Tuesday, April 26, 2016

271. ස්වප්නෙහි හමුවෙමු මැරයෝ



"චුටි නංගි....."
අඳුර කපාගෙන අක්කගේ වචන මට ඇහෙන්නේ ඇඳේ එක එක අතට පෙරලෙන අතරේ. 

"හ්ම්ම්..."
"නින්ද යන්නේ නැහැ හලෝ"
"හ්ම්ම්..."
මමත් හුස්මක් හෙළුව. 

මට අඳුරේ උනත් අක්කගේ ඇඳේ ඉඳන් ආපු හුස්මේ සද්දෙත් ඇහුනේ ඒ වෙනකොට කෑලි කපන අඳුර වගේම, අල්පෙනිත්තක් උනත් බිමට වැටෙන නිහඬතාවය රජකරන වෙලාව හින්ද. 

මට වෙලාව පෙනුනේ නැහැ. කොටිම්ම මට වෙලාව ගැන නිච්චියක් තිබ්බෙත් නැහැ. නින්දට ආවේ හරියට ඒකට සැරසිලා නොවන හින්දද මන්ද නිදිමතක් තිබ්බෙම නැහැ.

ඒ හැමදේකටම වඩා හිත ඔද්දල් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති දෙන්නම ඇඳට ආවෙත් කකුල් අද්ද අද්දා, ගෙදර හැටියට 'නීතිවිරෝධී' විදියට. ඒ වෙනකොට නීතිවිරෝධී කියන වචනෙත් අපි දෙන්නට පෙනුනෙම අපිත් එක්ක අරෝවක් තියෙන වචනයක් වගේ.

පපුව පැලෙන දුකක් දැනෙනකොට, නින්දක් දැනෙයිද කෙනෙක්ට? ඊටත් වයසක නොවෙන හිතකට??

"පව් හලෝ..."

"හ්ම්ම්..."

මගේ උගුරත් පැටලෙන්න වගේ ආව හින්දා මම කතාකලේම නැහැ. හුමිටි තිබ්බ විතරයි.

'විකාර... ඌ මැරයෙක්... මිනිමරුවෙක්... ඌට එහෙම වෙච්ච එකමයි හොඳ. ඒ වගේ උන් හින්දා තමයි හොඳ මිනිස්සුන්ට ජිවත් වෙන්නත් බැරි' 

මගේ ඇතුලේ හිටපු එකෙක් මගේ කන්දෙක දෙදරන්න කෑගහුවම ඇතුලෙන් ආපු දෝන්කාරය අන්තිමට 'කුඋං' ගාමින් ඉවර උනා. ආයෙමත් අඳුරේ ගිලුණු නිහඬ රාත්‍රිය. එකම කාමරේ අල්ලපු ඇඳේ නින්දක් නැතුව නොසන්සුමට ඉන්නා අක්කා ආයෙමත් සුසුමක් හෙළනවා ඇහුනා.

"කමක් නැහැ හලෝ. ඇත්ත එකක් නෙවෙයි වෙන්න ඇති. එහෙම උනත් සත්‍යා හොඳ එකෙක් නෙවෙයිනේ. දැන් නිදාගම්මු"


මම එහෙම කියල ආයෙමත් පොරවනය ඇතුලේ ගුලිගැහුනා. මටම හිනාවක් ආවේ මොකද මන්ද.

"අපි දෙන්නටම පිස්සු හලෝ... හිහ් "

අඳුරේ උනත් අපි දෙන්නම පොඩ්ඩක් විතර 'කිචි බිචියට' හිනා උනා. එහෙම කියලා බලෙන් වගේ ඇස්දෙක පියාගත්තා.

ඒ තමයි එක්තරා සිනමාකරුවෙකු විසින් අප දෙදෙනාගේ ලස්සන හීන පේන දවසක් නිදිවර්ජිත රාත්‍රියක් කරන්න  තැත සාර්ථක වුනු දවස. අප දෙදෙනා එලෙස වේදනාවට පත්කරලා ඔහු නම් ලස්සනට නිදාගෙන ඉන්න ඇති නේද?

ඒ ඔක්කොටම වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි, සත්‍යා තමයි!

මැරයෙක්, චන්ඩියෙක්, මිනිමරුවෙක් ගැන සිනමාකරුවන් කොතෙකුත් කතාන්දර ගොතන්නට ඇති. ඔවුන්ට වීරත්වයක් දෙමින්, පළාතේ සිටින සුන්දරම යුවතියකගේ ප්‍රේමය ඔහුට ලැබෙන්නට සලස්වන්නට ඇති. ඒ සියල්ලම සත්‍යයෙන් බොහෝ ඈත බව නම් සැබෑවකි. එවන් මැර වීරයින් කවදත් මා තුල ඇතිකළේ ජුගුබ්සාජනක හැඟීමක් මිස වීරත්වයක් නොවේ. එවන් සිනමාකෘති නිෂ්පාදනයෙන් සමාජමය වශයෙන් සිදුවන හානිය ගැන කොතෙකුත් මම කල්පනාකොට ඇත්තෙමි.

ඒ සියල්ලම තිබෙද්දී , සත්‍යා?

කෙටියෙන් පැවසුවහොත් සත්‍යා යනු කිසිසේත්ම වැදගත්කමක් හෝ විස්වාසවන්තකමක් බාහිරෙන් පෙනෙන්නට නැති රස්තියාදුකාර තරුණයෙක්. ගමේ සිට නගරයට සංක්‍රමණය වන සත්‍යා අනපේක්ෂිත ලෙස විලංගුවේ වැටෙන්නේ නොකළ වරදකට. සත්‍යයේ ප්‍රතිමිර්තියක් නොවන සත්‍යා මේ අතරේ අහම්බෙන් සිය 'නැවතුම් කාමරය' අයත් ගොඩනැගිල්ලේ සිටින සුන්දර, ගායිකාවක් වන්නට හීනදකින යුවතියකට හිත වැටෙනවා.



බාහිරෙන් බැලුවාම නම් මෙය ඉතා සුලබ කතාවක් උනත් නිර්මාණකරණයේදී එම කාලවකවානුව අනුව දැවැන්ත පිම්මක් ලෙස හඳුන්වන්නට පුළුවන්. සත්‍යා යනු මැරයෙක්, කුලී මිනිමරුවෙක් බවට අමුවෙන්ම දැක දැකත් අප සත්යාට ප්‍රේම කරන්නට පටන්ගන්නේ කවර හේතුවක් නිසාදැයි මට තවමත් වැටහෙන්නේ නැහැ. ඔහුගේ පෙම්වතිය පවා ඔහුගේ සත්‍ය ප්‍රතිරූපය දැනගන්නේ නැහැ.

දේශපාලනය තුල, දේශපාලකයින් තුලින් බිහිවෙන මිනීමරුවන් ඔවුනොවුන්ගේ බල අගරලයේදී සත්‍යා වැන්නවුන් හරහා ඉටුකරගන්නා කාර්යභාරයත්, බිකු ලෙස සිය ජිවිතයම ඔවුන්ගේ ග්‍රහණයට දීමෙන් සිරගේදරත්, සිය නිවසත් යනු එකක් ලෙස ගෙවාදමන මිනිසුනුත් අතර අප වික්ෂිප්තභාවයෙන් බලාසිටින්නෙමු. බිකු යනු මම දුටු අපුර්ව චරිතයක් වීමත් එම චරිතයේ තාත්වික රංගනයේදී මනෝජ් වජ්භයි විසින් පලකරන ප්‍රතිභාව නිසාත් මේ යුධපිටිය මට දැනුනේ එදිනෙදා ජිවන අරගලයක් ලෙස මිස අවනීතිය - අසාධාරණය ලෙස නොවේ. ඒ කවර විශ්මයක්ද.

කැපීම්, කෙටීම්, මිනීමැරීම් යනු සාප්පුවෙන් මිලට ගන්නා සෙල්ලම් බඩුවක් තරමට සාමාන්‍ය කාර්යයක් ලෙස අප මෝහනයට ලක්කර මේ මැර කල්ලිය කෙරෙහි කිසිදු පාපී සිතුවිල්ලක් අපතුල ඉතිරි නොවන ලෙසටම නිශේධ කරනු විශ්මයජනකය. මනමොහනිය සංගීතය එයට රුකුල් සපයමින් ඉතා මියුරු ලෙස අප කතාව තුල ගිල්වා තබාගනී. නර්තන ජවනිකා , අංග රචනය, කළා අධ්‍යක්ෂණය ඉතා ප්‍රශංසනීය ලෙස තේමාව හා එක්ව ගමන්ගෙන තිබේ.

මේ සියල්ලට වඩා සත්‍යා චරිතයේ සිටි J.D. චක්‍රවර්ති විසින් පිළිබිඹු කරන ලද දක්ෂතාවය සහ ආකර්ෂණය සිනමාපටය පුරාම බුවල්ලකු සේ අක්මුල් විහිදවාගොස් තිබුනා යයි කීම අතිශෝක්තියක් නොවේ. කොටින්ම කිවහොත් කඩවසම්, රවුල් කොටයක්වත් නැති සැලොලොයිඩ් සිහින කුමරා වෙතින් පලනොවන දැවැන්ත පෞර්ෂයක් සහ ආකර්ෂණයක් ඔහු තුල තිබීම පුදුමසහගතය.

සිනමාපටයන්හි සුලබ කාරණයක් වන 'වයිස් ක්‍රැක්' කිසිවක් නොමැතිව, 'පබ්ලික් ස්පිකින්' වාරයන් නොමැතිව පවා සත්‍යා ගැන අප තුල දැවැන්ත ප්‍රතිරූපයක් මැවෙන්නේ ඔවුගේ මිනීමරු ජිවිතේ අමතක කරවමිනි. පුදුමයකි....

නිතිය හා සාමය ආරක්ෂා කරන්නට දිවුරන අවංක පොලිස් නිලධාරින් සිනමාපටයට කඩාවදින්නේ මේ අතරතුරේය. ඔවුන් 'නිතිය හා සාමය' වෙනුවෙන් පාතාලය අතුගා දමන්නට ක්‍රියාකරති. සත්‍යා ඔවුන්ගේ ඉලක්කයක් වන්නේ එලෙසයි. නරඹන්නන් ලෙස අප සියලුදෙනාම සත්යාගේ පැත්තේ සිටියේ කුමන කාරණාවකටදැයි මම අදටත් මගෙන් ප්‍රශ්න නගමි. සත්යාගේ 'සුදු' කියා පැත්තක් ගත නොහැකිය. නමුදු රවුල්කොට අතරින් ඉතා කලාතුරකින් පෑදෙන සුන්දර සිහනාවක් මිස ඔහුගේ ගතයුත්තක් නැතිව තිබියදී, පොලිසිය ඔහු හඹා එනවිට අප සියලු දෙනා ඔහුගේ ගැලවීම පතන්නෙමු.

අවසන් ජවනිකාව සැබවින්ම ත්‍රාසජනකය. එහිදී වීරයා බිමදමන්නට පොලුපහර සියයකුත්, වෙඩිඋණ්ඩ සියයකුත් අවැසි වන්නේ නැත. අපේ වීරයා 'සැබෑ ආසියාතික වීරයෙක්' ලෙස සිනමාපටය අවසන් වන්නේ නැත.

මෙම  සිනමාපටය ඉහල වශයෙන් ඇගයීමට ලක්වුණු අතර ප්‍රධාන නළුවා මෙන්ම සහාය නළුවන්ගේ රංගනයන්ද විවිධ සිනමා උළෙලවල් වලදී ඉහලින් ඇගයීමට ලක්වුනා.

ධාවන කාලය: 171 min
අධ්‍යක්ෂණය: රාම් ගෝපාල් වර්මා 
නිෂ්පාදනය: Ram Gopal Varma / P. Som Shekar/ Bharat Shah
තිරගතවූ වසර : 1998
භාෂාව: හින්දි /මරාටි 




සත්‍යා යනු එවැනි අත්දැකීමක් මගේ සිත තුල ඇතිකළ සිනමාපටයකි. සදාකල්ම ඒ කම්පනය එලෙසම තිබෙනු ඇත. සිනමාපටය නරඹනවිට 'උර්මිලා' හැරුණුවිට කිසිවෙකුත් මම කලින් හඳුනන මුහුණු ලෙස දැක තිබුනේද නැත. 
මම මේ ෆිල්ම් එක බැලුවේ හුඟාක් පොඩි කාලේ, රුපවාහිනි එකේ යද්දී. එදා රෑ වෙනකල් හුස්මක් කටක් නැතුව මේක බලලා අක්කටයි මටයි රෑ තිස්සේ නිදා ගියේ නැහැ. වෙනදාට හින්දි 'ටින් ටොන්' කතා බලලා වීරයා දිනපු කතා වලින් සතුටින් නින්දට ගිය අපි දෙන්නට එදා නිදා ගියේ නැත්තේ 'ඒ මාරයා' හින්දා වෙන්න ඇති.

ඒක සුන්දර කම්පනයක්. මම ඒ නළුවට අදත් පුදුම ආසයි. නළුවෙක් උනාම තියෙන්න ඕනේ ලක්ෂණ ඔක්කොම ඔහු තුල මම දැක්කා. සහාය නළුවන්ගේ පවා තිබුනේ පුදුම ප්‍රතිභාවක්. රහස කොතනද නම් මට වැටහෙන්නේ නැහැ, නමුත් මේ නිර්මාණයේ සාර්ථකභාවය මේ තේමාවේ අනෙක් ෆිල්ම් වලට වඩා නම් ගොඩක් වැඩියි කියලයි මගේ අදහස. 

සංගීතය මනරම්. මම සාමාන්‍යයෙන් ෆිල්ම් එකක සින්දු වෙනමයි, ෆිල්ම් එක වෙනමයි රසවිඳින්නේ. ඒ කියන්නේ ලස්සන සින්දු තිබ්බා කියල ෆිල්ම් එකවත්, ෆිල්ම් එක ලස්සන නිසා සින්දුත් ලස්සනයි කියලා හිත හදාගන්නේ නැහැ. නමුත් මේ ෆිල්ම් එකේ ඒ දෙකම එක සමානව මිශ්‍ර වෙලා තිබා. ඒ කියන්නේ සාමාන්‍ය මුඩුක්කු ජිවිතේ ඉන්න කවුරු උනත් සින්දුවේදී කිට්-බිට් ගහගෙන ඇමරිකාවේ තැනක නටන්නේ නැහැ. අනිත් එක ප්‍රධාන නළුවා වැඩදාල නටන්න ඕනේ කියන තියරියේ නැහැ. කොතරම් මරං පෙන්නන ෆිල්ම් එකක් උනත් නළුවාගේ පෙම්වතියව දුෂණය කරන්න හදන්නේ නැහැ. 


බලන්න වටිනා ෆිල්ම් එකක්.

මේ තියෙන්නේ මම ආසම සින්දුව ඒකෙ. ('ස්වප්නෙහි හමුවෙමු මැරයෝ ' ගීතය)




මේ තියෙන්නේ මම විඳින ගීත වලින් කීපයක් 









බලල තියන ය මගේ අහදස් වලට වෙනස් අදහසක් තියෙනවා නම් කියන්න. නොබලපු අයට බලන්න කියල ආරාධනා කරනවා. මේ තියෙන්නේ විකිපීඩියා ලින්ක් එක 

https://en.wikipedia.org/wiki/Satya_(film)

මේ තියෙන්නේ මේ සිනමාපයට ගැන කලින් ලියපු විචාරයක්

40 comments:

  1. // 'පබ්ලික් ස්පිකින්' වාරයන් // කියන්නෙ මොකක්ද?

    කැරැක්ටර් එක කතා පවත්වනවද?
    එහෙම නැත්නම් නරඹන්නන්ට පණිවුඩයක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මට ඒකට වචනේ ආවේ නැහැ. ඔව්. කැරැක්ටර් එක මහා සබාවක් මැද්දේ කතාවක් පවත්වනවා ඔක්කොම කුඩේ කුඩු වෙන්න.

      Delete
    2. http://www.newnownext.com/best-movie-ever-public-speaking/08/2012/

      :-D

      Delete
  2. මසාන් බැලුවද උපේක්ෂා.. අලුත් හින්දි ෆිල්ම් එකක් මාස කීපයක් පැරණි හැබැයි..
    අනික 36 Vayadhinile ඒක නං බලල ඇති නේද... හෙහ්
    ඔයා කියපු එකට ටිකක් විතර ඇත්තටම 10% ක් විතර සේම් ස්ටෝරියක් Kadhalum Kadandhu Pogum ඒකත් හොඳයි..
    තව තියෙයි අම්බානෙට ඒත් මතක් වෙන්නෙ නෑ කියන්නකො
    මං මේව ගැන කීවෙ උපේකෂ කියපු එක බලල නැති හංද... බලන්නම ඕන

    ReplyDelete
    Replies
    1. මසාන් වල ganga river scene shot ටික නම් සුපිරි මහේෂ්..Cameraman has shown his talents.කතාවත් ලස්සනයි...

      Delete
    2. අනිවා මචෝ.. බොක්කටම දැනුන පිලුමක්..
      Bharka neerja එහෙම බැලුවැයි.. නීර්ජා නං තාම කැම් රිප්. ඒත් බලන්න පුලුවං ඒව තියේ. බර්කාත් ටිකක් හොඳයි පොඩ් කොමන් ගතියක් තිබ්බට.
      පුලුනං නං හොයාගෙන බලන්න Naan Kadaul සෑහෙන තරං පරණයි 2005ට පස්සෙ වගේ ඒත්.. හැබැයි කැත නැතිව පට්ටයි කියන්න පුලුවං

      Delete
    3. මහේෂ්:
      ඔයා කියල තියෙන එව්වා එකක්වත් බලලා නැහැ. බලන්න පුළුවන් වෙයිද මන්ද. මම මේ ලියන්නේ උවමනාවෙන් හොයල බලපුවා නෙවෙයි, අහම්බෙන් 'පෙනුන' එව්වා. ඔයා කියපු ඒවායේ ප්ලොට් මම කියෝලා බැලුව. ගොඩක් හොඳයි වගේ.

      මට අනුව නම් ෆිල්ම් එක හොඳි කියන්න ප්ලොට් එක විතරක් මදි. මම කළා අධ්‍යක්ෂණය සහ සංගීතය ගැන අවධානයෙන් තමයි ෆිල්ම් එකක් බලන්නේ. ඒ දෙක හොඳ නම් විතරයි ආස හිතෙන්නේ.

      Delete
    4. ලේ පාට හීන :
      එහෙනම් මගේ හිතට අල්ලන්න ඉඩ තියෙනවා වැඩියි. මම කැමරා කෝණ ගැන හිතන කෙනෙක්. හෙහ් හෙහ්

      Delete
  3. දෙන්නටම එක සේ පිස්සු නිසා මම මේ ගැන ඒ තරම් පුදුම වෙන්නෙ නැහැ.. මට මතකයි තරමක පුංචි කාලෙ.. මල්ලි නම් ගොඩක්ම පුංචියි. අපි රෑ හින්දි චිත්‍රපටියක් බැලුවා. නම මතක නැහැ. අයියයි, මල්ලියි ඉන්නෙ. බයිසිකල් රේස් එකක් තියෙනවා. අයියට පදින්න වෙන්නෙ නැහැ.. එයාට මැරයො ගහල කකුල් කඩනවා... මල්ලිට හිටියෙ අමීර් ඛාන් වගේ මතක.. අන්තිමේ අයිය රෝද පුටුවෙ ඉද්දි මල්ලි බයිසිකල් තරඟෙ දිනනවා.. කොහොම හරි එදා ඔය චිත්‍රපටිය බලල මමයි, ලොකු නංගියි, මල්ලියි අඬපු තරම කියන්නෙ අන්තිමේ මල්ලිගෙ ඇඬුම නවත්තගන්න බැරි වුනා.. අම්ම නැගිටල අපි දෙන්නටම දෝස්මුරේ දැම්මා පොඩි එකාව ඉස්සර කරන් චිත්‍රපටි බලනව කියල...

    පහුණු සති අන්තෙ මාසික සිනමා දැක්ම මීගමුවෙ... Hansal Mehtha - City Lights පෙන්නුවෙ.. දුප්පත්කම නිසා මහා නගරයක් මැද ඒ විඳින වේදනාව, පීඩනය දරන්න කොයි තරම් අමාරු වුණාද කියනවනම් මම චිත්‍රපටිය අතරමැද නැගිටලා ආවා.. ඒ වෙලාවෙ මගෙ මානසික මට්ටමත් එක්ක මට චිත්‍රපටියේ වේදනාව දරන්නම බැරි වුණා..

    එන ගමනුත් මං කල්පනා කළේ මේ තරම් වයසට ගිහිල්ලත් දේවල් දරාගන්න මේ තරම්ම අසීරු ඇයි කියල...

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ විඳීම කියලා මැඩම්.... ,ඒ අලියෙක් වගේ ඉන්න මමත් ෆිල්ම් එකකට අනුගතවුනාම නිකම් දෙකේ පන්තියේ එකා. අර වෙනද දෙන පොර ටෝක් මොකුත් නෑ. කඳුළුයි ටිසූයි තමයි.

      Delete
    2. හරියටම හරි මැඩම්...

      සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්තරේට කළින් දවසෙ තමයි King Uncle තිබුණෙ. චිත්‍රපටිය බලල පාන්දර දෙක වෙනකල් පාඩනුත් කරල විභාගෙ ලිව්වා.. ඇති මෙයින් බේරිලා ඉන්නවා ඉස්සර තිබුණු හින්දි චිත්‍රපටි පිස්සුවේ හැටියට...

      Delete
    3. තරු:
      ඔය වගේ විභාගේ අත උඩ , කට උඩ ,බෙල්ල උඩ තියාගෙන මම නටපු නාඩගම්! කොටිම්ම පාඩම් කරන වෙලාවේ මම එකසිය ගානට නවකතාවක් ලිව්වා. හෙහ් හෙහ්... ඒ කාලෙට මට එක හුස්මට පිටු ගානක් ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න පුළුවන්.

      ඔය 'ජෝ ජීතා වෝහි සිකන්දර්' මගත් ඔලුවේ ඇතිකළේ මොකද්දෝ කියන්න බැරි කම්පනයක්. ඔයාට නම් බයිසිකලෙන් වැටුන අය්යා ගැන කම්පනේ.. මට තිබ්බේ අර ගමේ කෙල්ලට කොකා පෙන්නලා, නගරේ 'කෑල්ල' දාගත්ත කොල්ලගේ සිහිය. අර 'පැහැලා නෂා' සින්දුවේ අන්තිමට අයිස්ක්‍රීම් එක වෙන එකෙක් එක්ක බෙදාගෙන කනවා දැකල හදවත පැලිච්ච පොඩි එකා දිහා බලලම කොච්ච්ච්ර සුසුම්ලෑවද? මම ඒ ගැන තැවුණු තරමක් දන්නේ මමම විතරයි අප්පා. පොඩි එකා උනාට මම ඒ දවස්වල මාර 'ටින් ටොන්' රොමැන්ටික්.... හෙහ් හෙහ්...

      Delete
    4. රංගි :
      ආන්න මමත් ඕකට කියන්නේ විඳීම....!! වලේ බැහැල , එරිල, චොර වෙලා , කුඩුවෙලා , ඉල්ලන් කාල කියනවට වඩා ඇත්තටම සිරාවටම ගැලපෙන වචනේ තමයි.

      Delete
    5. මට ඒ තරම් විස්තර මතක නැහැ අනේ... මල්ලි අඬපු එක තමයි ගොඩක්ම මතක... ඔයා මාර ෆිල්ම් ලවර් කෙනෙක් මට පේන්නෙ.. එච්චර දේවල් මතක... ( විස්මයෙන්...)

      මමත් අභ්‍යාස පොත්වල ලියූ නවකතා තුනක් තිබුණා.. එයින් එකක් නැතිවුණා. අනිත් ඒවා නම් තාම ඇති ගෙදර.. හොයල බලන්න ඕනි..

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඒ තරම් විස්තර? මොනවා අහනවද, මට සින්දු ඔක්කොමත් මතකයි. සමහර ඒවා වල කැමරා කෝණ පවා මතකයි. මුනේ තිබ්බ හැඟීම් මතකයි. මතක නැත්තේ ඒ වෙනකොට මගේ වයස විතරමයි. හි හි

      පොත් තුනක්? හෙහ් හෙහ් මම ලිව්වා නවකතා පොත් 13ක්!! මේ තියෙන්නේ ඒ ගැන මම ලියපු සටහන
      http://upekshad.blogspot.com/2013/04/blog-post.html
      දැන් ඉතුරු වෙලා තියෙන්නේ අන්තිමට ලියපු කතාව විතරයි. අනිත් ඔක්කොම යාළුවො/ඉල්ලගත්ත උන් ගල් කළා.

      Delete
  4. මටනං උපේක්ෂා අක්කෙ ස්වප්නයෙන් එන්නෙ හොල්මන් ෆිල්ම් එකක් බැලුවොත් තමයි. නිදල හමාරයි එදාට...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙගොඩහරියේ හොල්මන් එකක් බැලුවත් නිදාගන්න එක එතරම්ම අවුලක් නැහැ. හෙහ් හෙහ්.. මට දැන් කතාවක් මතක් උනා. කියන්නම්කො මට ඔහොම දවසක වෙච්ච වැඩක්.. හෙහ් හෙහ්....

      හැබැයි සිරාවටම බයවෙච්ච එව්වා තිබ්බේ නැහැ කියන්නත් බැහැ. ඒ ඔක්කොටම වඩා හිත රිදුන එව්වා මාව ඇහැරවලා තියාගන්නවා.

      Delete
    2. දෙය්යනේ කියල මටනං දෙගොඩහරියෙ ඕන්නෑ, මහ දවාලෙ බැලුවත් ෆිල්ම් එකේ තිබ්බටත් වැඩිය ක්‍රියේටිව් විදියට පේනව රෑට. ඔක්කොමත් හරි, බයයි කිව්වම රෑ තිස්සෙ අහවලා කෝල් කරල, ඔන්න සුදූ ඔයාගෙ ඇඳ ළඟ කලුම කලු උස මනුස්සයෙක් හිටගෙන ඉන්නව කියනව. හාර්ට් එක පුපුරල මැරෙන්නෙ දවසක බයටම.

      Delete
    3. හෙහ් හෙහ්..
      දැන් ඉතින් මෙහෙමයි. ඔහොම මට කෙනෙක් කෝල් කලොත් නම්

      මුලිම්ම 'සුදු' කියපු ගමන් මම හොල්මන වගේ හැසිරෙන්න ගන්නවා.
      ඊළඟට 'කලුම කලු උස මනුස්සයෙක් හිටගෙන ඉන්නව' කියපු ගමන් මට අමුත්තක් තියෙනවයි? මමත් ඉතින් ඒ ජාතියේනේ !!! බයවෙන්නේ මොටද? ඔන්න සුදුම සුදු සුදුමැලි එකෙක් කිව්වා නම් බයවෙන්න කාරණාවක් තියෙනවා.. හෙහ් හෙහ්

      තේරුනාද දැන්?

      Delete
  5. මන් ලගකදී හොයාගත ලස්සන බ්ලොග් එකක් ...මගෙන් සුබ පැතුම්..!!!

    මටත් ෆිල්ම් එකක් හරි කතා පොතක් හරි කියෙව්වම එක මැවිලා පේනවා..හුග දවසක් යනකන් මන් එකේ ඉතුරු කොටස ගැන උපකල්පනය කරනවා...
    කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කතාව එක හුස්මට කියෙව්වා...ඊලග කොටස ලියන්න ඉකමනින්..

    ReplyDelete
  6. හොද ඔත්තු ටිකක්.............

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඔත්තු? ආන්න දැක්කද මම වගේ දක්ෂ රහස් පරීක්ෂකවරියන් හඳුනාගන්න එක ඔයා වගේ විතරයි තේරිලා තියෙන්නේ. කියෙව්වද මගේ රහස් පරීක්ෂක වැඩ වල පලවෙනි සීරිස් එක?

      Delete
  7. මොන මගුලක් ද මේ, ෆිල්ම් එකක් ගැන ලිඉවොත් මෙයා ලියන්නේ දෙමල ෆිල්ම් එකක් ගැන, මෙච්චර සිංහල ෆිල්ම් තියෙද්දී,. ඔයාලා තමා ෆෙඩරල් ඉල්ලන්නේ, රට බෙදන්නේ ,කොටියට ආවඩන්නේ .. මේකද යකෝ යහපාලනේ

    ReplyDelete
    Replies
    1. මැට්ටා... මේක හින්දි එකක්. දෙමළෙනුත් තියෙනවා.

      ඇයි අනේ දන්නේ නැද්ද මගේ 'පිච්ච සුවඳ' පිස්සුව?? මමත් මේම ඉටියට ඔඳ තමිල් තමා මාතියා.....

      Delete
  8. පුද්ගලිකව මං නං හින්දි ෆිල්ම් බැලෙනවා අඩුයි.ඉංග්ලිෂ් ෆිල්ම් එකක් බලලා ලබන වින්දනයත්,ඔලුවට යමක් වැටෙන හැඟීමත් ඉතාම අඩුවෙන් තමා හින්දි ෆිල්ම්වලින් දැනිල තියෙන්නෙ මට.නමුත් ත්‍රී ඉඩියට්ස්,බ්ලැක්,කහානි,ස්ලම්ඩෝග්.. ආදී චිත්‍රපට එතැනින් පැහැදිලිවම වෙනස් වෙන හොඳ හින්දි චිත්‍රපට.

    ReplyDelete
    Replies
    1. රූපවාහිනියෙන් හින්දි චිත්‍රපටි පෙන්නන්න පටන්ගත්ත අලුත පිස්සුවෙන් වගේ බැලුවට මමත් දැන් බලන්නෙම නැති තරම්.. ඉංග්‍රීසි චිත්‍රපටි වගේම ඉරාන, ඊශ්‍රාෙයල්, බෙංගාලි, ජපන් වගේ වෙනස් සංස්කෘතීන්වල චිත්‍රපටිවලට තමයි දැන් හිත දුවන්නේ... මෑතකත් බැලුවා ලස්සන චිත්‍රපටි කිහිපයක්ම.. හෙමිහිට ලියන්නම් ඒ ගැන විස්තර.

      Delete
    2. වැඩේ කියන්නේ මට 'තාමත්' TV එකෙක් යන එකක් අවුලක් නැතුව බලන්න පුළුවන්. එකම වැඩේ ඉවරයක් නැති ඇඩ්. සමහර ෆිල්ම් වල ඇඩ් හොඳම උද්වේගකර අවස්ථා වලදී. එතකොට නම් රිමෝට් එක කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්න හිතෙන්නේ !

      අනේ ඔව් තරු. මමත් බෙන්ගාලි , තෙලිඟු, ඉරාන්, චීන වගේ ඒවත් බලල තියෙනවා. සමහර ඒවායේ නම මතක හිටින්නේ නැහැ. මේ ලඟදි බැලුවා ඉරාන් එකක්. පුදුම ලස්සනක්. හොයන්න ඕනේ ජාලේ ඒ ගැන. මට හැම සිද්ධියක්ම මතකයි. විචාරයකට ගන්න ඕනේ තරම් දවල් ඒවායේ තියෙනවා. සත්‍ය කතාවකින් හදපු චීනයේ තැපැල් මහත්මයෙක් ගැන කරපු ෆිල්ම් එකකුත් බැලුව.

      මම කලින් කියපු 'නසීම්' බැලුවේ ෆිල්ම් ෆෙස්ටිවල් එකකදී. ඒකෙ බලපු තව ෆිල්ම් එකක් තිබ්බා තෙලිඟු. පුදුම ලස්සනක්. වැඩේ කියන්නේ ඒක කොතරම් වේදනාවක් උනාද කියනවා නම් හරි අමාරුවෙන් තමයි අමතක කලේ. අන්තිමට මට දැන් මොකවත් මතක නැහැ, වේදනාව විතරක් මතකයි.

      ඉංග්‍රීසි චිත්‍රපටි බලපුවා තියෙනවා. හැබැයි ඉතින් ඒවා ගැන ලියන්න ගියොත් මම කොච්චර පුංචිද කියල තේරෙන නිසා වැඩේ පස්ස ගහනවා. බලමු ලියන්න එකක්

      Delete
    3. වැසි දැරිය:
      මමත් කියන්නේ ඒ වගේ චිත්‍රපටි තමයි. හම්බෙන හැම ජරාවක්ම බලන කාලේ දැන් ටිකක් ගෙවිලා. 'කහානි' බලලා මම සතියක් විතර ඒකෙ අග-මුල පෙරලා පෙරලා හිතුවා. ඒ වගේ ලිස්ට් එකක්ම තියෙනවා. එහෙම හිතන්න තියෙන මූවි වලට තමයි මම ආස. මේ බලන්න මේ ලිස්ට් එක
      1. Lunch Box
      2. Akash-Wani
      3. Thaare Zameer Par
      4. Drishyam
      5. Queen
      6. Bombay Talkies
      7. Zindagi Na Milegi Dobara

      Delete
    4. නරක් වෙයි දෙන්නා එක්ක මට සැපයුවා නම් හොඳ චිත්රපටිවල නාමාවලියක්..))

      මට අද තමා පැහැදිලි වුණේ උපේක්ෂා අක්කගෙ මොලේ අමාරුවට හේතුව.ඇයි හත් දෙය්යනේ රිමෝට් එක ඔහොම කාගෙන කාගෙන කාගෙන ගියාම කාගෙ වුණත් මොලේ යහතින් තියේවියැ..))

      කහානි නම් මාර ෆිල්ම් එක නේද.. ක්වින් සහ ඩ්‍රිශ්යම් බලන්න කියා කීප දෙනෙක්ම නිර්දේශ කළත් උපසිරැසි සහිත ෆිල්ම්ස් යූ ටියුබ් එකේ හොයාගන්න බැරි වුණා.හින්දි භාෂාව තාම තේරුම්ගන්න අපහසුයි..

      Delete
    5. මගේ මොලේ අමාරුවට හේතුව එක එක්කෙනා විසින් නවතම සොයාගැනීම් ගොඩේ හැමදාම තියෙන එකක්නේ... මමත් ඉතින් සද්ද නැතුව ඉවසනවා. ඒකත් මම අර ලියපු 'රහස්' ගොඩෙන් එකක්ය කියලනේ කියන්නේ. ( රට්ටු)

      මම නම් කියන්නේ ෆිල්ම් කියන ජාති ලිස්ට් හදාගෙන බලන්න අමාරුයි , මොකද කාලෙන් කාලෙට අලුත් වෙනවා. විශේෂයෙන් එක 'මාරයි' හිතෙන ෆිල්ම් දශකයකින් විතර එතරම්ම හොඳයි කියල හිතෙන්නේ නැහැ. නමුත් සර්වලාලිනවා 'මාර' ඒවත් තියෙනවා.

      ඉංග්‍රීසි ඒවා නම් ගොඩක්ම ලස්සන අදහස් වලින් පිරිලා. මම සාමාන්‍යයෙන් හැමෝම දන්නා ෆිල්ම් ගැන විචාර ලියන්න වැඩි මනාපයක් නැහැ. මොකද අලුතෙන් ලියන් දෙයක් මට හම්බෙන්නේ කලාතුරකින් නිසා.

      ඊයේ 'ඇඩ්රස් නෑ ' බැලුව. විචාරයක් ලියන්න හිතෙනවා. පුළුල් තිරේ බැලුව නම් කියල හිතුන

      ස්තුතියි

      Delete
  9. දෙමළ ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.. අවංකවම ඇහැට කඳුලක් උනපු චිත්‍ර පටියක් බලපු දවසකුත් මතක නැද්ද මන්දා... හිතට වදින කතා බලන්න නම් ඇත්තට ඉංග්‍රීසි නොවන වෙනත් රටවල හැදෙන චිත්‍ර පටි බලන්න ඕනේ.. එහෙම කතාවකුත් ලඟකදී බලන්න බැරි වුණා..

    හැබෑටම මම මේ පහුගිය මාස ටිකේ මොනවද කරලා තියෙන්නේ.. :|

    ReplyDelete
    Replies
    1. ඔය අන්තිම වාක්‍ය තමයි මගේ නම් උත්තරේ මේ කොමෙන්ටුවට. මොකද්ද හලෝ මේ ජිවිතේ තේරුම???

      දැන් පොලවේ පස් කාල පොරොන්දු උනා නේද ලියනවා කියල? දැන් කියයි ඒක අප්‍රෙල් 1 වෙනිදා ජෝක් එකක්ය කියල. හුහ්

      Delete
  10. දෙමළ ෆිල්ම් නම් ගොඩක් කලාතුරකින් බලන්නෙ. ඊට වඩා ටිකක් වැඩිපුර හින්දි ෆිල්ම් බලනවා. වැඩිපුරම ඉතින් ඉංග්‍රීසි තමයි. ආ ඊට අමතරව පහුගිය කාලෙ මලයාලම් එව්ව ටිකකුත් බැලුවා.. :)

    හැබැයි මේ පෝස්ට් එක කියෙව්වම නම් මේ ෆිල්ම් එක බලන්න ආස්සාවකුත් ඇති වුණා. මං ඔය ගොඩක් ඒවා බලල ඉකි ගහල අඬන සීන් එකක් තියේ.. :P ඒ වගේ සීන් නෑනෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට ලිව්වොත් ( බැලීමේ ෆ්රිකුවන්සි එක)
      දෙමළ < හින්දි < ඉංග්‍රීසි

      ඉකිගහන සීන් නේද? මම මුලින් ලියල තිබ්බ කොටස බැලුවේ නැද්ද අනේ? කොටිම්ම අඬන්න වත් බැරි වෙන විදියට හිරවෙනවා. මම චණ්ඩියෙක් මළාම වැඩියෙන්ම දුක් උන දවස් වෙන්න ඇති. අම්මේ එහෙම දුක් කන්දක්!! තාමත් ඒ කම්පනය අඩු වෙලා නැහැ. සත්යාට මම තවමත් හිතින් ප්‍රේම කරනවා එකසිය ගානට. කොටිම්ම එයාගේ කෙල්ලවත් දුක් උනේ නැහැ. මමයි අක්කයි නින්දක් නැතුව දුක් උනා

      Delete
  11. ................ :)

    ඔයා පරන පෝස්ට් ටික ආයිත් බලන්න දාපු එක හොදයි.....

    ඔයයි මල්මියයි දෙන්න එක්කම පොල්ලෙම් ගැහුව වගෙනෙ වහල දැම්මෙ

    ReplyDelete
  12. මෙන්න මෙයා හොරෙන් හොරෙන් ඇවිත් යනවා...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...