Tuesday, May 12, 2015

174. හී - ටර්



මම මාරම මාර වැඩ කිසි දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැටමාර වැඩ විතරයි. මට ඒකට හරියන ජාතියෙන්, ඒ ගානට මොළයක් දීල තියෙන නිසා වැඩිය මොලය වෙහෙසන්න මම කොහොමත් උත්සහ කරන්නෙත් නැහැ. මොකද ඒවාට රටේ ලෝකේ කට්ටිය ඕනේ තරම් ඉන්නවා.

අද මම කියන්න යන මේ වැඩේ උනේ මගේ කීර්තිමත් බෝඩින් ජිවිතේ එක නවාතැන්පලක ඉන්න අතරතුරේ. මම හිටිය නුගේගොඩට අද්දර නගරයක බෝඩිමක. අපේ වැදගත්, සුකොමල, ලෝකේ ගැන හසල දැනුමක් තියෙන ( එක ඇනෝ මහත්මයෙක්/මහත්මියක්/ මියක් මට එහෙම තමයි අපේ අක්කණ්ඩි ගැන කිව්වේ) ඒ උනාට හුළඟට ගහක් හෙලඋනත් ගම දෙදරවන අපේ අක්කා එක්ක මම ඒ ගතකරපු අවුරුදු කීපය...... අම්මේ මට නම් කල්පයක් වගේ. මොකද දිනපතාම තකට තක විදියට අපි දෙන්නාම පුදුම දැනුම් සම්භාරයක් තමයි එකතු කරගත්තේ. ඒ බෝඩිමේදී තමයි මේවා උනේ.

120 බස් ගොඩක හෝල්ට් කීපයක් යාම
සාර්ථක ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණයක් සිදුකිරීම
යාළු ගම් යාම

ඔය ඔක්කොම නෙවෙයි. ඒ තියෙන්නේ ලියාගන්න පුළුවන් වෙච්ච එව්වා.




අද ලියන්න යන්නේ මම කරපු ටිකාක් විතර , හුඟාක් නැති වැටමාර වැඩක් ගැන. මිට සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඒක මම කතාව ඉවර වෙලා කියන්නම්.

ඔන්න එකෝමත් එක සුන්දර දවසක.....



ඒ කියන්නේ සුපුරුදු විදියට මම පන දාගෙන කැම්පස් වැඩ වලට ඔට්ටු වෙනකොට, අපේ අක්කා ගමේ ගිහින් සුවෙන් ගතකරන සති අන්තයක් ආව.

අම්මප එහෙම දවස් වලට මම හරියට අහස් කූර වගේ කොයි වෙලෙත් 'සුස්' ගගා පත්තු වේවි ඉන්නේ. එහෙම දවස් වලට බෝඩිමේ අනිත් උන්දලා මට හරි අනුකම්පයි. මොකද මම ඉන්නේ ගෙදර යාගන්න බැරි වෙච්ච සෝකෙන්/තරහින් වෙඩි කාපු ඊරි වගේ පුෂ්ප මංජරිය අතට අරගෙන. එහෙම දවස් වලට මම අනිත් උන්ගේ හිතසුව පිණිස කැම්පස් එකේම පදිංචි වෙලා ඉඳල හවසට මොකක් හරි ජරාවක් කඩෙන් අරගෙන එනවා හරියට කුලීවැඩ කරලා හවස් කොරේ බීලා ගෙදර එන මනුස්සයා වගේ.

මේ කියන දවසේ ඒකත් නැහැ. වැඩේ තිබ්බේ ගෙදර ඉඳන් කරන්න හින්ද මම බෝඩිමේ කාමරේ දොරත් වහගෙන වැඩ කරන්න පටන් ගත්ත. ඉස්සර ඉඳන්ම මට පාඩම් වැඩ කරන්න ගියහම ලොකු වතුර බෝතලයක් ඕනේ කකුල් දෙක ගාව බිමින් තියාගෙන බොන්න. ඕකට ඒ දවස්වල මම පාවිච්චි කලේ ලොකු මෙගා බෝතලයක්. ඔන්න ඉතින් මම බෝතලේ ඉවර වෙනකල් බිබී මේසේ වාදී වෙලා වැඩේ කරන්න පටන් ගත්ත. ඔක්කොම වතුට ටිකත් ඉවර වෙලා. වැඩේ අවසන් කොටසට එනකොට දැන් මට ආයෙත් වතුර ඕනේ. බලනකොට බොන්න වතුරත් නැහැ.

බෝඩින් වල ජිවත්වෙච්ච සත්තු දන්නවා කොහොමද වතුර උණු කරන්නේ කියල අපි. අපිට නම් තිබ්බ ඇලුමිනියම් ජෝග්ගුවකුයි, රතුපාට ප්ලාස්ටික් ජෝග්ගුවකුයි. ඔය ඇලුමිනියම් එකෙන් මට කරන්ට් වදියි කියල මම ඒ දවස්වල මාර බයයි. ඒ හින්ද වතුර උණුකරන්න මම ගන්නෙම අර රතුපාට ප්ලාස්ටික් ජෝග්ගුව. මම ඉතින් ඒ ජෝග්ගුවත් අරගෙන ඔන්න පැන්ට්‍රි ඒරියා එකට ගියා.

එදා සති අන්තයක් හින්ද වැඩිය කට්ටිය හිටියෙත් නැහැ. එක කාමරේක හිටියා ඒ දවස්වල ගිනි කන්නියක්. නෑ නෑ පෙරහැරේ නෙවෙයි... උසාවියේ ගිනිකන්න පුරුදුවෙන එකියක්. මගෙත් එක්ක මාර ෆිට්. අපේ අක්කගේ වයි-ෆයි පොට් එක තමයි එයාගේ කාමරේ. ඒ කියන්නේ ඔක්කොම ඕපාදුප අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කරන්නේ එතැනදී තමයි. පිස්සු කියන්නේ හොඳම එක. එයා ගැන කතා ලියන්න පුළුවන් එලි වෙනකල්. අපි කියමුකෝ එයාට ශානිකා කියල.

ඔන්න මම පැන්ට්‍රි එකෙන් වතුර ගන්න සද්දෙට ශානිකා ඔන්න දොර ඇරියා.

"අම්මේ.. ඔයා ඉන්නවද.. මම හිතුව සුලෝ අක්කත් එක්කම ගෙදර ගිහින් කියල.... " ( සුලෝ කියන්නේ අපේ අක්කගේ නම.. හුහ්... පේනවද ඒකෙත් තියෙන 'ටින් ටොන්' ගතිය?)

කොහොමත් මම බෝඩිමේ ඉන්නකොට සද්දයක් කරන්නෙම නැහැ. ඉන්නවද නැද්ද හොයන්න බැහැ. එහෙම තමයි මම බෝඩිමේ ඉන්නේ. දන්නා උන් තමයි මගේ කට වහන්න තියෙන අමරුවත්, වොලියුම් එකේ තියෙන භයානක කමත් දන්නේ.

"නෑ අනේ වැඩ.... දැන් නම් ගොඩක් ඉවරයි. අක්ක විතරයි ගමේ ගියේ"

මම ටැප් එකෙන් වතුර පුරෝන ගමන් කිව්වා.

"මේ එනවකො මම බඩ්ඩක් කියන්න.... මාරු වැඩක් උනානේ"

කොහොමත් ඔය බඩ්ඩට වෙන්නෙම මරු වැඩ තමයි. ඇත්තටම මරු විකල් වෙන වැඩේ සිද්ද වෙන්නේ ඌ එක්ක හිටපු අනිත් එකාට. ඔය ගිනි කන්න පුරුදු වෙනකොට ඔහොම නම්, ඇත්තටම ගිනි කනකොට කොහොමද කියල හිතගත්තකි.

මම ඉතින් හිටරේ කරේ සාළුවක් වගේ දාගෙන පුරෝපු වතුර ජෝගුව අරගෙන ආයෙමත් හැරුනා.

අපේ කාමරේ තිබ්බේ එයාගේ කාමරේ පහුකරලා යනකොට. ඒ කොරිඩෝවේ දෙපැත්තේ කාමර 5ක් තිබ්බ. ඊට අමතරව තව පොඩි කාමරයක් තිබ්බ, ඒක නිකන් ගබඩා කාමරේ වගේ. අහක දාන පොත් පත්තර, බෝඩිමේ ඇන්ටිගේ ගෙදර කැඩිච්ච ලීබඩු වගේ දේවල් තමයි තිබ්බේ. ඒ කාමරේ අපි සමහර වෙලාවට අයන් කරන්න පාවිච්චි කරනවා. මොන අයන් බෝඩ් ද ඒ කාලේ බෝඩිමේ.. අපි කලේ එතන තිබ්බ ලි කැබිනට්ටුවේ ඝනකම් රෙදි අතුරලා ඇඳුම් මැදපු එකයි. මම කොහොමත් ඇඳුමක් මදින්නේ යහපාලන ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් දෙනවා වගේ තමයි. අක්කගේ සාදර අනුග්‍රහයෙන් මැදගන්න ට්‍රයි එක දානවා කරන්නම දෙයක් නැති උනොත් අයන් එක පෙන්නලා දුවනවා. ඊට අමතරව මල් කඩන අයට එතන කියාපු තැනක්. ඒ වගේම අපි ඉතින් එතන තිබ්බ ප්ලග් පොඉන්ට් එක වතුර රත් කරන්නත් පාවිච්චි කරනවා.

මේ කියන ගබඩා කාමරේ තිබ්බේ අපේ ශානිකා ගේ කාමරේ ඉස්සරහ. ශානිකාගේ ඕපෙ අහන්නත් තියෙන උනන්දුවට මම ඉතින් පුරුදු විදියට ගබඩා කාමරෙන් මගේ වතුර එක හිටරේට ගහලා කැබිනට් එක උඩ තිබ්බ පත්තර ගොඩ උඩ තිබ්බේ වතුර උතුරනකොට හැලෙන එක පත්තර වලට උරණ හින්ද. අපි දෙන්නගේ කසු කුසුව , විකාර වැඩ ටික කොතරම් වෙලාවක් ගියාද කියල මට මතක නැහැ.

ශානිකාගේ කාමරෙන් එලියට ඇවිත් මම අපේ කාමරේට ගියා. එතකොට දැක්ක ඉවර නොකරපු කැම්පස් වැඩේ. ඉතින් මම වාඩි වෙලා ඒ ටිකත් ඉවර කලේ ශානිකාත් එක්ක මම කඩචෝරු කන්න ප්ලෑන් කරගෙන හිටපු නිසා. මම හිතන්නේ පැයක් යනකොට මම ඒකත් ඉවරයක් කරලා , කොරිඩෝව දිගේ ගිහින් බාත්රුම් එකෙන් පදමට වොෂ් පාරකුත් දාගෙන ආව.

ආයෙම කාමරේට ආවම තමයි මට මතක් උනේ 'ඇයි බොලේ මම අපේ අක්කට නොදී කන්න කියල හිතාගෙන ඊයේ එනකොට තඩි මික්ස්චර් එකක් ගෙනාවනේ' කියල... ජොලි හතේ හිනාවක් දාගෙන මම දොරත් ලෝක කරගෙන අර මික්ස්චර් එක කකුලක් උඩ  තියාගෙන කෑවා...

අම්මේ ඒකෙ රස...! ඔක්කොටමත් වඩා අක්කට නොදී තනියෙන් කාපු එකම මදිද? කොහොමත් මම පොරට ගේමක් දෙන්න තමයි හිටියේ. මොකද මම බෝඩිමට බිස්කට් ජාති ගේනවා විතරයි මතක. එව්වා දාන කන්ටේනර් වල තියෙනවා වැඩි මතකයක් නැහැ. කොටින්ම කන්න කියලා ගේන ප්‍රීමා නුඩ්ල්ස් උයලා/තම්බලා කන්න කියල බලනකොට කෝ බොලේ එක රැල්ලක්වත් නැහැනේ !!! බලනකොට බිස්කට් ටික නම් මදෑ , අපේ අක්කා ප්‍රීමා ටිකත් අමුවෙන්ම බර බර ගාල ඇදලා ඇරලා!! ඉතින් ගේමක් දෙන්න කියල හිතාගෙන, ඒකි ගෙදර යන තරහටත් එක්කම මම තඩි මික්ස්චර් පැකට් එකක් ගෙනාව ඊට කලින් දවසේ. අන්න එහෙමයි සිහියෙන් යමක් සැලසුම් කරන්නේ හරිද?

ඔන්න එතකොට ශානිකා ඇවිත් දොරට ගැහුවා. මම ඉතින් කට වටේ එහෙම පිහිදලා දොර ඇරියා.

"යමුද? ගෙහාන්ස් එකේ ඇති මගේ ක්‍රෂ් එකත්"

ශානිකා පත හිනාවක් දාල කිව්වා. ඒ දවස්වල ඔය රෙස්ටුරන්ට් එකෙන් එකක් ගත්තොත් දෙකක් නොමිලේ ක්‍රමයට ආප්ප ලැබුනා. ඒ කියන්නේ අපි ආප්ප 5කට බිල දාගෙන ආවම ආප්ප ඔතල දෙන හාදයා ආප්ප තව දෙක තුනක්ම වැඩිපුර දාල දෙනවා. මටත් වඩා ඔය වැඩේ වෙන්නේ අපේ බෝඩිමේ හිටපු අනිත් කෙල්ලන්ට. අම්මේ උන් මම වගේ ඉඩෝරෙට අහුවෙච්ච මඩ ඌරෙක් වගේ නෙවෙයි.. අම්මා ඉටිකිරිස් කෙල්ලෝ හිටියේ. උන් එක්ක ගියොත් මමත් ඉතින් විසිවෙන මාළු කටු ටිකක් අහුලන් කනවා. ශානිකත් ආයේ නැහැ මාර පෙනුමක් තිබ්බේ. කොත්තුවක් කන්න මම ඇඟිලි ගැන ගැන උන්නේ.

"හරි හරි .. මම එන්නම්.... "

මම එහෙම කියල බොන්න වතුර බෝතලේ බැලුව. චෙක්... ඉවර වෙලා... වතුර රත් කරන්නේ නැතුව තමයි ශානිකා බොන්නේ.. ඒ හින්ද ඉල්ලන්න විදියකුත් නැහැ. මම හිතුව රත්කරල බීලම යන්න ඕනේ කියල, ජෝග්ගුව හෙව්වා කෝ නෑනේ ජෝග්ගුව.... රතුපාට එන නම් නැහැ.. කරන්න දෙයක් නැහැ දැන් අකමැති උනත් ඇලුමිනියම් ජෝග්ගුවටවත් රත්කරගන්නවා කියල හිතාගෙන මම ඇලුමිනියම් එකත් අරගෙන වතුර පුරවන්න පැන්ට්‍රියට ගියා.

යන අතරමගදී මතක් උන හිටරේ.... නෑ නෑ.. හිටරේ කොහෙද කියල හිතුව. සමහර වෙලාවට අපි වතුර රත් කරලා හිටරේ රස්නේ නිවෙන්න ගබඩා කාමරෙන් තියනවා. මම ඉතින් ගබඩා කාමරේට එබිලා බැලුව හිටරේ තියෙනවද කියල.....

බැලුව තමයි.......

හිටරේ.....? තිබුන තමයි....

මගේ කට? වැහුන තමයි....

අම්මට වූඩු.... කිව්වලු.......... මට පෙනුන දේ විස්තර කරන්න නම් තව පොස්ටුවක් ලියන්න වෙයි. ඒ හින්ද මම කෙටියෙන් කිව්වොත්..... මගේ රතුපාට ජෝග්ගුව එක්ක එකටම උනුවෙලා ගියපු හිටරේ පත්තර ගොඩ උඩ අඟල් පහක හයක විතර ගින්නක් ඇතිකරලා තිබ්බ. යන්තමට වගේ පත්තර ගොඩ ඇවිලිගෙන ඇවිත්.....

මට උන්හිටි තැන් අමතක වෙලා ශානිකාවත් පෙරලගෙන දුවගෙන ගිහින් සින්ක් එකෙන් වතුර පුරෝගෙන දුවගෙන ආවේ අවුරුදු උත්සවේ වතුර පුරවන තරඟයක් වගේ. ගෙනාපු වතුර එක ගහපු ගමන් 'චාස්....' ගාල මහා සද්දයක් එක්ක ගින්න යන්තම් අඩුවෙලා ගියත් ලොකු දුමකින් කාමරේ වැහුනා.

"නෑ ශානිකා... මගේ ජෝග්ගුව උණු වෙලා"

මගේ අමුතු කඩි  කුලප්පුව  ගැන අහපු ශානිකාට මම දුන්නේ ඒ උත්තරේ. ඇයි බොරුද?




ප.ලි.
මේ වගේ කතා මේක විතරයි කියල රැවටෙන්න එපා සහෝදරවරුනි.....

මේ විදියටම මට පෙර එක දවසකත් හිටරයක් මේ අකාරයටම මතක බැරි වෙලා ගියා... එදත් අහු උනේ නැහැ....

හැබැයි පුතෝ ඉටිපන්දම එක්ක නම් මම බඩුත් එක්කම මාට්ටු උනා..

29 comments:

  1. ඒකට හිනා ගියේ නෑනෙ... වෙඩි කාපු ඊරිලු , අහස් කූරලු , වැටමාරලු මේකෙන් මොකක් කියන්නද මන්ද

    ඔය කතාව කිව්වම මතක් උනේ. ගිය ඉරිදා ගෙදර් කට්ටිය එක්ක ගියා පොඩි ගමනක්. ගිහින් පැයකට විතර පස්සේ තමයි වය්පරේට මතක් උනේ පොඩි එකාගේ බත් එක ගෑස් ලිපේ කියල. විද්දෙ නැතෑ ආපහු ගෙදරට. දෙය්යන්ගේ පිහිටෙන් බත් ටික අගුරු වෙලා දිලිසි දිලිසි තිබ්බ සාස්පාන නන්ස්ටික් එක වගේ කට්ට කළු වෙලා විතරයි තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. ලිව්වේ නම් හිනායන්න නොවේ.... හිනාවෙන්න බැරි බරපතල වැඩක් කියල තේරෙනවා නොවැ ?

      ඔය ගෑස්ලිප් වල බත් කරවෙන එව්වා නේද? හ්ම්ම් හ්ම්ම්ම් මතකත් නැහැ දැන් නම් ගණන් කරන එක දැන් අතෑරලා.. හි.. හි...

      Delete
  2. කරන්ට් එකත් එක්ක ගිනිගන්න තැන් වලට වතුර ගහන්න හොඳ නෑ චාස් ගාලා නෙමේ චෝස් ගාලාවත්.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒ වෙලාවේ මතක් උනේ නැහැනේ ඉතින්. ගින්න අඩුඋනා මිසක් නිවුණේ නැහැ.

      Delete
  3. අප්පට සිරි කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ ...... අනේ ඉතින් මේ වගේ හොඳ සිහිකල්පනාව තියෙන ළමයින් අහු වෙන එකාට එතින් අබම සරණයි

    ReplyDelete
    Replies
    1. හි.. හි... අනේ ඔව්... අපේ අම්මත් කියනවා..

      Delete
  4. ගිණිගන්න හීටරේට වතුර ගහන්නෙ......ඉන්ජිනේරු නේද දෙයියනේ ......ඕක තමයි මේ රටේ අධ්‍යාපනයවලපල්ලෙ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ. ඒ වෙලාවේ මතක් උනේ නැහැනේ එහෙම එකක්. රටේ අජ්ජාපනේ නේද? ඒක කොහොමත් වලපල්ලේ තියෙන්නේ. අජ්ජාපනේ පිහිටෙන් තමයි මම ඕක අහුවෙන්න නොදී ගොඩදාගත්තේ. හි.. හි..

      Delete
  5. කෙල්ලෝ කලොත් වැඩක් ඉතින් ඔහොමමයි කියලා ඔය සමහරු කියන කතාව ඇත්ත තමයි වගේ බලාගෙන යද්දී.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ කලොත් වැඩක්... මෙන මෙහෙම තමයි. ඒ කියන්නේ රට ගිනි තියල මුකුත් උනේ නැහැ වගේ ඉන්නවා. ගින්නට පිදුරු දානවා... අන්න එහෙමයි.. හි.. හි..

      Delete
  6. වාසනාවන්... ද්යියනේ කියලා ගේම ගිනිගන්න තිබ්බේ ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඉවාන් ගේ ඇතුලේ උන්නා නම් මම ඔය ගින්න නිවන්නේ නැතුවම යනවා කඩචෝරු කන්න. අම්මප

      Delete
  7. හම්මෝ! හරිම භයානක ජිවිතයක්!

    ReplyDelete
    Replies
    1. කෝ කවුද එහෙම කියන්නේ??? අපි භයානක නැහැ හරිද ඇති භයංකර මිසක්!

      Delete
  8. යකෝ 'විදුලි ගිනි' වලට වතුර ගහල නිවන්නෙ නැතෝ.. වෙලාවට උඹට කරන්ට් වැදුනේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. එකනේ බොලේ මට මතක බැරි උනානේ ඒක....

      මම හොඳයි ඔතන උන්නු අනිත් උන්ට වඩා... එකපාරක් පැන්ට්‍රියේ තිබ්බ ගෑස් එකක් පෙරලිලා ගෑස් ලීක් වෙනවා 'ෂු...' ගාන සද්දෙන්. එදා කරන්ට් එක තිබ්බෙත් නැහැ. අපේ එකියක් පණ්ඩිතයා වගේ ඉටිපන්දමක් පත්තුකරගෙන පැන්ට්‍රියට දුවනවා ඒක බලන්න. බොහොම අමාරුවෙන් තමයි පොලිස් මුරපොලක් දාල අල්ලාගත්තේ. නැත්තම් හොඳවයින් කරවෙන්න තිබ්බ.

      මට දෙස් දෙවොල් තියන්න හැමෝම එකෙක් ඇහුවද ඔතරම් දෙයක් වෙනකල් ගෙදර ට්‍රිප් එක පොල් ගෑවද කියල?

      Delete
  9. අනේ ෙබාට කරන්ට් වැදුණ නං
    අර බෝම්බෙට අහුවෙච්ච ටොම් පූස වගේ ඉදියි නේද
    මට මැවිල පේනව

    ReplyDelete
    Replies
    1. මම මොකක් නැතත් කරන්ට් එකට පොඩ්ඩක් විතර බයයි. ඈ බොල .. මට කරන්ට් වැදෙනකල්ද බලන් ඉන්නේ?? හි හි... මට නම් මතක් වෙන්නේ අර රෝඩ් රනර් එකේ ඉන්න අහිංසක නරියව.

      Delete
  10. මට හිතෙන්නෙ ඔය විදියට ලයිට් එකක් උනත් වතුර ගහල නිවන්න බැරිකමක් නැ කියල......මං මෝඩයිද මන්ද...

    ReplyDelete
    Replies
    1. හි.. හි... ඔයාට කියන්න මෙයා.. මම එහෙමත් නිවල තියෙනවා... හි.. හි.. මෙව්වා කියල මට රට්ටු මොනවා නොකියයිද මන්ද. මම එකපාරක් බාත්රුම් එකේ උඩින්ම හයිකරලා තිබ්බ බල්බ් එකකට වතුර ගහලා අප්පටසිරි එකපාරටම 'ටෝහ්' ගාල බල්බ් එක පිපිරුණා නේ! අම්මලට කිව්වා ෂවර් එකෙන් වතුර විසිඋනා කියල. එක අහලා අපේ අප්පච්චි කිව්වේ මෙච්චරයි

      "ෂවර් එකෙන් ඔච්චර උඩට වතුර විසිවෙනවා නම් පුතා, මම මිට පස්සේ ඔයාට නාගන්න බිමින් එකක් හයිකරන්නම්"

      Delete
  11. වතුර ගැහිල්ල ගැන කට්ටිය බැනලා තියෙන නිසා මොකුත් නොකියා ඉන්නං. ඇත්තෙන්ම ආරක්ෂිතම දේ කෙට්ල් ජග් එක. ඒක ඉබේම ඕෆ් වෙන නිසා. ඊ ලඟට විස්ලිං කෙට්ල් එක. නමුත් කණ ඇහෙනවා අඩු නම් ඒකෙන් වැඩකුත් නෑ. ඔය ඉමර්ෂන් හීටර් නම් හරිම භයානක දෙයක් . ඒක ගැහුවොත් අහකට නොගිහින් එතනම ඉන්න එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. අනුකම්පා කලාට ඉස්තුතියි ඩුඩ්... මම මේ වෙනකොට කරපු ගොන්කම ආයෙත් නොකරන බව ස්ථිර උනත් ( නෑ නෑ හීටරේ අමතක කරපු එක නෙවෙයි, වතුර ගහපු එක ) ඒක ලිව්වේ ඇත්තම සිද්දිය කියන්න ඕනේ නිසා. ඒ හින්ද ඔය බැනිල්ල මම කොහොමත් බලාපොරොත්තු උනා.

      ඔව් ඩුඩ්.. මම දැන් විස්ලින් කෙට්ල් එකකට සහ ඉලෙක්ට්‍රික් කෙට්ල් එකකට මාරු වෙලා ඉන්නේ. ( මම මාව දන්නා නිසා) කීයටවත් ඉමර්ශන් හීටරේ ගහන්නේ නැහැ. බෝඩිමේ අවසන් කාලේදී ජග් එකකට මාරු උනා. මොකද ඒ වෙනකොට අපේ අක්කත් උපාධිය අරගෙන ගෙදර ගිහින් නිසා බෝඩින් ජිවිතේ තනියෙන් ඉන්න උනේ. අපේ ගෙදර අය දන්නවනේ මගේ තරම!

      Delete
  12. ඔපීසියේ වැඩ ටික පැත්තකින් තියලා පරණ මිස් වෙච්ච කතා ටිකත් එක්ක ඔක්කොම කියෙව්වා... ( මෙයා කරලා තියෙන දේවල් ටික කියවගෙන යනකොට නවත්තලා වැඩක් කරන්නම හිතෙන්නේ නෑ හි..හි... )

    බොන්න වතුර හොයද්දි වත් හීටරේ නිකමට හරි මතක් වෙච්ච නැති හැටියක්... :O

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් ලියන්න පුළුවන් ටික විතරයි ලිව්වේ. අනිත්වා කිව්වා නම් මගේ පටි රෝල් වෙයිනෙ. ( දැන් මගේ පටි රෝල් නැතිලු ඈ !)

      මට ඔය අවුල තියෙනවා නේ... ඒ කියන්නේ ඊට සමාන දේවල් හම්බුනත්, අදාළ දේ මතක් නොවෙන එක! ඔය අහල තියෙනවද කතාවක්.. අර හැම දෙයක්ම අමතක වෙන මනුස්සයට දවල්ට වැදගත් වැඩකට ගෙදරට කෝල් කරන්න කියල බිරිඳ උදෙන්ම මිනිහට මතක් කරලා, ඒක මතක් වෙන්න කියල ලේන්සුවේ ගැටයක් ගහල යැව්වලු. දවල් කෝල් කලේ නැති නිසා බිරිඳ මනුස්සයට හවස ආවම මෙහෙම කියනවා
      "ඇයි අනේ කෝල් කලේ නැත්තේ? ඒක මතක් වෙන්න කියල මම ඔයාගේ ලේන්සුවේ ගැටයකුත් ගැහුවනෙ"
      "ආ.... ඒකත් එහෙමද... මම බැලුව මොකටද මගේ ලේන්සුවේ ගැටයක් කියල. මහා හෙන අමාරුවෙන් ගැටේ ලිහාගත්තේ "

      කියල. දැන් මම හොඳයි නැද්ද?

      Delete
  13. කවදාවත් බෝඩිමක ඉඳල නැති නිසා ඔය බෝඩින් ආතල් මට නෑ හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි..... මොකද්ද පැතුම්... කිසි ගතියක් නැහැ බෝඩිමක හිටියේ නැති තරුණ ජිවිතේ.. හැක් !
      දැන්ම යනවා හොඳයි බෝඩිමකට!

      Delete
    2. පැතුමෝ... හැබෑටම ඕක ගැන මම ලිව්වා මෙහෙම පෝස්ටුවක් මතකද? මම ඒ ගැන තව ලියපු draft එකේ ගොඩගැහිච්ච කතා කීපයක් තියනවා. දාන්න හිතෙන්නෙම නැහැ. හි.. හි..

      Delete
    3. හෙහ් හෙහ් ඔන්න ඔහේ දාල දාන්න. අපි අපි නේ ඕවා බලන්නේ :D

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...