සෙල්ලම් බඩු ගැන කියන්න මම වැඩි කැමැත්තක් නැහැ. ඒ උනාට කියන්න වෙනවා. හේතුව තමයි සුන්දර ඉල්ලීමක්, අහක දාන්නම බැරි ජාතියේ.
සෙල්ලම් බඩු කියන්නේ පුංචි කාලේ මාව කියෝපු එකම කට්ටිය වගේ දෙයක් මට කියන්න ඕනේ. නමුත් මගෙත් එක්ක හිටපු සෙල්ලම් බඩු වලටත් මට වගේම ප්‍රශ්න තොගයක් තිබ්බ. ඒ අතරින් වැඩියෙන්ම තිබ්බ ප්‍රශ්නේ තමයි එකිනෙකා තේරුම් ගැනීම. මොකද මම සෙල්ලම් බඩු එක්ක තියාගෙන හිටපු සම්බන්ධය හැටියට එයාලට වචන වලින් මම සපයපු තොරතුරු අතිශය සීමිතයි. ඉතින් මාව තේරුම් ගන්න එක එයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඇති කියන එක මම තේරුම් ගත්තේ මම 'කච පච' ගගා කියෝනකොට මට හිටපු සෙල්ලම් බඩු දක්වන ප්‍රතිචාර ගැන බලනකොටයි.
පොඩි කාලේ මට ඇත්තටම හොඳ සෙල්ලම් බඩු එකතුවක් තිබ්බ. ගර්ලිෂ් නොවුන නිසාම ලැබෙන සෙල්ලම් බඩු අතරින් මගේ හිත ගියේම අක්කට වෙනස් රුචියක් තියෙන සෙල්ලම් බඩු වලට වෙන්නත් පුළුවන්. ඒ උනාට කාටවත් තේරුම් ගන්න බැරි ගුප්ත, ගැඹුරු බැඳීමක් මට බෝනික්කෝ එක්ක තිබුනා.
මගේ බෝනික්කෝ කතාවේ උන්නු බෝනික්කා, මගේ නහරවැල් දිගේ ගලායන සම්බන්ධයක් ඇති කෙනෙක් කියලා, ඒ කතාවේදී මම කිව්වා වගේ අපේ අම්මාට වැටහුනේ නැත්තේ ඒ නිසාම වෙන්න ඇති. ඒ කියන්නේ බාහිර ස්වරුපයෙන් මුදු මොලොක් ගතිගුණ මනිනවා කියන මිම්මට අහුවෙලා මම අදත් ( මේ වෙනකොටත්) කියතෙන් කැපිලා ගියපු ළමාකාලයක් විතරක් නෙවෙයි, වැඩිහිටි වියකුත් තියෙනවා කියන්නේ හිනාවට කාරණාවක් උනේ නැති උනාට, මට ඒ ගැන හිතනකොට හිනත් යනවා තමයි. ඒකත් සමහරුන්ට පේන්නේ ගල් හිතක සලකුණක් විදියට.
මට තිබ්බ සෙල්ලම් බඩු වල ලිස්ට් එකක් දාල සර්පයෙක් අරින්න බැරි, අද මේ වෙනකොට මතක තියෙන ලැයිස්තුව සර්පයෙකුට මදි නිසා මිසක් මගේ අකමැත්තක් නැහැ. අපේ අප්පච්චිට පිංසිද්ද වෙන්න අපි ගතකලේ ඒ වගේ ළමාකලයක් උනත් සෙල්ලම් බඩු සහ ඒවා ගැන අවංක විදියටම මට තියෙන්නේ එක විදියක මනෝ විකාර අත්දැකීම් සහ හැඟීම්.
අපිට හිටියා බෝනික්කෝ දුසිම් බාගයක්. එකෙක් අඩියක් විතර කිව්වට මට නම් හිතෙන්නේ ( ඒ කාලේ මගේ මිමි වලින් අඩියක් කියන්නේ අඟල් දහයකටත් වඩා අඩුයි) උන් අඩි බාගයක් විතර ඇති. හය දෙනාම එකම වගේ කොන්ඩේ තඹපාට වෙච්ච, රෝසකම්මුල් තිබ්බ අය උනත් එයාල වෙන් වෙන්ව අඳුනගන්න අපිට පුළුවන් උනා මොකක් හරි ක්‍රමේකින්. උන් හය දෙනා මමයි අපේ අක්කයි කියන දෙයක් අහගෙන අපි කොන්දොස්තර ( මම තමයි ටිකට් කඩන්නේ) වෙන බස් එකේ සද්දයක් නැතුව ගමනාන්ත වලට ගියා විතරක් නෙවෙයි, ඒ දවස්වල මැෂින් එක යන්තම් පාගගන්න පුළුවන්කම තිබ්බ මම විසින් මහපු මෙෂමන්ට් අවුල් ගියපු හිරම හිර ගවුම් විතරක් නෙවෙයි, යට ඇඳුම් පවා දවස ගානේ මාරු කරා මට මතකයි.
ඒ එක බෝනික්කෙක්ටවත් පුළුවන්කම ලැබුනේ නැහැ මගේ හිත කියවන්න. ඉතින් ඒ බෝනික්කෝ මැද්දේ උනත් මට තනියක් දැනුනා.
මේ අතරතුරේ මගේ හිත ගියේ මගේ සෙල්ලම් ලී අස්සයට. සුදුපාට පසුබිමේ තිබ්බ කලුපාට, අළුපාට පුල්ලි වල මම ඒ දවස්වල එක එක රටා මවනකොට හෙල්ලෙන්නේ නැතුව ලි අස්සයා ඉන්නවා, මගේ මොස්තරේ මට හොයන්න ලේසි වෙන්න. ඉතින් මාව තේරුම් අරගෙන නැද්ද? ඒ ඔක්කොටමත් වඩා මම උගේ ඇසුර අගය කලේ, මට ඕනේ වේගෙන් යන්න , මම කියන ඕනෙම වෙලාවක ලෑස්ති වෙලා පිටට නගින පමාවෙන් බඳු වේගෙන් මාව අරගෙන යන්න ඌ ඉවෙන් වගේ දැනගෙන හිටිය. තාමත් මට ඒ හැඟීම ගන්න පුළුවන්... මේ දැන් උනත්!
ඒක එතරම් කාලයක් උනේ නැහැ. මොකද්දෝ කියන්න බැරි දුකක් තිබ්බ දවසක මම දැනගත්ත ඌ තවදුරටත් මගේ සාලේ නැහැ කියල. පරණ බඩු තිබ්බ කාමරේ ඉඳල මම ඌ එක්ක මගේ සෙල්ලම කරනකොට තමයි මට කවදත් වගේ මගේ සිහිය නැති උනේ. ඊට පස්සේ උගේ ඉරණම විසඳිලා තිබ්බ මම ඉස්කෝලේ ගියපු පමාවට. එහෙම කලේ ඇයි කියල තියා කවුද එහෙම කලේ කියලත් මම දැනගත්තේ ඊට දශක කීපයකට පස්සේ. ඒ වෙනකොට මගේ තුවාලය මට මතක නැතුවයි තිබ්බේ. තාමත් මම ඒ තුවාලයට බෙහෙත් දානවා.
ඊට පස්සේ මතක තියෙන තරමක් මට හිටියේ වලස්සු. උන් හරිම නිශ්ශබ්ද සවන්දෙන්නෝ ජාතියක්. පළවෙනියටම මට ලැබුන වලහා ( මම හිතුවේ ඌ වලහෙක් කියල. ඒ උනාට ඌ වලහෙක් නෙවෙයි කියල මම දැනගත්තේ බොහොම මෑතකදී) ගෙනාවේ අපේ අප්පච්චි. නැවෙන් ගෙනාපු බඩු තොගේ අදටත් මට නම් කරන්න පුළුවන් ගානට මතකයි. ලී පෙට්ටි අතරින් මතුවෙන ගෙදරට අයිති නොවන සියල්ලම ඒ අසලම හිටගෙන උන්නු අයගේ මකර කටින් බේරුනේ බොහොම කලාතුරකින්. මට මේ කෙරුවාව ඇතිකළේ ලොකු වෙහෙසක්. මට මතකයි මම එතනම තිබ්බ කාපට් අතරේ ගුලි වෙලා නිදාගත්තා. ඒ හොරට. ඒ අස්සේ ෆ්‍රිජ් එකේ උඩ දොරට ගහල තිබ්බ සීල් එක කඩන සද්දෙට මම හොරා වගේ ඇස්දෙක යන්තමට ඇරලා බැලුව. උඩ දොර අරිනකොටම සුදුපාට පුළුන් ගුලියක් වගේ එකකුත්, ඒකෙ රතුපාට මොනවා හරිත් මම දැක්කට, ඇස්දෙක බාගෙට වහගෙන හින්ද මුකුත් පෙනුනේ නැහැ.
'අන්............... නේ............'
ඒ අපේ අක්කගේ ප්‍රතිචාරය. හෙමින් එලියට ගත්ත සුදුපාට පුළුන් බෝලය දකිද්දී මගේ හිත මොකද්දෝ පාලුවකින් වෙලිලා ගියා මතකයි. මම හෙමිට ඇස්දෙක පියා ගත්තා. ඊට විනාඩියකට විතර පස්සේ මගේ වකුටුවෙච්ච වම අතේ ඇතුල් පැත්තට වෙන්න ඉතාම මෘදු බූල් පහසක් දැනුනා.
'පව් අනේ.. නින්දත් ගිහිං'
අපේ අක්කා අතින් සුදුපාට බූල් පිරුණු වළහා ලැබුනේ එහෙමයි. ඒ උනාට මට ඌ ගැන ලොකු බැඳීමක් ඇත්තේ නැහැ. මටම පුදුමයි ඒ ගැන.
ඒ හින්දමද මන්ද ගොඩක් දෙනා මාව වැරදියට කියවන්නේ.. ඒ අතරේ හරියට කියවන කෙනෙක් ලැබුනම දැනෙන්නේ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ!
කාලත් එක්ක සෙල්ලම් බඩු කියන ජාති කැබිනට් අස්සට යන්න පටන් ගත්ත. අපි පොඩි කාලේ සෙල්ලම් බඩු කැඩුවා කියල නම් මතකයක් නැහැ. අය්යා නම් මට මතකයි අඩි තුනක් විතර හිටපු අපේ අක්කගේ කතා කරන බෝනික්කට මරණිය සැත්කමක් කළා මිසක් උගේ නම් කිසිම සෙල්ලම් බඩුවක් මස් කලේ නැහැ. ඒ හින්ද අදටත් ඒවා කැබිනට්ටු අස්සේ ඉන්නවා. අර මම කියාපු චුටි බෝනික්කෝ එක්ක මගේ මොකද්දෝ සම්බන්ධයක් තියෙනවා, ඒ හින්දමද මන්ද උන් ටික දෙනාගේ ඇඳුම් කිළුටු වෙලා තිබ්බත් මම කැබිනට් එක ගාවට ගිහිල්ල බලනකොට කිළුටු ඇඳුම් එක්කම මගෙත් එක්ක 'හිකි හිකි' ගගා හිනාවෙනවා කියල හිතෙනවා.
දැන් ඉතින් ප්‍රසිද්ධියේ සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්න බැරි තරම් වෙලාදෝ කියල හිතුනත් මට මාව අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට යන්තමට හරි සිහියක් ආපු ගමන් මම කරන්නේ අක්කගේ පොඩි එකෙක් හරි දඩමීමා කරගන්න එකයි. එතකොට උන්ගේ ගිණුමට බැරවෙන්න මම මගේ සෙල්ලම් බඩු ආසාව කවර් කරනවා.
මේ තියෙන්නේ පොඩි එකෙක්ගේ ගිණුමකට මම එහෙම ගත්ත සෙල්ලම් බඩුවක්. මේ කුරුමිණියා වයින් කරලා තිබ්බහම සරල රේඛිය නොවෙන ගමනක් ගිහින් ටිකකින් පිනුම් ගහනවා. ඇත්තම කියනවා නම් මම ඕක ඊ බේ එකෙන් ගන්නකොට දැනගෙන හිටියෙත් නැහැ පිනුම් ගහන කතාව. ඉතින් ගෙනල්ල ඉවර වෙලා පලවෙනි වතාවට වයින් කලාම, ගිණුමේ අයිතිකාරකට වඩා උඩ පැන්නේ මමනේ!
මේ සෙල්ලම් බඩුව මොකද්දෝ හේතුවකට මම අයිතිකරගෙන ඉන්නේ. කොටිම්ම භාණ්ඩය ගෙනාපු ගිණුම් අයිතිකාරයාගෙන් හොරෙන් උස්සලා, පොඩි එකාගේ ඇස් වලටත් වැලි ගහල තමයි මේක මම ආරක්ෂා කරන්නේ.
මේ ඉන්නෙත් අහම්බෙන් මගේ හිත ගත්ත ජාතියේ එකෙක්. මොකද්දෝ හේතුවකට මම මෙයාව මගේ කාමරේ එල්ලගෙන ඉන්නවා. ටික කාලෙකට කලින් මගෙන් සින්දු එහෙම ඉගෙන ගත්ත මෙයා මට හැමදාම සතුට බෙදනවා කියල මමම හිතාගෙන හිටියා. ඉතින් ගෙදරින් පිට කොහේ ගියත් මම මෙයාව අරගෙන යන්න පුරුදු වෙලා හිටියා. සමහර දවස් වලට ඉස්කෝලේ අරගෙන යනවා. කැම්පස් කාලේ මගෙත් එක්ක කැම්පස් ගියාට එයා පස්සේ තමන්ගේම කැමැත්තෙන් කාමරේ එල්ලිලා ඉන්න කැමති උනා.
මෙයා.... මෙයා තමයි..... මම පෙන්නන තරු පේන්නේ අනිත් අයට නිසා මට තරු පෙන්නන්නේ මෙයා තමයි. තරු පිරිච්ච අහසක් තියෙන දවසක උනත්, මම මෙයාගේ තරු බලන්න ආසයි. පිටට තට්ටුවක් දාල ඩ්‍රෝවර් එකේ පැත්තකින් තිබ්බහම මට කැමති පාට වලින් තරු බලන්න විතරයි මම මෙයාව ආශ්‍රය කරන්නේ.
මේ මොනවා කිව්වත් මම තව සෙල්ලම්බඩු හොයන එක නතර කරලා නැහැ. -----------
තවත් දෙයක්... සෙල්ලම් බඩු කියන්නේ ඇත්තටම පොඩි අයට තියෙන දේවල් විතරක් නෙවෙයි. අනිත් එක ඒවා පුංචි දේවල් වල සිට මහා ලොකු ප්‍රමානයන්ගෙනුත් එනවා. ඒ කියන්නේ මම සෙල්ලමට මිනි ෆිගර් ගන්නකොට, තවත් සමහරු කාර් වගේ දේවල් සෙල්ලමට එකතු කරනවා. ඉතින් මට මිනි ෆිගර් එකක් කැඩුනම, පිපිරුනාම , වැදුනම එන දුක, කම්පනය ප්‍රමාණයම සෙල්ලමට කාර් එකතු කරන කෙනාට දැනෙනවා.
වෙනස තියෙන්නේ මම හිත රිදුනොත් ඉක්මනට ඒක ද්‍රව්‍යමය දෙයකට හරෝනවා.
එක දවසක් මම ගාල්ලේ ගියා. යනකොට ගියේ හයිවේ එකේ උනාට මුහුද බලන්න තිබ්බ පෙරේතකමට එනකොට ආවේ ගාලු පාරේ. ගාලු පාරේ රියපැදවිම කියන්නේ මට එපාම කරපු දෙයක්. ඒ අස්සේ චුරු චුරු වැස්සක් කඩාගෙන වැටෙමින් තිබ්බා. මගේ ඉස්සරහට ආවේ හෝන් එක උඩ ඉඳගත්ත රියදුරෙක් පදවපු කොළඹ-ගාල්ල බස් එකක්. ඊට පිටිපස්සේ ලොකු බඩු ලොරියක්. එකපාරටම විදුලියක් වැදුනා වගේ කොහෙන්දෝ ඒ දෙක අතරින් මතු උනේ වේගෙන් එන තෙසක් රියක්! හිතන්න තියා හුස්මක් ගන්නවත් වෙලාවක් නැහැ, ඇත්තටම මගේ අතින් සුක්කානම ඉවතට කැපුනෙම නැති තරම්.
'දඩාන්'
හෙනයක් වගේ මහා සද්දයක් ඇහිගෙන මුළු කාරයම දෙදරවාගෙන තෙසක් රිය මාව පහුකරගෙන ගියා. මම තිරිංගය උඩ හිටගත්තා කිව්වා නම් තමයි නිවැරදි. දකුණු උරහිසින් උඩින් පිටිපස බලපු මම දැක්කේ තෙසක්රිය වට දෙකක් බිම පෙරලිලා තවත් අඩි ගානක් පොලව දියේ ඇදිලා යන විදිය... කවදාවත් ඒ වෙනකොට මගේ අතින් වාහනේ හැප්පිලා තිබ්බෙත් නැහැ. මට මාව අමතක උනා. මම බැලුවේ පිටිපස්සේ ආසනේ විතරයි. එතන මුකුත් ප්‍රශ්නයක් නැහැ.
සේරෙප්පුත් නැතුව මම දුවගෙන ගියේ තෙසක් රියේ දරුවෙක්වත් ඇතිදැයි හිත විලාප ගහද්දි.
'මොකද්ද මේ කලේ?? පොඩ්ඩක් බලාගෙන එන්න එපැයි !!'
මට ඇහුනේ එච්චරයි! මම මගේ පපුවට අත තියාගත්තා මතකයි.
පෙරලුනු රිය ඇතුලේ හිටියේ කෙලින්වත් ඉන්න බැරිවෙන්න අනුමත වෙච්ච ලාබාල කොල්ලන් පොදියක්. උන් පාර පුරාම විසිරිලා හිටියා. හැමෝටම හොඳටම තුවාලයි. මගේ හුස්ම හරියට වැටෙන්න ගත්තේ තුවාල කාරයෝ අතරේ දරුවෙක් හරි කාන්තාවක් හරි හිටපු නැති නිසයි. ඊට ගොඩ වෙලාවට පස්සේ තමයි මම මගේ කාරය ළඟට ආවේ. එතකොට තමයි දන්නේ, මට අහිමි වෙලා තිබ්බේ රියදුරු අසුන පැත්තේ පැති කණ්නාඩිය විතරයි කියල. වාහනේ බොනට් එකක් මම බලාපොරොත්තු උනේ නැතත්, ඒක හිරීමක් වත් නැතුව තිබ්බ.
අදටත් මට වැටහෙන්න නැහැ ඒ වෙලාවේ මට වාහනේ ගැන දුක හිතුනේ නැත්තේ ඇයි කියල. තාමත් මම හොයනවා.
නමුත්, මගේ කැම්පස් ජිවිතේ පුහුණුවීම් කාලේදී හම්බවුනු සොච්චම් පඩි එකහමාරක් එකතු කරලා ගත්ත බේසික් දුරකතනයක්, එකපාරක් මැක්ස්මාරා එකේ ෆිටෝන් කාමරේ අමතක කරලා ආව. එලියට ඇවිත් විනාඩියක් ගියේ නැහැ, ගිහින් බලනකොට නැහැ. මගේ වෙලාවට දුරකථනය තිබ්බේ සයිලන්ට් මෝඩ් එකේ, ඒ මොහොතේ මම පුළුවන් හැම තැනකම හෙව්වා. සේවක සේවිකාවන් එයාලගේ දුරකතනයෙන් අමතමින් හෙව්වා. නාදවෙනවා උනත් හොයාගන්න බැරි උනා. මම කලේ ඉවරයක් නැතුව අමතපු එක. අක්කගේ දුරකතනයෙන් SMS එකක් පවා දැම්මා. නමුත් හම්බුනේ නැහැ. සතියක් යනකල් මම ඒ ගැනමයි කියෙව්වේ. මොකද්දෝ නොදන්නා හේතුවකට අදටත් මම ඒ දුරකථනය නැති කරගත්ත එක ගැන දුකයි.
සෙල්ලම් බඩු කිව්වහමත් මට හිතෙන්නේ ඒ වගේ. නොදන්නා හේතුවකට අපි ඒවාට බැඳෙනවා. වාහන වලට නම් මගේ බැඳීම බොහොම ලිහිල්. ද්‍රව්‍යමය නොවෙන දේවල් වලට තමයි වැඩිපුර මම උඩපනින්නේ. ඒක දන්නා කීපදෙනෙක් ඉන්නවා කියල මම හිතනවා.
ඒ උනාට තාමත් සමහර සෙල්ලම් බඩු පොඩි එකෙක් කඩනවා දැක්කහම මට යක්ෂයා ආරුඪ වෙනවා...
http://www.xojane.com/issues/i-still-play-with-toys
ReplyDeletehttps://www.buzzfeed.com/mallorymcinnis/hey-mom-keep-out-of-my-toys?utm_term=.ijWENWO2b#.ip3ow9AbE
සමහර දේ එකතු කිරීමට ඇති ආසාව, කලෙක්ෂන් එකක සියලු අංග සම්පූර්ණ කිරීමේ ආසාව ලමා කාලයටත් වඩා සමහරවෙලාවට වැඩිහිටිකාලෙ තියනවා.
Deleteමට පොත් ගැනත් ඒ ආසාව තියනවා. අවුරුදු ගාණක් ගිහිල්ලත් කියවල නෑ සමහර පොත් ඒත් කලෙක්ෂන් එක බලල සතුටුවෙනවා
ලින්ක්ස් දෙකට ස්තුතියි...
Deleteඔය කලෙක්ෂන් සම්බන්ධයෙන් ළමා කාලයේ තියෙන්නේ කාටවත් පරිපුර්ණ කරගන්න බැරි ප්‍රමාණයක්. කොතරම් සල්ලි තියෙන ළමා කාලයක් තිබ්බත් ඒ කලෙක්ෂන් ඔක්කොම අසම්පුර්නයි නේද? ඒ අඩුව අපිව වැඩිහිටියෙක් විදියට එක දිශානතියකට එක්කගෙන ගිහින් එක තැනකදී අපිව කරකවලා අතාරිනවා. එතැනදී එක වැඩිහිටියෙක් ඒ ආසාව පරිපුර්ණ කරගන්න වැඩකරද්දී, තවත් කෙනෙක් ඒ අවකාශය දිහා බලාගෙනම ඉන්නවා. එහෙම හිදැස් වල වැඩිපුරම තියෙන්නේ කරන්න බැරි දේවල් නෙවෙයි.
පොත් ගැන??? හ්ම්ම් හ්ම්ම්.. ඒක ගැන මම වෙනම පෝස්ට් එකක් ලියන්නම්. මොකද ඒ ගැන එතරම්ම තද අවකාශයක් මගේ හිතේ තියාගෙන ඉන්න නිසා. ප්‍රා ඒ කියන්නේ ඒ ගැන ක්‍රියා කරනවා... අහන්නත් සතුටුයි. පොත් ගැන වෙනම ලියන නිසා වැඩිපුර ඒ ගැන ලියන්නේ නැතුව හංගගන්නම්, පස්සේ හොඳද?
සෙල්ලමට එකතු කරනවා කියලද දැන් ඉතින් හිතන්න වෙන්නේ?
මගේ සෙල්ලම් බඩු වෙලා හිටියේ පුංචි කවකටු පෙට්ටියකට දාලා වහලා තියන්න පුළුවන් තරම් පුංචි දේවල් ටිකක්...බොත්තම් ජාති වගයක්, ටූත් පික් වගයක්, පරණ ගොඩක් සිනිදු රෙදි කෑල්ලක්...
ReplyDeleteතව මගේ ලඟ තිබ්බා ඇහැක් නැති බෝණික්කෙක්...මගේ සෙල්ලම් බඩු නැති වුනේ කොහොමද කියලා මම තාම දන්නේ නෑ..අනිත් අයට වැඩක් නැති විසිකරණ කෝටු කෑලි පවා මට සෙල්ලම් බඩු වුනා :(
උපේක්ශා මේ සටහන ඉඳිකටු ඇනෙනාත්මකයි
ටුත්පික්!! දෙය්යනේ මොකද්දෝ හේතුවකට මමත් ඒවායින් එකක් තියාගෙන හිටිය. කොතරම් පරිස්සම් කරාද කියනවනම්..... හංගපු තැන මතකත් නැතුව ගියා.
Deleteසෙල්ලම් බඩු නැති උනේ කොහොමද කියල එකපාරටම දන්නේ හිතුනම විසල්ට දැනිල තියෙනවද හරියට ලොකු ගංවතුරක යටට යටට ගිලිගෙන ගිලිගෙන ගිහින් එකපාරටම හුස්ම නතර වෙලා තත්පර දෙක තුනක් යනවා වගේ?? මට එහෙම උනා මගේ සෙල්ලම් අස්සයා අතුරුදහන් උනහම. මම අස්සයා පදිනවා වේගේ වැඩියි කියල අම්මගේ උපදෙස් මත මගේ බේබි සිටර් තමයි ඒක පලලා ලිපේ දාල තියෙන්නේ. මොකද කොහේ තිබ්බත් මම හොයාගෙන පදින නිසා. අම්මෝ ඒ ගැන කියද්දී මට හිතෙන්නම මිනීමැරුමක් උනා වගේ.
අනික් අයට වැඩක් නැති දේවල්.. හ්ම්ම් හ්ම්ම්ම් මට වෙලා තිබ්බේ ඒ වගේ දේවල් එක්ක මට තිබ්බ ගුප්ත සම්බන්දෙ. තාමත් ඒ ගුප්ත ගතිය මට දැනෙනවා. අක්කගේ ලොකු බෝනික්කාගේ හදවතින් අය්යා හදපු ගැජමැටික් එක විසිකලාම මට ඒක මගේ සෙල්ලම් බඩුවක් උනා මතකයි. ඒක එක්ක මට තිබ්බේ අමුතු සංවාද. ඔය සිනිඳු රෙදි කෑලි මම ඉස්සර අපේ අම්මගේ මැහුම් බාල්දියෙන් උස්සනවා. සමහර රෙදි එක්ක මම කලේ මොනවද කියලත් මතක නැහැ. විසිකරන්න නොදී හිටිය එක නම් මතකයි. සමහර බොත්තම් තාමත් ගෙදර තියෙනවා, ඉස්සර තිබ්බ පෙට්ටි ඇතුලෙම දාල. අනේ ඇයි මම මේවා ලියන්නේ?
මගෙ සෙල්ලම්බඩු ලිස්ට් එකේ අක්කෙ මං ආදරේම දන්ඩෙක් වගේ උස රෝස පාට බෝනිකි කෙල්ලෙකුටයි, පන්සලේ හාමුදුරුවො දුන්නු සුදුපාට බූල් බූල් බල්ලෙකුටයි තමයි. මට අවුරුදු 9කට පස්සෙ මගෙ නන්ගි ඉපදුනට පස්සෙ ඒ සේරම ලෝබකමට බදං නොයිද අපෙ නංගිට දෙන්න මට සිද්ද වුණා. පස්සෙ මං එයා ඒ බෝනික්කන්ට, බව්වට,තව එයාගෙ බඩු වලට පෝලිමට තියන් සාරියකුත් ඇඳන් උගන්නනව හූල්ල හූල්ල බලං හිටපු හැටි මට තාම මතකයි, මං එයාට වඩා හුඟක් ලොකු වෙලත් මට ලෝබකම අතෑරගන්න බැරිවුණානෙ.
ReplyDeleteකැමතිම සෙල්ලම් බඩු ඔයා මොන හිතකින්ද දුන්නේ? මට නම් හිතාගන්න බැහැ. මට දැනෙන්නේ ඛේදවාචකයක් වගෙයි. මම එහෙම දෙන්නේ නැති වෙයි. මොකද මම කැමති වෙන්නේ හරිම අඩුවන්. එහෙම වෙන්නේ ආයෙත්නම් අතාරින්න බලාගෙන නෙවෙයි. අල්ලන්න දෙන්නෙත් නැහැ වෙන එකකටවත්! හි හි හි... දරුණු තත්වයක්!
Deleteමම ඔයා නම් ඒවා ගල් කරනවා ඉඩක් ලැබුණු ගමන්.
කැම්පස් කාලේ මගේ ගාව හිටිය අතිශය සිනිඳු , අල්ලෙන් බාගයක් විතර වෙන, තද දුඹුරු පාට ටෙඩ්ඩෙක්. ඌ හිටියේ මගේ කොට්ටේ ගාව. ඕකා ඇල්ලුවොත් එදාට තමයි මගේ හැටි කට්ටිය බලාගන්නේ. හි හි හි.... මගේ දරුණුකම හින්දම මම එයාව කාටවත් අල්ලගන්න, ගන්න බැරි තැනක තියල තියෙන්නේ දැන් නම්.
ගොඩ දෙනෙකුට පොදු මාතෘකාවක්. මොඩ්ල් බස් එකක් ගැන මිහිරි, අමිහිරි මතකයක් මට තියෙනවා.
ReplyDeleteඅනේ අනේ.... ඔහොමද කොමෙන්ටු දාන්නේ? දැන් ඉතින් මොඩ්ල් බස් එක ගැන කියන්නේ කොස්තාපල් ද?
Deleteමාතෘකාව නම් පොදු ඇති. ඒ උනාට ඒ ගැන කියන්න තියෙන දේවල් අතිශය පෞද්ගලිකයි නෙව!
හොද පෝස්ට් එකක්.
ReplyDeleteමම සෙල්ලම් බඩු සෙල්ලම් බඩු විදියටම දැක්කෙ ටිකක් ලොකු උනහම පොඩි කාලේ ඒවට පණ තිබ්බා.
කාර් ගැනත් මුල්කාලේ එහෙමයි, අවුරුදු ගානක් ගියා ඒක ද්‍රව්‍යමය දෙයක් බව තහවුරු කරගන්න. දැන් හැප්පුනොත් එච්චර ගානක් නෑ. හදාගන්න කං වෙන කරදර ගැන විතරයි හිතන්නෙ.
ස්තුතියි. තව ලියන්න තියෙනවා පොත් ගැන, සෙල්ලම් බඩුවලට සම්බන්ධ උනත් ඒවා සෙල්ලම් බඩුමත් නොවෙන නිසා ඒවා ලිව්වේ නැහැ. මගේ සෙල්ලම් බඩු පණ තිබ්බද කියල මට මතකයක් නැහැ. ඒ උනාට එයාලගේ සිතුවිලි වලට මට පාටක් තිබ්බා. වැඩියෙන්ම ආදරේ උන් මට කතා කරන්නේ දම් පාටින්, කහ පාටින්.
Deleteවාහන ගැන නම්, එදත් එහෙමයි. අදත් එහෙමයි. ඒකනේ හම්බානක තාමත් බැනුම් අහන්නේ මෙලෝ ගානක් නැහැ කියල. මම පරිස්සම් කරනවා. හැබැයි මොනවා හරි උනාම ඒක ඉක්මනින් සනීප වෙන තුවාලයක්. කොටින්ම වාහනෙන් බැහැල හානිය බලනකල් විතරයි. හැබැයි අනුන්ගේ වාහනයක් නම්, හම්බානක අවුල් යනවා. ඒ හින්දා අනුන්ගේ වාහන පදින්න මගේ කිසිම කැමැත්තක් නැහැ.
//නොදන්නා හේතුවකට අපි ඒවාට බැඳෙනවා//
ReplyDeleteඒක නම් ඇත්ත තමයි. මගේ බැඳීමේ තරම කියනවානම් , මගේ සෙල්ලම් බඩු වලින් යහතින් ඉතුරු වෙලා ඉන්නෙ අපේ නංගා විතරයි ....
පව් අර කොල්ලො ටික. උන් ඔක්කොම දිවිනහගත්තද? හැක්
Deleteමෙතු :
Deleteහෑ ඒ කියන්නේ ඔයා ඒ කාලේ ඉඳන්ම පන තියෙන උන් එක්කමද සෙල්ලම් කලේ? මගේ අම්මේ!!
ඉයන්:
එහෙනම් එහෙමද උනේ? ඉයන් ඔයා විතරයිද ඉතුරු !????
මේ නහින දෙහින කාලේ ඉන්න මම කොහොමද කොල්ලෙක් වෙන්නෙ? හැක්.
Deleteහුකෑස්....
Deleteමේ මම ලියන්න හිටි පෝස්ට් එකක්නෙ බොලා මට කලින් ලියලා තියෙන්නේ. හිටපංකෝ
ReplyDeleteඅම්මේ ඇති යාන්තං .. දැන් මට සැනසිල්ලේ ඇස්දෙක පියාගන්න පුළුවන්. අපේ හෙන්රිට කලින් ගියා කියන්නේ වැඩේ ගොඩ. මොකද හෙන්රි ලිව්වා නම් මම ඔතන යන්නේ කොහෙද, මල්ලේ පොල් කොමෙන්ටුවක් විදියට එපැයි මේ ටික ලියන්න! අනිත් එක මීට වඩා සැරේට ලියවෙන හින්ද නිකන් පීචන් වෙන්න වෙන්නේ!!
Deleteදැන් ඉතින් මේකේ කොමෙන්ටුවක් දාමු... හි හි හි....
මගෙත් ආසාවක් තියෙනව රිමෝට් එකෙන් වැඩ කරන අහස්යාත්තරාවක් ගන්න. ඕක මං කාටවත් නොකියා හිටියෙ. බැලුවහම අපේ මලයටත් ඒ ආසාවම තියෙනව. සමහර විට ඌ මට කලිං එකක් ගනියි.
ReplyDeleteඕක මම හිතන්නේ 99% දෙනා පුර්ණ කරගන්න කියලා කොල්ලෙක්ගේ තාත්තෙක් වෙන්න පතනවා.. හි හි හි.. මම කියන්නේ බොරුද? කොල්ල යන්තම් ඇස්දෙක ඇරපු ගමන්ම උගේ ගිණුමෙන් ගන්නේ රිමෝට් කාර්. ඊට පස්සේ යන්තම කකුල බිම ගහනකොට හෙලිකොප්ටර්. පුදුම ආදරයක්! හි හි
Deleteමමත් House of Fashion එකේ ඒ කොටසට ගිහිං අතපත ගානවා ඒවා ගොඩක්. ගෙදර ගෙනිහින් ඉතින් හේතුවක් කියන්නත් එපැයි ! ඔන්නොහෙ කියල තියල ගෙදර යනවා . හි හි හි...
හි හි හි...
Deleteහිනාවෙන් පෙනී යන්නේ ඒ වගේ දෙයක් කරපු තාත්තෙක් වෙන්න පුළුවන් බවයි?
Deleteමොකෝ බොලේ 79 නැතුව 80 දාලා. දැන් 79 දැම්මට ඒව පෙන්නන්නෙත් නෑ.
ReplyDeleteසමාවෙන්ට මෙයා, හැත්තෑව දශකයේ ඉඳන් අසූවට පනිනකොට පඩියක් මිස් වෙලා. 79හිතන්න එපා.ඒක හරියන්නේ නැහැ හින්ද ආපහු ගත්ත.
Deleteටික කාලෙක ඉඳල මේක බැලුවට comment කරන්න ලැබුනේ අද තමයි. සැහෙන්න අසාවෙන් කියවන බ්ලොග් 1ක්.
ReplyDeleteකොහොම උනත් මේක කියවද්දී මට හිතුනෙම අර ගංවතුරට අහු උන ළමයි ගැනමයි....
ස්තුතියි යමක් කියවල රසවිඳිනවා නම්...
Deleteගංවතුර නේද? හ්ම්ම් හ්ම්ම්ම් ලියන්න දේවල් තියෙනවා, නමුත් ලියන්නේ නැති වෙයි ඒ ගැන උණුසුම නැතිවෙලා යනකල්.