ගොඩක් කාලෙක ඉඳලා ලියන්න හිතාගෙන හිටපු දෙයක් උනත්, එක එක හේතු හින්දා පස්සට ගියා.
මම නිතරම සිංදු අහන්න කැමති කෙනෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ලෝකේ හෝ ලංකාවේ නවතම සිංදු සහ ඒවායේ ප්‍රවණතාවයන් ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් කියලා. අනේ නෑ.. මං නවතම සිංදු ගැන දන්නවා තියා අළුත් ගායකයෙක්ගෙ නමක් කිව්වත් දන්නෙ නෑ.
ඒත් මම ( කලිනුත් කියලා ඇති) 60-70 සහ 80 දශකයේ සහ 90 දශකයේ වගේ ගීත වැඩිපුර අහන්න කැමති කෙනෙක්. ඒ සිංදු සමහර ඒවා මං ඉපදෙන්න හිතලවත් නැති ( කලින් ආත්මෙ මං බුලත් කොටන කාලෙ වගේ) කාලෙ කියපුවා. ඒත් ඒ ටේස්ට් එක මම ආසයි. ඒ වගේම හිංදි සිංදු ඒ අතරින් විශේෂයි.
අපේ ගෙදර තිබ්බ පරිසරය අනුව මම වැඩුනේ ඒ පරණ හිංදි සිංදු එක්ක. කොටින්ම මට සමහර පරණ හිංදි චිත්‍රපටවල ඔක්කොම සිංදු කට පාඩම්.
කාලයත් එක්ක මම මං අහන සිංදු වලින් වගේම බලන වැඩසටහන් අතරට ඔය හිංදි සිංදු ගැන යන 'භාරත ගී වින්දන' එකතු උනා. ඒක ඉදිරිපත් කරපු ඒ පුද්ගලයා පුදුමාකාර දැනුමක් තිබ්බ කෙනෙක්. එයා ඒ සිංදුව දාන්න කලින් ඒ ගැන මාරම විස්තරයක් කියනවා. ඒ ටික අහගෙන ඉන්න ආසයි. එයා ඒ විස්තර අතරේ නිතර කියන දෙයක් තිබ්බා
' මේ ගීතයේ තනුවට -මේ ගීතය- සිංහලෙන් කිව්වා -අහවල් ගායකයා- '
සෑ වෑව් මාරයි කියල !
ඔන්න ඔතනින් තමයි මගේ රසඤතාවයට මෙව්වා එකක් වෙන්නේ. ඔහු උත්කර්ෂවත් ලෙස කියන ඒ 'විලි ලැජ්ජා නැති' කොපි සිංදුව ඇහුවාම මට හිතෙනවා ඒ මොන ලැජ්ජා නැති හොරකමක්ද කියලා!
දැන් භාරත ගී වින්දන ෆෑන්ස්ලා මට නෙලන්න එයි! මාත් ඒකෙ ෆෑන් කෙනෙක්; ඒකෙ විවාදයක් නෑ. ඒත් මම ඒ උත්කර්ෂයට නංවන ඒ හොරකම තනිකරම අප්පිරියාසහගත ලෙස ප්‍රතික්ෂේප කරනවා.
අපි මෙහෙම හිතමු..
ඒක හොරකමක් වගේම, ලාංකික සංගීතයේ දුර්වලකමක් වගේ මට පේන්නේ. ඒ මෙල්ඩි අතිශය ලස්සනයි. ඒ ගානට තියෙන මෙලඩියකට වචන දාන්න මහ ලොකු ටැලන්ට් එකක් ඕනෙ වෙන්නෙ නෑ. ඒක එහෙම නෙවෙයි නම්, 'මැණිකේ මගේ හිතේ' කියන්නෙ ෆේලියර් එකක්! මොකද ඒ සිංදුවේ සාර්ථක බව තිබ්බෙ මෙලඩි එකේ! ඒකෙ පද මාලාවෙ ඇති කෙසෙල් ගෙඩියක් නෑ.
දැන් බලන්න ඒ විදියට කොපි කරපු ගීත උදාහරණයකට අරගෙන.
' මේ ජීවනයේ - මුලු සංසාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ..'
කියල කියන්නේ පද මාලාවෙන් කියන විදියට පොසිටිව් පද මාලාවක්. නමුත් මුල් ගීතයේ පද මාලාවට ගැලපෙන්න ඒ මෙලඩි එක තියෙන්නෙ දුක්බර වර්ගයේ ශානරයක්!
අහෝ ඒ මෙලඩියට වචන දාපු කෙනාගේ නොහැකියාව!!
මුල් ගීතයේ තිබ්බ ඒ පද-ස්වර-හඬ කියන ලස්සන සුසංයෝගය ගැනවත් මෙලෝ ගානක් නැතුව, මෙලඩිය හොරකම් කරලා මහා ලොකුවට වචන ගලපලා දාගත්ත එක මට නම් , ඒ කියනා තරම් උත්කර්ෂවත් නෑ.
ලාංකික සංගීතය කියලා දෙයක් ඒ කාලෙ තිබ්බද කියල හිතෙන තරම් දුප්පත් මෙලඩි තමයි මට නම් පෙනිල තියෙන්නේ. ඉන්දීය ආභාෂය තිබ්බට, ඊට ගව් ගානක් මෙහා තමයි අපේ සංගීත කලාව තිබිලා තියෙන්නෙ කොටින්ම. මට අනුව නම් රෝහණ වීරසිංහ හෝ සනත් නන්දසිරි වගේ අයගේ සංගීතයක් 'මාර සුපර්' මට්ටමේ නෑ. ඒ කාලේ ඉන්දියානු මියුසික් කරපු අයගෙ ඒ සංගීත ඛණ්ඩයක් ඇහුනත් 'මේ අහවලාගෙ' කියන්න ගානට ඒ මියුසික් එකිනෙකට වෙනස් වගේම අනන්‍යයි.
එහෙම වෙනස් මියුසික් එකක් කලා නම් ඒ කේමදාස විතරයි වෙන්න ඕන. අනිත් හැමෝම කලේ භාරත සංගීතය එක්කො කොපි කලා, නැතිනම් ඒකෙ ආභාෂයෙන් පතෝල වගේ මියුසික් කලා. ක්ලැරන්ස් ගැන මම ලියන්නෙ නෑ. ඒක වෙන ශානරයක් හින්දා.
ගොඩක්ම මේ හින්දි තනු වලට ගීත ලියපු 'සෑ වෑව්' රචකයෝ තාමත් කරේ තියාගෙන ඉන්න එකෙන්ම ඒ පරපුරේ ලොකු බුද්ධිමය අවුලක් තියෙනව කියලා හිතෙන්නෙ නැද්ද?
මෙලඩි එකක් කියන්නේ මට හිතෙන්නේ ගීතයක පද මාලාවට වඩා ප්‍රභලයි. හිතන්න ඔයාට ගීතයක පද මාලාව ඇහෙන්න කලින් ඇහෙන්නෙ මෙලඩි එක. ඒකෙන් තමයි ගීතයේ අනන්‍යතාව රැකෙන්නෙ. ඒ තාලෙට තමයි මිනිස්සු ගොඩක්ම ඇදෙන්නෙ. පදවැල් ප්‍රභල ඒත් මෙල්ඩිය අවුල් ගීත මම නම් ඕන තරම් දැකලා තියෙනවා.
මම ඒ හින්දා හින්දි ගීත අනුකරණයෙන් හදපු සිංහල ගීත කියන්නේ කිඩ්නැප් කරපු ලමයෙක් වගේ දකින්නෙ. ඒ ගැන මතවාදයක් හෝ ඕපන් ලිවීමක් මීට කලින් දැකලා නෑ.
මම කැමතියි ඒ ගැන එහෙම ලියනවා නම්.
මේක ලිව්වේ සංගීතය ගැන මහා ලොකු හැදෑරීමක් තිබිලා නොවුනත් මම ගීත රසිකාවියක් විදියට.
- නේද?
හෑ? නෑ??
නුවර කුමාරි, ෆයිනලි මම වගේ හිතන කෙනෙක් හම්බුනා, හරිම සන්තෝසයි!
ReplyDeleteමමත් ඉන්නේ ඔයාගේ මතයේ, ඇයි මෙහෙම කොපි කරන්නේ, දාස් ගානක් සින්දු හින්දි තනු වලින් කොපි කළා කිව්වම ඒක ආඩම්බරයක්ද? ලංකාවේ කොයිතරම් දක්ෂයෝ ඉන්නවද, ඇයි අපිට අපේම දේවල් කරන්න බැරි?
මම ලඟදි ජෝති උපහාර ප්‍රසංගයකට ගියා. ඒකෙ සින්දු වැඩිහරියක් හින්දි කොපි සින්දු. ඒක මෙහෙයවපු රෝහණ වීරසිංහ මහත්මයා කිව්වා ජෝති ඉස්සරම දවසක කිව්වා කියලා හින්දි තනු ලංකාවේ සීමිත වාදන වෘන්ද වලට ගැලපෙන්න හදලා දෙන්න කියලා. "අනේ මම ඔය කොපි කරන වැඩවලට නැහැනේ" කියලා ඔහු පිළිතුරු දීලා. හැබැයි ජෝතිගේ පෙරැත්තය නිසා අන්තිමේදී කරලා දුන්නා කියලා ඔහු හිනාවෙලා කිව්වා. ජෝතිලා, රෝහණ ලා කොයිතරම් අසහාය කලාකාරයෝ වුණත් හොරකම නම් හොරකම බවයි මගේ මතය. ඒ සින්දු ලස්සනයි තමයි, ඒත් පසුබිම අප්‍රසන්නයි. ඒ මුල් තනු නිර්මාපකයන්ට මොනවා හිතෙයිද ඒවාට වෙනම වචන ඔබ්බවලා තවත් පිරිසක් ඒවායින් සල්ලි හම්බ කරනවා කියලා දන්නවා නම්.
ඕකෙම තව කතාවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ දිගට හරහට වෙන පරිවර්තන. අලුතින්ම පිට වුණු ඉංග්‍රීසි නවකතා සතියක් දෙකක් යද්දී සිංහලෙන් පළ වෙනවා. මේවායින් 95%වත් අවසර අරගෙන නොකෙරෙන බව මට නම් විශ්වාසයි. මොකද අවසර ගන්න නම් එකක් ලොකු කතෘ භාගයක් ගෙවන්න වෙනවා. අනික ඒ අවසරය පබ්ලිෂර්ස් ලා හරහා මිසක් හිතු හිතු විදිහට ගන්න බැහැ. සිංහලෙන් තිබ්බොත් මුල් කතෘ ට ආරංචි වෙන එකක් නැහැ කියලා වෙන්නැති ඕවා කරනවා ඇත්තේ. තව කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ කරගෙන ඒකෙන් ලාබ ලැබීමක් කරන එකත්, ඒවාට උඩගෙඩි දීමත් එක සමාන වරදක් කියලා මට නම් හිතෙන්නේ.
+++++++++
ReplyDeleteමේ කතාවත් එක්ක යම්තාක් දුරකට එකඟයි.
ReplyDeleteඅපේ තනු නිර්මාපකයන්ට ඔය කාලෙ ඒ ආධිපත්‍යය නිසා තැන ලැබුනෙ නැති අතර සුනිල් ශාන්ත, සරත් දසනායක පසුව රෝහණ බැද්දගේ, රන්වලයන් වගේ අය හිමීට තම ස්වතන්ත්‍ර තනු, සංගීත නිර්මාණය කරා. වික්ටර් රත්නායකද ඇතුළුව! එතැන පැහැදිලිවම වරදක් තියෙනව බව හැබෑව. ඒ උනත්... අර නිර්මාණ මෙලො වැඩක් නෑය වගෙ අදහසක් කියන්ට පුලුවනිද? තනුවකට වචන අමුණන එකත් හැම කෙනෙක්ටම කරන්න බෑ. අනික 80, 90 කාලේ ඔය රැල්ල අඩුමවෙලා තිබ්බෙ.
ඒ කාලේ ඕනෑවටත් වඩා උත්කෘෂ්ඨ කරන එකත්, මෙලවම දෙයක් නෑය කියන එකත් අන්තවාදී අදහස් දෙකක් වගෙ මටනං හිතෙන්නෙ... හරිහමන් විපරමක් නොවුන!
ඔය වාදෙ ඇතුලු දේශපාලන කතා කරන්න යන හැමතැනම මට දෙපැත්තෙන්ම බැනුම් තමයි. එහෙන් බයිනව උඹ අර පැත්තෙ කියල. අරෙහෙන් බයිනව උඹ ඒ පැත්තෙ කියල 😁
Deleteලොකු කාලයක් අසාවෙන් කියවපු උත්කෘශ්ඨ සහ උද්දච්ච බ්ලොග්කාරිණියගෙ බ්ලොග් එක ආයිමත් ලියන එක ගැන අතිශයින්ම සතුටුයි. මේ බ්ලොග් එකේ පෝස්ට් දෙක තුනක්ම මටත් පෝස්ට් ලියන්න පෙළඹෙව්වා. මේ මාතෘකාව පිලිබඳව කියනවනම් මම මේ අදහසට එකඟ නැහැ. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. එම නිසා එක රටක තනුවක් වෙනත් ගීතයක් සඳහා යොදා ගැනීම අවසර සහිතව කරනවා නම් ප්‍රශ්ණයක් විය යුතු නැහැ. හින්දි ගීතයේ තේරුම මොකක් වුණත් මේ ජීවනයේ ගීතය බිහි නොවන්න ඒක මටනම් අඩුවක්. ඒක අහනකොට අමුතු හැඟීමක් දෙන ගීතයක්. ඒක විරහ ගීතයක් වුනානම් ඒ රසය නො එන්න තිබුණා. ඒවගේම ඒක හින්දි ගීතයක් පමණක්ම වුනානම් මේ ජීවනයේ ගීතය අපිට අහන්න වෙන්නේ නැහැ.
ReplyDeleteඉන්දියාව කියල කියන්නේ බොලිවුඩ්, කොලිවුඩ් වගේ විශාල චිත්‍රපට කර්මාන්ත කිහිපයක් තියෙන රටක් නිසා විශාල ගීත ප්‍රමාණයක් බිහිවෙනවා. ඒ නිසා එක්තරා කාලෙක ඉන්දීය තනු වලට සිංහල ගීත ලියවෙන එක බහුල වුනා. ඒවා ඔක්කොම නිසි අවසර ඇතුව බිහිවුන ගීත බව මටනම් විස්වාසයි.
යොහානි ගායනා කල මැණිකේ මගේ හිතේ මෙලඩි එක ගැන කිවූ දේ ගැන එකඟයි. ඒකත් සතීශාන් ගායන කරපු ගීතයේ වේගය අඩුකරමින් ඇය ගායනා කල නිසා. ඒකයි සතීශාන් ගේ ගීතය වෙන රටවල ජනප්‍රිය නොවුනෙ. අනික වීඩියෝ එකේ ඇයගේ හුරුබුහුටි බවත් විශාල ලෙස බල පෑවා කියල හිතෙනවා.
මමත් ගීත රචනා කරන්න ආධුනික උත්සාහ අරගෙන තියෙන නිසා මගේ අත්දැකීම නම් තියෙන තනුවකට වචන ගලපන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. තනුවට පෙර ගීත ලියන එක ඊට වඩා දහස් ගුණයක් ලේසියි.
තව තර්කයක්.සංගීතයට අදාල වෙන ශ්‍රවණය කියන්නේ අපේ එක ආයතනයක් පමණයි. ඒ වගේ නහය, දිව, ඇස් වලිනුත් විවිධ රසවල් අපි විඳිනවා. ලංකාවේ නොවන ආහාර එනම් බිරියානි, චීන ආහාර, බටර් චිකන්, පිට්සා, වටලප්පන් වැනි ආහාර විතරක් නෙවෙයි, ආප්ප සහ ඉදි ආප්පත් වෙන රටවලින් ආව දේවල්. ඒවා විවිධ ආකාරයට වෙනස් කරමින් අපි රස විඳිනවා. එහෙනම් ඇයි ගීත හෝ තනු වලට විතරක් මේ ප්‍රශ්ණය?
ඒ නිසා මේ විවාදයේ මම ඉන්නේ විරුද්ධ පැත්තේ.
නැවත ලිවීමට ආව එක ගැන ස්තූතියි.