Thursday, January 14, 2016

මගුලේ යෑම - 3



දෙය්යනේ කියල ඔෆිස් කතාවක් කියන්නයි හදන්නේ අපේ සියදෝරිස් සහ සයිමොන් යුවල නැතුව. ඒ හින්ද සාවධානව අසාගෙන ඉන්ට පුළුවන් වෙයි, නැද්ද? ඒ උනාට අර කියන මොකද්දෝ එකක් දාන්න වෙනවා, වෙන මොකවත් හින්ද නෙවෙයි මගේ නම්බු කටුව ගැන හිතල

Disclaimer : මේවා තැන තැන ගිහිල්ල කියනවා එහෙම නෙවෙයි, කියෝලා හිතේ තියෙන දෙයක් මෙතනම ලියල ගිහින් බිල්ලෝ වගේ ඉන්නවා මිසක්

මගේ ඔෆිස් ඔක්කොම වගේ පිරිලා තිබ්බේ අපි වගේ උන්ගෙන් කියල කිව්වොත් විස්වාස කරන එකෙක් නැහැ. ඒ කියන්නේ රටේ ආර්ථිකේ මහා බරක් අදින වටිනා පෞද්ගලික අංශය කියල කියන්නේ මේ වගේ උන්ද?? මොකද්ද මේ රට?? මොකද්ද මේ ජිවිතේ?? ඔන්න ඔහොම හිතල හිත අමාරු කරගන්න කාරියක් නැහැ. මම ගියපු නැති ඔෆිස් ඕනේ තරම් මේ ලංකාවේ තියෙන හින්දත්, ඊටත් වඩා සමහර ඔෆිස් වලින් මම අස්වෙලා නිසාත් ඔයාලට පුළුවන් තවදුරටත් සතුටු වෙන්න, නැද්ද?

දැන් ඉතින් මගුලේ යන කතාවක් කියන්න ඇවිත් මෙතන මගුලක් කතා කරනවා, නැද්ද?

ඔන්න එකෝමත් එක ඔෆිස් එකක සතුටින් ඉන්නකොට.... ඒකෙ හිටපු සිනියර්ම එකෙක් කසාද බඳින්න තීරණේ කළා. අපි ඉතින් මක් කරන්නද? උගෙනේ අදහස. හැබැයි ඔක්කොමත් හරි, මූ නොදන්නා කමට වස වැරද්දක් කළා. ඒ තමයි මමත් ඇතුළු ගොඩක් දෙනෙක්ට උගේ 'ඇට්ටෝන්' එකට ආරාධනා කිරිල්ල. ( ඔය වචනේ මම හොයාගත්තේ මොකක් හරි පොතකින්. මට හරියට මතක නැහැ. කොහේ හරි ගමක් ගැන කියල තිබ්බ කතාවක.)

දැන් ඔක්කොම ඔළුගෙඩි ටික ගණන් කරලා බැලුවම බස් එකකට සෙනඟ ඉන්නවා. අනිත් එක හෝම් කමින් එක තිබ්බේ කුරුණෑගල තිබ්බ උගේ ගෙදර. සෑහෙන දුරක් යන්නත් ඕනේ. ඉතින් පුරුදු පරිදි අපේ සංවිධායක මණ්ඩලේ පටන් ගත්ත වැඩේ එකලාසයක් කරන්න.

කවදත් වගේ වැඩේ ලීඩ් කලේ 'ට්‍රැවිස්'. ඒ තමයි අපේ අකවුන්ටන්ට් පොර. ඌට ඉතින් වැඩක් කියල දෙයක් තියෙන එකක්ද? ඉස්සර ඌට කට්ටිය බයිට් එක දුන්නේ පඩි දවසට ඉලක්කම් ටික එකතු කරනවට තමයි ඌ අරගෙන තිබ්බේ කියල. ඒ තරමට ඔෆිස් එකේ බැලුවොත් කොයි වෙලෙත් පිස්සුවක් නටාගෙන තමයි හිටියේ.

Wednesday, January 13, 2016

243. එයා




අපි දෙන්නා හිටියේ ගුලි වෙලා...

එකට නෙවෙයි. වෙන වෙනම.

දුම් දමන කෝපි වලින් නැගෙන මනස් කලම්බන වායුවක් නිතරම මේ උඩුමහලේ තියෙන නිසා මට මෙතන හිසරදයක් වෙච්ච කාලෙකුත් තිබ්බත් කවුරුත් වගේ මමත් කාලයට අනුගත වෙලා ඉගෙන ගත්ත, එහෙම මොලේ කොලොප්පන් වෙන ජාතියේ සුවඳවල් හොයාගෙන එන්නේ ලස්සන කෙල්ලොය කියල. ඉතින් මමත් ඒ මත්විල්ලට ඉබේම හුරු උනා.

එයා හිටියේ මගේ මේසයට ඉතා ආසන්නයේ. ඒ කියන්නේ මේස දහයක් පහළොවක් විතර ළඟින්. මුළු ඇඟම ආවරණය වෙන්න හිතාගෙන ඈ ඇඳලා තිබ්බ කබාය , ඊට යටින් තිබුණු අගේ සුන්දර සිරුර පිළිබඳව මගේ පරිකල්පනය අඩපණ කරන්නට සමත් උනේ නැහැ.

මම වගේම එයාත් හිටියේ අත්දෙකේ අල්ලවල් එකට පිරිමදිමින් හින්දා අපේ ඇස් එකිනෙක පැටලෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ.

එකවරම ඒ කදම්බය හරහා ඇවිදගිය අයෙක් විසින් එයාව සැපපහසු සෝෆාවේ කොනකට තල්ලු කළා වගේ මතකයි. මගේ දුරබනුව නාද වෙන්නට ගත්තා.

'මරියා.... අපෝ අද නම් එපා කෙල්ල... මම දැන් බොහොම ආසන්න අවස්තාවක ඉන්නේ..'

මම දුරබනුවට ඇති තරම් වෙව්ලන්නට ඉඩ දීලා මේසයේ කොනකටම තල්ලු කරලා දැම්මා.

කෝ මේ සුරංගනාවී?

ඒ වෙනකොට එයා තනිවම මෙනුපතක් අතර එයාගේ පුංචි ඇස් උඩටත් පහළටත් යවමින් උන්නා. වෙනම ගත්තහම නම් විශේෂයක් කියන්න නැති ඇස් දෙකක් උනත් මට ඕනේ කළා විශේෂත්වයක්. ඉතින් මම හිතුව ඒ ඇස්වල යන්තමට වගේ තවරලා තිබ්බ මස්කාරා ඉතාම සිත්ගන්නාසුලුයි කියලා.

'දෙවියන් අතරට යන පාපියෙක් උනත් මුලින්ම්ම යන්න ඕනේ.. ' එහෙමයි මම හිතුවේ.

ඉතින් මම මගේ කොණ්ඩයට ලෙලදෙන්න ඉඩදෙන ගමන්ම උනත් මගේ මේසයෙන් එයාගේ මේසයට පාවෙලා ගියා. ඒ අතරතුරේ මගේ කකුලට කම්පනය උන පුටුවක් නිසා එයා බලමින් හිටපු මෙනුපතෙන් හදිසියේම මුහුණ මගේ දෙසට හැරෙව්වා. එකපාරටම බය උනා වගේ පෙනුමක් ආවත් එයා ඉක්මනටම ඇස්දෙක ඉවතට හැරෙව්වා.

Tuesday, January 12, 2016

242. සරසුල






කම්පනය වන
සරසුලක් මම
කුමන සංඛ්‍යාතයක් වුව
උඹ -
නොපෙනන තැනදී පවා සෙලවෙන

Friday, January 8, 2016

241. ඉහ ඉද්දර මම ඉන්නම්..........




මේක මේ ඔෆිස් කතාවක්.

එහෙම නැතුව ශාස්ත්‍රීය ලිපි හරි වැඩදායක ලිපි හරි කියවන්න බලාගෙන ආපු අය අන්න අර බංකුවෙන් වාඩිවෙලා ඉන්ට.... ( ටිකට් දෙන කෙනා තාම ආවේ නැහැ)


මේක මට හදිස්ස්යිමේ මතක් උනේ අර අම්බලන්ගොඩයා ඔෆිස් එකේ නිදාගන්න කතාවක් කියපු නිසා.


ඔන්න මම මේ ඔෆිස් එකට කලින් වැඩකරපු ඔෆිස් එකක් තිබ්බ. ( චඃ... එකෝමත් එක රටක කියන්න බැරි උනානේ. එක්කෝ කමක් නැහැ.. එකම රටයිනේ මේ ඔක්කොම සිද්ද වෙන තියෙන්නේ) මේ ඔෆිස් එකේ වැඩකරපු උන් ඇත්තටම කොටස් දෙකක් හිටියා. පිස්සෝ සහ පිස්සු නැති අය ? අපෝ නැහැ.... ඔක්කොම හිටියේ පිස්සෝ. කොටින්ම අල්ලපු රටෙන් අපිට ලොක්කෝ විදියට ඇවිල්ල හිටියෙත් පිස්සෝ ජාතියක්. හිටියේ වවුලන් සහ කොවුලන්.

ඒ කියන්නේ වවුලෝ නම් ඉතින් කියාපු ගමන් තේරෙනවනේ... උන් දවල් දවසේ කෙසේ වෙතත් රෑට තමයි ඇහැරිලා ඉන්නේ. උන් වැඩ කලේ ශිෆ්ට් එකට. කොවුලෝ නේද? ( මම හිටියේ ඒ කොටසේ.. අප්පේ කියනකොටත් දැනෙන ආඩම්බරේ) ආ නෑ නෑ.. කොවුලෝ කියන එකේ ඇත්තම අදහස ගායනයට කිසිම සම්බන්ධයක් නැහැ. කොවුලෝ එන්නේ අවුරුදු මාසේ හරි දවස් කීපයකට හරි නේ. ආන්න ඒ අදහසින් තමයි කොවුලෝ කියන්නේ. ඒ කියන්නේ හිටපු ගමන බිසී වෙනවා මිසක්ක එතකල්ම කරන්නේ බුද්ධිය වර්ධනය වන කැරම් ගැහිල්ල, 304 හෝ ඕමි ගැහිල්ල වගේ සාමුහික ක්‍රියාකාරකම් කරමින් තමයි ජිවත් උනේ.  ( ඒවා පළදුන්නේ පස්සේ.. ඒක වෙනම කතාවක්)



ඔය කොවුලන් අතර ඉපදුනත් මම තිබ්බෙම වවුලන් එක්කම ගතකරන නැකතක්. ( කුඩැල්ල කෝට්ටේ තියන්න බැහැ කියනවනේ. කොයි වෙලෙත් මෙට්ටේට බහිනවා!) ඉතින් මම කොවුල් රාජකාරි නැති වෙලාවට ( එහෙම වෙලාවල් තමයි වැඩිපුර තිබ්බේ) වවුලන් එක්කම තමයි ජිවිතේ. අපිට වැඩේ නෙවෙයි වවුලන්ට ශිෆ්ට් එකක් තිබ්බ. ඒ වගේම බොස්ලා හිටියා. උන් බොහොම තදයි. ( කොච්චර තදද කියනවා නම් එක බොස් කෙනෙක් කලිසම පවා ඇන්දේ බඩ මැද්දෙන්) අපේ රටේ ලොක්කා ( ඒ කියන්නේ කන්ට්‍රි මැනේජර්) උන්නේ අල්ලපු රටේ එකෙක්. වැඩිය කතා නොකරන, නමුත් කතා කරන්න ගත්තොත් ඉවරයක් නැතුව කියෝන, අන්තිමට ක්‍රිකට් වලින් කෙලවර වෙන කෙනෙක් තමයි මේ අපේ රටේ ලොක්ක.

රටේ ලොක්කගේ නිල කාමරේ හැදුවේ පස්සේ. ඒකත් ඒ මනුස්සය ඔහුගේ රටට ගිහින් එන්න ගියපු වෙලාවක තමයි හැදුවේ. ඒ වෙනකොට අපේ කියුබිකල් එහෙම ගහල ඉවර වෙලා තිබ්බ නිසා අපේ කියුබිකල් වලට ගොඩක් එහාට වෙන්න ලොකු ඉඩක් ඉතුරු වෙලා තිබ්බේ. අපි හැමෝම ඉතින් හොරෙන් හොරෙන් ඕමි ගහන්නේ ඔය ඒරියා එකේ. ඊට අමතරව ඔය වවුලෝ එහෙම නයිට් ශිෆ්ට් එක කරනකොට වැඩිපුරම රාජකාරිය කෙරෙන්නේ ඒ පළාතේ. ඒ කියන්නේ එතන කාර්පට් එකත් අලුත් සහ පිරිසිඳු නිසා සහ කවුරුවත් එන්නේ නැති නිසා වවුලෝ සැතපෙන්නේ ඔතන. උන්ගේ ලොක්කෝ පවා ඒක දැනගෙන හිටියේ නැත්තේ කොවුලෝ වෙච්ච අපේ කියුබිලක් අස්සේ එයාල එන්නේ නැති හින්ද. ( එයාලට පොඩ්ඩක් උන එහෙම තිබ්බ)