ගෙදර තාවකාලිකව කාත් කවුරුත් නැතුව ගෙවන්න ලැබුනොත් ඔයාල මොකද කරන්නේ?
හම්මේ... මට නම් කරන්න ජාති තියෙනවා ඉසේ කෙස් ගානට.
- අයිස්ක්‍රීම් ටබ් එකක් ඔඩොක්කුවේ තියන් සාලේ මූවි එකක් බලන්න.....
- ආස ඩාන්සින් බීට්ස් තියෙන සින්දු දාගෙන සාලේ මැද්දේ නටන්න.....
- පපුව කඩන් යන දුක්බර/හැඟීම්බර සින්දු දාගෙන ඒ සින්දු කිය කියා තමුන්ට හිතෙන ආංගික අභිනයන් පාන්න... ( ඔව් ඔව් ඉතින් මේක කලින් එකට හාත්පසින් වෙනස් තමයි. ඒත් මම එහෙමයි.)
- Pizza එකක් order කරලා තනියෙන් බඩ පැලෙනකල් කන්න...
- Full sound එක්ක හොල්මන් මූවි එකක් බලන්න....
so on and so forth.....
ඇත්තටම කිව්වොත් මට දැනට මතක් වෙන්නේ නැති තරම් තොගයක් මගේ මේ ලිස්ට් එකේ තියෙනවා. වැඩේ කියන්නේ ඔය ලිස්ට් එක කොතරම් දිගද කියනවා නම් සමහර දවස් වලට කරන්නේ මොකද්ද කියල හිතන්නම මගේ කාලය ගිහින් අන්තිමට මුකුත්ම කරන්නේ නැතුවම ඒ වෙලාව ගෙවෙනවා. අනේද කියන්නේ...
ඉතින් කරන්න වැඩ තියෙන ලිස්ට් එකේ තියෙන සමහර එව්වා ඉතින් කවුරුත් ගෙදර උන්නත් කිසි අව්ලක් නැතුව මට කරන්න පුළුවන් උනත්, කෝ අනේ කිසි කික් එකක් නැහැ නේ ඕක හොරෙන් කරනවා තරම්.... මම හිතන්නේ ඕක මගේ පොඩි කාලේ ඉඳන්ම තියෙන අව්ලක්ද කොහෙද.. හෙහ්..
ආ.. දැන් ඇති මගේ පට්ටන්දරේ කියෙව්වා... ඔය පට්ටන්දරේ කියෝනවා කියන්නේ මොකද්ද දන්නවද? නෑ අනේ මම දන්නෙත් නැහැ.. හි.. හි...
අද මම කියන්න (ඉල්ලන් කන්න) හදන්නේ මම ඔහොම අහම්බෙන් දවසකදී ගෙදර තනියෙන් ඉන්නකොට මට වෙච්ච එක සිද්ධියක්. මේක මේ එතරම් ඈතකදී වෙච්ච දෙයක් නෙවෙයි.
ඔන්න එකෝමත් එක සුන්දර දවසක , හවසක මට ආරංචි උනා එදා රෑට මට තනියෙන් ඉන්න වෙනවා කියලා. බොහොම ලස්සන ලොරි මුණක් පෙන්නලා ඒකට ප්‍රතිචාර දක්වපු මම ඇතුලෙන් තවිල් බෙරයක් ගහන්න පටන් ගත්තේ පුරුදු විදියට.
'අද නම් පුතේ පට්ටම පට්ට ජොලියක් ගන්න ඕනේ...'
ඔන්න ඔහොම හිතමින් මම මගේ ලිස්ට් එකේ එක එක අයිටම් එක පරික්ෂා කළා. හුඟ කාලෙකින් කරගන්න බැරිවෙච්ච දේවල් අතෑරලා මම බැලුවේ කරන්නම බැරිවුන දෙයක් තෝරගත්ත. ඒ තමයි හොල්මන් චිත්තරපටියක් බලන එක! කොහොමද අයිඩියාර් එක???
මම කොහොමත් වැඩිපුර TV එකේ ඇලිලා ඉන්න එකියක් නෙවෙයි. නමුත් මූවි වලට ආසයි.
ඉස්සර අපේ නුවර ගෙදරට හැම චැනල් එකක්ම පැහැදිලිව පෙන්නේ නැති උනත් අක්කත් මමත් ඒවගෙන් සැලෙන එකීලා දෙන්නෙක් නෙවෙයි. TV එකේ පෙන්නන හින්දි මූවි බලන්න කොතරම් උනන්දුද කියනවා නම්... හෙහ්.... සමහර චැනල් යන්තම් හරි අපිට පෙන්න නම් ගෙදර හි.. හි... ප්‍රධාන දොර ගාවට යන්න ඕනේ.. ඒ කියන්නේ TV එකෙන් මීටර් 100 කට වැඩියි.. හි.. හි... ඇත්තටම කියනවා නම් සාමාන්‍ය මනුස්සයෙන් නම් එහෙම TV බලන්න හිතන්නේ දුරදක්නයකින් තමයි. එතරම් විකාරයි! එහෙම බලපු සමහර මූවි පැහැදිලිව දැන් දැක්කම අපිට කොර වෙනවා..
'අඩේ අප්පා... ඛල්නායත් එකේ මධුරි ඇඳන් උන්නේ එහෙම සාරියක්ද අප්පා...'
'ඈ .... සංජේදත් කලිසමක්ද ඇඳගෙන හිටියේ..?'
'අප්පා... එහෙම බිල්ඩින් එකකුත් තිබ්බද?'
කොටින්ම කියනවා නම් දෙබස් ටික විතරයි අපිට ඇහිලා තියෙන්නේ.... හරියට අනෝරා වැස්සක දියසායම් වලින් ඇඳපු චිත්‍රයක් දිගෑරියා වගේ...
ආපහු කතාවට...
දැන් ඔන්න මම හොරගල් අහුලා අහුලා හිටියා කට්ටිය යනකල්.
මම සාමාන්‍යයෙන් මූවි බලන්නේ TV එකේ. නමුත් බිග් ස්ක්‍රීන් එකේ බලන තරම් ජොලියක් නැතත් ලැප්ටොප් එකේ බලනවට වඩා මට දැනෙනවා. මගේ අවාසනාවට එදා කිසිම චැනල් එකක හොල්මන් චිත්‍රපටියක් නියමිතව තිබ්බෙත් නැහැ. දැන් මම සාමාන්‍යයෙන් නොකෙරුවාට මට අවසන් ඔප්ෂන් එකට යන්න උනා.
මගේ ලැප්ටොප් එකට දාල තිබ්බ මූවි එකක් තමයි මම දැන් බලන්න හිතුවේ....
ඔන්න දැන් දහයේ කණිසමට ආසන්නයි. මෙතෙක් වෙලා එක එක බයිලා බල බල ඉඳලා මට එතකොට තමයි ඔන්න බයවෙන්න ඕනේ කියන මූඩ් එක ආවේ. මම ඉතින් සාලේ මැද්දේ තියෙන තැනකට ගොහින් වැඩි හොඳට කියල හෙඩ් ෆෝන් දෙකත් කනට දාගෙන ඔන්න මූවි එක දැම්මා....
ඔන්න දැන් කතාව පටන් ගත්ත... ටික ටික ඔන්න කතාවේ හොල්මන් ගතිය ඉස්මතු වෙනවා. මුලින්ම කෙල්ලෙක් තමයි බයවෙන්නේ. කොල්ලා නම් ඔය බහුභූත විස්වාස කරන්නේ නැහැ.. ( ඔන්න දැන් අපිත් එහෙමයි ලු ඈ...)
ඔන්න දැන් තමයි හොඳම හරිය... ඔන්න කෙල්ල බයවෙලා වගේ ඉන්න වෙලාවක ඒකි යනවා ගෙදර දොරවල් ඇරගෙන සද්දේ එන දිහාව හොයාගෙන... දැන් ඉතින් චුට්ට චුට්ට පපුව 'බං බං ' ගානවා... ( ඒ උනාට අපි කෙලින්ලු ඈ....)
ඔන්න කාමරේ දොර ඇරගෙන එළියට ආව... දැන් ඔන්න පඩිපෙළ දිගේ පහලට බහිනවා... ( ඔන්න මගේ පපුව ගැහෙන එක පටන් ගත්තලු ඈ.. ඒ උනාට කෙල්ල කෙලින් ඈ...) මොකද්දෝ සද්දයක් පඩිපෙළේ උඩ ඉඳල වෙන කාමරේකට ගියා... ඔව් ඔව්... ගියා තමයි. කෙල්ල ගැස්සිලා ආපහු හැරුන. මමත් දැන් ඇස්ගෙඩි දෙක ලොකු කරලා බැලුව මටවත් පේනවද කියල. කෝ... සද්දේ මිසක්... ඔන්න දැන් මමත් ඒ කෙල්ල එක්ක පඩිපෙළේ ආයෙත් උඩට යනවා... පඩියෙන් පඩිය... පඩියෙන් පඩිය.. හෙමිහිට කකුල් තිය තිය.....
වෙව්ලන කකුල් දෙක මට ඒ අධ්‍යක්ෂක පෙන්නනවා... අපේ වගේ නෙවෙයි ඈ... කාර්පට් කරපු පඩිපෙලක්. ඔන්න පඩියෙන් පඩිය... හෙමින් හෙමින්... දොර ළඟට එනකල්ම තියෙන පඩිපෙළ දිගේ ආයෙත් උඩට... ආයෙත්... ඔන්න දොර බෝලෙට අත තිබ්බ විතරයි....
කෑවා නේද කකුල මොකෙද්දෝ එකෙක්!!!
නෑ .. නෑ .... ඒ කෙල්ලගේ නෙවෙයි. මගේ කකුල බොලව්! මගේ කකුල...
හීනි , උල් දතක් වගේ එකක් වැදුන අම්මප මගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්තට පොඩ්ඩක් මෙහායින්!
පොඩි මීක් සද්දයක් මිසක් මෙලෝ සද්දයක් මගේ කටින් පිටවුනේ නැහැ ඒ වෙලාවේ. ඇයි හත්වලාමේ මේ හොල්මනක් හොයාගෙන යන අතරමග වෙච්චිකොට...
කොහොමත් මට මොන විපතක් උනත් පොඩි මීක් සද්දයක් මිසක් කිසිම සද්දයක් පිටවෙන්නේ නැහැ මගේ කටින්.. ආ.. බය වෙන්න දෙයක් නැහැ.. ඒකටත් එක්ක මවල තියෙන්නේ අපේ අක්කා... හුලඟකට දොර රෙද්ද හෙලවුනත් ආයේ නැහැ මර ලතෝනියක් ෂුවර්... මේ වගේ දෙයක් උනා නම් අහල ගම් හතටම පයින්ඩේ කිසි අව්ලක් නැතුවම දැනගන්න පුළුවන්. මම හිතන්නේ රජ කාලේ අර නගර ඝෝෂක තනතුරත් දරන්න ඇති.... හෙහ්...
මීක් සද්දෙත් එක්ක මට එකපාරටම මගේ කකුල් දෙක උඩට ඉස්සිලා වටපිට බැලුනා. මට එකපාරටම හිතට ආවේ ඒ දවස්වල අපේ ගේ පැත්තේ කැරකි කැරකි ඉඳල අහුවෙච්ච මී රාළහාමි... ඕකාට මම රාළහාමි කියන්නේ හේතු ඇතුව.
වෙන මොකවත් නෙවෙයි, ඌ අපිව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. මොකද ඌට කාගෙන් කියලා තහනමක්ද... බල්ලෝ බළල්ලු ඉන්න එකක්යැ ? ඕනේ හැටියකට ඇවිත්, තියෙන දෙයක් කාල පුළුවන් නම් ආතල් එකේ ලීයක් දෙකක්, පොතක් දෙකක් එහෙම කාල ( විනොදෙට අනේ එහෙම කරන්නේ.... හුරතලේට! දැන් කාලේ රට යන අතද මන්ද...) යන එකනේ.. ඔක්කොම නිදාගන්නකල් ඉඳල සමහර වෙලාවට සිවිලිමේ ලස්සන ලී වලින් පොඩ්ඩක් දත් මුවහත් කරනවා. අහගෙන ඉන්න බැරිමතැන අපි කරන්නේ කොස්සක් හරි මොකක් හරි ලීයක් අරන් සිවිලිමට තට්ටුවක් දාන එකයි. එතකොට පොඩ්ඩක් වැඩේ අතරමග නතර කරලා ඌ හිතනවා
'අඩේ ... මුන් තාම නිදි නැද්ද? පිස්සුනේ... අනේ මන්ද මට අදත් දත්ටික සුද්දකරගන්න විදියක් නැති හැටි හැබෑට... ෂුවර් එකට අර පොඩි කෙල්ල වෙන්නැති... ඕකිට කනේ වන්ගුද මන්ද මගේ මේ දත් සුද්දකිරිල්ල දවසටම ඇහැරගෙන මොනවහරි මගුලක් කරනවා.... හිටහන්කෝ ඔකිගේ පොතක් මම දැක්කා පැන්ට්‍රියේ ... හිටපන් දෙන්න වැඩක්!'
ඉඳල හිටලා කාගේ හරි නයිටක් ගහන එකෙක්ගේ ඇහැක වැදුනත්, පොඩ්ඩක් හැංගිලා ඉඳල ආයෙත් එලියට එන එකනේ... බැරි වෙලාවත් නරක වෙලාවට අහු උනොත් වෙන්ට පුළුවන් නරකම දේ තමයි ගෙදරින් අල්ලලා එළියට විසික්කා වෙන එක විතරයි...
හොල්මන් මූඩ් එක කුඩේ කුඩු ගිහිං දැන්! මම කකුල බැලුව, කාපු තැනක් නම් පේන්න නැහැ. දත් පාරක් වැදිලා නම්, මම එපෑ දොස්තර ගාවට දුවන්න.
හෙඩ් ෆෝන් දෙක ගලෝලා මම කල්පනා කළා මොකාද මගේ කකුල හැපුවේ කියල... හුනෙක්ද? කැරපොත්තෙක්ද? ඇත්තටම මීයෙක් ද?
මම අහල පහල තිබ්බ බඩුමුට්ටු ටිකට කොස්සක් ගෙනත් ඇනලා බැලුව... ම්හු... මෙලෝ සද්දයක් නැහැ. සෝෆා එක ඇතුලෙන් නම් ඔන්න තඩි හුනෙක් එලියට ආව..
'පිස්සුද ඕයි...? යාන්තමට ඇස්දෙක පියවෙන්න ආව විතරයි.. අම්මප මේ ගෙදර ඉන්නවට අපිට වෙනම සහනාධාරයක් දෙන්න ඕනේ... මුන් නිදාගන්නෙත් මහා රෑ වෙලා.. ඒ මදිවට නිදාගන්න ගියත් එනවා කොස්සෙන් අනින්න... යන්න මෙය ඔයා යන්න මට පව් නොදී..'
ඔන්න මම හුනගෙනුත් බැනුමක් ඇහුවා නොසෑහෙන්න.. දැන් මට මල අතේ... මම ඉක්මනට දුවගෙන ගිහින් පැන්ට්‍රියේ සින්ක් එක ගාව යට තිබ්බ දොර ඇරලා ගත්ත ආයුදේ! ඒ තමයි මම මීට සති ගානකට කලින් ගෙනාපු මී කූඩුව !!
ඉවසුවා ඇති! හිටපන් මම උඹට පෙන්නන කාගේ කකුලද උඹ හැපුවේ කියල... නොසන්ඩාල මීයා !!!
කවුරු හැපුවා උනත් දැන් මී රාළහාමිගේ ගිණුමෙන් තමයි මම යවන්නේ. කරන්න දෙයක් නැහැ. මහා රාත්තිරිය කියල බැලුවේ නැහැ, ෆ්‍රිජ් එකෙන් පොල් බෑයක් අරන් පොල් තීරුවක් කපලා ඇල්ලුවා ගින්දරට.... දැන් මේ රාත්තිරිය මැද්දේ මම දැන් පොල් තීරුව පුච්චනවා.... මුළු ගේ පුරාම යනවා සුවඳ... හම්මේ... මීයට නොදී මටම කන්න හිතුනත්, මගේ කකුල හපපු තරහ ආයෙත් මතක්කරගෙන මම එක හිතින් පොල් තීරුව පුච්චන්න ගත්ත...
කිසිම විදියකින් ඌ කරන කිසිම හොරාකෑමකට මුකුත් නොකියපු මම, මගේ පාඩුවේ ආතල් එකේ බයවෙන්න හිතාගෙන ෆිල්ම් එකක් බලනකොට, මූට වටිනවද හැබෑට මගේ කකුල හපන්න? මොකක් කියල හිතාගෙනද මූ හැබෑට හැපුවේ ?? හුහ්.. ( කර වෙච්ච පොල් තීරුවක් වගේ පෙනුනද දන්නෙත් නැහැ... ඒයි මේ... කළු කිව්වට අපි එහෙම කළු නැහැ හරිද?)
තද වෙච්ච පාර මම පුච්චපු පොල් තීරුව මී කූඩුවේ හයි කරලා කුස්සියේ මට සැකසහිත තැනක මුල්ලකට වෙන්න තියල එක පාරක් ටෙස්ට් කරලා බැලුව වැඩකරනවද කියලත්. වැඩේ හරි! කූඩුව වැඩ...
මම බයවෙන එක පැත්තක තිබ්බ තැනින් අරගෙන ආයෙත් හෙඩ් ෆෝන් දෙක කනේ ගහ ගත්ත. ඇයි අනේ.. මු කකුල හැපුව කියල මගේ ආතල් එක කුඩු කරගන්න ඕනෙද මම? ඔය කිව්වට ඌ නෙවෙයිද දන්නෙත් නැහැ නේ...
මම බයවෙන එක පැත්තක තිබ්බ තැනින් අරගෙන ආයෙත් හෙඩ් ෆෝන් දෙක කනේ ගහ ගත්ත. ඇයි අනේ.. මු කකුල හැපුව කියල මගේ ආතල් එක කුඩු කරගන්න ඕනෙද මම? ඔය කිව්වට ඌ නෙවෙයිද දන්නෙත් නැහැ නේ...
මගේ ආතල් එක ඊළඟට කැඩුනේ මොකක් හින්දද දන්නවද? මට මාරම බය හිතෙන හොල්මන් කියල මගේ යාලුවෙක් දුන්නට, අර හොල්මන් කතාවට මට බය හිතුනෙම නැහැ අනේ.... ඔන්නොහෙ කියල මම ඔක්කොම බැලුව.. නැත්තම් අපරාදේ නේ...
ඔක්කොම බලලා ඉවර වෙලා මම ලැප්ටොප් එක අකුලන්න හදනකොට ඔන්න කුස්සිය පැත්තෙන් ඇහෙනවා කම්බි සද්දයක්... මම ඉක්මනට දිව්වා කූඩුව තිබ්බ තැනට... ලයිට් එක දාල බලනකොට.. මෙන්න බොලේ ඉන්නවා බටු මීයෙක් කූඩුවේ කොනටම වෙලා ගුලියක් වගේ..
'ආ.. නංගි ......'
මාව දැක්ක ගමන් කකා හිටපු පොල් තීරුව අනික් අතට මාරු කරන ගමන් මෙන්න මූ කියනවා! අම්මප මට එකසිය ගානට තදවුනා. අම්මප මු කුඩුවක ඉන්න බවක්වත් ගානක් නැතුව පොල් තීරුව කකා ඉන්න ලස්සන...
'... පොල් ටික නම් පංකාදුයි ඈ... පට්ට කියන්නේ වල්ල පට්ට!'
මම ඔරෝලා බැලුවා බැලිල්ලක් අය නෑ ඌ ඉතිරි ටික කියන්නේ නැතුව ඉක්මනට ආයෙත් පොල් තීරු කෑල්ලක් කටේ ඔබාගත්තා.
"ඉන්නවා ඔහොම හෙට උදේ වෙනකම්.. හුහ්..."
එහෙම කියාගෙන මම ලයිට් එක නිවාගෙන එන්න ආව....
ඉතිරි ටික මතුවට.....
බුහ් හහ් හා..............
ReplyDeleteමරු අඩේ
කෝමත් උපේක්ෂ ලියනව නෙව දොඹෙන් යන්න...
ජයවේවා
:-)
Deleteඑහෙනම් ඉක්මනට ලියනවා අනික් කොටස හුහ්
ReplyDeleteමුන් ඔක්කොම එකයි.. හුහ්..
Deleteකකුළ කාපු එකා හොයන්න ඉතිං ඊළඟ කෑල්ල එනකං ඉන්න එපැයි දැන්!
ReplyDeleteඊළඟ කෑල්ල තවත් රසවත්...
Deleteනියම ලිවිල්ල.. දෙවෙනි කොටස ඉක්මණටම දාමු..
ReplyDeleteස්තුතියි...... ඉන්ට ඉන්ට
Deleteමේක පට්ට හලෝ. මගෙ සයිරන් එකත් ඔයාලගෙ අක්කගෙ ජාතියෙ. ගං හතකට පයින්ඩෙ යැව්වැකි තප්පරෙන්!
ReplyDeleteඅනේ බස්සියෝ.... උඹට කියන්ට ඔය කතා නම් මට ඉවරයක් නැහැ. ඒ ඔක්කොටමත් හරි... එහෙම සයිරන් එකට දුවන් එන අය මට වෙච්ච වින්නැහියක් බලන්නෙම නැහැනේ... එකපාරක් අපි උණක් හැදිලා දොස්තර ලඟට ගියා. මට උගුර අවුල් ලියන්නේ කතාකරන වචන පිටවෙන්නේ නැහැ. වැඩියෙන් කෙඳිරි ගාන්නේ අක්කා හින්ද දොස්තර ඉක්මනට එයාව බලලා දෙවනියට තමයි මාව බැලුවේ. අන්තිමේ කිව්වා
Delete'නංගිට නේ හොඳටම අමාරු... උගුර ගන්න දෙයක් නැහැ. ඔයාට අමාරුවක් නැහැ. ගණන් ගන්න එපා දුව '
හුහ්.... මම ඔහොම කෙඳිරි ගෑවානම් දන්නවද දොස්තරගේ දෙබස
'ඈ.... මේ බොරු කරන්න එපා ළමයා.... අක්කට අසාධ්‍යයි... පුළු පුළුවන් විදියට එයාට සාත්තු කරන්න... බේත් ඕනේ නැහැ ඔයාට... දැන් යන්ට'
ඔන්න කූර ලෝකේ...!
ඇති යන්තන් අර කවි ටික නැතුව කතාවක්!!!
ReplyDeleteහුඟක් අයට ඔය වගේ දේවල් හිතෙනෙවා. ඒත් එළිපිට කියන්නේ නැහැ. පිස්සු කියලා හිතනවනේ :)
හි.. හි..
Deleteකවි වලට මනාප නැතුවද? නැත්තම් මගේ කවි බලල කලකිරිලද? ගණන් ගන්න එපා අනේ.. මම කවියෙක් නෙවෙයි.... ලියන එව්වා දැක්කේ නැහැ වගේ යන්නේ දෙකක් කියල බැනල යන්න... මොකක්? ආ.. ඔව් ඔව්.. තව එහෙම බැනල යන අය ඕනේ තරම් ඉන්නවා... ඔබ තනිවී නැත...
හැබෑට? ඒ කියන්නේ මට පිස්සු නැහැ කියන එක නේද? ආ.. පුදුම තන්තෝසයක් දැනෙන්නේ...
මට ඔය හොල්මන් ෆිල්ම් බලද්දි මල පණින නිසා බලන එක අතෑරල දැම්ම. ඇයි මුන් ඉල්ලගෙන කන ගොන් වැඩමනෙ තීන්නෙ.
ReplyDeleteමේකනේ වැඩේ.... උන්ක අධ්‍යක්ෂක කියනවා නේ බයවෙන්ට එපා ඔහොම යන්ට කියල.... අනිත් එක අපිට ඇහෙන අනිත් අනිත් සද්ද උන්ට ඇහෙන්නේ නැහැ නේ. අධ්‍යක්ෂක බේරාගන්නවා කියල උන්ට ෂුවර් නේ... මට අවසානෙදි සහතිකයි උන් බේරෙනවා කියල. හා.. තව හොල්මන් කතාවක අතුරු කතාවක් මතක් උනා... ඉන්ට ලියන්නම්කො...
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඑසේම වේවා....
Deleteමම ඇත්තටම එහෙමටම අලුත් අවුරුද්ද සමරන කෙනෙක් නොවෙන හින්දත්, අනිත් අය ඇතිපදම් සුබපැතුම් එක්ක පොස්ට් ලියල තිබ්බ හින්දත් අලුතෙන් සුබපතන්න කැමති නැතුව හිටියේ. හැමදාම අපි පටන් ගන්නේ අලුත් අවුරුද්දක් තමයි.
මම නම් හොල්මන් කතා බලන්නේ නෑ... මොකට බය වෙනවද ... උපේක්ෂා තනියම හොල්මන් කතා බලනවා කියන්නේ සිරාවටම කොහේ හරි පොඩි අවුලක් තියෙනවා ඇති .. හෙහ් හෙහ් හෙහ් ...
ReplyDeleteඉතිරි කොටස දාන්න බලන්න ... තව මඩක් ගහන්න පොටක් හොයා ගන්න
අර උඩ රතුපාට එක්කෙනාගේ පින්තූරේ වගේම ඉන්නැති මෙයා..හැක් හැක් හැක්..
ReplyDeleteගෙදර කවුරුත් නැති එකේ ඌටත් ෆන් එකක් ගන්න හිතෙන්න ඇති බං.. :P :P
හෙක්... ඇයි ?ඒ පින්තුරේ ඉන්න එකාට මක් වෙලාද? ඔය ඉන්නේ යසට! ඌ දැක්ක නම් ඔයා එහෙම කියන්නේ නැහැ.. හුහ්..
Delete