Friday, October 31, 2014

111. ඔබද මාද ඒ? - 03


පළමුවැනි කොටස


දෙවැනි කොටස

ණුසුම් ජලයෙන් තෙත්වෙන සිරුරේ නැගෙන්නේ වේදනාත්මක වින්දනයක්. සිරුර වගේම හිතෙත් ඒ වගේ ජල කෙලියකට ඉල්ලීමක් තිබ්බත්  අලුතෙන්ම ගෙනාපු බොඩිලෝෂන් අතුල්ලා නැගෙන මෘදු පෙන ගොන්නේ ලොකුම සබන් පෙන පිඬ සොයමින් මම කාලය මැරුවා.

ඔව්... දැන් සෙවිය යුත්තේ ලොකුම පෙනපිඬ ! ලොකුවටම පිපිරෙන, කාලබෝම්බයක් තරම් සද්දෙන්?

කාන්තාරයක් මැද්දෙන් දිවෙන කිසිම හැලහොල්මනක් නැති රේල්පාරකින් එකපාරටම බුලට් ට්‍රේන් එකක් ගිහින්, වටේ ඇතිවෙන කම්පනය වගේ දෙයකින් මගේ කන් දෙක අගුල් දාල. ඔව්.. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ කොහොමත් මගේ කන් දෙක අගුල් වැටුනා. අගුල් වැටුනද? අගුල් දාගත්තද?

නානකාමරෙන් එළියට ඇවිත් නැවුම් ශරීරයක් එක්ක හිටපු මට අලුත් හිතක් ඕනේ කළා. කිසිම දෙයක් නැති හිස් ළිඳක් එක්ක ඉන්නවා වගේ මගේ දිහා බලන් හිටියේ , කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. වෙනදට වඩා නැවුම්, දිලිසෙන ඇස්......

මම හොඳට බැලුවේ ඇත්තටම කම්මුල්පාර කෑවේ මමද , වෙන කවුරුද්ද කියල... ඔව්.. මම නෙවෙයි... මගේ කම්මුල නිල් වෙලා නැහැනේ..

ක්ෂණයක් කියන්නේ මහා දිග කාලයක්. ඒ දිග කාලේදී අපිම සමහර උපකල්පන වලට ඇවිත් ඒ උපකල්පන වලට අදාළ හේතු සාධනීය කරලා, උපකල්පන අපිම නිෂ්ප්‍රභා කරනවා. ඔව්.. ගොඩක් ජාති කරන්න තරම් වෙලාව තියෙනවා. මමත් එහෙම කළා...

' මේ ගෑනි.... හොර ගෑනි.... තුක් විතරක්!'

Tuesday, October 28, 2014

110. 'චෙක්'



ළමා.........යි
ඔන්න ළමා..........යි

එකෝමත් එක රටක හිටියා ඉතාම වැදගත්, ගිණිගත් ,රූමත්, උගත් , සිල්ගත් තරුණ කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට කුමාරියක් වගේ තමයි. නෑ නෑ .. නුවර කුමාරි නෙමෙයි හරිද....? මේ ළමයා බොහොම පැහැපත් කෙල්ලෙක්.

මේ දරුවා බොහෝම , මම කිව්වේ බොහෝ..........ම තැන්පත් ගතිගුණ තියෙන දාහකින් නෙවෙයි ලක්සෙකින්වත් හොයාගන්න බැරි තරම් වටිනා කියන දරුවෙක් හින්ද කොලොම්පුරේ ඉගෙනගෙන අහවර වෙලා, කරන බහුබූත වැඩවලට මාසේ අන්තිමට සල්ලි ටිකක් දීල ගෙදර එවන.. නෑ .. නෑ .... කෙටියෙන් කිව්වොත් වැදගත් රැකියාවක නිරතවෙලා හිටියේ.

මේ දරුවා ඉගෙනගන්න කොලොම්පුරේ ඉන්න කාලේදී ගෙදරට ආරංචි වෙන / නොවෙන ජාතියේ නොයෙකුත් සුප්‍රකට/කුප්‍රකට ජාතියේ වැඩ බොහොමයක් කරලා තිබ්බ හන්දා කාගේ හරි එකෙක්ගේ කර්මදෝසයක් පලිසන් දෙන්න තියෙන කාලෙකදී උගේ ඇඟේ එල්ලනකල්, කොහොමහරි වෙන එකෙක්ට අතුරු ආන්තරාවක් වෙන්ට නොදී රැකගන්නේ කොහොමද කියල මේ දැරිවිගේ අම්මා උන්නේ පුදුම ගින්දරකින්. මේ හින්ද පුළුවන් උපරිම වෙර වීරිය දාල මේ අම්මා විසින් බොහොම මහන්සි වෙලා හොයාගත්තා දුරින් නෑයෝ වෙන ගෙදරක් මේ දැරිවිට නතර වෙන්ට, ටික කාලෙකට.

Sunday, October 26, 2014

104. අස්සයා මැරුණු ජොකියෙක් වීමි..





මගේ ක්‍රීඩා ජිවිතයේ පාසලේ මතකයන් මම ලියාගෙන ආවා. ඉවර උනේ නම් 11න් පහළ කණ්ඩායම විදියට සෙල්ලම් කරලා පරාජයක් එක්ක ගෙදර ආපු මතකයෙන්.


මේ කතාවේ මුල්ම කොටස 

මේ කතාවේ ඊළඟ කොටස


මට ඊට පස්සේ උන දේවල් උනත් හරියටම අනුපිලිවෙල මතක නැති අවුලක් තියෙනවා. නමුත් වෙච්ච සිද්ධි නම් මතකයි.

ඔය කාලේදී අපේ පුහුණුකරු වෙලා හිටපු සර් නගරයේ අනිත් ප්‍රධාන ගැහැණු පාසලෙත් පුහුණුකරු. අපිට නම් මේන් හෝල් එකේ ඇඳපු කොට්ස් කෝට්ස්  දෙකක් ඒ දවස්වල තිබ්බත් අනිත් ඉස්කෝලෙට එහෙමවත් තිබ්බේ නැහැ. මේ හින්ද ඒ ළමයි එක්කගෙන සර් අපේ ඉස්කෝලෙට එනවා. කොහොමහරි අපි නිතර Friendly matches ගහනවා.

බොරු බේගල් කියන්නත්, පුරසාරම් කියන්නත් අකමැති උනත් මම ලියන්නම්... ඒ දවස්වල මම unbeatable category එකේ හිටියේ. ඒ වගේම අපේ කණ්ඩායමත් අනිත් කණ්ඩායමට පැරදෙන්නෙ හරිම අඩුවෙන්.

ඔහොම ගතවෙනකොට, මම හිතන්නේ මගේ කණ්ඩායමේ අනිත් උන් එක එක හේතු හින්ද ක්‍රීඩාව give-up කළා. මගේ වයසේ හිටපු අනිත් උන් දෙන්න නම් හරියටම හේතුවක් දන්නේ නැහැ. අක්කලා හිටපු අය නම් සාමාන්‍යපෙළ හින්ද කියල තමයි කිව්වේ. කොහොමත් අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන්නේ මට නම් බද්ධ වෙච්ච දෙයක්. මම කවදාවත් ඉගෙනගන්න බාධාවෙනවා කියල ක්‍රීඩාවෙන් ඉවත් උනෙත් නැහැ එහෙම වෙනවා කියල විස්වාස කලෙත් නැහැ.

අන්තිමට මම ඇරෙන්න මගේ කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩාව නතර කළා.

ඉතින් මම අස්සයා මැරුණු ජොකියෙක් වගේ උනා....!! 


Friday, October 24, 2014

103. මිතුරු තොමෝ.... 02



පළවෙනි හෑල්ල 

කැටයක් හොල්ලනවා කිව්වට කැටයක්ම නෙවෙයි. අපි කලේ අපේ යුනියන් එකෙන් ටිකට් එකක් ගහලා ඕක විකුණන එක.

ඔන්න දැන් මමත්, කිරි බර්ටියාත් ගජ රාමෙට එහෙ මෙහෙ දුවලා ටිකට් ගහන්න විදියක් බැලුවා. මේ ගැන අපේ ෆැකල්ටියේ ඩින් සහ ජේෂ්ඨ ආචාර්යවරු දැනුවත් කරලා කිරි බර්ටියා උන්ගේ ගෙවල් ගාව තිබ්බ මුද්‍රණාලයකින් ටිකට් ගහන්න ලෑස්ති කරගත්ත. ඒ අතරේ වරින්වර තිලිණගේ හිත හදන්න ඌ එක්ක විකාර දේවල් කතා කළා. අන්තිමට ඌ අපිට අනාවරණය කළා උගේ යාලු ගෑනුලමයා ගැනත්. ටිකට් විකුනලා සල්ලි හොයල දෙන්නම් කිව්වම උගේ තිබ්බ ඉල්ලීම තමයි
"මචන්, මගේ කෙල්ල ඉන්නේ _____ කැම්පස්. ඒකෙ ඇරෙන්න වෙන ඕනේ දිහාක විකුනපන්. කෙල්ලට හොඳ නැහැ"

අපි මේ අහිංසක ඉල්ලීමට කන් දුන්නා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ ෆැකල්ටියට වෙනම ආරක්ෂක සේවයක් තිබ්බ. ඒ වගේම ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක් උන්නා ඌ අන්තිම රස්තියාදුවෙක්. ආරක්ෂක සේවයේ ලොක්ක වෙලා හිටියෙත් කුපාඩි බැල්මක් තිබ්බ වයසක මනුස්සයෙක්.

102. මිතුරු තොමෝ.... 01


මිත්තරයෝ / මිත්තරියෝ ඉන්නවා නේද? ( ඔය ඉන්නේ...) මගේ ජිවිතේ උන්ට හිමිවෙන්නේ ලොකු ඉඩකඩක්. මම නොයෙකුත් තැන්වලදී ලියල පාරම්බාලා ඇති මගේ මිත්‍ර සමාගම් ගැන. නොසැලකිල්ලෙන් මිත්‍රයෝ ඇතිකරගන්න මම උන්ව පරිස්සමෙන් මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ ආයෙත් ආයෙත් ආශ්‍රය කරන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන්. ඒක ඇතුලෙම අනිත් වචනෙත් ලියවිලා තියෙනවා... ඒ කියන්නේ 'පොඩ්ඩක් විතර නොසැලකිල්ලෙන්'

යාලුවෝ උනහම මට එක එක කැටගරියේ උන් ඉන්නවා. ඉස්කෝලේ කාලේ යාලුවෝ නම් දැන් හරි අඩුවෙන් සම්බන්ධකම් තියෙන්නේ. මොකද මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් ආවට පස්සේ ගම් පළාතේ යන එකත් අඩුවෙලා ගිහින්, කොටින්ම ගමේ උන්වත් මම අපේ අම්මගේ දුවෙක් කියල අදුරන්නේ නැහැ නේ බොලේ...



හිටපු ගමන් ගම් වැදුන මමත් ඉස්සර කරගෙන අපේ අම්මත් එක්ක මම ටවුමේ රස්තියාදුවකට කියල හිතාගෙන බස් එකට බඩගානවා...
"ආනේ.. මිසිස් _____, කොහෙද අද මේ පයින්ම?"
"අපේ මේ දුවත් එක්ක මම මේ ටවුන් යනවා"

Friday, October 17, 2014

101. ඔබද මාද ඒ? - 02







මුල් කොටස 

තොරක් නැතුව දුවන නොයෙකුත් ජාතියේ වාහන... කවදත් වගේ යන ගමනක්... බසය කලර් ලයිට්ස් ළඟදී හිරවුනා, එතකොට මගේ හිරවෙච්ච හිත ආයෙත් ලිහිල් වෙන්න ගත්ත.

'මට මෙහෙම ජිවත් වෙලා මොකටද.. '

පාරේ කිළුටු දරුවෙක් කිහිලිගන්නාගෙන යන කිළුටු මවක්.. මගේ හිත ඉරිසියාවෙන් පෑරුනා..

'මේ ගෑනිට කන්න නැතත්.. අඩු තරමේ මිනිහ දරුවෙක් හරි දීල... දරුවෝ ලැබෙනවද ඉතින් උඩබලන් උන්නට.... පො___යා'

මටම දැනුන ඒ කම්මුල්පාර මගේ වම් කම්මුලට වැදුන! මම කම්මුල අතගාල බැලුව. ඔව්, වෙනද වගේම උණුසුම්.

'අපරාදේ මට ඌගේ මුණටම කියන්නයි තිබ්බේ.... හෙහ්..  ඔව්.. මුණටම.. අර ගල් වෙච්ච කොන්ක්‍රීට් මුණට.... '

100. ඔබද මාද ඒ? - 01



මුළු ගෙදරම ඇත්තේ මුසල කමක්.. කලබලෙන් වහපු පැන්ට්‍රි සින්ක් එකේ වතුර වැටෙන සද්දේ පවා මට ඇහුනේ මට ඔලොක්කු කරනවා වගේ. මිට විනාඩි දෙක තුනකට කලින් මේ ගෙදර බිත්ති දෙදරන්න බෙරිහන් දීපු මගේ කටහඬම ආයෙත් මගේ පැත්තට හැරිලා ඇහෙනවා වගේ මට දැනුනේ...

"... මොනවද උඹට මගෙන් ඕනේ... කියපන් මෝඩයෝ?"

මගේ හඬ ගිගුම් දුන්න බව මට මතක් වෙන්නේ දැනුයි.

ඔක්කොම ඉවර වෙලා කුණාටුවෙන් පස්සේ මම ඇදන් වැටුනේ සුපුරුදු සෝෆාව උඩට. අත්දෙක ඔලුවේ තියන් මම ඇත්තටම කිසි දෙයක් කල්පනා කරන්නේ නැතුව අහන් හිටියේ මගේම ගිගිරුමේ දෝංකාරය..

ගෙදර තිබ්බ මොකක් හරි දෙයක් සඳුන් අරගෙන ගිහින් වගේ, මට මොනවහරි හොයන්න ඕනේ කළා... ඒත්  ඒ වෙනුවට මම කලේ දුරකථනය අරන් තීක්ෂණට වයිබර් කරපු එක..

උදේ ඇතිවුන කතාබහ දුරදිග ගිහින්, අවසානෙදි කවදත් වගේ මම පුපුරා හැලුනත් සුපුරුදු විදියට සඳුන් එයාගේ කොන්ක්‍රීට් මුණ දාගෙන ඉන්නකොට මොන ගෑනිටද ඉවසන්න පුළුවන්? හැමදාම එකම කාලසටහනට දුවන බල්ලෙක් වගේ සඳුන් දුවනවා. මමත් ඒ කාල සටහනේ විදියට කරලා දෙන ටිකට, අඩුම තරමේ බැනුමක් බැනපන්? හොඳක් කියපන්? එක්කෝ ගහපන්? නැත්තම්... මොකක් හරි....

"තමුසේ මාව වහලෙක් කියලද හිතන් ඉන්නේ"

කොතරම් දවසක් මෙහෙම අහල ඇද්ද? හැමදාම ඒ හිස් හිනාව මම කොහොමද දරන්නේ? පිරිමියෙක් වගේ රණ්ඩු නොවෙන පැපොල් ගහක්? ආයෙත් මම තීක්ෂණ ගේ රිප්ලයි එක කියෙව්වා...

Thursday, October 16, 2014

99. සෙරෙප්පු



හිතල හිතල ඇති වෙලා මට...
කොච්චර හිතුවත් ඉවරවෙන්නේ එකම තැනකින්. හරියට එකම තැනකට යන්න හදපු පාරවල් ගොඩක් වගේ.

හැමදාම මේ සෙරෙප්පු දෙක දකිනකොට දැනෙන කම්පනය වහගන්න ඒ සෙරෙප්පු දෙක කාටවත් කවදාකවත් හොයාගන්න බැරි තැනකට විසිකරන්න ඕනේ කලත්, මම කලේ ගබඩාකාමරේ පෙට්ටියක් ඒ වෙනුවට තෝරගත්ත එක. අන්තිමට මට උනේ කවුරුත් නැති වෙලාවක ගබඩා කාමරේ මැද්දෙදි මේ සෙරෙප්පු දෙකෙන් විහිදෙන අවලං හිනාවත් එක්ක සම්මුඛ වෙලා , වෙනදාටත් වඩා හිතලක් එක්ක සුසුම්ලන්න.

කොහෙන් එන සිතුවිලිද මේ? පෙනේරෙකින් නතර කරන්න බැරි වතුර පාරක් වගේ මම මගේ හිතුවිලි එක්ක පොරබදනවා..

"ලස්සන ඇඟිලි... මොකද ඔයා කියුටෙක්ස් ගාන්නේ නැත්තේ "

ඒ වචනෙත් එක්කම අනික් පැත්ත හැරුන මට ඔබේ ඇස් වලින් බේරෙන්න ලැබුනේ , ඒ ඇස් දෙක නතර වෙලා තිබ්බේ මගේ කකුල් දෙකේ හින්ද.

98. හිර - බස්




විවාහය
එකට එකක් වෙනස්
ගමනාන්තයන් ඇති....
                   බස් මෙනි...

එකක් මගහැරුණුවිට
තව එකක් එනු ඇති...
                   විශ්වාසද නැති...

ටිකට් නොගත්තද
හිටගෙන, ඉඳගෙන ගියද
                  බසිනු බැරි..

Tuesday, October 14, 2014

97. පිට - රට හුට- පට

මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම

එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?

මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...

මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.

ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )

Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.



Friday, October 10, 2014

95. සිකුරාදාවක - සවස




අල්ලට ගත්
දිය අහුරකි..
සති අන්තය 

Monday, October 6, 2014

94. මොන්ටිසෝරි හයිලයිට්ස්...




අම්මි අද
මගේ පුටුවේ
නතාෂා වාඩිවෙලා..
අනුහස් එයාට
මට දෙන ඉරේසරේ දුන්න...

අම්මි
මම උදෙන්ම
නැගිටිනවා හෙට ඉඳං !


Sunday, October 5, 2014

93. එයාට කිරි - මුන්ට කැකිරි!

කතාකලයුතු බොහෝ දේවල් තිබියදී මේ සටහන ලියන්නට හිතුනේ ඇයිද කියල හරියටම කියන්න අමාරුයි.. ඒත් එක දෙයක් පැහැදිලියි. අපි බොහෝ දෙනෙක් කතාකලයුතු දේවල් පසෙක තියාගෙන නන්දොඩවන තත්වෙට පත්වෙලා හින්ද, මේ කතාව අමුත්තක් වෙන එකක් නැහැ..

අපේ රටේ සංස්කෘතිය, සමාජ ආකල්ප ගැන කෑමොර දෙන ඔක්කොම දෙනා ඉස්සර ඉඳන්ම බෙරිහන් දෙන, හෙලා දකින දෙයක් තමයි වරදෙහි බැඳීම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ විවාහක පුරුෂයා, ස්ත්‍රිය හැරුනුකොට වෙනත් ස්ත්‍රියක්/පුරුෂයෙක් කෙරෙහි කාමුකව ආසක්තවිම.

අපේ රටේ ඉතිහාසයේ නරකම නරක ලේබලයක් තියෙන අනුලා බිසව එහෙම 'නරක' අයෙක් විදියට හංවඩු ගැහිලා. ඒ වගේම තවත් රජ පවුලේ/ගොවි පවුල්වල ස්ත්‍රීන් මෙහෙම හංවඩු ගැහිලා, ඉතිහාසෙන් ඕනේ තරම් උදාහරණ. දෝනකතරිනා ගැන තිබ්බ ඒ කැළල හින්දම වෙන්නත් ඕනේ වේදිකාව උඩදී ඇයට සාධාරණයක් කරන්න 'දෝනකතරිනා' නාට්‍ය හදන්නත් ඇත්තේ. ඇය හැබැයි වරදෙහි බැඳුන කෙනෙක් විදියට නෙවෙයි චෝදනාව.

මට තියෙන ප්‍රශ්නය...



Thursday, October 2, 2014

92. ඇඩ්වෙන්චර් - නැද්ද හා?

අදත් උදේ පාන්දර 9ට විතර පාරට බැහැල, වෙනද යනවා වගේම මෙලෝ ගර්ලිෂ් ගතියක් නැතුව කඩාගෙන බිඳගෙන ඇවිදගෙන බස් එකට නගින්න කියල ආව. වෙනදට මාළුපාන් කන්න කැන්ටිමේ පොරකන ළමයි රොත්ත වගේ, පාර දිගේ දුවගෙන එන වාහන එකක්වත් නෑ ! ඒ මදිවට පාරෙන් එහාපැත්තෙ විරුද්ධ පැත්තට යන වාහන ටිකත් ඉද්ද ගැහුවා වගේ නතර කරලා.

"චැක් විතරක්! අදත් මුන්ට පාර්ලිමේන්තු! අම්මප මෙතරම් තාක්ෂණය දියුණු කාලේ, බැරිද බොලේ ඔය මහා ලොකු පාර්ලිමේන්තුව ස්කයිප් හරි, කොන් කෝල් එකකින් හරි කරලා ඉවරයක් කරන්න.... ඈ... ?

එහෙම මම කිව්වේ නෑ... හිතුව විතරයි හින්ද මගෙත් එක්ක හෝල්ට් එකේ උන්නු අනිත් උන් දන්නේ නෑ මම දේශද්‍රෝහියෙක් කියල! වෙලාවට

ඔන්න එතකොට නලා පිඹගෙන, දුන් දාගෙන , අහස ගොරෝනවා වගේ මහා කලබලයක් කරගෙන ගියා VIP කියන කාන්ඩේ එකෙක්. කවුරු ගියාද කියල කොහොම හොයන්නද? එක්කෝ සමහර වෙලාවට වටේ ගාඩ් එකවත් දන්නේ නැතුව ඇති ඇතුලේ කවුද යන්නේ කියල.... වටේ පිටේ මෙතෙක් වෙලා තමන්ගේ සියලු වැඩ අතපසු උන හින්ද, වෙන බලන්න දෙයක්, කරන්න දෙයක් නැති 'මම' වගේ උන් රොත්තම අර නලාකාරයෝ වටකරගෙන යන මේ අරුම පුදුම රතේ දිහා සීරුවෙන් බලන් ඉන්නවා....

මොකද එක අඩියක්වත් ඉස්සරහට ගත්තොත්.... වටෙන් යන බයිසිකල් ගාඩ් එකේ උන් එක්කෝ වෙඩි තියයි.. නැත්තම් පයින් අනිවී කියල හිතන හින්ද...