Tuesday, December 30, 2014

132. හටන - 01



ගෙදර තාවකාලිකව කාත් කවුරුත් නැතුව ගෙවන්න ලැබුනොත් ඔයාල මොකද කරන්නේ?

හම්මේ... මට නම් කරන්න ජාති තියෙනවා ඉසේ කෙස් ගානට.


  • අයිස්ක්‍රීම් ටබ් එකක් ඔඩොක්කුවේ තියන් සාලේ මූවි එකක් බලන්න.....
  • ආස ඩාන්සින් බීට්ස් තියෙන සින්දු දාගෙන සාලේ මැද්දේ නටන්න.....
  • පපුව කඩන් යන දුක්බර/හැඟීම්බර සින්දු දාගෙන ඒ සින්දු කිය කියා තමුන්ට හිතෙන ආංගික අභිනයන් පාන්න... ( ඔව් ඔව් ඉතින් මේක කලින් එකට හාත්පසින් වෙනස් තමයි. ඒත් මම එහෙමයි.)
  • Pizza එකක් order කරලා තනියෙන් බඩ පැලෙනකල් කන්න...
  • Full sound එක්ක හොල්මන් මූවි එකක් බලන්න....

so on and so forth.....

ඇත්තටම කිව්වොත් මට දැනට මතක් වෙන්නේ නැති තරම් තොගයක් මගේ මේ ලිස්ට් එකේ තියෙනවා. වැඩේ කියන්නේ ඔය ලිස්ට් එක කොතරම් දිගද කියනවා නම් සමහර දවස් වලට කරන්නේ මොකද්ද කියල හිතන්නම මගේ කාලය ගිහින් අන්තිමට මුකුත්ම කරන්නේ නැතුවම ඒ වෙලාව ගෙවෙනවා. අනේද කියන්නේ...

ඉතින් කරන්න වැඩ තියෙන ලිස්ට් එකේ තියෙන සමහර එව්වා ඉතින් කවුරුත් ගෙදර උන්නත් කිසි අව්ලක් නැතුව මට කරන්න පුළුවන් උනත්, කෝ අනේ කිසි කික් එකක් නැහැ නේ ඕක හොරෙන් කරනවා තරම්.... මම හිතන්නේ ඕක මගේ පොඩි කාලේ ඉඳන්ම තියෙන අව්ලක්ද කොහෙද.. හෙහ්..

ආ.. දැන් ඇති මගේ පට්ටන්දරේ කියෙව්වා... ඔය පට්ටන්දරේ කියෝනවා කියන්නේ මොකද්ද දන්නවද? නෑ අනේ මම දන්නෙත් නැහැ.. හි.. හි...

Thursday, December 18, 2014

131. මගේ (Modern) කෙල්ලගේ පැනය ?



දිගු වරල අතැ'ර මම
තට්ටු විලාසිතයට කැපුනු
වරලසක්  - පැලැන්දෙමි....

හැකිපමන සීරුවෙන්
නෙක සඳුන් වීරියෙන්
කරන රූ - කරන්නෙමි....

Wednesday, December 17, 2014

130. කතාකරන බිනර මල



කිසිම විදියකින් කියාගන්න බැරි හිතුවිලි වලට මොකද කරන්නේ?

පොලවේ වලක් හාරලා, ඒකට කියල පස් වලින් වහලා දානවද? එතකොට පස්සේ කාලෙක එතන පැලවෙන ගහක් සුළඟට වැනෙනකොට.. මගේ රහස කියන තාලෙන් වැනෙයිද ?

පැන්සලකින් කඩදාසියක ලියලා ඉවර වෙලා, මකලා දානවද? කඩදාසිය උඩින් පැස්ටල් ගානකොට ලියපු ඔක්කොම පෙනෙයිද?

මට ඇත්තටම කරන්න හිතෙන්නෙම නැති දෙයක් තමයි, අදාළ කෙනාටම හිතේ තියෙන දේ කියන එක! ඇත්තටම ඒක වේදනාත්මක ප්‍රවිෂ්ඨයක්. මොකද, ඒ හිතුවිලි අහගෙන ඉන්න බැරුව මාව ප්‍රතික්ෂේප කිරිල්ලට වඩා ඒ මොහොතෙන් පස්සේ හිතේ තිබ්බ සියලුම දේවල් කීමෙන් ඇතිවෙන හිස් බවට මම හරිම බයයි!!

මිතුර......

Tuesday, December 16, 2014

129. අතීතෙන් කෙනිත්තෙමි



කිසිදිනෙක
නෑල්ලු අතකත්....
හැමදාම බැලූ
නෙතකත් .....
රැඳුනු සුසුමක් අදත්
ඇතිය පතුලේ - හිතේ...

පස්වසක අතීතෙන්
වෙලීගිය සමරුවක්
තවත් ඇත කාමරේ
පුංචි පෙට්ටිය තුලත්...

මැකුණු සෙනෙහස නැතත්
වරක් හෝ මතකයක්
තිබුණි නම් 'ආදරී'
වටිනවා මහමෙරක්....


Wednesday, December 10, 2014

128. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 6




පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

පස්වන දිගහැරුම


ටාගට් එක සපුරන්න අසමත් වෙච්ච හින්ද නැතිවුණු පලවෙනි රස්සාවත්,
වෙලාවට වාර්තා නොකිරීමට අහිමිවුණු දෙවැනි රස්සාවත්,
පිළිවෙලින් බේබදුකමට ගිහින්; අසාධාරණකමකට කතා කරන්න ගිහින් සහ රැකියානුබද්ධ දේශපාලනය තේරුම් නොගැනීමට කියන කාරනා වලට නැතිවුණු රස්සාවලුත් ඔක්කොම නැතිවුනාට පස්සේ මම අනිවාර්යයෙන් ලබපු එකම දෙයක් තිබ්බ..

ඒ තමයි මේඝනාගේ පොල් අඩි බැනුම් අහගෙන විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු එක.

ඒ මුරුගසන් ගල් වරුසාවෙන් පස්සේ, ආයෙත් ඒකි මට ජොබ් වලට දාන්න උදව් කරන එක පරණ පුරුදු විදියටම පටන් ගන්නවා.

ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දේකට හැඩගැහෙන්න අමාරු නැහැ කියල මට තේරුනේ මේඝනාගේ මේ බැනුම් අහගෙන මට දැන් ඉස්සර වගේ නොවී , ගේමක් නැතුවම ඉන්න පුළුවන් එකෙන්මයි.

නමුත්, මගේ හයවෙනි රස්සාවට පස්සේ මම ජොබ් එක වෙනුවට මාරු කලේ තනතුරු. ඒ වෙනකොට මගේ සෙල්ලක්කාර ජිවිතේ , කොටින්ම කෙල්ලෝ මාරු කරමින් මම කරපු නාස්තිය ඔක්කොම වගේ නතර වෙලා...

මට මාව හම්බවෙලා කියල මට දැනෙනකොට, මම හිතන්නේ නැති දුරක් ඇවිත්.

වෙනදා වගේ නැතුව වෙනස් විදියට හැසිරෙන්න බලාගෙනමයි ඔෆිස් එකෙන් ආවේ. වෙනදා මුණගැහෙන තැනම උනත් මට දැනුනේ අමුතු ගැස්මක් තියෙන තැනක් විදියට.

සෝයා එකේ උසම උස පඩිපෙළ මට දැනුනේ වෙනත් ලෝකෙකට යන පාරක් වගේ. ඒ පඩි නැගගෙන, පඩියෙන් පඩිය වෙනස් වන සපත්තු සද්දය මම අහමින් ගියා. උසම උස පඩිපෙළ නිමාවෙනකොටම වමට හැරුණු මම අපේ සුපුරුදු බැල්කනි මේසයට ඇස හැරෙව්වේ ඇත්තටම ගැහෙන පපුවකින්.

මගේ වෙනසට කලින් මේඝනා වෙනස් විදියට ඇඳගෙන ඇවිත් හිටිය එකම මාව පුදුම කල හින්ද, ඒ පුදුමෙන් මම සීතල අයිස් කුට්ටියක් ගිල්ලා වගේ වෙව්ලවුනා.

"තේජන..."

Monday, December 8, 2014

127. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 5



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

තුන්වෙනි පාරට මට මේඝනා හමුවුනේ කවදාද කියල මට මතක නැහැ. හතරවෙනි පාරට, පස්වෙනි පාරට... ඔව්.. ඊට පස්සේ කීපාරක් හමුවුනාද කියලා මට කොහොමත් මතකයක් නැහැ. මතක තියාගන්න ඕනෙකමක් තිබ්බෙත් නැහැ.

මාව කුඩු කරලා , ඒ කුඩු වලින් හැමදාම මට කිවිසුම් යවන නරුම කෙල්ලෙක්ට මම මේ අහු උනාමයි. පියාඹන අස්සයෙක් වගේ හැමතැනම තටු ගහලා, මේඝනා ගාවදි තටු ටික අකුලන් ඉන්න මට කිසිම ආයාසයක් ගන්න උනේ නැහැ. මොකද ටික දවසකින්ම මට තේරුනා වඩා ලේසි ඒ වෙලාව කියලා.

පියාඹන අස්සයෙක්ගෙන් අහල තියෙනවද, උගේ තටු , බිමක වේගෙන් දුවන එකට ඇත්තටම බාධාවක්ද කියල?

"සිගරට් බිව්වද?"

ඊතලයක් මගේ දිහාවට එල්ලකරගෙන ඉන්නවා වගේ බැල්මකින් මාව හිරකරලා මේඝනා ඇහුව. මට නොදැනුවත්වම කටේ හුස්මක් පිටි අල්ලට එල්ලවුණේ මගේ සිගරට් සුවඳ , රස පරීක්ෂණයකට ලක්කරමින්.

Sunday, December 7, 2014

126. 'ප්‍රථම'....



නම නොදත් තැනක සිට
හෙළන සුසුමක රැඳුනු
පුරුදු සුවඳකි යලිත්
හිත කොනිති ගසන්නේ....

වරෙක වෙර වීරියෙන්
මඩින ලද සියුම් රති,
නොදන්නා තැනකටම
යලිත් අතවනන්නේ.......

කෙලෙසකද යලිදු මා
අනෙකෙකුට බැඳෙන්නේ?


Saturday, December 6, 2014

125. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 4



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම


"..මම.... අන්තිමට එයාව දැක්කේ ඉස්කෝලෙන් අවුට් වෙලා ටික දවසකින්. ද-න්-න-ව-ද...?"

එතකොට නම් එකපාරටම බළලා මල්ලෙන් එලියට පැන්නා වගේ, මට..

"මොකද්ද?" කියල ඇහුනා..

කෙල්ලගේ මුණේ තිබ්බ දුක වගේ ගතිය මකාගෙන මහා රවුද්‍ර පෙනුමක් ආවේශ උනා. එකපාරටම මගේ යටිබඩ දන්න ගත්තේ , ඔහොම තදවෙන කෙල්ලෝ ඊළඟට පුපුරන විදිය ගැන අපේ නංගි ගෙදරදී ප්‍රදර්ශනය කරලා තියෙන හින්ද.

"තමුසේ වගේ කෙල්ලෝ මාරුකරන කොල්ලෙක් කොහෙද දම්සිරිනිට වෙච්ච දෙයක් දන්නේ?....."

මාව ගල් ගැහිලා ගියේ සීතල වතුර බාල්දියක් ඔලුවේ වැක්කෙරුනා වගේ. 'මේක නම් ටයිම් බෝම්බයක්'! කෙල්ලෙක් මෙහෙම කඩන් පනිනවට මම බොහොම බයයි. විශේෂයෙන් මේ වගේ පොදු තැනකදී.

මොකද උන්ට තියෙනවා පොදු අවියක්, කොල්ලෙක්ට නැති. ඒ තමයි 'කෙල්ලෙක් වෙන එක'! ගහගන්න ආවොත් කෙලලා අරින්න පුළුවන්, ඒත් කෙල්ලෙක් එක්ක බැනුම් අහන එකට වඩා හොඳයි හෙළුවෙන් කඩේ යනවා.

"මේ.... හරි හරි... මම නෑ කියන්නේ නැහැ. මට කියන්න ආපු එක කියන්නකෝ"

මම ඇවිලෙන පිදුරු ගොඩට වතුර පනිට්ටුවක් විසිකලා.

Monday, December 1, 2014

124. සුළඟක් කල හදියක්



සුළඟ එන්නට හරිනලද
කවුළු පියනට රිසිලෙස
මගේ කුටියට එබෙන
මුදු රේණුවක කෙමි
නගයි කිවිසුම ආදර.....

වදනකුත් නොදොඩන
සුළං ආපසු නොමයන,
රැඳෙන කුටියක උණුහුම
ලෙහයි කය වසන අතුරණ....


නිමිත්ත : මල්මී - සුළඟ 


Friday, November 28, 2014

123. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 3



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

මට ආවේ පට්ට කේන්තියක්.

"ඔහ් "
කියල තමුන්ගේ වමතින් කට වසාගත්ත කැටපෝල්කාරී, විසල් කරගත්ත ඇස් වලින් මගේ දිහා බැලුවා. ඔව්.. ආයෙමත් මාව පුටුවෙන් බිමට වට්ටන තරම් වන ඇසට - ඇස හමුවිල්ලක්.

වටේ තිබ්බ සියලු දේවල් වෙන්කරලා අහස වෙනකල්ම එකවරම තාප්පයකින් මාව වටවෙලා ගියා වගේ දැනුනා.... ඔව් ඉස්සරවෙලා දැනුන තරම්ම ලොකු කම්පනයක් එක්කම මහා වැහි බීරුමක් මගේ ඔලුව ඇතුලේ නැගුනා..

'ඔව්... ඒ ඇස්..... '
නෑ.. ඇස් නෙවෙයි....... මගේ ඇස් ඇලවිලා තිබ්බේ ඒකිගේ කට වහගෙන තිබ්බ වමතේ! මම මෙතෙක් දැකල තිබ්බ ලස්සනම ලස්සන දිගටි කෝමල ඇඟිලි....

'මගුලක් කතා කරනවා... තෝ කොහොමද බොල දන්නේ ඒවා කෝමලද නැද්ද කියලා.... අඩෝ... උඹට පිස්සුද බොල ?'

ඒත් මගේ කටින් පිටවුනේ
"ඉට්ස් ඕකේ..."

කියල.

"සොරි"
කියල ඒකි කිව්වේ ඊට පස්සේ.
'අඩේ... ඒකි සොරි කියන්නත් කලින් උඹ මොකද්ද බන් ඒ කිව්වේ... තුක් නොදකින්.... ගොන් වස්සා'

මම මටම නම්බු නාම දෙමින් හිටියා.

මෙන්න ඒ පාර කෙල්ල කිසිම වගක් නැතුව බංකුවේ වාඩිවෙලා! ගෙනාපු අයිස් කෝපි එකේ ඉතිරිටික බීගෙන බීගෙන ගියේ හරියට මම ඒකිගෙන් ඉල්ලයි වගේ, නැත්තම් මම ඒක ඒකිගේ ඔඩොක්කුවේ හලයි වගේ. දැන් නම් හරි යන්නේ නැහැ පුතා...

මම කලේ, මගේ ඔඩොක්කොවට වැටුන අයිස් කෝපි බින්දු කීපය මේ වෙනකොටත් ඩෙනිමට උරාගෙන තිබ්බත්, බොරු වංසයක් පෙන්නමින්, එක අතක් මේසය මත තියෙද්දී , අනික් අතින් 'ෂෙක්' හඬ නගමින් දෙතුන් විටක් පිහන නාටකය රඟදක්වපු එකයි.

Thursday, November 27, 2014

122. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 2






මුල් දිගහැරුම...


වැවරවුමේ බංකුවෙන් බිමට වැටිලා , දන ගාන්නේ නැතුව මම කකුල් දෙකෙන් ඇවිදගෙන ආව..

ඇත්තටම පිළිසකර නොකලත් වැවරවුමේ පලින් පල තියෙන පස් මතුවෙච්ච කොන්ක්‍රීට් අතුරනයන් නොමැති තැන්වලට මම ආසයි. ඒවායේ තියෙන කලුපාට පස් වලට  ,මම මගේ ඩෙක් ෂූස් වලින් හෑරෙන පහරවල් දෙමින් ගමන් කරන එක හරිම විනෝදයක්.

කෙල්ලෙක් දිහාවත් නොබලා බිමම බලාගෙන යන එකෙත් තියෙනවා ආතල් එකක්.. ඔව් එහෙම යනකොට තමයි වැඩිපුර කෙල්ලෝ බලන්නේ... ඔලුව උස්සන්නේ නැතුව උනත් මට කියන්න පුළුවනි ඒක නම්!

සිමෙන්තියෙන් හැදුවත් කළුගල් පෙනුමක් තියෙන පඩිපෙළින් බිමට , පඩියෙන් පඩිය පනිමින් මම ආවේ මගේ පරණ මතකයකුත් බිම දිගේ ඇදගෙන...

'හෙක්.. හෙක්... '

මහේෂි එක්කත් මම මෙතන පහුකරගෙන ගිහින් තියෙනවා... නිර්මලී එක්ක නම් ගියේ පල්ලෙහා පාරේම විතරයි. මදාරා නම් කොහොමත්ම පාරවල් දිගේ ඇවිදිනවට කැමැත්තක් තිබ්බෙම නැහැ. කවුද අර කොන්ඩේ කැරලි කැරලි එක? නම මතක් වෙන්නෙම නැහැ. හැබෑට මට හැම වෙලේම ඒකිගේ නම අමතක වෙන්නේ මොකද?
'හෙහ්... ඒකෙත් හැටි...'

කාර්ගිල්ස් එක පහුකරනකොට මටත් නොදැනීම මගේ හිස හැරුනේ කාගිල්ස් එකේ විශාල වීදුරුවෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බය දිහාවට. පුරුදු විදියට මම මගේ කොණ්ඩය නළලින් උඩට හැදුවේ, ඊළඟ මොහොතේ ආයෙමත් වැටෙනබව දැනගෙනමයි.

ඒත් මම ආසයි එහෙම කොන්ඩේ හදන්න. වීදුරුවෙන් ඇතුලේ, සුපිරි වෙළඳ කුටියේ තිබුනේ භාණ්ඩ ගෙනියන 'ට්‍රොලි' අසුරන ස්ථානය. එතැනට එන කැරලි කොණ්ඩයක් තියෙන , බටර් පාට කෙල්ලෙක් මාව දැකල එකපාරට නතර උනේ අපි දෙන්නා අතර තියෙන වීදුරුව ගැන අමතක වෙලා වගේ...

මම කොණ්ඩේ ආයෙත් පාරක් හදලා පොඩි හිනාවකුත් එක්ක යන්න පටන් ගත්ත.

Wednesday, November 26, 2014

121. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 1


වෙනදා වගේම වැහිබර අහසක්...

ඔව්.. මම කැමතිම ජාතියේ අහසක්.. මගේ හිත ප්‍රබෝධමත් වෙනවා වගේ දැනුන. මට ඕනේ කලේ වැව රවුමේ බංකුවක් විතරයි.

එතකොට මේ එතනින් යන එන දෙනෝදාහක් මිනිස්සු?

ආ... කවුද ඒවා ගණන් ගන්නේ... මට ඕනේ මේ ජාතියෙන් බංකුවක් විතරයි. කොතන තිබ්බත් ඒ බංකුව මට ඕනේ මගේ විදියටම.

මම වටපිටවත් බලන්නේ නැතුව බංකුවේ කොනින් වාඩිවුනා. ඇත්තටම කවිබර දවසක්.

"ආ... මේ මොකද මේ භාවනාවක්ද?"

යාලුවෙක් තට්ටුවක් දාගෙන ගියා. ඈ යකෝ.. භාවනාවක් කොරන එකෙක්ට මෙහෙම තට්ටු දාගෙන යනවද බොල ?

මම එහෙම හිතල ඌට හිනාවක් දාල අනික් පැත්ත හැරිලා වාඩිවුනා.



හරියටම මගේ බංකුවට ඉදිරියෙන් තිබ්බ අනික් බංකුවේ මගේ දිහා බලාගෙන හිටපු ඒ රූපය මාව තව ඩින්ගෙන් බංකුවෙන් බිමට දානවා!

විශ්මයෙන් ඇරුන මගේ ඇස් එක්කම මගේ කටත් ක්‍රමයෙන් ඇරෙනබව දැනෙනකොටම මම ක්ෂණයෙන් කට පියාගෙන ඇස් වලින් ගින්දර පිටකලා.

'අසමජ්ජාති කෙල්ලෙක්....'

Tuesday, November 25, 2014

120. ව්‍යාපාරිකයාගේ ජන්දය





පෙරලෙන්නපා
දෙය්යනේ...
ආණ්ඩුනම්

ආයෙමත්
'පෙරේත ගොටු'
දෙන්ට නෑ
බජට් මට!

Sunday, November 23, 2014

119. අල්ලපු වත්තෙන් ප්‍රශ්නය ඉවරයි..

ඔබ කොළඹ අවට හෝ ප්‍රධාන නගරයක් අවට, තදාසන්න කලාපෙක ජිවත් වෙන කෙනෙක්ද? එහෙනම් මම මේ කියන දේ සියයට සියයක්ම අදාළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එහෙම නොවෙන අයට අදාළ නැහැ කියල. යම් යම් වශයෙන් අපිට අදාළ වෙනවා.

මෙහෙම කියන්නම්කො.. කුණු කියන්නේ ඔබට බලවත් ප්‍රශ්නයක්ද?

සමහරු එකහෙලාම 'ඔව්' කියයි. සමහරු හිතල මතල 'ඔව්' කියයි. තවත් සුළුතරයක් හිතන්නෙත් නැතුව මේ පෝස්ටුවත් මගෑරලා යයි. ඔව්.. ඒ අපේ කාගේත් හැටි! විශේෂයෙන්ම ලංකාවේ.

මම දකින හැටියට නම් කුණු කියන්නේ අපිටත් වඩා රටේම ප්‍රශ්නයක්. මොකද සමහරු කොහොමහරි තමන්ගේ වත්තේ හතර මායිමෙන් එහාට තල්ලු කලාට පස්සේ තමුන්ට කිසිම කුණු ප්‍රශ්නයක් නැති බව දිවුරන්න පවා සූදානම්. ඊට අමතරව කුණු විදියට ගෙදර විසිකරන 'සියලුම දේ' එකතුකොට එකම ගිනි ගොඩක පුච්චන්නට හැරීමෙන් පසු තමුන් ඒ ගින්නෙන්ම සුද්දවන්තයින් බවට පත්වෙනවා යයි දැඩිව විස්වාස කරන අය මම කොළඹ අසල්වාසීන් විදියට තියාගෙන ඉන්නේ.

කොනක ඉඳල ලියන්න ගත්තොත් ඇත්තටම මම පටන් ගන්නේ මගෙන්.

මට නම් කුණු කියන්නේ කොළඹ පරිසරයේ ඉන්නකොට 'බලවත්' ප්‍රශ්නයක්. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ කුණු වශයෙන් මම බැහැර කරන 80% විතර නොදිරන දේවල් හින්දා. ගෙදර එකතුවෙන ගස්වල කොළ ආදිය සඳහා මට කොම්පෝස්ට් බින් එකක් තිබෙනවා. කුස්සියේ සියලුම බැහැරකිරීම් මම 'කුණු' විදියට තමයි කියන්නේ. ඒ කියන්නේ කුස්සියේ ඉඳුල් , දිරන දේවල් උනත් මම බින් එකට දාන්නේ නැත්තේ, ඒවා මිශ්‍ර උනහම ඉවසන්න බැරි දුගඳක් එන හින්ද මට කොම්පෝස්ට් බින් එක එපා කරවන දෙයක් වෙන හේතුවෙන්.

Wednesday, November 19, 2014

118. දිනපොතෙන් කොලයක්...

මගේ දිනපොත කියෙව්වාද ඔබ?

නැහැ නේද තවම?

කොතරම් සැනසුමක්ද එය....




මම එසේ සිතනවිට.... එකෝමත් එක දවසක ඔබ ඇවිත්..

මට තාම මතකයි ඒ වැහිබර දවාල, හැන්දෑවක් සේ විලිබරව උන්නු හැටි.. මගේ හිත වගේම....

"බිනූ... දැක්කද?"
වැවරවුමේ වාඩිවෙලා උන්නු මට, වැව මැද්දේ උන්නු හංසයෝ දෙන්නෙක් පෙන්නමින් ඔබ පටන්ගත් දෙබස?

කවදාවත් නැතුව, කිසිම දෙයක් නොහන්ගා මම කඳුළු සලනකොට, කිසිම අවසරයකින් තොරව මා උරහිසට තදකරන් නිහඬවම මගේ කඳුළු ඇසූහැටි.. ඒ මුරුගසන් වැස්සට පසුව නැවතත් මගේ රුදු තල්ලුවෙන් වෙන්වෙලා , නැවත පසෙකට උනා එදා ඔබ.. අද වගේම!

ඉඩක් ලද හැමවිටම අතින් ඇද , සියුම් විදුලිසර දෙමින් විදා පෑ ඔබේ ඒ ප්‍රේම ප්‍රකාශය කොතරම් මටසිළුටුද ?

Saturday, November 15, 2014

117. අනුකලනය සාහිත්‍යමය ඇසින්?




කතන්දරයක්, සිද්ධියක් උනත් ලියන්න ගියහම කපන්න කොටන්න වෙනවා.

මොකද සමහර දේවල් අමුවෙන් කියනකොට අපුල ගතියක් දැනෙනවා වගේම අමුවෙන් කියනකොට දැනෙන දේ  සාර්ථක ප්‍රථිපල ගෙනදෙන්නේ නැහැ කියල  පුද්ගලිකව විස්වාස කරන හින්ද.

නමුත් මම කියවපු සමහර බ්ලොග් වලින් දෙන ව්‍යංගය උනත් නොතේරෙන ගතියක් තියෙනවා කියල පොදුවේ මට දැනිල තියෙනවා.

එක්කෝ අපේ රසාංකුර මොට්ට වෙලා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන ව්‍යංගය ඇත්තටම එතන මැවිලා නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ පලවෙනි කාරණේ ඔප්පු වෙන එක.

එතැනදී මම කියන්නේ නැහැ, මට ඔක්කොම තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ කියල. මමත් එන්න එන්නම මොට්ට පරිකල්පනයකට ඇදිල යද්දී තමයි මට කල්පනා උනේ මම මොකද ලියන්නේ නැත්තේ කියල.

Tuesday, November 11, 2014

116. පොලිස් මාමා



පොඩි උන්ට 
බත්ගුලි 
ගිල්ලවන්නට මිස ,
ලංකාවේ පොලෝසිය 
කවර පොරෝජනයක්ද 
මිනිසුන්ට ??

Monday, November 10, 2014

115. ඇබෑර්තුවක් ඇත...



කාටද පුළුවන්
පණිවිඩයක් දෙන්න...
මා වෙනුවෙන්
එකෝමත් එක
ගිනිවිදින මකරෙක්ට ?

ලිපිනයක් දන්නේ නැති
උනත් හරි කමක් නැහැ
යවන්නට ඕනෙමයි
පණිවිඩේ....
අද හෙටම...

" එන්ට හැකිනම්  - හොඳයි 
මගේ මළගම - හෙටයි "




Sunday, November 9, 2014

114. දැදුරු සිතක...



හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....

විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට 
ගෙවෙන හැම 
මිනිත්තුවේම 
දෙස් දෙවොල් 
තියමි මම.....

Thursday, November 6, 2014

113. හඳ ඕනා....





හිතක් තිබිය හැකිද, කියවන්න හැකි මුළුමනින්ම? හිතක් ඒ සිතුවිලි ගොන්නත් එක්කම එකට ගත්තත් හිතාගන්නට බැරිනම් අපේ හිතුවිලි? කොතරම් දුර්වලද එහෙම හිතන එක..

ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ අපේ හිතත්, ඒ හිතේ ඒ දේවල් ගැන තියෙන ආකල්පයත් හින්ද. දරුවෙක් තමන්ගේ නම් එක ආදරේකුත් අනුන්ගේ නම් තව ආදරේකුත් වෙන්නේ අපේ ඒ බැඳීමේ පරතරය පෙන්නන මිනුම්දඬු වගේ. ඒ වගේමයි... මෙතෙක් කාලයක් නිකන්ම යාළුවෙක් , අදහස් දක්වන්නෙක් වෙලා ඉඳල එක පාරටම ( ඇත්තටම කියනවා නම් එකපාරටම නෙවෙයි, 'එක පාරටම ටික ටික' ) වෙනත් අර්ථයකින් දකින්නෙක් උනහම අපේ හිතේ ඒ අදහස්, අංගචලන, ප්‍රතිචාර ගැන වෙනස් චිත්‍රයක් මැවෙන්නේ...

කොතරම් ආදරයක් තිබිය හැකිද හිතක් තුල සැඟවිලා..? කියාගන්නට , මනින්නට බැරුව..?

මගේ සෙනෙහස 
මෙතෙක් වේයැයි 
මනින්නට තව 
උගෙන නැත ඔබ 

මගේ අවසන් 
සුසුම පමණද 
අවැසි ඔබහට 
මා දකින්නට......


Wednesday, November 5, 2014

112. යලිත් ලියනු හැකිනම් - අතීතය



එකපාරටම ඇවිදින් 
මගේ ඇස්දෙක වහන 
සෙල්ලම 
ආයෙත් කරමුද?

හැබැයි ඇස් අරිනකොට 
ඔබ ඉන්නවනම් 
ගියපාර වගේ නැතුව.....


Friday, October 31, 2014

111. ඔබද මාද ඒ? - 03


පළමුවැනි කොටස


දෙවැනි කොටස

ණුසුම් ජලයෙන් තෙත්වෙන සිරුරේ නැගෙන්නේ වේදනාත්මක වින්දනයක්. සිරුර වගේම හිතෙත් ඒ වගේ ජල කෙලියකට ඉල්ලීමක් තිබ්බත්  අලුතෙන්ම ගෙනාපු බොඩිලෝෂන් අතුල්ලා නැගෙන මෘදු පෙන ගොන්නේ ලොකුම සබන් පෙන පිඬ සොයමින් මම කාලය මැරුවා.

ඔව්... දැන් සෙවිය යුත්තේ ලොකුම පෙනපිඬ ! ලොකුවටම පිපිරෙන, කාලබෝම්බයක් තරම් සද්දෙන්?

කාන්තාරයක් මැද්දෙන් දිවෙන කිසිම හැලහොල්මනක් නැති රේල්පාරකින් එකපාරටම බුලට් ට්‍රේන් එකක් ගිහින්, වටේ ඇතිවෙන කම්පනය වගේ දෙයකින් මගේ කන් දෙක අගුල් දාල. ඔව්.. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ කොහොමත් මගේ කන් දෙක අගුල් වැටුනා. අගුල් වැටුනද? අගුල් දාගත්තද?

නානකාමරෙන් එළියට ඇවිත් නැවුම් ශරීරයක් එක්ක හිටපු මට අලුත් හිතක් ඕනේ කළා. කිසිම දෙයක් නැති හිස් ළිඳක් එක්ක ඉන්නවා වගේ මගේ දිහා බලන් හිටියේ , කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. වෙනදට වඩා නැවුම්, දිලිසෙන ඇස්......

මම හොඳට බැලුවේ ඇත්තටම කම්මුල්පාර කෑවේ මමද , වෙන කවුරුද්ද කියල... ඔව්.. මම නෙවෙයි... මගේ කම්මුල නිල් වෙලා නැහැනේ..

ක්ෂණයක් කියන්නේ මහා දිග කාලයක්. ඒ දිග කාලේදී අපිම සමහර උපකල්පන වලට ඇවිත් ඒ උපකල්පන වලට අදාළ හේතු සාධනීය කරලා, උපකල්පන අපිම නිෂ්ප්‍රභා කරනවා. ඔව්.. ගොඩක් ජාති කරන්න තරම් වෙලාව තියෙනවා. මමත් එහෙම කළා...

' මේ ගෑනි.... හොර ගෑනි.... තුක් විතරක්!'

Tuesday, October 28, 2014

110. 'චෙක්'



ළමා.........යි
ඔන්න ළමා..........යි

එකෝමත් එක රටක හිටියා ඉතාම වැදගත්, ගිණිගත් ,රූමත්, උගත් , සිල්ගත් තරුණ කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට කුමාරියක් වගේ තමයි. නෑ නෑ .. නුවර කුමාරි නෙමෙයි හරිද....? මේ ළමයා බොහොම පැහැපත් කෙල්ලෙක්.

මේ දරුවා බොහෝම , මම කිව්වේ බොහෝ..........ම තැන්පත් ගතිගුණ තියෙන දාහකින් නෙවෙයි ලක්සෙකින්වත් හොයාගන්න බැරි තරම් වටිනා කියන දරුවෙක් හින්ද කොලොම්පුරේ ඉගෙනගෙන අහවර වෙලා, කරන බහුබූත වැඩවලට මාසේ අන්තිමට සල්ලි ටිකක් දීල ගෙදර එවන.. නෑ .. නෑ .... කෙටියෙන් කිව්වොත් වැදගත් රැකියාවක නිරතවෙලා හිටියේ.

මේ දරුවා ඉගෙනගන්න කොලොම්පුරේ ඉන්න කාලේදී ගෙදරට ආරංචි වෙන / නොවෙන ජාතියේ නොයෙකුත් සුප්‍රකට/කුප්‍රකට ජාතියේ වැඩ බොහොමයක් කරලා තිබ්බ හන්දා කාගේ හරි එකෙක්ගේ කර්මදෝසයක් පලිසන් දෙන්න තියෙන කාලෙකදී උගේ ඇඟේ එල්ලනකල්, කොහොමහරි වෙන එකෙක්ට අතුරු ආන්තරාවක් වෙන්ට නොදී රැකගන්නේ කොහොමද කියල මේ දැරිවිගේ අම්මා උන්නේ පුදුම ගින්දරකින්. මේ හින්ද පුළුවන් උපරිම වෙර වීරිය දාල මේ අම්මා විසින් බොහොම මහන්සි වෙලා හොයාගත්තා දුරින් නෑයෝ වෙන ගෙදරක් මේ දැරිවිට නතර වෙන්ට, ටික කාලෙකට.

Sunday, October 26, 2014

104. අස්සයා මැරුණු ජොකියෙක් වීමි..





මගේ ක්‍රීඩා ජිවිතයේ පාසලේ මතකයන් මම ලියාගෙන ආවා. ඉවර උනේ නම් 11න් පහළ කණ්ඩායම විදියට සෙල්ලම් කරලා පරාජයක් එක්ක ගෙදර ආපු මතකයෙන්.


මේ කතාවේ මුල්ම කොටස 

මේ කතාවේ ඊළඟ කොටස


මට ඊට පස්සේ උන දේවල් උනත් හරියටම අනුපිලිවෙල මතක නැති අවුලක් තියෙනවා. නමුත් වෙච්ච සිද්ධි නම් මතකයි.

ඔය කාලේදී අපේ පුහුණුකරු වෙලා හිටපු සර් නගරයේ අනිත් ප්‍රධාන ගැහැණු පාසලෙත් පුහුණුකරු. අපිට නම් මේන් හෝල් එකේ ඇඳපු කොට්ස් කෝට්ස්  දෙකක් ඒ දවස්වල තිබ්බත් අනිත් ඉස්කෝලෙට එහෙමවත් තිබ්බේ නැහැ. මේ හින්ද ඒ ළමයි එක්කගෙන සර් අපේ ඉස්කෝලෙට එනවා. කොහොමහරි අපි නිතර Friendly matches ගහනවා.

බොරු බේගල් කියන්නත්, පුරසාරම් කියන්නත් අකමැති උනත් මම ලියන්නම්... ඒ දවස්වල මම unbeatable category එකේ හිටියේ. ඒ වගේම අපේ කණ්ඩායමත් අනිත් කණ්ඩායමට පැරදෙන්නෙ හරිම අඩුවෙන්.

ඔහොම ගතවෙනකොට, මම හිතන්නේ මගේ කණ්ඩායමේ අනිත් උන් එක එක හේතු හින්ද ක්‍රීඩාව give-up කළා. මගේ වයසේ හිටපු අනිත් උන් දෙන්න නම් හරියටම හේතුවක් දන්නේ නැහැ. අක්කලා හිටපු අය නම් සාමාන්‍යපෙළ හින්ද කියල තමයි කිව්වේ. කොහොමත් අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන්නේ මට නම් බද්ධ වෙච්ච දෙයක්. මම කවදාවත් ඉගෙනගන්න බාධාවෙනවා කියල ක්‍රීඩාවෙන් ඉවත් උනෙත් නැහැ එහෙම වෙනවා කියල විස්වාස කලෙත් නැහැ.

අන්තිමට මම ඇරෙන්න මගේ කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩාව නතර කළා.

ඉතින් මම අස්සයා මැරුණු ජොකියෙක් වගේ උනා....!! 


Friday, October 24, 2014

103. මිතුරු තොමෝ.... 02



පළවෙනි හෑල්ල 

කැටයක් හොල්ලනවා කිව්වට කැටයක්ම නෙවෙයි. අපි කලේ අපේ යුනියන් එකෙන් ටිකට් එකක් ගහලා ඕක විකුණන එක.

ඔන්න දැන් මමත්, කිරි බර්ටියාත් ගජ රාමෙට එහෙ මෙහෙ දුවලා ටිකට් ගහන්න විදියක් බැලුවා. මේ ගැන අපේ ෆැකල්ටියේ ඩින් සහ ජේෂ්ඨ ආචාර්යවරු දැනුවත් කරලා කිරි බර්ටියා උන්ගේ ගෙවල් ගාව තිබ්බ මුද්‍රණාලයකින් ටිකට් ගහන්න ලෑස්ති කරගත්ත. ඒ අතරේ වරින්වර තිලිණගේ හිත හදන්න ඌ එක්ක විකාර දේවල් කතා කළා. අන්තිමට ඌ අපිට අනාවරණය කළා උගේ යාලු ගෑනුලමයා ගැනත්. ටිකට් විකුනලා සල්ලි හොයල දෙන්නම් කිව්වම උගේ තිබ්බ ඉල්ලීම තමයි
"මචන්, මගේ කෙල්ල ඉන්නේ _____ කැම්පස්. ඒකෙ ඇරෙන්න වෙන ඕනේ දිහාක විකුනපන්. කෙල්ලට හොඳ නැහැ"

අපි මේ අහිංසක ඉල්ලීමට කන් දුන්නා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ ෆැකල්ටියට වෙනම ආරක්ෂක සේවයක් තිබ්බ. ඒ වගේම ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක් උන්නා ඌ අන්තිම රස්තියාදුවෙක්. ආරක්ෂක සේවයේ ලොක්ක වෙලා හිටියෙත් කුපාඩි බැල්මක් තිබ්බ වයසක මනුස්සයෙක්.

102. මිතුරු තොමෝ.... 01


මිත්තරයෝ / මිත්තරියෝ ඉන්නවා නේද? ( ඔය ඉන්නේ...) මගේ ජිවිතේ උන්ට හිමිවෙන්නේ ලොකු ඉඩකඩක්. මම නොයෙකුත් තැන්වලදී ලියල පාරම්බාලා ඇති මගේ මිත්‍ර සමාගම් ගැන. නොසැලකිල්ලෙන් මිත්‍රයෝ ඇතිකරගන්න මම උන්ව පරිස්සමෙන් මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ ආයෙත් ආයෙත් ආශ්‍රය කරන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන්. ඒක ඇතුලෙම අනිත් වචනෙත් ලියවිලා තියෙනවා... ඒ කියන්නේ 'පොඩ්ඩක් විතර නොසැලකිල්ලෙන්'

යාලුවෝ උනහම මට එක එක කැටගරියේ උන් ඉන්නවා. ඉස්කෝලේ කාලේ යාලුවෝ නම් දැන් හරි අඩුවෙන් සම්බන්ධකම් තියෙන්නේ. මොකද මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් ආවට පස්සේ ගම් පළාතේ යන එකත් අඩුවෙලා ගිහින්, කොටින්ම ගමේ උන්වත් මම අපේ අම්මගේ දුවෙක් කියල අදුරන්නේ නැහැ නේ බොලේ...



හිටපු ගමන් ගම් වැදුන මමත් ඉස්සර කරගෙන අපේ අම්මත් එක්ක මම ටවුමේ රස්තියාදුවකට කියල හිතාගෙන බස් එකට බඩගානවා...
"ආනේ.. මිසිස් _____, කොහෙද අද මේ පයින්ම?"
"අපේ මේ දුවත් එක්ක මම මේ ටවුන් යනවා"

Friday, October 17, 2014

101. ඔබද මාද ඒ? - 02







මුල් කොටස 

තොරක් නැතුව දුවන නොයෙකුත් ජාතියේ වාහන... කවදත් වගේ යන ගමනක්... බසය කලර් ලයිට්ස් ළඟදී හිරවුනා, එතකොට මගේ හිරවෙච්ච හිත ආයෙත් ලිහිල් වෙන්න ගත්ත.

'මට මෙහෙම ජිවත් වෙලා මොකටද.. '

පාරේ කිළුටු දරුවෙක් කිහිලිගන්නාගෙන යන කිළුටු මවක්.. මගේ හිත ඉරිසියාවෙන් පෑරුනා..

'මේ ගෑනිට කන්න නැතත්.. අඩු තරමේ මිනිහ දරුවෙක් හරි දීල... දරුවෝ ලැබෙනවද ඉතින් උඩබලන් උන්නට.... පො___යා'

මටම දැනුන ඒ කම්මුල්පාර මගේ වම් කම්මුලට වැදුන! මම කම්මුල අතගාල බැලුව. ඔව්, වෙනද වගේම උණුසුම්.

'අපරාදේ මට ඌගේ මුණටම කියන්නයි තිබ්බේ.... හෙහ්..  ඔව්.. මුණටම.. අර ගල් වෙච්ච කොන්ක්‍රීට් මුණට.... '

100. ඔබද මාද ඒ? - 01



මුළු ගෙදරම ඇත්තේ මුසල කමක්.. කලබලෙන් වහපු පැන්ට්‍රි සින්ක් එකේ වතුර වැටෙන සද්දේ පවා මට ඇහුනේ මට ඔලොක්කු කරනවා වගේ. මිට විනාඩි දෙක තුනකට කලින් මේ ගෙදර බිත්ති දෙදරන්න බෙරිහන් දීපු මගේ කටහඬම ආයෙත් මගේ පැත්තට හැරිලා ඇහෙනවා වගේ මට දැනුනේ...

"... මොනවද උඹට මගෙන් ඕනේ... කියපන් මෝඩයෝ?"

මගේ හඬ ගිගුම් දුන්න බව මට මතක් වෙන්නේ දැනුයි.

ඔක්කොම ඉවර වෙලා කුණාටුවෙන් පස්සේ මම ඇදන් වැටුනේ සුපුරුදු සෝෆාව උඩට. අත්දෙක ඔලුවේ තියන් මම ඇත්තටම කිසි දෙයක් කල්පනා කරන්නේ නැතුව අහන් හිටියේ මගේම ගිගිරුමේ දෝංකාරය..

ගෙදර තිබ්බ මොකක් හරි දෙයක් සඳුන් අරගෙන ගිහින් වගේ, මට මොනවහරි හොයන්න ඕනේ කළා... ඒත්  ඒ වෙනුවට මම කලේ දුරකථනය අරන් තීක්ෂණට වයිබර් කරපු එක..

උදේ ඇතිවුන කතාබහ දුරදිග ගිහින්, අවසානෙදි කවදත් වගේ මම පුපුරා හැලුනත් සුපුරුදු විදියට සඳුන් එයාගේ කොන්ක්‍රීට් මුණ දාගෙන ඉන්නකොට මොන ගෑනිටද ඉවසන්න පුළුවන්? හැමදාම එකම කාලසටහනට දුවන බල්ලෙක් වගේ සඳුන් දුවනවා. මමත් ඒ කාල සටහනේ විදියට කරලා දෙන ටිකට, අඩුම තරමේ බැනුමක් බැනපන්? හොඳක් කියපන්? එක්කෝ ගහපන්? නැත්තම්... මොකක් හරි....

"තමුසේ මාව වහලෙක් කියලද හිතන් ඉන්නේ"

කොතරම් දවසක් මෙහෙම අහල ඇද්ද? හැමදාම ඒ හිස් හිනාව මම කොහොමද දරන්නේ? පිරිමියෙක් වගේ රණ්ඩු නොවෙන පැපොල් ගහක්? ආයෙත් මම තීක්ෂණ ගේ රිප්ලයි එක කියෙව්වා...

Thursday, October 16, 2014

99. සෙරෙප්පු



හිතල හිතල ඇති වෙලා මට...
කොච්චර හිතුවත් ඉවරවෙන්නේ එකම තැනකින්. හරියට එකම තැනකට යන්න හදපු පාරවල් ගොඩක් වගේ.

හැමදාම මේ සෙරෙප්පු දෙක දකිනකොට දැනෙන කම්පනය වහගන්න ඒ සෙරෙප්පු දෙක කාටවත් කවදාකවත් හොයාගන්න බැරි තැනකට විසිකරන්න ඕනේ කලත්, මම කලේ ගබඩාකාමරේ පෙට්ටියක් ඒ වෙනුවට තෝරගත්ත එක. අන්තිමට මට උනේ කවුරුත් නැති වෙලාවක ගබඩා කාමරේ මැද්දෙදි මේ සෙරෙප්පු දෙකෙන් විහිදෙන අවලං හිනාවත් එක්ක සම්මුඛ වෙලා , වෙනදාටත් වඩා හිතලක් එක්ක සුසුම්ලන්න.

කොහෙන් එන සිතුවිලිද මේ? පෙනේරෙකින් නතර කරන්න බැරි වතුර පාරක් වගේ මම මගේ හිතුවිලි එක්ක පොරබදනවා..

"ලස්සන ඇඟිලි... මොකද ඔයා කියුටෙක්ස් ගාන්නේ නැත්තේ "

ඒ වචනෙත් එක්කම අනික් පැත්ත හැරුන මට ඔබේ ඇස් වලින් බේරෙන්න ලැබුනේ , ඒ ඇස් දෙක නතර වෙලා තිබ්බේ මගේ කකුල් දෙකේ හින්ද.

98. හිර - බස්




විවාහය
එකට එකක් වෙනස්
ගමනාන්තයන් ඇති....
                   බස් මෙනි...

එකක් මගහැරුණුවිට
තව එකක් එනු ඇති...
                   විශ්වාසද නැති...

ටිකට් නොගත්තද
හිටගෙන, ඉඳගෙන ගියද
                  බසිනු බැරි..

Tuesday, October 14, 2014

97. පිට - රට හුට- පට

මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම

එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?

මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...

මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.

ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )

Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.



Friday, October 10, 2014

95. සිකුරාදාවක - සවස




අල්ලට ගත්
දිය අහුරකි..
සති අන්තය 

Monday, October 6, 2014

94. මොන්ටිසෝරි හයිලයිට්ස්...




අම්මි අද
මගේ පුටුවේ
නතාෂා වාඩිවෙලා..
අනුහස් එයාට
මට දෙන ඉරේසරේ දුන්න...

අම්මි
මම උදෙන්ම
නැගිටිනවා හෙට ඉඳං !


Sunday, October 5, 2014

93. එයාට කිරි - මුන්ට කැකිරි!

කතාකලයුතු බොහෝ දේවල් තිබියදී මේ සටහන ලියන්නට හිතුනේ ඇයිද කියල හරියටම කියන්න අමාරුයි.. ඒත් එක දෙයක් පැහැදිලියි. අපි බොහෝ දෙනෙක් කතාකලයුතු දේවල් පසෙක තියාගෙන නන්දොඩවන තත්වෙට පත්වෙලා හින්ද, මේ කතාව අමුත්තක් වෙන එකක් නැහැ..

අපේ රටේ සංස්කෘතිය, සමාජ ආකල්ප ගැන කෑමොර දෙන ඔක්කොම දෙනා ඉස්සර ඉඳන්ම බෙරිහන් දෙන, හෙලා දකින දෙයක් තමයි වරදෙහි බැඳීම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ විවාහක පුරුෂයා, ස්ත්‍රිය හැරුනුකොට වෙනත් ස්ත්‍රියක්/පුරුෂයෙක් කෙරෙහි කාමුකව ආසක්තවිම.

අපේ රටේ ඉතිහාසයේ නරකම නරක ලේබලයක් තියෙන අනුලා බිසව එහෙම 'නරක' අයෙක් විදියට හංවඩු ගැහිලා. ඒ වගේම තවත් රජ පවුලේ/ගොවි පවුල්වල ස්ත්‍රීන් මෙහෙම හංවඩු ගැහිලා, ඉතිහාසෙන් ඕනේ තරම් උදාහරණ. දෝනකතරිනා ගැන තිබ්බ ඒ කැළල හින්දම වෙන්නත් ඕනේ වේදිකාව උඩදී ඇයට සාධාරණයක් කරන්න 'දෝනකතරිනා' නාට්‍ය හදන්නත් ඇත්තේ. ඇය හැබැයි වරදෙහි බැඳුන කෙනෙක් විදියට නෙවෙයි චෝදනාව.

මට තියෙන ප්‍රශ්නය...



Thursday, October 2, 2014

92. ඇඩ්වෙන්චර් - නැද්ද හා?

අදත් උදේ පාන්දර 9ට විතර පාරට බැහැල, වෙනද යනවා වගේම මෙලෝ ගර්ලිෂ් ගතියක් නැතුව කඩාගෙන බිඳගෙන ඇවිදගෙන බස් එකට නගින්න කියල ආව. වෙනදට මාළුපාන් කන්න කැන්ටිමේ පොරකන ළමයි රොත්ත වගේ, පාර දිගේ දුවගෙන එන වාහන එකක්වත් නෑ ! ඒ මදිවට පාරෙන් එහාපැත්තෙ විරුද්ධ පැත්තට යන වාහන ටිකත් ඉද්ද ගැහුවා වගේ නතර කරලා.

"චැක් විතරක්! අදත් මුන්ට පාර්ලිමේන්තු! අම්මප මෙතරම් තාක්ෂණය දියුණු කාලේ, බැරිද බොලේ ඔය මහා ලොකු පාර්ලිමේන්තුව ස්කයිප් හරි, කොන් කෝල් එකකින් හරි කරලා ඉවරයක් කරන්න.... ඈ... ?

එහෙම මම කිව්වේ නෑ... හිතුව විතරයි හින්ද මගෙත් එක්ක හෝල්ට් එකේ උන්නු අනිත් උන් දන්නේ නෑ මම දේශද්‍රෝහියෙක් කියල! වෙලාවට

ඔන්න එතකොට නලා පිඹගෙන, දුන් දාගෙන , අහස ගොරෝනවා වගේ මහා කලබලයක් කරගෙන ගියා VIP කියන කාන්ඩේ එකෙක්. කවුරු ගියාද කියල කොහොම හොයන්නද? එක්කෝ සමහර වෙලාවට වටේ ගාඩ් එකවත් දන්නේ නැතුව ඇති ඇතුලේ කවුද යන්නේ කියල.... වටේ පිටේ මෙතෙක් වෙලා තමන්ගේ සියලු වැඩ අතපසු උන හින්ද, වෙන බලන්න දෙයක්, කරන්න දෙයක් නැති 'මම' වගේ උන් රොත්තම අර නලාකාරයෝ වටකරගෙන යන මේ අරුම පුදුම රතේ දිහා සීරුවෙන් බලන් ඉන්නවා....

මොකද එක අඩියක්වත් ඉස්සරහට ගත්තොත්.... වටෙන් යන බයිසිකල් ගාඩ් එකේ උන් එක්කෝ වෙඩි තියයි.. නැත්තම් පයින් අනිවී කියල හිතන හින්ද...

Monday, September 29, 2014

91. යාළු-ගම් යෑම

නෑයෝ බලන්න යනකොට කදමලු බැඳන් යනවට කියන්නේ 'නෑගම් යනවා' කියලා නම්, මිත්‍රයෝ.. ඒ කියන්නේ යාලුවෝ බලන්න කදමලු බැඳගෙන යනවට කියන්නේ 'යාළුගම් යනවා' වෙන්න ඕනේ!

[හෙහ්.. කොහොමද පටන්ගැන්ම? කාලතුවක්කුවකට බීමබටයක් ගැහුවා වගේ නේ? අන්න එහෙමයි අපි කතාවට ප්‍රවිෂ්ට වෙලා, උත්කෘෂ්ට වෙන්නේ...]


කැම්පස් යනකොට හිටපු නානාප්‍රකාර බෝඩිම් අතරින්, අපේ අක්කත් එක්ක හිටපු බෝඩිම කියන්නේ එකම පිස්සු මඩුවක්. මම ඒ බෝඩිමේ ඉන්නකොට
120 බස් එකේ ගියපු කතාවත්,
ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණය කරපු හැටිත් කියල තියෙනවනේ.

අද කියන්න යන්නේ ඒ ජාතියෙන් නොවෙන, ඒත් ඒ ජාතියේම කතාවක්.

මේ බෝඩිමට අපි දෙන්නා සැපත් වෙනකොට මේ බෝඩිමේ නිල නොලත් 'ලොකු අක්කා' වෙලා හිටියේ චීස් බෝලයක් වගේ පාටක් තිබ්බ, සුදුම සුදු, ඒ වගේම ලස්සන, ඒ වගේම අඩුවක් නැතුව පිස්සුව තිබ්බත් බෝඩිමේ ආන්ටිගේ හිත දිනාගෙන හිටපු 'චචා' අක්කා තමයි.

Thursday, September 25, 2014

90. ඉල්ලීමක්



නේන තැනක්
කියන් මට - නුඹ
ගොහිං මොහොතක්
ගුලිවෙලා ඉන්න!

මුණු පොතේ නැති
ට්විටරයේ නැති
වයිබරයේ හෝ
වට්සැප් හි නැති... - නුඹ
කොහෙද නේන්නේ?

Wednesday, September 24, 2014

89. අවබෝධය



කියනු බැරි විඩාවෙන්
උන්නාට මම
අදත් ගෙට එනකොටම
ඔබ කියයි....
'ඔයාට පුරුදුනේ දැන්'

Monday, September 22, 2014

88. කුරුමිණියෝ මිරිකුණියෝ

ඕකනේ කියන්නේ..

එක කතාවක් ලියනකොට.... තව කතා පේලියක් ඒ එක්කම පෙළ ගැහෙනවා. කලින් 'කුට්ට කුටං ' කතාව ( කතාව කිව්වට කතාවකුත් නෙවෙයි) කියනකොට මගේ පොඩි කාලේ මඩ සෙල්ලමක් විදියට 'ලේනි බර්ඩ්ස් ඇල්ලිල්ල' කියල එකක් කිව්වා නේ.

දැන් ඉතින් ඔහොම කිව්වට මගේ ඔලුගෙඩිය ඇතුලේ ඔය රස්සාවට අදාළ අටෝරාසියක් ජාති පිරිලා තිබ්බත්, ඔය සෙල්ලම මතක් කරපු ගමන් ඔන්න බොලේ පරණ තිබ්බ පිස්සුව ආයෙත් ගැහුවා ඔළුවට !! දැන් ඉතින් සම්ම ජාතියකට ඔපීසියේ වැඩක් කරන්නම හිතෙන්නේ නෑ මේ පිස්සුව ලියනකල්... ඒ හින්ද මම ලියල දානවා...

ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කරගන්න බැරිද?

87. ෆැන්ටසි



සමනළයෙක් පතාගෙන
පොඩි කෝෂයක් බලාගෙන
බොහෝ කල් ගෙවුනා - නොදැනීම...

රුදුරු කතරක් ගෙවාගෙන
කෙම්බිමක් නොසොයාම
උන්නු හැටි සිහිවුණා  - අද මෙන්ම.....

Saturday, September 20, 2014

86. කුට්ට කුටං

මගේ පොඩි කාලේ ඇත්තටම වර්ණවත් හිතෙන්නේ ලොකුකමකට නෙවෙයි,  දැන් ළමයින් දකින ලෝකය කොතරම් අවර්ණද කියල හිතනකොට!

කොහොමත් එක පරම්පරාවක් අනිත් පහල ඉන්න පරම්පරාවට හැමදාම කියන 'ටිපිකල්' ටෝක් එක තමයි

 'උඹලගේ කාලේ වගේද අපේ කාලේ.. හෙක්..' 

කියල.

මම පුංචි කෙල්ලෙක් වෙලා ඉන්නකොටත්, දැන්  කරදඩු උස්මහත් වෙලා හිටියත් ඔය කතාවට මට එක ලෙසම ඌරු ජුවල් යනවා! ඇයි බොලේ අපි විඳින්නේ ලැබිල තියෙන දේවල්නේ හත්ඉලව්වේ! නැති එකක් ගැන කියෝනව මෙතන!!!

මම පොඩිකාලේ කරපු, කියපු, හිතපු දේවල් ලියන්න ඕනේ කියල හිතුනේ  ඒ වගේම කරපු, කියපු, හිතපු තව කෙනෙක් ඒ දිහා ප්‍රීතියෙන් බලන එක මට ප්‍රීතියක් ගෙනදෙන දෙයක් හින්දත්,  ඉඳලත් ඒක විඳපු නැති අයට අමුතු රසවින්දනයක් ඒකෙන් ලැබෙන හින්දත් කියන මේ ප්‍රධාන කාරණා දෙක හින්ද.

Tuesday, September 16, 2014

85. අන්තෝ ජටා - බහි ජටා

පින්තුරේ ඉස්සුවේ මෙතනින් : http://trolarti.blogspot.com/2010/10/art-analysis-hanshofmann.html



ආදර හුටපට
හැමතැනම...

එක හුටපටයක්
ගෙදර ඉන්නකොට,
තව එකක් මම
ඔෆිස් එකේ තියාගෙන..

Monday, September 15, 2014

84. කල්පිරිණි...




කොහේදෝ තැනක සිට
මා නමින්....
හෙලන සුසුමක්
දැවටුනා මේ මැදියමේ
වසර හතකට පසුව.....

83. putha... I see something in you....

"Putha... I see something in you.. but i dont 'know what it is.."

මේ වචන ඔබට මතකද?

සමහර අය ඇති මතක තියෙන, සමහරුන්ට මේක විකාරයක් කියලත් හිතෙයි...

මගේ හොඳ යාළුවෙක් මට එවල තිබ්බ ලින්ක් එකක්... මම සාමාන්‍යයෙන් ඔෆිස් එකේ යූ - ටියුබ් එකේ ඒවා බලන්නේ නැහැ. ඒ හින්ද මම ඔෆිස් එකේදී ලින්කුවට කෙටුවේම නැහැ. ගෙදර ගිහිල්ලත් මම සාමාන්‍යයෙන් ලැප ඕපන් කරන්නෙම නැහැ. ඒත් එදා මගෑරිච්ච මේල් බලන්න මම මගේ මේල් එක ඕපන් කරනකොට මේ ලින්කුව දැකල, කෙටුවා.

ඇත්තටම මම මගේ ජිවිතේ අහපු ඉතාම වැදගත් ප්‍රසන්ටේෂන් එකක්.

ඔහු.. නමින් ධනංජය හෙට්ටිආරච්චි.....

දැන් නමින් දන්නා කට්ටිය දැන් වැඩියි. ඔව්.. ඒ ඔහු 'ලෝකයේ හොඳම කථිකයා' කියන සම්මානයෙන් පිදුම් ලබල හින්දම වෙන්න ඇති. ඇත්තටම ඔහුට එය අනිවාර්යයෙන් උරුමයි.

මම අහපු ඔහුගේ ඒ ප්‍රසන්ටේෂන් එක, ඔහුගේ ඒ ගමන්මග ඔහු විස්තර කරන විදිය ගැන කරපු එකක්. ඇත්තටම මම පුදුම උනා. ඔහු කියපු දේවල්ම මම ආයෙත් මෙතන ලියන්න ඕනේ නැහැ. මොකද, මට වඩා හොඳට, ඉතාම ආකර්ෂණිය විදියට ඔහු ඒ ගැන කියනවා.

මම මේ සටහන ලියන්න හිතුවේ, ඒ වීඩියෝව බලපු මම, ඒ ගැන හිතන විදිය පොඩ්ඩක් සටහන් කරලා තියන්න ඕනේ හින්ද. මොකද ඔහු ඇත්තටම ලෙජන්ඩ් එකක් වේවි..

Thursday, September 11, 2014

82. වංගු නැති පාරක



එකෝමත් එක දවසක
මහා වැහි බීරුමක් අවසන

කිසිම වංගුවක් නැති
පාරක් හොයාගෙන...

81. රුවක්...




ලැයිම් පේළියේ කොනේ
නටඹුන්ව ගිය
පයිප්පය ගාවදි,
හදිස්සියෙන් දැකපු

වේලුගේ බාලදුව
'රෝජා'.....!

වෙනුවට....
ඒකිගේ දිලිසෙන
ඇස්දෙක තියෙන

Tuesday, September 9, 2014

80. කලබල කතාවක්...


පෙරවදන:
මේ කතාවේ ඔරිමජිනල් කතාව මම ලිව්වේ මට වයස අවුරුදු 18දී. කතාව ලියල පෙන්නුවා මගේ යාලුවෝ දෙන්නෙකුට. ඊට පස්සේ මේ කතාව සුපුරුදු විදියටම මගේ හමස් පෙට්ටියට ගියේ ඉබේමයි. 

බ්ලොග් එකේ මේක දාන්න හිතුනට, හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුනා. අන්තිමට තීරණේ කළා, කතාව මතක විදියට ආයෙත් ලියනවා කියල. මම ලිව්වේ මේ ශෛලින්මයි. පොඩි පොඩි සිද්ධි විතරක් වෙනස් කළා , කියන්නේ ලියන් යනකොට ඉබේම වෙනස් උනා. ඔරිජිනල් කතාව දිගයි. 

කොහොමත් මම එකපාරටම හිතිලා දෙයක් ලිව්වොත්, ආයෙම ලිව්වත් ඒ කොලිටිය ගන්න බැහැ ඔරිජිනල් එකේ තරම්. ඒ හින්ද මම තවමත් විස්වාස කරනවා මුල් එක මීට හොඳයි කියල. 

ඒත් මේක මම ආසකරපු මගේ කතාවක් හින්ද නොලියම බැරි උනා. බැනල ගියාට කමක් නැහැ... මට ඔව්ව පුරුදුයි... හි.. හි..



මම උඩ විසිවෙලා ඇහැරුණා..

'ඩොන්.. පටෝන්...' ගාල පුපුරන රතින්නා සද්දෙට මම නිදාගෙන හිටපු තැනින් පනින්න ගිහිල්ල, තව ඩින්ගෙන් ඔලුවත් මේසේ වදිනවා. බිමට වැටෙන්න යද්දී තමයි දැක්කේ මම නිදාගෙන ඉඳල තියෙන්නේ අපුච්චගේ ඇඳේ...

හනික දුවන් ගියා සාලෙට මොකද්ද මේ සද්දේ කියල බලන්න. මිදුලේ මැද්දෙන් ඈත පේනවා ලොරියක්.. හප්පා ලොරියක්? මම සාලේ මැද්දෙන් දුවන්න නෙවෙයි ඉගිලෙන්නයි හැදුවේ..

"පොඩ්ඩා.... හෙමීට කොල්ලෝ.. හෙමීට..  ඔය ගොක්කොල ටික පාගන්න එපා දරුවෝ..."

මගේ මුනටම මාට්ටු උනේ සිසිලියා නැන්දා. මගේ උරහිසෙන් අල්ලාගෙන මාව පැත්තකට වෙන්න අල්ලගත්ත.

"අනේ.... මල්ලි ඇහැරිලාද... අන්න අම්ම අහ අහ හිටිය... යමු බත් ඩිංගක් කන්න... බලන්න දැන් ඉරත් අවරට ගිහිං "

Saturday, September 6, 2014

79. නිකිණි



සැබෑම ආදරය...
කිසිවක් ඉල්ලන්නේවත්,
කිසිවක් නොලද මුත්
අඩුවන්නේ වත් -
මියයන්නේවත් නැත...

කිසිවිට වෛරයට පෙරලෙන්නේද නැත..

දුර  අමතක වන්නේවත් 
ළඟ සිටියද අගය අඩුවන්නේවත් නැත..
"සැබෑම ආදරය"
අවංක හා පිරිසිඳුය 


පුදුම හිතෙන තරම්
අව්‍යාජ,
අහිංසකය ...........................!

Thursday, September 4, 2014

78. හමුවීම් තුනක් - එක වෙන්වීමක්




ගිටාර් එකත් කරට අරගෙන මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.

"අය්යා... මම යනවා"

එහෙම කිව්වේ යන්නම නෙවෙයි. කාගේත් ඔලු මගේ පැත්තට හරෝගන්න.

"නංගිට තනියෙන් යන්න පුළුවන්ද ?"

තවමත් මෙවලම් ටික අකුළමින් හිටපු කණ්ඩායමේ නායක සරිත් මගේ දිහා බැලුවේ සුපුරුදු ලෙන්ගතුකමින්. මුකුත් කියන්න කලින් මම හීනියට හිනාවක් පෑවා. කළුවරේ යනකොට ඇඟට දැනෙන සීතල මට දැනටමත් දැනෙනවා වගේ.

"ඔව්"
මම කිව්වේ නිකමට. ඒ බව සරිත් දන්නවා.

"කුසල්, මචං උඹට යනගමන් මේ පර්ල් නංගිවත් බස්සගෙන යන්න බැරිද?"

මගේ දිහා බලපු කුසල්, සරිත් දිහා බැලුවේ කට කොනෙන් හිනාවෙන ගමන්.

"ඕකේ .... මම බස් එකෙන් ඩ්‍රොප් කරගෙන යන්නම්කො"

හැමෝගෙම සුපුරුදු සුහද හිනාවෙන් වැහුණු වචන එක්ක මම බැලුවේ කුසල් දිහා. ඒ එක්කම මට මැවුනේ අර මමම මවපු අඳුරු ලස්සන සීතල වටේට මොකක් හරි පොරෝනයක් ඔතල වගේ උණුසුම් හැඟීමක්. තනියෙන් යනවට වඩා භයානකයි! මගේ පපුව ගැහෙන්න ගත්ත.

"මට යන්න පුළුවන්.."
මගේ පපුවේ සද්දෙට වඩා පොඩ්ඩක් හය්යෙන් මම කතා කලේ සද්දේ එලියට ඇහෙයි කියල බයේ. මගේ ඔලුවට ආවේ මේ ප්‍රසංගයේ පලවෙනි පුහුණුවීමේදී වෙච්ච අකරතැබ්බය.

Wednesday, September 3, 2014

77. බිඳුණු බැඳුම



ඔබ
වැඩිම දේ පැවසුවේ..
කිසිත් නොදෙඩු
කාලයෙයි...

Monday, September 1, 2014

76. බෝනික්කෙක් නොවෙන බෝනික්කෝ කතාවක්

මගේ පොඩිකාලේ ගැන මම නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් කාරනා ඉස්මතු වෙන විදියට කතන්දර එමට ලියල ඇති.

ඒ හැම පොඩිකාලේ කතාවකම ඉන්නම කීපදෙනෙක් ඇති. ඒ තමයි අපේ අය්යා සහ අක්කා. ඊටත් අමතරව අපේ පල්ලෙහාගෙදර නංගි. මොකද එයත් අපේ ගෙදර අපේම පවුලේ කෙනෙක් තරමටම අපේ ගෙදරම තමයි හැදුනේ. අමුතුවෙන්  ඕනා නැහැ නේ අක්කයි අය්යයි නැති පොඩිකාලයක් මට තියෙන්න හැටියක් නැහැ කියල? කොටින්ම මට මොන්ටිසෝරියටවත් යන්න ඉතුරුකරලා නැතුව සියල්ල ඒ දෙන්නා විසින් ඉටුකලාලු.

අනේ මන්ද එව්වා නම්..... දන්නා සාස්තරයක් තියෙයිනම් වැඩිපුරම ඔලුව බේරාගැනීම වගේ ශිල්පයක් තමයි පොඩිකාලේ ඉඳන්ම ප්‍රගුණකලේ. වඩා වැඩිමල් සහෝදර සහෝදරියෝ අතරේ පොඩ්ඩෙක් උනහම හැමෝම හිතන්නේ හෙන ආතල් කියල. මොකටද ඒ කියන කට? කිසිම සිරා සෙල්ලමකට ගන්නේ නැතුව , කිසිම කසුකුසුවක් කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද මම වගේ කැසිල්ලක් තියෙන කැළෑ සතෙකුට?

75. සොඳුරු මල් මාවත

මේ කතාවේ මතකය අලුත් උනේ මම මේ ළඟදී සියා කෙනෙක් විසින් පදවන බස්රථයක් ගැන ලියද්දි. නැත්තම් මට මේ කතාව මතක් වෙන්නේ හරි අඩුවෙන්. හැබැයි, මගේ ජිවිතේ මම ආයෙත් හිතල බලන කතාවක්. සමහර වෙලාවට කෙනෙකුට බැලුවම වැදගම්මක් නැතුවා වගේ පෙනෙන්න පුළුවන්.

ඔව්.. අපි හැමෝගෙම ප්‍රයෝරිටිස් එකිනෙකාට වෙනස් නේ!

අපේ ගෙදර ඉඳන් මම බස් එකේ ඉස්කෝලේ යනකාලේ නොයෙකුත් විසිතුරු වැඩ සිද්ධ උනත් මෙලෝ රහක් නැති මම ඕවට කිසිම හොඳ ප්‍රතිචාරයක් දක්වපු කෙනෙක් නෙවෙයි. කොටින්ම මම අපේ ගෙවල් පැත්තේ සම වයසේ අනිත් ගෑනුලමයි , පිරිමි ළමයි එක්කවත් වැඩි ඇයිහොඳය්යක් පවත්වපු කෙනෙක් නෙවෙයි. අපේ අම්මට ගමේ මිනිස්සු සලකන හින්දත්, අපේ අය්යා ගමේ කාගේත් හිතවත් චරිතයක් හින්දත් මිසක්, මම නම් හිතන්නේ මාව වැඩිදෙනෙක් අදටත් අඳුනන්නේ නැතුව ඇති. ඒ ඔක්කොම මගේ සුපුරුදු ඉබි ගතිය හින්ද.

Friday, August 29, 2014

74. ගෙයි ගින්දර



ගෙයි ගින්දර පිටට දෙන්න හොඳ නැහැ කියනවා නේ...

කෝ කොහෙද? කවුද එහෙම කිව්වේ?

ඇයි අනේ.. ඔය ඩිගිසි සින්දුවලත් තියෙන්නේ 'ගෙයි ගින්දර පිටට දෙන්න බැහැ ඒකයි ඉවසන්නේ......' කියල මැරෙන්න හදන්නේ...

අනේ ඔව්.. මම ඔය ඉස්සර කාලේ කට්ටිය - කට්ටිය කිව්වේ වැඩිහිටියෝ - කියල  තියෙන දේවල් ඇහිපිල්ලමක්වත් වෙනස් කරන්නේ නැතුව කරන අහිංසක සුකුමාර කෙල්ල හින්ද මමත් ඔය වැඩේ නම් කරන්නෙම නැහැ...

මොන වැඩේද ඈ ?

ඔය ගෙදර ගින්දර ගැන කියන වැඩේ....? (ඒ විතරක්ද... එයාල කියන අනික් ගොඩක් වැඩත් .. හි.. හි..)

Thursday, August 28, 2014

73. උණුවතුර ළිඳ

මම බට්ටම බට්ටා කාලේ, අපේ ගෙදර හදන කාලේ වෙච්ච එක දෙයක්.

ඒ දවස්වල අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ. බාසුන්නැහැලා රොත්තත් හිටියේ එළියේ වෙනම හදපු මඩුවක. ඒ මදිවට දුරින්- ළගින් නෑයෝ වෙන කොල්ලෝ කෙල්ලෝ අපේ ගෙදර ගොඩක් හිටියේ අපේ අම්මා උන්ට උසස් අධ්‍යාපනයට උදව් කරපු හින්ද. උන්ගේ උසස් අධ්‍යාපනේ කොතරම් විශිෂ්ටව අවසන් උනාද කිව්වොත් ,එකෙක් ඇරෙන්න ඔක්කොම උන් ගියේ PhD ගහල. ඉතුරු උන එකා විතරයි ඉංජිනේරු පීඨයෙන් ඩිග්රියක් අරගෙන ගියේ. PhD උන් ඉතින් (Permanently Head Damage) වෙලා කෙල්ලෝ නම් කොල්ලෝ සෙට් කරගෙන, කොල්ලෝ නම් කෙල්ලෝ සෙට් කරගෙන තමයි ගියේ. ඒ අපේ අම්මගේ බුරුල!

ඒ මදිවට අපේ ගෙදර මේ උන්නු සෙනග හැටියට තිබ්බ බාත්රුම් 2 මදි හින්ද එළියේ නිදහසේ නාන්න තඩිම තඩි බැරල් කීපයක් තිබ්බා. එයින් එකක් අපේ අත්තම්මගේ ඔෆීෂියල් බැරල් එක. අනිත් එක පොදු ළිඳ වගේ තිබ්බ බැරල් එක. අපේ අත්තම්ම උදෙන්ම එයාගේ බැරල් එකට වතුර හෝස් එකෙන් පුරෝනවා. ඔය බැරල් තිබ්බේ උඩතට්ටුවේ කොන්ක්‍රීට් එක උඩ හින්ද ඔතනට දවල්ට ගිනියමට අව්ව වැටෙනවා. අව්ව වැටිලා දවල් 2-3 වෙනකොට වතුර ටික නිකන් ඇඟ සනීප වෙන ගානට රත් වෙනවා. අම්මේ එහෙම සනීප වතුරක් උණුවතුර ළිංවල විතරයි ඇත්තේ.



ඔය බැරල් දෙකෙන් හොඳටම අව්ව එන්නේ අත්තම්මගේ බැරල් එකට. ඒකට අතගහන්න ලැබෙන්නේ නැත්තේ, අත්තම්ම කියන්නේ හැමදාම නාන කෙනෙක් හින්ද වතුරටික රත්වෙනකොට මොනවා තිබ්බත් අත්තම්ම වෙලාවට නාන්න සැපත් වෙනකොට රත්වුණු වතුරටික තියන්න එපැයි !. පච කියන්නේ මොකටද, මම ඉස්සර හැමදාම නාපු කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් මම මේ කියන වයසේදී. දවසක් ඇර දවසක් තමයි මාව අත්තම්ම නාවන්නේ. ඒකත් පහල බාත්රුම් එකේ. මට ඇහෙනවා අපේ අක්කලා, අය්යලා , අර නතර වෙලා හිටපු නෑදෑයෝ වෙන උන් ඔක්කොම කැකිරි පල පල ඔය බැරල් එක ගාව නානවා පැය ගණන්. බට්ටෙක් උන මාව කවුද ඔතනට වැද්දගන්නේ? මට දැන් හෙන අවුල්......

මමත් නාන්න ඕනේ ඕකෙන්......



බට්ටෙක් උනාට ගේමක් නැතුව පරදින්න මමත් කැමති නැහැ. මම මොනවා උනත් හිතල ප්ලෑන් එකක් ගැහුවා... ප්ලෑනේ හැටියට කට්ටිය අඩු දවසක් බලල, මම හෝස් එකෙන් බැරල් එකට වතුර පුරෝලා , හොඳට රත් උනහම ඇති තරම් දියබුන් ගහන්න ඕනේ! ඕ යේ!!!!!! කොහොමද ප්ලෑන් එක? අනේ මේ... අවුරුදු 5ක් වත් නැති බට්ටේක්ට ඔයිට වඩා ගේමක් දෙන්න බැරි නැති උනත්, මගේ සුකොමල මොලේට ආවේ ඔච්චරයි..

Wednesday, August 27, 2014

72. බීරිවෙන නිහඬබව



සද්ද බද්ද නැති දහවලක්
තියෙන දවසක
සවසක...
ඉරක් විතරක්
තිබ්බ අහසක
වෙරළක...