Monday, April 4, 2016

263. ජෙලි - 01




මේක තමයි මම මෙතෙක් කරලා තියෙන මරි මෝඩම , අන්තිම පල් මෝඩ වැඩේ!

එත් ඉතින් ඒ වෙලාවේ හැටියට මට කරන්න වෙන යමක් තිබ්බේ නැහැ කියන එක හැමවෙලේම නඩු හොයමින් ඉන්න හෙලේනා නාකිච්චිට උනත් යසට තේරෙන්න පුළුවන්.

මොකද මට 'විල්ෆ්‍රඩ්', මේ නාකි උන්දා මුණගැහෙනකොට මම හිටියේ අලීම අලි අමාරුවක වැටිලා හින්දා මට ඉත්තේරුවෙන්ම සිද්ද උනා උන්දැගේ ගෙදර යන්න වෙන විදියට පුළුවන් දහන්ගැට ඔක්කොම දාන්න.

ඒ මොහොතේ මම හිටියේ මගේ මල්ලිගේ ; අපෝ ඒ සෝමාරි එකා මතක් වෙනකොටත් මගේ ඇඟේ මාළු නටන එක වෙනම කතාවක්; ඔලුව පැලෙන්න වැඩක් සිද්ද කරලා හින්දා මට ඉක්මනින්ම ඕනේ කළා හැංගෙන්න තැනක්. නගරයේ පොලිසියට උනත්  ;කොටිම්ම ෂෙරිෆ් ටවත්; සැකයක් හිතෙන්නේ නැති පොඩ්ඩක්වත් මගෙත් එක්ක ඇයි හොඳය්යක් නැතිය කියල හිතෙන , කොටිම්ම මේ නාකි විල්ෆ්‍රඩ්ගේ වගේ ගෙයක්!

කිසිම විදියකින් ගෙදරකට වැද්ද නොගන්න, ලැවූ ගින්නක් ආවත් හොයල බලන්නේ නැති කාන්ඩේ උන් අපේ නගරයේ ඉන්නේ දෙන්නයි. ඒකෙන් එකෙක් තමයි මේ විල්ෆ්‍රඩ් නාකියා කියන්නේ. ඉතින් එහෙව් තැනක, මම වගේ එකෙක්ව අපේ අම්මලා නම් කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ  නැති බව මට විස්වාසයි.

මම පුළුවන් චාටු සේරෝම කියල පස්සෙන් වැටුනත් මේ නාකි මනුස්සයා වෙනදා වගේම වෘකයෙක් වගේ කඩන් පැන්නට , මම හීන් සීරුවේ උගේ ඇස්දෙකට අහු නොවී ගෙට රිංගාගත් එකම ඇති මගේ සුවිශේෂී හැකියාවන් ගැන වරු දෙක තුනක් දේශනාවක් පවත්වමින් ඉස්කෝලේ ගතකරන්න.

තාත්තගේ තාත්තා උනාට විල්ෆ්‍රඩ් නාකියා ගැන අපි කවම කවදාවත් ගෙදර කතා වෙලා තිබිලත් නැහැ, ඊටත් අම්මා කියන විදියට ඌ නිකම්ම නිකන් 'මිනීමරු' නාකි පිස්සෙක්! ඇත්තටම කියන්න, මේ මොහොත වෙනකල්ම මම මේ 'මිනීමරු' කියන කොටස ගැන කිසියම්ම හෝඩුවාවක් දැනගෙන හිටියේ නැහැ කියල සහතික කරන්න පුළුවන්.

ඒ උනත් මෙහෙම හෙනගෙඩියක් මම බලාපොරොත්තු උනේ නැහැ.



**************************

හැම මුල්ලකම තිබ්බේ කෙලවරක් නැති භයංකාර අඳුර! කොටිම්ම මට මගේ අඩිය හොල්ලගන්නවත් විස්වාසයක් තිබ්බේ නැහැ. මම කලේ බිත්තිය දිගේ දුවන අතක් පිහිට කරගෙන යාන්තං කුස්සිය හොයාගත්ත එක විතරමයි.

ඒ වෙනකොටම මම හිතන්නේ සෑහෙන වෙලාවක් ගතවෙලා.

මට ඇහුනා විල්ෆ්‍රඩ් ගේ බර අඩි පහල ගබඩා කාමරේ ඉඳන් මහා සද්ද කරගෙන ඉහලට එනවා. ලි තරප්පු පෙළ දිගේ 'දඩ දඩ' ගගා ආපු සපත්තු සද්දෙට මට පුළුවන් උනේ දර දාන උඳුනේ මුල්ලකට පැනගන්න තරම් වෙලාවක් ගන්න විතරමයි.

කුස්සියේ තිබ්බ බඩු මේසෙන් බිමට දාන ගමන් විල්ෆ්‍රඩ් තඩි වලහෙක් වගේ ගොරවන්න උනා. ඔව්... උගේ කිසියම්ම පිරිසිඳුකමක් නැති රැවුල දෙපැත්තෙන් එන ඒ ගොරහැඩි සද්දයට මම බය උනා තමයි, ඒ උනාට මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම උඳුනේ පුළුවන් තරම් ඇතුලට වෙලා ගුලි උනේ ඒ වෙනකොට ඒ උඳුන පාවිච්චි කරනවා කියල කිසිම විදියක හෝඩුවාවක් මට තිබ්බේ නැති නිසාමයි. සැහෙන වෙලාවක් කුස්සියේ බඩු පෙලරමින්, කාටදෝ සාප කරමින් උන්නු විල්ෆ්‍රඩ් එකපාරටම ආපහු දිව්වා...

මම උඳුනෙන් එලියට ඔලුව දාල බැලුවේ බාග වෙලාවට විල්ෆ්‍රඩ්ට පිස්සු වැටුනද දන්නේ නැති හින්දයි.

යාන්තං අඳුරට මගේ ඇස්දෙක හුරුවේගන ආවා විතරයි. එතකොටම තමයි මම දැක්කේ මම මෙච්චර වෙලා වාඩිවෙලා උන්න උඳුන ඇතුලේ තිබ්බ දේ!

කිව්වට විස්වාස කරන්න, මම මෙතරම් 'වලස් බෙරි' දැකල තිබ්බේ නැහැ. අපේ අම්මගේ පෙන්නන්නම බැරි, එපාම කරපු පැලැටි ලැයිස්තුවේ වලස් බෙරි තිබ්බ හින්දම කියනවා නෙවෙයි, ඒවා මල්ලිට කවලා ඌ දවස් තුනක් තිස්සේ මරණ මංචකයේ තියපු එකා විදියට මට අමතක වෙන්න විදියක් ඇත්තෙම නැහැ වලස් බෙරි වල තියෙන භයානක බව.

ඉතින් එහෙම වලස්  බෙරි  කකුල තියන තියන තැන විතරක් නෙවෙයි, දකින දකින හැම තැනම තියෙන මේ නාකි මනුස්සයාගේ ගෙදර අත්භූතයි කියන එක මට නොතේරෙනවා නම්  මට අදම මොලේ පරික්ෂා කරවගන්න වෙනවා, ඔව් මේ දැන්ම!

****************************************
විල්ෆ්‍රඩ් හිටියේ බරාදයේ කෙලවර තිබ්බ ලොකු කාමරේ. කාලෙකට කලින් ඒක විසිත්ත කාමරයක් විදියට යොදාගන්න ඇතිය කියල හිතන්න පුළුවන් වෙන්න තිබ්බ එකම සාක්ෂිය තමයි වැරහැලි වෙච්ච සෝපාව. ඒ සෝපාවේ පාටක් හොයන්න බැරි හින්ද වෙන්න ඇති හැඩයක් හොයාගන්න බැරි වෙන්න නානාප්‍රකාර භාජන වලින් පිරිලා තිබ්බේ. වැඩිපුරම තිබ්බේ තඹ හැලි. මට පිටුපාලා වාඩිවෙලා විල්ෆ්‍රඩ් දුම් දාන තඹ හැලියක් ලොකුම ලොකු හැන්දකින් හැඳි ගාමින් උන්නා.

මුළු ගේ පුරාම තිබ්බ කළුවරට මේ වෙනකොට මගේ ඇස්දෙක හුරුවෙලා තිබුන හින්දා මට විල්ෆ්‍රඩ්ගේ මේ අමුතු වැඩේ කරදරයක් නැතුව බලාගන්න පුළුවන් විදියට බරාදයේ පැත්තකට වෙන්න පරණ ලටපට කන්දක්  තිබ්බා.

වතාවක් දෙකක් ඔලුව දෙපැත්තට වනමින් කාටදෝ 'සට පට' ගාමින් සාප කරනවා ඇහෙනකොට දුම් දාන හැලිය දුම් දමන්නේ උණු වතුර හින්දා කියල මට වැටහුනේ විල්ෆ්‍රඩ් ලොකු ජෝග්ගුවෙන් ආයෙමත් වතුර පුරෝනකොටයි.

"...... දෙය්යන්ගේ නාමෙට.... ඔව්... මේ වතාවේ වත්.... ඔව්...."

එහෙම කියන ගමන් කන්නලව් කරපු වෙව්ලන අත් වලින් , දිරච්ච සෝපාවේ තිබ්බ තඹ භාජනයක් අතට ගත්ත විල්ෆ්‍රඩ් මෙතෙක් වෙලා හැඳිගාමින් හිටපු හැලිය ඇතුලට දමාපු ජෝග්ගුවෙන් මොකද්දෝ දුම් දාන දියරයක් ඒ භාජනයට පිරෙව්වා. ඒ එක්කම ඒ දියරයේ සුවඳින් මුළු කාමරේම විතරක් නෙවෙයි බරාදයත් පිරිලා උතුරලා ගියේ මගේ සර්වාන්ගයේම ලොමු දහගන්වමිනුයි.

ඒ සුවඳ එතරම්ම කර්කශයි!

මට ඔක්කාරෙට ආවේ නැතත් පපුව පුරාම පැතිරිලා ගියේ මහා අමුතු පාකරන සුළු මත් බවක්. ආපු කැස්ස වලක්වා ගන්න මම කට තද කරලා වහ ගත්තේ නැත්තම් විල්ෆ්‍රඩ්ගේ අතටම අහු වෙනවා සිකුරුයි!

තඹ භාජනයේ කට ළඟටම පිරෙව්ව විල්ෆ්‍රඩ් ඊළඟට කලේ මහා අනර්ඝ පුජා භාණ්ඩයක් ගෙනියනවා වගේ ඒක අරගෙන ගිහින් කාමරේ බිත්තියට හේත්තු කරලා තිබ්බ මේසය උඩින් තියපු එකයි.

"... ජෙලටින්.. ජෙලටින්... කෝ මේ...."

විල්ෆ්‍රඩ් මම හිතුවේ වත් නැති වෙලාවක ආයෙමත් හැරුන හින්දා මම හිටපු තැනම ගුලි වෙලා වාඩි උනේ නැත්තම් මේ මන්තර කාරයා මාව ජෙලටින් කරන්න ඉඩ තිබ්බ බවට මට විස්වාසයි.

ආයෙමත් ටික වෙලාවකින්...

"....... ජෙලි... ජෙලි... දුම් දමන
දෙන්න ඔබේ අත
ගෙන යන්න මා මෙහි සිට
විවර කරන්න මේ දොරටුව...."

දැන් නම් මගේ ඉවසීමත් කුතුහලයත් මේ නාකි මනුස්සයා නැති කරලා හින්දා මම ආයෙමත් උන්නු තැනින් ඔලුව එලියට දාල බලාගෙන උන්නා. මම මගේ ඇස්වලින් දැක්ක නිසා ඇරුනම, මේ දර්ශනය වෙන කෙනෙක් කිව්වා නම් විස්වාස නොකර ඉන්නම තිබ්බ.

විල්ෆ්‍රඩ්ගේ අර අමුතු දියරය තිබ්බ තඹ භාජනයෙන් ඉහලට ලොකු දුමාරයක් නැගිලා , ඒ දුමාරය මේසය හේත්තු කරලා තිබ්බ බිත්තියේ හයිකරලා තිබ්බ දැවැන්ත වීදුරුව වසාගෙන ඉහලට ගිහින් තියෙනවාත්, මතුරන විල්ෆ්‍රඩ් ගේ අත්දෙක රවුමට යන හැඩේටම ඒ දුමාරය ගමන් කරනවාත් මම බලාගෙන හිටියේ පුදුමෙන් ගල් ගැහිලා!

 "....... ජෙලි... ජෙලි... දුම් දමන
දෙන්න ඔබේ අත
ගෙන යන්න මා මෙහි සිට
විවර කරන්න මේ දොරටුව...."

***********************************
"මොකක්? ජැක් ඔයාගේ ඔලුගෙඩිය නරක් වෙලාද? දෙය්යන්ගේ නාමෙට මේක ඔයාගේ මැජික් කතා කියන වෙලාවක් නෙවෙයි. විහිළුවක් උනත් සීමාවක් තියෙන්න ඕනේ.. කරුණාකරලා ඇත්ත කියනවා හොඳයි!"

අම්මගේ ඒ නිවේදනය ඇත්තටම ඇත්ත රතු නිවේදනයක්ය කියන එක මට අමුතුවෙන් කියන්න ඕනේ උනේ නැත්තේ ඒකෙ තිබ්බ උච්ච ස්වරයට ෂෙරිෆ් පවා උඩ විසිවෙච්ච හින්දමයි කියන්නත් අමාරුයි. ඇගේ කල්කිරියාවෙන්ම මම දන්නවා ඇගේ අවසන් රතු නිවේදන වලට යොදාගන්න වාක්‍ය සහ නිවැරදි උච්චාරණයන්.

"ඉතින් අම්මේ... ඇත්තටම උනේ ඕකයි...අනේ අම්මේ විස්වාස කරන්න....."

අම්ම මගේ දිහා බලාගෙන හිටියේ මේ දැන් තමන්ගේ මිවදේ උදුරාගත්ත අපි දිහා බලන් ඉන්න තරහෙන් පිපිරෙන වලහෙක් වගෙයි. මගේ වචන ඔක්කොම ඉවර උනා.

ෂෙරිෆ් ඉනේ අත්දෙක ගහගෙන, නළල රැලි කරගෙන බලාගෙන ඉන්නවා.

"මේ.. ඉලන්දාරියා...... මම මේ අන්තිම වතාවටයි අහන්නේ.....
මොකද වි...ල්...ෆ්‍ර..ඩ් ට උ....නේ??? මට ආයෙත් අහන්න ඉඩතියන්න එපා. ඔයාගේ අම්මගෙන් කලින්ම්ම මට අවසර ලැබිල තියෙනවා මේක දැනගන්න ඕනෙම දෙයක් කරන්න මට පුළුවන් කියල! තේ....රුනාද!!!...."

බීප් බීප්.. බීප් බීප්....

"....ඔව් ඔව්... ඔෆිසර්... මිනිමරුමක්ම නෙවෙයි, අතුරුදහන් කිරිල්ලක් ගැන චෝදනාවක් තිබ්බා. නමුත් ඔප්පුකරගන්න බැරි උන් හින්දා මිනිහා නඩුවෙන් නිදහස් උනා.... නෑ නෑ... තමන්ගේම දුව.. ඔව්.. මේ ගමේ හැමෝම සාක්කි දුන්නත් ඔප්පුකරගන්න බැරි උනානේ. ඉතින් නිදහස් කළා... ඔව්.. ඊට පස්සේ කිසිම කෙනෙක් ආවේ ගියේ නැහැ... ඔව් ඉතින් කවුද දන්නේ... ඔව්..ඒවා කියන්න බැහැ.. අපිත් හිතන්නේ මේ ළමයා සම්බන්ධයි කියලම නෙවෙයි.. සමහර වෙලාවට විල්ෆ්‍රඩ් කියන්නේ සිරියල් කිලර් කෙනෙක්ද දන්නේ නැහැ... ඊටත් මේ පොඩි දරුවෙක්?? නෑ නෑ..  මේ ළමයා ගැන සහතිකේ එයාගේ අම්මගෙන්ම අහගන්න පුළුවන්.... හරි හරි.... ආයෙමත් කතාකරන්නම්කො...

මොකද්ද මම කියා කියා හිටියේ....

ඔව්.... මේක බරපතලයි ඉලන්දාරියා.... මොකද වි...ල්...ෆ්‍ර..ඩ් ට උ....නේ???"


මම ඒ වෙලාවේ පුළුවන් නම් දුවනවා. නැත්තම් මේ පල්ලමෙන් බිමට පනිනවා. ඒ උනාට මම ඊට මොහොතකට කලින් දුටුව දර්ශනෙන් ගල් ගැහිච්ච ගමන්මයි.

ඒ මදිවට මොකද්ද මේ උනේ?

****************************************


to be cont....        ජෙලි 02

12 comments:

  1. ආ.. හරි.. කියෙව්වා.හෙට එලි වෙනකන් ගැට ටික ලෙහන්න ඕනෙ... පව් බං මගෙ මොලේ... ඔන්න අනිත් ටික ඉක්මනට දාහං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොණ්ඩේ පිරන්නේ නෑ ?? ඒකයි ඔතරම් ගැට..

      අන්න ඉතුරු ටික දැම්ම. ලෙහිලද බලමු

      Delete
  2. Replies
    1. ඒක මම හැමදාම ගිහින් බලල කොමෙන්ටු දාන බ්ලොග් එකක්. නියම ටැලන්ට් එකක් නේද?! ස්තුතියි ඔත්තුවට

      Delete
  3. පට්ට පට්ට... මීළඟ බ්ලොග් සම්මාන උලෙළේ හොඳම පරිවර්තනය වෙන්නත් පුළුවන් මේක...!

    ReplyDelete
    Replies
    1. මගේ මොකක්?? මේක පරිවර්තනයක් නෙවෙයි හප්පේ.... ස්වතන්ත්‍ර කෙබරයක්

      Delete
  4. කෝ බලමු ඉතිරි ටිකත්, හැබැයි හෙටම දාන්න ඕනේ.. හෙටින් පස්සේ ආයේ ලබන සතියේ තමයි බලන්න වෙන්නේ.. එතකොට ආතල් කැඩෙනවා..

    ReplyDelete
    Replies
    1. ආතල් කැඩුණු පැතුමා එහෙනම් ඉතිරි ටිකත් බලන්නකෝ වෙලාව ලැබෙන විදියට. ඒ මොකෝ... ගෙදර බ්ලොග් මුක්ත කලාපයක් කරලද හාමිනේ?

      Delete
  5. පරක්කු වෙලා හරි ආවේ සම්මානයට සුභ පතන්න කියලා....

    ReplyDelete
    Replies
    1. ආ... එන්ට එන්ට.. ස්තුතියි ඈ... රට්ටු නම් බනිනවා එකසිය ගානට! හෙහ්
      ඔය සම්මාන කතාව රාජ රහසක් වගේ රකින්ට හොඳේ?

      Delete
  6. සහ්.. ලියන්න ලියන්න ඉතුරු ටික..!!

    ReplyDelete
    Replies
    1. ලිව්වා. කියෝලා බලල නිවාඩුවේ බනින්න

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...