Thursday, December 10, 2015

238. පිච්ච සුවඳ




මට තියෙන පිස්සු වලින් කීපයක් ගැන මම ලියලත් ඇති. ලියන්න බැරි පිස්සු සහ ලියාගන්න බැරි කියන ජාති දෙකේ ඒවා ලියන්න මම උත්සහ කරනවා.

එකක් මට අද උදේ එනකොට ආයෙමත් මතක් උනා. ඒ තමයි ඔය කෝවිල් ළඟදී මට දැනෙන අමුතු පිස්සුව!

කොයිල් වගේ ඇති නේද?

මෙහෙමයි...

ඔය කෝවිල් සහ කෝවිල් වලට යන පාරවල්වල තියෙන මල් විකුණන කඩවල් දකිද්දී මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. වැඩියෙන්ම මල් කඩවල් දකිද්දී. ඒ මල් විකුණන කඩවල් වල තියෙන පිච්ච පිරුණු මල් මාලා දැක්කහම මාව පාවෙලා වගේ යනවා. මොනයම්ම හේතුවකට හරි ඒ මල් මාලයක් දාගන්න හරි ඒ පිච්ච මල් වලින් ඔලුව සරසාගන්න හරි හිතෙන එක වලක්වා ගන්න හරිම අමාරුයි. හැමදාම ඒ මල් කඩ පහුකරගෙන යන මම ඒ පාට පාට මල් මාලා  හිතින් තෝරන්න දහස් වාරයක් උනත් අමතක කරන්නේ නැහැ. සුදුපාට ලොකු මල් එක්ක දම්පාට මිශ්‍ර කරලා හදලා තියෙන එකට තමයි වැඩියෙම්ම හිත ඇදිලා යන්නේ.

Monday, December 7, 2015

237. සිත්තර පැංචි






මම කලිනුත් එක එක තැන්වල පම්පෝරි ගහලා ඇති මට පොඩි කාලේ චිත්‍ර වලට පොඩි හැකියාවක් තිබ්බා කියල. දැනට අවුරුදු දහයකටත් වඩා කලින් මම මගේ චිත්‍ර අඳින වැඩේ නතර කරලා හින්ද පොඩි පොඩි බලිකුරුටු මිසක් මම චිත්‍රයක් ඇඳපු කාලයක් තිබ්බේ නැහැ. මේ ලඟදි මට හිතුන, මේ මොන විකාරයක්ද... ඇඳපන් යකොව් චිත්‍රයක් කියල!

එවෙලේම ගත්ත පොඩි එකෙක්ගේ චිත්‍ර පොතක මැද පිටුවක මම ඇන්ද චිත්‍රය මේක තමයි.

Saturday, November 21, 2015

236. සිතුවිලි සිරවී









"ලස්සන? ලස්සන කියන දේ සාපේක්ෂයි..."
"සාපේක්ෂයි...? කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? හි.. හි.."

මම ඇඳුම් රාක්ක අතරින් ඇවිදගෙන ගියේ හිත ඇතුලේ ඇවිදින ක්‍රමයට. ඒ කියන්නේ ආස හිතෙන වගේ රාක්ක පහු කරලා , ගන්න වැඩක් නැති රාක්ක දිහාම ඇස් තියාගෙන.

"කොහෙන් උනාම මොකද? බොරු නෙවෙයිනේ. දැන් බලන්න... මෙන්න මේ ඇඳුම. ඔයා ඇන්දා නම්........."

මම ඔලුව උස්සලා බලනකොට උවමනාවෙන්ම නොබලා හිටපු ඔහුගේ මුහුණ පෙනුනත්, ඔහු අතේ තිබුණු ඇඳුම දිහා විතරක් බලන්නට මම වෑයම් කළා. ඔහුගේ අතේ තිබුනේ අතිශය කෙටි, සරාගී ඇඳුමක්.

"අනේ මේ....!"

Friday, November 20, 2015

235. පස්වරක්








මට මාව ඕනේ වෙලාවට
මම යන්නේ කවුළුව ළඟට
වැසුණු පියනක වම් පැත්තට
මැඳ'ඟිල්ල පස්වරක් සිපගන්නට

'ටක් ටක් ටටක් ටක්'

ඒ හැම විටෙකම
ඇසිල්ලක් නැතුවම
ලැබෙන පිළිතුරකම
තිබුනේ පස්වර තානම

'ටුක් ටුක් ටුටුක් ටුක්'

අලුත් කවුළුව
නැත, එය වීදුරුව
තට්ටු කෙරුමක් නැතුව
එබෙයි අහන්නෙත් නැතුව


Friday, November 13, 2015

234. මග බලමි




අනුන් වෙනුවෙන් ඇරුණු
කවුළුවක සරනේරු
හඬකටද  - තිගැස්සෙන,
මකුළුදැල් හිමිකාර
හදවතකි....

Sunday, November 1, 2015

233. ඩිජිටල් රේඛා ( digital divide?)






ඉරිසියාවෙන් පැලෙමි
මම වෙනුවට
වම් උරෙහි එල්ලෙන
ඔබේ ලැප්ටොපය දැක

කුරිරු ලෙස මත්වෙමි
මට අයිති ඇඟිලි අල්ලන
යතුරු පුවරුව දැක

සෙමෙන්
වමතේ මුදුව අල්වමි,
සිහිනයෙන් බිම බසිනු
දැක දැක


Saturday, October 31, 2015

232. මොන බොරුවක්ද 'බියුටි'





මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?

මූන කට ලස්සනට
නොතිබුනට,
'බිස්ට්'ලට කැමති වෙන එක
මැරුමකි  - මිනී
හිනා යන....

හාද්දකින් පුළුවන්ද
කුමාරයෙක් කරන්නට?

මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?




ප.ලි.
කොමෙන්ටු වලින් පෙනී යන්නේ මගේ කවිය අසාර්ථක බවයි. එහෙමය කියල මම එහෙම සැලෙන එකෙක් නෙවේය!! හික් හික්... 

231. දුනේෂ් ප්‍රියශාන්තට ලියන වග නම්........





මුලදී
අය්ය කියන විදියට

දැන්
කළු ලෝගු වල ඕනෙකමට

එන්නකො
දේශපාලනේට

අපි
වැඩකරමු එකට




Friday, October 30, 2015

230. ගහෙන් වැටුණු එකාට දේවාලේ පාත්විම




මේ පාර නම් බොලේ ඉල්ලමක් වගේ පෑදුනේ.

මොකද දන්නවද, මට මේ කතාව මතක බැරි වෙලා තිබිලා මගේ 'මුන්ට ලූස්' පෝස්ටුව කියෝපු ලූස් උන්නාන්සේලා දාපු කොමෙන්ටුවක් හින්දා මතක් වෙච්ච එකක්. ( දැක්ක නේද මුලක් මැදක් අගක් හොයාගන්න බැරිවෙන්න ටපලලා ලියන හැටි?)

ඉල්ලමක් කියල කිව්වේ, අපේ අය්යා ගැන මට ලියන්න වෙන්නෙම 'රජ්ජුරුවෝ උඩයි උඩයි... ___ කෙල්ලෝ බිමයි බිමයි' වගේ පෝස්ටු හින්දා උගේ ඇදයක් කුදයක් ලියන්න ලැබෙන්නේ බස් එකේ නිදාගන්නේ නැති දවසක් ලැබෙනවා වගේ හින්දයි.

අපි පොඩි කාලේ අපේ ගෙදර වටේම තිබ්බේ ගස්. ( නැතුව ඉතින් ගිනි කඳු තියෙන්නය?) ගස් කියන්නේ කැළෑ වගේ කොටස් තිබ්බ ගෙවල් අතරින් පතර. එක පැත්තක කෝපි ගාලක්. (ඒකෙ තමයි අපේ සටන් කලාප ) තවත් හිස් ඉඩමක් තිබ්බ ඒකෙ එක කොටසක් තනිකරම කොකෝව වගාවක්. මුල කොටස හබරල විමානයක්. ඔය හබරල කොළ වල ප්‍රමාණය ගැන කිව්වොත්, අපේ සෙල්ලම් ගෙවල්වල වහලෙට හෙවිල්ලන්න ගන්නේ ඔය හබරල කොළ.

අපි ඒ දවස්වල හෙන 'පොෂ්' නිසා දවස ගානේ වහලේ අලුත් කරමින් ඒ හබරල ගාල මත්තෙම නැහුනා. ඒ වත්තේ අයිතිකාරයින් උනත් හිටියේ අහල පහල උනත්, අපිට ඒවායේ වගක් තිබ්බේ නැහැ. කොකෝව හැදිලා තිබ්බ නිසාත්, පිවිසීම් මාර්ගයේ ඉඳන්ම තණකොළ අපේ දනියක් විතර වැවිලා තිබ්බ නිසාත් ඒ වත්ත මට මතක තිබ්බේ භයානක , අත්භූත කතාවක එන මකර රාජධානියක දොරක් වගේ.

Monday, October 26, 2015

229. කැසිනෝ රෝයලි (casino royale)






අපේ ගෙදර ඉස්සර තත්වය තිබ්බ කාලේ ( ඒ කියන්නේ දැන් තත්වය මිට හුගාරියක් වෙනස් හින්ද) වෙච්ච වැඩ දුසිමක් විතර මම ලියලත් ඇති. තව ලියන්න තියෙන ජාති ඉතින් ඉසේ කෙස් ගානට. සමහර ඒවා මට මතක් වෙන්නේ ලියන්න ගත්තම මිසක් මට එතෙක් ඔතරම් ඩිටෙල් මතක තිබිලා නැහැ. ඒවත් අර මැජික් කාරයා තොප්පිය අස්සෙන් අර කෙළවරක් නැති රෙදි පටියක් එලියට අදිනවා වගේ, කොනක් අල්ලගත්තම මතක් වේගන වේගන එනවා, ආයේ නැහැ පාචනේ වගේ!

මම ඉස්සරත් කියල ඇති මම පැංචි කාලේ අපේ ගෙදර හිටියා මාර සෙනඟක්. කොටිම්ම කැරම් බෝඩ් එකක් දිගෑරියොත් කිසි ගේමක් නැතුව කණ්ඩායමක් හදාගෙන කැරම් අතක් ගහන්න පුළුවන්. ඒවාට ඕනේ කරන අඩුම කුඩුම විදියට ඒකටම වෙන කරපු ඩෙස්ක් බංකු, පවුඩර් කොට්ට ( මට මතක විදියට ඒ දවස්වල කැරම් බෝඩ් එකට දාන පවුඩර් තිබ්බේ හතරැස් රෙදි පොට්ටනියක දාල, මහලා. හරියට ඉස්කෝලේ ඩස්ටර එක වගේ.  දැන් නම් ඩස්ටර් ඉස්කෝල වලත් නැහැ මම හිතන්නේ) ඕක මැදැගිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි අල්ලලා බෝඩ් එක මැද්දේ 'ටුහ් ටුහ්' ගාල ගැහුවම ඕනේ තරමට පවුඩර් වැටෙනවා.

228. පේලි අතරින් (Reading between the lines..)








නුඹ
'නොදකින්' කියන
සැමවිට
පසෙක සිට
ඔල්වරසන් දෙන....

නිතර සොරු බිඳින
ගෙදරක
මිදුලේ මල් වවන... - මම

දිහා බලාගෙන
සිනාසෙන




ප.ලි:

මම සාමාන්‍යයෙන් විරාම ලක්ෂණ සහ විශේෂ සලකුණු එක්ක කතා, කවි කියවන කෙනෙක්. මේ කවියේ අදහස් ඔබ ඒ විරාම ලක්ෂණ වලට දෙන ප්‍රමුඛතාවය මත වෙනස් වන්නට ඉඩ තිබේ. ලිව්වා මිස කියවීමේ අපහසුතා වලට සමාවන්න.


Friday, October 23, 2015

227. පිටුවක් .............






"හරි හරි... මාත් එනව"

මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.

"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "

මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු  හොරයක්, කිචියක් වගේ දෙයක්.

"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"

මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.

226. වරදට දඬුවම







සත්‍ය ප්‍රේමයට
නිගා දුන්නෙන්,
ආදරය
මා රැවටීය...


Wednesday, October 21, 2015

225. මුන්ට ලූස් ?






මේක මම මේ නිකන් ඉන්න වෙලාවට කල්පනා කර ජාතියේ එකක් නෙවෙයි. මම නිකන් ඉන්න වෙලාවට කල්පනා කරන එව්වා ගැන මෙතැන ලියන්න ගිහින් හොම්බ ඇනගෙන තියෙන්නේ එකපාරක් දෙපාරක් එහෙම නෙවෙයි උනාට..මේක ඒ ජාතියේ නෙවෙයි.

මම කල්පනා කළා කාරණයක් ගැන, හදීස්සියෙන් වගේ..

මොකද මම මේ ලඟකදී දැක්ක බ්ලොග් වල ( එක එක ජාතියේ) ලියල තියෙනා ළමා හිංසනය, ගුරුවරුන්ගේ කායික දඬුවම් වගේ දේවල් ගැන. එකකටවත් උත්තරයක් ලියන්නේ නැතුව මම පෝස්ටුවකට හොරගල් ඇල්ලුවට කෝ ඉතින්? මම ලියන කෙහෙල්මල!

මට හිතුනා මගේ කෝණයෙන් මේ ගැන ලියන්න. මොකද කිව්වොත්.... මටත් ඉතින් කැසිල්ල නේ.!

ළමා කාලයේදී දෙමවුපියන් දක්වන්න ඕනේ මොනවගේ සැලකිල්ලක්ද කියන එක ගැන තාමත් තියෙන්නේ මතවාද. මොකද මේක ට්‍රයල් ඇන්ඩ් එරර් මිසක් තියරියක් අනුව කරන්න පුළුවන් එකක් නොවෙන නිසා. එකම අවුල තියෙන්නේ, ට්‍රයල් ඇන්ඩ් එරර් විදියට කලත් කොහොම කලත් අවසන් ප්‍රථිපලේ ආපසු හරවලා ඩිලීට්, undo බොත්තම් ඔබන්න නොලැබෙන එක. ඒ කියන්නේ තමුන් වගාකරපු දේ රස බලන්න වෙන්නේ තමුන්ටමයි.

Monday, October 19, 2015

224. කලාබර , හාරත






ජාතිය -
හාරතය.

තනතුර -
ඔටුනු පළඳින රජුය.


මුත්

නුඹ හාරත රැජිණය



- මේ ඇලිස්ගේ
විස්මලන්තයය...




Friday, October 16, 2015

223. තන්වැසි නොවූ..







වැනීම තහනම්ය
පස්ස
වැඩිපුර නොවේ කොහෙත්තම...

හිර වෙච්ච හැට්ටද
වම් කොනේ පොඩියට
- ලියපු වැකි ඇති කමිසද
අසාත්මිකය

කොට සාය
තඹ කොණ්ඩ ,
උල් වෙච්ච අඩි වලින්
හිල්වෙලා හැමතැනම -
මගේ පපුව

හවස වෙන කාගේහෝ
වෙලා උඹ ,
වෙඩි කන්ඩ බලාගෙන
හිටගනින් මගේ ගාව
ලිෆ්ට් එකේ
හැමදාම....


222. ඉස්පිලි පාපිලි ඇලපිලි හිදැස්






ලියමි මම
නවත්තන්න බැරි තරමටම..
කවි..

ඉස්පිලි අස්සේ හංගන
පාපිලි අස්සේ ගුලිවෙන
ඇලපිලි වල විටෙක ඇමිණෙන
උඹ ඇත
කොම්බුවක, රේපෙක එල්ලීගෙන..

ඒ කවි අතර
වචන එකිනෙක අතරින්
තබන හිඩැසින් බිමට වැටෙන,
උඹ
ආයෙමත් අනිත්
කවියේ මුලට එක්වන

තාලයක් නැති,
හිතෙන තාලෙට ලියවෙන..
නවතන්න බැරි,
හිතින් නවතින උඹ මෙන....




Wednesday, October 14, 2015

221. ඌ ඌ ඌ ඌ අම්මෝ






තුක් විතරක් මුසල බල්ල... අදත් කෑගහන්න පටන් අරගෙන.

එක අතකට ඌ මක් කරන්නද? දඩාවතේ යන බල්ලෝ එහෙම යන්න නොදී උන්ට පිහිට වෙන්න කියල, ගෙදරකට ගාල්කරවගන්න හිතල මිසිස් ගුරුසිංහ ඌව දරුකමට හදාගන්න හිතල ඇතිකලාට , එහෙම පුළුවන්ද බල්ලෝ හදන්න? එක්කෝ දඩාවතේ යන්න දෙන්න ඕනේ, නැත්තම් දවල් වරුවේ ගෙදර ඉන්න කාලෙක එපැයි බල්ලෙක් උනත් ගෙනත් දාගන්න.. නැද්ද?

කණ්නාඩිය ඉස්සරහ මම බලන් හිටියේ අදවත් මේකෙන් මාව නැතුව වෙන එකෙක් පෙනෙයිද කියල නිකමට හිතන ගමන්.

ඇත්තටම වෙන්න බැරිද? නෑ මම කියන්නේ අර හිම කුමාරිගේ පච නොකියන කණ්නාඩිය වගේ නැතුව ඉඳල හිටලවත් පචයක් කියල හරි මාව රවට්ටන කණ්නාඩියක් තියනෙක වටිනවා.  පුලුවන්ද මේ කෙරුවාව කරන්න, ඒ කියන්නේ එකම මුණ දැක දැක , නොදැක්කා වගේ ඉන්න? ඊටත් ඒක තමන්ගෙම මුණ වෙච්චිකොට!

මම ඇස්දෙකේ පාමුල තියෙන පුංචි කුහරෙට නියපොත්තෙන් ඇනල බැලුව. හරියට හරි, එතන තියනවා හොඳ කබ තලියක්ම. ඔන්න දැන් මම ඇස්දෙක සුද්ද කරන්නෙ නැතුවම මුණ හෝදන්න යනවා.

මුණ හෝදන වෙලාවට ඒක කරන්නේ. මගේ නැහැනේ එකම දේ දෙපාරක් කරන ගතිගුණ. වන් ෂොට්!

වන් ෂොට් දැන් මොකක් කරනවද දන්නේ නැහැනේ.. ඉස්සර නම් කොයි වෙලෙත් කැමරාව ඉස්සරහ. නෑ මම මේ කිව්වේ ඇක්ෂන් කියන එක ඉස්සරහ නෙවෙයි, මිඩියා කැමරා එක ඉස්සරහ. මට බැහැනේ ඔය කැමරා ඉස්සරහ වැඩ.

අප්පා... අදත් දොර ඇරලනේ නිදාගෙන තියෙන්නේ. බාත්රුම් එකෙන් කැරපොත්තෝ ආවද දන්නේ නැහැ කාමරේට. ආවත් මොකද, කටේ වහන්නේ නැත්තං .

කණ්නාඩිය කතාකරනවා නම් හොඳයි, නැද්ද? මම කියන්නේ බාත්රුම් එකේ කණ්නාඩිය නෙවෙයි. කාමරේ තියෙන එක. බාත්රුම් එකේ එක නම් කට ඇරපු ගමන් කියයි දන්නා කුණුහබ්බ ටික ඔක්කොම. හෙහ්..

කොහොමත් දොර වහගත්තම බාහිර ලෝකයෙන් වහන්වෙලා ඉන්න පුළුවන් ස්වාධිනම , අතිරමණිය තැනක් තමයි බාත්රුම් එක. ඒ හින්ද කතාකරන කණ්නාඩියක් තියාගෙන ඉන්නෙක ඇත්තටම ජිවිත අවධානමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්.

හැඃ මේ මොකද්ද?

Thursday, August 13, 2015

202. වේදිකා







උරේ නැඟ
ගිරිය පුප්පා - ගිගුම්ලා
දෙසති උන්

මගේ බෑඟිරි
හඬද පරයා
නැගෙයි ඔල්වරසන්
ඈතින් පොදිකන
දනන් තුඩ'ඟින්

Wednesday, August 12, 2015

201. ළිඳේ මියුසික්






මියුසික් කියන්නේ මොකද්ද කියන්න මම හදාරලා නැහැ. නමුත් අපේ ලේ වලට දැනෙන මියුසික් තියෙන බව මම විස්වාස කරනවා. ඒක මොන රටකින්ද  පොඩ්ඩක්වත් අදාළ නැහැ කියලයි මම අදහන්නේ.

මේ බලන්න මේ ශ්‍රිරාම්




මේ ඔහුගේ ඊළඟ වටයන්හිදී ගායනය






මේ එකක් ගායනයක්වත් මට ඇඟේ හිරිගඩු නොපිපි අහගෙන ඉන්න බැහැ. අපේ ඇඟේ ලේ වලට දැනෙන ගායනයක්!

200. සරාගී ස්පොන්ජ්



හිත කියන්නේ ස්පොන්ජ් එකක්.......
ආදරේ කියන්නේ පාටක් නැති වතුරක්.....

බැරිවෙලාවත් වතුරට වැටුනොත්? ඉක්මන් වෙන්න ඕනේ කාරණයක්!

ගිලෙයි , වතුර පෙවෙයි කියල නෙවෙයි. පෙගෙයි කියල.....

ඉතින් හරි අමුතුයිනේ මේ කතාව, එකම දෙයක් ගැන දෙන්නෙක් දෙවිධියකින් ලියන එක?

මම කියනවා එයා කියල, එයා කියනවා මම කියල.

අපි දෙන්නම... නෑ දෙන්නම එකම වෙලාවේ කතා කරන්නේ නැති එක තමයි මැජික් එක.

එයා කියනවා, මට තියෙන්නේ වලත්ත ඇස් කියල. ඒක මගේ වරදක් වෙන්නේ කොහොමද කියල මම මගෙන්ම නිතර අහනවා.

ඒ වලත්ත ඇස් දෙකෙන් එයා දිහා, ඇත්තටම කිව්වොත් එයාගේ කුෂන් එකක් වගේ තියෙන ඇඟ දිහා බලනෙකට ඉතින් ඔතරම් අරියාදු වචනයක් කියයි කියල මට හිතුනේ නැහැ මුලින්ම. මම හිතුවේ විහිළුවක් කියල, නැහැ එයා එහෙම කියපු එක නෙවෙයි , මම එයා දිහා එහෙම බලන එක තමයි විහිළුව.

Friday, August 7, 2015

199. කලාම්ගේ මැත සහ උපදෙස්




අපි හැම දෙනාම හිටියේ තිගැස්මෙන්. කොටින්ම එකෙක්ට එකෙක් මුමුණන්න වත් අපිට ඉස්පාසුවක් තිබ්බේ නැහැ. මම ආයෙමත් කලේ අපේ කාලසටහන මුද්‍රණය  දීපු කොලය නැවතත් බලපු එකයි.

'Discrete Mathematics and Statistical Analysis'

කියල පැහැදිලිව සටහන් වෙලා.

හිතේ ගැස්ම තවත් වැඩි වෙන්න හේතු කාරනා නොඅඩුව අපිට තිබ්බ. මිට දවසකට කලින් පටන් ගත්තු අපේ උපාධි පාඨමාලාවේ දේශන වලට සවන් දුන්නු අපි ඇත්තටම පොල්ගස් ගැන අහගෙන ඉන්න එස්කිමෝවරු වගේ. ඉන්ඩස්ට්‍රී එකෙන් ආපු සියලුම දේශකයින් අපිව එතරම් භිත කරවලා තමයි තිබ්බේ.

කෙනෙක් ලෝකේ තියෙන පරිඝනක භාෂා ගැන සාගරේ කලම්බනකොට, තව කෙනෙක් නොපෙනෙන ඩේටා සහ සංකල්ප ගැන මායාකාරී චිත්‍රයක් මැව්වා. ඒ සියල්ල අහසේ මකරුන් වගේ අපි දිහා හිනා වේවි බලන් ඉන්නකොට අපි ආවේ වැරදි තැනකටදෝ කියල විතරයි අපි කතා උනේ..

ටික වෙලාවකින් විදුරු දොර තුලින් කුඩා මුහුණක් මතු උනා. ඒ මුහුණ සමාන වෙන්නේ 'අබ්දුල් කලාම්'ට පමණයි. පෙනුමෙන් වගේම බැල්මෙනුත් තිබ්බේ එහෙම උනත් එකවරම දුටුවම අපිට හිනා යන්න තමයි ගියේ. ඒත් ඒක හිනාවෙන වෙලාවක් නෙවෙයි. අපි සීරියස් විෂයකට සුදානම් වේවි හිටපු මොහොතක්. පොඩියට එබුනු මුහුණට අපි හිනාවෙන කොට කිසිම හිනාවක් නැතුවම ඒ මුහුණේ අයිතිකාරයා බයෙන් වගේ ( ඔහුගේ ඇස්දෙක විශාලව නෙරලා තිබ්බ නිසා අපිට හිතුනේ ඔහු බයෙන් ඉන්නවා කියල) වටපිට බලමින් ශාලාවට ඇතුල් උනා.

Thursday, July 23, 2015

198. මගුලේ යෑම - 2





මෙතෙක් කෑම.....

ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ ඉවර වෙලා එන්න පිටත් උනා.
සයිමොන් ඉදිරියෙන්.. අපි පිටුපසින්.

වෙනද වගේ නැතුව මුණ හෝදලා , කබ එහෙම කඩලා ඌ මම හිතන්නේ මොනවා හරි මුනෙත් ගෑවා. වෙනදට පිස්සු බල්ලෝ පන්නනකොට දුවන පොලිස් රාලහාමි වගේ දුවන සියදෝරිස් එදා යන ලලිත ලතාව දිහා පාරේ ටැප් එකේ රෙදි හෝද හෝද හිටපු ගෑනු විතරක් නෙවෙයි අපි සමහර දවස් වලට පේර ගන්න කරත්තේ එකාත් ඔක්කොම වැඩ නතර කරන බලන් හිටිය.

අපේ ඔෆිස් එකට ඉස්සර යන්න තිබ්බ පාරවල් දෙකෙක් එකක් ෂෝර්ට් කට් වගේ එකක්. යන්න තියන පාරේ දෙපැත්තේම තිබ්බේ මුඩුක්කු වගේ ගෙවල්. ඉතින් ගෙවල් වල රෙදි වැල් , සාලේ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒ ගෙවල් අඩුම තරමේ ඇඳක් වත් දාන්න ඉඩ නැහැ වගේ පේන්නේ . ඒ උනාට එක පාරක් ඔහොම තියෙන පොඩි පටියක් වගේ ගෙයක් ඇතුලෙන් මම බලන් ඉන්නකොට එකෙක් ආව එලියට, ඔන්න තව එකෙක් ආව, ඊට පස්සේ තව එකෙක්... ආව ආව ආව... මට නිකමට හිතුන ඔය ගෙවල් අර ඇලිස්ගේ විසමලන්තය වගේ එකක්මයි කියල. ඔතරම් සෙනඟ කන්දරාවක් නැත්තම් කොහොම ඉන්නද?

ඈතින් ලලිත ලතාවට පැද්දෙන සියදෝරිස් ය... 
මෑතින් එකට ගුලිවී යන අප දෙදෙනාය.. ( මොකද එන්න එන්නම මුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ තිබුණු අවුල නිසා අපි අතේ දුර උනත් කකුලේ දුර දක්වා දීර්ඝ කළා.)

Wednesday, July 22, 2015

197. මගුලේ යෑම - 1




මම අද කියන්න යන්නේ ළමායි.. ඔෆිස් වගේ ඔෆිස් කතාවක්.

චරිත: ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් හි එන ඇඩ්ඩින් , සයිමොන් සහ සියදෝරිස් එක්ක සෙසු චරිත 

මම මේ සීරීස් එකේ කතා කීපයක් කියල තියෙනවා. ඒ නිසා මම මේ සයිමොන් හෝ සියදෝරිස් ගැන අමුතුවෙන් වගපල කියන්න හිතන්නේ නැහැ. ( ඌ ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඒකයි ) මම ගැන නම් ඉතින්..... හොඳමයි අහන්න ලැබුනේ පින්වතුනි!

මේ මුල් හඳුන්වාදීම 
මේ සියදෝරිස් ගේ කතා 1 , කතා 2

මම ඔය කම්පැනි එකට එනකොට අපේ සයිමොන් හාදයා ඒ කම්පනියේම කොලුගැටයෙක් එක්ක ඇයි හොඳයියක් තිබිලා , අවසානෙදි අපේ සයිමොන්ට හොඳවයින් සපත්තු ජෝඩුවක් දීලා ඌ කම්පැනි එකෙනුත් ගිහින් තිබ්බ. මම ඉතින් තැනකට අලුතෙන් ගියාම ඉබ්බෙක් වගේ ඉන්නවා මිසක් කතාබහ අඩුයි. සපත්තු ජෝඩුව ලැබීමේ ප්‍රීතියෙන් හිටපු සයිමොන්ට ඉතින් හුලන් ගැහුවේ ඉතින් අපේ සියදෝරිස් තමයි. ඌත් අර බස්සිගේ දුකා වගේ තමයි. දුකක් කොතනද, ඌ එතන!

ඔන්න ඒ අතරේ අපේ සයිමොන්ට ගෙදරින් මගුල් තුලා එහෙම හොයන්න ගත්තේ මුගේ අන්දොස් ගතිය දුරින් දුරු වෙන්න තියෙන එකම ප්‍රතිකර්මේ මූව කාගේ හරි ඇඟේ එල්ලන එක බව එක පයින්ම වැටහුණු නිසා. පතෝල කරලට කරවිල වැල එතුනා වගේ ඉන්න මූට අහුවෙන එකා ගැන අපිටත් නිකන් කොස්සක් වගේ හිතුනත්, සුදු කෙල්ලන් හොයන උන් නිසා ඉතින් බයක් වෙන්න දෙයක් තිබ්බෙත් නැහැ. සර්කිට් එක අවුල් උනත් උගේ මුණ සුදුයි!

Monday, July 20, 2015

197. මැටි මෝලෙක් සමඟ ඈ






එදා බොහොම සාමාන්‍ය දවසක්.

මම කවදත් සාමාන්‍ය දවස් වලට බයයි. මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙන එකම දැන් මගේ ජිවිතේ කොටසක් වගේ.

වැහිබර අහසක් තියෙන ඒ පළාතට මම කොහොමත් යන්නේ පොඩි තිගැස්මක් එක්කමයි. දාහය රුහිරු තැවරුණ මේ පොළවෙන් එකපාරටම ඉහලට එසවිලා මාව පියාසර කරන කුරුල්ලෙක් කරවන්න දරන උත්සහයක් වගේ තමයි කඳු පන්තිය පිහිටලා තිබ්බේ.

ටිකින් ටික ඉහලට එසවිලා වට පිටෙන් හැමතැනම පෙනෙන දියසිරාවට අමතරව කොලපාට නිම්නයක් පේනකොට මට හැමදාම හිතෙන්නේ ඉගිලෙන්න හිතාගෙන මම කන්දක් මුදුනට නගිනවා කියල. එදා නම් එහෙම හැඟීමක් මට තිබ්බෙම නැති තරම්.

"මචං මේ සීතලට මම මාර ආසයි..."

මම එහෙම කිව්වේ බුරියා ගෙන් උත්තරයක් බලාගෙනම නෙවෙයි. ඒත් ඌ මගේ දිහා බලලා දැම්මේ අවලන් හිනාවක්.

".... අද බියර් බොන්න බෑ මෝඩයෝ.. දන්නවනේ මගේ මැච් එක අද"

ක්‍රීඩාගාරයට යනකොට එතැන හිටියේ බොහොම ටික දෙනයි. පිවිසෙන තැනම පොඩි බංකුවක උන්නු කෙල්ලෙක් අපි එනකොටම ගැස්සිලා වගේ අපි දිහා ඔලුව උස්සලා බැලුව. හරියට ඒකිගේ කාමරේට අපි එබුනා වගේ. මම කටකොනෙන් හිනාවක් දාගෙන ඒකිව පහුකරන් ගියා.

"අඩෝ.... මේක කාන්තාරයක් නේ"

196. දකින ඔබ







වැටී හඬමින් හැපී
මුව වසාගෙන හඬමි..

යනෙ'නතුර හිස පොවා
කවුළුවෙන් ඔබ සොයමි...

Tuesday, July 14, 2015

195. කෙවිලියකගෙන් ගිලිහුණු ගීතය






තැනින් තැන හිඳිනු මිස ඉන්ට හරි තැනක්       නැහැ
පුතේ උඹ ගැබ තියන් ගෙයක් තැනුමකුත්         බැහැ
මට වගේ පුත උඹට ගහින් ගහ ලගිනු             බැහැ
අතැර යනු මිස වෙනත් විසඳුමක් දැනෙනු      නැහැ

ඇසේ මට කිචි බිචිය කුඩුවේ අද            උදෙන්
සැඟව ඉඳ බලා උන් අතුපතර තුල         ඉඳන්
කන්යොමමි වැරෙන් මා , හදෙහි බය  යටකරන්
කුළුඳුලේ උඹේ හඬ දැන් ඇසේදෝ          හිතන් 

Monday, July 13, 2015

194. අයුතු





අන්සතු කොවුලෙකිය
ගී ගයන විට විතරක්
මගේ වන,
ඉඳහිට පලවැල ඉල්ලන
නොඉල්ලූ විටද
පලවැල තබා එන


මම...


විටෙක කපුටන්ටද
රැවටෙන....
හැමදාම නුඹේ කටහඬට
ගැලපෙන ගී තෝරන...




Friday, July 10, 2015

193. ශෝකය පලකිරීමේ නිවැරදි ක්‍රමය





මගේ යාලුවෝ... ( අප්පා උන් ගැන මෙතන ලියන එක භයානකයි. උන් මගේ මේ බ්ලොග් කට්ට කන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා හොඳයි. ඒත් මේවා කිරිමේල් කඩෙන වැඩ!) ඉන්නවා එක එක ජාතියෙන්. සැලඩ් වගේ. එකෙක් තක්කාලි ගෙඩියක් වගේ. ඒ කියන්නේ බතලයි; රවුම්?  නෑ නෑ හලෝ ඒ හින්ද නෙවෙයි. ඌ ගිය තැන වැඩේ චොර කරනවා. තවත් එකෙක් ගෝවා සහ කැරට් වගේ...

ඔහොම කියන්න ගියොත් එළවලු ජාති ටිකේ නම් ඉවර වෙනවා මිසක් කියල ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙහෙම කියන්නම්...

මම වැඩකරපු කම්පැනි වල සහ වැඩ නොකරපු කම්පැනි වල මට අනේක විධ යාලුවෝ ඉන්නවා. උන් ඇති වෙන්නේ එක්කෝ මගේ නැතිවීම සඳහාමයි. ඒ කියන්නේ උන් සෙට් වීම නිසා මගේ වහගෙන හිටපු කොයිල් ගති මතු වෙලා ඇවිත් කොක්ටේල් පාටියට ආපු බිකිනි කෙල්ල වගේ මට සලකන්න අනිත් උන් පෙළඹෙනවා.

අර ඉස්සෙල්ල කියපු තක්කාලි යාළුවා ගැන මම මේ පෝස්ට් එක සහ මේ පෝස්ට් එක ලිව්වා. අර ගෝවා එක්කනා ගැන මෙහෙම ලිව්වා. තව තියෙනවා, ලියන්න නිකං මොකද්ද මොකද්ද වගේ...

අද මම කියන්න යන්නේ ළමායි , යාලුවෝ ගැන කතාවක්ම නෙවෙයි. ඒ උනාට නොවේ මත් නොවේ... තෙරුනානේ?

192. ~~ අපරාදෙ මම ආවේ







වෙලාවට
ඇරෙන -
හඬනගන -
වැසෙන  -
දොරක් ළඟ
උඹ කොහොම ඉන්නවද
කියල හිතමින්ම
දසවසරක්ම ගෙවිල!

Tuesday, July 7, 2015

191. දුම ( කෙටි කතාව) - 4




මුල් කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 


සිය කබායේ ඇතුල් සාක්කුවට සිය වමත යොමුකළ කමල් ඉන් පිටතට ගත්තේ කඩදාසි ගුලියකි. තමා දිවගෙන එනවිට නැංවුණු දහදියෙන් විවර කරන ලද ලිපිය පෙඟී ගොස් තිබුනද, විවෘත නොවූ ලිපි තුන එතරම් හානියක් නොමැතිව ගුලිවී තිබුණි. ඒ සියල්ලගේම ලියුම් කවරයේ 'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යයි කුරුමිණි අකුරු වලින් සඳහන් වී තිබිණි.

"මල්ලි.... බස්සෙක කීයටද යන්නේ?"

රියදුරු අසුනේ සිට සිය බුලත් විට සරිකරමින් ආ කොන්දොස්තර අමතා කමල් ඇසුවේ සිය උඩු කබායෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිසදමමිනි. සිය ගමේ තැපැල් මහතා හඳුනාගත් කොන්දොස්තර තැන, සිය වියලි මුහුණට යන්තම් සිනහවක් නගාගනිමින් විට පොදිය මුවේ රුවා ගත්තේය.

"තව ඩින්ගෙන් යනවා මහත්තය, මොකෑ මේ හදිස්සියේ? ගමේ යනවෑ ?"

"යාලුවෙක්ගෙ මළගෙදරක යනවා, හදිස්සියේ"

කමල් කතා කලේ කොන්දොස්තර තැනගේ ඇස් මගහරිමිනි.

"කොහේ? කැකිරාවේ?"

"නෑ , ඉපොලෝගම හරියේ. හොයාන යන්ඩ වෙන්නේ. හරියටම දන්නේ නැහැ..."

Friday, July 3, 2015

190. දුම ( කෙටි කතාව) - 3






මුල් කොටස 
දෙවන කොටස 




"ලියුම් ටික තෝරලා ඉවරද ජානක ?"

තමන් අසලින් කිහිප විටක් සිය සුපුරුදු විලාසයට වඩා වෙනස් ආරකින් ගමන්ගත් කමල්ගේ හඬට යන්තමට සිය උරහිස ඉහලින් බැලු ජානක

"නෑ සර්...."

කියද්දී ඔහුගේ ලියුම් ගණන නැවතත් වැරදි ගියේය.

මෙය නම් හරියන රාජකාරියක් නොවේ. නමුත් කරන්නට යමක් නැත. කමල් මහත්තයා බාරදුන්නු වැඩක් නොකර බැරිය.

ඒ ප්‍රතිචාරයෙන් ඉදිරිපස කවුන්ටරයට ගමන්ගත් කමල්, ලියුම් බාරගන්නා මේසයේ ඉහල ලාච්චුව බියපත් කමකින් මෙන් විවෘත කර, එහි වූ ලියුම සිය කබායේ ඇතුල් පැත්තෙහි වූ සාක්කුවේ රුවා ගත්තේ වටපිට කිසිවෙකුත් නොමැතිව උනත් හාත්පස බලමිනි.

'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යනුවෙන් ලිපිනය යොදා තිබුණු ලිපියේ මුද්දර ගසා නොතිබිණි. නිර්මලාට එහි මුද්දර ගසන්නට මුදල් දෙන්නට නොහැකි වුයේ අදත් එය ගස් බෙනය තුලින් ගන්නට සිදුවූ බැවින් වුවත් මුදල් අවශ්‍ය නොමැති බව කමල් කිහිප විටක්ම නිර්මලාට පවසනවිට ඇගේ මුහුණේ ඇඳුනු ස්තුතිපුර්වක සිනහව කමල්ගේ හිත පුරා විහිදී ගියේ සුර්ය කිරණක් පරිද්දෙනි.

තද හිසේ කැක්කුමක් ඔහුගේ සිතුවිල්ලට බාධා කරමින් නැගී එන්නට විය.

'කෑම කෑවනම් හරි' යයි සිතමින් කමල් ජානක කොතනදැයි හිස පොවා බැලිය. වරුවක් ගතවී ඇතත් තවමත් ඔහු ලිපි තෝරයි. කට තිබුනාට ජානකට සුළු වැඩක් හෝ කරගත නොහැක. සියුම් තරහක් නැගී එනවිටම කමල්ට සිහි වුයේ නිමල් පිටවී යනවිට කියා ගිය වදන්ය.

"..... මේ කැලෑ අස්සේ ලැගල අහවල් සේවයක් කොරන්ටද මලය? හුනා කියන්නැහේ කියන්නං , මේ කඳු බඩගාන එක උඹට තව තුන් මාසෙන් එපා වෙනවා. තනියෙන් ඉඳල එපා උන දවසට කසාදයක් කොරන් තොලොංචි වෙනවා ඇරෙන්න... හැක් !"

"ජානක.... මම කඩේට යනවා කන්න. මතක ඇතුව පස්ස දොරේ පොල්ල දාල යන්න. ඉස්සරහ මම වහගෙන යනවා"

189. දුම ( කෙටි කතාව) - 2





මුල් කොටස


".... ඔව් ඔව්... වංගුවේ තියෙන්නේ. වරෙන්කො මම හෙට පෙන්නන්නම්.. අහ් ! හෙට මම හදිස්සි ලියුම් වගයක ලිස්ට් එකක් දාන්න තියෙනවා. එන්න වෙන්නේ නැහැ. කමලා තමයි හෙටත් යන්නේ. මම කියන්නම් ඌට, උඹට පෙන්නන්න කියල..."

මද ආලෝකය ලැබෙන හුන්ඩු කෑම කාමරේ මුල්ලක සිටි කමල්ට ඔහුට පිටුපා හිඳ, බරට කතාබහේ යෙදෙන දෙදෙනාගේ දෙබස් කන වැකුනද , අවධානය යොමුවන්නට ගත්තේ වංගුවේ නිවස ගැන සඳහන් කරනවිටය. තමන් කෑම කාමරේ ඉන්නා බව ඔවුන් නොදන්නා බව ඉව වැටුණු සැනින් පපුවේ වේගය ඉහළටත්, හුස්ම ගැනීම මෘදුව පහළටත් වශයෙන් වෙනස් කල කමල් සර්පයෙකුගෙන් සැඟවෙන මීයෙකු සේ නිසල වී ගල් ගැසුනේය.

".... නියම... බලපන්.... එලම කිරි.... දවල් වෙලා ලියුම් අරන් පලයන්. ... කොනේ... ඔව් ඔව්... ළිඳ... දහයට විතර... ආයේ නැහැ ලයිව්... කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... "

නිමල්ගේ ඊළඟ වචන කොතරම් උවමනාවෙන් කන් යොමා සිටියද කමල්ට ඇසුනේ අතරින් පතර පමණක්මය. කමල්ගේ පපුව දෙමොලෙන් පිටි කොටන්නට විය. කමල්ගේ පිරිමි ඉව සැනින් අවධි විය.

මේ කියන්නේ අර තරුණිය ගැනයි!

පපුවේ වේගයට බත් පිඬක් සිරවී ඇතිකළ කැස්සෙන් නැවතුනු සතර කන්මත්‍රණය සමග දෙදෙනාම එකවරම ආපසු හැරී බැලුහ.

කමල් සිය ජංගම දුරකතනයෙන් බර කතාවකය. නිමල් සහ ජානක එකිනෙකාගේ මුහුණු බලාගත් අතර ජානකගේ මුහුණ බියපත් බවින් පිරි තිබිණි.

"කමල් මහත්තයට ඇහුනද දන්නේ නෑ "

කාම කාමරයෙන් එළියට පැනගත් දෙදෙනාගෙන් , හුස්මක් ඇල්ලු ජානක බියෙන් මෙන් ඇසුවේ පහත් හඬිනි. නිමල් බියපත්බව වසා ගනිමින් ඔලුව දෙපසට වනන්නට විය.

Thursday, July 2, 2015

188. දුම ( කෙටි කතාව) - 1






කමල් වෙනදා මෙන් නොවී, ගල්පඩියෙන් ඉහළට එසවුණු ඒ නිවස අසල නැවතී පැහැදිලි, උස් හඬක් නංවන පරිදි සිය පාපැදියේ සීනුව තෙවරක් නාදකළේය.

'ට්‍රින්... ට්‍රින්... ට්‍රින්'

සීනුව දෙවන වරට හඬනගද්දී වෙනදා මෙන්ම අඩක් අඩවන් කරනලද ජනෙල් පියන මුළුමනින්ම ඇරී යනවාත්, ඒ සමගම ජනේලයේ ආවරණය කරනලද තිරරෙදි තීරයේ ඉහල කොටසින් මතුවෙන තරු යුවලක් වැනි දෙනෙත පෙනීමත් යන කාරනා දෙකම සිදුවුවත් වෙනසක් නොපෙන්වා තෙවන වර සීනුව නාදකරන්නට කමල් පසුබට වුයේ නැත.

'ලියුම්... ලියුම්'

කමල් උස්හඬින් කියද්දී ඈතින් පෙනුනද ඒ ඇස්වල ඇතිවුණු දීප්තිය වසන් කල නොහැකි විය.

"අපිටද............? කාටද...........?"

වෙනදා මෙන්ම ඒ තරු නෙතැත්තිය උස්හඬින් අසද්දී, කමල්ගේ උගුර සිරකර දමන ලද කලෙක මෙන් බොල් බවින් සිරවී ගියේය. එකවරම හඬක් නිකුත් වුයේ නැතියෙන් තරු නෙතැත්තියගේ කුලී නිවසින් වෙනදා එලියට පනින රුව එකවරම දොර අසලින් මතුවිය.

"අපිටද? "
හැඩිදැඩි සිරුරැති මිනිසා බැරැන්ඩි හඬින් අසනවිටම කමල් සිය උගුර පාදා ගන්නට සමත්විය.

"නෑ නෑ ...... එහා ගෙදරට.... 23 න් 3 ගෙදරට "

එසැනින් තරු දෙනෙත් ජනේලය අසළින් අතුරුදහන්ව ගොස්, වේගයෙන් ඇරුණු දොරෙන් එළියට පනින කෙල්ලෙකුත් දර්ශනය වනවිට කමල්ගේ සර්වාන්ගයම ගල්වී ගොස්, බයිසිකලයේ හැඬලයට දෙඅත් කිටිකිටියේ තදවුයේ නිරායාසයෙනි.

Monday, June 29, 2015

187. දේවදාස් මේ අහපන්





විකාර වැඩකි

විසබීජ මරන්නට
හැමදාම කොන්ඩිස් බොන එක....

මාව අමතක කරන්න
උඹ ඔහොම මත්වෙන්න හිතන එක!

ලෝකෙට පේන්න විඳවන එක....

රීල් එක ඉවර නම්
දාපන්කෝ අලුතෙන් රීල් එක!



186. ඇරඹුම







'මෙහා' ගෙදර
කොලවරණ ගසක්,
හලයි
'අල්ලපු' ගෙදරට
කොළයක්




Monday, June 22, 2015

185. අමුතුයි නේද?




පුදුමයි මෙහෙම හිතෙන එක?

බරක් පතලක් නොතේරෙන කාලේදී, බරපතලවට හිතල ගන්න තීරණ කොතරම් නිවැරදි උනත් අවුරුදු ගණනාවකට පස්සේ දුක්වෙන්නේ ඇයිද කියල මට කියාදෙන්න ඔබ ළඟ නැති එක ගැන මම අද උදෙත් දුක් උනා.

හැමදාම උදේ පාන්දර මගේ කවුළුවේ එළිපත්තට වෙලා කන්දෙක 'කුං' ගැන තාරතාවයකින් සින්දුකියන පොල්කිච්චට, කෑම නොදී උනත් හිතින් ආදරේ කරන්න මට හිතුනේ අදක ඊයෙක නෙවෙයි. කොහොමත් අව්කුටකෙට කරවෙච්ච ගොම මැටි පොළවක් ජීවයක් පෙන මානයකට ගේන්න වතුර පනිට්ටුම කීයක් හලන්න කියලද? ඊටත් හැමදාම??

Friday, June 19, 2015

184. නොකී කවියක - තනුව






ඉතා ලස්සන කොලයක
පාට පාටින් ලියා තිබුනද
එකවරක්වත් නොකියවූ
කවියක් තිබේ - ඔබ ගැන

හොරෙන් අත අල්වා
පූසියක සේ ගුලිවී
ලාවා කන්ද අවුලා
අතුල්පහරින් සිහිකැඳවන...

Thursday, June 18, 2015

183. නඩුව






නඩුමගට බසිමි
වළාකුලකට එරෙහිව..

එන්න කීවිට නොඑන
වැස්ස ඕනෙම වෙලාවට නොදෙන
හාදුවකට ඉඩක් නොමදෙන,
පොරොන්දුවක්වත් නොඉවසන !

Tuesday, June 9, 2015

182. දැන් මටද පිස්සු? උන්ටද?





මේක හැබැයි ගොඩක් කාලයක් තිස්සේ ලියන්නම් කිය කියා හිටියා මිසක් ලිය උනේ නැහැ. හේතුව ඉතින් මුලිකවම කම්මැලිකම.  අනිත් එක මේ සිංහල කොටන එක ඔෆිස් එක අමුතු කෙලියක් වෙලා නිසා අනිත් උන් සෝමාලියාවෙන් ආපු තරබාරු එකෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න පටන් අරගෙන. ඉතිං අලුත් තැනකට මාරු වෙනකල් එක දිගට ලියාගෙන යන දෙයක් පටන් ගන්න තිබ්බ නොහැකියාව.

ඔන්න මම ගැලවිජ්ජාවට අවශ්‍යටික උඩ ජේදේ ලිව්වා, මේ ජේදේ ලියන්නේ පුරසාරම් ටික. ඒ කියන්නේ මම පොඩි කාලේ කොරපු...

අනේ අම්මප කොතරම් කිව්වත් මේ පුරාජේරුව අඩුවක් නැති හැටි? කොයි වෙලෙත් පොඩි කාලේ එව්වා ලියනවා කියනවා මිසක්ක ලොකු කාලේ එව්වා ලියන්න හිතෙන්නෙම නැති හැටි? ඒකත් එහෙම වෙන්නේ පොඩි කාලේ මක්කා කොලත් ලොකු කාලේ කරපු කියපුවයින් සායම ඔක්කොම දියබත් වෙලා ගොහින් තියෙන නිසා ජාමේ බේරගන්න පොඩි කාලේ එව්වා කියන්නම වෙනවා. එව්වා ඔක්කොම කිව්වත් අන්තිමට 'අනේ ඇත්තට ඒවා කලේ උඹමද හැබෑට? කොහොම හිටපු එකෙක්ද නේද? දැන් මේ විදියට ඉන්නේ?' වගේ අදහස් දැක්වීමකින් නතර වෙනවානම් හොඳයි. ලොකු කාලේ කරපුව ඉතින් මෙව්වගෙ තැනක කොහොමත් ලියන්න අමාරුයි. මොකද බැරිවෙලාවත් අපේ උන්දලා සර්ච් කරන සර්ච් කිරිල්ලේ තරමට වැරදිලාවත් මේවා අහු උනොත්, තක්කෙටම දන්නවා මේ කියන්නේ මම ගැන කියල, මොකද උන්ට මතක හිටින විදියට වැඩේ කරන්න මම හැමවෙලේම වගකියනවා. හරි හරි දැන් ආපහු පුරාජේරු ජේදේ !

181. නරුම කෙල්ල (නොකී කවිය )




හැඩිය යුතු තැනදී
සිනාසී ඉමි
පෙම් හැඟුම් ඉහිරෙනකොට
ඉවත බලමි
විහිදුනු දෑත් දැක දැක
කබායක ගුලිවෙමි
ආපසු හැරී යන ඔබ දැක
සුසුම්ලමි



Friday, May 29, 2015

180. මොණර ගීතය




කඩදාසි රුවකි මා
ගිනිගොඩක් මුරකරන
පොඟන අත්දෙකෙන් යලි
දර කැබලි ලංකරන....

විතකි මීවිත කැවුණු
රෝසකටුවෙන් අනින
බරැති තටු පිරිමදිමි
ඔබේ පිහියට කැපුන.....

Tuesday, May 26, 2015

179. දවල් කෙයාර් - 2




මේ ලිපියේ කලින් කොටස කියවන්න බැරිඋන අය මෙතැනින් කියවන්න...

මම කලින් කොටසේදී විස්තර කලේ ඩේ කෙයාර් මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය සහ එහි සාමාන්‍ය සේවාවන් වල තත්වය ගැනයි. තව දෙයක් කියන්න ඕනේ. ඒ ලිපියට කොමෙන්ටු දාපු අයගේ අදහස් මේ ලිපියට ගාවගන්න අදහසක් නැත්තේ ලිපියේ මම ලියාගෙන යන්න හිතාගෙන ඉන්න දේ ඕනෙවට වඩා රබර් වෙයි කියල. ඒ හින්දා කොමෙන්ටු දාපු පින්වතුන්ට මම ඒ තැන්වලදී උත්තර දෙන්නම්. ( දැක්කද ලිස්සල යන විදිය. අවුලක් නෑනේ?)

මේ කොටසින් මම ලියන්න හදන්නේ මේ මධ්‍යස්ථාන සහ සේවාව ගැන සංවාදයක් ඇතිකලයුතු කරුණු ගැන.

අපි මෙහෙම කියමු. දිවා සුරැකුම් මධ්‍යස්ථාන කොතරම් තියනවද? ඒවා ඇත්තටම කොයිවගේද? ඒ හැම එකක්ම සමානද?

Friday, May 22, 2015

178. දවල් කෙයාර් - 1



අද මම කියන්න හදන්නේ.... ( ඔන්න ඉතින් පටන් ගත්ත... හරි හරි කියන එකක් කියනවා කෙටියෙන්...) ටිකක් වෙනස් දෙයක්. මේ කාරනාව කෙලින්ම අදාළ වන අය ඉන්නත් පුළුවන්, ඒ වගේම වක්‍රව ඒ දෙස බලාසිට මතයක, සංකල්පනාවක ඉඳල අදහසක් ඉදිරිපත් කරන්නෙක් ඉන්නත් පුළුවන්. ඒ මොන කැටගරියේ හිටියත් මම හිතන්නේ මේ මාතෘකාව මට නම් හරිම සුලබයි.

කොටින්ම මම අද කතාකරන්න යන්නේ දවල් කෙයාරින් කරන එක ගැන. අපෝ අපෝ එහෙම එකක් නෙවෙයි. කට්ටිය කලබල වෙන්ට එපා, මම කිව්වේ පොඩි දරුවන්ව දවල්ට බලාගන්න 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' හෙවත් 'ඩේ කෙයාර්' ගැන! ( ආන්න එහෙම එන්ටකෝ මල ජවුසන් නැතුව!)



මේ සංකල්පය ලංකාවට අමුතු උනාට ( මම කියන්නේ සංවිධානාත්මක ලෙස හරි ආයතිනකව හරි පරිපාලනයකින් ඉටුකරන විදියට සැලසුම් කරපු) ලෝකයේ නොයෙකුත් රටවල් වල සහ සමාජයන් වල මෙහි එක එක ලක්ෂණ සහිත සංකල්ප ක්‍රියාත්මක වෙනවා. මට මේ ගැන ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි. ගොඩක් කල්, නමුත් ඒ අදහස අලුත් උනේ ඔමායා ලියල තිබ්බ මේ ලිපියේ ඒ ගැන කෙටියෙන් හරි සඳහන් කරලා තිබ්බ නිසා.

177. හමුව






නැතිවුණිය ඉවසුම්
දකින තුරු ඔබ දසුන්
පුරා දෙවසරක සුසුම්
ඇසුණු පපුවද නොමැත සැනසුම්

ඈතින් එනු දුටද
හිස බිමට බාගෙන උනිද
කීමට යමක් නොතිබුණද
දුටිමි නෙතඟින් ඔබ පාද

Friday, May 15, 2015

176. ඔඩුදුවන පෙම් රිදුම







මුදාලමි වරපටින්
ඉගිලියන් හිතුලෙසට

හරිමි දොරගුළු කඩා
පලා හදවත රිදෙන

නොයා උඹ තවත් මේ
එළිපත්ත උඩ රැඳෙන

රහස කුඩුකර බලමි
යලිත් ඔබ ඇත පැමිණ?



Thursday, May 14, 2015

175. දැරියක සුසුම්..







නටමි , ගයනෙමි
තුටු කරන්නට
අයෙන් නෑසිය මිතුරු කැල 'ඟින්
නමුදු පෑරෙන බැවින් වණයද
හැකිද නොඑනට ආයෙමත්?

මට නොමැති, ඔබට ඇති
දෙමව්පිය, නෑසිය අසිරියෙන්
නගද්දී කිරි සිනහ හඬ ඈ
හිතේ කහටක් නැතිය , දුකමෙන්




Tuesday, May 12, 2015

174. හී - ටර්



මම මාරම මාර වැඩ කිසි දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැටමාර වැඩ විතරයි. මට ඒකට හරියන ජාතියෙන්, ඒ ගානට මොළයක් දීල තියෙන නිසා වැඩිය මොලය වෙහෙසන්න මම කොහොමත් උත්සහ කරන්නෙත් නැහැ. මොකද ඒවාට රටේ ලෝකේ කට්ටිය ඕනේ තරම් ඉන්නවා.

අද මම කියන්න යන මේ වැඩේ උනේ මගේ කීර්තිමත් බෝඩින් ජිවිතේ එක නවාතැන්පලක ඉන්න අතරතුරේ. මම හිටිය නුගේගොඩට අද්දර නගරයක බෝඩිමක. අපේ වැදගත්, සුකොමල, ලෝකේ ගැන හසල දැනුමක් තියෙන ( එක ඇනෝ මහත්මයෙක්/මහත්මියක්/ මියක් මට එහෙම තමයි අපේ අක්කණ්ඩි ගැන කිව්වේ) ඒ උනාට හුළඟට ගහක් හෙලඋනත් ගම දෙදරවන අපේ අක්කා එක්ක මම ඒ ගතකරපු අවුරුදු කීපය...... අම්මේ මට නම් කල්පයක් වගේ. මොකද දිනපතාම තකට තක විදියට අපි දෙන්නාම පුදුම දැනුම් සම්භාරයක් තමයි එකතු කරගත්තේ. ඒ බෝඩිමේදී තමයි මේවා උනේ.

120 බස් ගොඩක හෝල්ට් කීපයක් යාම
සාර්ථක ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණයක් සිදුකිරීම
යාළු ගම් යාම

ඔය ඔක්කොම නෙවෙයි. ඒ තියෙන්නේ ලියාගන්න පුළුවන් වෙච්ච එව්වා.




අද ලියන්න යන්නේ මම කරපු ටිකාක් විතර , හුඟාක් නැති වැටමාර වැඩක් ගැන. මිට සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඒක මම කතාව ඉවර වෙලා කියන්නම්.

ඔන්න එකෝමත් එක සුන්දර දවසක.....

173. සැඟවුණු මෙරුවකු






නිහඬවෙමි
නොඑන ඒ අතීතෙට..
හුස්ම අල්වා සිටිමි
මොහොතකට...

සිහිවිකල් තරුනෙකුව
පියාපත් බිම හෙලා
මෙරුවෙක්ව - අයැදි පෙම
නොලත් මුත්....

Monday, May 11, 2015

172. හැබෑම බොරු උමතුව




වෙලාවකට මට හිතෙනව මම ඉන්නේ උමතුවකින්ද කියල..

වෙන්නත් බැරි නැහැ..

පොඩිම පොඩි උමතු ගතියක් මට කොහොමත් දවල් වෙනකොට දැනෙනවා. වැඩිපුරම එහෙම වෙන්නේ කාමරේ උණුසුම් තත්වය අයහපත් උනහම. අයහපත් උනහම කියන්නේ පොඩ්ඩක්වත් යහපත් කමක් නැතිකමට නෙවෙයි. පොඩිම පොඩි යහපත් කමක් තියෙනවා, හරියට අයහපත් කියලා ලියනකොට මුලින්ම 'අ' යන්න ලියනවා වගේ යහපත් කමක් ගැනත් අගට ලියවිලා තියෙනවා. ඇත්තටම යහපත්කමක් ඇත්තෙම නැති වෙලාවට අපිට බැරිද අයහපත් කියල ලියන්නේ නැතුව 'යහපත්' කමකට පොඩ්ඩක්වත් සම්බන්ධයක් නැති වචනයකින් ඒ ගැන ලියන්න? එතකොට අපිට සහතික වෙන්න පුළුවන් එතන යහපත්කමක් ඇත්තෙම නැහැ කියල... නැද්ද? එක අතකට එහෙම ලියන එක වැරදියි නොවැ ... පොඩ්ඩක් වත් යහපත් නැති, අයහපත් දේවල් තියෙනවද හැබෑටම?

හැබෑටම.....