Wednesday, April 20, 2016

270. එදා මල් වරුසාවමයි




ප්‍රේමය කෙතරම් සුන්දරද කිවහොත් විරහ වේදනාව පවා රසවත් සුන්දර විඳීමක් බව ඕනෑම අයෙකු පිලිගන්නවා නොඅනුමානයි. බොහෝවිට ප්‍රේමය ප්‍රස්තුතයක් වශයෙන් ගනිමින් කළා නිර්මාණ බිහිවන්නේත්, ඒවායේ එකිනෙකට වෙනස් රසයන් උත්පාදනය කරගැනීමට හැකිවන්නේත් ප්‍රේමය එතරම්ම පරාසයක් තුල රසයන් ජනිත කිරීමේ හැකියාවක් ඇති නිසා බව නොකියයුතුමනාය.

ප්‍රේමයේ ඇති සුන්දර අසුන්දර භාවය ගීතය තුල භාවිතයේදී  යොදා නොගත් රචකයෙක් වේනම් එය නිකිණි සොයනවා වැනි විය යුතුය. එසේ වන්නේ ප්‍රේමය වනාහි යොවුන් සෘන්ගාරාත්මක ප්‍රේමය ඉක්මවා ගිය දාරක ප්‍රේමය දක්වා අක්මුල් කේශනාලිකා සහිතවූ අතිශය ගැඹුරු සහ සියුම් භාවරුපයන්ගෙන් සමන්විත නිලයක් බැවිනි.

දාරක ප්‍රේමය බොහෝවිට රැඳෙන්නේ මව-දුදරුවන් අතරේ බැවින්, 'පියසෙනෙහසට කවි ගී ලිය උනා මදියි' කියා යමෙක් පවසද්දී , මට දැනෙනෙන්නේ එය එතරම්ම සුමට වක්‍රයක් නොවන බවයි. ඊට වඩා අවිෂය වූ ප්‍රේමයේ භාවයන් තිබිය නොහැකිද?

ප්‍රේමය අස්වද්දන කෙතක් බඳු විවාහයේදී අයෙක් සැමියාත්, අනෙකා බිරිඳත් ලෙස උපදිති. ගීත රචකයින් මෙම සුසංයෝගය නොයෙකුත් කෝණයන්ගෙන් බැලුවද ඒ සෑම විටකදීම ප්‍රේමයේ තවත් පැතිකඩක් පිළිබිඹු වීම වලක්වාලිය නොහැකිය. නමුදු ඒ අතුරින් වියත් රචකයින් පමණක් මෙම වලගොඩැලි සහිත මාර්ගය තරණයේදී රසිකයින් තුල සියුම් රසවින්දනයක්ද  , එසේ නොවන්නන් අතුරින් ඉතා කටොර ගමනක අවසානයේදී රසිකයින් තුල ප්‍රාථමික වින්දනයක්ද  ශේෂ කරනු දක්නට ලැබෙන කාරණයකි.



මේ සියල්ල අතරේ සැමියාගේ භූමිකාවත්, බිරිඳගේ භූමිකාවත් රඟදක්වන යුවතිපතීන් තුල කවරාකාර හැලහැප්පීම් සහ සොඳුරු මොහොතවල් ඇතිදැයි කිසිවෙකුට අවිෂය වූ තරමකි. ගැඹුරු වුවත් අතිශය සුන්දර විල්තෙරක ඉවුරේ සිටියද විලට බට අයවලුන් දුලබ නම්?

සැබෑවකි... සිය බිරිඳගේ සොඳුරු බවත් , නොවෙනස් ආදරබර බවත් 'ළඟින් ඉඳන් මට සළකන මගේ බිසව්' ලෙස අයෙක් දකිද්දී , 'මුතුකැට වැස්සක් වගේ වේනම් සොඳුරුයි මේ දීගේ' යයි දෙස්දෙවොල් තබන සැමියන් සිටින බවද නොරහසකි.

නමුදු, අවිෂය වන්නෙම විෂය වියයුතු කාරණාවම නොවේද?

බිරින්දෑවරුන්ට සැමියන්, ගීත රචනයේදී අවමයෙන් අවිෂය වන්නේ කිම ?

ලංකාවේ පැරණි චිත්‍රපට කර්මාන්තයෙන් දායදවුනු බිරින්දෑවරුන් විසින් සිය සැමියන් උදෙසා ගැයෙන ගීත අතලොස්ස හැරුණුවිට , සැමියන් පිළිබඳව බිරින්දෑවරුන් නිහඩ වීමට ඇත්තේ කවර බලපෑමක්ද? ඒ සියල්ල අතරේ හමුවෙන් ගීත අතලොස්ස අතැඟිලි අතරට හිරකරගන්නට තරම් ප්‍රමාණවත් වීම නම් සැබෑවක්මයි.

විවාහ කෙතට වන්  සැමියා කෙරෙන් කෙත්බිම සරුසාර කෙරෙන්නට අවැසි 'බන්ඩි පොහොර' නොවැටෙන්නේ මන්දැයි වටහාගත නොහැකි ගැටලුවකට බිරින්දෑවරුන් පත්වීම, කාලයාගේ අවෑමෙන් කුකුලාගේ කරමලය සුදක් වනවාසේ හේතුවක් හා සබැඳෙන්නට වන්නේ අහේතුවමද ?

සුන්දර මධුචන්ද්‍ර ඇරයුම් විෂයන්හිදී සැමියා දක්වන තරම් විවෘත භාවයකින් බිරිඳ සිය සිතැඟි පලනොකරන බැවින්දෝ සැමියන් විසින් බිරියන්ට ඔවුන්ගේ සිතැඟි රහස් පවසද්දී , බිරියන් විසින් මුකුලිතව සිටිනු රචක ප්‍රතිභාවන්ට කරනා නිගරුවක් ලෙසයි වැටහෙන්නේ.

නමුදු, එය එකිනෙකා කෙරෙහි වූ ප්රෙමයේම කොටසක් නොවේද?



මුදු මුහුණේ සුව දැනුනේ 
පිය ළඳුනේ මට විතරද 
ඔබ සුසුමේ සුව දැනුනේ 
හිමි සඳුනේ මට විතරද 

ඉඟ නෙරියේ රැලි  බින්දේ 
පිය ළඳුනේ මම විතරද 
ඉඟ නෙරියේ රැලි හැදුවේ 
හිමිසඳුනේ 
මගේ විතරද 

පුළුලුකුලේ සිරියහනේ 
නිදිවැරුවේ මම විතරද 
උරතලයේ හිස රන්දා 
සුව වින්දේ මම විතරද 



රසයන් සියල්ල එකව ගත්කලද, වර්ණයන් සියල්ල එක්ව ගත්කලද විස්තර කල නොහැක්කා සේ.. ප්‍රේමයේ වර්ණය, රසය කැලතෙන්නේ මේ හැලහැප්පීම් නිසාවෙනි. 



සඳලේඛා සඳගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ 
රූ ජායා සෙවනැලි දිදා පෙමින් ළඟින් හිඳියි මගේ 
දිනෙක කිව මා දකින සිහිනේ 
ඉඹසඳ කීවා මනෝ රම්‍ය ගීතේ - අපි දෙන්නා 

විමානයෙන් ආ සඳසේ සඳුන් කැලෙන් එහා 
ගෙන සිතක් රන් තැටියෙන් නොදී ගතින් එදා 
හතර අතේ මල් වැහැලා සිතට කතා කළා 
සිතින් ඉතින් එදා 

කුමරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ 
විලේ ගිහින් මල් නෙළුවේ ඔබයි නමින් මගේ 
පාර දිගේ මල් මල් වැහැලා සුවඳ කතා කළා 
රජෙක් ඇවිත් කියා 



කුටුම්භය තුලදී අබිසෙස් ලබන කුමාරියක් විසින් සිය සහකරුවා අනායාසයෙන්ම 'රජෙක්' බවට පත්කරන්නිය. එය ඇගේ විජිතයයි. ඒ විජිතයේ ඇති කාන්තාර, උස් කඳු-පල්ලම් සියල්ල තරණයේදී ඔහුගෙන් රජෙකුගේ පෙරදැක්මක් ලැබෙනවා නම් කොතරම් සුන්දර වේද?



සිතල සිතුවිලි උණුසුම් සුසුමෙන් 
සුවපත්කල ලබැඳේ 
ජිවන කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින් 
පෙරමන් කී නිරිඳේ 

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන් 
මා හද සුවඳින් පිරූ හැටි 
ගිනියම් සැඩහිරු දෝතින් මුවාකරන් 
සුවබර සෙවනැලි හැදු හැටි 

නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන් 
ඉරණම ඔබ ළඟ රැඳුනු හැටි 
වැලපෙන පැලකට මල්කැන් දෝතදරන් 

හෙට ගැන උරුමය ගෙනා හැටි 



කාලයා සමග වෙනස් වෙන දේ හා වෙනස් නොවෙන දේ අතර ඇත්තේ කවරාකාර නිර්ණායකයකයක්ද ? එවන් මොහොතක බිරිඳක විසින් සිය සැමියාට කර්කශ වදන් වලින් දමගසනවාට වඩා මේ සිතුවිල්ල කෙතරම් සුන්දර අදහසක් ජනිත කරයිද?


මේ වහින්නේ 
එදා මල් වරුසාවමයි 
මහළු නොවනා පෙම්වතුන්ගේ 
සොඳුරු මල් වරුසාවමයි 

ජිවිතේ දෝතින් දරා අපි 
එදා පෙම් බස් මිමිණුවේ 
සිරිපොදේ සීතලෙන් අවදිව 
ජිවිතේමයි හිනැහුණේ

එදා මල් වරුසාවමයි මේ 
මුවාවක් ඇයි සොයන්නේ 
එක වහලයට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි උනේ  


විටෙක, එලෙස ගීත පබදුම කෙම්බිම කාන්තාරයක් වන්නට සැමියන් වෙතින් පෙළනා බිරින්දෑවරු දැකීමෙන් රචකයා ගොළු වුවාදැයි සැකයක්ද ඉපදීම වලක්වනු බැරිය.




පෙම් ලොවදී දුටු ඔහුමද මේ 
ඔහුටද මා අන්ධ උනේ 
යව්වනයේ දුටු ඔහුමද මේ 
ඔහුටද ම අන්ධ උනේ 

මිදියුෂ යයි රැවටී හලාහල 
විෂ බිව්වේ ඇයි මා 
පෙම් දැල මැද පැටලී සුසුම්ලා 
මුලා උනේ ඇයි මා 

මිරිඟුව දැක හිනැහී පිපාසෙට 
දිය සෙව්වේ ඇයි මා 
නෙතුසර පහර වැදී විකල්වී 
දිවිපිදුවේ ඇයි මා 


එලෙස කඳුළු පැන් බොන බිරිඳක විසින් අවසන සිය සැමියාට ඒ කඳුළු පැන් කලස යහන පාමුල තබා පිටවන මොහොතේ හිතතුල බුර බුරා නගින සිතුවිලි ක්‍රෝධයක් ලෙස නොදකිමින් පරිස්සම් වන්නට තවත් රචිකාවක් සමර්ථ වන්නේ එය සත්‍යයෙන් පරිබාහිරව සිදුවූවක් නොවන බවට සාක්ෂි ඉතිරි කරමිනි.




ආයුබෝවන් පෙම්බරාණෙනි 
ඔබට සුබ දවසක් 
දුකක් නොරැඳෙන හෙටක් වෙනුවන් සුසම් සුබපැතුමක් 
ඔබට සුබ දවසක් 

පැනින්  නහවා ඇඟිලි ගෙලවට රනින් තැලි පළඳා 
සසර ඉම තෙක් එක්ව ඉන්නට  ආදරෙන් කොඳුරා 
අතින් අත බැඳුනා 

හාදු තැවරු රෝස කම්මුල් රළු අතින් පිසවා 
දෙතොල ඉකිලන සුසුම් කැඳවන රුදුරු බස් බනවා 
නෙතු කඳුළු පුරවා 

ඔබෙන් රිදවුනු නෙතින් ගිලුහුණු සුසුම් පැන් කලසක් 
කඳුළු පැන්  කලසක් 
යහන පාමුල විසුරුවා යමි ඔබට සුබ දවසක් 
ඔබට සුබ දවසක් 

සැමවිටම විවාහයේදී පීඩිත වන්නේ බිරිඳ පමණක්ද? එසේ නැතිනම් සැමියන්ගේ හඬට රචකයින් බිහිරිව ගොස්ද?

සිය සැමියාගේ අකල් වියෝවට ළයපැලී මියයාගත නොහැකිව හඬන බිරිඳකට තිබිය හැක්කේ කවර පිහිටක්ද? 'විසේ නැග්ග නාකිත් පිල්කඩ ගාව' සිටින  ඇගේ දුක කියන්නට සැමියෙක් නොමැති ඇගේ හඬ අසන්නට ඔහු හිදීද අසලක?


රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් 
බියද දැනේ දුකද දැනේ 
රුදුරු උනේ ඇයි හිමිසඳුනේ 

පත පැමිණි සුරපුරවර 
වෙලා ගැනුණි ඝන කළුවර 
දෑස පුරා දුටු සිනා  කවට කෙළි 
කඳුළු කතාවක කෙලවර 
අසන්  හිමියනේ කාට කියන්නද මේ දුක 
ඔබ හැර 

කළා සොලස පිරි පුරහඳ 
අතැර ගොසිනි සිය පියබඳ 
එදා දෙඩූ මුදු වදන් අසන්නට 
බලාසිටි සිත පිළිසිඳ 
අසන්  හිමියනේ කාට කියන්නද මේ දුක 
ඔබ හැර


එවන් වියෝවක් දැනෙන්නේ  බිරින්දෑවරුන්ට නොවේද? පෙම්වතියන් ලෙස සිටිනා කලෙට දැනෙනා වියෝවට වඩා සැමියෙකු ලෙස සිට ඇතිවන වියෝව කොතරම් තිව්රද?



පිතු සෙහෙහෙ පිදු පියෙකු නොමැති ලොව 
දුදරුවන් හිනැහී ඇතිදෝ 
උන්ගේ සිත රැඳී තනිය මකන්නට 
මවුනට කවදා හැකිවේදෝ 

හිරු මඬලක්සේ කිරණ බෙදාදී 
නුගසේවනක් සේ සිසිල ලබාදී 
ජිවිතයේ බර උරින් දරා 
පියවරුමයි ලොව 
මහ සයුරක්  වී පොලව නිවාලන්නේ 

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා 
පෙරුම් පුරා එන සසර පුරා 
අම්මාවරු මතු බුදුවන්නේ 
පියවරුමයි ලොව බුදුවන මවුනට 
ඒ විවරණ දෙන්නේ 

එවන් සැමියන් ගැන බිරින්දෑවරු ගී නොකියන්නේ මන්ද?

සම්මත බැවින් සිය බිරිඳ වෙනුවෙන් සිය ශ්‍රමය, කාලය කැපකරන සැමියන් කුටුම්භය තුලදී බිරින්දෑවරුන් විසින් පසසන්නට රචකයින්ට වදන් නොමැතිව ගොළුවිද ? කුල සිරිතට අනුව යමින් කරකාර බැඳී සැමියන් වෙනුවෙන් එපමණක්ද පිදිය නොහැක්කේ?

'කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලියන්'ට සරණ වෙමින් මිහිමත දෙවියන් වූ හිමියන් හිඟ නොවුවද, ඔවුන් වෙනුවෙන් කරන පබැඳුම් මෙතරම් හිඟ වන්නේ කවර හේතුවක් නිසාද යන්න තෝරා බේරා ගත නොහී.



උපන්දා පටන් පිය සෙනෙහස අහිමි 
මගේම දරුවන්හට පිය වූ සකි සඳුනි 
ජාතිත් පතාගෙන සසරේ ආ ලෙසිනි 
මතුත් මෙහෙම හමුවෙමු නොබැඳි පෙමිනි 

සසර දිගයි ඒ ගමනේ යන කලට 
පාර වැරදුනේ පුරුවේ කල පවට 
නන්නාදුනනන් මට මග පෙන්වූ පිනට 
බුදුන් දකින පින් අත්වේවා නුඹට 

උඹේ තියෙන ආදර ලෙන්ගතු කමට 
මගේ හිතත් බැඳුනා සත්තයි නුඹට 
පිදු සුවඳ සියපත් පාදන ලොවක 
පමා වෙලා අප මුණගැසුනේ කුමට 


මෙවන් වපසරියක් තුල, අවිෂය නොවී හිඳිමින් රචකයා හා නොගැටී සිටින්නට සැමියන් කවර වරදකට දඬුවම් ලබනේදැයි සොයාබැලිය යුතු කාලයයි. ප්‍රේමය ඔවුන් තුල කරවටක් ගිලෙන තරම් දෝර ගලන බව නිසැකයෙන්ම කිවහැකි නමුදු එවන් ගැඹුරු දියපතුලේ ඇති වටනා මාණික්‍ය සැමවිටම අයත්වන්නේ පිහිනුමේ සහ කිමිදුමේ කිරුළුපලන් රචකයින් බව මගේ හැඟීමයි.

බිරින්දනී.... මේ ඔබේ කාලයයි. මේ එදා මල් වරුසාවමයි. මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල්වරුසාවමයි! ඔවුන්ගෙන් ලද , රස රහස් පදබඳින මොහොතයි.

සැමියනි... මේ ඔබේ ගිතාවලියයි 



ප.ලි. 
සැමියන් ගැන ලියවුනු ගීත ප්‍රමාණය ඉතා අල්ප බවත්, එයින් බොහොමයක් පියගුණ ගීත වලින් පෙරා ගත්විට නොගිනියහැකි තරම් අල්ප බවත් මට පෙනුනා. බිරින්දෑවරුන් ගැන සොඳුරු කවි, ගී පද බැඳේද්දී සැමියන්ගේ කලාපය පාලුවට ගිය කෙතක් වගේ. අස්වද්දන්න කැමති කවුරුහරි ඉන්නවා නම් කියල මට හිතුන නිසා මම ඒ ගැන ලිව්වේ. මට මගහැරුණු ගීත තියෙන්නට පුළුවන්. එහෙම උනොත් මේකට එකතු කරන්න කියල ආරාධනා කරනවා. මේක පුරුෂාධිපත්‍ය හෝ ස්ත්‍රී අධිපත්තිවය කියා ලඝු කොට කතාකරන්න එපා. ඒ තර්ක ප්රාතමිකයි. හේතුව හොයාගන්න අමාරු උනත් මට හිතෙන්නේ ප්‍රේමය බොහොම ගැඹුරින් ලියන්න පුළුවන්කම තියෙන්නේ කුටුම්භය ඇතුලෙදි කියායි. ඒ නිසාම වෙන්න ඇති පරිනත රචකයින් හැරුණුකොට උදවිය මේ කලාපයට අඩියක්වත් තියන්නේ නැත්තේ. 

මම මේ කියන්නේ පදරචනය අංශයෙන්. දැන් නම් රුපරචනය මගින් ගීතයේ අර්ථය බලු නොවටින උනත් ඔසවා තබන්න ලැබිලා තියෙන නිසා මගේ සම්පුර්ණ අවධානය තියෙන්නේ පදරචනය කෙරෙහි බව මතක තියාගන්න. ඉතාම ලාමක සිංදුවකට පපුව දාල යන සැමියෙක් දාල යන බිරිඳකගේ වීඩියෝවක් තියෙන ගීතයක් මම මේ කියන කාර්ය ඉටුකරන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ගීත ඇතුලත් කරන්න එපා.

මට මගහැරුණු ගීත තියෙනවා නම් අමුණන්න අමතක කරන්න එපා.

ප.ප.ලි.
මෙම වර්ණයෙන් ඇති කොටස සම්පුර්ණ ලිපිය පලවී පැය කීපයකට පසුව මතක් වූ නිසා එක්කාසු කලෙමි. සැමියන් බිරියන් කියන ගීත ගැන කියද්දී රූකාන්ත-චන්ද්‍රලේඛා අමතක වන්නේ මා වැනි අවසිහිකාරියන්ට පමණක් විය හැකිය, සමාවන්න 








48 comments:

  1. හරිම අගෙයි උපේක්ෂා.....................

    //එක වහලයට එකතු වූ දා
    එක කුඩේ ඇයි මදි උනේ // හිතට අල්ලලාම ගිය කෑල්ලක් තමා මේ. මේ ගැන මේ ළගදිත් දවසක් අපි දෙන්නා කතා කරා. ඉස්සර ඉගෙන ගන්න කාලේ එක කුඩේ යට ගියා විතරක් නෙමෙයි ඒකේ තව කීප දෙනෙකුට යන්න තරම් ඉඩත් තිබුණා.... ඒ තරම් ම තුරුල් වෙලානේ යන්නේ..... ඒත් දැන් ඇයි කුඩ දෙකක් කියලා මං ඇහුවාම කාන්චනා දුන්න උත්තරේ තමා

    ඒ දවස් වල ඔයා ඔච්චර මහතත් නැහැ මං මෙච්චර මහතත් නැහැ කියලා........ තවත් ඉතින් මොනවා අහන්නද ඒකෙත් ඇත්තක් තියෙනවානේ..... ඒත් ඉතින් නොකී ඇත්ත හිතේ තියාගෙන අපි දෙන්නම හිනාවෙලා නිකං හිටියා.....

    ඔබ මතු කරන අනික් කාරණාවත් හරිම අගෙයි. සැමියන් ගැන ලියැවුණු ගීත අල්ප බව. පිය සෙනෙහස ගැන ගීතත් අඩුයිනේ. ඒකනේ ටී.එම් මහත්තයාගේ නෝනම එයාට ලියලා දීලා තිබුනේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ කියන ගීතය.....

    තවත් දෙයක් අමරදේව මහතා කියන තාත්තා වුණත් මා බත සරි කරන ගීතයයි පුංචිපුතේ උඹ ආපසු අම්මි හුගක් වෙනස් වෙලා ගීතයයි අරගෙන අපි එක දවසක් කතා කරා මතකයක් තියෙනවා යාලුවන් එක්ක...... ඇත්ත හිතේ තියාගෙන මහා දර්ශනවාදයන් එළියට දැමීම තමා අපේ සංස්කෘතියෙන් අපිට පුරුදු කරලා තියෙන්නේ කියන එක........ ‍ෙ

    කොහොම හරි ඔබ හොද ගීත ටිකක් එකතු කරලා ගීත කතාවක් හදලා තියෙනවා..... ජය

    ReplyDelete
    Replies
    1. සතුටක් දැනුනා වගේම දුකකුත් දැනුනා. සතුට දැනුනේ ඔබ දෙදෙනා ඒ ගැන කතාකරන බව/වරක්වත් සැලකිලිමත් වූ බව අසනවිට. දුක සිතුනේ ලෙඩේ දැනගෙනත් බේතක් දෙන්න/ගන්න දන්නේ නැති නිසා.

      සැමියන්ගේ ආදර සෙවන යට හිඳගත් බිරින්දෑවරු මොකද මෙතරම්ම නිහඬ? ලියන්න බැරිද කවි??

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්
      මම අදහස් කලේ 'සැමියන්' ගැන බිරින්දෑවරු විසින් ( ගොඩක් වෙලාවට එයාලානේ ඔවුන්ට සැමියන් කියන්නේ) කියන ගීත. ඔබේ ගීතය ලස්සනයි. ඒ සැමියෙකු විසින් බිරිඳට කියන්නාක් මෙන් නේද? මම අදහස් කලේ සැමියන් ගැන කියවෙන ගීත ගැන.

      Delete
    2. හ්ම් ඔබේ ලිපිය මම තේරුම් අරන් තියෙන්නෙ අනික් පැත්තට. සොරි වෙන්න ඕන. අනික් කියවන්නන් වීම වල්ක්වන්න ඩිලීට් කරනවා.

      Delete
  3. "බිරිඳ මගේ ඔබ..... "
    ගුණදාස කපුගේ සහ නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      මට ඔය සින්දුව මතක් උනා. නමුත් මම හිතුවේ මෙහෙමයි.
      ඒක සම්පුර්ණයෙන් ගත්තහම සැමියෙක් ගැන බිරිඳකගේ හැඟීමක් ලෙස ලියවිලා නැහැ කියලයි. නමුත් නොගැලිපිමක් තියෙයි කියල හිතෙන්නේ නැහැ මටත් දැන් නම්.

      මගේ වැඩි අවධානය තියෙන්නේ සුන්දර අදහස් වලින් , කෝණයකින් සිය සැමියන් දෙස බලන බිරින්දෑවරුගේ හිත කියෝන රචකයින් ! 'මුදු මුහුණේ' ගීතය මම තෝරාගත්තේ එහි ඇති ශ්රුන්ගාරය නිසයි.

      Delete
  4. මගේ හිටපු බිරිඳ මම ගැන සින්දුවක් ලිව්වනම් ලියන්නෙ මෙහෙමයි

    මොන රඹ පුෂ්පය-කට ආවද නුඹ
    මගේ දිවිය අවුලක් කර යන්නට
    දකින්න නොලැබේවා නුඹ නැවතත්
    සංසාරේ යලි ඉපදෙන තෙක් මා

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.. අඩුතරමේ කවියක් ගලපගන්න වත් සිහිමුලා වෙන්නේ නැතුව ඉක්මන් උනා ඒ උන්දා...

      ඔය හොටු පෙර පෙන අඬන ප්‍රේමවන්තයින් මෙව්වා දැක්කොත් ආයේ නෑ ලව් දිහා බලනව තියා සින්දුවක් බලාගෙන බත්වත් කන්නේ නැති වෙයි

      Delete
  5. රුවල් ඉරි ගිය නෞකාවේ.. නියමුවාණෙනි..
    නොගිලී දල රල පෙළ අතරේ..
    මා හා යා නොහැකිය ගොඩ බිමකට..

    දෝතට එක්කල වැසිදිය පොවමින්-- පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් .. උණුසුම..
    මා රැකගත් ඔබ රක ගත යුතු වේ.. අද දින..
    දියඹේ නවතිමි යනු මන පෙරමඟ .. තනිවම

    සුන්බුන් නැව් බඳ දියබත් වී යයි.. හනිකට
    අත් හල මැන දැන් මෙතුවක් මට බැඳී- සෙනෙහස
    දෑස පියාගෙන මා බිලිදී දිය.. ගැඹරට
    ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට..

    මතකෙන් ලියුවේ අඩුපාඩු හදයි සින්දු ඇනෝ..

    තව එකක්.. පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..

    තව එකක්.. මා එක්කලා අමනාපව වී දබර.. දූගෙ තාත්තා එන්නේ නෑ ගෙදර..

    ReplyDelete
    Replies
    1. රුවල් ඉරීගිය නෞකාවේ ගීතය එහෙම එකක් නෙවෙයි නේද? ගීතයේ පදමාලාවේ සැමියෙක් ගැන සඳහනක් නැහැ නේද? මේ කියන්නේ අපහසුවෙන් පවත්වාගෙන යන ප්‍රේමයක් වෙනුවෙන් දිවි කැපකරනා ප්‍රේමවන්තයෙක් වෙනුවෙන් පෙම්වතියක් කම්පනය වූ අවස්තාවක් නේද?

      මේ තියෙන්නේ ඒ ගැන ලියු ලස්සන සටහනක්

      (ඔය සින්දුව මගේ ජිවිතේ මම අහපු බොක්කටම වදින ගීත වලින් එකක්, ඒ හින්දා පසුපස පාදයේ ක්‍රීඩා කරන්න ලොක්කා! හෙහ් හෙහ්)

      පුන්සඳ රෑට ගීතයේ අරුත් කීපයක් තියෙනවා මට නම්. සැමියා ගැන සඳහන් වෙනුවෙන් ලියපු ගීතයක් නෙවෙයි නේද? හා හා කමක් නැහැ පවනේ ඉතින්..

      ' මා එක්කලා අමනාපව' සින්දුව නම් හරි වගේ තමයි. ඒ උනාට සිංදුව කියන්නේ ළමයෙක්ටනේ. ඩිංගක් විතර හරි. කෝ අන්තිමට එකතු කලාම ලකුණු මදිනේ ළමය!

      Delete
    2. No need to play backfoot defence. I'll come all guns firing in attack.. for the time being.. sorry no sinhala. :)

      Delete
  6. සිංහල ගීත ක්ෂේත්‍රෙය් ගී පද රචිකාවියො අල්පයි. එයාලත් වැඩිපුර ගීත ලියල තියෙන්නෙ ගායකයන් වෙනුවෙන්.. ඒ නිසාම කුටුම්භ ජීවිතයේ ස්වාමිපුරුෂයාගේ ප්‍රේමණීය භුමිකාව මගහැරිල කියල මට හිතෙන්නෙ.. එහෙම ස්වාමිපුරුෂයො ලංකාවෙ නැති හින්ද නම් නෙවෙයි....

    මේ ගීත කීපය බලන්න...

    යුගයෙන් යුගයේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ
    වෙරළින් වෙරළේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ

    සීතල කඩු තුඩු ඇනෙන රැයේ
    උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
    පවසින් වැලපෙත කර දියරේ
    පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය

    යුගයෙන් යුගයේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ
    වෙරළින් වෙරළේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ

    සුන්බුන් වූ විට සැඩ සුළඟේ
    දිය පිට ඉන්නට දැව යහනක් විය
    වල්මත් වූ විට දිවි දියඹේ
    ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය


    ගායනය - නන්දා මාලිනී
    සංගීතය - ස්ටැන්ලි පීරිස්
    පද රචනය - සුනිල් ආරියරත්න

    ReplyDelete
    Replies
    1. ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ
      වේවා සදා වාසනාවන්
      ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
      සසර සරන තුරුම වාසනා

      දෙගුරුන් වෙතින් නික්ම
      සුවිසල් ලොවේ
      මුදු සීත සෙවණක් සොයා
      රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
      ආවේ ඔබේ ලොව සොයා

      ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ...

      සිහිලෙන් ගිමන් නිවන
      සුවඳක් ලෙසින්
      ඔබගේ පැතුම් සරසාලා
      ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
      පහනක් ලෙසින් දැල්විලා

      ගායනය - නීලා වික්‍රමසිංහ

      Delete
    2. කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
      අනන්ත බාධක දුක් පීඩා විඳ
      භවෙන් භවය යන මං සළකුණු දැක
      ඔබව සොයා ආවා
      ඔබව සොයා ආවා //

      සත් සමුදුරු තරණය කර ආවා
      සත්කුළු පව් අතරින් දිව ආවා
      සත් සමුදුරු තරණය කර ආවා
      සත්කුළු පව් අතරින් දිව ආවා
      තරු එළියෙන් පියවර මැන ආවා
      ඔබව සොයා ආවා
      ඔබව සොයා ආවා

      කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
      අනන්ත බාධක දුක් පීඩා විඳ
      භවෙන් භවය යන මං සළකුණු දැක
      ඔබව සොයා ආවා
      ඔබව සොයා ආවා

      නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
      මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
      නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
      මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
      දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
      ඔබව සොයා ආවා
      ඔබව සොයා ආවා


      ගායනය - නන්දා මාලිනී
      සංගීතය - ජයතිස්ස අලහකෝන්
      ගී පද - රත්න හෙක්ටර් දිසානායක

      Delete
    3. අහස ගුගුරා අකුණු පුපුරා
      මගේ හිත වැන්දඹු උනා

      වසාගන් දොර මගේ හිමියනි
      නුඹට රිසිනම් යන්ට යන්නෙමි

      කාලයක් නැති තාලයක් නැති
      විජිතයේ කටු ඔටුනු හැර යමි
      කාලයක් අපි ආදරෙන් සිටි
      සොඳුරු මතකය අරන් යන්නෙමි

      වසාගන් දොර මගේ හිමියනි
      නුඹට රිසිනම් යන්ට යන්නෙමි

      බැන්ද රන් දම් මගේ ගෙල වට
      මුදා විසි කොට අඬන අහසට
      මගේ සිහිනයේ නුඹ නිදන් කොට
      කුරුටු ගී දහසක් ලියන්නෙමි

      වසාගන් දොර මගේ හිමියනි
      නුඹට රිසිනම් යන්ට යන්නෙමි //


      ගායනය - නන්දා මාලිනී
      සංගීතය - නදීක ගුරුගේ
      ගී පද - සුමිත්‍රා රාහුබද්ධ

      Delete
    4. රුක් අත්තන මල මුදුනේ
      ඹමරු නටන හැන්දෑවේ
      සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
      පුතුනි බලන් යොමා නුවන්
      කවුරුද එන්නේ...

      මුතු පිණි දැල් සැලෙන ඔබේ
      උදා දිමුතු හිරු එලියේ..
      පුතුසවනට රහස් කියා - පියමන් කරලා
      අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

      රුක් අත්තන මල මුදුනේ...//

      පතොක් වැටිය උඩින් වැදී
      දිවයුරු මිය යන මොහොතේ
      පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
      පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..

      රුක් අත්තන මල මුදුනේ...//

      ගායනය: විශාරද නන්දා මාලිනී
      පද රචනය: මහින්ද අල්ගම
      සංගීතය: නන්දා මාලිනී

      Delete
    5. මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
      මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත..
      ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
      හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම..

      ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
      කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත..
      පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
      දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද..

      මහත්තයෝ මං දන්නවා..

      තාත්තෙක් වගේ අර නුඹ අතගෑ ‍මගෙ හිස
      තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ..
      සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
      මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට..

      ගායනය - ශසිකා නිසංසලා

      Delete
    6. දිනෙක ඔබ සඳ වාගේ හැඩයි
      නැවත ඔබ ඉර වාගේ සැඩයි
      මේ වෙනස්කම නැති උනත් නිම
      දි‍නෙන් දිනෙන් ආදරේ වඩයි //

      හිනස්සන විට සිනාසෙමි
      අඬන්නට බෑ බලා ඉමි
      හිනස්සන විට සිනාසෙමි
      අඬන්නට බෑ බලා ඉමි
      ගඟක් වැනි ඔබ සමැත් පැවතුම්
      ඔබේ ළඟ ඉද පතා ඉමි

      දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...

      උදේ මල් විල මනෝහරයි
      සැඳෑ කල එය විඩාබරයි
      උදේ මල් විල මනෝහරයි
      සැඳෑ කල එය විඩාබරයි
      ලොවෙහි දියදම වෙනස් වීමය
      ඔබත් එය පැහැදිලි කරයි

      දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...

      විලේ දිය ගඟුලෙදී බොරයි
      ගඟේ දිය සයුරෙදී සැරයි
      විලේ දිය ගඟුලෙදී බොරයි
      ගඟේ දිය සයුරෙදී සැරයි
      ඔබේ සෙවණෙද මෙසේ ඉඳ හිට
      විවිධ හැඟුමන් උදාකරයි

      ගායනය - ඇන්ජලීන් ගුණතිලක
      සංගීතය - වික්ටර් දළුගම
      ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස් ( මෙන්න ඔයාගෙ ප්‍රේමකීර්ති )

      Delete
    7. රත්තරනින් රන් මාල නොබැන්දට
      රත්තරනින් රන් තෝඩු නොදැම්මට
      නුඹේ දෑත මට රැකවරණයි
      රත්තරං දෑත මට රැකවරණයි
      නුඹේ දෑත මට රැකවරණයි
      රත්තරං දෑත මට රැකවරණයි

      කුඹුරු කොටන ඔබේ දෑත
      නියර බඳින ඔබේ දෑත
      කුඹුරු කොටන ඔබේ දෑත
      නියර බඳින ඔබේ දෑත
      මගේ පැලේ කවුළු දොරින්
      උදේ හවා දුටුවා
      ඒ දෑතට මගේ දෑත
      දෙන්නට මා සිතුවා

      රත්තරනින් රන් මාල නොබැන්දට ...

      පැල් කවියක හඬින් රෑට
      සිහින ලොවක ගෙවමි ඈත
      පැල් කවියක හඬින් රෑට
      සිහින ලොවක ගෙවමි ඈත
      හදේ පැතුම් සද කිරණින්
      ඔබේ පැලට ආවා
      දෑතට දී මගේ දෑත
      තනි රකින්න ආවා

      ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන

      Delete
    8. අනේ මේ ආදරවන්ත ස්වාමිපුරුෂයන් ගැන බිරින්දෑවරු ලියන්නලාකො හොඳ ගීත ටිකක්... ඇත්තටම හොයාගන්න හරි අමාරුයි නෙවැ...

      Delete
    9. Pissu හඩෙනවා මේවා අහුවම
      මට මතක් උනේ රුවල් ඉරීගිය නෞකාව් විතරඉ.

      ස්තුතියි උපෙක්ශා & තරූ

      Delete
    10. මේ තියෙන්නේ මගේ බන්ඩි පොහොර පාර...

      බොහොම ස්තුතියි තරුරසි. ඔක්කොටමත් වඩා මම බලාපොරොත්තු තියාගෙන ඉන්නා ( මේ ගැන ලියන්න පුළුවන්කම තියෙන අතලොස්සෙන් ඉදිරියෙන්ම ඉන්නා) ප්‍රේමකීර්ති ලියපු එකකුත් මේ අස්සේ තියෙනවා දැක්කහම දැනුන සතුට!!

      සොයන්න වෙහෙස උනාට ගොඩක් ස්තුතියි.

      Delete
  7. ගෙදර උන්දට පෙන්නන්න ඕන මේක ...

    ජයවේවා"

    ReplyDelete
    Replies
    1. ගෙදර උන්දාට පෙන්වීමෙන් වන අතුරු ප්‍රතිපල වලට වගකියනු නොලැබේ. සලාක ක්‍රමයට ආහාර මුද්දර ලබාදීම අත්හිටුවා ඇත!

      කවියක් ලියෝගන්න මෙයා... කවියක්!

      Delete
  8. උපේක්ශාගෙන් මෙන්න තවත් controversial පෝස්ට් එකක්.
    හරි...
    මම සිංහල සංගීතය දන්නේ අර ඒකාලේ ගීත විතරයි. මෙතන ඒවා තියේ. .

    ඒ සින්දු කොහේ ඇහුනත් මට මගේ වගේ දැනෙනවා. සමහරවිට අතීතකාමය වෙන්න ඇති.

    BTW
    මොනවා වුනත් පිරිමින් අතින් එහෙම ගී නොලියවෙනවා නම් ඒකටත් වගකියන්න ඕනේ කන්තාවන් වන අපිම නේද? ඉස්සර කාලේ ට වඩා අද සමාජය වෙනස් වෙලා ඉතින් පිරිමියෙක් කාන්තාවක්ගෙන් බලාපොරොත්තුවෙන දේවලුත් වෙනස් වෙලා. නැත්නම් පරිපූර්ණ වෙලා. ඉස්සර වගේ ගෙදර බත උයලා දෙන කාන්තාවක් තව දුරටත් පිරිමියෙක් හොයන්නේ නෑ.

    ප්‍රේම කරන කාලේදි විතරක් තමන් ගැන හොයන ගැහැණු ළමයෙක්ව වයිෆ් වුනාට පස්සේ එහෙම නොකරන එක ගැන බහුතරයක් පිරිමින් ඉන්නේ කනස්සල්ලෙන්.
    ඉතින් කොහෙන්ද ඒ මිනිස්සු කවි ලියන්නේ?
    හා නැද්ද?
    අපි මේ ගැන ඉස්සරහට කතා කරමු. ඩිබේට් එකක් වෙනවා නම් මම එන්නම් ආයේ මේ ගැන කියන්න...
    ප්‍රේමය කියන්නේ හැට පැන්නත් බිමෙන් යන්නැති වඳුරා වගේ දෙයක්... ඒකට උවමනා කළවම් අපෙන් නොවුනොත් අනිත් පැත්තත් අපිට දරාගන්නම වෙනවා උපෙක්ශෝ

    ReplyDelete
    Replies
    1. ඒකට වගකියන්න ඕනේ කාන්තාව කියල මට හිතෙන්නේ නැහැනේ රංගි. එහි දෙපැත්තක් තියෙනවා. මෙතරම්ම බිරින්දෑවරු ගැන ගීත ලියලත් ගෘහස්ත හිංසනය අඩුවක් තියෙනවද? ඒකෙන් මනින්න බැහැ කියලයි මට හිතෙන්නේ. ගොඩක් සුන්දර ප්‍රේම ගීත ලියවෙන්නේ තනිකඩ අත්වලින්. විරහ ගීත ලියන්නේ සුන්දර විවාහකයින්.
      මට පෙනෙන්නේ පරිකල්පනයේ ඇති හිස්කමයි. ප්‍රේමය සොයා යන්නන් නොවේ දැන් ඉන්නේ. එකතැන රේස් පදින 'වීඩියෝ ගේම්' තාලයේ ප්‍රේම මනොවිකාරයින්.

      විමුක්ති ගීත පවා රසවිඳින මට්ටමෙන් ලියවුන කාලයක් තිබ්බ නේද? ඒවා කොතරම් ලස්සනද? දැන් සෙබලෙක්ට ගීතයක් ලියාගන්න බැහැ මියුසික් එකට, වීඩියෝ එකට පින් සිද්ද වෙන්න සින්දුව ගොඩදාගන්නවා. පදරචනය එතරම්ම දුර්වලයි.

      හැට පැන්නත් බිම යන්නේ නැති ප්‍රේමය ගැන, කතන්දර පවා කොතරම්ම අඩුද? කවි/සින්දු ගැන කවර කතාද?

      Delete
  9. උඹට උත්තරයක් ලියන්න ගත්තම මේක කොහෙන් නවතියිද කියල හිතාගන්න් බැරිවුණු නිසාම ආපහු මැකුවා. මොනවා උනත් උපේක්ෂා කියන දේ ගැන මාත් එකඟයි . අපේ සමාජය පීතෘ මූලික සමාජයක් වුනාට කාන්තාවට ගෞරවනීය තැනක් හිමි වුනා . ඒ ආභාසය අඩු වැඩි වශයෙන් තියෙන නිසා තාමත් සාහිත්යේදී මූලික තැන හිමි වෙන්නේ කාන්තාවට

    ReplyDelete
    Replies
    1. ඕන්න බලාපල්ලා කියනහැටි විතරක්...!
      //උපේක්ෂා කියන දේ ගැන මාත් එකඟයි

      හුහ් එහෙම නොවුනොත් බලාගත්තැකි!! හෙහ් හෙහ්
      සාහිත්‍යයේදී කාන්තාව පිරිමියා පරදවාගෙන උපනිශ්‍රය වෙලා තියෙන එක හැබෑව. මමත් කියන්නේ දැන් ඉතින් එහෙම හිතන්නේ නැතුව ඒ ගැන කවි ලියහල්ල කියල. මේ ඔබතුමා නම්... කෙටි කතාවක් ලියහන්කෝ නිකන් ඉන්න එකේ.. මොකද වැඩක් කරන එකක්යැ ?

      Delete
  10. දිග කමෙන්ටුවක් ඊයෙත් කෙටුවා.ඒක ට්‍රැක් පැන්නා කියලා හිතුන නිසා ඩිලීට් කරලා නිදාගත්තා.සැමියන් ගැන ලියවුන ගීත ගොඩක් තියෙන්නේ එක්කෝ තරහ වෙලා ගිය මිනිහට කියන ඒවා.නැත්තන් වෙන ගෑණියෙක් ඉන්න මිනිහෙක්ට කියන ඒවා. "අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස"කියලා කියන ගීත තිබ්බට සැමියන්ට ඒ ගෞරවය ගිහින් තියන ගීත හරි අඩුයි.මිනිස්සුන්ට ඒ ගෞරවය දුන්නහම මිනිස්සු නරක් වෙයි කියලා හිතනවද දන්නෙත් නෑ.දන්න විදිහට යමුනා මාලනිය "අවපස අහසක" ගීතය ලියලා තියෙන්නේ ඇයගේ සැමියාට.ඒත් ඒක සුනිල් එදිරිසිංහයන් උදුරගත්තු නිසා ඒ ගෞරවයත් ගිලිහිලා ගිහින්.

    ඔය සැමියන් ගැන කියවෙන අමුතු ගීතයක් තමයි "මුළු රැයක් පුරා ඔහු ඔබ ලඟ" කියලා මරියසෙල් ගුණතිලක සහ සමීතා කියන ගීතය.ඒක හරිම අමුතු ඇහැකින් බලපු ගීතයක් මටනම්.නිරෝශාගේ පළවෙනි ගී තැටිය "නාඳුනන සිහිනය" ත් තියනවා තරහවෙලා ගිය සැමියට කියන ගීත දෙකක්.ටිකක් හරි සැමියට ආදරෙන් කියපු ගීත තියෙන්නේ නන්දාමාලනිය සතුව විතරමද මන්දා." දෙවියන් විසින් " , "හේමන්තයේදී" , "කලා වැවෙන් ගත්" වගේ ගීත වගේම අමරදේවයන් එක්ක ගයන ගීතයකුත් තියනවා "හිරු දැවී සඳු ගිලී" කියලා.

    අර රුකාගේ සිංදුවල "සීතල සිතුවිළි" කියන එක ටෙලියක තේමා ගීතයක්. "සඳලේඛා" එකේ "විමානයෙන් ආ සඳ සේ" කියන ටික, "කුමාරියක් වූ දවසේ " කියන ටික මියුසික් එක්ක කියන හැටි මාරයි. ඒක රුකාටම වෙන්වුන ටැලන්ට් එකක්.

    අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් ගෑණු වාසනාවන්තයි කියන එක තමයි.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා.. දෙවියන් විසින්, කළා වැවෙන් අමතකම වෙලා ගියා නොවැ.. හේමන්තයේදී මම මෙතෙක් හිතාගෙන හිටියේ තරුණ වයස පහුවෙලා ආදරය කරන්න ගත්ත කෙනෙක්ගේ ගිතයක් විදියට විතරයි.. (ඒකනේ මම මගේ බ්ලොග් එකේ තීම් එකටත් ඒක දාලා තියෙන්නේ..හැක්.) දැන් බැලුවම තරුණ වයසේදී විවාහ නොවී හෝ විවාහය අසාර්ථක වුනු පහුවෙලා හරි කෙනාව බැන්ද බිරිඳක් විදියට සලකුවම ඒකත් ලෙසටම ගැලපෙනවා නේන්නම්.. ඒ සින්දුවටයි ඒක මතක් කරලා දීපු කටුස්සටයි මේ වේදිකාව හදලා දීපු නුවර කුමාරිටයි අලුතෙන්ම ආදරේ කරන්න පටන් ගත්තා..

      වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
      ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
      වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් දැන්
      නටන්නේ පිපී දැන් හේමන්තයේදී

      විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
      වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
      වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
      ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

      සුසුම් ලා දිවා රෑ ගෙවී හුදෙකලාවේ
      එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
      තුෂාරෙන් නුරා වූ සඳක් සේ නිශාවේ
      ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ.. :)

      Delete
    2. කටුසු:
      මමත් කියන්නේ 'මා ළඟටම තව ලංවෙලා' වගේ සුන්දර ආදරබර ගීත සැමියන් ගැන ලියවෙන්නෙම නැති තරම් කියලයි. එහෙම ලිව්වා කියල ඔවුන් නරක් වෙනවා කියල හිතනවා කියල මට හිතෙන්නේ නැහැ. ( මම දැකල තියෙන දෙයක් තමයි ගොඩක් සැමියන් කතාවේදී තමන්ගේ බිරිඳ ගැන එලෙස කියනවා. ඒ කියන්නේ හොඳක් කියන්නේ නැහැ උඩ පාවෙයි කියල. කොටිම්ම හදපු කෑමක රසක්වත් කියන්නේ නැහැ. ඒක මිත්‍යාවක් නෙවෙයිද? එහෙම උඩයන ගෑනු මොකටද විවාහ කරගන්නේ? තවත් කෙනෙක් අගය කරන්නත් හොඳ හිතක් තියෙන්න ඕනේ)

      මුළු රැයක් පුරා ගීතය එක්ක යන විදියට මම කෙටිකතාවක් ලිව්වා. 'ඔබද මාද ඒ' කියලා. රිද්මය කැඩිලා වැඩේ ජෝන් බාස්ට ගියා. ඒකෙත් මම උත්සහ කලේ ඒ සින්දුවේ වගේ අයිතිකාරියෝ දෙන්නෙක් ගැන කියන්න. හරි ගියේ නැහැ.

      'දෙවියන් විසින්' ගීතය නම් මම ලිපිය ලියද්දි සලකලා බැලුව. පදමාලාවේ නම් සහයක් නැහැනේ සැමියෙක්ට ? ඒ වගේමයි නේද 'කළා වැවෙන්' කියන ගීතයත්? 'හිරු ගිලි' ගීතය ඒ කාලේ ටෙලිනාට්‍යයක තේමාගිතයක් ( පස්සේ තහනම් කළා ඒ ටෙලිය)

      රුකාන්තගේ තියෙන්නේ ඒ පුදුම කටහඬ.... මමත් ආසයි ඒ අමුතු තරුණ හඬට. පුදුමේ කියන්නේ මටත් ඒ ගීතයේ ඒ තැන්වලදී දැනෙන්නේ ලොකු පන්ච් එකක් වදිනවා වගේමයි!

      අන්තිමට ඉතින්.. හෙහ් හෙහ්... වාසනාවන්තයි නේන්නං... හෙහ් හෙහ්

      Delete
    3. (අව) කලණ මිත්‍රයා ,
      ඒ ගීතයේ කොහෙද සමින් ගැන කතාවක්. ඇත්ත තමයි ඒකෙ කියන්නේ වරක් අතරමන් වූ අයෙකුට පසු කාලයේ හමුවුණු සත්‍ය ප්‍රේමයක් ගැන මිසක් කෝ විවාහයක් ගැන හෝ සැමියෙක් ගැන කියන්නේ නැහැනේ පදමාලාවේ.

      වේදිකාව ... හුහ් නිකන් කියලද හිතුවේ... අය කිරීම පැයට හරිද?

      Delete
  11. මං මේකෙ එක වචනෙයක් වත් කියෙව්වෙ නෑ. පස්සෙ ඇවිත් මේ ඔක්කොම සිංදු ටික සර්ච් කරනව. ටැංකිව් උපේ...

    ReplyDelete
    Replies
    1. කෝ දියල්ල මට හොඳවයින් කළු ගලක් මගේ කට අතුල්ලගන්න.... යකෝ නෑ මම කිව්වේ මහත්මයා මේක තොපේ.. නෑ මම කිව්වේ ඔබේ ගීතාවලිය නේ? ඉතින් බලාපල්ලකෝ උන්ට මොකට කවි ලියනවද? ලියපු ටිකවත් අහන්න ඕනෙකමක් නැතිකොට

      Delete
  12. Hii Upeksha, this will be something related to the topic I think :) http://www.topsinhalamp3.com/songs/chandraleka-perera-mp3-songs/noasanna-himi-sande-mp3-song.php

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ...

      මම දන්නා තරමින් මේ ගීතය චන්ද්‍රලේඛා තමන්ගේ පළමු විවාහයෙන් මිදෙද්දී ගායනා කරපු ගීතයයි. ලස්සනට පදමාලාව ලියලා තියෙනවා

      නොඅසන්න හිමිසඳේ - සැරසෙන්නේ කීම මෙසේ
      ඔබේ සිරගෙයින් මිදී - යමි යලි නොඑන සේ
      නොකියන්න යලි යලි - නවතින්න පෙර ලෙසේ
      ඔබේ නපුරු කුරුරුකම් - විඳවූ තරම් ඇතේ

      ගිනිපුපුරු වදන් වැල් - සිත දෙපලු කරන කල්
      මෙත් වචන හෝ නැතා - සිත බිඳුණු පසු අසා
      සිපගත් දෙකොපුලේ - අත්පහර රිදුම්දේ
      මේ කඳුළු තිලිනමල් - ඔබ දුන් තරම් ඇති

      කුලගෙදර රකිනු දා - මා සිරුර දව දවා
      අළු උනත් පිච්චිලා - ඔබ නෑ වෙනස්වෙලා
      ඔබට වැරදුනේ නැත - මටයි වැරදුනේ
      මින් මනත මගතොටේ - ඉමු දුටු නොදුටු සේ

      පදරචනය හෝ වෙනත් දේ ගැන මම විස්තර දන්නේ නැති නිසා කවුරුහරි කියනවා නම් සතුටු වෙනවා

      Delete
  13. උඹ කියනකල් මේක කප්පනා වෙලා තිබුනේ නැහැනේ බං...
    එහෙම අඩුවක් තිබ්බ කියල දැනුනේ නැත්තේ "හොඳ සැමියෙක්" නෙමෙයි නිසාද දන්නේ නැහැ...;)

    ReplyDelete
    Replies
    1. ඕන්න බලාපල්ලා ඒකෙත් හැටි. මටත් ඉතින් පිස්සුනේ උන්ට ඕනේ නැති ප්‍රශස්ති කියවන්න හදනවට!

      Delete
  14. ගී ලොවක මං මුලා වී මිදෙනු නොහැකිව හිඳීවි.......


    අවසානයේ කියන්න තියෙන්නේ මෙතරම් මනරම් ගී පෙළක් වෙනුවෙන් සැමට පින් කියලා තමයි!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කැලෑවක අතරමං උනා කියලද? මම අදහස් කලේ මේකේ තියෙන්නේ පඳුරු විතරයි කැලෑවක් වෙන්න ගස් වවමු කියල. ලියමුකො මෙතූ හොඳ ගීත/කවි මේ ගැන.

      Delete
  15. හෝව් බස් එක. පොස්ට් එකත් කොමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. ඒත් දන්නෙ නැති මගුල් ලියල කිච වෙන්නෙ නැතුව ඉන්න එක ඇඟට ගුණයි. ලබන වසරේ ජනප්‍රියතම බ්ලොග් එකට හිමි සම්මානේ උබට ලැබීයන් කියල විශ් කොරනව හිටන්. (එක අරගන්නවත් පල හොඳේ)

    ReplyDelete
    Replies
    1. මමත් මේ පෝස්ටුව ටැග් කරලා තියෙන්නේ 'නොදන්නා මගුල් කතාකිරීම' කියල. ඒ හින්දා ඒවා අනුමත වර්ගයේ එව්වා.

      ජනප්‍රිය බ්ලොග් කියන්නේ ටිලාන් මේ වගේ පාලු සොහොන්පිටි නෙවෙයි. කොමෙන්ටු උනත් එක පිටුවට ලෝඩ් කරගන්න බැහැ. කොටිම්ම පෝස්ටුවක් දාල විනාඩි තිහක් ඇතුලත කොමෙන්ටුවක් දාගන්න බැරි උනොත් කොමෙන්ටු බොක්ස් හොයන්න ත්‍රිවිල් එකක් අරගෙන යන්න ඕනේ... සමහරු මුලට තිතක් (.) තියල ආසන පවා බුක් කොරනවා. දැන් කියන්න බලන්න ඔය කියන එක ලක්ෂනයක්වත් මගේ එකේ තියෙනවද කියල?? ඉතින් මොකටද කතාකරලා! හෙහ් හෙහ්... ආන්න එහෙමයි ළමයෝ මේ බ්ලොග් වනාන්තරේ..... ඒ උනාට ස්තුතියි ඈ

      Delete
  16. //බිරින්දෑවරුන් ගැන සොඳුරු කවි, ගී පද බැඳේද්දී සැමියන්ගේ කලාපය පාලුවට ගිය කෙතක් වගේ.//
    වැඩිපුර ගීත රචකයින් පිරිමි නිසාද?

    ReplyDelete
    Replies
    1. තරු රසීත් ඒ කාරණාව මතු කරලා තිබ්බා. ඔව්. වෙන්නත් පුළුවනි. නමුත් පරිකල්පනය තිබේ නම් මට හිතෙන්නේ තනිකඩ අය ප්‍රේමනීය ගීත ලියනවා වගේ ලියන්නත් බැරිකමක් නැහැ කියල.

      Delete
  17. රෑ බෝ උනා ළමුනේ ඇති කෙලි කවට
    ගෙපලේ පහනේ තෙල් ඇතිදෝ අද දිනට
    දවසක් ගෙවී දවසක් එලි වෙයි හෙටට
    නුඹලාගේ තාත්තාගේ සුවදුක් කෙලෙස

    ගත වෙහෙසයි මගේ කරදර කරනු එපා
    රස මසවුළු බොජුන් ඉල්ලා හඬනු එපා
    ඇති සටියකට කා බි දිවි ගෙවනු වින
    වෙන අන් දෙයක් නැත පුතුනේ ඊට වඩා

    යහනේ ඉහ ළගින් ඉඳගෙන මම ඉන්නම්
    හිමියනේ මගේ හැකි අයුරින් සලකන්නම්
    දරු දෙදෙනා නුඹේ පනමෙන් රැකගන්නම්
    හැකි විගසින් සුවවේවායි පතමි මම්

    ගායනය: චන්ද්‍රලේඛා පෙරේරා

    ReplyDelete
  18. අපි තාම පොඩි වැඩියි මේවට කොමෙන්ට් දාන්න..

    ReplyDelete
    Replies
    1. හා හොඳමයි සෑර්... ලොකු උනාම එන්නකෝ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...