමනයේදී ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරන මෙම ටැක්සි සේවයේ වැඩි බරක් දරන්නේ ත්‍රිරෝද කිවහොත් එයද මුසාවක් හෝ අතිශෝක්තියක්  නොවනු ඇත.

ත්‍රිරෝද රථ සහ ඒවායේ ඇති උපසංස්කෘතිය ගැන කාලෙකට ඉහතදී ඉවාන් හොඳ ලිපියක් ලියලා තිබුනා. ඊට අමතරව මේ ලඟකදී නාඩියා හොඳ ලිපියක් ලියලාත් තිබුනා. මම මේ කාරනා ආයෙමත් ප්‍රතිරාවය කරන්න හදනවා නෙවෙයි. මම කාලාන්තරයක් තිස්සේ හොයාගත්ත  කරුණු ගොඩක් අලලලා ලිපියක් ලියන බලාගෙන හිටියේ. ඒවා කල් ඉකුත්වෙන්න කලින් ලියල තියෙන එක හොඳයි කියල හිතුන නිසා මේ ලිපිය draft එකෙන් එලියට අදින්න හිතුනේ.

සමස්තයක් විදියට ගතහොත්, මගේ මේ ලිපියට ඇතුලත් වන්නේ ලංකාවේ දැනට තදාසන්න පලාත්වල ක්‍රියාත්මකවන 'ටැක්සි' සේවා ගැනයි. 

මෑතකාලය තුලදී හඳුන්වාදුන් මීටර් සහිත ටැක්සි සේවය ත්‍රිරෝද වලට ලබාදීමෙන් වාසි සහ අවාසි යන දෙකම විඳින්නට සිදු උනා. මීටර් යෙදු ටැක්සි මිට පෙර ජනප්‍රියව සහ වැඩි භාවිතාවක් තිබුනේ කාර් සහ කැබ්රථ සඳහා උනත්, ත්රිරෝදරථ සඳහා මෙය දීමෙන් මගීන්ගේ පහසුව ඉටු උනා කිවහොත් නිවැරදියි. එනම්, 'හිතේ දුරට' අය කරනලද ගාස්තු යම් පමණකට සාධාරණ මට්ටමකට පැමිණියා යයි කිවහැකියි.

දුර ප්‍රමාණය , නතරකිරීමේ ගාස්තු ( වේටින් ) ආදියද සටහන් වන නිසා රියදුරාටත් එයින් යම් සාධාරණයක් ඉෂ්ඨවෙනවා යයි කීම අසාධාරණ නොවේයැයි මම සිතමි. අවම ගාස්තුව පවා එයින් පාලනයකට ලක්වූ නිසා එය මගී ජනතාවට පවා සහනයක් ලෙසයි මට පෙනුනේ. නමුත් ගම්බදව මීටර් සවිකිරීම හයර් නොමැතිවීමට බලපාන බව මට කිහිපවිටක්ම අසන්නට ලැබුනා. එනම් ගම්බද මිනිසුන් තවමත් 'ගාන කතා කරගන්නා' එක ගැන වැඩිපුර විස්වාසය තබන බවයි. නාගරිකව මම දකිනා ආකාරයට නම් මිරටයක් සවිකොට තිබීම වාසියක් ලෙස පෙනෙනවා.

257. සමනළ ඉර සේවය





ඉරසේවේ බලන්නම
සමනළ කන්ද නගිනෙමි...

ගල් බොරළු වදීහෙම
කියා බය නොවෙන්නෙමි...

නැන්ග කඳු , වැටුණු පල්ලම
නොබලන්න හිතාගෙන
නගින්නෙමි...

Monday, March 21, 2016

256. විද්‍යා පරමේශ්වර, සර්වබල ලංකේශ්වර උත්තමාවී



මේ දවස්වල වැඩ වැඩියි. එහෙම උනහම මට වෙන්නේ වැඩ අස්සේ මගේ පරණ කතා මතක් වේවි ඇතුලේ ඉන්න එකා පිස්සු නටන්න ගන්න එකයි.

කොහොමත් මට ඒ ලෙඩේ නම් සහසුද්දෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඔය මහා බැරෑරුම් විභාග හෝ සම්මුඛ පරීක්ෂණ, ක්ලයන්ට් මීටින් හෝ ප්‍රසන්ටේෂන් වගේ වෙලාවල් වලදී මට නොකඩවා සින්දු මතක් වෙනවා. හරියට රේඩියෝ සිලෝන් එකේ එකෙක්ටවත් මතක් වෙන්නේ නැති සරල ගීත, ශාස්ත්‍රීය ගීත, බයිලා , රිමික්ස් ඇතුළුකොට සියලුම ගීත ඔලුවේ වාදනය වෙනවා ආයේ නැහැ උපරිම වොලියුම් එකෙන්.

සමහර වෙලාවට මට මේසෙට මිටි කරලා ගැහිල්ලකින් හරි, මටම හය්යෙන් දෙකක් කියාගනිල්ලකින් හරි තමයි මේ ගංගාව නතර කරගන්න පුළුවන්. තප්පර කීපයක නිහඬතාවයකින් පස්සේ ; අර හීන් වතුර පාරක් හරහට ඉරක් ඇන්දම මොහොතකට ඒ පාර නතර වෙනවා වගේ ; ආයෙමත් ඔන්න තැටිය යනවා. ඒ වෙනකොට මගේ මේ තඩිගැහිල්ල හරි බෙරිහන්දිල්ල හරි ඇහුන වටේ ඉන්න උන් බිරාන්ත වෙලා බලන් ඉන්නවා පේනකොට මම පරක්කු වැඩියි!

උන් නිගමනයකට එනවා.... මම බලු වෙනවා.

ඔහොම බලු නොවෙන්න තියෙන එකම විසඳුම තමයි විසෙන් විස නසනවා වගේ ඔය එන පිස්සු විකාර ලියලම දාන එක. නැත්තම් මගේ තනතුර අනතුරේ!



මම මගේ පෝස්ටු කිහිපයකම කියලත් ඇති මගේ පොඩිම පොඩි එකා කාලේ කියපු මගේ අනාගත බලාපොරොත්තුව ප්‍රශ්නෙට උත්තරේ. ඒ තමයි විද්‍යාඥයෙක් වෙන එක?

Friday, March 18, 2016

255. බල්ලා , දොස්තර සහ බල්ලා දොස්තර (Dog , Doctor & Dog Doctor)



ඇත්තටම මම මේක කියනවා තියා හිතන්නවත් හීනෙකින් වත් හිතපු කෙනෙක් නෙවෙයි ඔන්න. ඒ උනාට මම මේ ලඟදි අන්දොස් වැඩක් කරනකොට අපේ අම්ම මතක් කොලානේ බොලේ මේ කතාව. ඒ වෙලාවේ මම මුලින්ම කලේ.. ( නෑ හලෝ හිනාවෙන එක නෙවෙයි) වටපිට බලපු එක. මගේ වෙලාවට ඒ වෙලාවේ එතන කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ මම 'හි හි' කියල අහිංසක හිනාවක් පෑවා.

ඉහත ජේදය මවිසින් ලියන ලද්දේ, උදෙක්ම කියවන්නන්ගේ පහසුව තකාය. එනම්, මෙය කියවීමෙන් පසුව පළමුව වටපිට නිරීක්ෂණය කර පසුව අහිංසක ලෙස 'හි හි' යන ස්වරයෙන් මද සිනහවක් පමණක් දක්වා ඉතා ඉක්මනින් වෙන වැඩක් බලාගතයුතු බවයි.

සිද්ධිය මේකයි... ඇත්තම කියනවා නම් මේක සිද්ධියක්මත් නෙවෙයි. 'සීන්' එකක්! ( මාර පොෂ් නෙහ් ?)

Wednesday, March 16, 2016

254. වන කතර




එකම එක ගසක්වත්
පෙනෙන මානෙක
නොමැති
කතරක්ය මේ
'වනය'
එක විටෙක....




Tuesday, March 15, 2016

253. Anywhere, Anytime







සිනමාව අපව ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියන්නේ කියමනක්ම නෙවෙයි. අපේ හිත තුල ඇතිවෙන ආනන්දය නිසාම වැසීයන ප්‍රඥාවට පවා සිනමාවට වගකියන්නට සිදුවෙනවා.

එනම්, සිනමා කෘතියක්  ආනන්දය නිසාම ඒ තුලින් මතුවෙන ප්‍රඥාව වැසියන්නට ඉඩකඩ බොහොමයි. නමුත් ඉතා සුළු පිරිසක් අධ්‍යක්ෂකවරුන් විසින් මෙම කැඳවාගෙන යාම ඉතාම සුමට වංගුවකින් පසුව හමුවන නිල් කෙතක් තුලින් අවසාන කරනවා. ඒ කෙතෙහි අස්වැන්න නෙලීම හෝ ඉවත බලාගෙන යාම අප සතු උනත් එහි දිශානතිය විසින් අපව ඒ සඳහා පොළඹවනවා.

සිනමා කර්මාන්තයේදී වැඩිපුරම කතාබහට ලක්වන්නට ආදරය සමත් උනත් එහි ස්පර්ශ කරන අන්තයන් එකිනෙකාට හාත්පසින්ම වෙනස්විය හැකියි. සමාජයේ එක් එක් තලවලදී එහි අර්ථකතන වෙනස් වුවත් සිනමාව තුලදී ඒවා විසිතුරු වන්නේ එබැවිනි. නමුදු ඒ කිසිදු මානයකට හසු නොවන්නා වූ ප්‍රස්තුතයන් අතර ඉතාම විරල එහෙත් සාර්ථක ඉලක්කයක් කරා ගෙනගිය සිනමා සිත්තමක අත්දැකීමක් ලබන්නට මට හැකිවිය.

කොලිවුඩය තුල මම දුටු වෙනස් වෙනස් මාතෘකා අතුරින් ඉතාම වෙනස් මාතෘකාවක මා අතරමං කරන්නට ඒ සිනමා අත්දැකීම උපකාර වූවායයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

 எங்கேயும் எப்போதும் (Engaeyum Eppothum) සිනමා නිර්මාණය මම මෙතෙක් රසවිඳ ඇති ( රසවින්දා කියා කිවහොත් අර්ධ මුසාවකි. එහි අවසන් මොහොත දක්වා මම රසවිඳි බව සැබෑය. ) සිනමා නිර්මාණ වලට සාපේක්ෂව අනපේක්ෂිත ප්‍රෙක්ෂක කම්පනයකට මා පත්කරන්නට සමර්ථ වූ නිර්මාණයකි.

සිනමාපටයේදී දකින්නට ලැබෙන ආදර කතා යුගලක්ම ඇත. ඒවායේ එකිනෙකට ඉතාම වෙනස් ඒ වගේම ඉතා මටසිළුටු සිද්ධීන් ගණනාවක් අතරින් අපව ආනන්දයට පත්කරන්නට පිටපතටත් වඩා එහි නළුනිළියන් දක්වන දායකත්වය අපමණය.

Wednesday, March 9, 2016

252. වෙඩිබෙහෙත් පොහොර






කොතරම් සුන්දරද ජීවිතය
උණ්ඩ වෙනුවට -
වවන එක - මල් ?

ගොම පාට ඇඳුම හින්දම
පැටලුනත් ඉඳහිට
බෝවිටිය, බෝගන්විලා අතර
මල් වවන උඹ,
මට හොඳයි
වෙඩිතියන උන්ට වඩා
මගේ 'දෙමළාට' !


Friday, March 4, 2016

251. සුරංගනා කතාවකි - 6




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම

පස්වන සුරඟන පබැඳුම


සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.

"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."

සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.

"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"

අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.

"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."

කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.

"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"

සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.

"ම.. මාඅ.. ම.."

"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"

මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.

සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.

හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.

"පුතා.... උත්තර දෙන්න බැරිද?..."

කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.

".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."

මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.

"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "

පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.

*********************************

Tuesday, March 1, 2016

250. වරද මා අතම මිස






ගෙනාදා පටන් උඹ
හැදුවේ හැමදා බලමින්ම .
ආදරේ වැඩි නිසයි
අතින්වත් නෑල්ලුවෙ හැමදාම...

වැඩෙන හැටි දිනෙන්දින
බලා උන් සෙනෙහසට
පිපෙන පීදෙන තුරුත්
ඉවසුමක් නැති උනි මට....

මට දකින ඉක්මනට
මලක් දෙනු විගසකට
දුනිම් මුත් ඉසින බෙහෙතක
අරෝවක් නොමැතිවම
පිදුණේ නුඹ සිලිලාරට...

කමා කරවනු මැනව
සුහුම්බුල්වූ ඔය ගතට
උහුලන්ට බැරි උනත්
මෙමා සනසනු පිණිස
පිපුණු නුඹ......

කේඩරුව ගොස් ඉදින්
වරද මා අතම මිස..
නුඹ නොවෙයි
මගෙ දරුව !


ප.ලි.
මම ඕකිඩ් වගයක් ගෙනාව. එකෙ පැලයක මලක් බලන්න ආසාවෙන් ( තණ්හාවෙන් ?) මම ඒවායින් එකකට මල්පිපින පොහොර දැම්මා. මගේ ඉල්ලීමට ( පොහොර වලින් ලැබුන උත්තේජනයට) එක ගහක් එක කොළයක්වත් එන්න කලින්ම ලොකු මල් කිණිත්තක් පිපෙව්වා. එක කොළයක්වත් තිබ්බේ නැති ගහේ අන්තිමට ලස්සනම ලස්සන , ලොකු මල් ඉත්තක් පිපුනා. ඒ උනාට මගේ හිත මට දොස් කිව්වා. හරියට වැඩෙන්න කලින්ම ඒ 'නොදරුවාගෙන්' මල් ඉත්තක් ගත්තා  කියලා.ඒ වරදකාරී හැඟීම තවත් තීව්‍ර උනේ මල් ටික පරවෙලා ගියාට පස්සේ ඕකිඩ් ගහ ඔහේ බලාගත්ත අත බලාගෙන හිටපු හින්දයි.

මට ඒ ගැන ලියන්නම හිතුනේ ඒකයි 

(  හිනා  වෙන්න එපා යකුනේ... මට හිතෙන්නේ මල් මගෙත් එක්ක කතා කරනවා කියල තමයි!)