Showing posts with label අමුතුයි. Show all posts
Showing posts with label අමුතුයි. Show all posts

Monday, April 4, 2016

262. එහෙම වෙන්නේ ඇයි ? I don't know why....



මට පිස්සුය කියල හිතෙන හැම වෙලේම මම කරන්නේ මගේ යාලුවෙක් හරි, කොටිම්ම මගේ අක්කව මතක් කරගනන් එක. එතකොට වැඩේ ලේසියි. සාපේක්ෂතා වාදය අනුව, මගේ පිස්සුව සාධාරණ බව ඔප්පු කරන්න වැඩි කාලයක් ඕනේ නැහැ.

මම උඩින් ලියපු ජේදය ලිව්වේ නිකන් කික් ස්ටාර්ට් එකක් ගණන් මිසක් වැඩකටම නෙවෙයි. හරියට පුහුල් හොරා මහමුදලි කමටත් වඩා වටිනවා කිව්වා වගේ!

මම ලිව්ව ඔය දෙවැනි ජේදේ ලිව්වේ පොඩ්ඩක් වත් හිතල නෙවෙයි. නිකම්ම ලිය උනා අය්යෝ.


දැන් තමයි හොඳම හරිය. ඒ කියන්නේ පටන් ගන්නේ මෙතන. ලියන්න ගියහම ඉතින් දන්නේ නැද්ද, හදිස්සියට කෙහෙල්කනට අතදාගන්න බැරි වෙනවා කියන්නේ ඕකනේ. ලියන්න යන්නේ එකක්, ලියවෙන්නේ තව දෙකක්.

මම හරිම ආසයි ඔය රහස් වැඩ වලට! කොටිම්ම ගෙදර යසට උයල තියෙන දෙයක් උනත් කාටවත් ඇහැ ගැහෙන්නේ නැතුව, හොරෙක්, බැට් මෑන් කෙනෙක් වගේ ගිහින් බෙදාගෙන කන්න තියෙනවා නම් මාර කික් එකක් දැනෙනවා. ඒ වගේම ඔය අභිරහස් දේවල් කියවන්න විතරක් නෙවෙයි කරන්නත් පුදුම කැශිල්ලක් තියෙන්නේ.

මතකනේ එක පාරක් මම ඔය වගේ ඩිටෙක්ටිව් වැඩක් බාරගෙන ඒක අකුරටම ඉෂ්ඨ කරපු හැටි!

Tuesday, March 1, 2016

250. වරද මා අතම මිස






ගෙනාදා පටන් උඹ
හැදුවේ හැමදා බලමින්ම .
ආදරේ වැඩි නිසයි
අතින්වත් නෑල්ලුවෙ හැමදාම...

වැඩෙන හැටි දිනෙන්දින
බලා උන් සෙනෙහසට
පිපෙන පීදෙන තුරුත්
ඉවසුමක් නැති උනි මට....

මට දකින ඉක්මනට
මලක් දෙනු විගසකට
දුනිම් මුත් ඉසින බෙහෙතක
අරෝවක් නොමැතිවම
පිදුණේ නුඹ සිලිලාරට...

කමා කරවනු මැනව
සුහුම්බුල්වූ ඔය ගතට
උහුලන්ට බැරි උනත්
මෙමා සනසනු පිණිස
පිපුණු නුඹ......

කේඩරුව ගොස් ඉදින්
වරද මා අතම මිස..
නුඹ නොවෙයි
මගෙ දරුව !


ප.ලි.
මම ඕකිඩ් වගයක් ගෙනාව. එකෙ පැලයක මලක් බලන්න ආසාවෙන් ( තණ්හාවෙන් ?) මම ඒවායින් එකකට මල්පිපින පොහොර දැම්මා. මගේ ඉල්ලීමට ( පොහොර වලින් ලැබුන උත්තේජනයට) එක ගහක් එක කොළයක්වත් එන්න කලින්ම ලොකු මල් කිණිත්තක් පිපෙව්වා. එක කොළයක්වත් තිබ්බේ නැති ගහේ අන්තිමට ලස්සනම ලස්සන , ලොකු මල් ඉත්තක් පිපුනා. ඒ උනාට මගේ හිත මට දොස් කිව්වා. හරියට වැඩෙන්න කලින්ම ඒ 'නොදරුවාගෙන්' මල් ඉත්තක් ගත්තා  කියලා.ඒ වරදකාරී හැඟීම තවත් තීව්‍ර උනේ මල් ටික පරවෙලා ගියාට පස්සේ ඕකිඩ් ගහ ඔහේ බලාගත්ත අත බලාගෙන හිටපු හින්දයි.

මට ඒ ගැන ලියන්නම හිතුනේ ඒකයි 

(  හිනා  වෙන්න එපා යකුනේ... මට හිතෙන්නේ මල් මගෙත් එක්ක කතා කරනවා කියල තමයි!)



Monday, February 1, 2016

247. සොඳුරිය ඔබේ නමින්





කවදාවත් නැතුව මට හිතුන වෙනද ගහන විද්‍යුත් ලිපිනය නැතුව වෙනත් ලිපිනයක් ටයිප් කරන්න. මීට දශකයකට කලින්, මුලිම්ම මම විද්‍යුත් ලිපිනයක් හදනකොට පාවිච්චි කරපු ලිපිනය, අමාරුවෙන් උනත් මතක් කලත්, කෝ ඉතින් මුරපදේ මතකම නැහැනේ. කරන්න දෙයක් නැහැ, රිකවරි තියෙන්නේ අපි වගේ අයට තමයි...

තවත් විනාඩි දහයක් පහළොවක් කිසිම තේරුමක් නැතුව වදවෙලා මම ඒ වහපු ගෙදර පිටිපස්සේ දොරෙන් ඇතුලට පැන්න.

ගුගල්ට අමතක වෙලා දාල ගියපු ලියුම් දුසිමක් තිබ්බ. ඉස්සර ලිපි චේන් වලට පිංසිද වෙන්න තවත් ලියුම් තුන හතරක්. ඒ හැම එකකටම මම දැක්වුයේ එකම විසඳුමක්.

ඔව්.. ටික් කළා, මකන්න අණ දුන්නා. කිසිම තරහක් නැතුව ඒවා මගේ ඇස්මානෙන් අරගෙන පරණ ලියුම් ටිකක් උඩට ආවා.

Subject : සොඳුරිය ඔබේ නමින්

ඒ තමයි සිංහලෙන් මම දැකපු එකම ලියුම.
මගේ පපුව ගැහුනා , හරියට විදුලි දුම්රියක් මේ දැන් මාව තලාගෙන ගියා වගේ.