Thursday, September 4, 2014

78. හමුවීම් තුනක් - එක වෙන්වීමක්




ගිටාර් එකත් කරට අරගෙන මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.

"අය්යා... මම යනවා"

එහෙම කිව්වේ යන්නම නෙවෙයි. කාගේත් ඔලු මගේ පැත්තට හරෝගන්න.

"නංගිට තනියෙන් යන්න පුළුවන්ද ?"

තවමත් මෙවලම් ටික අකුළමින් හිටපු කණ්ඩායමේ නායක සරිත් මගේ දිහා බැලුවේ සුපුරුදු ලෙන්ගතුකමින්. මුකුත් කියන්න කලින් මම හීනියට හිනාවක් පෑවා. කළුවරේ යනකොට ඇඟට දැනෙන සීතල මට දැනටමත් දැනෙනවා වගේ.

"ඔව්"
මම කිව්වේ නිකමට. ඒ බව සරිත් දන්නවා.

"කුසල්, මචං උඹට යනගමන් මේ පර්ල් නංගිවත් බස්සගෙන යන්න බැරිද?"

මගේ දිහා බලපු කුසල්, සරිත් දිහා බැලුවේ කට කොනෙන් හිනාවෙන ගමන්.

"ඕකේ .... මම බස් එකෙන් ඩ්‍රොප් කරගෙන යන්නම්කො"

හැමෝගෙම සුපුරුදු සුහද හිනාවෙන් වැහුණු වචන එක්ක මම බැලුවේ කුසල් දිහා. ඒ එක්කම මට මැවුනේ අර මමම මවපු අඳුරු ලස්සන සීතල වටේට මොකක් හරි පොරෝනයක් ඔතල වගේ උණුසුම් හැඟීමක්. තනියෙන් යනවට වඩා භයානකයි! මගේ පපුව ගැහෙන්න ගත්ත.

"මට යන්න පුළුවන්.."
මගේ පපුවේ සද්දෙට වඩා පොඩ්ඩක් හය්යෙන් මම කතා කලේ සද්දේ එලියට ඇහෙයි කියල බයේ. මගේ ඔලුවට ආවේ මේ ප්‍රසංගයේ පලවෙනි පුහුණුවීමේදී වෙච්ච අකරතැබ්බය.



"අඩෝ මේ කුසලයා... තෝ මේ නංගිට කොටන්නේ නැහැ නේ..."
සරිත් කුසල්ගේ උරහිසට ගහල කිව්වා දේට මට වඩා මගේ හිත ගැස්සුනා. හොරේ තිබ්බේ එතනනේ..

"අනේ මේ..... මම යනවා"
මම ගිටාර් එක ආයෙත් කරට අරගෙන එළියට එන්න ආව.

"මේ.. පිස්සු නැතුව කුසල් එක්ක යන්න. ඔයාට මේ රෑ තනියෙන් යන්න දෙන්න බැහැ ... අපේ උන්ගේ විහිළු ගණන් ගන්න එපා. උන් ඔයාව අවුස්සන්න කියන්නේ"

මම කවදත් ගරුකරන තාරක පස්සෙන් ඇවිත් කිව්වේ දොර ගාවදි. මගේ නතරවිල්ලත් , එකඟවිල්ලත් කියන්නේ එකක් බව තේරුණ හින්ද මම ගමන වේගය බාලකරලා උනත් සිද්ද කළා. මගේ පස්සෙන් එන මට වඩා දෙගුණයක් විතර උසක් තියෙන මිනිසෙක් මට දැනෙනකොට මම ආයෙත් ගමන ඉක්මන් කළා.

මෙහෙම හිතලක්...... දවසේ මේ වෙලාවට දැනෙන මේ සිතල විඳින්න මම කොහොමත් ආසයි. සමහර දවස්වලට මම පිලට වෙලා අහස බලන් ඉන්නවා. එක්කෝ ජනේලේ ළඟ බිම නිදාගෙන තරු බලමින් හිරිකඩ විඳිනවා. මට මතක් උනේ මගේ පෙම්බරා... හ්ම්ම්... මොනවා කරනවා ඇතිද? මම හෙමිහිට පොකට්ටුවට අතදාල ජංගම දුරකථනය අතට ගත්ත.

එක්කෝ එපා... මේ මහා රෑ පාරේ මොනවා කරනවද අහයි.. නැත්තම් කාත් එක්කද ඉන්නේ අහයි... අප්පා... කුසල් එක්ක ඉන්නවා කිව්වොත් ඉවරයි.. එක්කෝ ඕන්නෑ ..... අයෙත් ජංගමය දැම්ම පොකට්ටුවට.

"පර්ල් ගාව සල්ලි තියෙනවද?"

මේ අමුතු ප්‍රශ්නෙට මම නිරුත්තරව කුසල්ගේ මුහුණ බැලුව.

ඔහුට පිටිපස්සෙන් වෙනත් දිසාවල් වලට බෙදිලා යන මගේ සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් අතවනමින් පිටවෙන්නේ, තවමත් බසයක් එනකල් ඉන්න මට.

උත්තරේ තවත් ප්‍රමාද උනේ, ඒ දර්ශනයෙන් පස්සේ මට ළඟින්ම හිටපු කුසල්ගේ ඇස් එක්ක ගැටුන හින්ද. කිසිම හැඟීමක් නැති ඇස් දෙකක් මෙහෙම තියුණු වෙන්නේ කොහොමද? ඔව්.. දඩයම් ඇස් !!

අපේ ඇස් එහෙම ඇමිණිලා තියෙනකොට, වෙලාවට බසයක් පණ අදිමින් එනවා ඇහුනා. ඇතුලේ හිටපු කෙල්ල දිය වෙලා ගිහින්, මම ගල් වෙලා හිටිය හින්ද කුසල්ට සිද්ද උනා මගේ අතින් ඇදල බස් එකට නග්ගගන්න.

සුපුරුදු ඉබි ගමනින් බසය ගිහින් මාව ඕනේ තැනට ගෙනල්ල දැම්ම. කළුවරේ.... පාරේ තිබ්බ වීදි ලාම්පු මගේ දිහා ඔරෝගෙන වගේ බලන් ඉන්නවා. තමුන්ගේ පාමුල අඳුරු උනත්, හාත්පස එලිය කරන විදිලාම්පු.... ඉඳහිට ඈතින් පේන වාහන... කළුපාට ගුලි වගේ එහාට මෙහාට යන මිනිස්සු.. ඒ එක්කම මගේ ළඟ  කුසල්..

"මම යන්නද?"
මගේ හිත ඇහුව.. ඒත් උගුර හිරවෙලා.

"හීතලයි...."

කුසල් එයාගේ කමිස කබායේ තියෙන සාක්කු දෙකට අත්දෙක දාගෙන මගේ දිහා බලල හිනා වුනා. පිටහරහා දාගෙන හිටපු ගිටාරයේ බෙල්ට් එකට තදවෙලා කමිසය ඔහුගේ පපුවටම ඇලිල, ඔහුගේ තිබ්බ ඒ දඟකාර ගතිය ඉසමතු කළා.

"පර්ල්...."

මේ නම් යහපත් කතාවක් නොවෙන බව මට ඒ වචනවල ස්වරයෙන්ම තේරුනා. නාදකරන්න කලින් සෙලවෙන ගන්ටාරයක්.... හුළඟක් එනකල් වැටෙන්න බලාගෙන ඉන්න මල් පෙත්තක්... අන්න ඒ වගේ...

ඒ හැමදෙටමත් වඩා, බස් නැවතුමට වෙලා තවමත් කල්මරණ අලුගුත්තේරු කෙල්ලෙක්??

".... මම කෙල්ලෙක් හොයනවා. හොයල දෙන්නකෝ"

මගේ  අත් දෙකටත් හීතල වැදිලා ගල් වෙන්න වගේ ආපු හින්ද මමත් කලිසම් සාක්කු දෙකට අත්දෙක රිංගව ගත්ත. මට ඕනේ කලේ වෙනසක් නොපෙනවා ඉන්න. ඒ තමයි ගෑනු මායම... බොරු ආඩම්බරකම.

"හොයනවා කිව්වේ.. ඇයි නැති වෙලාද?"

වෙනදට මට දෙන හිනාව වෙනුවට කුසල් තමන්ගේ ඇත්තම හිනාව මට පෙන්නුවා. ඔහ් ... ඔව්.. ඔහුට එහෙම හිනාවක් තියෙනවා.

"ඔව් පර්ල්... නැති වෙලා... විහිළු නෙවෙයි.. ඇත්තටම.."

මම මේ මොන මගුලක් කතාකරනවද? මේ බස්නාවතුම්පලේ? ඒ මදිවට මේ මහා රෑ ? මට ඇත්තටම පිස්සුද? හැදීගෙන එනවද..?

පාරේ යමින් සිටින කළු ගුලියක් මගේ මුණ හොඳින් බලාගෙන යනවා දැනුන.

".... සිරාවට පර්ල්.. ඔයාට සිරාවට කිව්වත් ගණන් ගන්නේ නැහැ නේ..."

මම මවාපෑමක් කරන්නේ. හරියටම කරගන්න බැරි චරිතයක් බාරගත්ත නිළියක්...

"කොයි වගේ කෙනෙක්ද හොයන්නේ දැන්? "

මම ඇස් දෙක කොහේ හරි තියල කතා කරන්නේ. කළුවරේ පේන දුර අඩුයි. මගෙත්, වටේ අයගෙත්.... ආයෙත් මගේ ඔලුවේ වැඩකලේ පුහුණුවීම් වලදී මට වෙච්ච අකරතැබ්බය. මට පෙනුන ඒ දර්ශනය මට විතරක් නෙවෙයි ඒ වෙලාවේ සිහියට ආවේ කියල, කුසල් තනියෙන් හිනාවෙනකොට...

"මම ෆැමිලි මෑන් කෙනෙක්... "

ඔන්න ඔහොම පටන් අරගෙන කියෙව්වා... ඔව්.. කුසල් කොහොමත් කතාවට බොහොම දක්ෂයි. අපි කණ්ඩායම කොහේ මොන ප්‍රසංගයකට ගියත්,  හිටියත්,ලෑස්ති උනත් කුසල් තමයි ඒ හැමතැනදිම කතාවෙන් අපිව රසගන්වන්නේ. සිංහලෙන් පටන් අරගෙන උච්චම කොටසේදී ඉංග්‍රීසියට මාරු වෙලා යන ඒ කතාබහේදී මම ගොඩක් වලගොඩැලි වලට වැටිලා තුවාල වෙනවා. අතපය නෙවෙයි, හිත.

තවමත් කතාව ඉවරයක් නැහැ. ඒත් මගේ කන් දෙක අගුලු වැටිලා. අතොරක් නැතුව කියෝන කට දිහා බලාගෙන මම වෙනම කෝඩ් එකක් වයනවා.. හෙමින් හෙමින්.... යන්තම් ගිටාරයේ ඇඟිලිතුඩු තියාගෙන...

"අනේ මන්ද.... ඔයාට කෙල්ලෝ හොයන්න.... කියන්නකෝ අනිත් උන්ට... කොයි වගේ කෙල්ලෙක්ද දැන් හරියටම ඕනේ..?"

මම දන්න ගෑනු මායමක් නැහැ නේ. දැන් ඉන්න පෙම්බරා උනත් මම මායම් දාන්න ඕනේ නැතුවම ඉබේම මම දණගැහුවා මිසක්. දැනුත් එහෙම වෙලාද? මේ මොකක් වෙලාද?

"ඔයා වගේ කෙල්ලෙක්.."

මට එක පාරටම හිතුනේ මම ඉන්නේ වැරදි තැනක කියල, එක්කෝ වැරදි ආනතියකින් කියල, ඒත් නැත්තම් වැරදි විදිලාම්පුවක් යට කියල.

"... අපි දැන් යමුද?"

කුසල් ගානක් නැතුව ඇනපු පිහිය මගේ පපුවෙන් එලියට ඇදල එයාගේ කඩුකොපුවේ දාගත්ත. මමත් පපුවේ සිදුර දිහා බලන්නේවත් නැතුව වටේ විසිරිච්ච ලේ ටික විතරක් අල්ලෙන් පිහල නිහඬවම කුසල්ගේ පස්සෙන් වැටුන.

ගෙදර ගාවට ආවම, වෙනසක් නැතුව මගේ ඔලුවේ ඉස්මුදුනින් අල්ලලා හොලවලා 'ගුඩ් නයිට්' කියල ගියා.

එක පාරක්වත් ආයේ හැරුනේ නැහැ...

************************************


වැස්ස හොඳටම.... මම මගේ කුඩේ එලියට අරගෙන ඉහල ගත්ත. මගේ පෙම්බරා කිසි අවසරයක් නැතුවම කුඩේ ඇතුලට රිංගුවා. අවසරයක් මොකටද? පෙම්බරෙක්ට?

වැස්සට වැටෙන වතුරෙන් මාව තෙමෙනවට විතරක් නෙවෙයි, ඉඩපාඩුවක් ලැබුණු හින්ද පෙම්බරා මගේ බඳවටේට අතදාගෙන කුඩේ තව තමන්ගේ පැත්තට ඇද්දා... දුකක් දැනුන.. ඇයි කියන්න දන්නේ නැහැ....

මේ වැස්ස මාව වේලනවා... තෙමෙන දවසක නම්?

ඉස්සරහට සුපුරුදු කෙනෙක් දුවගෙන එනවා... ඔහ්.. කුසල්... මම පෙම්බරාගෙන් ඈතට වෙන්න හදනවා. ඉස්සරහට එන කුසල්ට නොපෙනෙන්න කරන්න බැහැ... ඒත් මොකටද? තෙමීගෙන එන කුසල්ගේ ඒ දඩයම් ඇස් තිබ්බේ පෙම්බරා මගේ බඳවටේ යවල තිබ්බ අතගාව.

මට කේන්තියි... ඇත්තටම ඒ මොකටද?

ඔහු මාව පසුකළේ පෙම්බරාට දරුණු හිනාවක් දීගෙන. ඔව්.. අර පපුවේ පිහිපාර වාගෙමයි...

****************************************

අලුතෙන් ගත්ත පොත් ටිකත් පපුවට තුරුළු කරගෙන මම පඩිපේළියේ යටම පඩියේ මැද්දෙන් හිටගත්තා. පෙම්බරා තාම ඉතුරු සල්ලිවල ගණන් හරිද බලනවා. හිත සතුටින් ආවත්, දැන් දැනෙන්නේ මහා තෝන්තුවක්. ඒ මදිවට පොත් හොයාගෙන දුවන් එන්නේ මෙතරම් කලබලයක් තියෙන මිනිස්සු කොට්ටාශයක් කියල මට හිතිලා තිබ්බේ නැහැ..

"තව පොතක් ගන්නවද?"

මම අතට ගත්ත 'ගුරු ගීතය' ඉවසිල්ලක් නැතුව පෙරලනවා දැකල පෙම්බරා ඇහුව.

"එපා... එකක් ඇති. දෙකක් තිබ්බත්, දැනෙන්නේ එක රසය"

මම පොත වහල ආයෙමත් මල්ලට ඔබන ගමන් කිව්වේ පොඩියට හිනා වෙමින්. පෙම්බරා සුපුරුදු විදියට නැවත නැවතත් වටේ පිරික්සනවා, පසුම්බියට දාපු සල්ලි බැරිවෙලාවත් බිමට වැටිලද කියල. එහෙම බැලිල්ලක් නොකරන මම වටපිට බැලුව.

මිනිස්සු අතරින්... උසම උස කොල්ලෙක් මතුඋනා. ඔව්... කුසල්... මාව දකීද? දකීවා කියල හිතල තත්පර දෙකක් නැහැ, නොදකිවා කියල හිතුව. පෙම්බරා ඉන්නවා....
එක අතකට පෙම්බරා හිටියම මොකද.. කුසල් කියන්නේ මිත්‍රයෙක්... 
'හැක්.. මිත්‍රයෙක්? ඇත්තටම මිත්‍රයෙක්ද ?'
මගේ ඇතුලේ උන්න අනිත් දියවෙන කෙල්ල ඇහුව. මම ගල් වෙන්න හිතනවා දැන්.. කුසල් ඈතින් එනවා. 

දකීවා..... දකීවා... දියවෙන කෙල්ල බෙරිහන් දෙනවා.. මම ඒකිට බයේ වෙව්ලනවා, 'ෂ් ... ෂ් .... කට කට!'
නොදකීවා ... නොදකීවා... එක්කෝ දකීවා... ගල් හිත හෙමින් කියනවා... 

කුසල් ළඟට එනකල්ම මාව දැක්කේ නැහැ වගේ හැසිරුනා.. පිරිමි මායම්... ඔව් මමත් එහෙම කළා.. ගෑනු මායම්...

"අහ් .. පර්ල්... කොහොමද?"
"............."

මම මොනවා හරි කිව්වා. සද්දයක් එලියට පිටවුනේ නැහැ. ඒ වෙනුවට මම පොත් ටික පපුවට තුරුල් කරගෙන පෙම්බරා දිහා බැලුවේ ඇත්තටම කුසලට මම ඉන්නේ තනියෙන් නොවෙන බව පෙන්නන්න.

"හලෝ මචං...."
"හලෝ... පොත් ගන්න ආවද?"

පෙම්බරා ඇහුවේ සුපුරුදු දියාරු ගතියෙන්. ඒ වෙනුවට පොපියෙන අංගචලනයෙන් කුසල් උත්තරේ දුන්නේ අදාළ වෙන්නේ නැති විදියටමයි. කොහොමත් කුසල් එහෙමයි. කිසිම සීමාවක්, නීතියක් නැති කොල්ලෙක්... දෙන්නගේ කතාවට මම පැත්තක ඉඳන් බලන් හිටියේ ඒ ක්‍රමය හොඳම හින්ද. කැම්පස් එකෙන් පස්සේ ලොකු රැකියාවක් කරන බව කිව්වා. ඇත්තටම ඔහුට උරුම දෙයක්. 

"කොහොමද පර්ල්..."

ඉඳල හිටලා මගේ දිහා බලනකොට දියාරු වෙන කෙල්ල ඇතුලේ තියාගෙන හිටපු ගල් පිළිමෙට කුසල් කතා කළා. මම හිනාවුනා. 

"එහෙනම් සී යූ .... "

කුසල් එයාගේ ලොකු, පළල් අල්ල මගේ ඉස මුදුනෙන් තියල සුපුරුදු සමුගැන්ම දුන්න.

"ඔලුවෙන් අල්ලන්න එපා... අරය කැමති නෑ "

ටිකක් ඈතින් හිටපු පෙම්බරා නොපෙන්වාම මම හෙමිහිට කියල ඔලුව ඇද්දා ... පපුව ගැහෙනවා... සංදර්ශන පුහුණුවීම් සිද්දිය.... මට විතරක් නෙවෙයි, කුසල්ටත් මතක් වෙලා, ඔහු ගානක්වත් නැතුව අතවනාගෙන යන්න ගියා. 

ඔලුව ගිනිතියලා කොල්ලෙක් යන හැටි?


*********************************************

"බඩගිනිද?"
"නැහැ"

මම එහෙම කිව්වට පෙම්බරා මා කියන දෙයක් අහන්නේ නැතුව කාර් එකේ බඳපටිය බුරුල් කරලා බිමට බැස්සා.

"එනවද? එන්න..."

මාවත් බිමට බස්සගෙන ඔහු 'සෙන්සාල්' එක ඇතුලට වැදුන. නොයෙකුත් ජාති පිරිලා. මම හෙමින් මගේ කුස අතගෑව. ඔව්... දඟය දඟලනවා... මට තනියෙන් හිනා යනවා.

"බඩගිනියි.."
මම පෙම්බරාගේ උරහිසේ එල්ලිලා කිව්වා.

"එහෙනම් අපි කාල යමු... මොනවද ඕනේ.."
මම තියෙන නොයෙකුත් ජාති බල බල ඉදිරියට ගියා. උස කකුල් දෙකකින් එක රාක්කයක් වැහිලා. කකුල් දෙක පුරුදුයි.. කකුල් දෙක ඔස්සේ ඉහලට බැලුනා.

'ඔහ් .. කුසල්...'

ඇත්තටම අහඹුවක්... දෙන්නගෙම ඇස් වෙන වෙන අරමුණුවලට කේන්ද්‍ර වෙලා. මගේ හිත ආයෙත් හීතල වෙලා. කුස ඇතුලේ ඉන්න ප්‍රාණියා දඟලල මගේ දැහැන බින්ද...

"කොහොමද?"
ඒ ඇස් මගෙන් ඇහුව.

වචන රැසක් හුවමාරු උනා... මම නිහඬව උන්නා... කුස ඇතුලේ ප්‍රාණියා වික්ෂිප්තව බලන් ඉන්නවා මගේ දිහා... කුසල් ආයෙත් වතාවක් මගේ දිහා බැලුව. මම හිනා වෙලා බිස්නස් කාඩ් එක ඉල්ලුව, කරන්න වෙන දෙයක් නැති හින්දම.

ලොකු පොරක්.... මල්ටිනැෂනල් කම්පනියක්... ඔහුට උරුමයි.... විවාහක බිරියත් එක්කම ළඟ ගෙදරක ඉන්නවා කිව්වා. ඔව්.. මම ඈ අඳුනනවා... කතාව නිමයි, යන්න කලින් ඒ අත මගේ ඉස්මුදුනට උඩින් එසවිලා ආයෙත් පහතට වැටුන. මම දැක්කේ නැහැ.. ඇතුලේ උන්නු අර දියාරු කෙල්ල දැක්ක...

තාමත් ඒ විදියටම ඉන්න පිරිමියෙක්...

********************************************

කී වර්ඩ්ස් ගහල සර්ච් කරා... වෙබ් පිටු වලට අමතරව වීඩියෝ කීපයකුත් ඇවිත්. මම වීඩියෝ බලන්නේ නැහැ. අතාරින්න හිත. මම පිටුවක් එබුවා. වැරදිලා පහල තියෙන වීඩියෝව එබුන.

ඔව් වැරදිලා...

කුසල් ඉන්න වීඩියෝවක්... වේදිකාවක් උඩ ඉන්න එදා වගේම අපිව රසගන්වන කුසල් කෙනෙක්. ජාත්‍යන්තර තලයේ දේශකයෙක්... ලාංකීය නියෝජිතයෙක්.. හිත ඇතුලේ හිටපු අර දියාරු කෙල්ල ඇවිත් මගේ තොල් දෙපැත්තට ඇදල හිනාවක් සලකුණු කළා. ඔහුට උරුමයි...

මේසයේ පැත්තක පින්තුර රාමුවේ දාල තියෙන මගේ පුංචි පවුලේ පින්තුරය මාව රසගන්වන්නේ මේ වගේ වෙලාවටයි...

සතියකට පස්සේ ක්‍රෙස්කැට් ලොබි එකේ ඉඳන් එනකොට, ඈතින් පඩිපෙළ බැහැගෙන යන කුසල් දිහාවේ බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නෙත් ඒ වගේ පින්තුර මේසේ තිබ්බහම කියල මට දැන් තේරෙනවා..


29 comments:

  1. කුසල් කියන්නේ කොල්ලෙක්... කතවේ අතු ඉති බෙදුන විදියට මට හිතුනේ පර්ල් හරි බියගුලුයි කියලයි..

    ReplyDelete
  2. හොඳයි,උපේක්ෂාට කෙටිකතා ලියන්න පුළුවනි. කෙටිකතා ලිවීමේ හැකියාව තව ටිකක් වර්ධනය කර ගත්ත නං බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ.... ලියන්න උත්සහ කරනවා. අනිවාර්යෙන් මම මිට වඩා සැලකිල්ලෙන් ලියන්න උත්සහ කරන්නම්.

      Delete
  3. මම හිතන්නේ කතාව නියමයි, ගලාගෙන ගිය විදිහ වගේම ,අවසානයත් යුනික් ... ඒ නිසා අමුතුම ගතියක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්. මට හිතෙනවා මේ ප්‍රස්තුතයම ඔයාට ලැබුනා නම්, මිට වඩා කොලිටි ප්‍රථිපලයක් ලැබෙන්න තිබ්බ කියල. මම දෙපාරක් ලියන් ලියන් යන කම්මැලියෙක්. එහෙම එකෙක් සමහර දේවල් සලකන්නේ නැහැ. ඔයා එහෙම නෙවෙයි.. හොඳ සංකේත භාවිතා කරනවා. බැරිද ලියන්න? හි.. හි...
      වෙනස් හින්ද මිසක් ඇත්තටම ලොකු ටැලන්ට් එකක් තිබ්බේ නැහැ... බලමු තව ඉස්සරහට.

      Delete
  4. අනපේක්ෂිත අවසානයක් එක්ක වෙනස්ම ඉට්ටයිල් එකකට ලියවුනු එකක්. රස වින්දා....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, වෙනස් බව ඇත්ත... සත්‍ය සිද්ධි වලින් තමයි හැදුවේ... හි.. හි..

      Delete
  5. හිත ඇතුලේ අරගලය අපූරුවට විස්තර කරලා තියෙනවා. ඒ කොයි හැටි වෙතත් අර රේල් පාර මැද්දේ ඉඳගෙන ගිටාර් ගහන ගොනාට කියාපං අපි කතාව කියවලා ඉවරයි දැං නැගිටලා පල ගෙදර කියලා කෝච්චියකට අඩ තියන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. මීට වඩා ඒ අරගලය ගැන ලියන්න/කියන්න මට ඕනේ කළා. කම්මැලියි.. එහෙම උනා නම් එක දවසෙන් ලියන්නත් බැහැ...

      ඌ ඔහේ හිටපුවාවේ.... ඌ දන්නවා ඔය පාරේ කොච්චි යන්නේ නැතිබව.... හි.. හි...

      කියාපන්කෝ හෙන්රියෝ වැරදි ටිකක් මේකේ... ඔය හැම පේලියකම තියෙන්නේ... ජේදෙකට ගැහුවොත් දුසිමක් විසිවෙයි. මම ආසයි විවේචන වලට, මාව වට්ටන්න කලත් නොකලත්!

      Delete
  6. මේසයේ පැත්තක පින්තුර රාමුවේ දාල තියෙන මගේ පුංචි පවුලේ පින්තුරය මාව රසගන්වන්නේ මේ වගේ වෙලාවටයි...

    සතියකට පස්සේ ක්‍රෙස්කැට් ලොබි එකේ ඉඳන් එනකොට, ඈතින් පඩිපෙළ බැහැගෙන යන කුසල් දිහාවේ බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නෙත් ඒ වගේ පින්තුර මේසේ තිබ්බහම කියල මට දැන් තේරෙනවා..//

    නියමයි...

    අතීතය රසබරයි තමයි... ඒත් වර්තමානය .. ? ... තියෙන හැටියට වැඩියම හොදයි...

    නැද්ද මං අහන්නෙ... හි හි...

    ReplyDelete
    Replies
    1. අසිරි සිරිනි කියල පරිවර්තනය කරලා තියෙන Chicken soup for the soul පොත් සෙට් එකේ කතාවක් වගේ...

      Delete
    2. ස්තුතියි...
      ඇත්තද? මම කියෝලා නැහැ.. ඇත්තම කියනවා නම් පොතක් කියෝපු කාලයක් මතක නැහැ... යන්ත්‍රයක් වෙලා..

      Delete
  7. පිස්සු කොර වුනා. උපේක්ෂා ඔයා නම් මාරයි. මේ කතාවට මම පිස්සු වැටුනා සිරාවටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි, ඇත්තටම මම නිහතමානිව සතුටු වෙනවා. ඒත් මේක මගේ තත්වෙට මදි වගේ හැඟෙන්නේ. කතාවක් විදියට හොඳයි උනාට සමහර ගැලපුම් මටම දැන් නොගැලපෙනවා කියල හිතෙනවා. හිතේ තිබ්බ දේ හරියටම කියවුනේ නැහැ වගේ.

      හ්ම්ම්... තව ලියනකොට හරියයි කියල හිතෙනවා. අර හැලපේ කියනවා වගේ.

      Delete
    2. දැන්ම කොර උන තැන කෙලින් කර ගන්න අක්කේ, නැත්තන් හවසට යන්න වෙන්නේ කොර ගගහ.

      Delete
  8. \\\..මගේ ඔලුවේ ඉස්මුදුනින් අල්ලලා හොලවලා 'ගුඩ් නයිට්' කියල ගියා\\\
    මමත් ඔය කරුම වැඩේ කරනවා ගුඩ්බායි කියනකොට...ගෑල්ලමයිට..තාමත්..
    \\\\"එපා... එකක් ඇති. දෙකක් තිබ්බත්, දැනෙන්නේ එක රසය"\\\\\
    ඕක පෙම්බරාට මීටර් උනානම් කථාව හැරෙන්නේ වෙන දිහාවකට....
    ඔය තියෙන්නේ ව්‍යාංගය...

    ReplyDelete
    Replies
    1. පුදුමයක්ද, ඔයත් මම මේ කියන පරිසරයෙන් ආපු කෙනෙක් වෙච්චි.. හි.. හි... මට දැනටත් එහෙම ගුඩ් බායි කියන පිරිමි යාළුවො ඉන්නවා. උන් මගේ ඇත්තම හිතවත්තු....

      හි.. හි... ඔව් මට තව ඒ වගේ ව්‍යංග තව දාන්න හිතුන. ආවේ නැහැ ඕනේ තැනදී. හැලපේ කිව්වා වගේ තව දියුණු කරගන්න බලන්නම්, කම්මැලියෙක් නේ මම!

      Delete
  9. අඩේ උපේස්ස මේ වගේ විදියට ගලාගෙන යන ස්ටෝරියක් කියෙව්වමයි...
    ඇත්තටම හරිම අපූරුයි...
    කතාවත් ලස්සනයි... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....
      මම දැනට ආයාසයක් නැතුව ලියන කතා මේ වගේ... තව සැලකිල්ලෙන් ලියන්න බලන්නම්.

      Delete
  10. මේක අර ඉටිපන්දම් වලින් ගේ ගිනිතියපු පුංචි කෙල්ලද ලියලා තියෙන්නේ?, කතාවක් තියෙනවා කතාවටම බැහැලා එකේ චරිතත එක්ක ජීවත් වෙලා ඒ කතාව කියවද්දී කියවද්දී කතාවේ සැඟවුණු රස දැනෙන්න ගන්නවා කියලා, පුංචි කෙල්ලෙක් ගිටාරයක් තුරුළු කරන මහා රෑක පාරට බහිනවා, ඒ කෙල්ල ගිටාරේට වැඩිය නාදුනන පෙම්වතෙක්ව හිතින් තුරුළු කරගෙන, කෙල්ල තමාගේම අංග ඇතුලේ ඉන්න අනිත් කෙල්ලත් එක්ක වාද කර ගන්නවා, වෙලාවකට හිතෙනවා ඒ කෙල්ල පැරදිලා ඇතුලේ ඉන්න කෙල්ල එලියට එනවද කියලා, කතාවේ එක තැනක මෙහෙම සඳහන් වෙනවා,

    //දකීවා..... දකීවා... දියවෙන කෙල්ල බෙරිහන් දෙනවා.. මම ඒකිට බයේ වෙව්ලනවා, 'ෂ් ... ෂ් .... කට කට!'
    නොදකීවා ... නොදකීවා... එක්කෝ දකීවා... ගල් හිත හෙමින් කියනවා... //

    හැබැයි ඒ කෙල්ල අයෙත් ඇත්ත කෙල්ලගෙන් යටපත් වෙනවා, මේ අතරේ ගෑනු මායමට වඩා හිත නාදුනන පෙම්වතෙකුයි සැබෑ පෙම්වති අතර දෝලනය වෙනවා, එත් කෙල්ල හිතන්නේ ඒවා ගෑනු මායම් කියලා, ඒ කෙල්ල තමන්ගේ පෙම්වතාවත් ආගන්තුකයවත් කිරලා මනිනවා හිතේ තරාදියට දාල,

    //වැස්ස හොඳටම.... මම මගේ කුඩේ එලියට අරගෙන ඉහල ගත්ත. මගේ පෙම්බරා කිසි අවසරයක් නැතුවම කුඩේ ඇතුලට රිංගුවා. අවසරයක් මොකටද? පෙම්බරෙක්ට?// පෙම්වතාව එහෙම කිරණ කොට ආගන්තුකයව මෙහෙම කිරනවා,

    //ඔන්න ඔහොම පටන් අරගෙන කියෙව්වා... ඔව්.. කුසල් කොහොමත් කතාවට බොහොම දක්ෂයි. අපි කණ්ඩායම කොහේ මොන ප්‍රසංගයකට ගියත්, හිටියත්,ලෑස්ති උනත් කුසල් තමයි ඒ හැමතැනදිම කතාවෙන් අපිව රසගන්වන්නේ. //

    එහෙම කිරලා බලන කෙල්ලට හිතෙන්නේ ආගන්තුකයා දඩයක් කාරයෙක් කියලා, තමා ඒ දඩයමට ගොදුරු වෙයන් කියලා කෙල්ලගේ අන්ගේ ඉන්න අනිත් එකී කියනවා, එත් කෙල්ල කවදාකවත් එයට ඉඩක් තියන්නේ නෑ, කෙල්ල පීඩා වින්දත් අවසානයේ දෙයක් තේරුම් ගන්නවා.

    //මට එක පාරටම හිතුනේ මම ඉන්නේ වැරදි තැනක කියල, එක්කෝ වැරදි ආනතියකින් කියල, ඒත් නැත්තම් වැරදි විදිලාම්පුවක් යට කියල.//

    ඉතින් ඒ කෙල්ලට එත් ගැලවීමක් නා, තු ආදුතු ප්‍රේමය අහඹු සිදුවීම් සමුදායක් ඔස්සේ ගලාගෙන යනවා වගේම ඒ සම සිදුවීමකදීම ආගන්තුකයා පෙම්වතා පරදා ඉස්මතු වෙනවා, එත් දැන් සියල්ල අවසානයි, ඇය ගැබිනියක්, අගේ කුස තුල ප්‍රාණියෙක්, සියල්ලන්ම තමන් උරුම කරගත් මාවත් වල දුර ගමනක් ගිහින්, නමුත් ඒ හිත තාමත් ඒ ආගන්තුකයව සොයනවා වත්ද? අහම්බය යතාර්තයක්ම කරමින් ආගන්තුකයා යලි යලිත් මුණ ගැසේවි, යට වුන කෙල්ල යලි යලිත් නැගිටීවි, නමුත් ය කෙදිනකවත් සමති නොවේවි, ඔව් එහෙත් ඒ සීමා මායිම සැබවින්ම කුමක්දැයි දැනගත් එක පාර්ශවීය ප්‍රේමයක්.

    //මේසයේ පැත්තක පින්තුර රාමුවේ දාල තියෙන මගේ පුංචි පවුලේ පින්තුරය මාව රසගන්වන්නේ මේ වගේ වෙලාවටයි...//

    පට්ටම රහයි. තැන්කු කිව්වා මේ වගේ කතාවක් ලිව්වට.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුවට ගොඩක් ස්තුතියි....

      සොමියෝ...... උඹ නම් මාර පොරක්... මම හිතපු තැන්වලින්ම අදාළ කොටස අල්ලාගෙන නේ... මම හිතුවේ ඒ තැන්වල මගේ භාව ප්‍රකාශනය දුර්වලයි කියල. ස්තුතියි සැලකිල්ලෙන් කියෙව්වා නම්.

      ගොඩක් අඩුපාඩු තියෙද්දී, ඒවා නොකියවා මේ ටික කිව්ව එකට ස්තුතියි. අඩුපාඩුත් කිව්වා නම් මනරම්

      Delete
    2. දැක්ක එකම අඩුපාදුවා පෙම්බරා කියන වචනය හයිලයිට් වෙනවා වැඩි, හැබැයි එකත් කතාවේ විදියට යුනික්, පෙම්බරා වචනය කතාවට අලංකාරයක් ගීනවා වගේම ගොඩක් කතාවල යෙදෙන නැති අන් කොමන් එකක්, එත් මේ කතාවේදී ඒ වචනය හයිලයිට් වෙනවා වැඩි.

      Delete
    3. කෙටි කතාවක් තියෙන තැනක කතාව කියෙව්වට පස්සේ මම දැන් ඉස්සෙල්ලම හොයන්නේ සොමියගේ කමෙන්ටුව කොහෙද කියලා ...

      Delete
    4. සොමියත් ලස්සන විචාරකයෙක් නේ....

      Delete
  11. වාව්.. ඇත්තටම නියමයි උපේක්ෂා... බ්ලොග් රෝලේ තියනවා දැකල දවසක් දෙකක් ට්‍රයි කරා එන්න ඒත් ඔයාගේ බ්ලොග් එකේ පෙන්නුවේ නෑ මේක..

    නියම ටැලන්ට් එකක්.. ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා තවත්...

    ReplyDelete
    Replies
    1. ස්තුති සිසි... කොමෙන්ටුව මගෑරිලා. සමාවෙන්න උත්තරේ පරක්කු උනාට.

      Delete
  12. To be perfectly honest with you, I still feel for Kusal. Pembara is not a um.... Very attractive guy to me

    ReplyDelete
    Replies
    1. I'm sorry Sister.... I exactly know how you feel about this, but can not say it right now. I'm glad I convey the 'real' message I needed.
      Yes, always be honest with me but frictions sometimes elaborate us better

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...