Tuesday, March 31, 2015

163. බුදු අම්මෝ හෝව් හෝව්..!





මේකත් මගේ පොඩි කාලේ සම්බන්ධ කතාවක්.

මගේ පොඩි කාලේ ගැන ඉතින් කොහොම කොතැන කියන්න ගියත් ඉතින් අපේ අය්යා කාරයා සහ අක්කා ගැන නොකියාම බැහැ.

පොඩි කාලේ ගැන සැකවින් මම මෙතැන ලිව්වා.

ඒ වගේම උණුවතුර ළිඳක් පහසුවෙන් සහ ඉක්මනින් සාදා ගන්නා අයුරු මම පොඩි කාලේ අත්හදා බලපු හැටිත් ලිව්වා.

පොඩිකාලේ ඉඳල පුරුදු වෙච්ච යහපත් ගතිගුණය තමයි ගෙයි ගින්දර පිටට නොදෙන එක. ඒ ගැනත් ලිව්වා

බෝනික්කෙක් හින්ද වෙච්ච පපුවේ අමාරුවක් ගැනත් ලිව.

ඇයි අපේ අය්යාගේත් මගෙත් කුරුමිණි මිරිකුනි වැඩේ?

ඒ වගේම අපේ පාරම්පරික ක්‍රීඩාවක් ගැනත් ලිව්වා.



දැන් ඉතින් මක්කද ලියන්න හදන්නේ? මක්කා ලියන්නද ඉතින් වෙච්ච දෙයක් ලියනවා මිසක්. අපි වෙච්ච දේවල් කියනවා, වෙන්න තියෙන දේවල් නම් කියන්නේ නැහැ... අනේ ඔව්...

අද මම ලියන්න හිතුවේ පොඩි කාලේ සිද්ද උනත් ගොඩක් ලොකු උනාට පස්සේ ක්ලික් වෙච්ච සිද්ධියක්. මක් කිව්වා? ඒ මොන හරුපයක්ද? නෑ නෑ .. කිසි හරුපයක් නැහැ. ඔක්කොම සුද්ද සිංහලෙන්...

Friday, March 27, 2015

162. කෝට් එකේ කොටු කොටු





මම මගේ ක්‍රීඩා අතීතයේ සමහර සිදුවීම් ලියාගෙන ආවා.

මේ මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ.
මේ ඊට පස්සේ සිද්ධි කීපයක්
මේ මම කණ්ඩායමක් නැතුව ගන්දබ්භව හිටපු කාලේ.

ඔය අන්තිමට කියපු සිද්ධියෙන් පස්සේ මම තනියෙන් සෙල්ලම් කරලා දක්ෂකම් පෙන්නපු නිසා මගේ වැඩිමහල් කණ්ඩායමට 'සිද්ද උනා' මාව එයාලගේ ටීම් එකට ගන්න. මම එහෙම සිද්ද උනා කිව්වේ හැමදෙනාම වගේ එයාලගෙන් ප්‍රශ්න කළා මම චැම්පියන්ශිප් එකක් දිනලත් මොකද ටීම් එකේ නැත්තේ කියලා. ඒ නිසා මාව මට වඩා වැඩිමල් අක්කලා ඉන්න ටීම් එකට දොරවල් ඇරුණා.

මේ ටීම් එකේ හිටියෙ මම පොඩිකාලේ ඉඳන්ම කෝට් එකේ ඉඩ පොඩ්ඩක්වත් නොදුන්නු, කලින් චැම්පියන්ශිප් එකකදී මට ලොකු කැපිල්ලක් දාපු වැඩිදෙනෙක්. එකම එක අක්කා කෙනෙක් ඇරෙන්න, අනිත් හැමෝම හිටියේ හොස්ටල් එකේ.

ඒ දවස්වල උනත් මම ඔය අසාධාරනකම් හරි පරණ කෝන්තර හරි මතකේ තියාගෙන පළිගන්න හිතන්නෙවත් නැති කෙනෙක්. කොහොමත් ඉස්කෝලේ මේ ප්‍රශ්න කිසිම දෙයක් මම මගේ ගෙදරට කිසිම විදියකින් අඟවන්නේ නැතුව තමයි හිටියේ. ඒ මගේ හැටි. ඒ හින්දා අලුතින් ටීම් එකට ආවාම මට ආපු පොඩි පොඩි කැපිලි සහ හිත රිදවීම් මම ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. මේ හින්ද අලුත් ටීම් එකේ ඉහ ගහලා ඉන්න මට එතරම් අමාරු උනේ නැහැ. මම ඒ දවස්වල කොහොමත් ගල් ඉබ්බෙක් වගේ. වැඩි කතාවක් බහක් නැහැ, ආව - ප්‍රැක්ටිස්  කළා - ගියා. ඒ අක්කලා කියන දෙයක් කරලා සද්ද නැතුව හිටියා.

Monday, March 16, 2015

සුරංගනා කතාවකි - 6




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම


සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.

"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."

සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.

"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"

අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.

"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."

කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.

"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"

සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.

"ම.. මාඅ.. ම.."

"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"

මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.

සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.

හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.

"පුතා.... උත්තර දෙන්න බැරිද?..."

කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.

".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."

මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.

"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "

පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.

*********************************

"ගොන් බඳින කණුවක් උඹ නම්"

සිය යෙහෙළියගේ ක්ෂණික ප්‍රතිචාරය ශරීරයේ කොතැනක හෝ සිට දෝංකාර දෙනවා සාමාන්‍ය කෙල්ලට දැනෙන්නට විය. එය පිටතට නොයන්නට ඇය කෙටි හුස්මවල් පිටතට හෙලන්නට සැලකිලිමත් වුවාය.

"පිටින් මෙහෙම පෙනුනට මම ඇතුලෙන් ගොඩාක් වෙනස් කෙනෙක් කුමාරයෝ..."
"මම ඒක දන්නවා. දැනගෙන තමයි මේ හැමදෙයක්ම කරන්නේ"

"මට හිතෙන්නේ අපි ආයේ මුණගැහෙන්නේ නැතුව ඉන්නවනම් ගොඩක් හොඳයි. කොහොමත් මම නගරෙට යනවා"
"නගරෙට එන එක කොතරම් හොඳද? මට එහෙ ලේසියි.. මෙහෙ ඔයා ඉන්නේ පරාන බයෙන් නේ?"

"මම කොහොමත් නගරෙට ගියහම හොඳ කොල්ලෙක් හොයලා යාළුවෙනවා"
" ( උගුර එකවරම සිරවී, පසුව) මට වඩා හොඳ කෙනෙක් හොයාගනිද? විශ්වාසද? නගරේ කොල්ලෝ නරකයි දන්නවද?"
"ඔයත් ඉතින් නගරේ කොල්ලෙක්නේ... මම නගරෙට ඇවිත් ඉන්න ගමේ කොල්ලෙක් හොයාගන්නේ"
- ඇස් හීනිකර , දත් නොපෙන්වා සිනහවක් -


මේ දෙබස් කොටස් එකම ආකාරයෙන් ප්‍රතිරාව වන සිග්‍රතාවය වැඩිවන අවසන් සතියක අගකදී සාමාන්‍ය කෙල්ල නගරයට සංක්‍රමණය වුවාය.


මන්තර කාරිය සිය නියෝජිතයා පිටත්කොට සැනසිල්ලේ නින්දට පිටත්ව ගියාය.

ඇය නින්දෙන් අවදිව පැමිණෙනවිට සියල්ලම යහතින් සිදුවී පැවතුනි.

මන්තර කාරිය සැනසුම් සුසුමක් හෙලා සිය බෙහෙත් මුට්ටියෙන් ගත් කසාය කුසලානකයට පිරවුවාය.අසල කටාරම අද්දර තබා තිබුණු රිටෙහි වසා උන් සිය මන්තරකාර පක්ෂියාගේ හිස යන්තම් අතගා සිහින් සිනහවකින් සංග්‍රහ කළාය.

"මම කිව්ව දේ ඇහුව නැති එකී.... හික් හික්.... දැන් බලාපන් සිද්ද වෙනදේ"

ඇගේ සිනහවේ දෝංකාරය මුළු කුටිය පුරාම වූ විදුරු බඳුන් කම්පනය කරවන්නට පවා සමත් විය.

************************************
මතු සබැඳි.

Friday, March 13, 2015

161. සිද්ධියක් සහ දෙදෙනෙකු






නුඹ..
මගෙ අතින් ගිලිහුණ...
ගිලිහී බිම පතිතවුන..
පතිත වී බිඳුන...
බිඳී සුන්බුන් විසිරුණ..
නිරුවත් මොහොතෙ පෑගුන...
ඇනුන මොහොතට වඩා රිදවන..


මම...?

රුවල් හකුලන - ගිලෙන 

Thursday, March 12, 2015

160. මල් - කෝපි - රිවෝල්වර





ඉදින් මා පුරවමි
පතුරොම් එකින් එක
මල් අමුණන විවේකෙට
ලැබෙන උණු
කෝපී තොලගාමින

Monday, March 9, 2015

159. වර - කා (02)

මුල්  වර-කා කෑම

ඔහොම මාව ජිම් එකෙන් දොට්ට දැම්මට පස්සේ...

පස්සේ ඉතින් මක්කා කරන්නද...? වෙන කරන්න දෙයක් නැති වෙලාවට ඉතින් මම පාඩම් කළා. ඇත්තම කිව්වොත් මට ලැබුන කාලෙන් වැඩි කාලයක් වැය කලේ මගේ නවකතා ලියවිල්ලට. ඒ දවස්වල මට පට්ට ඉන්ටරෙස්ටින් සත්‍ය කතාවක් ලැබුනා ලියන්න කියලා. ඉතින් මම එකසියා ගානට ඕක ලිව්වා. දවසකට පිටු 10-15 පවා ලිව්වා. ( දැන් අහන්න එපා පොතේ පිටු කීයක් තිබ්බද කියල.. එව්වා මට මතක නැහැ)

ඔහොම ඔහොම ඉතින් කාලය ගෙවුනා.

මට පොඩි පහේ ලෙඩක් තියෙනවා. පොඩි කිව්වට ඕක හරිම සුට්ටන් ලෙඩක්. එකම වැඩේ ලෙඩේ සුට්ටන් උනාට අතුරු ප්‍රථිපල සුට්ටන් නොවීම. ඔය ලෙඩේ නිසා තමයි මම එක පාරක් ලියපු අර පරණ ඉස්කෝලේ මිස් වෙලා වෙච්ච සන්තැසිය සිද්ද උනේ.

ලෙඩේ මොකද්ද දන්නවද? ඒ තමයි මහා විනැම්බෑසියක් වෙලා තියෙද්දී මුකුත්ම නොදැනී ඉඳල, හිටපු ගමන් කොළ බොක්කටම එකවරම වෙලා තියෙන සන්තැසිය දැනෙන්නට පටන් ගැනිල්ල.


කොටින්ම කිව්වොත් මාස ගානකට කලින් exam භීතිකාවෙන් කොර වෙලා අනිත් එවුන් දඟලනකොට මට ගානක් නැතුව ඉඳල, එකපාරටම විභාගෙට සතියක් විතර හෝ පැය ගානක් තියෙද්දී හෝ එකවරම සුනාමියේ දෙවන රළ ප්‍රහාරය වගේ දැනෙන එක!

කිව්වත් වගේ මට ඕක මේ පාර දැනුනේ හරියටම..... හරියටම කිව්වොත්......

ඇඩ්මිෂන් ගන්නකොට? අපෝ නෑ....... ඒවාට තව කල් තියෙනවා

ක්ලාසස් වල අන්තිම දවසේ - නෑ නෑ

සතියකට කලින් - හ්ම්ම්... මේ පාර නම් එහෙම උනේ නැහැ..

හරියටම උනේ.... - පළවෙනි පේපර් එක තියෙන දවසට කලින් දවසේ රෑ !!

158. වර - කා (01)

අද ඉඳන්, මේ මොහොතේ ඉඳන් සිරා වෙනවා ( නෑ නෑ .. ඒ සිරා නෙවෙයි... නෑ නෑ .. අර සිරාත් නෙවෙයි... සීරියස් සිරා ඕයි ) කියල හිතල හුස්මක් ගන්න ලැබුනේ නැහැ.

මට හම්බුනා නේ වරකා ගෙඩියක්... 

ගෙඩියක් කිව්වට ගෙඩියක්ම නෙවෙයි, ගෙඩියකින් පොඩි පංගුවක්. පොඩි කිව්වට කෑල්ලක්. කෑල්ලක් කිව්වට ගෙඩියක් දෙකට කපලා එක කෑල්ලක්. අර්ධයක්? නෑ ... නෑ .... අර්ධයක් වෙන්නේ කොහොමද... ඕක දෙකට කපනකොට මමමනේ එක පැත්තක් වැඩිපුර ලොකු වෙන්න කියල කප්පවාගෙන අමතකවිල්ලකින් වගේ අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල ඉක්මනට කොලේකින් ඔතෝගෙන ගෙදර උස්සන් ආවේ! ඉතින් ඕකට අර්ධයක් කියන්න මට පිස්සුය?



හා... දැන් කියන්න එපා මම දෙකට කපන්න දන්නේ නැහැ අරකය මේකය කියල... මොකද මම නොදන්නේ! වරකා දෙකට කපනකොට ඔහොම වෙනවා කොහොමත්. කොහොල්ලා ගතිය වැඩි නිසා කොහොමත් එක බාගයක් පොඩියට කැපෙන්නේ. ඊටත් වඩා ඕකේ තියෙන කටු කටු ගතිය නිසා කොහොම කැපුවත් කෑලි දෙකම එක ගානට පේන්නේ. ඒ උනත් මට පුළුවන් තක්කෙටම අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල කිසි ගේමක් නැතුව අඳුන ගන්නත්, මොන වැඩ රාජකාරි තිබ්බත් ඔය වරකා ගෙඩිය පරිස්සමට ගෙදර ගේන්නත්. මම කොහොමත් කිසි කරදරයක් නැති ළමයෙක්.. අනේ ඔව්... වරකා සම්බන්දයෙන් මම කිව්වේ..

Friday, March 6, 2015

157. කඩය වසා ඇත







පෝයට
පව්
කරනු
නොලැබේ..




Wednesday, March 4, 2015

156. හා කියපන් මචන්... ( say YES machan)!!



මේ දවස්වල ඔෆිස් එකේ හුස්ම ගන්න බැරි වෙන තරම් වැඩ. ඒ කියන්නේ ඔලුව උඩ දුං කබලක් තියාගෙන ඉන්න හනුමන්තා වගේ මගේ වැඩේම ඒ කොනේ ඉඳන් මේ කොනට දුවනවා. වෙලාවට ඔෆිස් එක එතරම් ලොකු නැත්තේ. නැත්තම් එක කොනක ඉඳන් අනිත් කොනට එනකොටම ඉන්ටවල් බෙල් එක වදී. ඒ කොනේ ඉඳන් මේ කොනට දුවන්නේ මොකද දන්නවද... පුටුවේ උන්නොත් සමහරුන්ට ඇහේ කටු අනිනවා වගේ

"උපේක්ෂා... මේ වැඩක් තියෙනවා පොඩ්ඩක් බලනවද?"

"මේ හලෝ... ඔතන සිංහල කොට කොට ඉන්නේ ඇවිත් මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ගොඩදාල දෙනවකො"

"මේ... අර මේල් එක යැව්වද?"

"..... හදල ඉවරද?"

".. මේක කරලා දෙනවද?"

"... මිටීම කෝ?"

ඔන්න පුටුවේ හිටියොත් වෙන ජාති. ඉතින් මම කරන්නේ පුරුවෙන් බිමට පැනලා දුවන එක. ඔය දුවන අතරෙත් මට බාල්දි වැටෙනවා. චෙක් විතරක්  හිතෙනවා! මොකට විස්ස විජ්ජාලෙකින් උපාධියක් ගත්තද කියල හිතෙනවා.

කොහොමත් මට ඔය කලකිරිල්ල තියෙන්න අදක ඊයෙක ඉඳන් නෙවෙයි. අර සුදු බණ්ඩා දිසානායකට ඔව්වගේ අයිතිය පැවරුවට පස්සේ. (දැන් ඉතින් ඒ ජෝලියත් නැහැ අනේ. මේකද අනේ යහපාලනේ ? දවසකට ජෝක් තුන හතරක්ම අහගෙන දෙය්යනේ කියල අපේ සුදු බණ්ඩාට ලවක් දෙවක් නැතුව බැන බැන ඉන්න තරම් ජොලියක් දැන් ඉන්න අජ්ජාපන ඇමතිලා දෙනවද? මෙලෝ රහක් නැහැ. ඇත්තටම දවසක අපිටම අමතක වෙනවා අපි විස්ස විජ්ජාලෙ ගියා කියල... කෝ දැන් මෙලෝ නිවුස් එකක් නැහැනේ...)

Monday, March 2, 2015

155. ශිශිර නිද්‍රාවෙන් ?




යතුරු සිදුරකින් වෑස්සෙමි
ඔබේ පපුතුරට..

බෙහෙත් ඔරුවක්ව හොවාගමි
දෙඅත් බැඳ එක්කොට...

නිද්‍රා හැර අවදිවනු මැන
මේ කුරිරු 'සරණ බැඳුමෙන්'

ඉක්මනට !