Thursday, November 27, 2014

122. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 2






මුල් දිගහැරුම...


වැවරවුමේ බංකුවෙන් බිමට වැටිලා , දන ගාන්නේ නැතුව මම කකුල් දෙකෙන් ඇවිදගෙන ආව..

ඇත්තටම පිළිසකර නොකලත් වැවරවුමේ පලින් පල තියෙන පස් මතුවෙච්ච කොන්ක්‍රීට් අතුරනයන් නොමැති තැන්වලට මම ආසයි. ඒවායේ තියෙන කලුපාට පස් වලට  ,මම මගේ ඩෙක් ෂූස් වලින් හෑරෙන පහරවල් දෙමින් ගමන් කරන එක හරිම විනෝදයක්.

කෙල්ලෙක් දිහාවත් නොබලා බිමම බලාගෙන යන එකෙත් තියෙනවා ආතල් එකක්.. ඔව් එහෙම යනකොට තමයි වැඩිපුර කෙල්ලෝ බලන්නේ... ඔලුව උස්සන්නේ නැතුව උනත් මට කියන්න පුළුවනි ඒක නම්!

සිමෙන්තියෙන් හැදුවත් කළුගල් පෙනුමක් තියෙන පඩිපෙළින් බිමට , පඩියෙන් පඩිය පනිමින් මම ආවේ මගේ පරණ මතකයකුත් බිම දිගේ ඇදගෙන...

'හෙක්.. හෙක්... '

මහේෂි එක්කත් මම මෙතන පහුකරගෙන ගිහින් තියෙනවා... නිර්මලී එක්ක නම් ගියේ පල්ලෙහා පාරේම විතරයි. මදාරා නම් කොහොමත්ම පාරවල් දිගේ ඇවිදිනවට කැමැත්තක් තිබ්බෙම නැහැ. කවුද අර කොන්ඩේ කැරලි කැරලි එක? නම මතක් වෙන්නෙම නැහැ. හැබෑට මට හැම වෙලේම ඒකිගේ නම අමතක වෙන්නේ මොකද?
'හෙහ්... ඒකෙත් හැටි...'

කාර්ගිල්ස් එක පහුකරනකොට මටත් නොදැනීම මගේ හිස හැරුනේ කාගිල්ස් එකේ විශාල වීදුරුවෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බය දිහාවට. පුරුදු විදියට මම මගේ කොණ්ඩය නළලින් උඩට හැදුවේ, ඊළඟ මොහොතේ ආයෙමත් වැටෙනබව දැනගෙනමයි.

ඒත් මම ආසයි එහෙම කොන්ඩේ හදන්න. වීදුරුවෙන් ඇතුලේ, සුපිරි වෙළඳ කුටියේ තිබුනේ භාණ්ඩ ගෙනියන 'ට්‍රොලි' අසුරන ස්ථානය. එතැනට එන කැරලි කොණ්ඩයක් තියෙන , බටර් පාට කෙල්ලෙක් මාව දැකල එකපාරට නතර උනේ අපි දෙන්නා අතර තියෙන වීදුරුව ගැන අමතක වෙලා වගේ...

මම කොණ්ඩේ ආයෙත් පාරක් හදලා පොඩි හිනාවකුත් එක්ක යන්න පටන් ගත්ත.



'බටර් පාට කෙල්ලෙක්.... මරු... හෙහ්.. හෙහ්..'
මම හැරිලා  බලනකොට මම හිතුව වගේම ඒ කෙල්ලත් හොරෙන් බලනවා.

'කෙල්ලෝ...  කෙල්ලෝ.... '

මේ, නුවර ඉන්න කෙල්ලෝ පොකුණක පතුලේ තියෙන සියුම් රොන්මඩ තට්ටුවක් වන මාව කළඹනවා....

මම අඩිය ඉක්මනින් තියමින් මගේ 'පුරුදු අහුමුල්ලට' දුවන්නට යුහුසුළු උනා..

ප්‍රධාන පාරෙන් පටන්ගෙන, තද බෑවුමක සේයාවක් ගත්ත පඩිපෙළක අවසානය වටවෙලා තිබ්බේ නොයෙකුත් ජාතියේ බේකරි කඩචෝරු හා පැණි බිම පුරවා තියෙන රාක්ක වලින්. සමහර රාක්ක වල තියෙන 'පේස්ට්‍රි' ජාති වැඩි උනුසුමකත්, සමහර රාක්කවල සිරකරපු 'කේක්' ජාති වලට මෘදු සීතලක් දැනෙන විදියටත් වෙන වෙනම තිබ්බත්, ඒ රාක්ක වලින් එලියට ගත්ත දේවල් කන අයට යන්තම් රස්නයක් සහිත සුවපහස් බංකු , කඩය වටේම ඇති බිත්ති වලට හොඳින් හේත්තු කරලා තියෙන්නේ.

මගේ සුවපහස් බංකුව පිහිටලා තිබ්බේ අර කියන පඩිපෙළ පාමුල, පඩිපෙළින් වැහිලා තියෙන පොඩි මුල්ලේ.... යනකොට කොන්ද නවාගෙන ඕනේ යන්න... ඇත්තටම අතට ගත්ත දේ කටට හලාගන්න වත් හරිහමන් ආලෝකයක් එතන නැති උනත්, ඒ ආලෝකය සමහර වෙලාවට මට බාධාවක් වෙලා තියෙනවා...

'ඩෙවොන්' එක ඇතුලට යනවිටම හැමවෙලේම මාව කළඹන ඒ 'පැටිස්' සුවඳ හින්ද, අදත් මම 'පැටිස්' සහ 'අයිස් කෝපි' අරගෙන මගේ මුල්ලට රිංගුවා. වටපිට බැලුවම, මගේ තැන වටේට ඉන්න තරුණ ජෝඩු අලුතෙන් ආපු මම ගැන වැඩි වගක් නැතුව තමුන්ගේ ප්‍රේම සල්ලාපයේ...

මට ශාන්යා මතක් උනා... දවසක් කෙල්ල අතින් මගේ ඇඳුමේ ඒකිගේ ඔරේජ් ජූස් එක හැලිලා... මල හොන්ඩරයක් නේ උනේ... මොකටද ඔතරම් කෙල්ලෝ පොඩි දේකටත් මර ලතෝනි දෙන්නේ?

එතකොට අර කොණ්ඩේ ක්‍රේල් කෙල්ල... ෂෙක්.. නම මතක් වෙන්නෙම නැහැ නේ ඒකිගේ...

මම ඇස්දෙක පියාගෙන ඒකිගේ මුණ මතක් කළා...

'ෂෙක්...'

කැරලි ගැහුණ කොණ්ඩේ මිසක් මට මුණවත් මතක් වෙන්නේ නැතිහැටි...!

මේ අස්සේ අයිස් කෝපි එකට කැෂියර් දීපු බීම බටය මගේ අතින් වැදිලා වැටෙන්න යනකොටම, පොඩි වැඩකෑල්ලක් දාල තමයි මට අල්ලගන්න උනේ. මට ඉබේටම වටපිට බැලුනේ කවුරුහරි දකින්න ඇති කියල.

වටේම උන්නේ ප්‍රේම සල්ලාපයෙහි සහ ඒ සම්බන්ධ වෙනත් වැඩවල යෙදිලා උන්නු ජෝඩු. මගේ මේ වැඩ කාට පේන්නද? ඒ අතරෙන් එකපාරටම මගේ මේසෙට අඩි තුනක් දුරින්, එක අතකට ගත්ත 'පැටිස්' එකකුයි, අනිත් අතට ගත්ත 'අයිස් කෝපි' එකකුයි එක්ක කැටපෝල්කාරී හිටගෙන උන්නා... මගේ අතින් ඒ පාර නම් බීම බටේ බිමට වැටුනා.

'මේකි මාව ෆලෝ කරාද?'

මම වටපිට බැලුවත්, සාධාරණ හේතුවකුත් තිබ්බ. කිසිම තැනක ඉඳගන්න ඉඩක් තිබ්බෙම නැහැ. මගේ ළඟ තිබ්බ බංකුව ඇරුණුකොට.

ඒත්... අර වැවරවුමේදී ඉඳන් මෙතැනට එනකල්ම, මගේ ඇස්දෙකට නොදැක මගේ පස්සෙන් ආවද? ෆලෝ කරනවද? මොකට හිතනවද? බටර් පාට නොවෙන, කැරලි කොණ්ඩයක් විතරක් තියෙන, බටු කෙල්ලෙක් ගැන??

මම කලේ මේසේ උඩ තිබ්බ මගේ කෑම කොටස් මගේ ගාවට ඇදල, 'ළඟින් වාඩි උනාට මගේ මොකෝ' කියන එක ඒකිට දැනෙන්න අරිපු එකයි.

කෙල්ල මගේ ඒ අභිනයෙන් පස්සේ, හෙමිහිට ඇවිත් මුලින්ම කලේ මේසේ උඩින් අතේ තිබ්බ දේවල් ටික, එකකට පසුව එකක් වශයෙන් තියපු එකයි. ඒත් බාගයක් බීලා තිබ්බ අයිස් කෝපි එක තියද්දීම, ඒකෙන් එළියට විසිවුණ එක රැල්ලක් මේසෙන් බිමට පැනලා මගේ කලිසමට වැටුනා...

"ආඃ !!"

මගේ කටින් පැන්නේ අමුතු ගොර සද්දයක්....

ඊළඟ දිගහැරුම

14 comments:

  1. ඕයේ
    පට්ටෙටම නැගල යයි වගේ...
    එල එල ලියන්ට ඉතුරු ටිකත් ඉක්මණට.........
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හරි හරි හලෝ.... ලියන්නම්....

      Delete
  2. මේකනම් පට්ට පට පට උපේක්ෂා! මම වශී වෙලා ඉන්නෙ ඔයාගෙ ලිවීමේ රටාවට! අතිශය සුපිරියි!

    විස්තරේ කියාගෙන යනකොට මට හිතුනනෙ ඒයි ඩෙවොන් එකත් මේ වගේමනෙ කියලා. ඒ මුල විස්තරේ සුපිරිම සුපිරි.

    උඹ නම් මාරයි බං!

    ReplyDelete
    Replies
    1. ඒ ඩෙවෝන් එක එකම රස ගුලාවක්, මතක ගබඩාවක්.. හි.. හි..

      Delete
  3. ලියහන්....... උපේක්ෂා.. ලියහන්.....,,,,, පොස්ට් ඉස්මුරුත්තාවට ලියන්න ඕනේ මෙව්වනේ බං.......!!

    ReplyDelete
    Replies
    1. ලියන්නම් හලෝ...... ඔය විවේකයක් ලැබුනම ඔෆිස් වැඩත් කරන්න එපෑ

      Delete
  4. ///මේ, නුවර ඉන්න කෙල්ලෝ පොකුණක පතුලේ තියෙන සියුම් රොන්මඩ තට්ටුවක් වන මාව කළඹනවා..../// නුවර කෙල්ලො එච්චරටම 'බොක්කට' වදිනවද? හෙහ් හෙහ්.. ආයෙම පාරක් නුවර ගිහින් බලන්න ඕනි..

    කොටස් දෙකම එක දිගට කියෙව්වම තමයි පොඩි කික් එකක් එන්නේ.. නැත්නම් ටූ ෂොර්ට්.. ඒ ගැන විරුද්ධත්වය.. හොඳයි ටිකයි කියල එච්චරම කොට වෙන්න දෙන්න බෑනේ.. තමුන්ගේ උසට නොවෙයි ඊට වඩා ටිකක් උසට ලියුවට කමක් නෑ.. :P

    ReplyDelete
    Replies
    1. ඇයි නැතිද? නුවර තරම් මල් වගේ කෙල්ලන් මම කොහෙවත් දැක නැත!!

      Delete
  5. නියමයි
    ටිකක් දිගටත් ලියලා :)

    ReplyDelete
  6. හරි....අයිස් කෝපි බොයි වගේ. හොඳ ස්ටාට් එකක්. දැන් ඉතින් මේක අස්සට වෙන පෝස්ට් නොදා මේක ලියලා ඉවරකරොත් හොඳයි වගේ.

    හිල්වුඩ් එකේ අපේ අක්කා කෙනෙක්ගේ දුවක් නැවතිලා ඉගෙනගත්තා. ඒ කිට්ටුව තියෙන ඩෙවොන් හෝටලය මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ ඩෙවෝන් එක තමයි... නමුත් හෝටලය තියෙන්නේ වැවරවුමේ උනාට මේ කියන කැෆටේරියා එක තියෙන්නේ පරණ කාගිල්ස් බිල්ඩින් එක අද්දර..

      Delete
  7. තවත් එක් සත්‍ය කතාවක් ද?... බලමු ඩෙවොන් එකේදී දැක්කොත් ඔහොම පොරක්!! :D

    ReplyDelete
    Replies
    1. හි.. හි.... බලමුකෝ කොතරම් දුරට සත්‍ය කතාවක් වෙයිද කියල...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...