"චුටි නංගි....."
අඳුර කපාගෙන අක්කගේ වචන මට ඇහෙන්නේ ඇඳේ එක එක අතට පෙරලෙන අතරේ.
"හ්ම්ම්..."
"නින්ද යන්නේ නැහැ හලෝ"
"හ්ම්ම්..."
මමත් හුස්මක් හෙළුව.
මට අඳුරේ උනත් අක්කගේ ඇඳේ ඉඳන් ආපු හුස්මේ සද්දෙත් ඇහුනේ ඒ වෙනකොට කෑලි කපන අඳුර වගේම, අල්පෙනිත්තක් උනත් බිමට වැටෙන නිහඬතාවය රජකරන වෙලාව හින්ද.
මට වෙලාව පෙනුනේ නැහැ. කොටිම්ම මට වෙලාව ගැන නිච්චියක් තිබ්බෙත් නැහැ. නින්දට ආවේ හරියට ඒකට සැරසිලා නොවන හින්දද මන්ද නිදිමතක් තිබ්බෙම නැහැ.
ඒ හැමදේකටම වඩා හිත ඔද්දල් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති දෙන්නම ඇඳට ආවෙත් කකුල් අද්ද අද්දා, ගෙදර හැටියට 'නීතිවිරෝධී' විදියට. ඒ වෙනකොට නීතිවිරෝධී කියන වචනෙත් අපි දෙන්නට පෙනුනෙම අපිත් එක්ක අරෝවක් තියෙන වචනයක් වගේ.
පපුව පැලෙන දුකක් දැනෙනකොට, නින්දක් දැනෙයිද කෙනෙක්ට? ඊටත් වයසක නොවෙන හිතකට??
"පව් හලෝ..."
"හ්ම්ම්..."
මගේ උගුරත් පැටලෙන්න වගේ ආව හින්දා මම කතාකලේම නැහැ. හුමිටි තිබ්බ විතරයි.
'විකාර... ඌ මැරයෙක්... මිනිමරුවෙක්... ඌට එහෙම වෙච්ච එකමයි හොඳ. ඒ වගේ උන් හින්දා තමයි හොඳ මිනිස්සුන්ට ජිවත් වෙන්නත් බැරි'
මගේ ඇතුලේ හිටපු එකෙක් මගේ කන්දෙක දෙදරන්න කෑගහුවම ඇතුලෙන් ආපු දෝන්කාරය අන්තිමට 'කුඋං' ගාමින් ඉවර උනා. ආයෙමත් අඳුරේ ගිලුණු නිහඬ රාත්‍රිය. එකම කාමරේ අල්ලපු ඇඳේ නින්දක් නැතුව නොසන්සුමට ඉන්නා අක්කා ආයෙමත් සුසුමක් හෙළනවා ඇහුනා.
"කමක් නැහැ හලෝ. ඇත්ත එකක් නෙවෙයි වෙන්න ඇති. එහෙම උනත් සත්‍යා හොඳ එකෙක් නෙවෙයිනේ. දැන් නිදාගම්මු"
