Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts

Sunday, November 7, 2021

300: මගහැරුනු අතැඟිලි

 



මම මේ කියන්නේ නිකමට
රිදෙනවා පපුවේ එක පැත්තක් ඊයේ හිට
මතක් වෙනවා මැණික උඹව දැන් ඕසෙට
කියන්නත් බෑ යාලුවෝ බනිනවා යමරෙට

මාළු පිණි මදිවෙලා කටට රහට
බැන්නම, මටත් ඒ කාලේ බැන්නට
කඩෙන්මයි කන්නේ මම, ආසාවට
බිරියානි එක්ක බත් දීපුවා එනවා මතකෙට

වැඩක් නෑ කියා උඹ ගේ මුල්ලකට කලාට
වෙන ගෑනු එක්ක මම චැට් එකක් දැම්මාට
මටම තේරුනේ නෑ මගහැරුණු උඹව මට
දැන් ඉතින් පලක් නෑ , යන්න බෑ ආයේ මට

විසේ නැති බිරිඳක්ව ඉන්ට කියලා කියා
මම හෙව්වේ විසේමයි ඒක දන්නව ඔයා
මටම දැන් මතක නෑ කොහෙන් අරඹමි කියා
මේ තරහ මගෙ නෙවෙයි වගේ ඉන්නෙමි නියා

Tuesday, March 5, 2019

285. පවස ? | Fight for you





අත පොවන මානය
අල්ව - අල්වා සොයමි,
සුවඳ පපුවක උණුහුම
නොලැබ කෙලෙසක ගෙවමි?

විරසක වෙලා තොල්පෙති
තෙරප - තෙරපා පෙලමි,
රවමි ; ගොරවමි ; පිඹිමි
නුඹ දකින විට නිවෙමි!



Wednesday, January 2, 2019

284. අධිරාජ..




පෙර එක බවෙක
බඹදත් රජෙකු සමයෙක..
සාලිය පවා නොදන්නා
මංමුලා කන්දක - එක්තරා පැලක

බැත පිසෙන සුවදට
පිල්කඩ පසෙක උණුහුමට
උඹ එදත් ඉන්නැති - මෙලෙස!

සලීම් ඔබ කොහිද 
ඈ නොවෙද පිදුවේ ඔබ පෙම් පියුම,
සාලිය ඔබට මතකද
අතැර ආවෙ කිරීඨය නොවෙද?

ඒ වගෙද,!
රටක කිරුළු නොදරන
හදවතේ දිග්විජය අධිරජ
බැත බුදී අද
මගේ පිල්කඩ
එදා වගෙම අද!




Thursday, November 29, 2018

283. මෙතරම්ම ??




මෙතරම්ම උණුහුමක්
කිසිකලෙක දැනී නැත...
මෙතරම්ම මියුරුවට
සියොත් ගී ඇසී නැත....
මෙතරම්ම සිනහවක්
දෙතොල තුල රැඳී නැත...
මෙතරම්ම ප්‍රේමයක්
මිහිමතට උරුම නැත...





Tuesday, May 10, 2016

277. ඔයා මගේ







ඔබේ අත ,
කොට්ට වැනි - උණුහුමට

ඔබේ උර,
පෙරවනය - මත සුවඳ

ඔබේ සිත,
මගෙ නොවන - මා සිටින

මගේ නෙත,
දුර සිටින - ඔබ දකින 



Wednesday, May 4, 2016

275. ලිලිපුට්





මට හිතුනෙ මම
පොඩිවෙයි කියල,
නුඹ විසල් වනවිට
චප්පම වෙයි කියල...

බලනකොට නුඹ
ගලිවරයෙක් වෙලා,
අඟුටුමිටි මම,
හෙවනට වෙලා


Monday, May 2, 2016

274. නරුමයෙකුට හසුව





සීතලේ මම..
උණුහුමට නුඹ..
හැරී මා දෙස
බලයි හී ඇස....

වෙලෙයි හිත වට
මතක දියසුළි,
ගිලී මියැදෙනු
නොහී ලයපැලි

ඉදින් නුඹ යයි
ඔලොගු පොරවා,
මගේ  හදවත
මගෙන් ගලවා.....


පලි : මේක ලිව්වේ හදිස්සියේ. රසයෙන් අඩු උනා කියල ගණන් ගන්න එපා 



Friday, April 29, 2016

273. හොක්කි බල්ලාගේ යුක්තිය





ඉදින් ඕ
ගැලවී ගියාහුය.

'හොක්කි බල්ලෙකු' නිසාවෙන්
මට පරදින්ට සිදුවිය.

මලින් බැඳී මාලාද,
සවන් ගත් අම තෙපුලින්ද ,
ඈ පිදු මා
පෙලා - උන්
සතුටින්ම නික්මුනෝය.

ඇසේ මට, සිනා හඬ
වේදිකා තිරය පසුපසට.
කවර යුක්තියද ,
'හොක්කි බල්ලන්ට?'


~~~ නරි බෑනා ~~~~



Wednesday, April 27, 2016

272. කවි කොලේ




අපි ලියමු
එකම කොලයේ දෙපැත්තක,

ඔබ එක පෙළක් ලියනවිට
මම තව පෙළක් ලියමි - පිළිතුරට

තහනම්ය සපුරාම
පිළිතුර කියවීම ,

උත්තරය හිතාගෙන
ප්‍රතිපිළිතුරු සැපයීම,

කාබන් වෙනුවට
ඔබේ රුධිරය සැපයීම!



Tuesday, April 19, 2016

269. ගැහැණු - පිරිමි




ගැහැණුය, පිරිමිය,
මල්ය , පලතුරුය...
සත්තුය, නගරය.....
හැමකක්ම කොටුය.
එකසේම බියකරුය.

කොයි මොහොතක වුව ,
එකම වචනෙට 
ලකුණු කැපිය හැකිය.

අවසන ලකුණුය






ප.ලි.
නොතේරුණාට කමක් නැත. ඒවා හැමදාම එලෙසය.


Monday, April 11, 2016

267. සම්මත සෘතු





විශාරද කුරුල්ලෙකි
සිසිරයට පැමිණෙන,
පැමිණ උණුහුමට -
ගුලිවී සිටින,
සරතය පෙනෙද්දී ඉගිලයන.

ගාන්ධර්ව කුටියකි
සෘතු බේද නොසලකන,
එකම සිතාරය -
බරු ගහන,
සිසිරයට ලොම් ගොතන.


Wednesday, March 9, 2016

252. වෙඩිබෙහෙත් පොහොර






කොතරම් සුන්දරද ජීවිතය
උණ්ඩ වෙනුවට -
වවන එක - මල් ?

ගොම පාට ඇඳුම හින්දම
පැටලුනත් ඉඳහිට
බෝවිටිය, බෝගන්විලා අතර
මල් වවන උඹ,
මට හොඳයි
වෙඩිතියන උන්ට වඩා
මගේ 'දෙමළාට' !


Tuesday, March 1, 2016

250. වරද මා අතම මිස






ගෙනාදා පටන් උඹ
හැදුවේ හැමදා බලමින්ම .
ආදරේ වැඩි නිසයි
අතින්වත් නෑල්ලුවෙ හැමදාම...

වැඩෙන හැටි දිනෙන්දින
බලා උන් සෙනෙහසට
පිපෙන පීදෙන තුරුත්
ඉවසුමක් නැති උනි මට....

මට දකින ඉක්මනට
මලක් දෙනු විගසකට
දුනිම් මුත් ඉසින බෙහෙතක
අරෝවක් නොමැතිවම
පිදුණේ නුඹ සිලිලාරට...

කමා කරවනු මැනව
සුහුම්බුල්වූ ඔය ගතට
උහුලන්ට බැරි උනත්
මෙමා සනසනු පිණිස
පිපුණු නුඹ......

කේඩරුව ගොස් ඉදින්
වරද මා අතම මිස..
නුඹ නොවෙයි
මගෙ දරුව !


ප.ලි.
මම ඕකිඩ් වගයක් ගෙනාව. එකෙ පැලයක මලක් බලන්න ආසාවෙන් ( තණ්හාවෙන් ?) මම ඒවායින් එකකට මල්පිපින පොහොර දැම්මා. මගේ ඉල්ලීමට ( පොහොර වලින් ලැබුන උත්තේජනයට) එක ගහක් එක කොළයක්වත් එන්න කලින්ම ලොකු මල් කිණිත්තක් පිපෙව්වා. එක කොළයක්වත් තිබ්බේ නැති ගහේ අන්තිමට ලස්සනම ලස්සන , ලොකු මල් ඉත්තක් පිපුනා. ඒ උනාට මගේ හිත මට දොස් කිව්වා. හරියට වැඩෙන්න කලින්ම ඒ 'නොදරුවාගෙන්' මල් ඉත්තක් ගත්තා  කියලා.ඒ වරදකාරී හැඟීම තවත් තීව්‍ර උනේ මල් ටික පරවෙලා ගියාට පස්සේ ඕකිඩ් ගහ ඔහේ බලාගත්ත අත බලාගෙන හිටපු හින්දයි.

මට ඒ ගැන ලියන්නම හිතුනේ ඒකයි 

(  හිනා  වෙන්න එපා යකුනේ... මට හිතෙන්නේ මල් මගෙත් එක්ක කතා කරනවා කියල තමයි!)



Tuesday, January 12, 2016

242. සරසුල






කම්පනය වන
සරසුලක් මම
කුමන සංඛ්‍යාතයක් වුව
උඹ -
නොපෙනන තැනදී පවා සෙලවෙන

Saturday, October 31, 2015

232. මොන බොරුවක්ද 'බියුටි'





මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?

මූන කට ලස්සනට
නොතිබුනට,
'බිස්ට්'ලට කැමති වෙන එක
මැරුමකි  - මිනී
හිනා යන....

හාද්දකින් පුළුවන්ද
කුමාරයෙක් කරන්නට?

මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?




ප.ලි.
කොමෙන්ටු වලින් පෙනී යන්නේ මගේ කවිය අසාර්ථක බවයි. එහෙමය කියල මම එහෙම සැලෙන එකෙක් නෙවේය!! හික් හික්...