මේ දවස්වල දන්ථ ධාතු වන්දනා කරන උත්සවයක් තියෙනවා කියල ඇහුන ගමන් මට මේ කතාව මතක් උනේ..
මට හරියටම මතක නෑ මගේ කැම්පස් කාලෙ කතා කොච්චරක් මෙතන ලියල තියෙනවද කියල. වැඩිය නම් වෙන්න බෑ, මොකද මම ඒ කාලෙ කතා කියන්නෙ බොහොම අඩුවෙන්. කියන්න දේවල් නැතුව නෙවෙයි , ඒවා කියන්න ගිහින් ඇනගන්න බව දන්න හින්දා.
මේ සිදුවීම උනේ මම මං හිටපු නගරයේ තිබ්බ කැම්පස් එකට මුලින්ම තේරුනු කාලේ. ඒත් මම උපාධිය නම් ගත්තේ වෙන කැම්පස් එකකින්. ( ඒක දිග කතාවක්.. )
ඕන්න මම නමෝ විත්තියෙන් තේරුනා පේරාදෙණිය කැම්පස් එකට. මගේ අක්කා නගරයෙන් දුර බැහැරකට තමයි තේරුනේ. ඊටත් මම ආසාවෙන් තමයි හිටියෙ පේරාදෙණිය පරිසරයට.
ඒත් හත්වලාමේ උනේ මාර අබග්ගයක්! මගේ ෆැකල්ටි එකේ ඕසෙට රැග් එක. කැම්පස් එකට මුලින්ම යන්න කලින් දවසෙ අපෙ අම්මා මාව ඒ ෆැකල්ටි එකේ අක්කා කෙනෙක්ගෙ ගෙදරකට ( අම්මගෙ යාළුවෙක් ඒ අක්කාගෙ අම්මා) එක්කගෙන ගියා. ඒ උත්තම අක්කා මාව පැත්තකට එක්කගෙන ගිහිං කිව්ව නේද
' අම්මෝ නංගි රැග් එක නම් තියෙනවා. ෆැකල්ටි එකේ අල වෙන්න නම් ලැබෙන්නෙ නෑ'
කියල.
මට ඕක හරියටම තේරුනේ නෑ මම හිතන්නෙ. ඒක ඒ අක්කටත් තේරෙන්න ඇති. ඒ හින්දා එයා මට රැග් එකට කට්ටිය කොටු කරගන්න බිල්ඩින් එක මඟෑරලා යන චූටි 'හොර පාරක්' කියල දුන්න. මාත් ඉතින් පලවෙනිම දවසෙ වීරයා වගේ ඔය පාරෙන් ගිහින් අදාල බිල්ඩින් එකෙන් ගැලවිලා ලස්සනට අපේ orientation තියෙන තැනට ගියා.
මිත්‍රවරුනි..
ඒ තමයි මං ඒ පාරෙන් ගිය පලවෙනි සහ අවසන් වතාව. ඒ වගේම අපේ සීනියර් සෙට් එක කේක් බෙදලා, බීම බෙදලා 'කන්න වස්තුවේ' කියපු පලවෙනි සහ අවසන් වතාව.
රැග් එක ආයෙ නෑ, කන් දෙකෙන් බේරෙන්න ලැබුනේ ඊට පස්සෙ තමයි. එයාලගෙ එයාලටම අදාල නීති-රීති කීපයක් තිබ්බා.
1. කෙල්ලොන්ට කුණුහරප කියන්නෙ නෑ. උන් කලේ අපේ කොල්ලොන්ට ඒව ඉගැන්නුවා අපිටත් කියපල්ල කියල 😁🫣
2. කාගෙවත් ඇඟට අතක් තියන්නෙ නෑ
3. අම්මව මතක් කරල බනින්නෙ නෑ
මම කවදාවත් රැග් කිරිල්ල වර්ණනා කරන්නෙ නෑ. ඒ ගැන මට තියෙන කියවීම සෑහෙන්ඩ වෙනස්. ඒ ගැන ඒ හින්දා මීට වඩා ලියන්නෙ නෑ. ඒක නෙවෙයි වැඩේ..
අපිට අපිටම කියල උප්පැන්නෙ තිබ්බ නම, එහෙම්මම අහෝසි වෙලා ගියා. කාඩ් එකක් දානවා. නම ඇහුවම කියන්න ඕන ඒ දාපු කාඩ් එක. මුලින්ම දාන්නෙ හරිම කුජීත නම්! ඒවා වනේ වන හතුරෙක්ටවත් දාන්ඩ හොඳ නම් නෙවෙයි. හෙන පොෂ් නම් තිබ්බ කෙල්ලො අඬන්ඩ ගත්තා. මට නම් ඒක ඒ හැටි ගානක් උනේ නෑ. ඔන්නොහේ මාත් දාපු නමක් අරං හිටියා.
රැග් එක කොටස් දෙකයි. උදේ සග හවස. උදේ ලෙක්චර්ස් පටන් ගන්න කලින් අපි එන්න ඕන රැග් එකට. ඊට පස්සෙ ලෙක්චර්ස් ඉවරවෙලා බ්‍රේක් එකේ එන්න ඕනෙ ආයෙත්. උදේ කොටසේ විනාඩි කීපයක් වගේ යනකොට කොල්ලො ටික එළියට වගේ දක්කගෙන යනවා හැමදාම. ඒක මම දැකල තිබ්බට මට වැඩි මීටරයක් නෑ ඒ ඇයි කියලා. උන් ආපහු එන්නෙ මූණු එහෙම ඇඹුල් කරගෙන. අහන්ඩත් බෑනෙ මේ අවු අස්සෙ. අනික මම එහෙම කිසිම කොල්ලෙක් ගැන මෙලෝ ගානකුත් නෑ මේ විජ්ජුම්බරේ අස්සෙ.
මාව ඉතින් මගේ ඉස්කෝලේ ප්‍රසිද්ධ හින්දා, සීනියර් ගොඩේ මාව දන්න අක්කලා හිටියා. එහෙම උන්ට රැග් එක සැරයි. අපෙ අම්මේ මට තිබ්බ වදයක්. ඒ මදිවට හැමදාම කලිසම් ඇඳපු මට, ගවුම් ඇඳල පුරුදුත් නෑනෙ. අපේ අක්කගෙ ගවුම් මෝස්තර ඒ දවස්වල මට කොහෙත්ම ගැලපෙන්නෙ නැති උනත්, මොකක් කරන්නද ඒ උන්දගෙ ගවුම් ඇඳගෙන තමයි එන්න උනේ. ඒ උත්තමාවි උඩ ඉඳල පහලටම බොත්තම් දානවා.අනේ ඉතින් හැමදාම මාව බොත්තම් සංගණනයකට ලක් වෙනවා. ඉතිරි උන්ගෙ බොත්තම් ගණින්න යවනවා. මම ඉතින් කොලයක් අරං එක එකාගෙ බොත්තම් ගණිනවා. හිටපු ගමන් සීනියර් උන්ගෙත් ගණින්න යවනවා. ඒ තරම් භයානක සංගණනයක් , යුද්දෙ කාලෙ උතුරෙවත් කෙරෙන්න නැතුව ඇති!
කොල්ලොන්ට වෙන වෙන රැග් හම්බෙන්නෙ. මම ඉතින් නුවර එකී වෙච්චි සහ වැඩිපුර හිටියේ කොළඹ කොල්ලො වෙච්චි, මට උන් එක්ක කතාකරන්න ලොකු අවස්ථාවක් ලැබුනෙ නෑ. ඒත් ඒ අතරින් එක කොල්ලෙක් හිටියා ලස්සන ඇස් පිල්ලම් තියෙන, හැන්ඩියෙක්. මාත් එක්ක එක ගෲප් එකේ හිටියා කීප පාරක්ම. ඒත් කතාව අඩුයි.
ඕන්න ඔය අස්සෙ තමයි දළදා වන්දනාවක් කෙරුනෙ. නුවර ඉන්න මට ඕක ලොකු සීන් එකක් නෑ. අපේ අත්තම්ම ( අම්මාගෙ අම්මා) ඉන්න කාලෙ ඉසේ කෙස් ගානට ගිහින් ඕකෙ පැලවෙලා ඉන්න හින්දා මට යන්න උනන්දුවක් තිබ්බෙ නෑ. ඒත් අර කොල්ලා ගම්පහ එකෙක් හින්දා දැන් යන්න ඕනෙ කියලා කතා උනා. අපි මෙයාට නලින්ද කියල නමක් දාමුකො කතාව කියන්න ලේසි වෙන්න.
ඒ දවස්වලත් මේ වගේම පාරවල් චකබ්ලාස් වෙන්න සෙනඟ පිරෙනවා. අපි නම් ඒ කාලෙට ටවුන් එකට යන්නෙත් නෑ. ඒ තරම් සෙනඟ!
දැන් නලින්ද ඇතුළු කොල්ලො සෙට් එකක් , රැග් එක ඉවර වෙලා කෙලින්ම බස් එකක නැඟලා ටවුමට ගිහින් මේ වැඩේට සෙට් වෙන්න තමයි ප්ලෑන් එක. ඒකෙ වරදක් නෑ. මට මතක විදියට දවස් ගණන් පෝලිම්වල හිටියෙ නෑද කොහෙද.
ඔන්න දැන් අදාල දවසෙ, රැග් කෙරුවාවෙන් පස්සෙ වහාම මුන් සෙට් එක බස් එකේ නැඟල ටවුමට ගියා. සීනියර්ලා මඟ ඇරලා යන්ඩත් මුන් ප්ලෑන් කරා මතකයි. නැතිනම් උන් ඕක ආයෙමත් මොකකට හරි ඈඳලා ගන්නවා. එච්චරයි මම දන්නෙ.
හොඳම කෑල්ල දන්නෙ පහුවදා!
පහුවදා නලින්දයාට මාව දැක්ක ගමං හිනා ගියා. මං එරෙව්වා ඉතින් මොකද හිනාවෙන්ඩ තහනං එහෙම. ඔරෝගෙන ඉන්ඩෝන. උදේ රැග් එක ඉවර වෙනකල් මූ නලිය නලිය ඉඳලා, ඒක ඉවරවෙලා ආපහු ලෙක්චර් යන්ඩ ගත්ත විතරයි මූ දුවගෙන ආව.
" ඒ.. මරු වැඩක් උනානෙ හලෝ අපිට ඊයෙ! තව ඩිංගෙන් මම උඹට කෝල් එකක් ගන්නවා"
මට ඒ කියාපු හරුපෙ තේරුනේ නෑ. දළදා වඳින්ඩ ගියපු එකා මොකටද මට කෝල් කරන්නෙ මම දියවඩන නිලමේයැ?
" ඇයි මොකද උනේ?"
මම කෝකටත් ඇහුව. අරෙහෙම කියන්ඩ ගියේ නෑ.
" මාර සෙනඟ ගොඩක් හලෝ.. අපි සෑහෙන්ඩ තෙරෙපුනා.."
" මං කිව්වනෙ පෝලිම කියල. මං ආස නෑ තෙරපෙන්ඩ.. මට කෝල් කරන්නෙ?"
" නෑ හලෝ.. මෙහෙමයි.. මටත් මෙහෙන් උඩරට මැණිකෙ කෙනෙක් ලයින් කරගන්ඩ චාන්ස් එකක් ආවනෙ.. උඹට කියන්ඩ උපෙස්සෝ.. මේම මේම.. මේම මේම තිබ්බ චාන්ස් එක ගහල ගියානෙ හලෝ.. තව ඩිංගෙන් මාව පොලිසියෙන් ගෙනියනව"
" මොනාද හලෝ තමුසෙ ෆැකල්ටි එකේ නමත් විනාස කරන දෙයක් කලාද? "
මූ මේ අව් අස්සෙ කෙල්ලෙක් ලයින් කරගන්ඩ ගිහින්. අනේ ඉතින් ඌ වගේ එකෙක්ට අකමැති වෙන එකක් නෑ නුවර මැණිකෙ කෙනෙක්. කට ටිකක් ප්ලාස්ටර් කරල ගත්තහම කියන්න වරදක් නැති එකානෙ. ඒත් පොලිසියෙන් ගෙනියන්න තරම්?
" නෑ හලෝ.. මෙහෙමනෙ උනේ.. අපිව පිරිමි පෝලිමේ මෙහෙම යනව, ගෑණු පෝලිමේ එයාල එහෙම එනව. ඉතින් අපි කොල්ලො සෙට් එක පෝලිමේ හිර වෙන්න ගත්ත එකසිය ගානට. තල්ලුවක් ආවා.. එකපාරටම මට ඉස්සරහින් හිටපු කොල්ලා බෙරිහන් දුන්නනේ මට.."
" තල්ලු කරපු හින්ද?"
" නෑ හලෝ කොලුකාරයෙක් කියල "
මිත්‍රවරුනි.. ඒ දිනවල ඒකෙ තේරුම මම හරියට දැනගෙන සිටියෙ නෑ. ඒත් දන්නවා වගේ හිටියා.
" උඹ ඉතින් ඒ කොල්ලගෙ කොහෙන් හරි අල්ලන්ඩ ඇති"
" පිස්සුද හලෝ අපිත් පෝලිමේ මිරිකි මිරිකිනෙ ආවෙ. ඒකයැ වැඩේ.. එතකොට වෙන එකෙකුත් කෑ ගැහුව 'ඔව් ඔව් මුං ඔක්කොම වලත්තයො සෙට් එකක් මටත් කරදර කරන්න හැදුව' කියල තව එකෙක් කියාපි! එතන හිටිය පොලිස් රාළහාමි අපිව පැනපු ගමන් අල්ල ගත්තා"
මාත් දැන් කට ඇරගෙන?
" තමුසෙලා මොකද්ද අනේ කලේ? එක්කො උන්ට පිස්සුද?"
" පොලිස් අය්යා අපිව අරං ගියානෙ පොඩි හට් එකකට. ගිහින් දත්මිටි කාලා ඇහුව මොකක්ද මේ කියල. අපි ඉතින් පැහැදිලි කරල කිව්ව එහෙම එකක් උනේ නැතිය.. අපි ගියේ පෝලිමේය. තෙරපුනේ හිතාමතා නෙවේය කියල"
" ඉතින්?"
" එකපාරටම අපේ කලිසංවල ඉස්සරහ බලපු පොලිස් අය්යා ඇස්දෙක චූටි කලා. අපේ කලිසන් සාක්කු චෙක් කරන්න ගත්ත. එතකොට තමයි දෙවියො සිහි උනේ"
" ඇයි?"
" ඇයි කියන්නෙ අපි ලයිසන් අරගෙන නෙ හිටියෙ. අමතක උනා!"
" මොකක්?"
මට ඒක තේරුනේ නෑ.
එතකොට තමයි මම දැනගත්තෙ මුංගෙ ලයිසන් දෙන කතාව. ඒක මෙහෙමයි. රැග් එකට කට්ටිය උදේම ආවහම සෙට් එකම එක්කගෙන ගිහින් උන්ට ලයිසන් දෙනව. ඒ කියන්නෙ යට ඇඳුම් කලිසම හෙවත් ජොකා ගලවලා සාක්කුවේ දාගන්න ඕන. ඊට පස්සෙ ආයෙ දෙවෙනි රැග් එකත් ඉවරවෙලා ගෙදර යනකොට ඇඳගෙන යන්න පුලුවන්. මෙයාලට මේක කොච්චර සාමාන්‍යද කියනවා නම් ඒක නෑ කියල දැනිලත් නෑ. මුං ටික දළදා වන්දනාවට එන්න තියෙන හදිසියට ඇවිත් තියෙන්නෙ සයිසන් ඇතුව!
ඉතින් අර නිලධාරීයා සාක්කු පරීක්ෂා කරනකොට කට්ටියගෙම සාක්කුවල උන්ගෙ ජොකා තිබිලා.
ඇයි හත්වලාමේ කවුද ජොකා සාක්කුවෙ දාගෙන දළඳා වන්දනා පෝලිමේ ලයිසන් අරගෙන යන්නෙ?
අනේ ඉතින් නලින්දයා උගේ සුපුරුදු හැකර කටයි, ලස්සන මූණයි පාවිච්චි කරලා පොලිස් රාළහාමිට විස්තර කරලා රැග් එකේ මේ වැඩේ. රාළහාමි හොඳටම හිනාවෙලා මුං ටිකට අභය දානය දීල තිබ්බ.
" හෑ! තොපි ටික නම්බුව කාලනෙ!! දැන් මොකටද තෝ මට කෝල් කරන්න හැදුවෙ"
" රාළහාමි කිව්වා කැම්පස් එකේ කෑල්ලක් දාල දෙන්ඩ බැරිද කියල. ඉතින් උඹව මතක් උනා මට. අපේ මුගටියා කිව්වා ඒ රාළහාමි පව් කියල. ඒකයි කෝල් නොකලෙ"
මට ඌට ගඩොල් බාගෙකින් කෙලින්ඩ හිතුන!
ඕන්න ඔහොම තමයි ලයිසන් අරගෙන දළඳා වඳින්ඩ යන්නෙ. ඔයත් කරල බලන්ඩ.. ආස හිතෙයි..
ඩෙනිම් නිසා ලොකු අවුලක් නෑ 😁
ReplyDeleteමේක කියවද්දී කාලෙකට කලින් බ්ලොග් ලියපු කෙනෙක්... නුවර කෙල්ලො හරි කපටී කියල ලීව පෝස්ටුව මතක් උනා. කොල්ලො දෙන්න දෙන්න දාගෙන හෙම!
රැග් කාලෙ ඩෙනිම් තහනම්. මහපු කලිසම් උන් ඇඳන් හිටියේ.
Deleteහෑ! මොකා කිව්ව? දෙන්න දෙන්න?? බොලාගෙ කටේ ජපං ජබර දාන්ඩෝන අපිට නම් එකෙක්කත් උන්නෙ නෑ
Deleteඒ කාලෙ වෙන චාටර් වැඩ නම් කියල වැඩක් නෑ.
ReplyDeleteඅපේ මුගටියා කිව්වා ඒ රාළහාමි පව් කියල. ඒකයි කෝල් නොකලෙ" lol
ReplyDeleteඔබ ලියන්න පටන් ගෙන බොහෝ කාලයකට පසුව.
ReplyDeleteමෙතෙක් කාලයක් ඔබගේ බ්ලොග් අඩවිය අප ගොනු කොට තිබුනේ "කැඩපත් පවුර" කොලමේ වන අතර එය අඩ සිට "බ්ලොග් සඟරා" කොලමට එක් කොට ඇත.
එහෙත් ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රවර්ධනයට අත දීමක් ලෙස "කැඩපත් පවුරේ" තව දුරටත් කෙටි කලයක් ගොනු කොට තැබීමට අප තීරණය කලෙමු.
එසේම
කලක් නැවතී සිට ලියන්නට පටන් ගත් බ්ලොග් අඩවි ප්‍රවර්ධනය සඳහා අප පවත්වාගෙන යනු ලබන "පුනරුප්පත්ති" කොලමටද ඔබගේ බ්ලොග් අඩවිය එක් කොට ඇති බව සඳහන් කරන්නේ සතුටිනි.
අපගේ සින්ඩියට ඔබගේ බ්ලොග් අඩවිය තුලින් ප්‍රචාරයක් ලබා දෙන්නේ නම් එය අපට කරණ්නාවූ මහඟු උදව්වකි!