Thursday, July 23, 2015

198. මගුලේ යෑම - 2





මෙතෙක් කෑම.....

ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ ඉවර වෙලා එන්න පිටත් උනා.
සයිමොන් ඉදිරියෙන්.. අපි පිටුපසින්.

වෙනද වගේ නැතුව මුණ හෝදලා , කබ එහෙම කඩලා ඌ මම හිතන්නේ මොනවා හරි මුනෙත් ගෑවා. වෙනදට පිස්සු බල්ලෝ පන්නනකොට දුවන පොලිස් රාලහාමි වගේ දුවන සියදෝරිස් එදා යන ලලිත ලතාව දිහා පාරේ ටැප් එකේ රෙදි හෝද හෝද හිටපු ගෑනු විතරක් නෙවෙයි අපි සමහර දවස් වලට පේර ගන්න කරත්තේ එකාත් ඔක්කොම වැඩ නතර කරන බලන් හිටිය.

අපේ ඔෆිස් එකට ඉස්සර යන්න තිබ්බ පාරවල් දෙකෙක් එකක් ෂෝර්ට් කට් වගේ එකක්. යන්න තියන පාරේ දෙපැත්තේම තිබ්බේ මුඩුක්කු වගේ ගෙවල්. ඉතින් ගෙවල් වල රෙදි වැල් , සාලේ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒ ගෙවල් අඩුම තරමේ ඇඳක් වත් දාන්න ඉඩ නැහැ වගේ පේන්නේ . ඒ උනාට එක පාරක් ඔහොම තියෙන පොඩි පටියක් වගේ ගෙයක් ඇතුලෙන් මම බලන් ඉන්නකොට එකෙක් ආව එලියට, ඔන්න තව එකෙක් ආව, ඊට පස්සේ තව එකෙක්... ආව ආව ආව... මට නිකමට හිතුන ඔය ගෙවල් අර ඇලිස්ගේ විසමලන්තය වගේ එකක්මයි කියල. ඔතරම් සෙනඟ කන්දරාවක් නැත්තම් කොහොම ඉන්නද?

ඈතින් ලලිත ලතාවට පැද්දෙන සියදෝරිස් ය... 
මෑතින් එකට ගුලිවී යන අප දෙදෙනාය.. ( මොකද එන්න එන්නම මුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ තිබුණු අවුල නිසා අපි අතේ දුර උනත් කකුලේ දුර දක්වා දීර්ඝ කළා.)



ඔන්න ඉතින් පාර එහෙම පැනලා අපිත් ගියා මුගේ පස්සෙන්. මේකා ගිහින් නතර උනා කාර් එකක් ගාව. එතකොටම රියදුරු ආසනේ පැත්තේ වීදුරුව පහත කරලා මුගේ 'මනමාලයා' එක්ක මු කතාව. සියදොරිස්ට වැහිලා මට දැන් මනමාලයාව පේන්නේ නැහැ. අපි ඉතින් කැපෙන ආයුධ අතේ නෙවෙයි කටේ තියෙන නිසා ඈතින් බලන් හිටියා ඉවසීමෙන්.

".... මේ ඉන්නේ මගේ ඔෆිස් එකේ යාළුවො... බ්ලා බ්ලා .. සෝ ඇන්ඩ් සෝ.."

කියල මු එකපාරටම අපේ ඇඟට කපුවා නේද ඩිෆෙන්ඩර් එක! අපි දෙන්න ඉතින් හිනාවෙන්න තියා අරුණු කටවල් දෙක වහගන්නවත් වෙලාවක් නැති උනා. හුහ්.. මුගේ සාමාන්‍ය, අවුලක් නැති අකවුන්ටන්ට් පොඩ්ඩ ඇත්තෙන්ම හැන්ඩි පොරක්...! ඔන්න උගේ රේටින් එකේ කොයිල් ගතිය!! අපි ඉතින් වචන දෙකක් විතරක් දෙසලා හෙමින් මාරු වෙලා ගියා. මොකද වැඩි වෙලා හිටියොත් අපි ගහන බෙර පද තාලෙට සියදොරිස්ට සුපුරුදු මායම ආවේස වෙලා කවකට්ටක් ගිලල අර මනුස්සයා දිවි නැහැ ගන්නවා ෂුවර්!

(මට ඉස්සර අකවුන්ටන්ට් කෙනෙක් කියල කිව්වම මතක් වෙන්නෙම කවකට්ටක් පාවිච්චි කරන එකෙක් වගේ. මොකද මන්ද. මට හිතෙන්නේ කවකට්ටක් අතේ අරන් ඉන්න කණ්ණාඩි දාන උන්ට තමයි එහෙම කියන්නේ කියල. අද වෙනකොට පොඩ්ඩක් විතර ඕකේ එඩිෂන් එක වෙනස් උනාට, තාමත් එක පාරටම හිතෙන්නේ එහෙම..)

ඔන්න මිත්‍රවරුනි අපේ සියදෝරිස් සාර්ථක ලෙස කොල්ලෙක්ව දැපනේ දමාගත්තේ අන්න එහෙමයි. ඌ නොදන්නා රහස තමයි අපි දෙන්න ඒ වෙලාවේ පිටත් කරපු එක. හැබැයි අර (අසරණ?)මනුස්සයා කසාද බඳිනකල්ම පන බයේ ඉඳල තියෙන්නේ මුගේ කෝටු කකුල් දෙක කැඩෙයි කියල. ඕකනේ කියන්නේ... ( කියන්නේ නැතුව ඉන්නෙක තමයි මම හිතන්නේ හොඳ.. නැද්ද?)


ඔන්න දැන් තිරය මෑත අතීතයට දිවගෙන දිවගෙන යනවා. පවුලේ එකම දරුවා වෙච්ච අර කවකටු මහත්තය මුව කුදලන් යන්න දැන් ඔක්කොම ලෑස්ති කරනවා. මූ ඉතින් ඒ දවස්වල කරපු කියපු දේවල් කියන්න ගියොත් අනේ මගේ ඔලුවත් අවුල් වෙනවා. ඒ නිසා මම පිටපතෙන් ඒ කොටස අයින් කරනවා.

දැන් ඔන්න මු සාර්ථක විදියට කසාද බඳින දවස උදා උනා. මගුල් ගෙදර තිබ්බේ උගේ ගමේ, කොළඹින් පිට පැත්තක. ( අපෝ නුවර නෙවෙයි හරිද? ඌ වගේ උන් නුවර කොහෙද?)

වැඩේට යන්න දැන් අපි සෙට් එකක්ම ලෑස්ති උනා. වෙඩිම තිබ්බේ සතියේ දවසක මට මතක විදියට. අපි කොහොමත් දුර තියෙන නිසා සයිමොන්ට තර්ජනේ කරලා කිව්වා මාතලී විදියට ඉන්න එකෙක්ට ( සුරා සුදුවෙන් තොර) අපිත් එක්කම ඉන්වයිට් කරපන් කියල. නැත්තම් අපි යන්නේ කොහොමද? අපි හතර පස් දෙනෙක් දැන් අර මාතලී කොල්ල ශේප් කරගෙන පාන්දරම පිටත් උනා. ලෑස්තිය තිබ්බේ උදෙන්ම එහෙට ගිහින්, අපේ සයිමොන් විසින් සෙට් කරන ලද ගරාජ් එකකින් අපිව පේන්ට් පාරක් දාගෙන යන්න. අපේ මාතලී නම් නියමයි. ඌ කොහොමත් ෆාස්ට් ඩ්‍රයිවින් වලට කප් ගහල ඉන්න එකෙක්. ඌ ඉතින් අපිව වෙලාවටත් කලින් අර ගරාජ් එකේ දොර ගාවට දැම්ම.

අපිත් ඇතුලට ගියා

"අපි මේ.. අර සෝ ඇන්ඩ් සෝ ගේ, සෝ ඇන්ඩ් සෝ.... ආවේ.. බ්ලා බ්ලා ..."
"ආනේ එන්න එන්න නංගිලා...."

කියල පේන්ට් බාසියක් අපිව ඇතුලට ගත්ත. වෙලා යන නිසා අපි ඉක්මනට ඇඳුම් මාරු කරගෙන ඔන්න ඉතින් පුටුවේ වාඩිඋනා. මම එක පුටුවක, අනික් පුටුවේ සියදෝරිස්. ඔන්න එකියක් ඇවිත් මගේ මුණ කපරාරු කරන්න ගත්ත.

"මේ... ඔයාට කිව්වද අර සුජාතාගේ නංගිගේ බෝයි කිව්වේ මොනවද කියල" ඒ මගේ කපරාරු බාසි අල්ලපු එකාට කියනවා.
"නෑනේ ... ඇයි මොකද කිව්වේ?" ඒ සියදෝරිස් ගේ බාස් කොල්ල.
"අපෝ.. මට නම් එපා උනා... කෝ මිස් පොඩ්ඩක් ඇස්දෙක වහන්න.... මම කිව්වා මට නම් කියන්න එන්න එපා කියල "
"හොඳ වැඩේ... මමත් කෝල් වලට ආන්සර් කලේ නැහැ..."

මගුලක් කියනවා. මම දැන් හුස්ම හිරවෙන්න වගේ. ගානවා ගානවා ඉවරයක් නැහැ. එක ඇහැක් ඇරලා බැලුව, සියදෝරිස් කලන්තේ හැදිලා වගේ එහා පුටුවේ ගල්වෙලා ඉන්නවා.

මම දන්නේ නැහැ කොච්චර වෙලා ඔහොම හිටියද කියල. කපරාරුවට පස්සේ පටන් ගත්ත බිතුසිතුවම් අඳින්න. ඒ කියන්නේ තොල් සහ ඇහිබැම. මම උපන් තේකට දැකල නැහැ එහෙම බිතුසිතුවම් ඇඳිල්ලක්.

ඇන්ද ඇන්ද ඉවරයක් නැහැ. හුස්ම අල්ලාගෙන ඉඳල මට දැන් පපුවත් රිදෙනවා. ( මම ආස නෙහෙ ඔය මේකප් කරනකොට එයාලගේ හුස්ම වැදෙනවට. අවුලක් නැතුව ඇති සමහර අයට , මට නම් ආසා නැහැ. ඒ නිසා මම කරන්නේ එයාල මුණ ලංකරනකොට මම හුස්ම අල්ලගන්නවා.) මට පේනවා එහා පුටුවේ මම වගේම අලකලංචියක ඉන්න අපේ සියදෝරිස් ගොය්ය. ඒ මදිවට බාස් ල දෙන්න බර කතාවක්. අන්තිමට මම කිව්වා

"අපි දැන් ඇඳගම්මු නේද?" කියල. එතකොට තමයි මම මගේ මුණ දැක්කේ ඉස්සරහ කණ්ණාඩියෙන්.
'හැඃ ! මූ මොකාද මේ?'

කරන්න දෙයක් නැහැ, මේක මගේ උපන් හැටිය, සංසාරේ ගෙනාපු හැටිය, ඔයිට වඩා කරන්න දෙයක් නැතිය කියල හිත හදාගත්ත. ඒ මදිවට මුන්ට කොණ්ඩ මොස්තරේ දාන්න කිව්වම උන්ට ඕනේ එක දැම්මේ. මම හරියට ගොම්බෙට්ටක් ඔලුවේ තියාගත්ත එකියක් වගේ. මට මතක් උනී අර ශාරුක් ඛාන්ගේ ස්ටයිල් එකට කොන්ඩේ  කපන්න කියල ආපු එකාට වෙච්ච දේ.

සාරි ඇන්දිල්ල ඊට දෙවැනි නැහැ. අන්තිමට උන්ට කුදගහගන්න කියල මම ඇඳගත්ත සාරිය විනාඩි පහෙන්. අවසානේ මමත් සියදෝරිසුත් එකාට එකා දිහා බලාගත්තේ 'ඔයින් ගියා මදෑ' කියන්නා වගේ. කොටින්ම මමත් ඌත් දෙන්නම අඩුවක් නැතුව විසුළු පෙනුමක් අරගෙන තිබ්බ. ඌට මට හිනාවෙන්න බැහැ , මම ඌට හපන්....



අපි දෙන්නා දැන් මාතලී ඉන්න තැනට ගියා. ඌට නින්දත් ගිහින්, අපි කතා කරනකොට ඇහැරිලා අපි දෙන්නව දැකල 'රෝහිණි' දැක්ක වගේ බය උනා. උගුරත් හිර උනා. බලනකොට පෝරුවට පැයකට කලින් මෙතනට ආපු අපිට ගරාජ් එකෙන් පිටත් වෙන්න උනේ පෝරුව ඉවර වෙලා පැයකටත් පස්සේ! අර සයිමොන් සෙට් කලොත් ඔය වගේ නස්පුට් එකක් තමයි. අපි වාහනේ යන ගමන් පොඩ්ඩ පොඩ්ඩ කපරාරුව මට්ටම් කරලා පුළුවන් තරමට හදාගත්තත්... අහෝ... කරන්නට වෙන දෙයක් තිබ්බේ නැහැ.

අපි ඉතින් හෝල් එකට යනකොට සයිමොන් ඉන්නවා ඉතින් මල් මැද්දේ වාඩිවෙලා අර අසරණයාගේ මුහුණ බලන්න බෑ දුකේ.. මුගේ නම් දත් වහල්ලම එළියේ.

අපිත් එක්ක ගියපු සෙට් එකේ අනිත් උන් ටික වගේ වෙන්න හිතාගෙන මමත් සියදෝරිසුත් වැදගත් විදියට ඉන්න තීරණේ කළා. වැදගත් කියල එහෙමටම දෙයක් සිද්ද උනේ නැහැ ඒ නිසා. සිද්දි කීපයක් විතරයි උනේ. ඉතා හෙමින් කෑම කන අපේ සෙට් එකේ පියකරුම කෙල්ල වේටර් එයාගේ පිඟාන ගෙනියනකොට පිඟානේ එල්ලීම, අල්ලපු හෝල් එකේ වෙඩිමේ විස්තර බැලීමට ( ඇත්තටම කොල්ලන් බැලීමට) ගොස් පොඩ්ඩක් විතර මාට්ටු වීම, කපරාරුවේ ආනුභාවයෙන් සයිමොන්ගේ දෙමවුපියන් අපේ ළඟට ඇවිත් 'පුතාල කවුද? එතකොට අර ඇඩ්ඩින් සහ සියදෝරිස් කියන ළමයි ආවේ නැද්ද?' වගේ ප්‍රශ්න ඇසීම ( ඊට කලින් අපි ඒ ආන්ටිව සහ අංකල්ව හොඳින් අඳුනනවා) වගේ සුළු සුළු දේවල් ඇරුනම කිසිම අවුලක් උනේ නැහැ සහතිකයි... අන්න දැක්කද අපි වගේ අය නම්බුකාර විදියට උනත් ඕනේ තැනකට ගෙනියන්න බැරිකමක් නැහැ.


ඔන්න හවස් වරුව එළඹියා. එකවරම සහෝදරවරුනි ආවනේ සද්දයක් හෝල් එකේ ඇතුලෙන්

'හ හ හ හ හ හ්හ්ර්........ බ.. බ්‍ර්ර්... බ්ර්ර් ' 

හරියටම ඒ සද්දේ සමපාත වෙන්නේ කොටළුවෙක්ගේ බෙරිහන්දිල්ලකට. මට එකපාරටම මතක් උනේ අහල පහළ බූරුවෙක් මොරදෙනවද කියල. අපි හිටපු හරියට කපල් එක ඉන්න තැන පෙනුනේ නැත්තේ පොඩි බිත්තියක් වගේ එකක් හරස් වෙලා තිබ්බ නිසා. මොකක් නමුත් විපතක්දෝ බලන්න මමයි සියදෝරිසුයි දනී පණි ගාල නැගිටලා මනමාලි ඉන්න දිහාවට දුවන් ආව. කවුද දන්නේ මගුල් ගෙදරට හදිසියේ බූරුවෙක් දුවන් ආවද කියල?

සහෝදරවරුනි... මගේ අනුමානය එතරම්ම වැරදියි.

මම යනකොට යන්න පිටත් වෙන්න කියල ලෑස්ති වෙච්ච ජෝඩුවේ සමුගැන්ම තමයි ඒ ඇහුනේ. ඒ කියන්නේ තමුන්ගේ වැඩිමහල් සහෝදරයා බදාගෙන අපේ සයිමොන් විලාප දෙනවා. උගේ කටින් තමයි අරෙහෙම විලාපයක් එක්ක සද්දේ ඇවිත් තියෙන්නේ.



අනේ පින්වතුනි බලන්න ඕනේ ඒ වෙලාවේ අර කවකටු මහත්තයාගේ මුණ....

'හත් ඉලව්වේ... මේ ගෑනි අඬන්නේ මෙහෙමද? මම දැන් මොකක් කියල කොරන්නද අප්පච්චියේ'

වගේ පෙනුමක් ඒ මනුස්සයාගේ මුනේ තිබ්බේ.



සයිමොන් එයාගේ අක්කා, අය්යා, තාත්තා සහ අම්මා බදාගෙන ඇඩුව ඇඩිල්ලක් ආයේ නෑ සාලාවම නිකන් ගල්භිත වෙලා බැලුව. ඌ දිහා නෙවෙයි හලෝ අර කවකටු මහත්තයා දිහා... මරන්ඩ ගෙනියන හරකෙක් නෙවෙයි, මූ ඇඩුව හරියට අර

දේශපාලනෙන් සමුගන්න එපා මයේ අප්පච්චි.......ඊ......ඊ....ඊ....
කියල වගේ .....

මමත් සියදෝරිසුත් කට තද කරලා වහගෙන සංවේදී අවස්ථාවට මුණ දුන්න.

පස්සෙනේ දන්නේ මුගේ කැරැට්ටුව...

ඒ කියන්නේ මේ ලතෝනි දීල අඬල සමු දෙන එක මම හිතන්නේ මුගේ පවුලේ සම්ප්‍රදායක්. සයිමොන්ගේ නැන්දා කෙනෙක් ඔය වගේම ප්‍රපෝසල් එකකින් කසාද බන්දලා දීල. වෙඩිම අවසානයේ සමුගෙන වාහනේට යනකොට ආයේ නෑ අඬනවාලු පෙරලි පෙරලි.... තාත්තගේ අතේ එල්ලිලා 'මට බැරියෝ' කියල අඬනවාලු. අනේ ඉතින් අර අසරණ මනමාලය අර ගෑනිගේ අතින් අදිනවලු කාර් එකට නැගපන් කියල. මුහු.. මොන පිස්සුද ආයෙමත් අඬනවා
ලු... 'මට තාත්තව දාල යන්න බැරියෝ...' කියල

"හරි හරි විජිතා දැන් නගින්න කාර් එකට" ඒ සරම ඔලුවේ එතුන මනමාලයා

"අය්යෝ... ඇයි මම මේකට කැමති උනේ...... ඒ...ඒ...ඒ " ඒ තමයි මනමාලිගේ උත්තරේ...

ඒ අතින් බලනකොට.. අපේ සයිමොන් ටිකාක් හොඳයි....


තව කතා තියෙනවා. අපෝ නැහැ මේ ගොය්ය ගැන ලිව්වා ඇති. මම කිව්වේ මගුල් ගෙවල් වල ගියපු කතා. ලියන්නම්කො ඈ





57 comments:

  1. //"අය්යෝ... ඇයි මම මේකට කැමති උනේ...... ඒ...ඒ...ඒ " ඒ තමයි මනමාලිගේ උත්තරේ...//

    ගොඩක් අයට හිතෙනවා අැත්තෙත් මෙහෙම තමා නේද ????

    ReplyDelete
    Replies
    1. ඇයි කුරුට්ටෝ මනමාලයත් එහෙම්මම තමා

      'හත් ඉලව්වේ... මේ ගෑනි අඬන්නේ මෙහෙමද? මම දැන් මොකක් කියල කොරන්නද අප්පච්චියේ'

      නුවර කුමාරි ලස්සනට ලියනවා හොදේ

      Delete
    2. සියදෝරිස්ගේ අඩිල්ලට සමහරු අත්වැල් ගායනය කළා, අනේ දුප්පත් අපි දෙන්නට හිනා ගියා.

      Delete
    3. මිත්‍ර වර්ණ: ස්තුතියි

      Delete
  2. උඹ කසාද බැදල යන දවසෙ කොහොමද ගියේ, හබියට " යන්කො අනේ විජහට , අනේ යන්කො .....අනේ " කියල වෙන්ඩ ඇති.
    මගුල් ගෙවල් වලදි හොදට අදුරන කෙල්ලොවත් අදුරගන්න බෑ තමයි බදාම තට්ටුවයි , කැටයම් ටිකයි හින්ද. කොටින්ම මගුලකට ගිහින් එනකනුත් හාමිනාව පේන්නෙත් වෙන කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඕකට උත්තරේ මම දෙන්න ඕනෙද? ( මොකටද මගේ කට!)

      ඕක මම හිතන්නේ මට දැනෙනවා. මොකද එක්තරා කාලෙකදී මම ඔෆිස් ගියේ පොල් කඩන්න යන එකා වගේ. ඔෆිස් ෆන්ක්ෂන් එකක් ආවම හොඳට ඇඳගෙන යනවා. පස්සේ මට තේරුනා අවුල. දැන් නම් ඔෆිස් යන්නෙත් කිට ගහල. වැඩේ කියන්නේ කිට් එක වෙනස් උනාට වැඩ වෙනස් වෙලා සුට් බුට් පිටින් රට්ටු හිනස්සනව

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මගුල් ගෙවල් වලදි කාන්තා පාර්ශවය සාමාන්‍යය දාට වඩා කැතයි වගේ නේද පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.මං හිතුවෙ එහෙම පේන එකම එකා මං කියලා.මේකප් උලනවට වඩා මට ලස්සනයි නෝමල් විදියට ඉන්නකොට

      Delete
    2. වෙන්න ඇති. නමුත් මම දැකල තියෙනවා සමහරු නම් ලස්සනට එනවා. මම වගේ උන් ඉතින් ගොඩදාන්න මක්කරලවත් බැරි වෙයි.. හෙහ්

      Delete
  5. බුදු සන්තේ... මම නම වෙඩිම ඉවර වෙනකන් හිටියේ බඩ වටේ ඔතපු රෙදි ටික ගලවගන්න.. හරියකට කන්නත් නැ බඩ පිටට තියල තදකරල බැන්දහම. .
    ඔය කිව්වා වගේ මාත් බයේ හිට්යේ අපේ උන්දැත් විලාප තියයි කියල. . . වෙලාවට හරි චැනල් එක අහු උනේ නැ.. .

    සයිම මෙහෙම නම් සයිමගෙයි සියදොරිසාගෙයි යාළුවගේ වෙඩිම කොහොම ඇද්ද ...

    ReplyDelete
    Replies
    1. ඔය ඇඳුම ඇන්ද කිසිම කෙනෙක් ඕක ගැන හොඳක් කියනවා මම අහල නැහැ එකම එකෙක් ඇරෙන්න. ඒ තමයි මගේ බැචා 'කිරිබර්ටි'. ඌ ගැන මම එක්තරා කතාවක සෙසු චරිතයක් විදියට ලිව්වා.
      දැන් ඉතින් ඉස්සර වගේ හොයල බන්දලා දෙනවා අඩුයිනේ. තමන් හොයාගන්න මනුස්සය එක්ක යන්න දුකක් නැහැ මම හිතන්නේ. ඔතනදි අඬන්නේ ඇත්තටම දාල යන හින්දමද?

      අපොයි දෙය්යනේ. සයිමාගෙන් නම් අපිව මනින්න එපා අම්මෝ.

      Delete
  6. ඔය මගුල් ගෙවල්වල හොඳම හරිය තමයි කෑම කන අවස්තාව. ගෙදෙද්දි වලදෙං බෙදාගෙන බංකුවක් උඩ ඉඳං කන එවුං, වෙඩිංවලට ගියහම හැංදෙං ගෑරුප්පුවෙං කන්න ට්‍රයි කරද්දි හරිම සෝක්. ඒ අයට කෑම වෙලාවට කං බීරිවෙන මියුසික් ඕනි. ඒමොකටදැ?

    මොකටවත් නෙමෙයි. සද්දෙ වහන්න. ගෘෘප් එක සිංදුවක් ඉවර කරල අනික් සිංදුව පටං ගන්න අතර කාලය තුල ඔය සද්දෙ අහන්න පුලුවං.

    හරියට කම්මල් පනහක් හැටක් එක වත්තෙ දාල වගේ. නැත්තං විජිතපුර සටන වගේ. එහෙමත නැත්තං පාලමක් හදනව වගේ.

    “ටාං..පටං ටොං පටෝං සල සලං“

    පිඟංවල හැඳි වද්නව, පිඟංවල ගෑරුප්පු වදිනව, හැංද ගෑරුප්පුවෙ වදිනව, ඒ දෙකම එක්කහු වෙලා ඒකාබද්ධව පිඟානෙ වදිනව. ඔය ඔක්කොම සද්ද එක ගොඩේ..

    ඒ අතරෙ
    “ඒ.......... ඩිෂිං.....සිනි සිනි සිනි සිනි“

    කියල සිංදුව නැවතිච්ච ගමං කට්ටිය කරන්නෙ කෑම පොඩ්ඩක් නවත්තල වතුර බොනව. ළඟ ඉන්න එකා එක්ක වචනයක් කතා කරනව. එතකොට අවුලක් නෑනෙ.

    ආයිත් ගෘෘප්පෙක “ඩිෂ්ඩි ඩිඩිං ඩිගිඩික් ඩිගි ඩිගිඩික් ඩිගි“ කියල පටං ගන්න කොටම කට්ටිය හැඳි, ගෑරුප්පු ඇරං කාගෙන කාගෙන යනව. සමහර අයගෙ ගෑරුප්පු ෂොට් වැරදිල වතුර වීදුරු, මේස, පුටු, සාරි, උඩ එහෙම පතබෑවිච්ච කුකුල් පලු එහෙමත් දැකල ඇතිනෙ.

    ඔය සමහර කෙලිත්තියො එහෙම වැඩිය කන්නෙ නෑ. කාල වැඩි උනහම බහිස්‍රාව කරන්න යන්න අමාරුනෙ සාරි බාරි එක්ක. නැද්ද?

    දැංනං එහෙම වෙනවද මං දන්නෑ. ඉස්සර මගුල් ගෙවල්වල වීඩියෝ කරන එකාට ලැයිට් අල්ලන්න ගිය හිංද දන්නව. ඔය මගුල ඉවර වෙලා ජෝඩුව පිටත් වෙනකොටම අර බවලතියො ඔක්කොම පනිනව සාලාව ඇතුලට. මොකටද? මල් හිංද.

    කට්ටිය පැනපු ගමං පෝච්චිවල, පෝරුවෙ, මේස උඩ සෙටියෙ ආදී හැම තැනකම තියෙන මල්ටික උස්සනව. ඉතුරු වෙන්නෙ මනමාලිගෙ මල් පොකුරයි, මනමාල අප්පුගෙ කෝට් මලයි විතරයි.

    ReplyDelete
    Replies
    1. කියල තියෙන්නෙ නම් පට්ටපල් ඇත්ත.. අපේ අම්මලත් වෙඩිමකට ගිහින් හැදී ගරුප්පු තිබිල.මෙයාල සෙට් එක අතින්ම කාල.. කාල බැලින්නම් අත හෝදන්න තැනක් නැහැලු.. ගත්තලු කොකාකෝල ස්ප්‍රයිට් බෝතල් ටිකක්. හේදුවලු අත..

      Delete
    2. පෝස්ට් එකත් මරු මේ කමෙන්ට් එකත් මරු !!

      Delete
    3. පෝස්ට් එකත් මරු මේ කමෙන්ට් එකත් මරු !!

      Delete
    4. ශ්‍රංග : මමත් ඔය වගේ වෙඩින් දැකල තියෙනවා. ගොඩක්ම ඔහොම වෙන්නේ කපල් එක මධ්‍යම පන්තියේ උනත් වෙඩින් එක තරු පංතියේ පැවැත්වීමෙන්. මම පහත කරලා කතාකරනවා නෙවෙයි. මම කියන්නේ ආරාධනා කරන අයගේ තත්වයට ගැලපෙන තැනක් තෝරාගන්න එක සමහර කපල් හිතන්නේ නැහැ. මම ගියා එක වේදීන් එකක් මගේ යාලුවෙක්ගෙ, එක්තරා පළාතක තමයි මනමාලයා. ඔහුගේ නෑයෝ ටික මම හිතන්නේ කපල් එක තඹේකට මායිම් නොකර උන් උන් කාලෙකදී හම්බුන ප්‍රීතියෙන් ශාලාව දෙවනත් වෙන්න කතා කර කර හිටිය. බුදු අම්මේ තිබ්බ කාලගෝට්ටිය. බත් කන්න ගියහම බත් හැලිය මේ දැන් ඉවර වෙයි වගේ හදිස්සිය. අපි සෙට් එක ඒ විසිතුරු බල බල සතුටු උනා ( කාලකන්නි සතුටක්)

      වෙඩින් තියා මොන මගුලේ ගියත් මම නම් පිටින් කනකොට ගොඩක් වෙලාවට කන්නේ හැන්දෙන්. මොකද මට හොඳට අත හෝදගන්න ඕනේ කාලා ඉවර වෙලා. වෙඩින් වලදී අනිත් අයත් හෝදන ෆින්ගර් බෝල් වලින් මට හෝදන්න බැහැ. ඒ නිසා හැන්දෙන් කනවා. මස්මාළු නම් ගන්නේ කපන්න කොටන්න ඕනේ නැති ඒවා. අපිට කැම්පස් එකේ ඔප්ෂනල් සබ්ජෙක්ට්ස් තිබ්බ ඔය කෑම මේසේ මැනර්ස් එහෙම උගන්නන. ( ඊට අමතරව ඇඳුම්, සංස්කෘතික පැවතුම්, භාෂා etc ) ඒවා ඇත්තටම වටිනවා.

      Delete
    5. මල්කොබා: මම හිතන්නේ කපල් එකක් ඒ ගැන හිතන්න ඕනේ. ෆින්ගර් බෝල් ආදිය දෙන්න සර්විස් එක දෙන අය දැනුවත් කරලා තියෙන්න ඕනේ. ඒවා ගැන හිතන්නේ නැහැ ගොඩක් අය.

      හැමතැනම මම දැකලා තියෙන දෙයක් තමයි කෑම 'ගිලිනවා' මිසක් 'විඳින්නේ' අඩුවෙන්. ඒ කියන්නේ කොතක් වගේ බෙදාගෙන එනවා මිසක් එක එක කෑම වල රසයන් සමග කන්නේ අඩුවෙන්. සැලඩ් එක, බත් එකටම ඔබාගෙන එනවා. සුද්දාගෙන් නෙවෙයි අපි ඉගෙන ගන්න ඕනේ. සාමාන්‍ය දැනීමෙන්.

      Delete
  7. අපි බලමුකෝ දැන් මේක ලීව එකී මගුලේ යන දවසේ මොනවා වෙයිද කියල . එදාට තොරණේ විස්තරේ මේකේ දාපන් හරිය ...

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ ඉතින් කියන්නේ... ඔනෑ නැති දෙයක් නැහැ... හැප් කිව්වේ

      Delete
  8. මගුල් ගෙවල් ගැන නම් කියන්න එපෝ........

    ReplyDelete
    Replies
    1. පොටෝ අල්ලන අය තමයි දන්නේ නේද? හික්

      Delete
    2. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...

      Delete
  9. හිනාව නවත්තගන්න බැරි උනා !!
    අපි නං යද්දී ඇඬුවේ නෑ ලු...කොහොමත් එදාට 'ගන්න ගන්න මාගේ රූපේ මං ෆොටෝජෙනික්' වගේ ඉන්න කියල අම්ම මට මාස ගානක ප්රෙප් එකක් දීල තිබුනේ. පව් අප්පා හබී නම් බය වෙච්ච පාරට ෆොටෝ වීඩියෝ වල ගල්භීත වෙලා ඉන්නවා. වීඩියෝ එකේ සමහර වෙලාවට එයා බයෙන් වට පිට බලනවත් පේනවා. හරියට 'දෙවියනේ මෙතනින් පැනල යන්න විදියක් නැද්ද' වගේ. :D

    ReplyDelete
    Replies
    1. යද්දී අඬනවා කියන එක මම හිතන්නේ නොසැලකිය යුතු දෙයක්. ඒකත් හරියට අර පෝරුවෙන් බහිනකොට බිඳින පොල් ගෙඩිය හරියට දෙබෑ උනාද බලන්න වටවෙනවා වගේ. අඩන්නේ නැති උනහම දෙමවුපියන්ට ආදරේ නැහැ කියල තමයි හිතන්නේ. ඒක මහා විකාරයක්. නමුත් බොරු කියන්නේ මොකටද, මට නම් අනුන්ගේ මගුල් ගෙවල් වල පොරුවේදී දෙමවුපියන්ගේ ගුණ කියනකොට හෝ ගාල ඇඩෙනවා. අම්මට රෙදි කච්චිය දෙනකොට මම හෙමීට කොහෙට හරි මාරු වෙලා යනවා. මට ඒක දරාගන්න බැහැ ( සමයං )

      බඳින දවසට කොල්ලන්ට හිතෙන එව්වා ඉතින් තවත් කොල්ලෙක්ගෙන්ම තමයි අහන්න තියෙන්නේ. හෙහ්

      Delete
  10. ඔය ඇඬිලි ජවනිකාව දැම්මෙ නැති එකට අපේ සමහර නෑයො වේයො මට තාම බනිනව යකූ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් තියෙන්නේ වෙනම රැස්වීමක් කැඳවලා ඔය මිසින් කියපු දර්ශනේ රූගත කරන එකයි. හත් වලාමේ උඹ නෙවෙයි බස්සනේ අඬන්න ඕනේ! ( අඬන්නේ කොහොමද ඉතින්, බස්සෙක් නේ.. ඇස්ගෙඩි දෙක ලොකු කරන බිරාන්ත වෙලා වගේ ඉන්න ඇති)

      Delete
    2. පිස්සු නේ බන් මට නම් හිනා,, අපේ අම්මටත් හිනා,,, බලන් හිටපු අයත් හිනා,,, විකාර ඇඩිලි,, බැන්දට පස්සෙනේ බන් අඩන්න වෙන්නේ

      Delete
    3. වෙඩින් එකකට ආරාධනාවක් ලැබුනම (නෑයෝ ) යන්නේ
      ගෑනු පරාන නම්
      1. මනමාලිගේ සාරියේ පටන් සියලුම අයගේ ඇඳුම් වල මැහුම් වල පවා ඇති ඇද සෙවීමට
      2. අනිත් අයගේ රත්තරන් ප්‍රමාණය මැන බැලීමට
      3. පෝරුවේ මොකක් හරි අමුත්තක් හෙවිමට
      4. චාරිත්‍ර වලින් නොකෙරෙන ඒවා සෙවීමට

      පිරිමි ටික
      1. බොන්න දෙනවද? දෙනවා නම් උගුඩුවො වගේ බීමට ( බොන්න දෙන්නේ නැද්ද? ඕක මගුලක්ද?)
      2. අනුන්ගේ ගෑනු සමඟ නැටීමට ඇති ආසාව ඉෂ්ටකරගැනීමට
      3. පිදුරුතලාගල කන්දක් වගේ කන්න ( නොබොන උන් විශේෂයි)

      කපල් එකට සුබ පතන්න එන්නේ ටික දෙනයි.

      Delete
    4. //උඹ නෙවෙයි බස්සනේ අඬන්න ඕනේ! //
      සිරාවටම බස්සනං අර නිලමේ ඇඳුමක් ඇඳලා ඇඬෙන්න ඔන්න මෙන්න තත්වෙ උන්නෙ.

      Delete
  11. හිනා වෙවී කියව්වා නියමයි.....

    හපොයි ඔය කපරාරු බාස්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ... මේ හොඳට අඳුරන් අයත් ඒ පිහිටෙන් අහකබලාගෙන යනවා.... හි..හි...

    ReplyDelete
    Replies
    1. අපි වගේ අයට තමුන්ගේ පෙනුම 'වෙනස්' කරගන්න ( මා කිව්වේ වෙනස් මිසක් 'රූමත්' නෙවෙයි හරිද) දෙය්යෝ වගේ පිහිටවෙන උත්තමාවියෝ... මුකුත් කියනවා එහෙම නෙවෙයි හරිද?

      Delete
  12. හැක උඹේ වෙඩිම අපිටත් කියපන්කො,
    ඔහ වැරදුනා උඹේ දුවගේ වෙඩිම ;)

    ReplyDelete
    Replies
    1. මගේ වෙඩිම ? උඹට කියන්ට? හුහ්... ලොවෙත් කියයි. එදාම තමයි කසාදෙ සෙත්ත පෝච්චි වෙන්නේ එහෙනම්. ගිනස් වාර්තාවටත් යයි එහෙනම් 'අඩුම කාලයක් පැවති විවාහය' කියල. මොකද උඹලව දැක්ක ගමන් මගේ හබියා මගේ මුණ දිහා බලනවා
      "අර කවුද"
      මම දැන් ඉන්නවා පොල්කිරි හොරාට බීපු පුසා වගේ
      ".... කතා කරනවා, අර කවුද?"
      "යාලුවෙක්"
      "ඈ ? කොහේ යාලුවෙක්ද?"
      මට ඉන්නවා නේ කොම්පැනි බර ගානක යාලුවෝ. මොකේද කියල හරියට කියන්න ඕනේ.
      "බ්ලොග් එකේ කොමෙන්ටු දාන"

      "ආඃ ??! මොකේ මොනවා දාන????......."

      දිගු නිහැඬියාවක්.....

      "........... හුහ් මම හෙව්වේ ටෙලිනාට්ටි නොබලන, එෆ් එම් වල සින්දු ඉල්ලන්නේ නැති, මුණු පොතේ යන්නේ නැති ගුණවත් ළමයෙක්. මෙන්න බ්ලොග් ලියනවලු... හුහ්... ඔව්වයේ මොන කුණුහරප ලියනවද මන්ද... . මෙහෙම පවුලක, මෙහෙම එකෙක් ඉන්නවා කියල හිතුවෑකිද? එන්න කියාපන් අම්මට!"

      අඩිය පොලවේ ගහල කියනවා. නිලමේ ඇඳුමේ තොප්පියත් බිම වැටිලා, සපත්තුව දෙකට කැඩෙනවා. අතේ තිබ්බ මල් පොකුර වෙව්ලන අතින් අල්ලාගෙන මම මෙහෙම කියනවා.
      "ඉතින් බ්ලොග් ලියනවා කියන එක කියල තිබ්බේ නැහැනේ ලිස්ට් එකේ"

      ඊට පස්සේ බොකේ එකේ තිබ්බ මල් ටික මගේ කට ඇතුලට එබෙනවා. සබා තොමෝ සතුටින් විසිරිලා යනවා.

      Delete
    2. මගේ දුවගේ වෙඩිමට වරෙන් ඉවාන් අෂ්ටක ටික කියන්ට. ඔන්න උඹේ වයලින් එකත් කර තියන් හරිද

      Delete
    3. ඉතින් උඹව එහෙම ගලවා ගැනීමට අපි දක්වපු දායකත්වයට උඹ ඔහොමද සලකන්නේ, මම අෂ්ටක කියන්නේ පෘතුගාල් භාෂාවෙන් කමක් නැද්ද ? :P

      Delete
    4. උඹ කියයි.... මනුස්සයෙක් නිර්වින්දනය කරපු වෙලාවේ ඕනේ ඔය කසාදෙ කෙරෙන්න. නැත්තම් උඹල ආවහම උගේ පියවි සිහිය ආයෙමත් එනවා. මමත් කියල පිළිවෙලක් වෙන්ට එපාද? නැත්තම් උඹල වගේ ගන්ගොඩේ බිබී ඉඳල, කෙස්ස හැලිලා, අලි බඩවල් හදාගත්තු එකක් නේ පස්සේ හම්බෙන්නේ.

      මගේ දුවගේ නේද? මම දැන්මම කොහෙහරි ලියල තියන්නම්කො ඒකිගේ වෙඩිමේ ඒ වැඩේ 'කෙස් නැති, බඩ තඩි සියා' කෙනෙක් ඇවිත් කරලා දෙයි කියල. දුවෙක් නැති උනොත් මම නෑ ඔන්න

      Delete
    5. //නැත්තම් උඹල වගේ ගන්ගොඩේ බිබී ඉඳල, කෙස්ස හැලිලා, අලි බඩවල් හදාගත්තු එකක් නේ පස්සේ හම්බෙන්නේ. //
      ඉවාං අයියෙ, ඕං අපිනම් කිවුවෙ නෑ උඹ තැන තැන බිබී ඇවිදිනව කියල, අනික උඹගෙ බඩ ගැන.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ආය ඉතින් අපිට අමුතුවෙන් කියන්න ඕනෙය? ඔය ගියපු පෝස්ටු වල දාල තිබ්බේ වගතුග විස්තර ටික. බේබද්දෝ මිසක් ලියන්න බෑ මුන්ට... ගස් බැඳලා කුචි කවන්න ඕනේ ඇත්තමයි

      Delete
    8. හැක යකෝ බඩයි තට්ටෙයි කියන්නේ ප්‍රඥාවේ සලකුණු... තොපි දන්න ප්‍රඥාව හැක

      Delete
    9. ආ එහෙමෙයි? එහෙනම් මම අර පන්සල් දොරකඩේ තිබ්බ බහිරව රූපේ ගැන හිතාගෙන හිටිය විදිය වැරදියි නේ... චරි චරි...

      Delete
  13. සියදෝරිස් කියන්නේ කවුද කියල තවම හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //අමාලි - මහතයි , නිතර අමතකවීම් සහ අර බස් වල යාම් ඊම් වලදී වගේ නොමිලේ ඇඩ් ලබාදීමට රුසියෙකි
      වත්සලා - කණ්ණාඩි දමයි, කෙට්ටුයි, උසායි..... බුද්ධිමත් වගේ උන්නට ඉතිං ... නෑහ් .... එක්කෝ ඕනේ නැහැ.....
      මම - මොකක් හරි බාල්දියක් පෙරලෙයිද... මම එතන, එහෙමත් නැත්තම් ඒ අසලින් හෝ ගමන් කර ඇත.... එතරම් උස මහත නැත...
      //

      මේ තියෙන්නේ හඳුන්වා දීම

      සියදෝරිස් (Theodore)
      සයිමොන් (Simon)
      ඇඩ්ඩින් (Alvin)

      Delete
  14. //හැඃ ! මූ මොකාද මේ?
    හිනා කාල මැරෙනවා බොල.අයිලේ උඩ ඉන්න ගරා යක්කු දෙන ටෝකක් වගේ

    ReplyDelete
    Replies
    1. ගරා යක්කු එහෙම ටෝක් දෙනවද? මම හිතුවේ උන් මිනිස්සුන්ව බය කරනවා කියල.. අඩේ එහෙනම් මොකදට හලෝ ඔය තොයිල් තියල උන්ව එලවන්නේ. උන් හරි ෆන් පොරවල් වෙන්න ඇති..

      Delete
    2. ගරා යක්කු ඉස්සර ඉඳන් එල පොරවල්.මිනිස්සු උන්ව මිස්අයිඩෙන්ටිෆයි කලාට උන් මොනවා කරන්නද.මේකේ යක්කු කොච්චර ජොලි බුවාලද.

      Delete
    3. චා චා... වස වැරැද්දයි...
      මම කවදාවත් තොයිල් පලක ගිහින් ඉඳල නැහැ. ඒකද මන්ද දෝසෙ

      Delete
  15. හ්හි හි මරු බන්, මගේ දෙවනි කසාදෙ දවසට අඩන්න ඉන්නේ හිටලා, ඕඕ යේස්.. අපිටත් ඔය මේකප් දාන වැඩක් හින්දා වෙඩින් එකට යද්දී මනමාල කපල් එක පිටත් වෙන්න එළියත් ඇවිත්,,, මාස ගානක් ප්ලෑන් කරලා සාරි අනම් මනම් අරන් ඔක්කොම කරලා යද්දී පරක්කු උනා කියාන්කෝ ඉතින්, ශික්

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කියද්දී මටත් කතාවක් මතක් උනා. මේ සීරීස් එක ඇතුලෙම ලියන්නම්කො..

      Delete
  16. හෙහ් හෙහ් වෙඩිමේ දී අඩන සීන් එක නම් ආතල්... කොටින් ම කිව්වොත් අනිත් අය අඬනවා දැකල මාත් ඇඩුව.. හෙහ් හෙහ් බලනකොට හේතුවක් නෑ.. චාරිත්තරේට වගේ අඬල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලා චෝරු නේ.... ඕව ඉතින් මතකේ තියෙනවද... නැද්ද?
      මම නිකමට අහන්නද, දැන් පැතුමා ඇඩුවේ මොකද බොලේ??? මම හිතුවේ මනමාලි තමයි අඬන්නේ කියල.. හෙහ්... හෙහ්... ( ඉතිරි ටික ජනේලෙන් පිටතට කියූ බැවින් කාටවත් ඇහුනේ නැතිය..)

      Delete
  17. >>මට ඉස්සර අකවුන්ටන්ට් කෙනෙක් කියල කිව්වම මතක් වෙන්නෙම කවකට්ටක් පාවිච්චි කරන එකෙක් වගේ.<<
    උඹ දැක්කද මන්දා මගේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් දාපු එකෙක් කියලා තියෙනවා ඌට ගණිකාව කිව්වම මතක් වෙන්නේ අකවුන්ටන්ට් කෙනෙක් කියලා. ඌට හිතිලා තියෙන්නෙ ගණිකාවො ගණිනවා කියලා.

    >>මම ආස නෙහෙ ඔය මේකප් කරනකොට එයාලගේ හුස්ම වැදෙනවට. අවුලක් නැතුව ඇති සමහර අයට , මට නම් ආසා නැහැ. ඒ නිසා මම කරන්නේ එයාල මුණ ලංකරනකොට මම හුස්ම අල්ලගන්නවා.<<

    මට දැන්නේ තේරුනේ මේ මේකප් කරන්න ගිහින් සමහරු මැරුණේ කියලා. මේ රසායන ද්‍රව්‍යවලට ආසාත්මික නිසා නෙවෙයි එහෙනං නේද? බලාපංකෝ ඒකෙහ් හැටි! ලිස්ටරීන් හරි මින්ට් හරි වලින් ගලවාගන්න තිබ්බ වටිනා ජීවිත!

    ReplyDelete
    Replies
    1. පුදුමේ කියන්නේ ඩුඩ් , මට ඔබේ ඒ පෝස්ටුවත් මතකයි, කොමෙන්ටුවත් මතකයි.!

      ඒකනේ ඩුඩ් , නොදන්නා කම නිසා අහිමි වූ වටිනා ජිවිත. මමත් ඔය කොයි වෙලේක හරි අතුරුදහන් උනොත් හොයපල්ලා සැලෝන් වල මුලින්ම, හරිද? මොකද අපේ ගෙදර උන් විස්වාස කරන්නේ නැහැනේ මගේ මේ සැලුන් ගමන.

      Delete
  18. පට්ට කොමෙන්ට් එක
    හරියට කම්මල් පනහක් හැටක් එක වත්තෙ දාල වගේ. නැත්තං විජිතපුර සටන වගේ. එහෙමත නැත්තං පාලමක් හදනව වගේ.

    ReplyDelete
    Replies
    1. කොයි කොමෙන්ටුව ගැනද කිව්වේ ඈ ?

      කාලෙකින් පස්සේ ඇවිත් ඔය ඇනලා තියෙන්නේ හෝම්බටම. අඩේ , නාගරික සංවර්ධනෙට අහුවෙලා මුඩුක්කු කඩනකොට කැඩිලා වත් යයිද මන්ද... ගෝටා දෙය්යා.... මාව බේරාගන්ටෝ... අප්පා අමතක උනානේ, අප්පච්චි මලාද කොහෙද නේද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...