Showing posts with label කෙටිකථා. Show all posts
Showing posts with label කෙටිකථා. Show all posts

Monday, April 18, 2016

268. යාළු



ඒක පැතිරෙන්න පටන් ගත්තේ හුළගෙන් බෝවෙන ලෙඩක් වගේ.

උතුරු පැත්තෙන් හමාගෙන ආපු හුළඟට වසන් වෙන්න කියල ඊසානට හැරුනම බටහිරින් ආපු හුළඟට අහුවෙලා අපි ඔක්කොම හිත හදාගත්ත.

ඔන්නොහෙ ලෙඩ වෙලාම බලනව කියල ඒකායන අරමුණකට නැති , සම්මුතියකට ආවා වගේ අපිත් ලෙඩේට ගොදුරුවෙන්න පටන්ගත්ත.

මුලිම්ම උනේ මට අලුත් යාලුවෙක් හම්බ උන එක. ඒක මුලිම්ම උන දේ නොවුනත් මම හිතන්නේ එතැනයි මුලින්ම වෙන්න ඕනේ දේ සිද්ද උනේ කියල.

එයා හිටියේ පැසිපන්දු පිටියේ ලොකු පඩිපෙල් වලින් දෙවැනි පඩිපෙලේ මැද්දට වෙන්න වාඩිවෙලා. ටෙනිස් රැකට් එකත් කරක - කරක මම එතැන පහුකරනකොට හොඳටම හවස් වෙලා තිබ්බේ. මම කොහොමත් කාත් එක්කවත් ඇයිහොඳය්යක් තිබ්බ කෙනෙක් නෙවෙයි.

"ඔයා 'බී' පංතියේ නේද?"

එයා එහෙම කිව්වේ 'බී' කියන වචනේ අමුතු උරුවට සද්ද කරමින්, ඒ කියන්නේ වෙනමම තියෙන පංතියක් වගෙයි. එතකොට තමයි මම එයාව යන්තමට මතකෙට ආවේ. අපේ ශ්‍රේණියේ එහෙම ළමයෙක් ඉන්න බව මතක් උනෙත් ඒ මොහොතෙමයි.

"ඔව්... ඔයා බාස්කට්බෝල් ගහනවද?"

Thursday, April 7, 2016

265. ජෙලි 02






ජෙලි 01




විල්ෆ්‍රඩ් හිටියේ වෙඩිකාපු කළු වලහෙක් වගේ මගේ දිහා ඔරෝගෙන කියන එක මට වැටහෙන්න ගියේ තත්පර බාගයක් විතරයි උනත් මමත් උන්නේ ඒ විදියටම ගල්ගැහිලා. ඒ වෙනකොටත් මිට මිනිත්තුවකට කලින් අඬනකොට ගලාගෙන ගියපු කඳුළු ඔහුගේ කිළුටු කම්මුල් වල කළුපාට රටාවක් මවල තිබ්බ එක මම දැක්කේ උඳුනේ තිබ්බ  ගිනිදැල් වලට පිං සිද්ද වෙන්නයි.

"උඹ... උඹ... මොකද මෙතන කරන්නේ?......."

මම කොයි විදියෙන්වත් අපේක්ෂා කරන්නේ නැති මෘදු මොලොක් හඬකින් මට ඇහුනේ නාකි විල්ෆ්‍රඩ්ගේ කටහඬමද කියල දැනගන්න මම කටත් අරගෙන බලාගෙන උන්නා මිසක්  කිසිම දෙයක් කිව්වේ නැහැ.

"... මෙහෙ වරෙන්.. මෙහෙට වරෙන්.. මගෙ පුතා.."

විල්ෆ්‍රඩ් ඔහුගේ කිළුටු දකුණු අත, හැන්දක් වනනවා වගේ හොලවමින් මට කතා කරනකොට මොකද්දෝ අත්භූත බලයකින් වගේ මාව ඒ පැත්තට ඇදිල යන්න හේතුව 'මගේ පුතා' කියන වචනේ වෙන්නත් පුළුවන්.

"මෙතනින් වාඩිවෙයන් මගේ කොල්ලෝ... ඔන්න ඔතැනින්... හ්ම්ම්... උඹේ තාත්තත් ඉස්සර ඔහොම්මමයි. කොතන වාඩිවෙන්න දුන්නත් වාඩිවෙන්නේ කකුල්දෙක කතිරේ හිටින විදියටමයි. කොටිම්ම.. ... කොටිම්ම.... ( පරුවතයක් සේ එහෙට මෙහෙට පැද්දෙමින් ) අනේ මගේ දරුවා...! මගේ අහිංසක කෙල්ල... ඇයි එහෙම උනේ..."

මම බලාපොරොත්තු උනේ තමන්ගේ ගෙදරට හොරෙන් පැනපු 'අසමජ්ජාති' කොල්ලෙකුට දෙන කම්මුල්පාරක් වගේ එකක් මිසක්, මගේ ඉස්සරහ අඬන නාකි; කිළුටු ; වලහෙක් නෙවෙයි, කොහෙත්ම!

තාමත් මේසේ උඩ දුම්දාන 'ජෙලි' භාජනේ මගේ ඇහැට අහු උනේ ඒ මොහොතෙයි. විල්ෆ්‍රඩ් හිටියේ ඔලුව බිමට බාගෙන හින්දා මගේ අදහස කලිම්ම නොතේරුනා වෙන්නත් ඇති.

Monday, April 4, 2016

263. ජෙලි - 01




මේක තමයි මම මෙතෙක් කරලා තියෙන මරි මෝඩම , අන්තිම පල් මෝඩ වැඩේ!

එත් ඉතින් ඒ වෙලාවේ හැටියට මට කරන්න වෙන යමක් තිබ්බේ නැහැ කියන එක හැමවෙලේම නඩු හොයමින් ඉන්න හෙලේනා නාකිච්චිට උනත් යසට තේරෙන්න පුළුවන්.

මොකද මට 'විල්ෆ්‍රඩ්', මේ නාකි උන්දා මුණගැහෙනකොට මම හිටියේ අලීම අලි අමාරුවක වැටිලා හින්දා මට ඉත්තේරුවෙන්ම සිද්ද උනා උන්දැගේ ගෙදර යන්න වෙන විදියට පුළුවන් දහන්ගැට ඔක්කොම දාන්න.

ඒ මොහොතේ මම හිටියේ මගේ මල්ලිගේ ; අපෝ ඒ සෝමාරි එකා මතක් වෙනකොටත් මගේ ඇඟේ මාළු නටන එක වෙනම කතාවක්; ඔලුව පැලෙන්න වැඩක් සිද්ද කරලා හින්දා මට ඉක්මනින්ම ඕනේ කළා හැංගෙන්න තැනක්. නගරයේ පොලිසියට උනත්  ;කොටිම්ම ෂෙරිෆ් ටවත්; සැකයක් හිතෙන්නේ නැති පොඩ්ඩක්වත් මගෙත් එක්ක ඇයි හොඳය්යක් නැතිය කියල හිතෙන , කොටිම්ම මේ නාකි විල්ෆ්‍රඩ්ගේ වගේ ගෙයක්!

කිසිම විදියකින් ගෙදරකට වැද්ද නොගන්න, ලැවූ ගින්නක් ආවත් හොයල බලන්නේ නැති කාන්ඩේ උන් අපේ නගරයේ ඉන්නේ දෙන්නයි. ඒකෙන් එකෙක් තමයි මේ විල්ෆ්‍රඩ් නාකියා කියන්නේ. ඉතින් එහෙව් තැනක, මම වගේ එකෙක්ව අපේ අම්මලා නම් කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ  නැති බව මට විස්වාසයි.

මම පුළුවන් චාටු සේරෝම කියල පස්සෙන් වැටුනත් මේ නාකි මනුස්සයා වෙනදා වගේම වෘකයෙක් වගේ කඩන් පැන්නට , මම හීන් සීරුවේ උගේ ඇස්දෙකට අහු නොවී ගෙට රිංගාගත් එකම ඇති මගේ සුවිශේෂී හැකියාවන් ගැන වරු දෙක තුනක් දේශනාවක් පවත්වමින් ඉස්කෝලේ ගතකරන්න.

තාත්තගේ තාත්තා උනාට විල්ෆ්‍රඩ් නාකියා ගැන අපි කවම කවදාවත් ගෙදර කතා වෙලා තිබිලත් නැහැ, ඊටත් අම්මා කියන විදියට ඌ නිකම්ම නිකන් 'මිනීමරු' නාකි පිස්සෙක්! ඇත්තටම කියන්න, මේ මොහොත වෙනකල්ම මම මේ 'මිනීමරු' කියන කොටස ගැන කිසියම්ම හෝඩුවාවක් දැනගෙන හිටියේ නැහැ කියල සහතික කරන්න පුළුවන්.

ඒ උනත් මෙහෙම හෙනගෙඩියක් මම බලාපොරොත්තු උනේ නැහැ.

Wednesday, January 13, 2016

243. එයා




අපි දෙන්නා හිටියේ ගුලි වෙලා...

එකට නෙවෙයි. වෙන වෙනම.

දුම් දමන කෝපි වලින් නැගෙන මනස් කලම්බන වායුවක් නිතරම මේ උඩුමහලේ තියෙන නිසා මට මෙතන හිසරදයක් වෙච්ච කාලෙකුත් තිබ්බත් කවුරුත් වගේ මමත් කාලයට අනුගත වෙලා ඉගෙන ගත්ත, එහෙම මොලේ කොලොප්පන් වෙන ජාතියේ සුවඳවල් හොයාගෙන එන්නේ ලස්සන කෙල්ලොය කියල. ඉතින් මමත් ඒ මත්විල්ලට ඉබේම හුරු උනා.

එයා හිටියේ මගේ මේසයට ඉතා ආසන්නයේ. ඒ කියන්නේ මේස දහයක් පහළොවක් විතර ළඟින්. මුළු ඇඟම ආවරණය වෙන්න හිතාගෙන ඈ ඇඳලා තිබ්බ කබාය , ඊට යටින් තිබුණු අගේ සුන්දර සිරුර පිළිබඳව මගේ පරිකල්පනය අඩපණ කරන්නට සමත් උනේ නැහැ.

මම වගේම එයාත් හිටියේ අත්දෙකේ අල්ලවල් එකට පිරිමදිමින් හින්දා අපේ ඇස් එකිනෙක පැටලෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ.

එකවරම ඒ කදම්බය හරහා ඇවිදගිය අයෙක් විසින් එයාව සැපපහසු සෝෆාවේ කොනකට තල්ලු කළා වගේ මතකයි. මගේ දුරබනුව නාද වෙන්නට ගත්තා.

'මරියා.... අපෝ අද නම් එපා කෙල්ල... මම දැන් බොහොම ආසන්න අවස්තාවක ඉන්නේ..'

මම දුරබනුවට ඇති තරම් වෙව්ලන්නට ඉඩ දීලා මේසයේ කොනකටම තල්ලු කරලා දැම්මා.

කෝ මේ සුරංගනාවී?

ඒ වෙනකොට එයා තනිවම මෙනුපතක් අතර එයාගේ පුංචි ඇස් උඩටත් පහළටත් යවමින් උන්නා. වෙනම ගත්තහම නම් විශේෂයක් කියන්න නැති ඇස් දෙකක් උනත් මට ඕනේ කළා විශේෂත්වයක්. ඉතින් මම හිතුව ඒ ඇස්වල යන්තමට වගේ තවරලා තිබ්බ මස්කාරා ඉතාම සිත්ගන්නාසුලුයි කියලා.

'දෙවියන් අතරට යන පාපියෙක් උනත් මුලින්ම්ම යන්න ඕනේ.. ' එහෙමයි මම හිතුවේ.

ඉතින් මම මගේ කොණ්ඩයට ලෙලදෙන්න ඉඩදෙන ගමන්ම උනත් මගේ මේසයෙන් එයාගේ මේසයට පාවෙලා ගියා. ඒ අතරතුරේ මගේ කකුලට කම්පනය උන පුටුවක් නිසා එයා බලමින් හිටපු මෙනුපතෙන් හදිසියේම මුහුණ මගේ දෙසට හැරෙව්වා. එකපාරටම බය උනා වගේ පෙනුමක් ආවත් එයා ඉක්මනටම ඇස්දෙක ඉවතට හැරෙව්වා.

Wednesday, October 14, 2015

221. ඌ ඌ ඌ ඌ අම්මෝ






තුක් විතරක් මුසල බල්ල... අදත් කෑගහන්න පටන් අරගෙන.

එක අතකට ඌ මක් කරන්නද? දඩාවතේ යන බල්ලෝ එහෙම යන්න නොදී උන්ට පිහිට වෙන්න කියල, ගෙදරකට ගාල්කරවගන්න හිතල මිසිස් ගුරුසිංහ ඌව දරුකමට හදාගන්න හිතල ඇතිකලාට , එහෙම පුළුවන්ද බල්ලෝ හදන්න? එක්කෝ දඩාවතේ යන්න දෙන්න ඕනේ, නැත්තම් දවල් වරුවේ ගෙදර ඉන්න කාලෙක එපැයි බල්ලෙක් උනත් ගෙනත් දාගන්න.. නැද්ද?

කණ්නාඩිය ඉස්සරහ මම බලන් හිටියේ අදවත් මේකෙන් මාව නැතුව වෙන එකෙක් පෙනෙයිද කියල නිකමට හිතන ගමන්.

ඇත්තටම වෙන්න බැරිද? නෑ මම කියන්නේ අර හිම කුමාරිගේ පච නොකියන කණ්නාඩිය වගේ නැතුව ඉඳල හිටලවත් පචයක් කියල හරි මාව රවට්ටන කණ්නාඩියක් තියනෙක වටිනවා.  පුලුවන්ද මේ කෙරුවාව කරන්න, ඒ කියන්නේ එකම මුණ දැක දැක , නොදැක්කා වගේ ඉන්න? ඊටත් ඒක තමන්ගෙම මුණ වෙච්චිකොට!

මම ඇස්දෙකේ පාමුල තියෙන පුංචි කුහරෙට නියපොත්තෙන් ඇනල බැලුව. හරියට හරි, එතන තියනවා හොඳ කබ තලියක්ම. ඔන්න දැන් මම ඇස්දෙක සුද්ද කරන්නෙ නැතුවම මුණ හෝදන්න යනවා.

මුණ හෝදන වෙලාවට ඒක කරන්නේ. මගේ නැහැනේ එකම දේ දෙපාරක් කරන ගතිගුණ. වන් ෂොට්!

වන් ෂොට් දැන් මොකක් කරනවද දන්නේ නැහැනේ.. ඉස්සර නම් කොයි වෙලෙත් කැමරාව ඉස්සරහ. නෑ මම මේ කිව්වේ ඇක්ෂන් කියන එක ඉස්සරහ නෙවෙයි, මිඩියා කැමරා එක ඉස්සරහ. මට බැහැනේ ඔය කැමරා ඉස්සරහ වැඩ.

අප්පා... අදත් දොර ඇරලනේ නිදාගෙන තියෙන්නේ. බාත්රුම් එකෙන් කැරපොත්තෝ ආවද දන්නේ නැහැ කාමරේට. ආවත් මොකද, කටේ වහන්නේ නැත්තං .

කණ්නාඩිය කතාකරනවා නම් හොඳයි, නැද්ද? මම කියන්නේ බාත්රුම් එකේ කණ්නාඩිය නෙවෙයි. කාමරේ තියෙන එක. බාත්රුම් එකේ එක නම් කට ඇරපු ගමන් කියයි දන්නා කුණුහබ්බ ටික ඔක්කොම. හෙහ්..

කොහොමත් දොර වහගත්තම බාහිර ලෝකයෙන් වහන්වෙලා ඉන්න පුළුවන් ස්වාධිනම , අතිරමණිය තැනක් තමයි බාත්රුම් එක. ඒ හින්ද කතාකරන කණ්නාඩියක් තියාගෙන ඉන්නෙක ඇත්තටම ජිවිත අවධානමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්.

හැඃ මේ මොකද්ද?

Tuesday, July 7, 2015

191. දුම ( කෙටි කතාව) - 4




මුල් කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 


සිය කබායේ ඇතුල් සාක්කුවට සිය වමත යොමුකළ කමල් ඉන් පිටතට ගත්තේ කඩදාසි ගුලියකි. තමා දිවගෙන එනවිට නැංවුණු දහදියෙන් විවර කරන ලද ලිපිය පෙඟී ගොස් තිබුනද, විවෘත නොවූ ලිපි තුන එතරම් හානියක් නොමැතිව ගුලිවී තිබුණි. ඒ සියල්ලගේම ලියුම් කවරයේ 'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යයි කුරුමිණි අකුරු වලින් සඳහන් වී තිබිණි.

"මල්ලි.... බස්සෙක කීයටද යන්නේ?"

රියදුරු අසුනේ සිට සිය බුලත් විට සරිකරමින් ආ කොන්දොස්තර අමතා කමල් ඇසුවේ සිය උඩු කබායෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිසදමමිනි. සිය ගමේ තැපැල් මහතා හඳුනාගත් කොන්දොස්තර තැන, සිය වියලි මුහුණට යන්තම් සිනහවක් නගාගනිමින් විට පොදිය මුවේ රුවා ගත්තේය.

"තව ඩින්ගෙන් යනවා මහත්තය, මොකෑ මේ හදිස්සියේ? ගමේ යනවෑ ?"

"යාලුවෙක්ගෙ මළගෙදරක යනවා, හදිස්සියේ"

කමල් කතා කලේ කොන්දොස්තර තැනගේ ඇස් මගහරිමිනි.

"කොහේ? කැකිරාවේ?"

"නෑ , ඉපොලෝගම හරියේ. හොයාන යන්ඩ වෙන්නේ. හරියටම දන්නේ නැහැ..."

Friday, July 3, 2015

190. දුම ( කෙටි කතාව) - 3






මුල් කොටස 
දෙවන කොටස 




"ලියුම් ටික තෝරලා ඉවරද ජානක ?"

තමන් අසලින් කිහිප විටක් සිය සුපුරුදු විලාසයට වඩා වෙනස් ආරකින් ගමන්ගත් කමල්ගේ හඬට යන්තමට සිය උරහිස ඉහලින් බැලු ජානක

"නෑ සර්...."

කියද්දී ඔහුගේ ලියුම් ගණන නැවතත් වැරදි ගියේය.

මෙය නම් හරියන රාජකාරියක් නොවේ. නමුත් කරන්නට යමක් නැත. කමල් මහත්තයා බාරදුන්නු වැඩක් නොකර බැරිය.

ඒ ප්‍රතිචාරයෙන් ඉදිරිපස කවුන්ටරයට ගමන්ගත් කමල්, ලියුම් බාරගන්නා මේසයේ ඉහල ලාච්චුව බියපත් කමකින් මෙන් විවෘත කර, එහි වූ ලියුම සිය කබායේ ඇතුල් පැත්තෙහි වූ සාක්කුවේ රුවා ගත්තේ වටපිට කිසිවෙකුත් නොමැතිව උනත් හාත්පස බලමිනි.

'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යනුවෙන් ලිපිනය යොදා තිබුණු ලිපියේ මුද්දර ගසා නොතිබිණි. නිර්මලාට එහි මුද්දර ගසන්නට මුදල් දෙන්නට නොහැකි වුයේ අදත් එය ගස් බෙනය තුලින් ගන්නට සිදුවූ බැවින් වුවත් මුදල් අවශ්‍ය නොමැති බව කමල් කිහිප විටක්ම නිර්මලාට පවසනවිට ඇගේ මුහුණේ ඇඳුනු ස්තුතිපුර්වක සිනහව කමල්ගේ හිත පුරා විහිදී ගියේ සුර්ය කිරණක් පරිද්දෙනි.

තද හිසේ කැක්කුමක් ඔහුගේ සිතුවිල්ලට බාධා කරමින් නැගී එන්නට විය.

'කෑම කෑවනම් හරි' යයි සිතමින් කමල් ජානක කොතනදැයි හිස පොවා බැලිය. වරුවක් ගතවී ඇතත් තවමත් ඔහු ලිපි තෝරයි. කට තිබුනාට ජානකට සුළු වැඩක් හෝ කරගත නොහැක. සියුම් තරහක් නැගී එනවිටම කමල්ට සිහි වුයේ නිමල් පිටවී යනවිට කියා ගිය වදන්ය.

"..... මේ කැලෑ අස්සේ ලැගල අහවල් සේවයක් කොරන්ටද මලය? හුනා කියන්නැහේ කියන්නං , මේ කඳු බඩගාන එක උඹට තව තුන් මාසෙන් එපා වෙනවා. තනියෙන් ඉඳල එපා උන දවසට කසාදයක් කොරන් තොලොංචි වෙනවා ඇරෙන්න... හැක් !"

"ජානක.... මම කඩේට යනවා කන්න. මතක ඇතුව පස්ස දොරේ පොල්ල දාල යන්න. ඉස්සරහ මම වහගෙන යනවා"

189. දුම ( කෙටි කතාව) - 2





මුල් කොටස


".... ඔව් ඔව්... වංගුවේ තියෙන්නේ. වරෙන්කො මම හෙට පෙන්නන්නම්.. අහ් ! හෙට මම හදිස්සි ලියුම් වගයක ලිස්ට් එකක් දාන්න තියෙනවා. එන්න වෙන්නේ නැහැ. කමලා තමයි හෙටත් යන්නේ. මම කියන්නම් ඌට, උඹට පෙන්නන්න කියල..."

මද ආලෝකය ලැබෙන හුන්ඩු කෑම කාමරේ මුල්ලක සිටි කමල්ට ඔහුට පිටුපා හිඳ, බරට කතාබහේ යෙදෙන දෙදෙනාගේ දෙබස් කන වැකුනද , අවධානය යොමුවන්නට ගත්තේ වංගුවේ නිවස ගැන සඳහන් කරනවිටය. තමන් කෑම කාමරේ ඉන්නා බව ඔවුන් නොදන්නා බව ඉව වැටුණු සැනින් පපුවේ වේගය ඉහළටත්, හුස්ම ගැනීම මෘදුව පහළටත් වශයෙන් වෙනස් කල කමල් සර්පයෙකුගෙන් සැඟවෙන මීයෙකු සේ නිසල වී ගල් ගැසුනේය.

".... නියම... බලපන්.... එලම කිරි.... දවල් වෙලා ලියුම් අරන් පලයන්. ... කොනේ... ඔව් ඔව්... ළිඳ... දහයට විතර... ආයේ නැහැ ලයිව්... කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... "

නිමල්ගේ ඊළඟ වචන කොතරම් උවමනාවෙන් කන් යොමා සිටියද කමල්ට ඇසුනේ අතරින් පතර පමණක්මය. කමල්ගේ පපුව දෙමොලෙන් පිටි කොටන්නට විය. කමල්ගේ පිරිමි ඉව සැනින් අවධි විය.

මේ කියන්නේ අර තරුණිය ගැනයි!

පපුවේ වේගයට බත් පිඬක් සිරවී ඇතිකළ කැස්සෙන් නැවතුනු සතර කන්මත්‍රණය සමග දෙදෙනාම එකවරම ආපසු හැරී බැලුහ.

කමල් සිය ජංගම දුරකතනයෙන් බර කතාවකය. නිමල් සහ ජානක එකිනෙකාගේ මුහුණු බලාගත් අතර ජානකගේ මුහුණ බියපත් බවින් පිරි තිබිණි.

"කමල් මහත්තයට ඇහුනද දන්නේ නෑ "

කාම කාමරයෙන් එළියට පැනගත් දෙදෙනාගෙන් , හුස්මක් ඇල්ලු ජානක බියෙන් මෙන් ඇසුවේ පහත් හඬිනි. නිමල් බියපත්බව වසා ගනිමින් ඔලුව දෙපසට වනන්නට විය.

Thursday, July 2, 2015

188. දුම ( කෙටි කතාව) - 1






කමල් වෙනදා මෙන් නොවී, ගල්පඩියෙන් ඉහළට එසවුණු ඒ නිවස අසල නැවතී පැහැදිලි, උස් හඬක් නංවන පරිදි සිය පාපැදියේ සීනුව තෙවරක් නාදකළේය.

'ට්‍රින්... ට්‍රින්... ට්‍රින්'

සීනුව දෙවන වරට හඬනගද්දී වෙනදා මෙන්ම අඩක් අඩවන් කරනලද ජනෙල් පියන මුළුමනින්ම ඇරී යනවාත්, ඒ සමගම ජනේලයේ ආවරණය කරනලද තිරරෙදි තීරයේ ඉහල කොටසින් මතුවෙන තරු යුවලක් වැනි දෙනෙත පෙනීමත් යන කාරනා දෙකම සිදුවුවත් වෙනසක් නොපෙන්වා තෙවන වර සීනුව නාදකරන්නට කමල් පසුබට වුයේ නැත.

'ලියුම්... ලියුම්'

කමල් උස්හඬින් කියද්දී ඈතින් පෙනුනද ඒ ඇස්වල ඇතිවුණු දීප්තිය වසන් කල නොහැකි විය.

"අපිටද............? කාටද...........?"

වෙනදා මෙන්ම ඒ තරු නෙතැත්තිය උස්හඬින් අසද්දී, කමල්ගේ උගුර සිරකර දමන ලද කලෙක මෙන් බොල් බවින් සිරවී ගියේය. එකවරම හඬක් නිකුත් වුයේ නැතියෙන් තරු නෙතැත්තියගේ කුලී නිවසින් වෙනදා එලියට පනින රුව එකවරම දොර අසලින් මතුවිය.

"අපිටද? "
හැඩිදැඩි සිරුරැති මිනිසා බැරැන්ඩි හඬින් අසනවිටම කමල් සිය උගුර පාදා ගන්නට සමත්විය.

"නෑ නෑ ...... එහා ගෙදරට.... 23 න් 3 ගෙදරට "

එසැනින් තරු දෙනෙත් ජනේලය අසළින් අතුරුදහන්ව ගොස්, වේගයෙන් ඇරුණු දොරෙන් එළියට පනින කෙල්ලෙකුත් දර්ශනය වනවිට කමල්ගේ සර්වාන්ගයම ගල්වී ගොස්, බයිසිකලයේ හැඬලයට දෙඅත් කිටිකිටියේ තදවුයේ නිරායාසයෙනි.

Wednesday, April 22, 2015

168. ~~~ ප්‍රබන්ධ~~~ - ඉතිරිය



මුල් කොටස 


"පිස්සු කොල්ලෙක්නේ.... "

මම ශිවා දිහා බලලා ඔහුගේ එක උරපත්තකට තට්ටුවක් දැම්ම.

"...... පිස්සු නැතුව ඉන්න ශිවා. දැන් ගිහින් මොනවා කරන්නද?"

මේ වගේ පාලු වත්තක තමන්ගේ නිවාඩුවක් ගතකරන්නට තෝරාගන්න එක තරම් ඔලමොට්ටල වැඩක් මට නම් හිතාගන්න බැහැ. එහෙම දුවන් යන්නේ ලෝකෙන් ඈතට දුවගෙන ගිහින් හැංගෙන්න හේතුවක් ඕනේ උන්ට විතරයි මම හිතන්නේ.

මගේ දිහා පොඩි වෙලාවක් බලාගෙන හිටපු ශිවා මුකුත්ම උත්තරයක් දෙන්නේ නැතුව හිනා උනා. මාව උන්තැනම ගල් උනා වගේ උනේ ඒ හිනාවට. මගේ විලාසය දැක්ක ශිවාගේ හිනාව ඒ එක්කම තොල් පියවිල්ලකින් කෙලවර උනා.

"නෑ මිස්....."

මට නෝනා කියවිල්ල ගැන මම නොයෙකුත් දේවල් කිව්වට පස්සේ ශිවා ස්වයන් තේරීමකින් මාව 'මිස්' කරන්නට හිතලා තිබ්බ.

Tuesday, April 21, 2015

167. ~~~ ප්‍රබන්ධ ~~~






අලුතෙන් ගෙනාපු සපත්තු දෙක ආයෙමත් මම කකුලේ දාල කාමරේ දොර ගාවට එනකල් ඇවිදගෙන ආව. 'ටොක් ටොක්' ගාමින් සපත්තු දෙක ඇවිදන් ගිහින් නතර උනාට තවත් ටොක් ටොක් සද්දේ ඇහෙනවා. මම ඇහුම්කන් දුන්නේ කොහෙන්ද ඒ සද්දේ එන්නේ කියල.

ෂොපින් ගිහින් ගෙනාපු ඇඳුම් ටික ඇඳ උඩ පුරෝගෙන, මුලින්ම අඩවන් කරපු ජනෙල් පියන් දෙක ගාවට ඇඟිලි තුඩු වලින් ඇවිදගෙන ගියපු මම හෙමින් ජනේලෙට තල්ලුවක් දැම්මේ ඒ 'ටොක්' ශබ්දය පෙරිලා එනවා කියලා මම අනුමාන කරපු ඉලක්කය හොයන්නමයි.

තේවත්ත හරහා තියෙන සිහිලස ගුලිකරගෙන හිටපු හුලන් පාරක් ඒ අවසරයෙන් මගේ කාමරේට පැන්නේ මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැතුවයි. මගේ ඇස්දෙක අඩවන්ව ගිහින් අමුතු කිතියක් එක්ක සෘන්ගාරයක් මුළු සිරුරම සලිත කරගෙන පිබිදුනා.

පමාවූ ඒ මිනිත්තුවට මම හොයපු 'ටොක්' ශබ්දය අතුරුදහන්ව ගිහිං ! මම ඈතට දිවෙන තේවත්ත පුරා ඇස් ගෙනිච්චේ හෝඩුවාවක් හොයන්නම නෙවෙයි. එතකොට මගේ ඇස ගැටුනේ ටොක් ශබ්දයේ අයිතිකාරයයි වැඩියෙන්ම සැකකලහැකි රුවක්...

Wednesday, April 8, 2015

සුරංගනා කතාවකි -6




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම

පස්වන සුරඟන පබැඳුම


සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.

"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."

සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.

"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"

අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.

"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."

කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.

"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"

සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.

"ම.. මාඅ.. ම.."

"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"

මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.

සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.

හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.

"පුතා.... උත්තර දෙන්න බැරිද?..."

කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.

".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."

මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.

"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "

පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.

*********************************

"ගොන් බඳින කණුවක් උඹ නම්"

සිය යෙහෙළියගේ ක්ෂණික ප්‍රතිචාරය ශරීරයේ කොතැනක හෝ සිට දෝංකාර දෙනවා සාමාන්‍ය කෙල්ලට දැනෙන්නට විය. එය පිටතට නොයන්නට ඇය කෙටි හුස්මවල් පිටතට හෙලන්නට සැලකිලිමත් වුවාය.

"පිටින් මෙහෙම පෙනුනට මම ඇතුලෙන් ගොඩාක් වෙනස් කෙනෙක් කුමාරයෝ..."
"මම ඒක දන්නවා. දැනගෙන තමයි මේ හැමදෙයක්ම කරන්නේ"

"මට හිතෙන්නේ අපි ආයේ මුණගැහෙන්නේ නැතුව ඉන්නවනම් ගොඩක් හොඳයි. කොහොමත් මම නගරෙට යනවා"
"නගරෙට එන එක කොතරම් හොඳද? මට එහෙ ලේසියි.. මෙහෙ ඔයා ඉන්නේ පරාන බයෙන් නේ?"

"මම කොහොමත් නගරෙට ගියහම හොඳ කොල්ලෙක් හොයලා යාළුවෙනවා"
" ( උගුර එකවරම සිරවී, පසුව) මට වඩා හොඳ කෙනෙක් හොයාගනිද? විශ්වාසද? නගරේ කොල්ලෝ නරකයි දන්නවද?"
"ඔයත් ඉතින් නගරේ කොල්ලෙක්නේ... මම නගරෙට ඇවිත් ඉන්න ගමේ කොල්ලෙක් හොයාගන්නේ"
- ඇස් හීනිකර , දත් නොපෙන්වා සිනහවක් -


මේ දෙබස් කොටස් එකම ආකාරයෙන් ප්‍රතිරාව වන සිග්‍රතාවය වැඩිවන අවසන් සතියක අගකදී සාමාන්‍ය කෙල්ල නගරයට සංක්‍රමණය වුවාය.


මන්තර කාරිය සිය නියෝජිතයා පිටත්කොට සැනසිල්ලේ නින්දට පිටත්ව ගියාය.

ඇය නින්දෙන් අවදිව පැමිණෙනවිට සියල්ලම යහතින් සිදුවී පැවතුනි.

මන්තර කාරිය සැනසුම් සුසුමක් හෙලා සිය බෙහෙත් මුට්ටියෙන් ගත් කසාය කුසලානකයට පිරවුවාය.අසල කටාරම අද්දර තබා තිබුණු රිටෙහි වසා උන් සිය මන්තරකාර පක්ෂියාගේ හිස යන්තම් අතගා සිහින් සිනහවකින් සංග්‍රහ කළාය.

"මම කිව්ව දේ ඇහුව නැති එකී.... හික් හික්.... දැන් බලාපන් සිද්ද වෙනදේ"

ඇගේ සිනහවේ දෝංකාරය මුළු කුටිය පුරාම වූ විදුරු බඳුන් කම්පනය කරවන්නට පවා සමත් විය.

************************************


මතු සබැඳි 

Wednesday, December 10, 2014

128. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 6




පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

පස්වන දිගහැරුම


ටාගට් එක සපුරන්න අසමත් වෙච්ච හින්ද නැතිවුණු පලවෙනි රස්සාවත්,
වෙලාවට වාර්තා නොකිරීමට අහිමිවුණු දෙවැනි රස්සාවත්,
පිළිවෙලින් බේබදුකමට ගිහින්; අසාධාරණකමකට කතා කරන්න ගිහින් සහ රැකියානුබද්ධ දේශපාලනය තේරුම් නොගැනීමට කියන කාරනා වලට නැතිවුණු රස්සාවලුත් ඔක්කොම නැතිවුනාට පස්සේ මම අනිවාර්යයෙන් ලබපු එකම දෙයක් තිබ්බ..

ඒ තමයි මේඝනාගේ පොල් අඩි බැනුම් අහගෙන විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු එක.

ඒ මුරුගසන් ගල් වරුසාවෙන් පස්සේ, ආයෙත් ඒකි මට ජොබ් වලට දාන්න උදව් කරන එක පරණ පුරුදු විදියටම පටන් ගන්නවා.

ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දේකට හැඩගැහෙන්න අමාරු නැහැ කියල මට තේරුනේ මේඝනාගේ මේ බැනුම් අහගෙන මට දැන් ඉස්සර වගේ නොවී , ගේමක් නැතුවම ඉන්න පුළුවන් එකෙන්මයි.

නමුත්, මගේ හයවෙනි රස්සාවට පස්සේ මම ජොබ් එක වෙනුවට මාරු කලේ තනතුරු. ඒ වෙනකොට මගේ සෙල්ලක්කාර ජිවිතේ , කොටින්ම කෙල්ලෝ මාරු කරමින් මම කරපු නාස්තිය ඔක්කොම වගේ නතර වෙලා...

මට මාව හම්බවෙලා කියල මට දැනෙනකොට, මම හිතන්නේ නැති දුරක් ඇවිත්.

වෙනදා වගේ නැතුව වෙනස් විදියට හැසිරෙන්න බලාගෙනමයි ඔෆිස් එකෙන් ආවේ. වෙනදා මුණගැහෙන තැනම උනත් මට දැනුනේ අමුතු ගැස්මක් තියෙන තැනක් විදියට.

සෝයා එකේ උසම උස පඩිපෙළ මට දැනුනේ වෙනත් ලෝකෙකට යන පාරක් වගේ. ඒ පඩි නැගගෙන, පඩියෙන් පඩිය වෙනස් වන සපත්තු සද්දය මම අහමින් ගියා. උසම උස පඩිපෙළ නිමාවෙනකොටම වමට හැරුණු මම අපේ සුපුරුදු බැල්කනි මේසයට ඇස හැරෙව්වේ ඇත්තටම ගැහෙන පපුවකින්.

මගේ වෙනසට කලින් මේඝනා වෙනස් විදියට ඇඳගෙන ඇවිත් හිටිය එකම මාව පුදුම කල හින්ද, ඒ පුදුමෙන් මම සීතල අයිස් කුට්ටියක් ගිල්ලා වගේ වෙව්ලවුනා.

"තේජන..."

Monday, December 8, 2014

127. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 5



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

තුන්වෙනි පාරට මට මේඝනා හමුවුනේ කවදාද කියල මට මතක නැහැ. හතරවෙනි පාරට, පස්වෙනි පාරට... ඔව්.. ඊට පස්සේ කීපාරක් හමුවුනාද කියලා මට කොහොමත් මතකයක් නැහැ. මතක තියාගන්න ඕනෙකමක් තිබ්බෙත් නැහැ.

මාව කුඩු කරලා , ඒ කුඩු වලින් හැමදාම මට කිවිසුම් යවන නරුම කෙල්ලෙක්ට මම මේ අහු උනාමයි. පියාඹන අස්සයෙක් වගේ හැමතැනම තටු ගහලා, මේඝනා ගාවදි තටු ටික අකුලන් ඉන්න මට කිසිම ආයාසයක් ගන්න උනේ නැහැ. මොකද ටික දවසකින්ම මට තේරුනා වඩා ලේසි ඒ වෙලාව කියලා.

පියාඹන අස්සයෙක්ගෙන් අහල තියෙනවද, උගේ තටු , බිමක වේගෙන් දුවන එකට ඇත්තටම බාධාවක්ද කියල?

"සිගරට් බිව්වද?"

ඊතලයක් මගේ දිහාවට එල්ලකරගෙන ඉන්නවා වගේ බැල්මකින් මාව හිරකරලා මේඝනා ඇහුව. මට නොදැනුවත්වම කටේ හුස්මක් පිටි අල්ලට එල්ලවුණේ මගේ සිගරට් සුවඳ , රස පරීක්ෂණයකට ලක්කරමින්.

Saturday, December 6, 2014

125. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 4



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම


"..මම.... අන්තිමට එයාව දැක්කේ ඉස්කෝලෙන් අවුට් වෙලා ටික දවසකින්. ද-න්-න-ව-ද...?"

එතකොට නම් එකපාරටම බළලා මල්ලෙන් එලියට පැන්නා වගේ, මට..

"මොකද්ද?" කියල ඇහුනා..

කෙල්ලගේ මුණේ තිබ්බ දුක වගේ ගතිය මකාගෙන මහා රවුද්‍ර පෙනුමක් ආවේශ උනා. එකපාරටම මගේ යටිබඩ දන්න ගත්තේ , ඔහොම තදවෙන කෙල්ලෝ ඊළඟට පුපුරන විදිය ගැන අපේ නංගි ගෙදරදී ප්‍රදර්ශනය කරලා තියෙන හින්ද.

"තමුසේ වගේ කෙල්ලෝ මාරුකරන කොල්ලෙක් කොහෙද දම්සිරිනිට වෙච්ච දෙයක් දන්නේ?....."

මාව ගල් ගැහිලා ගියේ සීතල වතුර බාල්දියක් ඔලුවේ වැක්කෙරුනා වගේ. 'මේක නම් ටයිම් බෝම්බයක්'! කෙල්ලෙක් මෙහෙම කඩන් පනිනවට මම බොහොම බයයි. විශේෂයෙන් මේ වගේ පොදු තැනකදී.

මොකද උන්ට තියෙනවා පොදු අවියක්, කොල්ලෙක්ට නැති. ඒ තමයි 'කෙල්ලෙක් වෙන එක'! ගහගන්න ආවොත් කෙලලා අරින්න පුළුවන්, ඒත් කෙල්ලෙක් එක්ක බැනුම් අහන එකට වඩා හොඳයි හෙළුවෙන් කඩේ යනවා.

"මේ.... හරි හරි... මම නෑ කියන්නේ නැහැ. මට කියන්න ආපු එක කියන්නකෝ"

මම ඇවිලෙන පිදුරු ගොඩට වතුර පනිට්ටුවක් විසිකලා.

Friday, November 28, 2014

123. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 3



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

මට ආවේ පට්ට කේන්තියක්.

"ඔහ් "
කියල තමුන්ගේ වමතින් කට වසාගත්ත කැටපෝල්කාරී, විසල් කරගත්ත ඇස් වලින් මගේ දිහා බැලුවා. ඔව්.. ආයෙමත් මාව පුටුවෙන් බිමට වට්ටන තරම් වන ඇසට - ඇස හමුවිල්ලක්.

වටේ තිබ්බ සියලු දේවල් වෙන්කරලා අහස වෙනකල්ම එකවරම තාප්පයකින් මාව වටවෙලා ගියා වගේ දැනුනා.... ඔව් ඉස්සරවෙලා දැනුන තරම්ම ලොකු කම්පනයක් එක්කම මහා වැහි බීරුමක් මගේ ඔලුව ඇතුලේ නැගුනා..

'ඔව්... ඒ ඇස්..... '
නෑ.. ඇස් නෙවෙයි....... මගේ ඇස් ඇලවිලා තිබ්බේ ඒකිගේ කට වහගෙන තිබ්බ වමතේ! මම මෙතෙක් දැකල තිබ්බ ලස්සනම ලස්සන දිගටි කෝමල ඇඟිලි....

'මගුලක් කතා කරනවා... තෝ කොහොමද බොල දන්නේ ඒවා කෝමලද නැද්ද කියලා.... අඩෝ... උඹට පිස්සුද බොල ?'

ඒත් මගේ කටින් පිටවුනේ
"ඉට්ස් ඕකේ..."

කියල.

"සොරි"
කියල ඒකි කිව්වේ ඊට පස්සේ.
'අඩේ... ඒකි සොරි කියන්නත් කලින් උඹ මොකද්ද බන් ඒ කිව්වේ... තුක් නොදකින්.... ගොන් වස්සා'

මම මටම නම්බු නාම දෙමින් හිටියා.

මෙන්න ඒ පාර කෙල්ල කිසිම වගක් නැතුව බංකුවේ වාඩිවෙලා! ගෙනාපු අයිස් කෝපි එකේ ඉතිරිටික බීගෙන බීගෙන ගියේ හරියට මම ඒකිගෙන් ඉල්ලයි වගේ, නැත්තම් මම ඒක ඒකිගේ ඔඩොක්කුවේ හලයි වගේ. දැන් නම් හරි යන්නේ නැහැ පුතා...

මම කලේ, මගේ ඔඩොක්කොවට වැටුන අයිස් කෝපි බින්දු කීපය මේ වෙනකොටත් ඩෙනිමට උරාගෙන තිබ්බත්, බොරු වංසයක් පෙන්නමින්, එක අතක් මේසය මත තියෙද්දී , අනික් අතින් 'ෂෙක්' හඬ නගමින් දෙතුන් විටක් පිහන නාටකය රඟදක්වපු එකයි.

Thursday, November 27, 2014

122. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 2






මුල් දිගහැරුම...


වැවරවුමේ බංකුවෙන් බිමට වැටිලා , දන ගාන්නේ නැතුව මම කකුල් දෙකෙන් ඇවිදගෙන ආව..

ඇත්තටම පිළිසකර නොකලත් වැවරවුමේ පලින් පල තියෙන පස් මතුවෙච්ච කොන්ක්‍රීට් අතුරනයන් නොමැති තැන්වලට මම ආසයි. ඒවායේ තියෙන කලුපාට පස් වලට  ,මම මගේ ඩෙක් ෂූස් වලින් හෑරෙන පහරවල් දෙමින් ගමන් කරන එක හරිම විනෝදයක්.

කෙල්ලෙක් දිහාවත් නොබලා බිමම බලාගෙන යන එකෙත් තියෙනවා ආතල් එකක්.. ඔව් එහෙම යනකොට තමයි වැඩිපුර කෙල්ලෝ බලන්නේ... ඔලුව උස්සන්නේ නැතුව උනත් මට කියන්න පුළුවනි ඒක නම්!

සිමෙන්තියෙන් හැදුවත් කළුගල් පෙනුමක් තියෙන පඩිපෙළින් බිමට , පඩියෙන් පඩිය පනිමින් මම ආවේ මගේ පරණ මතකයකුත් බිම දිගේ ඇදගෙන...

'හෙක්.. හෙක්... '

මහේෂි එක්කත් මම මෙතන පහුකරගෙන ගිහින් තියෙනවා... නිර්මලී එක්ක නම් ගියේ පල්ලෙහා පාරේම විතරයි. මදාරා නම් කොහොමත්ම පාරවල් දිගේ ඇවිදිනවට කැමැත්තක් තිබ්බෙම නැහැ. කවුද අර කොන්ඩේ කැරලි කැරලි එක? නම මතක් වෙන්නෙම නැහැ. හැබෑට මට හැම වෙලේම ඒකිගේ නම අමතක වෙන්නේ මොකද?
'හෙහ්... ඒකෙත් හැටි...'

කාර්ගිල්ස් එක පහුකරනකොට මටත් නොදැනීම මගේ හිස හැරුනේ කාගිල්ස් එකේ විශාල වීදුරුවෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බය දිහාවට. පුරුදු විදියට මම මගේ කොණ්ඩය නළලින් උඩට හැදුවේ, ඊළඟ මොහොතේ ආයෙමත් වැටෙනබව දැනගෙනමයි.

ඒත් මම ආසයි එහෙම කොන්ඩේ හදන්න. වීදුරුවෙන් ඇතුලේ, සුපිරි වෙළඳ කුටියේ තිබුනේ භාණ්ඩ ගෙනියන 'ට්‍රොලි' අසුරන ස්ථානය. එතැනට එන කැරලි කොණ්ඩයක් තියෙන , බටර් පාට කෙල්ලෙක් මාව දැකල එකපාරට නතර උනේ අපි දෙන්නා අතර තියෙන වීදුරුව ගැන අමතක වෙලා වගේ...

මම කොණ්ඩේ ආයෙත් පාරක් හදලා පොඩි හිනාවකුත් එක්ක යන්න පටන් ගත්ත.

Wednesday, November 26, 2014

121. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 1


වෙනදා වගේම වැහිබර අහසක්...

ඔව්.. මම කැමතිම ජාතියේ අහසක්.. මගේ හිත ප්‍රබෝධමත් වෙනවා වගේ දැනුන. මට ඕනේ කලේ වැව රවුමේ බංකුවක් විතරයි.

එතකොට මේ එතනින් යන එන දෙනෝදාහක් මිනිස්සු?

ආ... කවුද ඒවා ගණන් ගන්නේ... මට ඕනේ මේ ජාතියෙන් බංකුවක් විතරයි. කොතන තිබ්බත් ඒ බංකුව මට ඕනේ මගේ විදියටම.

මම වටපිටවත් බලන්නේ නැතුව බංකුවේ කොනින් වාඩිවුනා. ඇත්තටම කවිබර දවසක්.

"ආ... මේ මොකද මේ භාවනාවක්ද?"

යාලුවෙක් තට්ටුවක් දාගෙන ගියා. ඈ යකෝ.. භාවනාවක් කොරන එකෙක්ට මෙහෙම තට්ටු දාගෙන යනවද බොල ?

මම එහෙම හිතල ඌට හිනාවක් දාල අනික් පැත්ත හැරිලා වාඩිවුනා.



හරියටම මගේ බංකුවට ඉදිරියෙන් තිබ්බ අනික් බංකුවේ මගේ දිහා බලාගෙන හිටපු ඒ රූපය මාව තව ඩින්ගෙන් බංකුවෙන් බිමට දානවා!

විශ්මයෙන් ඇරුන මගේ ඇස් එක්කම මගේ කටත් ක්‍රමයෙන් ඇරෙනබව දැනෙනකොටම මම ක්ෂණයෙන් කට පියාගෙන ඇස් වලින් ගින්දර පිටකලා.

'අසමජ්ජාති කෙල්ලෙක්....'

Friday, October 31, 2014

111. ඔබද මාද ඒ? - 03


පළමුවැනි කොටස


දෙවැනි කොටස

උණුසුම් ජලයෙන් තෙත්වෙන සිරුරේ නැගෙන්නේ වේදනාත්මක වින්දනයක්. සිරුර වගේම හිතෙත් ඒ වගේ ජල කෙලියකට ඉල්ලීමක් තිබ්බත්  අලුතෙන්ම ගෙනාපු බොඩිලෝෂන් අතුල්ලා නැගෙන මෘදු පෙන ගොන්නේ ලොකුම සබන් පෙන පිඬ සොයමින් මම කාලය මැරුවා.

ඔව්... දැන් සෙවිය යුත්තේ ලොකුම පෙනපිඬ ! ලොකුවටම පිපිරෙන, කාලබෝම්බයක් තරම් සද්දෙන්?

කාන්තාරයක් මැද්දෙන් දිවෙන කිසිම හැලහොල්මනක් නැති රේල්පාරකින් එකපාරටම බුලට් ට්‍රේන් එකක් ගිහින්, වටේ ඇතිවෙන කම්පනය වගේ දෙයකින් මගේ කන් දෙක අගුල් දාල. ඔව්.. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ කොහොමත් මගේ කන් දෙක අගුල් වැටුනා. අගුල් වැටුනද? අගුල් දාගත්තද?

නානකාමරෙන් එළියට ඇවිත් නැවුම් ශරීරයක් එක්ක හිටපු මට අලුත් හිතක් ඕනේ කළා. කිසිම දෙයක් නැති හිස් ළිඳක් එක්ක ඉන්නවා වගේ මගේ දිහා බලන් හිටියේ , කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. වෙනදට වඩා නැවුම්, දිලිසෙන ඇස්......

මම හොඳට බැලුවේ ඇත්තටම කම්මුල්පාර කෑවේ මමද , වෙන කවුරුද්ද කියල... ඔව්.. මම නෙවෙයි... මගේ කම්මුල නිල් වෙලා නැහැනේ..

ක්ෂණයක් කියන්නේ මහා දිග කාලයක්. ඒ දිග කාලේදී අපිම සමහර උපකල්පන වලට ඇවිත් ඒ උපකල්පන වලට අදාළ හේතු සාධනීය කරලා, උපකල්පන අපිම නිෂ්ප්‍රභා කරනවා. ඔව්.. ගොඩක් ජාති කරන්න තරම් වෙලාව තියෙනවා. මමත් එහෙම කළා...

' මේ ගෑනි.... හොර ගෑනි.... තුක් විතරක්!'

Friday, October 17, 2014

101. ඔබද මාද ඒ? - 02







මුල් කොටස 

අතොරක් නැතුව දුවන නොයෙකුත් ජාතියේ වාහන... කවදත් වගේ යන ගමනක්... බසය කලර් ලයිට්ස් ළඟදී හිරවුනා, එතකොට මගේ හිරවෙච්ච හිත ආයෙත් ලිහිල් වෙන්න ගත්ත.

'මට මෙහෙම ජිවත් වෙලා මොකටද.. '

පාරේ කිළුටු දරුවෙක් කිහිලිගන්නාගෙන යන කිළුටු මවක්.. මගේ හිත ඉරිසියාවෙන් පෑරුනා..

'මේ ගෑනිට කන්න නැතත්.. අඩු තරමේ මිනිහ දරුවෙක් හරි දීල... දරුවෝ ලැබෙනවද ඉතින් උඩබලන් උන්නට.... පො___යා'

මටම දැනුන ඒ කම්මුල්පාර මගේ වම් කම්මුලට වැදුන! මම කම්මුල අතගාල බැලුව. ඔව්, වෙනද වගේම උණුසුම්.

'අපරාදේ මට ඌගේ මුණටම කියන්නයි තිබ්බේ.... හෙහ්..  ඔව්.. මුණටම.. අර ගල් වෙච්ච කොන්ක්‍රීට් මුණට.... '