Friday, May 22, 2015

178. දවල් කෙයාර් - 1



අද මම කියන්න හදන්නේ.... ( ඔන්න ඉතින් පටන් ගත්ත... හරි හරි කියන එකක් කියනවා කෙටියෙන්...) ටිකක් වෙනස් දෙයක්. මේ කාරනාව කෙලින්ම අදාළ වන අය ඉන්නත් පුළුවන්, ඒ වගේම වක්‍රව ඒ දෙස බලාසිට මතයක, සංකල්පනාවක ඉඳල අදහසක් ඉදිරිපත් කරන්නෙක් ඉන්නත් පුළුවන්. ඒ මොන කැටගරියේ හිටියත් මම හිතන්නේ මේ මාතෘකාව මට නම් හරිම සුලබයි.

කොටින්ම මම අද කතාකරන්න යන්නේ දවල් කෙයාරින් කරන එක ගැන. අපෝ අපෝ එහෙම එකක් නෙවෙයි. කට්ටිය කලබල වෙන්ට එපා, මම කිව්වේ පොඩි දරුවන්ව දවල්ට බලාගන්න 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' හෙවත් 'ඩේ කෙයාර්' ගැන! ( ආන්න එහෙම එන්ටකෝ මල ජවුසන් නැතුව!)



මේ සංකල්පය ලංකාවට අමුතු උනාට ( මම කියන්නේ සංවිධානාත්මක ලෙස හරි ආයතිනකව හරි පරිපාලනයකින් ඉටුකරන විදියට සැලසුම් කරපු) ලෝකයේ නොයෙකුත් රටවල් වල සහ සමාජයන් වල මෙහි එක එක ලක්ෂණ සහිත සංකල්ප ක්‍රියාත්මක වෙනවා. මට මේ ගැන ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි. ගොඩක් කල්, නමුත් ඒ අදහස අලුත් උනේ ඔමායා ලියල තිබ්බ මේ ලිපියේ ඒ ගැන කෙටියෙන් හරි සඳහන් කරලා තිබ්බ නිසා.



ඇත්තටම මේ ලිපිය කියවන ඔබ මිට කලින් / දැනට මේ පහසුකම ලංකාවේදී භාවිතා කරලා තියෙනවද? නැත්තම් ඉදිරියේදී භාවිතා කරන්න හිතනවද? නැත්තම් භාවිතාවෙන් ඉවත් කරගෙන තියෙනවද? මේ එකකටවත් නැතුව එහෙම භාවිතා කරපු/කරන කැටගරියේ උන්ගේ ප්‍රේක්ෂකයෙන් වෙලා තියෙනවද? ඔන්න ඕක තමයි මේ ලිපියේ වැඩිපුරම ලියවෙන්නේ...

මෙහෙම කියමු. ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇත්තටම ඕනේ උනේ ඇයි සහ පසුබිම. මම නම් දකින විදියට ඔය සංකල්පය ආවේ විවාහක යුවලෙන් දෙදෙනාම රැකියා සඳහා පිටත්වෙන පවුලක දරුවන් රැකබලාගන්න විදියක් නැතිකම නිසයි කියල.

එක්කෝ දෙදෙනාගේ දෙමවුපියන් ඉන්නේ දුරබැහැර, නැත්තම් එයාල මියගිහින් හෝ රෝගයකින් පෙළෙනවා. ඊටත් වඩා න්‍යෂ්ඨික පවුලක් උනහම තමයි ගොඩක්ම මේ තත්වය දරුණු. මොකද ඉන්නේ මහ ගෙදර නෙවෙයි, ඉතින් වයසට ගියපු කෙනෙක් නැහැ මිනිපිරියන්/මුණුබුරන් බලාගන්න.

එහෙම උනහම පළවෙනි විකල්පය තමයි වැඩට සේවිකාවක් තියාගෙන ඇයට වැඳවැටි හෝ දරුවා බලාගන්නට තැබීම. මම මෙතන වැඳවැටි කියලා කියන්නේ ඔවුන් දිගටම සේවයේ තබාගැනීම එතරම්ම අපහසු කාරනාවක් නිසයි. ( දන්නෝ දනිති) නමුත් එහෙම දරුවෙක් තනිපංගලමේ නොදන්නා කෙනෙක්ට තබායාමේ ලොකු අවදානමක් තියෙනවා දැන් දැන් අහන ප්‍රවෘති අනුව නම්. ඒ කියන්නේ දහවල් දරුවන් අරන් හිඟමනේ යන, දරුවන් අපයෝජනය කරන, දරුවන්ට ශාරික; මානසික වදහිංසා පමුණුවන මෙන්ම නොසැලකිල්ල නිසා ජීවිතෙන් සමුගන්නා කිරිකැටියන් ගැන පුවත් දැන් අහන්න ලැබෙනවා වැඩියි. ඊට අමතරව දහවල් වෙනත් පුරුෂයින් ගෙට ගන්නා, දරුවන්ට ඔඩිකොලෝන් පොවා බලෙන් නිදිකර සිය කටයුතු කරගන්නා අයත් දැන් දුලබ නැහැ. සමහර දෙමවුපියන් ආරක්ෂාවට සවිකරන කැමරා වලින් තමයි දැනගන්න වෙන්නේ , නමුත් හැමෝටම එහෙම කැමරා සවිකරන්න වත්කමක් නැතිවෙන්න පුළුවන්. සවිකලත් ඔවුන් එය බලන්නේ සිද්ධියෙන් පසුව. එතකොට වෙන්න ඕනේ කොටස වෙලා හමාරයි.

තවත් පැත්තකින්, එහෙම දරුවාගේ සීයලා ආච්චිලා හිටියත් දමායාමේ අපහසුතාවයක් තියෙනවා. එක්කෝ ඔවුන් ලෙඩ ගානේ. නැත්තම් ඔවුන්ගේ විශ්‍රාම දිවිය විනාස වෙනවා. දැන් දැන් මම දැකලා තියෙනවා 'පොෂ්' ආච්චිලා ඉන්නවා උන් කැමති ට්‍රිප් යන්න, ඇවිදින්න. මුනුපුරු මිනිපිරියන් බලාගන්න ආසා නැහැ. ( බැරි නැහැ, නමුත් පොඩ්ඩක්වත් ආසා නැහැ. බොරු කියල හිතන්න එපා. මම මේ කියන්නේ සත්‍ය!) සමහර වෙලාවට සීයලාට , මාමලාට එහෙම ළමයි දාල ගිහින් වෙච්ච තිරිසන් වැඩ ගැනත් අහල තියෙනවා.

මගේ පුද්ගලික මතය නම් තමුන්ගේ දරුවන් වැදුවා සේම හදාගන්න එකත් දෙමවුපියන් කරට අරගෙන කරන්න ඕනේ කියලා. පොඩි පොඩි උදව් ( ඉඳල හිටලා බලාගන්න දෙන එක, හුරතල් කරන එක ) ඇරුණු කොට වැඩි වගකීම දෙමවිපියන් දරන්න ඕනේ.

මේ හේතුවෙන් දරුවන් බලාගන්න 'විස්වාසවන්ත' සේවයක් විදියට ඉටුකරගන්න තියෙන එකම තැන දිවා සුරැකුම් මද්‍යස්ථාන බවට පත් වෙන එක අහන්න දෙයක්ද?

මම දරන ආකල්පය තමයි දිවා සුරැකුම් මධ්‍යස්ථාන කියන්නේ අගනා සේවයක් ඉටුකරන තැන් කියල. මොකද තමුන්ගේ දරුවා නිරුපද්‍රිතව බලාගන්න, යමක් සිද්ද උනත් ඒ දේට වගකියන තැනක තියල ගිහින් හිතේ ගින්නක් නැතුව රස්සාව කරලා හවස අරගෙන එන්න තියෙන එකම දෙමවුපියන්ට ලොකු සහනයක් නේද? මට නම් තේරෙන්නේ ඒක එක්තරා ආකාරයක සමාජ සත්කාරයක්/පිනක් කියල. හැබැයි.... ලංකාවේ නම් 'නමුත්' කොටස නම් වරදින්නේ නැහැනේ.


මට යම් සිද්ධියක් නිසා ඔහොම යාලුවෙක් එක්ක ඩේ කෙයාර් ගොඩකට යන්න සහ ඒවා නිරීක්ෂණය කරන්න සිද්ධ උනා. මම මේ ලියන්නේ කොළඹ අවට මට බලන්න අවස්තාව ලැබුණු ඒවා පදනම් කරගෙන සහ මට ඒ ආශ්‍රිතව අහන්න ලැබුණු කතා පදනම් කරගෙන බව කරුණාවෙන් සලකන්න...

මේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩක් පෙර පාසලක් එක්කම තමයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා පෙරපාසල් ගමන ආරම්භ කරනකොටම ළමුන් එයට බඳවා ගන්නවා. ලංකාවේ මේ වෙනකොට පෙරපාසල් ආරම්භ කරන වයස අවුරුදු 2 හෝ ඊට වැඩි වශයෙන් තමයි තියෙන්නේ. ඊට අඩු ළමයින් දිවා සුරැකුම් සඳහා පමණක් බාරගන්න අවස්ථා තියෙනවා. මේක නම් වැඩිපුරම තියෙන්නේ නගරබදව. මොකද නගරබදව එහෙම සේවයක අවශ්‍යතාවය තියෙන, වැඩට යන මව්වරුන් ප්‍රමාණය සාපේක්ෂව ඉහලයි. ඒ නිසා ඉල්ලුම තියෙනවා. ඒ කියන්නේ ඔවුන් ගෙවන්න ලෑස්තියි. සේවය තියෙනවා නම්. සංඛ්‍යාවෙන් අඩු උනත් මාස 6න් පවා දරුවන් බාරගන්න සුරැකුම් මධ්‍යස්ථාන මම අහල තියෙනවා. ඔවුන්ට මවුකිරි ලබාදෙන්න දහවල් එන්න ඉඩත් ලබාදෙනවා.

ගොඩක් තැන්වල පාසල එක්කම පවත්වාගෙන යන නිසා පාසලෙන් දෙන නිල ඇඳුමක් තිබෙනවා උනත් සුරැකුම් මධ්‍යස්ථානයේ සැහැල්ලු, පාට ඇඳුම් තමයි අන්දවන්න තියෙන්නේ. ඒ වගේම ගොඩක් ස්ථාන වල නිවසින් සියලුම කෑමබීම ඒ දරුවාට අදාළ වෙනම කූඩයක ඔවුන්ගේ ඇඳුම් එක්කම එවන්න ඕනේ. සමහර ස්ථානවල ඔවුන් දෙන කෑම තමයි කන්න දෙන්නේ.ඒ වගේම දිනකට වරක් හෝ දෙවරක් ( ඔවුන් ගෙනයාමට ඉඩදෙන තුරු)  ඔවුන්ව සේදීමත්, ඇඳුම් මාරු කිරීමත් කරන්න සේවිකාවන් රඳවා තබනවා. ඔවුන්ව නිදිකරන්නේ බොහෝවිට බිමට යොදන මෙට්ට මත තවාන් ක්‍රමයට!

ගොඩක් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ නියමිත කාලසටහනකට අනුව. ඒ කියන්නේ කන්න, සෙල්ලම් කරන්න, නිදියන්න කියන මේ හැම දේකටම වෙලාවක් තියෙනවා. කාලසටහන් නැති මධ්‍යස්තානත් මම දැකලා තියෙනවා.

මේ තමයි පසුබිම.

මම ලියන්න ගත්තේ මේ සේවාව සහ ලංකාවේ මිනිස්සුන්ගේ මේ සේවාව ගැන තියෙන ආකල්ප ගැන අහන්න දකින්න ලැබෙන නිසා , මට හිතුනා මගේ අදහස් ලියල තව ගොදකගේ අදහස් විමසන්න තියෙනවා නම් හොඳයි කියලා.

කෙනෙක් නම් ඩේ කෙයාර් කියපු ගමන් 'අපෝ.... මගේ ළමයි නම් දාන්නේ නැහැ' කියන මතේ මාව සමහර වෙලාවට පුදුම කරවනවා! එහෙම දාන්නේ නැහැ කියන්නේ ඇත්තටම එක්කෝ නරක අත්දැකීමක් නිසා වෙන්නත් පුළුවන්, නැත්තම් හරි හැටි සේවාව ගැන නොදැනුවත්කම නිසා වෙන්නත් පුළුවන්. එහෙම කියන ගොඩක් දෙනෙක්ගේ දෙමවුපියන් තමයි ඒ දරුවන් බලන්නේ. ඇත්තටම එයාලට ඇති වෙලා ඒ ජිවිතේ. දරුවන්ගේ දරුවන් බලනවා ඇරුණුකොට ඔවුන්ට සමහර වෙලාවට ජිවිතයක් නැහැ. මම නම් හිතන්නේ එහෙම හිතන පොඩි දරුවන්ගේ දෙමවුපියන් හරි ආත්මාර්ථකාමියි කියලා. මොකද තමුන්ගේ දරුවාගේ ක්‍රියාශිලිත්වයත් එක්ක නොගැලපෙන අබලන් දෙමවුපියන් ගොඩක් වෙසෙහට පත්වෙනවා. මම මේ කියන්නේ කිරි දරුවන් ඔහේ කොහෙට හරි දාන්න කියලා නෙවෙයි.

ඒ වගේම යමක් තේරෙන වයසට ආවහම දරුවන් බෙදාහදා ගැනිල්ල ගැන ඉගෙන ගන්න එක්කෝ ගෙදර තව පොඩි අය ඉන්න ඕනේ. නැත්තම් ඒ
අගේ පරිසරයක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට සීයා හෝ ආච්චි ඉන්නවිට සිද්ද වෙන්නේ ඉල්ලන දෙයක් ලැබෙන එක. එය දරුවෙක නරකයි, දැන් නෙවෙයි, අනාගතේට. මේ මධ්‍යස්ථාන වලදී 'ගොඩක් වෙලාවට' සමානව සලකන නිසා දරුවන්ට බෙදාහදා ගැනිල්ල ටික ටික ඉගෙන ගන්න ලැබෙනවා.

ඒ වගේම තමයි පිළිවෙලකට වාඩිවෙලා තමන්ගේ කෑම කන්න ඉගෙන ගන්න ලැබෙනවා. මම කොතෙකුත් දැකලා තියෙනවා දරුවාගේ කෑම පිඟාන අතේ තියාගෙන පාරවල් දිගේ, වැටවල් දිගේ, වත්තේ හතර කොනේ දුවන අම්මලා. බත් පිඟානම කවා ගන්නවා වෙන්න පුළුවන්, නමුත් එය පිස්සුවක් ලෙසයි මම දකින්නේ. එහෙම කෑවට වැඩක් තියෙනවද? ඒ වගේම රූපවාහිනිය දිහා අවසිහියෙන් බලාගෙන ඉන්නකොට, ජංගම දුරකතනයේ තියෙන මොකක් හරි ඔබනකොට කටට බත් ඔබන කට්ටියත් ඉන්නවා. ඒවා නැතුව, අනිත් හැම ළමයම වගේ නියමිත මේසෙක හරි තැනක වාඩිවෙලා බත් හරි , කන දෙයක් හරි කන්න ළමයා පුරුදු වෙන එක වටිනවා කියලයි මට හිතෙන්නේ.

ඒ හැමදේටම වඩා මට වැදගත් කියලා හිතෙන්නේ සෙල්ලම් කරන්න Play mates ලා ලැබෙන එක. මොකද දැන් ඉස්සර කාලේ වගේ අල්ලපු ගෙදර උන් එක්ක සෙට් වෙලා සෙල්ලම් කරන කාලේ හරිම අඩුයි.


ලිපිය ටිකක් දිග වැඩි උනා.. ඉතිරි ටික ඊළඟ කොටසේ

කියමුද අදහස්?



ඉතිරි කොටස 

37 comments:

  1. //ලංකාවේ නම් 'නමුත්' කොටස නම් වරදින්නේ නැහැනේ.// :p :p මේ කොටස නිකම් මතකයි මතකයි වගේ..
    //දැන් දැන් මම දැකලා තියෙනවා 'පොෂ්' ආච්චිලා ඉන්නවා// අපේ අම්මනම් කිසිම 'පොෂක්' නෑ ඒත් දැන් ළමයි බලන්න නම් පට්ට කම්මැළියි. බණ අහන්නයි පන්සල් ගානේ බඩගාන්නයි මොකුත් නැත්නම් වත්තෙ මොනවහරි කුරුටු ගාන්නයි තමයි කැමති.. ඒකට අපේ නෝනගේ අම්මා.. වයින් කරපු රොබෝ වගේ කොයි වෙලෙත් පොඩි උන් දෙන්න පස්සෙමයි.
    අපේ ඩේ කෙයාර් සෙන්ටර් එක මං ගෙදරම දාල තියෙන්නේ. දැනටනම් ඉන්නේ ළමයි දෙන්නයි. නිවාඩු දවසට මාත් එක්ක තුන්දෙනයි. ඩේ කෙයාර් කියුවට ඉතින් උදේ පාන්දර හතරේ වගේ ඉඳල රෑ එකොළහ දොලහ වගේ වෙනකම්ම ඕපන්. වෙලාවක ලියන්නෝනේ මාත් ඒ ගැන පෝස්ට් එකක්වත්.
    මං 99 අවුරුද්දේ කයිට්ස් වල ඉන්නකොට මගේ ඔෆීස්/ රූම් එහෙම තිබුනේ අතෑරල දාපු ඩේ කෙයාර් එහෙක.. ඒක පටන් ගෙන තිබුනේ 1979 අවුරුද්දේ.. මං හැමදාම කල්පනා කරපු දෙයක් තමයි 1979 ඩේ කෙයාර් තියෙන්න තරම් යාපනේ/ කයිට්ස් මොන තරම් දියුණුවක් තියෙන්න ඇද්ද කියලා.. සමහරවිට ලමයි ඩේ කෙයාර් එකේ තියල අම්මල කුඹුරු වැඩට යනවද දන්නේ නෑ.. අනික කයිට්ස් වල තමයි යාපනේ ගොඩක්ම කන්තෝරු හා පාසැල් තියෙන්නේ. ඒකත් හේතුවක් වෙන්නැති.
    ඉතුරු ටිකත් දාමු ඉක්මණට.

    ReplyDelete
    Replies
    1. මතක කොටස කොහෙද කියල මතක ඇතිනේ!

      ඔය පොෂ් කියල මම කිව්වේ ඇත්තටම පොෂ් නිසා නෙවෙයි. සමහර අයට පොඩි උන් දිරවන්නේ නැහැ. සමහර අය දෙමවුපියන්ගෙන් පළිගන්න ඕනේ උනහම ඒකට දරුවන් භාවිතා කරනවා. මම ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්නම්. එක වාක්‍යකින් පැහැදිලි කරන්න අමාරුයි.
      මමත් කැමතියි විශ්‍රාම ගියහම හෝ වයසට ගියහම දරුවන්ගේ දරුවන්ට සර්වන්ට් නොවී බණක් හෝ වෙනත් යමක නිරත වෙනවට. එය තමයි වියයුත්තේ.

      හිතන්න බලන්න උදේ පාන්දර 4 ඉඳල රෑ 11 වෙනකල් එහෙම කරන එක ලේසි සෙල්ලමක්ද කියල? ඊටත් වයසට ගියහම ? ලියන්න ලියන්න පෝස්ට් එකක් නෙවෙයි දෙක තුනක්ම.

      ඒ මිනිස්සු හරිම ප්‍රායෝගිකයි. ඒ වගේම දරුවන් ගැන සැලකිලිමත්. ඩේ කෙයාර් එකක් පවත්වන්න අවශ්‍ය පසුබිම තිබ්බ කියන්නේ උගත් working අම්මලා ඉඳල තියෙන්නේ.. කොතරම් හොඳද? මම දන්නා තරමට ඔවුන්ගේ සංස්කෘතියේ මේ කොටස තිබිලා තියෙනවා. තේ වතු වල සේවය කරන අයගේ දරුවන්ට මධ්‍යස්ථාන ඉස්සර ඉඳන් තිබිලා තියෙනවා. එහි ආභාෂයක් වෙන්නත් පුළුවන්.

      Delete
  2. පොඩි දරුවන්ව ‍රැක බලා ගන්න හරිහමන් ක්‍රමවේදයක් නැතිකම අපේ රටේ විතරක් නෙවෙයි,ලෝකයේ දියුණු රටවල් වන ඇ.එ.ජනපදය,ඕස්ට්‍රේලියාව වගේ රටවල දෙමවුපියන්ටත් එක සේ බලපාන ගැටලුවක්.ඒ රටවල day care centers
    තිබුණත් ඒ සඳහා දරන්න වෙන පිරිවැය අධික බවයි සඳහන් වෙන්නේ. මවට පියාට ‍රැකියාවේ නිරත වෙන ගමන් දරුවන් බලා ගන්න පහසු වෙන්න කාර්යාලයේ day cares තියෙන බවත් ඇත්ත.
    කොහොම නමුත් මමත් පොඩිකාලේ day care එකක හිටියා.මට නම් ඒ ගැන සුන්දර මතකයක් තියෙන්නේ.පාසල ආසන්නයේම තිබුණු එහි හිටියේ අපේ අම්මාගේ කාර්යාලයේ අයගේ දරුවෝ විතරයි,ඒ නිසාමද මන්දා ගුණාත්මක බව ඉහළයි.න්‍යෂ්ටික පවුල්වල හැදුණු අපි වගේ ළමයින්ට playmatesලා ලැබුණු එක නම් හරිම අගෙයි. :)

    කුරු‍ටු සින්ඩියෙන් දැකලයි මේ පැත්තට ගොඩ වැදුණේ.නිවාඩු වෙලාවක ඇවිත් අපේ blog එකත් බලලා යන්න.

    http://depanhinda.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ ඩේ කෙයාර් සාමාජිකයෙක්. පේන හැටියට අත්දැකීම හොඳයි වගේ. මම කැමතියි පොඩි හරි නරක අත්දැකීමක් තිබ්බ නම් ලියනවා නම්. සෙල්ලම් කරන්න යාලුවෝ ලැබෙන එක දරුවෙක්ට කොතරම් මානසික සහනයක්ද කියල ඔබම දන්නවා ඇතිනේ. නමුත් අවාසනාවට දැන් ඉන්න දෙමවුපියන් වැඩිදෙනෙක්ට මේ කාරණේ තේරෙන්නේ නැහැ.

      Delete
  3. " දරුවන්ට ඔඩිකොලෝන් පොවා බලෙන් නිදිකර" - මෙවගෙ තියෙන්නෙ මධ්‍යසාරයි, සිට්ට්‍රස් ඔයිල් නෙ. පොඩි ලමයෙකුට පෙවුවොත් බඩවැල් තුවාල වෙලා ලොකු ප්‍රශ්ණයක් වෙයි. මම නං ලමයෙකුට ඕඩිකොලොන් පෙවුව සිද්ධියක් අහල නැ.

    ඩේ කෙයා පවත්වාගෙන යන අයට වෘත්තීය සුදුසුකමක් වගේම අදාල ස්ථාන ලියපදිංචිකරල නියාමනයක් කරනව නං හොදයි. හැබැයි ගොඩක් රටවල college/යුනිවසිටි ගැණු ලමයි වැකේෂන් ජොබ් එකක් විදියට කරනවා නේද.

    ReplyDelete
    Replies
    1. ඔඩිකොලෝන් වලට වතුර දාල පෙව්වම දරුවා මත් වෙනවා. මම නම් අහලා තියෙනවා සමහර සේවිකාවන් දරුවන්ට එහෙම දුන්න බව. තනියෙන් එහෙම දාල ගියහම සේවිකාවන් කරන දේවල් ඇහුවොත් ඔබ නම් කවදාවත් සේවිකාවකට අල්ලන්නවත් දෙන එකක් නැහැ. ඒ තරම් දුක්බරයි.
      මේ එකක්. ( ලංකාවේ නොවෙයි)
      https://www.youtube.com/watch?v=lBztnyDPLdU

      ලංකාවේ සිද්දවෙන දේවල් අන්තර්ජාලයේ හෙව්වොත් ඔබට ලැබෙයි.

      ලංකාවේ නම් මම හිතන්නේ ඩිප්ලෝමාධාරී අය තමයි වැඩකරන්නේ. මම හිතන්නේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න එහෙම ඩිප්ලෝමාධාරී අයෙක් අවශ්‍යයි බලපත්‍රය ගන්න. එහෙම බලපත්‍ර නැති අයත් ඉන්න පුළුවන්. ඒ වගේමයි බලපත්‍රය ගත්තේ ආයතන වල, සුදුසුකම් නැති අයව බඳවා ගන්න ඉඩ තියනවා. ( train කරන මුවාවෙන් හෝ) ලංකාවේ නම් vacation job එකක් විදියට කරනවා අහලා නැහැ. පිටරටවල් වල නම් තියනවා. අසාවට කරන අය වගේම කරන්න වෙන දෙයක් නැතුව කරන අයත් ඉන්නවා.

      Delete
    2. අම්මෝ මේ ක බලන්න බෑ මට. මේ මනුස්සයට මොකක් හරි ලෙඩක් :((((((

      Delete
    3. පණ්ඩිතය වගේ දැම්මට, මමත් ඕක ඉවර වෙනකල් බැලුවේ නැහැ.... කාටවත් කියන්න එපා හරිද...

      Delete
  4. උපේක්ෂා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. එහෙම දවල් කෙයා එකක දැම්මම ළමයා බෙදා ගැනීම, පිළිවෙලකට අහාර ගැනීම වගේ දේවල් හොඳින් පුරුදු වෙනව තමා. නමුත් මම දැක්කා වීඩියෝ එකක් මීට මාස කීපයකට කලින්. ඒකෙ තිබ්බෙ දවල් කෙයා එකකට ළමයව අම්ම බාර දීල ගියාට පස්සෙ ළමයව බලාගන්න හැටි හොරෙන් වීඩියෝ කරලා. ඒකෙදි ළමයින්ට පිළිවෙලකට පුටුවක එහෙම ඉන්දවලා හොඳට කවන සිද්දියක් තමා තිබ්බෙ. එහෙම කවන ගමන් හොඳට ගුටිත් කවනවා ඒ ළමයින්ට. කන් මිරිකලා හොඳටම ගුටි දෙනව ඒ වීඩියෝ එකේ තිබ්බා(අපේ රටේ දවල් කෙයා එකක් නම් නෙමේ හැබැයි :) ). ඔයත් සමහරවිට ඒක දැකල ඇති.

    ඒ උනාට අපේ රටෙත් එහෙම දෙයක් සිදු වෙන්නෙ නෑ කියන්න බෑ නේද?. කොච්චර කලත් ළමයගෙ දෙමව්පියන් තමා ළමයව බලාගන්න සුදුසුම අය. රැකියා කටයුතු අනුව එසේ සිදු කිරීමට නොහැකි උනත්.
    //මගේ පුද්ගලික මතය නම් තමුන්ගේ දරුවන් වැදුවා සේම හදාගන්න එකත් දෙමවුපියන් කරට අරගෙන කරන්න ඕනේ කියලා. පොඩි පොඩි උදව් ( ඉඳල හිටලා බලාගන්න දෙන එක, හුරතල් කරන එක ) ඇරුණු කොට වැඩි වගකීම දෙමවිපියන් දරන්න ඕනේ.//
    ++++++++++++++++

    හොඳ ලිපියක්. ඊළඟ කොටසත් කියවන්න බලන් ඉන්නවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දරුවන්ට ගුටි දෙනවා කියන එක අපේ රටේ සිද්ද වෙන්නේ නැහැ කියලා මමත් හිතන්නේ නැහැ. බලාගන්න ඉන්න අයත් මිනිස්සුනේ. කරන සමහර වැඩ වලට තරහ යනවා ඇති. ගෙදර හිටියම දෙමවුපියන්ගෙන් හොඳහැටි ගුටිත් එක්ක බත් කන දරුවන් ඔබ අහල නැද්ද? ( එකපාරක් අර දරුවෙක්ට තාත්ත කෑම කවන්න ගිහින් ඒ ළමයට මුනට ඇනලා ඒ දරුවා මැරිලා තිබ්බේ, අම්මෝ මතක් වෙනකොටත් කලතේ වගේ)

      අනිත් එක හවස එනකොට , දරුවට එවපු බත් එක ඔක්කොම කවලා කියල දැක්කම බලාගන්න කෙනාව දෙවියෙක් වගේ පේන දෙමවුපියෝ නැද්ද? 'බත් ටික කනවා නම් , වෙන ඕනේ එකක් ' කියන වචනේ මම නම් අහලා තියනවා. තමන්ගේ දරුවට බත් කවන්න බත් එක අරගෙන කාර් එකේ, බයික් එකේ වැඩිකරවලා විතරක්ද, මම දන්නා කෙනෙක් නම් කාර් එකේ ටවුමට රවුමකුත් එක්කගෙන යනවලු දරුවට බත් කවන ගමන්! ඔන්න දෙමවුපියන්ගේ තත්වේ!

      දරුවන් බලාගන්න දෙමවුපියන් සුදුසුම උනත් මම නම් හිතන්නේ දරුවන් ටික ටික ස්වාධින වෙන්න අරින්න ඕනේ කියල. ආදරේ අඩුවක් නැතුව දෙනවා නම්, බලාගන්න වෙන කෙනෙක් උන්නම වෙනසක් මට පේන්නේ නැහැ. සමහර වෙලාවට දෙමවුපියෝ ලඟපාත ඉන්නකොට සමහර ළමයි දඟ කරනවා වැඩියි.

      ස්තුතියි අදහස් වලට

      Delete
  5. හැක් හැක්! මාත් ලොකුමහත් උනේ ඩේ කෙයාර් සෙවනක තමා. අපේ අම්මයි තාත්තයි දෙන්නාම ඔපිස්. අම්මගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. තාත්තගෙත් තාත්තා නෑ. ඉතින් මට හිටියෙ එක ආච්චියෙක් විතරයි. එයත් ගොඩක් වයසයි.

    ඉතින් මං අවුරුදු තුනේ සිට යනවා ඩේ කෙයා. එතකල් නම් බලාගන්න සෝයි ඇන්ටියෙක් හිටියා. ඒ උනාට වියදම සැරයිලු සර්වන්ට්ලා තියාගන්න.

    ඊට පස්සෙ අපේ නගා ඉපදුනාම උන්දැව බලන්න සර්වන්ටියෙක් ආව. හෆූ බං ඒ ගෑනි ගැන වෙනම පෝස්ටෙකක් දාන්න වෙනව. කොහොම හරි ඒ මනුස්සය එක්ක වසන්ඩ බෑමයි කියපු නිසා මාව ආයෙමත් ඩේ කෙයා එකට මාරු කෙරුනා.

    නිදි කරවන්නෙ තවාන් දාල තමා. හැබැයි අපිව බලාගන්ඩ හිටපු කස්ටිය මට පූර්ණ නිදහස දුන්නා. ඉතින් මං කරන්නෙ play time එකේදි විවේක කාමරේටත්, අනිත් උන් නිදියන වෙලේදි ප්ලේ රූම් එකටත් මගෙ මෙට්ටෙ ඇදගෙන යනව. ඒක බිත්ති මුල්ලක නමලා බලකොටුව ගහගෙන ඒක අස්සට වෙලා දවසම පොත් කියෝනව. ඔව් ඕයි මං ඒ කාලෙත් මහ මන්ද ඩයල් එකක්.

    නැත්තං යනව යෝද කුරුමිණි දඩයමේ (ladybrids). එක්කො පොත් කඩයක් දානව. මොකෙක්කත් පලාතකවත් එන්නෑ මායි මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩායි ඉතරයි.

    ඩේ කෙයා සීන් ගොඩයි. උඹ ලිහාංකො. මං හෙමින් කමෙන්ට් කරන්නං.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ඩේ කෙයාර් සාමාජිකාවක්. වෙල්කම් වෙල්කම්!

      ඩේ කෙයාර් දරුවෙක් දාන්න අම්මෙක් හිත හදාගන්නේ අමාරුවෙන්. බැරිම තැන කියන්නේ, අන්න එතැනදී! එක හේතුවක් මේ සේවාව ගැන තියෙන හුඹස් බිය. අනිත් එක නරක අත්දැකීම්. ඔබේ හොඳ අත්දැකීම් බෙදාහදා ගන්න. එය වටිනවා හුඹස් බිය අඩුවෙන්න. අනිත් එක දැන් ඉස්සර වගේ නෙවෙයි, දෙදෙනාම රැකියාවට යන සම්භාව්‍යතාවය වැඩියි.

      බස්සි ගිහින් තියෙන්නේ අම්මලාගේම සෙට් එකක ළමයි එක්කමනේ. අනිත් එක ලොකුවට කාලසටහනක් තිබ්බ බවක් පේන්නත් නැහැ වගේ. එක්කෝ මූට ෆේවරේෂන් කරලා! හික්... එක එක ළමයි වෙනස්. එහෙම සලකපු එක හොඳයි. නැත්තම් උඹේ පිස්සුව ඒ කාලෙම තදවෙන්න ඉඩ තිබ්බ. උඹ එක්ක ඔට්ටු වෙනවට වඩා අතාරලා දාල ඉන්නෙක හොඳයි කියල හිතන්න ඇති! හික්...

      Delete
  6. ආ තව එකක්. ඔය ඩේ කෙයා එක කලේ අපේ අම්මලාගෙ ඔපීසියේ මෙහෙයවීමෙන්මයි. දැන් ගොඩක් ඔපිස්වල තියෙනව නේද? මං දැක්ක leading IT company එකකිනුත් ඩේ කෙයා එකේ වැඩට කස්ටිය හොයලා ඇඩ් එකක් දාල තිබුනා ලඟදි. අපේ ඔපිත්වලත් පටන් ගන්නවනම් හොඳා නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අපේ ෆීල්ඩ් එකේ දෙමවුපියෝ සුළුපටු දුකක් නෙවෙයි විඳින්නේ. මොකද යන්න එන්න වෙලාවක් කලාවක් නැහැනේ. ඩේ කෙයාර් සේවාව පුදුම උපකාරයක්. ඇත්තටම ඔය ලොකු කුඩා කොයි කම්පනියෙන් උනත් ඒ සේවාවට යමක් ETF, EPF එකට වගේ කපලා, පොදුවේ පවත්වාගෙන යනවා නම් වටිනවා. ජිම් එකක් එක්කෝ හදනවා, නැත්තම් ඒ සඳහා දීමනාවක් දෙනවා හා සමානයි.

      Delete
  7. වතු කම්කරුවන්ගෙ දරුවෝ බලා ගන්න ක්‍රියාත්මක කරපු පුල්ලෙ මඩු තමයි ලංකාවේ මුල්ම ඩේ කෙයාර් කියල මම හිතන්නේ. තාම තියෙනවා වතු වල

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම වෙන්නත් පුළුවන්.නමුත් පිටරටත් මේ සේවාව විවිධ ආකාරයෙන් තියෙනවා.

      ඒ කම්කරුවෝ වැඩිදෙනෙක් දෙදෙනාම සේවයට යන කට්ටිය. සමහර වෙලාවට වතු පාලකවරයා විසින් තමයි නඩත්තු කරන්නේ. එහි වාසි ගොඩයි. මොකද, දරුවන් නිසා ගෙදර නතරවෙන අය නැහැ, සේවය ලබාගන්න ලේසියි! ඒ වගේම පහසුකම තියෙද්දී වෙන වත්තකට යන්නෙත් නැහැ, වෙන පිට වැඩ කරන්නෙත් නැහැ. අන්න දුර දක්නා නුවන.

      Delete
  8. දරුවන් ඩේ කෙයාර් එකකට ගාල් කරනවා කියන්නේ ඒ දරුවන්ට කරන පුදුම අසාධාරණයක්. මේ තරඟ කාරී සමාජය විසින් බිහි කල තවත් විකෘතියක් ලෙසයි මමනම් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ගාල් කරන්න නරකයි. උන්ට සෙල්ලම් කරන්න Play mates ලා හොයලා දෙන්නයි ඕනේ. ඒක තමයි හොඳ තැනක් හොයලා බලලා දාන එක වටින්නේ. ගෙදර හිටියා කියලා මට නම් අමුතු වෙනසක් පේන්නේ නැහැ. ඉස්සර අපිත් අල්ලපු ගෙවල්වල ළමයි එක්ක කොතරම් සෙල්ලම් කලාද? කෝ දැන් අපේ පොඩි උන් එහෙම කරනවද? අපි යන්න දෙන්නේ නැහැනේ. ඒ ඇයි ? ඒ අපි කරන්නේ සාධාරණයක්ද ? තනිවම හදලා පස්සේ එයාලටම චෝදනා කරන්න නරකයි සාමුහික චින්තනය නැහැ කියල ( මෙය පුද්ගලිකව ගන්න එපා. මම ඔබේ දරුවන් විවේචනය කළා නොවෙයි )
      මම දන්නා දෙමවුපියන් ඉන්නවා, බිරිඳ ගෙදර හිටියත් අනිත් දරුවන් එක්ක එකට සෙල්ලම් කරන්න කියල පොඩි වෙලාවකට ඩේ කෙයාර් එකේ තබන.

      Delete
  9. මමත් ඔය ‌ඩේ කෙයාර් ගැන එච්චර හොඳ අදහසකින් නෙවෙයි ඉස්සර හිටියෙ... ඒත් ඔය අපේ නෑනගෙ පොඩි එකා දෙකාමාරෙදි මොන්ටිසෝරි යන්න ගත්තම තමයි මට හිතුනෙ ඒක හොඳ වැඩක් කියල... එතකං ඒකා ආච්චිවයි සීයවයි අල්ලෙ නටෝ නටෝ හිටිය.. මොන්ටිසෝරි යන්න ගත්තම වැඩ ගොඩයි... යාලුවො තනියෙන් කනව දැකල මුන්දැටත් කවන්න එපාම කියනව... ඉතිං පැය ගානක් බත් එක අන අන ඉඳල යන්තං කටවල් දෙක තුනක් බඩට දාගන්නව... එක එක සෙල්ලං කරනව... සින්දු ඉගෙන ගෙන එනව.. ඊටත් වඩා එයාලට දවසෙ පොඩ වෙනසක් තියෙනව... ඒ ඔක්කොමට වඩා ආච්චිටයි සීයටයි දවසෙ පොඩි වෙලාවක් හරි ඇහැ පියා ගන්න නිදහසක් ලැබෙනව... ඔය ඩේ කෙයාර් හොඳ නෑ කියන මිනිස්සු ඒකට දෙන විකල්පෙ මොකද්ද.. රස්සාව දමල ගහල අම්මට හරි තාත්තට හරි ගෙදර ඉන්න කියලද.... මල විකාර... මාසෙට රැපියල් විසි තිස් දාහක් පඩි ගන්න මිනිස්සු මාසෙ කාලා, ළමයි ඉස්කෝලෙ යවන්නෙ එතකොට දවල්ට රස්සාව කරල, රෑට හිඟමනේ ගිහිල්ලද...

    ReplyDelete
    Replies
    1. ඔව් කෞශි , ක්‍රියාශීලි දරුවන් එක්ක වයසක අම්මලා තාත්තලාට ඔට්ටු වෙන්න බැහැ. අනිත් එක රැකවරණය උනත් හානිකර නොවෙන්න ඕනේ. වැඩි ආරක්ෂාවට කියලා වටිනා බීජ සේප්පුවේ දැම්මට වැඩක් නැහැනේ. ඒවා පැළවෙන්න පොළවක පහස ලබන්න ඕනේ.

      රැකියාවට ආයුබෝවන් කියලා ගෙදර නතරවෙන තමන්ගේ බිරින්දෑ ගැන ආසාවෙන් ආඩම්බරෙන් කියවන ස්වාමිවරු මම දැකලා තියෙනවා. ඒත් එක්කම බිරිඳගෙන් අහන්න ඕනේ ඇත්ත කතාව මොකද්ද කියල. ස්වාමියා ලොකු පඩියක් ගන්න රැකියාවක් කලත් සමහර බිරින්දෑවරු කැමතියි තමන්ගේ රැකියාව කරන්න. ඒතමයි ස්වාධීනකම. කැමැත්තෙන් කරන එක වෙනම කතාවක්. මම දකින සමහර රැකියා කරන අම්මල රැකියාව කරන්නේ සල්ලි මදි නිසාම නෙවෙයි. තෘප්තියට. සල්ලි නැතිකමත් තියෙන්න පුළුවන්.

      Delete
  10. අපේ උන් දෙන්නම ඩේ කෙයාර් දාලා තමයි හදාගත්තේ. ඒවා මෙහෙම සරළව කමෙන්ට් එකකින් කියන්න පුළුවන් කතාවල් නෙවෙයි.
    නමුත් එහෙම තැන් තියෙන්නේ අපි වගේ දුප්පත් වැඩ කරන ජනතාවගේ වාසනාවට කියලයි මට නම් හිතෙන්නේ.

    නමුත් මම උඹේ මෙන්න මේ ප්‍රකාශයට මගේ තදබල විරෝධය ප්‍රකාශ කරනවා.

    >>දැන් දැන් මම දැකලා තියෙනවා 'පොෂ්' ආච්චිලා ඉන්නවා උන් කැමති ට්‍රිප් යන්න, ඇවිදින්න. මුනුපුරු මිනිපිරියන් බලාගන්න ආසා නැහැ. ( බැරි නැහැ, නමුත් පොඩ්ඩක්වත් ආසා නැහැ....<<
    වැඩිහිටියන් ට්‍රිප් යාම හෝ එවැනි දෙයක් කිරීමේ කිසිම වරදක් මම දකින්නේ නෑ. උඹ මේ ව්‍යංගයෙන් කියන්නේ දැන් ඒ අය බණ පොතක් බලාගෙන සිල් අරගෙන භාවනාවක් කරගෙන මුණුපුරන් බලාගෙන ඉන්න ඕනේ කාලේ කියන එකද?

    ඒ අය අපිව හදාවඩාගන්න ජීවිතේ හොඳම කාලේ කැප කරලා දැන් අපේ ළමයිනුත් බලන්න ඕනෙද? මම නම් හිතන්නේ නෑ. අපේ ළමයි බැලිල්ල එයාලගේ බකට් ලිස්ට් එකට අයිති දෙයක්ද? ඇතැම් අය ඇති එහෙම කැමැත්තෙන්ම කරන. ඒක වෙනම කතාවක්.


    ReplyDelete
    Replies
    1. සරල කොමෙන්ටු දාන්න එපා ඩුඩ්. ලියහන් පෝස්ටුවක් !! මම දන්නවා මොනතරම් දුකක් විඳින්න ඇතිද කියලා. අනිත් අයගේ දරුවන්ට උගන්නන්න තමුන්ගේ දරුවා අනුන්ට බාරදීලා එන එක හරිම වේදනාකාරී අත්දැකීමක්. ඒක මට තේරෙනවා. ගොඩක් වෙලාවට අපි හිතන්නේ ඒ ගැන දුක් වෙන්නේ , සුසුම්ලන්නේ අම්මලා කියල. එහෙම නෙවෙයි, තාත්තල ඒ අතින් වෙනස් විදියට ඒ දේවල් දකින්නේ/විඳින්නේ.

      අනේ උඹේ විරෝධය!

      මම ඒ අදහසින් නෙවෙයි ලිව්වේ. මගේ වැරැද්ද. අදහස හරියට සම්ප්‍රේෂණය වෙලා නැහැ. මම අදහස් කලේ තමුන්ගේ දරුවන් විවාහයට පත්වුන කෙනාගෙන් ගන්න ඕනේ පලිය ගන්න කියලා උවමනාවෙන්ම ඔවුන්ගේ දරුවන් 'නිකමට හෝ බලන්නට උදව් නොකරන' අය ගැන. ඒකත් මෙහෙම ලියන්න බැහැ, පැදුරක් එලාගෙන ලියන්න පුළුවන් ලොකු කතාවක්. මම කියන්නේ ට්‍රිප් යන එක වරදක් නෙවෙයි. ඔවුන්ගේ ජිවිතේ විශ්‍රාම සුවය විඳින්න ඕනේ. ඇත්තටම ගොඩක් අයට වෙලා තියෙන්නේ දරුවන්ගේ දරුවෝ මත්තේ හැපෙනවා මිසක් ජිවිතයක් නැතිවෙලා. ළමයි දැනගන්න ඕනේ එය 'බරක්' නොවෙන විදියට සැලසුම් කරන්න.

      මම පුද්ගලිකව දන්නවා 'අපෝ ඔය ඩේ කෙයාර් නම් මම නම් දාන්නේ නැහැ' කිඅල හැමතැනම දිවුරන අය ගොඩක් වෙලාවට එහෙම කරන්නේ 'නොමිලේම' ඒ සේවාව වියපත් දෙමවුපියන්ගෙන් ගන්නට කරන චාටු බසක් කියල. ඔවුන් ඒ අසරණ දෙමවුපියන්ට මවලා තියෙන්නේ ඩේ කෙයාර් කියන්නේ අපායක් වගේ තැනක් කියලා. මගේ මේ පොස්ටුවේ අරමුණත් ඒ හුඹස් බිය අතාරින්න කට්ටියට උදව් කරන එක.

      ඒ වාක්‍ය ගණන් ගන්න එපා ඩුඩ්... මම මැටි මෝලෙක් නේ...

      Delete
  11. ඩේ කෙයාර් එක හොඳට කරනවා නම් හොඳයි. නමුත් නුපුහුණු අය දාල කරනවානම් ළමයි ගේ මනස නාස්ති වෙන එකයි වෙන්නේ. අපේ ලොකු දුව උපන්න කාලේ අපි දෙන්නම වැඩ. වයිෆ් ට වැඩට යන්න ඕනේ නිසා තැන පහ හයකට ගියා. එයාට පිරිසිදු කම, කුස්සිය හොඳට තිබිම, වැඩ සටහන්, ළමයි නිදා ගණන් තැන හොඳට ඕනේ. ඉතින් හොයල හොයල මධ්‍යම ගාණක් ගන්න එකකට දැම්මා . සුමානෙකට පවුම් 150. (මේ 2001 විතර දැන්නම් ඊට වඩා ගණන්) උදේ 8.00 ඉඳන් හවස 6.0 වෙනකම්. දවස් දෙක තුනක් දැම්ම ළමය හැපී නැහැ. පොඩි එකාට මාස 6ක් වත් නැහැ. වයිෆ් ට වැඩට යන්නත් ඕනේ. පොඩි එකී ගෙදර අරන් එනකොට මගේ ඇඟේ එල්ලිලා අඩනවා. අතින් බිම තියන් ඇඳට තියන්න දෙන්නේ නැහැ. පස්සේ දවසක මම ලමයව තියන්න ගියහම අඬනව හොඳටම. මම පුෂ්චෙයාර් එකේ රවුමක් දෙකක අරන් ගිහිල්ල අපහු ගිහින් සෙන්ටර් එකෙන් තිබ්බ. එතන වැඩ කරන පොඩි කෙල්ලක් කීව තියල යන් අපි බලනවා. කියල. මට හිතට හරි නැහැ. පැය භාගෙකින් විතර ආපහු ගිහින් බැලුව. ළමය තවම ගිහින් තියපු තැන. කෙළෙවරක් නැතුව අඬනව. අනිත් පොඩි අයටැහැ එහෙමයි. පොඩි බිරින්දෑ මට වැඩිය පඩි ලැබෙන රැකියවක හිටියේ නමුත් ඒකත් නවත්තල ගෙදර නතර වුනා. එයා දැනුත් කියන්නේ ඒක තමා හොඳම තීරණය කියල. හැබැයි යුරෝපයේ විශේෂයෙන් ජර්මනිය වගේ රටවල ඩේ කෙයාර් වල වැඩ කරන්න බැහැ ඩිප්ලෝමා නතුව. වෙනම ළමයි ගැන කෝස් එකක් කරලා හෙම එන්න ඕනේ. ඒවා මෙහෙට වඩා හුඟක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය උනේ ලංකාවේදී ද? බ්‍රිතාන්‍යයේදීද ?

      ඒක ඉතින් වෙලාව නේද? තිබ්බ සිටුවේෂන් එක අනුවනේ හොඳම තීරණේ ගත්තේ. කොහොමත් ඔය වගේ දේවල් තීරණේ කරලා පස්සේ ඒ ගැන දුක්වෙන්න නරකයි. මොකද එහෙම දුක් වෙලා පලක් නැති නිසා. අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්න මිසක් දුක් විඳින්න නෙවෙයිනේ.

      සුදුසුකම විතරක් මදි මට නම් හිතෙන්නේ. සමහර දරුවන් සමහර බලාගන්න අයට සහ ගුරුවරුන්ට හරිම ආසයි. ලස්සනම නෙවෙයි. වෙනත් මොකද්දෝ ආකර්ෂණයක් තියෙනවා. ස්මාහ්ර වෙලාවට ඔහොම බලන්න යන වෙලාවට දරුවත් අරන් ගියා නම්, එහෙම අය දරුවන් අඳුනගන්නවා. හැමවෙලේම කරන්න බැරි උනත් උත්සහකරන්න පුළුවන්.

      Delete
    2. මෝඩියේ ලංකාවේ පවුම් තියෙනවද ?

      Delete
    3. අඩෙයි ඔමෝ... මක්කද කියනවා? මම මේ නිකාං වගේ ඇහුවේ... හික්
      ස්තුතියි අජිත්

      Delete
  12. හරියට බලාගන්න ඩේ කෙයාර් එකකට දැම්මොත් නම් ළමයි තනියම හොඳට වැඩ කරගන්න පුරුදු වෙනවා කියල හිතෙනවා.
    මෙහෙ නම් ගොඩක් ආයතන වලින් එහෙම child care පහසුකම් දෙනවා. ඒක අම්මලාට ගොඩක් පහසුයි වගේම රැකියාව පැත්තෙන් ගත්තත් කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා කියලයි මට පෙන්නේ. මම කලින් ඉගෙන ගත්තු විශ්ව විද්‍යාලයේ මිතුරියන් කීප දෙනෙක්ම හිටියා අවුරුද්දක විතර බබාලා එක්කම කැම්පස් එකට ඇවිත්, කැම්පස් ඩේ කෙයාර් එකේ බබාව දාල අධ්‍යන කටයුතු කරපු. එතකොට ඕනෙනම් ඉඩක් ලැබුනම බබාව බලන්නත් පුළුවන්. එහෙම හැදෙන ළමයි කීප දෙනෙක්ම බැලුවම එයාල ස්වාධීනයි සහ සමාජශීලී යි ගොඩක්. ඉස්සර නම් පවුල් වල ළමයි හැදෙන්නේ ආච්චිලා සීයලා වගේම නෑදෑ අසල්වැසි ළමයි ගොඩක් එක්කනේ. පවුලක උනත් සහෝදර සහෝදරියෝ ගොඩක් හිටියා. අද න්‍යෂ්ටික පවුල් වල ළමයින්ට එහෙම නැති නිසා ඩේ කෙයාර් එකකින් ළමයා සමාජගත වෙන එක පොඩ්ඩක් හරි වෙනවා. ඕනෙවට වඩා හුරතල් වෙන එක නැවතිලා අනිත් අය එක්ක බෙදාගෙන හදාගෙන සමගියෙන් වැඩ කරන්න ඉගෙන ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය 'හරියට බලාගන්නවා' කියන එක බොහොම සාපේක්ෂ දෙයක් නේද?

      දරුවන්ට සෙල්ලම් කරන්න දුවන්න වත් ඉඩනොදෙන අම්මලා ඉන්නවා. එයාලට මොනවා කලත් වැරදියි. අනිත් එක තමන්ගේ දරුවා තමන්ට වැඩියෙන් වටිනවා කියල හිතන අයගෙන් තමයි වැඩිපුර කරදරේ.

      ලංකාවෙත් කැම්පස් වල ස්ටාෆ් ඉන්න අයට මේ පහසුකම තියෙනවා. වැඩේ කියන්නේ ඩිමාන්ඩ් එක හරිම වැඩියි. පවුලේ සමාජිකයින් ගණන විතරක් නෙවෙයි, අපි අල්ලපු ගෙවල්වල ළමයි එක්ක එකට සෙල්ලම් කළා. දැන් එහෙම යවන්නේ නැහැනේ. දරුවන්ගේ ලෝකය හරි පුංචියි.

      Delete
  13. සැහෙන්න බොන්න ඕනේ ප්‍රශ්න නේද මේවා. අපේ අක්කගේ පොඩි උන් දෙන්න නම් ගෙදර හැදුනේ. ආච්චි අම්ම එක්ක. අපේ අම්ම නැති වෙලාවට ලොකු අම්ම ඇවිල්ල බැලුව. ඒ අතින් උන් දෙන්න හෙන ලකී. දැන් නම් ආච්චිලා දෙන්නටම වඩා උන්දෙන්නා පැහිල හෙහ් හෙහ්

    මගේ අදහස නම් ඉතින් පවුලේ කෙනෙක් එක්ක හැදෙන එක හොඳයි කියන එක. හැබැයි ඉතින් ලොකු වෙනකොට කෙලින් තීරණ ගන්න පුළුවන් විදියට ස්වාධින වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. ඩේ කෙයාර් ගැන එච්චරම අදහසක් නෑ. ඉස්සරහට සමහරවිට ඕනේ වෙයි.

    ReplyDelete
    Replies
    1. බීලා කානුවක වැටියන් එහෙනම්!

      පවුලේ කට්ටිය ලඟපාත ඉන්නවා නම් හොඳයි. නැතිනම් මක් කරන්නද? හිතන්න ඔබේ පිටරට ජීවිතේදී ඔබට එකවරම පවුලේ කෙනෙක් ගෙන්නගන්නත් බැහැ , ආවත් ගොඩක් කාලයක් ඉන්නත් බැහැනේ? ගොඩක් වෙලාවට වයසක අත්තම්ම , සියා නටවාගෙන තමයි දැන් කාලේ පොඩි උන්නම් හැදෙන්නේ. අනිත් එක ජෙනරේෂන් ගැප් එක තදින් බලපානවා

      Delete
  14. මටත් තියෙනවා ඩේ කෙයා අද්දැකීම්.

    ටික කාලයක් මමත් ජාත්‍යන්තර පාසලක ටීච් කලා. ඉතින් ඒකෙත් තිබුනා ඩේ කෙයා එකක්. ඉස්කෝලේ වැඩ වලට හවස ඉන්න වෙලාවට හිටපු ගමන් මමත් ඒ පැත්තට ගිහින් බලනවා ඒ පැත්තේ විස්තර. පොඩ්ඩෝ එක පේලියට නිදාගෙන ඉන්නවා දකිනකොට නම් දුක හිතෙනවා. ඒත් හැමදේම හරිම පිලිවෙලට , කාල සටහනකට සිද්ද වෙන නිසා ළමයි පුංචි කාලේ ඉඳලාම ඒ දේවල් වලට පුරුදු වෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ.ගෙදරක තනියම ඉන්නවට වඩා කට්ටිය එක්ක ඉඳලා එකට එකමුතුව වැඩ කරන එක, බෙදා හදා ගන්න එක, තනියම පුංචි පුංචි දේවල් කරගන්න පුරුදු වෙන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. දරුවෝ එහෙම නිදාගෙන ඉන්නවා දැක්කම ඩේ කෙයාර් නෙවෙයි, ගෙදර එකා උනත් දුක හිතෙනවා නැද්ද?

      ඔහොම නිදාගන්න එකේ හොඳත් තියෙනවා, නරකත් තියෙනවා. හමේ රෝග, ඉස්හොරි වගේ දේවල් බෝවෙනවා. කොට්ටය, මෙට්ටය ආදිය පොදු නිසා. නමුත් ඒවා මම හිතන්නේ ජිවිතේ කොටසක් කියල.

      Delete
  15. හොද ලිපියක් උපේක්ෂා. මෙහෙ නම් ඩේ කෙයා වල හැම තැනම සිසිට්වි කැමරා අනිවාර්යයි. වැඩිය කියන්න යන්නේ නැහැ, කමෙන්ට් කියෝලා ගොඩක් දේවල් දැනගත්තා. තැන්ක්ස් ලින්ක් එකට

    ReplyDelete
    Replies
    1. හොඳයි කිව්වා? ඔයා තරම් නම් පිළිවෙලට ලියල නැහැ. ඔමාගේ ලිපියේ ගොඩක් කරුණු තියෙනවා මට තව පෝස්ටුවක් ලියන්න. මොකෝ දැන් ලියන්නේ නැත්තේ? පොඩි දෙයක් ගැන හරි ලියන්නකෝ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...