Monday, May 30, 2016

281. අතින්වත් අත





ඉතා පටු මාවතකි 
අප දෙදෙන පියමනින,
ඔබේ පියවර ඇසෙයි 
මගේ හිතටත් වැඩිය.

මගේ අත වදී යයි,
ඔබේ අත , ඔබ තබයි.
ඇසෙන නෑසෙන හඬින් 
ගීතයක් ඔබ ගයයි.

පිසින මද නල පවා 
හුස්ම අල්වා සිටියි.
මාවතේ කෙළවරක 
නවතින්න ඔබ කියයි.

සවන්පෙති අද්දරින් 
උණු හුස්ම ගලා යන,
විටෙක මා කිළිපොලා 
සලිතවෙයි - මම සොයයි 

ඉදින් ඔබ මා සොයයි 


මගේ හිත පිරිමදියි....





Monday, May 23, 2016

280. රහසක්...




ඒක ගෙදරක්. සුදුපාට බිත්ති ,ඕලන්ද ආරුක්කු තියෙන විසාල ගෙදරක්. මම හිටියේ  පළවෙනි මහලේ ආලින්දයට පිවිසෙන දොරටුවත් එක්කම තියෙන කොරිඩෝවේ මැද්දට වෙන්න. කොරිඩෝව පේනමානයේ තියෙන ඔක්කොම ආරුක්කු බලාගෙන හිටියේ එකම පැත්තක්. ඒ පැත්ත වසාගෙන තිබ්බේ රූස්ස ගස්.

මෙතරම් වනාන්තරයක් මැද්දේ කිරිපාටට මෙහෙම මන්දිරයක් තියාගන්න පුළුවන් කියන එක මම ඒ වෙලාවේ ආයෙමත් කිරල බැලුවේ නැහැ. කොටිම්ම එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.

මම හිටියේ කැළඹීල්ලෙන්. මගේ අත්වල ඇඟිලිගැට 'ටුක් ටුක්' හඬින් මම කැඩුවත් ඒ කැළඹීල්ල අඩුවක් උනේ නැහැ. මම ඉතින් කොරිඩෝවේ දොර පැත්තට  සක්මනක් පටන් ගත්ත.

'දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....'

පඩිපෙළ දිගේ ඒ සද්දේ මට හොඳට පුරුදුයි.. ඔව් ඒ උන් තමයි... තවත් හිතන්න දෙයක් නැහැ. මම කලේ ආරුක්කු ජනේල් පේලියේ මැද්දේ තියෙන ජනේලෙ පඩිය මතට මගේ දකුණු අතේ අල්ල තියලා ලොකු ගැම්මක් අරගෙන පහලට පැනපු එකයි. හුස්ම අල්ලාගෙන කලත්, 'දඩිස්' සද්දයක් මිසක් හුස්ම පහතට වැටෙන්න දඟලන හිත ඇතුලෙන් වෙන කිසිම සද්දයක් ආවේ නැහැ.

279. රම්ප කොලයක්






මම  හිතුව විදියමයි
වෙන දෙයක් උනේ  නෑමයි
ඉතින් වෙන මොනවා වෙන්නෙයි,
මම රම්පෙ කොලයක් ගානයි.....

අඩුව ඇති විටකදී
අමතන සෑම තැනකදී
අහිතක් නැතුව හිතදී
කිව්වා නේද උඹට මුලදී?

දැන් ඉතින් ඇති ඔය මල්
කඩපු තරමත් රෑ දවල්
ඇදපු වතුරත් , බඳුනේ දැල්
දෙකම බලහං පෙනෙයි තරු මල්

ගිය දේ දැන් ඉතිං ගියාවේ
ආයෙම රැවටෙන්න උනාවේ
දැන් වත් කල්පනාවේ
යෝදියේ රට්ටුන් හිනාවේ


ප.ලි. මේක යාලුවෙක් වෙනුවෙන් ලිව්වේ මිට අවුරුදු ගණනාවකට කලින්. 



Friday, May 20, 2016

278. සෙල්ලම්(ද) බඩු - The Sellam Badu




සෙල්ලම් බඩු ගැන කියන්න මම වැඩි කැමැත්තක් නැහැ. ඒ උනාට කියන්න වෙනවා. හේතුව තමයි සුන්දර ඉල්ලීමක්, අහක දාන්නම බැරි ජාතියේ.

සෙල්ලම් බඩු කියන්නේ පුංචි කාලේ මාව කියෝපු එකම කට්ටිය වගේ දෙයක් මට කියන්න ඕනේ. නමුත් මගෙත් එක්ක හිටපු සෙල්ලම් බඩු වලටත් මට වගේම ප්‍රශ්න තොගයක් තිබ්බ. ඒ අතරින් වැඩියෙන්ම තිබ්බ ප්‍රශ්නේ තමයි එකිනෙකා තේරුම් ගැනීම. මොකද මම සෙල්ලම් බඩු එක්ක තියාගෙන හිටපු සම්බන්ධය හැටියට එයාලට වචන වලින් මම සපයපු තොරතුරු අතිශය සීමිතයි.  ඉතින් මාව තේරුම් ගන්න එක එයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඇති කියන එක මම තේරුම් ගත්තේ මම 'කච පච' ගගා කියෝනකොට මට හිටපු සෙල්ලම් බඩු දක්වන ප්‍රතිචාර ගැන බලනකොටයි.

 පොඩි කාලේ මට ඇත්තටම හොඳ සෙල්ලම් බඩු එකතුවක් තිබ්බ. ගර්ලිෂ් නොවුන නිසාම ලැබෙන සෙල්ලම් බඩු අතරින් මගේ හිත ගියේම අක්කට වෙනස් රුචියක් තියෙන සෙල්ලම් බඩු වලට වෙන්නත් පුළුවන්. ඒ උනාට කාටවත් තේරුම් ගන්න බැරි ගුප්ත, ගැඹුරු බැඳීමක් මට බෝනික්කෝ එක්ක තිබුනා.

මගේ බෝනික්කෝ කතාවේ උන්නු බෝනික්කා, මගේ නහරවැල් දිගේ ගලායන සම්බන්ධයක් ඇති කෙනෙක් කියලා, ඒ කතාවේදී මම කිව්වා වගේ අපේ අම්මාට වැටහුනේ නැත්තේ ඒ නිසාම වෙන්න ඇති. ඒ කියන්නේ බාහිර ස්වරුපයෙන් මුදු මොලොක් ගතිගුණ මනිනවා කියන මිම්මට අහුවෙලා මම අදත් ( මේ වෙනකොටත්) කියතෙන් කැපිලා ගියපු ළමාකාලයක් විතරක් නෙවෙයි, වැඩිහිටි වියකුත් තියෙනවා කියන්නේ හිනාවට කාරණාවක් උනේ නැති උනාට, මට ඒ ගැන හිතනකොට හිනත් යනවා තමයි. ඒකත් සමහරුන්ට පේන්නේ ගල් හිතක සලකුණක් විදියට.

Tuesday, May 10, 2016

277. ඔයා මගේ







ඔබේ අත ,
කොට්ට වැනි - උණුහුමට

ඔබේ උර,
පෙරවනය - මත සුවඳ

ඔබේ සිත,
මගෙ නොවන - මා සිටින

මගේ නෙත,
දුර සිටින - ඔබ දකින 



Friday, May 6, 2016

276. වැස්සකට






විසල් අහසට දරා ඉනු බැරි - වැහි බින්දු පොදි බිම වැටි
උපුල් සිහිනෙක රැඳුනු සිරි ඇති - පෙඟුණු නල හමනා හැටි
තැවුල් නොමදෙන සිනා කැන් ඇත - අතුපතර අතුරින් හිටි
සියල් ගිම් බිඳ හරිනු රිසිලෙස - අහස්කුස මා මත වැටි.




පින්තුර: කොහෙන්වත් හොරකම් කලේ නැහැ මේ පාර. මේක පෙරේදා හවස ගත්තේ.


Wednesday, May 4, 2016

275. ලිලිපුට්





මට හිතුනෙ මම
පොඩිවෙයි කියල,
නුඹ විසල් වනවිට
චප්පම වෙයි කියල...

බලනකොට නුඹ
ගලිවරයෙක් වෙලා,
අඟුටුමිටි මම,
හෙවනට වෙලා


Monday, May 2, 2016

274. නරුමයෙකුට හසුව





සීතලේ මම..
උණුහුමට නුඹ..
හැරී මා දෙස
බලයි හී ඇස....

වෙලෙයි හිත වට
මතක දියසුළි,
ගිලී මියැදෙනු
නොහී ලයපැලි

ඉදින් නුඹ යයි
ඔලොගු පොරවා,
මගේ  හදවත
මගෙන් ගලවා.....


පලි : මේක ලිව්වේ හදිස්සියේ. රසයෙන් අඩු උනා කියල ගණන් ගන්න එපා