Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

Tuesday, April 26, 2016

271. ස්වප්නෙහි හමුවෙමු මැරයෝ



"චුටි නංගි....."
අඳුර කපාගෙන අක්කගේ වචන මට ඇහෙන්නේ ඇඳේ එක එක අතට පෙරලෙන අතරේ. 

"හ්ම්ම්..."
"නින්ද යන්නේ නැහැ හලෝ"
"හ්ම්ම්..."
මමත් හුස්මක් හෙළුව. 

මට අඳුරේ උනත් අක්කගේ ඇඳේ ඉඳන් ආපු හුස්මේ සද්දෙත් ඇහුනේ ඒ වෙනකොට කෑලි කපන අඳුර වගේම, අල්පෙනිත්තක් උනත් බිමට වැටෙන නිහඬතාවය රජකරන වෙලාව හින්ද. 

මට වෙලාව පෙනුනේ නැහැ. කොටිම්ම මට වෙලාව ගැන නිච්චියක් තිබ්බෙත් නැහැ. නින්දට ආවේ හරියට ඒකට සැරසිලා නොවන හින්දද මන්ද නිදිමතක් තිබ්බෙම නැහැ.

ඒ හැමදේකටම වඩා හිත ඔද්දල් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති දෙන්නම ඇඳට ආවෙත් කකුල් අද්ද අද්දා, ගෙදර හැටියට 'නීතිවිරෝධී' විදියට. ඒ වෙනකොට නීතිවිරෝධී කියන වචනෙත් අපි දෙන්නට පෙනුනෙම අපිත් එක්ක අරෝවක් තියෙන වචනයක් වගේ.

පපුව පැලෙන දුකක් දැනෙනකොට, නින්දක් දැනෙයිද කෙනෙක්ට? ඊටත් වයසක නොවෙන හිතකට??

"පව් හලෝ..."

"හ්ම්ම්..."

මගේ උගුරත් පැටලෙන්න වගේ ආව හින්දා මම කතාකලේම නැහැ. හුමිටි තිබ්බ විතරයි.

'විකාර... ඌ මැරයෙක්... මිනිමරුවෙක්... ඌට එහෙම වෙච්ච එකමයි හොඳ. ඒ වගේ උන් හින්දා තමයි හොඳ මිනිස්සුන්ට ජිවත් වෙන්නත් බැරි' 

මගේ ඇතුලේ හිටපු එකෙක් මගේ කන්දෙක දෙදරන්න කෑගහුවම ඇතුලෙන් ආපු දෝන්කාරය අන්තිමට 'කුඋං' ගාමින් ඉවර උනා. ආයෙමත් අඳුරේ ගිලුණු නිහඬ රාත්‍රිය. එකම කාමරේ අල්ලපු ඇඳේ නින්දක් නැතුව නොසන්සුමට ඉන්නා අක්කා ආයෙමත් සුසුමක් හෙළනවා ඇහුනා.

"කමක් නැහැ හලෝ. ඇත්ත එකක් නෙවෙයි වෙන්න ඇති. එහෙම උනත් සත්‍යා හොඳ එකෙක් නෙවෙයිනේ. දැන් නිදාගම්මු"

Wednesday, April 20, 2016

270. එදා මල් වරුසාවමයි




ප්‍රේමය කෙතරම් සුන්දරද කිවහොත් විරහ වේදනාව පවා රසවත් සුන්දර විඳීමක් බව ඕනෑම අයෙකු පිලිගන්නවා නොඅනුමානයි. බොහෝවිට ප්‍රේමය ප්‍රස්තුතයක් වශයෙන් ගනිමින් කළා නිර්මාණ බිහිවන්නේත්, ඒවායේ එකිනෙකට වෙනස් රසයන් උත්පාදනය කරගැනීමට හැකිවන්නේත් ප්‍රේමය එතරම්ම පරාසයක් තුල රසයන් ජනිත කිරීමේ හැකියාවක් ඇති නිසා බව නොකියයුතුමනාය.

ප්‍රේමයේ ඇති සුන්දර අසුන්දර භාවය ගීතය තුල භාවිතයේදී  යොදා නොගත් රචකයෙක් වේනම් එය නිකිණි සොයනවා වැනි විය යුතුය. එසේ වන්නේ ප්‍රේමය වනාහි යොවුන් සෘන්ගාරාත්මක ප්‍රේමය ඉක්මවා ගිය දාරක ප්‍රේමය දක්වා අක්මුල් කේශනාලිකා සහිතවූ අතිශය ගැඹුරු සහ සියුම් භාවරුපයන්ගෙන් සමන්විත නිලයක් බැවිනි.

දාරක ප්‍රේමය බොහෝවිට රැඳෙන්නේ මව-දුදරුවන් අතරේ බැවින්, 'පියසෙනෙහසට කවි ගී ලිය උනා මදියි' කියා යමෙක් පවසද්දී , මට දැනෙනෙන්නේ එය එතරම්ම සුමට වක්‍රයක් නොවන බවයි. ඊට වඩා අවිෂය වූ ප්‍රේමයේ භාවයන් තිබිය නොහැකිද?

ප්‍රේමය අස්වද්දන කෙතක් බඳු විවාහයේදී අයෙක් සැමියාත්, අනෙකා බිරිඳත් ලෙස උපදිති. ගීත රචකයින් මෙම සුසංයෝගය නොයෙකුත් කෝණයන්ගෙන් බැලුවද ඒ සෑම විටකදීම ප්‍රේමයේ තවත් පැතිකඩක් පිළිබිඹු වීම වලක්වාලිය නොහැකිය. නමුදු ඒ අතුරින් වියත් රචකයින් පමණක් මෙම වලගොඩැලි සහිත මාර්ගය තරණයේදී රසිකයින් තුල සියුම් රසවින්දනයක්ද  , එසේ නොවන්නන් අතුරින් ඉතා කටොර ගමනක අවසානයේදී රසිකයින් තුල ප්‍රාථමික වින්දනයක්ද  ශේෂ කරනු දක්නට ලැබෙන කාරණයකි.

Tuesday, March 15, 2016

253. Anywhere, Anytime







සිනමාව අපව ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියන්නේ කියමනක්ම නෙවෙයි. අපේ හිත තුල ඇතිවෙන ආනන්දය නිසාම වැසීයන ප්‍රඥාවට පවා සිනමාවට වගකියන්නට සිදුවෙනවා.

එනම්, සිනමා කෘතියක්  ආනන්දය නිසාම ඒ තුලින් මතුවෙන ප්‍රඥාව වැසියන්නට ඉඩකඩ බොහොමයි. නමුත් ඉතා සුළු පිරිසක් අධ්‍යක්ෂකවරුන් විසින් මෙම කැඳවාගෙන යාම ඉතාම සුමට වංගුවකින් පසුව හමුවන නිල් කෙතක් තුලින් අවසාන කරනවා. ඒ කෙතෙහි අස්වැන්න නෙලීම හෝ ඉවත බලාගෙන යාම අප සතු උනත් එහි දිශානතිය විසින් අපව ඒ සඳහා පොළඹවනවා.

සිනමා කර්මාන්තයේදී වැඩිපුරම කතාබහට ලක්වන්නට ආදරය සමත් උනත් එහි ස්පර්ශ කරන අන්තයන් එකිනෙකාට හාත්පසින්ම වෙනස්විය හැකියි. සමාජයේ එක් එක් තලවලදී එහි අර්ථකතන වෙනස් වුවත් සිනමාව තුලදී ඒවා විසිතුරු වන්නේ එබැවිනි. නමුදු ඒ කිසිදු මානයකට හසු නොවන්නා වූ ප්‍රස්තුතයන් අතර ඉතාම විරල එහෙත් සාර්ථක ඉලක්කයක් කරා ගෙනගිය සිනමා සිත්තමක අත්දැකීමක් ලබන්නට මට හැකිවිය.

කොලිවුඩය තුල මම දුටු වෙනස් වෙනස් මාතෘකා අතුරින් ඉතාම වෙනස් මාතෘකාවක මා අතරමං කරන්නට ඒ සිනමා අත්දැකීම උපකාර වූවායයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

 எங்கேயும் எப்போதும் (Engaeyum Eppothum) සිනමා නිර්මාණය මම මෙතෙක් රසවිඳ ඇති ( රසවින්දා කියා කිවහොත් අර්ධ මුසාවකි. එහි අවසන් මොහොත දක්වා මම රසවිඳි බව සැබෑය. ) සිනමා නිර්මාණ වලට සාපේක්ෂව අනපේක්ෂිත ප්‍රෙක්ෂක කම්පනයකට මා පත්කරන්නට සමර්ථ වූ නිර්මාණයකි.

සිනමාපටයේදී දකින්නට ලැබෙන ආදර කතා යුගලක්ම ඇත. ඒවායේ එකිනෙකට ඉතාම වෙනස් ඒ වගේම ඉතා මටසිළුටු සිද්ධීන් ගණනාවක් අතරින් අපව ආනන්දයට පත්කරන්නට පිටපතටත් වඩා එහි නළුනිළියන් දක්වන දායකත්වය අපමණය.

Friday, February 26, 2016

249. නසීම් කා මත්ලබ් ක්යා හෝතා





"දදා ජන්....!"
"ආ.. ජානු...."
"නසීම් කා මත්ලබ් ක්යා හෝතා හේ?"

ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේදී වගේම මැදදී හා අගදී අපෙන් අහනවා උනත් 'දාදා' උත්තර දෙන ප්‍රශ්නේ. ඒ මොහොතේම මම ඒ සංවාදයේ කොටසක් උනා වගෙයි.

නසීම් කියන්නේ මලක් වගේ මුහුණක් තියෙන ඊට කලින් මම බොළඳ ප්‍රේම ජවනිකා වලින් දැකල තිබ්බ කෙල්ලක් හින්දා මගේ හිතපසුබාගෙන ගියත්, එය පවතින්නේ පලවෙනි විනාඩි තුන හතරේ විතරයි. ඊට පස්සේ නසිම්ගේ පස්සෙන් වැටීගෙන යන මාව නසීම් එයාගේ 'දාදා' ගේ කකුල් දෙක ගාව බිමට දානවා.

දාදා ( සීයා ) තමයි ඇත්තටම අතීතයේ සලකුණ. මේ ගෙදර නසීම් එක්ක ජීවත්වෙන ඔහුත් ඔහුගේ පවුලේ අයත් මුස්ලිම් බව තේරුම් ගන්න මට ගොඩක් වෙලා යන්නේ දාදා හින්දම වෙන්න ඇති. මොකද කියනවා නම් , ඔහුත් ඔහුගේ පවුලේ , නසිම්ගේ අය්යා ඇරුණුකොට අනිත් අයත් එක්ක නළලේ මොට්ටු තියාගත්ත ගැහැණුන් කිසි වෙනසක් නැතුවම මිශ්‍ර වෙන හින්ද වෙන්නත් පුළුවන්. නසිම්ගේ අය්යා තමයි එතන වතුරේ දියවෙන්නේ නැති නුතන පරපුර නියෝජනය කරන්නේ.