Wednesday, July 22, 2015

197. මගුලේ යෑම - 1




මම අද කියන්න යන්නේ ළමායි.. ඔෆිස් වගේ ඔෆිස් කතාවක්.

චරිත: ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් හි එන ඇඩ්ඩින් , සයිමොන් සහ සියදෝරිස් එක්ක සෙසු චරිත 

මම මේ සීරීස් එකේ කතා කීපයක් කියල තියෙනවා. ඒ නිසා මම මේ සයිමොන් හෝ සියදෝරිස් ගැන අමුතුවෙන් වගපල කියන්න හිතන්නේ නැහැ. ( ඌ ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඒකයි ) මම ගැන නම් ඉතින්..... හොඳමයි අහන්න ලැබුනේ පින්වතුනි!

මේ මුල් හඳුන්වාදීම 
මේ සියදෝරිස් ගේ කතා 1 , කතා 2

මම ඔය කම්පැනි එකට එනකොට අපේ සයිමොන් හාදයා ඒ කම්පනියේම කොලුගැටයෙක් එක්ක ඇයි හොඳයියක් තිබිලා , අවසානෙදි අපේ සයිමොන්ට හොඳවයින් සපත්තු ජෝඩුවක් දීලා ඌ කම්පැනි එකෙනුත් ගිහින් තිබ්බ. මම ඉතින් තැනකට අලුතෙන් ගියාම ඉබ්බෙක් වගේ ඉන්නවා මිසක් කතාබහ අඩුයි. සපත්තු ජෝඩුව ලැබීමේ ප්‍රීතියෙන් හිටපු සයිමොන්ට ඉතින් හුලන් ගැහුවේ ඉතින් අපේ සියදෝරිස් තමයි. ඌත් අර බස්සිගේ දුකා වගේ තමයි. දුකක් කොතනද, ඌ එතන!

ඔන්න ඒ අතරේ අපේ සයිමොන්ට ගෙදරින් මගුල් තුලා එහෙම හොයන්න ගත්තේ මුගේ අන්දොස් ගතිය දුරින් දුරු වෙන්න තියෙන එකම ප්‍රතිකර්මේ මූව කාගේ හරි ඇඟේ එල්ලන එක බව එක පයින්ම වැටහුණු නිසා. පතෝල කරලට කරවිල වැල එතුනා වගේ ඉන්න මූට අහුවෙන එකා ගැන අපිටත් නිකන් කොස්සක් වගේ හිතුනත්, සුදු කෙල්ලන් හොයන උන් නිසා ඉතින් බයක් වෙන්න දෙයක් තිබ්බෙත් නැහැ. සර්කිට් එක අවුල් උනත් උගේ මුණ සුදුයි!



යසට වැඩකරන දවස් පහේ මෙහෙ බෝඩිමේ නම්බුකාර විදියට ඇඩ් එක දාන සයිමොන්, සති අන්තේ තියෙන කිළුටු රෙදි ටිකත් බඩ බැඳගෙන ගම්බිම් බලා පිටත් වෙන්නේ බූල් බාන්න ගෙනියන බැටළුවෙක් වගේ.

ඔහොම ගෙදර යන මූට ඉතින් අතරමගදී උනත් විවේකයක් ලැබෙන හැම වෙලේම ඇඩ් එක දාල 'ජබුං' කියල දියට පනින්න අමතක කරන්නේ නැහැ. කොටින්ම එක දවසක් මේකි බස් එකේ වාඩිවෙලා ටික වෙලාවකින් ඌ ගාව ඇවිත් හැන්ඩි කොල්ලෙක් වාඩිවෙලා.

බෝඩිම් වල ජිවත් වෙච්ච සත්තු දන්නවා ඇතිනේ අපි කොහොමද බස්වල ගෙදර යන්නේ කියල? යනකොට යන්නේ හරියට නන්දිකඩාල් කලපුවෙන් සියල්ල පොදිබැඳගෙන පිටත් වෙච්ච සරණාගතයෙක් වගේ, තඩිම තඩි බැක්පැක් එකක් පිටේ දාගෙන. ( අනිත් උන් නම් මන්ද, මම නම් ඉස්සර එහෙමයි) ඒ බැක්පැක් එකේ වැඩිපුරම තියෙන්නේ අතේ සෝදන්න බැරි බෙඩ්ෂිට් වගේ දේවල්. ඒවත් කිළුටු වෙච්ච.

මම නම් ඉස්සර ඒවා ගෙනියන්නේ නැහැ. මගේ බැක්පැක් එක ඇත්තටම යනකොට පුළුන් රොදක් වගේ සැහැල්ලුයි. එනකොට තමයි බත්ගෙඩි සහ නොයෙකුත් ජාති නිසා ලොරියක බර දැනෙන්නේ. එක පාරක් මම ඔහොම තඩි බෑග් එකත් එක්ක, ලොම්බ විකන ෆැෂන් සපත්තු දෙකක් දාල, ඒ මදිවට ටයිට් සායක් ඇඳල දිව්වා නේද නුවර - කොළඹ කෝච්චියට, නුවර ප්‍රධාන ස්ටේෂන් එකේ අප්පා මේ වික්‍රමය උනේ !! ( පස්සේ දවසක කියන්නම්)  එදා තමයි දවස... මගේ රන් එක තමයි රන් එක... වෙලාවට ඒ දවස් වල ඔය යූ රිපෝටර් ලා හිටියේ නැත්තේ. නැත්තම් මමත් බුකියේ සැලකියයුතු ප්‍රසිද්ධියක් උසුලන්ට ඉඩ තිබ්බ.

ඔන්න ඉතින් අපේ සයිමොන් ළමයත් උදේ පාන්දර යන නිසා කිළුටු රෙදි ටිකත් ගුලියක් වගේ බෑග් එකට ඔබාගෙන තමයි නැගලා තිබ්බේ. දැන් ඉතින් කොන්දොස්තර ඇවිත් ටිකට් ගන්න. මූ ඉතින් ගාම්භීර විදියට හිටියලු දැන් ඉතින් යහපත් බිරිඳකගේ ලක්ෂණ අර කොල්ලට පෙන්නුම්  නියාවෙන්. බස් එකට ටිකට් ගන්න හදනකොට මතක් වෙලා පර්ස් එක වැඩි ආරක්ෂාවට කියල බෑග් එකේ ඇතුලෙම පොකට් එකට දැම්ම කියල. මිනිහා දැන් බෑග් එක ඇතුලටම අත දාල යටින්ම පර්ස් එක ඇදල අරගෙන , ඒකෙන් සල්ලි දුන්නලු. කොල්ලත් යන්තමට බැලුව නිසා දැන් මූ මාර කික් එකේ බම්ප් වෙවී ඉඳල. බෑග් එක වහල ලොකු සීන් එක දෙන්න කවුළුවෙන් එපිට අනන්තය හොය හොයා ඉන්නකොට.... ඔන්න සයිමොන්ගේ දකුණු අතට පොඩි තට්ටුවක් ආවලු. මූට දැන් ෂුවර් මේ අර කොල්ල තමයි කතා කරන්නේ කියල. මූ මුගේ 'ලස්.........ස්....... ස්........ ස්....... ස්......... සනම' හිනාවත් එක්ක පොඩ්ඩක් හැරිලා බලල. කොල්ල මුගේ දිහා බලල මුගේම ඔඩොක්කුවේ මොකද්දෝ පෙන්නුවලු.. බැලුවාලු.... සහෝදරවරුනි.... කුමක්ද දන්නවද? මුගේ බෑග් එක හාරනකොට එලියට ඇදිල ආපු යට ඇඳුමක් තිබ්බලු දිලිසි දිලිසි උගේ ඔඩොක්කුවේ!! ඉතිරි ටික උගෙන්ම අහගන්න එක හොඳයි.... ඔන්න උගේ ගෙදර යන අතුරු කතා වල තරම!

දැන් ඔය වගේ අටෝරාෂියක් සිද්ධිත් සමඟ සයිමොන් සති අන්තේ යනවා ගෙදර. ඒ යන්නේ වෙන මොකවත් නෙවෙයි, මනමාලයෝ එනවලු ඌව බලන්න. ( ඇත්තටම ඔය මනමාලයෝ තිඅ ගෙන්නගන්න තිබ්බේ මුගේ ඔෆිස් එකට. උන්ට සත්‍ය වැටහෙන්නේ එතකොටයි. මොකද උගේ යථා ස්වභාවය දකින්නේ අපි. ඌ පෙන්නන පිචෑර් තිබ්බෙත් එහෙ... )

සපත්තු ජෝඩුවක් ලැබුන නිසා අපිත් ඉතින් ඌට ලොකු සපෝර්ට් එක දුන්න තව එකෙක්ව රවට්ටන්න. ඕකට වැඩිපුරම සම්මාදන් උනේ කවදාවත් කොල්ලෙක් එක්ක යාලුවෙන්න හිතන්නේ වත් නැති උන්. කොටින්ම මමයි සියදෝරිස් ගොය්යයි! ඉතින් හරියයිද සහෝදරවරුනි? මොකද නැත්තේ?

ඔන්න එක දවසක් මු ආව මුණ නිකන් උණුවතුර වක්කරපු තණකොළ ගොල්ල වගේ. ආපු ගමන් මාව පැත්තකට කරගෙන කිව්වා
"මේ... ඔයා අර ______ කම්පැනි එකේ කට්ටියව දන්නවා නේද ?"

මට ඉතින් උලෙත් පිලෙත් යාළුවො. ( දැක්කද 'ප' යන්න?) අනිවා මම නොදන්නවාද ඒ කොම්පැනි එකේ..

"මොකද්ද... කවුද?"
"මේ මට ප්‍රපෝසල් එකක් ආව එහෙ වැඩකරන එකෙක්ගෙන්.."

ඊට පස්සේ විස්තරේ... අනේ මන්ද කොහොම විස්තර කරන්නද කියල. මූ කැමතිම නැහැ. කොටින්ම මටත් ඒ මනුස්සය අල්ලන්නේ නැහැ. ඒ උනාට මට නෙවෙයිනේ බොලේ කසාදෙ. අහිංසක හාදයෙක්. ඒ උනාට අර මමා ටයිප් ලද බොළඳ එකෙක්. මේ වගේ නස්පුක් එකෙක්ට හරි යයිද ඒ වගේ එකෙක්? ( අනේ මන්ද ඔය කේන්දර නම්....)

මු දැන් හොටු පෙරන් අඬනවා බැහැ කියල, අපිත් ඉතින් සවාන් කන එකා දිහා බලන් ඉන්න සිංහල බෞද්ධයා වගේ ගල්භිත වෙලා ඉන්නවා. මට එකපාරටම හිතුනේ මූ අඬන්නේ මොකද, ඇයි ඌ උස්සන් යනවා කිව්වද කියල. ඒ උගේ හැටි. ඌට කොහොමත් මොකක් හරි දෙයක් ඕනේ පොප් කෝන් එක වගේ උද පැන පැන ඉන්න. එක්කෝ සතුටක්, එක්කෝ දුකක්.

ඔහොම ඔහොම දැන් මනමාලයොන්ට කන්ඩ දීල මුගේ හත්මුතු පරම්පරාවේ දේපල ටික නැති නාස්ති වෙලා යන්ට කලින් එකෙක්ට කැමති වෙයන් කියල මම තර්ජනේ කලේ හැම සඳුදාම මු මොකක් හරි ගොබිලෙක් ඌ කුදලන් යන්න ආව වගේ විලාප දීගෙන වැඩට එන එක උහුලගන්න බැරුව. ඒ උනාට අර සියදෝරිස් නම් ඉතින් '.. අනේ ඉතින් සයිමොන් නගේ... අනේ ඉතින් මොකක් කරන්නද නගේ...' කියා කියා මේ කාලේ හිට් වෙන ජාතියේ සින්දු කිය කියා හිටිය.

එකෝමත් එක දවසක මූ වැඩට ආව, මුහු.. කිසි සද්දයක් නැහැ. අපිත් ඉතින් පොඩ්ඩක් වට කරලා ඇහුව. ( ඔෆිස් වල වැඩ නම් කොයි වෙලේ කරගන්න බැරිද.. නැද්ද?) බලනකොට එකෙක්ට කැමති වෙලා 'වගේ' වගේ එකක්. කොහොමද ඇහුවම 'අවුලක් නැහැ.. වරදක් නැහැ... සාමාන්‍යයි ' කිව්වා. අපිත් ඉතින් හා එහෙමද කියල ඇහුව. අකවුන්ටන්ට් කෙනෙක් කිව්වා. අනේ වාසනාවන්! මුගේ හැටියට ගණන් හිලව් බලන එකක් මිසක් වෙන එකෙක් හරියන්නේ නැහැ.



ඔන්න ඔහොම ගිහින් එක දවසක් මූ ඇඳගෙන ආව ලා තණකොළ පෙත්තාස් එකේ සින්දු කියන ගෑනු දැරිවි වගේ ඇඳුමක්. ඒ කියන්නේ බේබි කොලර් දාල, මල් මල් ගවුමේ ඉනට බෙල්ට් එකක් දාල. ඒ මදිවට වෙනදට U අකුර නොපිට ගැහුවා වගේ තියෙන කට, පළල් වෙලා U හැඩේ වෙලා , ඒ විතරක්ද දත් ඇන්ද කොයි වෙලෙත් එළියේ. අපේ බොසාගේ තරම දන්නා නිසා මම කිව්වා ඔය දත් වහල්ල වැහෙන්න බොරු රැව්ලක් හරි දාගෙන හිටු කියල. අපේ බොසාට පේන්න බැරි දෙයක් තමයි අපි සතුටින් ඉන්න එක. මම ඌ ගැන ලියලත් ඇති. හවස් වෙනකොට උගේ කුලප්පුව වැඩි උනා. ඊට පස්සේ කිව්වනේ නාගසාකි වලට බෝම්බ දානවා වගේ පුවතක්.

"අද අරය එනවා කිව්වා.... ඔයාලත් එන්න ඈ "

අපි දෙන්න ( මමයි, සියදෝරිසුයි) අප්පච්චිට නොමිනේෂන් දෙන්නේ නැහැ කියල රාජිත කියනවා අහගෙන හිටිය බය්යෝ දෙන්න වගේ බය උනා. ඔහොමත් කරනවද යාළුවන්ට ඈ ? ඔහොම මනුස්සයෙක් එන තැනකට පිළිවෙලකට යන්න එපාද? අපි කළුද? ( සොලි.. අපි කොටද? සොලි... අපි උසද?) මුට වටිනවද ඔහොම කියන්න පෙර දැනුම් දීමක් නැතුව. අන්තිමට අපි දෙන්නගේ මේ විගඩම දැකල ඌ කිව්වා

"යකුනේ.. එකා බඳින්න හදන්නේ මාව... උඹලව නෙවෙයි" කියල. ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ...



ඉතිරි ටික පසුවට 

35 comments:

  1. මේක කියෙව්වම මතක් උනේ. මගේ වයිපරෙත් ඉස් ඉස්සෙල්ලම මාව හම්බ වෙන්න ආවේ ඔෆිස් ඒකෙ යාලුවෙක් එක්ක.. මේ වගේම විගඩම් කරලා එන්න ඇති එදත්..

    බලමුකෝ ඉතුරු ටිකත්. . .

    ReplyDelete
    Replies
    1. පිස්සු නම් කරන්න හදන්න එපා හරිද? ඒ කාලේ කරපුව කියනවද දැන්? අපෝ චීය

      Delete
  2. ඔෆීස් වල වැඩ නම් ඉතින් කවද කර ගන්න බැරිද? කියහන් කියහන් ඉතුරු ටිකත් ඉක්කණට.. ඉළ ඇදෙන්නේ උඹේ උපමා තේරුං ගන්න ගිහින්.. හැක්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..... ඔෆිස් වැඩේ කරන්නේ වෙන වැඩක් නොතිබ්බොත්.. හෙහ්.. මගේ උපමා නේද? මේවා හිටිවන උපමා

      Delete
  3. අඩේ උඹේ උපමා! හයියෝ //සවාන් කන එකා දිහා බලන් ඉන්න සිංහල බෞද්ධයා වගේ // හිනාවෙලා මැරෙනව යකෝ මෙහෙම ගියොත්.

    ReplyDelete
    Replies
    1. හැයි ? මොකද්ද ඒ උපමාවේ තියෙන ජෝක් එක? මේවා ජෝක් නෙවෙයි හරිද...

      Delete
  4. එල ද බ්‍රා මචං..
    බඩත් රිදෙනවා හිනාවෙලා

    ReplyDelete
    Replies
    1. දැම්ම බඩට එක්සසයිස් කරන්න පටන් ගන්න. මම මේ පෝස්ටු ලිවිල්ලෙන් දැන් බලන්න රටක මොන තරම් සේවයක්ද වෙන්නේ කියල.. බඩ වැඩි අය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකරනවා

      Delete
  5. දැං ඔය දෙන්නත් ගිහිං එතැන්ට වෙලා “හිචි බිචි“ ගගා උන්නද?

    ඔය කෙල්ලො කරන මැටි වැඩක් තමා තමුංගෙ කොල්ලව පෙන්නන්න යාලුවංව එක්කං යන එක. බැරි වෙලාවත් යාලුවො දෙන්න ගෙං එකෙක් හොඳා මේ උරචක්කරේට වඩා කියල කොල්ලට හිතුනොත් සුවර් සොට් අරකිගෙ පෝන්නෙකෙං බොලාගෙ අංක තහඩුවත් අරං වග විස්තරත් අහං අන්තිමට මනමාලිට තියයි ආපහු මදි නොකියන සපත්තුවක් පොලිස් කරලම.

    අනුංට කොල්ලො සෙට් කරකර හිටාල්ල. තමුන්ට කියල අතිං අල්ලෝගන්න, මූන ඉඹෝගන්න, අර කියන්න ලැජ්ජ හිතෙන වචනෙ කියෝගන්න, අයිස්කිරිංවල බාගෙ කවෝගන්න, බයිසිකලේක තියෝගෙන ගෙම්බ ගහ බදාගත්ත වගේ පිටේ නැගල පස්ස නොම්මර තහඩුවට තරං දිගට දික් කරගෙන යන්න, මල්වතුවල මල් බලන්න යන්න, පරානකාරයෙක් හොයාගන්න එපා.

    ReplyDelete
    Replies
    1. තූ නොදකින්......
      උඹ වගේ "ස්ට්‍රටජික් ප්ලෑන් " කොටින්ට දීපු එවුන් නිසා තමා මේ යුද්දෙත් මෙච්චර ඇදුනේ :D

      Delete
    2. හෙ..හෙ..උපේක්ශගෙ පොස්ට් එකටම හරියන බොලාගෙ කමෙන්ට් එක. '' බයිසිකලේක තියෝගෙන ගෙම්බ ගහ බදාගත්ත වගේ පිටේ නැගල පස්ස නොම්මර තහඩුවට තරං දිගට දික් කරගෙන යන්න''. මරු.

      Delete
    3. ශ්‍රංග : මොන හිචි බිචිද.. බලන්නකෝ කියෝලා ඉතිරි ටික.
      අර වෙන එකෙක් සෙට් වෙන එක නම් අනේ මන්ද අපිට ඔය ලොජික් වැඩ කරන්නේ නැහැ ගොය්යෝ. අපේ සයිමොන්ට සපත්තු දීලා කොහෙද බන් අපිට යහතින් ඉන්න කියලද? ඕකී එනවා පෙරේතියක් වෙලා හරි, මැරෙන මොහොතේත් මතක් කරයි. අනිත් එක කැලෑ වැද්දෝ වගේ ඉන්න අපි දෙන්න වගේද සයිමොන්. සර්කිට් එක අවුල් උනත් සුදුයි. කොල්ලෝ බලන්නේ බඳිනකොට ඒවා තමයි. නැත්තම් මම වගේ යහපත් ගතිගුණ හොයනවද? කෝ නෑනේ?

      අනුන්ට සෙට් කිරිල්ල නම් අනේ මන්ද. ඔය අපි සෙට් කරලා දීපු එකක්යැ. ගෙදරින් මාට්ටු කරපු එකක්නේ. මම දැන් යාලුවන්ගෙන් බ්ලැක් ලිස්ට් වෙලා ඉන්නේ, කොල්ලෝ බනිනවා කෙල්ලෝ සෙට් කරන්නේ නැහැ කියල. කෙල්ලෝ බනිනවා කොල්ලෝ සෙට් කරන්නේ නැහැ කියල. අම්මප මේවා ඔක්කොම කොහොමද යකුනේ තනි මම කරන්නේ හැබෑට?

      Delete
    4. ඩිලාන් : හෙහ්.. අනේද කියන්නේ.... දිය යටින් කුණු කරෝලත් ගෙනියයි මේ ශ්‍රංග

      Delete
    5. ලලිත් : අපෝ මට පේන්න බෑ ඔය බයික් එකේ පිටිපස්සේ යන එක. අපේ අය්යත් එක්ක ගිහිල්ල මට ඕක නයාට පේරකොල වගේ වෙලා

      Delete
  6. අනේ මේ ට්‍රේන් එකේ යන ගමන්.. මෙච්චර හිනා වෙන්න බෑ යකො... වටේ ඉන්න උන් හිතනවා ඇති පිස්සු කියලා... ඒ මදිවට සුරන්ගයා දාලා තියෙන කමෙන්ට් එකට හිනාව ඩබල් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ට්‍රේන් නේද යනවා කිව්වේ? අපෝ ට්‍රේන් වල නම් හිනා නෙවෙයි හතර හිනා උනත් මාව නම් පේන්නේ නැහැ. මොකද වැඩි දෙනෙක්ගේ ඉන කොටසින් තමයි මගේ මුණ කොටස ඉවර වෙන්නේ. උන්ට මම මොකක් කිව්වත් ඇහෙන්නෙත් නැහැ. කොටින්ම මම නම් හුස්ම ගන්නේ ඔලුව උඩට හරොල.

      ශ්‍රංග ඉතින් දස්සය. ඒ වගේම යස්සය

      Delete
    2. කැන්ඩි කුමාරි , ට්‍රේන් ඒකෙ යද්දී ඔක්සිජන් ටැන්කියක්වත් බැදගෙන යන්න. නැත්නම් මිනිස්සුන්ගේ දාඩිය ගදේ හුස්ම හිරවෙලා සෙට්ටපොච්චි වෙයි. වැටෙන්න ගියොත් නම් මෙයා කාගේ හරි කකුලක් බදාගෙන ඉදි. ඒ මනුස්පය ගෙදර ගියාම තම දකින්නෙ කකුලේ කව්ද එල්ලිලා ඉන්නවා කියල . හික් හික්

      Delete
    3. මගේ ට්‍රේන් යන විදිය ඇහුවොත්... අය්යෝ.. වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා ඒ අබග්ගේ!
      ආයෙත් අහල, කාගේ හරි කකුලක් උනත් කමක් නෑ , අහු උනොත් ඉතින් ඌ ඉවරයි

      Delete
  7. යකෝ මමත් හාමිනේගෙ ඔෆිස් එකට ගිය දවසෙ සැරින් සැරේ එක එකා ඇවිත් බලල කිචි බිචි ගගා යනව , මාත් නිකං ඒරියා 51 එකට වැටුන ඒලියන් කෙනෙක් වගේ ඉද්දි ,එයාගෙ බොසී තමයි අවසාන පරීක්ශනේ තියල සැටිපිකට් එක දුන්නෙ.
    උඹේ කතා ඔෆිස් රූම් එකෙන් පිට ඉදල කියෙවුවොත් තනියම හිනාවෙන පිස්සෙක් කියල හිතයි. මේක අපේ හාමිනේට හරියන පෝස්ට් එකක් උන්දැට පෙන්නන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. එවන් දුර්බල අවස්තාවල කට්ටිය “අප්පච්චි බලන්න මැදමුලනෙ යනව“ වගේ එනව, යනව. යමිං ගමං හැරිල බලනව, හොරෙං බලනව.

      ඒ එක්කොමත් හරි. දුර ඉදං බලං ඉඳල ළඟ ඉන්න එකෙට්ට “කුටු කුටු“ කියල මොනවද කියල “හිචිස්“ ගාල හිනා වෙනව නේද. ආං එතකොට තමා අතේ තියෙන එහෙකිං දමල අනින්න හිතෙන්නෙ කට රොසැල් වෙන්න. ඒක හිංද ගෙදර උන්දැට සස්සාව නැති නොකර ඒ ඔපීසියට නොයා පාරෙ බස්හෝල්ටෙකේ හිටින එක සැපයි. හා නැද්ද?

      Delete
    2. Kammala: බුදු අම්මේ.. ෂුවර් ද ඔයා එදා ගියේ කොම්පැනියකට කියල? පුදුම ඉන්ටවිව් ප්‍රොසෙස් එකක්නේ. බොසාත් ඉන්ටවිව් කරලා නොවැ. දැන් ඉතින් එයාට වරදක් කියන්න බහ ඔයාගේ කොහොමත්. මොකද ඔතරම් ඉන්ටවිව් තියලත් බඳවාගැනීම අවුල් කියන්න බැහැනේ. නැද්ද?

      පෙන්නමු පෙන්නමු... මාව නොදන්නා කෙනෙක් කියල හිතනවා ( දනිස් පොල්කටු එකට ගැටෙමින්)

      Delete
    3. ශ්‍රංග : උඹව නම් ඔෆිස් තියා ඔෆිස් හතර මායිමකට වැද්දගන්න නාකයි. උඹ අපේ ඔෆිස් එකට ආව නම් පුතෝ මම අපේ බොසාගේ මුනටම මුනගස්සනවා. ඔයාගේ ජිවිත පොත අලුතෙන් ලියන්න හැකිවෙනවා එතකොට. ඕ යේස්

      Delete
  8. අයියෝ මටනම් රයිහම හන්දියෙන් වෙන පැත්තකට යන්න වේවි වගේ,

    ReplyDelete
    Replies
    1. අප්පා... මෙන්න කොමෙන්ටුවක් 'වැටිලා' දැන් හන්දියේ කොලෑ වෙලා කියලද කියන්නේ? හන්දියේ ඉන්න ත්‍රී විල් එකකින් අහලවත් එහෙනම් දැන් පාර හොයාගන්න වෙයි.

      Delete
  9. කොහෙන්ද බන් උඹටයි සුරන්ගටයි මේ වගේ උපමා උපමේය පහල වෙන්නේ.? බොලාගෙ අර කවිද මොනවද මන්ද ඇර අනිත් ඔක්කොම කියවල තිබුනත් , මේක තමයි දෙවෙනි කමෙන්ට් එක. සිංහල කොටන්න නොදෑන හිටියේ.. මේ පරදේසක්කාරයොත් එක්ක ඉන්නකොට කාගෙන් අහගන්නද බන්. හෙහ්.. දෑන් දෙන්නම් ජම්බු..ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ආන්න සත්තරන් වටිනා කෙනෙක්නෙ ඔයා. මගේ කවි දැක්කම ආඳා වගේ යනවා කියන්නේ... හෙහ් හෙහ්...

      Delete
  10. හිනා වෙලා වැඩි කමට කඳුළුත් එනවා....

    කෝච්චියේ කතාවත් ඉක්මනට කියන්ඩ ඈ... ඔෆීස් වල වැඩ නම් ඉතින් කවද කර ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කෝච්චිය?? එහෙම කතාවක් කිව්වද?? මගේ ඔලුවට වෙරළු ගෙඩියක් වැටුන, මතක නැහැ දැන්. ඔෆිස් වැඩ නේද? අනේ ඔව්...

      Delete
    2. සොරි ඈ ... මතක් උනා.. මගේ අර ඇති බිහිසුණු ක්‍රියාදාම චිත්තරපටියේ එන කොටස නේද? කියන්නම්කො වෙලාවක..

      Delete
    3. ඔව් ඔව්... ඒ චිත්තරපටියේ කොටස තමයි.. :D

      Delete
    4. බලමු බලමු.. අපේ රවීට කියල ඕකට හොඳ මාතෘකාවක් දාගන්න ඕනේ..

      Delete
  11. සභාවෙන් අවසරයි.

    නෝනාවරුනි මහත්වරුනි.


    මම මෙතනට පැමිණියේ පාපෝච්චාරණයක් කිරීමටයි. මේක කියවනකොට මට මුලදි හිතුනේ මේ චරිත පිරිමි උන් කියලා. මේ සියදෝරිස්ලා සයිමොංලා පිරිමි කියලා හිතාගෙන පොඩ්ඩක් කියෙව්වොත් මට හිතිච්ච හැටි ඔබලාටත් අද්දකින්න පුලුවන්. මම හිතුනේ (ලැජ්ජාවෙන් ඇඹරෙමින්...) gay සීන් එකක් කියලා.

    මගේ පාපෝච්චාරණය මෙයින් අවසානයි

    අසා සිටි ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියෙ මේ මොන නව නින්ගිරාවක්ද? එකනේ මම කලින් අපි සෙට් එක ගැන ලියපු ඒවගේ ලින්ක් දැම්මේ. ආයේ ආයේ ලියන්න තරම් දෙයක් නැහැ. ඔක්කොටමත් වඩා මට දැන් කනේරු කන්න හිතුනේ අපි කොරන දේවල් ඇහුවම අපි පිරිමියි කියල හිතිල්ලත්, අනේ ඕයි ගේ කියල හිතෙන්න කුමක්ද අපි කරපු දේ????

      ඩුඩ් , මතකද එක පාරක් මම අර 'විශ්‍රාම ගියපු ප්‍රින්සිපල් ජෝඩුවක්' කියල කිව්වහමත් ඔයාට හිතිලා තිබ්බේ ගේ ජෝඩුවක් කියල...

      මම නිවැරදිකරු ස්වාමිනි!!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...