මම මගේ ක්‍රීඩා අතීතයේ සමහර සිදුවීම් ලියාගෙන ආවා.
මේ මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ.
මේ ඊට පස්සේ සිද්ධි කීපයක්
මේ මම කණ්ඩායමක් නැතුව ගන්දබ්භව හිටපු කාලේ.
ඔය අන්තිමට කියපු සිද්ධියෙන් පස්සේ මම තනියෙන් සෙල්ලම් කරලා දක්ෂකම් පෙන්නපු නිසා මගේ වැඩිමහල් කණ්ඩායමට 'සිද්ද උනා' මාව එයාලගේ ටීම් එකට ගන්න. මම එහෙම සිද්ද උනා කිව්වේ හැමදෙනාම වගේ එයාලගෙන් ප්‍රශ්න කළා මම චැම්පියන්ශිප් එකක් දිනලත් මොකද ටීම් එකේ නැත්තේ කියලා. ඒ නිසා මාව මට වඩා වැඩිමල් අක්කලා ඉන්න ටීම් එකට දොරවල් ඇරුණා.
මේ ටීම් එකේ හිටියෙ මම පොඩිකාලේ ඉඳන්ම කෝට් එකේ ඉඩ පොඩ්ඩක්වත් නොදුන්නු, කලින් චැම්පියන්ශිප් එකකදී මට ලොකු කැපිල්ලක් දාපු වැඩිදෙනෙක්. එකම එක අක්කා කෙනෙක් ඇරෙන්න, අනිත් හැමෝම හිටියේ හොස්ටල් එකේ.
ඒ දවස්වල උනත් මම ඔය අසාධාරනකම් හරි පරණ කෝන්තර හරි මතකේ තියාගෙන පළිගන්න හිතන්නෙවත් නැති කෙනෙක්. කොහොමත් ඉස්කෝලේ මේ ප්‍රශ්න කිසිම දෙයක් මම මගේ ගෙදරට කිසිම විදියකින් අඟවන්නේ නැතුව තමයි හිටියේ. ඒ මගේ හැටි. ඒ හින්දා අලුතින් ටීම් එකට ආවාම මට ආපු පොඩි පොඩි කැපිලි සහ හිත රිදවීම් මම ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. මේ හින්ද අලුත් ටීම් එකේ ඉහ ගහලා ඉන්න මට එතරම් අමාරු උනේ නැහැ. මම ඒ දවස්වල කොහොමත් ගල් ඉබ්බෙක් වගේ. වැඩි කතාවක් බහක් නැහැ, ආව - ප්‍රැක්ටිස් කළා - ගියා. ඒ අක්කලා කියන දෙයක් කරලා සද්ද නැතුව හිටියා.