Thursday, July 23, 2015

198. මගුලේ යෑම - 2





මෙතෙක් කෑම.....

ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ ඉවර වෙලා එන්න පිටත් උනා.
සයිමොන් ඉදිරියෙන්.. අපි පිටුපසින්.

වෙනද වගේ නැතුව මුණ හෝදලා , කබ එහෙම කඩලා ඌ මම හිතන්නේ මොනවා හරි මුනෙත් ගෑවා. වෙනදට පිස්සු බල්ලෝ පන්නනකොට දුවන පොලිස් රාලහාමි වගේ දුවන සියදෝරිස් එදා යන ලලිත ලතාව දිහා පාරේ ටැප් එකේ රෙදි හෝද හෝද හිටපු ගෑනු විතරක් නෙවෙයි අපි සමහර දවස් වලට පේර ගන්න කරත්තේ එකාත් ඔක්කොම වැඩ නතර කරන බලන් හිටිය.

අපේ ඔෆිස් එකට ඉස්සර යන්න තිබ්බ පාරවල් දෙකෙක් එකක් ෂෝර්ට් කට් වගේ එකක්. යන්න තියන පාරේ දෙපැත්තේම තිබ්බේ මුඩුක්කු වගේ ගෙවල්. ඉතින් ගෙවල් වල රෙදි වැල් , සාලේ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒ ගෙවල් අඩුම තරමේ ඇඳක් වත් දාන්න ඉඩ නැහැ වගේ පේන්නේ . ඒ උනාට එක පාරක් ඔහොම තියෙන පොඩි පටියක් වගේ ගෙයක් ඇතුලෙන් මම බලන් ඉන්නකොට එකෙක් ආව එලියට, ඔන්න තව එකෙක් ආව, ඊට පස්සේ තව එකෙක්... ආව ආව ආව... මට නිකමට හිතුන ඔය ගෙවල් අර ඇලිස්ගේ විසමලන්තය වගේ එකක්මයි කියල. ඔතරම් සෙනඟ කන්දරාවක් නැත්තම් කොහොම ඉන්නද?

ඈතින් ලලිත ලතාවට පැද්දෙන සියදෝරිස් ය... 
මෑතින් එකට ගුලිවී යන අප දෙදෙනාය.. ( මොකද එන්න එන්නම මුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ තිබුණු අවුල නිසා අපි අතේ දුර උනත් කකුලේ දුර දක්වා දීර්ඝ කළා.)

Wednesday, July 22, 2015

197. මගුලේ යෑම - 1




මම අද කියන්න යන්නේ ළමායි.. ඔෆිස් වගේ ඔෆිස් කතාවක්.

චරිත: ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් හි එන ඇඩ්ඩින් , සයිමොන් සහ සියදෝරිස් එක්ක සෙසු චරිත 

මම මේ සීරීස් එකේ කතා කීපයක් කියල තියෙනවා. ඒ නිසා මම මේ සයිමොන් හෝ සියදෝරිස් ගැන අමුතුවෙන් වගපල කියන්න හිතන්නේ නැහැ. ( ඌ ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඒකයි ) මම ගැන නම් ඉතින්..... හොඳමයි අහන්න ලැබුනේ පින්වතුනි!

මේ මුල් හඳුන්වාදීම 
මේ සියදෝරිස් ගේ කතා 1 , කතා 2

මම ඔය කම්පැනි එකට එනකොට අපේ සයිමොන් හාදයා ඒ කම්පනියේම කොලුගැටයෙක් එක්ක ඇයි හොඳයියක් තිබිලා , අවසානෙදි අපේ සයිමොන්ට හොඳවයින් සපත්තු ජෝඩුවක් දීලා ඌ කම්පැනි එකෙනුත් ගිහින් තිබ්බ. මම ඉතින් තැනකට අලුතෙන් ගියාම ඉබ්බෙක් වගේ ඉන්නවා මිසක් කතාබහ අඩුයි. සපත්තු ජෝඩුව ලැබීමේ ප්‍රීතියෙන් හිටපු සයිමොන්ට ඉතින් හුලන් ගැහුවේ ඉතින් අපේ සියදෝරිස් තමයි. ඌත් අර බස්සිගේ දුකා වගේ තමයි. දුකක් කොතනද, ඌ එතන!

ඔන්න ඒ අතරේ අපේ සයිමොන්ට ගෙදරින් මගුල් තුලා එහෙම හොයන්න ගත්තේ මුගේ අන්දොස් ගතිය දුරින් දුරු වෙන්න තියෙන එකම ප්‍රතිකර්මේ මූව කාගේ හරි ඇඟේ එල්ලන එක බව එක පයින්ම වැටහුණු නිසා. පතෝල කරලට කරවිල වැල එතුනා වගේ ඉන්න මූට අහුවෙන එකා ගැන අපිටත් නිකන් කොස්සක් වගේ හිතුනත්, සුදු කෙල්ලන් හොයන උන් නිසා ඉතින් බයක් වෙන්න දෙයක් තිබ්බෙත් නැහැ. සර්කිට් එක අවුල් උනත් උගේ මුණ සුදුයි!

Monday, July 20, 2015

197. මැටි මෝලෙක් සමඟ ඈ






එදා බොහොම සාමාන්‍ය දවසක්.

මම කවදත් සාමාන්‍ය දවස් වලට බයයි. මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙන එකම දැන් මගේ ජිවිතේ කොටසක් වගේ.

වැහිබර අහසක් තියෙන ඒ පළාතට මම කොහොමත් යන්නේ පොඩි තිගැස්මක් එක්කමයි. දාහය රුහිරු තැවරුණ මේ පොළවෙන් එකපාරටම ඉහලට එසවිලා මාව පියාසර කරන කුරුල්ලෙක් කරවන්න දරන උත්සහයක් වගේ තමයි කඳු පන්තිය පිහිටලා තිබ්බේ.

ටිකින් ටික ඉහලට එසවිලා වට පිටෙන් හැමතැනම පෙනෙන දියසිරාවට අමතරව කොලපාට නිම්නයක් පේනකොට මට හැමදාම හිතෙන්නේ ඉගිලෙන්න හිතාගෙන මම කන්දක් මුදුනට නගිනවා කියල. එදා නම් එහෙම හැඟීමක් මට තිබ්බෙම නැති තරම්.

"මචං මේ සීතලට මම මාර ආසයි..."

මම එහෙම කිව්වේ බුරියා ගෙන් උත්තරයක් බලාගෙනම නෙවෙයි. ඒත් ඌ මගේ දිහා බලලා දැම්මේ අවලන් හිනාවක්.

".... අද බියර් බොන්න බෑ මෝඩයෝ.. දන්නවනේ මගේ මැච් එක අද"

ක්‍රීඩාගාරයට යනකොට එතැන හිටියේ බොහොම ටික දෙනයි. පිවිසෙන තැනම පොඩි බංකුවක උන්නු කෙල්ලෙක් අපි එනකොටම ගැස්සිලා වගේ අපි දිහා ඔලුව උස්සලා බැලුව. හරියට ඒකිගේ කාමරේට අපි එබුනා වගේ. මම කටකොනෙන් හිනාවක් දාගෙන ඒකිව පහුකරන් ගියා.

"අඩෝ.... මේක කාන්තාරයක් නේ"

196. දකින ඔබ







වැටී හඬමින් හැපී
මුව වසාගෙන හඬමි..

යනෙ'නතුර හිස පොවා
කවුළුවෙන් ඔබ සොයමි...

Tuesday, July 14, 2015

195. කෙවිලියකගෙන් ගිලිහුණු ගීතය






තැනින් තැන හිඳිනු මිස ඉන්ට හරි තැනක්       නැහැ
පුතේ උඹ ගැබ තියන් ගෙයක් තැනුමකුත්         බැහැ
මට වගේ පුත උඹට ගහින් ගහ ලගිනු             බැහැ
අතැර යනු මිස වෙනත් විසඳුමක් දැනෙනු      නැහැ

ඇසේ මට කිචි බිචිය කුඩුවේ අද            උදෙන්
සැඟව ඉඳ බලා උන් අතුපතර තුල         ඉඳන්
කන්යොමමි වැරෙන් මා , හදෙහි බය  යටකරන්
කුළුඳුලේ උඹේ හඬ දැන් ඇසේදෝ          හිතන් 

Monday, July 13, 2015

194. අයුතු





අන්සතු කොවුලෙකිය
ගී ගයන විට විතරක්
මගේ වන,
ඉඳහිට පලවැල ඉල්ලන
නොඉල්ලූ විටද
පලවැල තබා එන


මම...


විටෙක කපුටන්ටද
රැවටෙන....
හැමදාම නුඹේ කටහඬට
ගැලපෙන ගී තෝරන...




Friday, July 10, 2015

193. ශෝකය පලකිරීමේ නිවැරදි ක්‍රමය





මගේ යාලුවෝ... ( අප්පා උන් ගැන මෙතන ලියන එක භයානකයි. උන් මගේ මේ බ්ලොග් කට්ට කන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා හොඳයි. ඒත් මේවා කිරිමේල් කඩෙන වැඩ!) ඉන්නවා එක එක ජාතියෙන්. සැලඩ් වගේ. එකෙක් තක්කාලි ගෙඩියක් වගේ. ඒ කියන්නේ බතලයි; රවුම්?  නෑ නෑ හලෝ ඒ හින්ද නෙවෙයි. ඌ ගිය තැන වැඩේ චොර කරනවා. තවත් එකෙක් ගෝවා සහ කැරට් වගේ...

ඔහොම කියන්න ගියොත් එළවලු ජාති ටිකේ නම් ඉවර වෙනවා මිසක් කියල ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙහෙම කියන්නම්...

මම වැඩකරපු කම්පැනි වල සහ වැඩ නොකරපු කම්පැනි වල මට අනේක විධ යාලුවෝ ඉන්නවා. උන් ඇති වෙන්නේ එක්කෝ මගේ නැතිවීම සඳහාමයි. ඒ කියන්නේ උන් සෙට් වීම නිසා මගේ වහගෙන හිටපු කොයිල් ගති මතු වෙලා ඇවිත් කොක්ටේල් පාටියට ආපු බිකිනි කෙල්ල වගේ මට සලකන්න අනිත් උන් පෙළඹෙනවා.

අර ඉස්සෙල්ල කියපු තක්කාලි යාළුවා ගැන මම මේ පෝස්ට් එක සහ මේ පෝස්ට් එක ලිව්වා. අර ගෝවා එක්කනා ගැන මෙහෙම ලිව්වා. තව තියෙනවා, ලියන්න නිකං මොකද්ද මොකද්ද වගේ...

අද මම කියන්න යන්නේ ළමායි , යාලුවෝ ගැන කතාවක්ම නෙවෙයි. ඒ උනාට නොවේ මත් නොවේ... තෙරුනානේ?

192. ~~ අපරාදෙ මම ආවේ







වෙලාවට
ඇරෙන -
හඬනගන -
වැසෙන  -
දොරක් ළඟ
උඹ කොහොම ඉන්නවද
කියල හිතමින්ම
දසවසරක්ම ගෙවිල!

Tuesday, July 7, 2015

191. දුම ( කෙටි කතාව) - 4




මුල් කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 


සිය කබායේ ඇතුල් සාක්කුවට සිය වමත යොමුකළ කමල් ඉන් පිටතට ගත්තේ කඩදාසි ගුලියකි. තමා දිවගෙන එනවිට නැංවුණු දහදියෙන් විවර කරන ලද ලිපිය පෙඟී ගොස් තිබුනද, විවෘත නොවූ ලිපි තුන එතරම් හානියක් නොමැතිව ගුලිවී තිබුණි. ඒ සියල්ලගේම ලියුම් කවරයේ 'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යයි කුරුමිණි අකුරු වලින් සඳහන් වී තිබිණි.

"මල්ලි.... බස්සෙක කීයටද යන්නේ?"

රියදුරු අසුනේ සිට සිය බුලත් විට සරිකරමින් ආ කොන්දොස්තර අමතා කමල් ඇසුවේ සිය උඩු කබායෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිසදමමිනි. සිය ගමේ තැපැල් මහතා හඳුනාගත් කොන්දොස්තර තැන, සිය වියලි මුහුණට යන්තම් සිනහවක් නගාගනිමින් විට පොදිය මුවේ රුවා ගත්තේය.

"තව ඩින්ගෙන් යනවා මහත්තය, මොකෑ මේ හදිස්සියේ? ගමේ යනවෑ ?"

"යාලුවෙක්ගෙ මළගෙදරක යනවා, හදිස්සියේ"

කමල් කතා කලේ කොන්දොස්තර තැනගේ ඇස් මගහරිමිනි.

"කොහේ? කැකිරාවේ?"

"නෑ , ඉපොලෝගම හරියේ. හොයාන යන්ඩ වෙන්නේ. හරියටම දන්නේ නැහැ..."

Friday, July 3, 2015

190. දුම ( කෙටි කතාව) - 3






මුල් කොටස 
දෙවන කොටස 




"ලියුම් ටික තෝරලා ඉවරද ජානක ?"

තමන් අසලින් කිහිප විටක් සිය සුපුරුදු විලාසයට වඩා වෙනස් ආරකින් ගමන්ගත් කමල්ගේ හඬට යන්තමට සිය උරහිස ඉහලින් බැලු ජානක

"නෑ සර්...."

කියද්දී ඔහුගේ ලියුම් ගණන නැවතත් වැරදි ගියේය.

මෙය නම් හරියන රාජකාරියක් නොවේ. නමුත් කරන්නට යමක් නැත. කමල් මහත්තයා බාරදුන්නු වැඩක් නොකර බැරිය.

ඒ ප්‍රතිචාරයෙන් ඉදිරිපස කවුන්ටරයට ගමන්ගත් කමල්, ලියුම් බාරගන්නා මේසයේ ඉහල ලාච්චුව බියපත් කමකින් මෙන් විවෘත කර, එහි වූ ලියුම සිය කබායේ ඇතුල් පැත්තෙහි වූ සාක්කුවේ රුවා ගත්තේ වටපිට කිසිවෙකුත් නොමැතිව උනත් හාත්පස බලමිනි.

'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යනුවෙන් ලිපිනය යොදා තිබුණු ලිපියේ මුද්දර ගසා නොතිබිණි. නිර්මලාට එහි මුද්දර ගසන්නට මුදල් දෙන්නට නොහැකි වුයේ අදත් එය ගස් බෙනය තුලින් ගන්නට සිදුවූ බැවින් වුවත් මුදල් අවශ්‍ය නොමැති බව කමල් කිහිප විටක්ම නිර්මලාට පවසනවිට ඇගේ මුහුණේ ඇඳුනු ස්තුතිපුර්වක සිනහව කමල්ගේ හිත පුරා විහිදී ගියේ සුර්ය කිරණක් පරිද්දෙනි.

තද හිසේ කැක්කුමක් ඔහුගේ සිතුවිල්ලට බාධා කරමින් නැගී එන්නට විය.

'කෑම කෑවනම් හරි' යයි සිතමින් කමල් ජානක කොතනදැයි හිස පොවා බැලිය. වරුවක් ගතවී ඇතත් තවමත් ඔහු ලිපි තෝරයි. කට තිබුනාට ජානකට සුළු වැඩක් හෝ කරගත නොහැක. සියුම් තරහක් නැගී එනවිටම කමල්ට සිහි වුයේ නිමල් පිටවී යනවිට කියා ගිය වදන්ය.

"..... මේ කැලෑ අස්සේ ලැගල අහවල් සේවයක් කොරන්ටද මලය? හුනා කියන්නැහේ කියන්නං , මේ කඳු බඩගාන එක උඹට තව තුන් මාසෙන් එපා වෙනවා. තනියෙන් ඉඳල එපා උන දවසට කසාදයක් කොරන් තොලොංචි වෙනවා ඇරෙන්න... හැක් !"

"ජානක.... මම කඩේට යනවා කන්න. මතක ඇතුව පස්ස දොරේ පොල්ල දාල යන්න. ඉස්සරහ මම වහගෙන යනවා"

189. දුම ( කෙටි කතාව) - 2





මුල් කොටස


".... ඔව් ඔව්... වංගුවේ තියෙන්නේ. වරෙන්කො මම හෙට පෙන්නන්නම්.. අහ් ! හෙට මම හදිස්සි ලියුම් වගයක ලිස්ට් එකක් දාන්න තියෙනවා. එන්න වෙන්නේ නැහැ. කමලා තමයි හෙටත් යන්නේ. මම කියන්නම් ඌට, උඹට පෙන්නන්න කියල..."

මද ආලෝකය ලැබෙන හුන්ඩු කෑම කාමරේ මුල්ලක සිටි කමල්ට ඔහුට පිටුපා හිඳ, බරට කතාබහේ යෙදෙන දෙදෙනාගේ දෙබස් කන වැකුනද , අවධානය යොමුවන්නට ගත්තේ වංගුවේ නිවස ගැන සඳහන් කරනවිටය. තමන් කෑම කාමරේ ඉන්නා බව ඔවුන් නොදන්නා බව ඉව වැටුණු සැනින් පපුවේ වේගය ඉහළටත්, හුස්ම ගැනීම මෘදුව පහළටත් වශයෙන් වෙනස් කල කමල් සර්පයෙකුගෙන් සැඟවෙන මීයෙකු සේ නිසල වී ගල් ගැසුනේය.

".... නියම... බලපන්.... එලම කිරි.... දවල් වෙලා ලියුම් අරන් පලයන්. ... කොනේ... ඔව් ඔව්... ළිඳ... දහයට විතර... ආයේ නැහැ ලයිව්... කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... "

නිමල්ගේ ඊළඟ වචන කොතරම් උවමනාවෙන් කන් යොමා සිටියද කමල්ට ඇසුනේ අතරින් පතර පමණක්මය. කමල්ගේ පපුව දෙමොලෙන් පිටි කොටන්නට විය. කමල්ගේ පිරිමි ඉව සැනින් අවධි විය.

මේ කියන්නේ අර තරුණිය ගැනයි!

පපුවේ වේගයට බත් පිඬක් සිරවී ඇතිකළ කැස්සෙන් නැවතුනු සතර කන්මත්‍රණය සමග දෙදෙනාම එකවරම ආපසු හැරී බැලුහ.

කමල් සිය ජංගම දුරකතනයෙන් බර කතාවකය. නිමල් සහ ජානක එකිනෙකාගේ මුහුණු බලාගත් අතර ජානකගේ මුහුණ බියපත් බවින් පිරි තිබිණි.

"කමල් මහත්තයට ඇහුනද දන්නේ නෑ "

කාම කාමරයෙන් එළියට පැනගත් දෙදෙනාගෙන් , හුස්මක් ඇල්ලු ජානක බියෙන් මෙන් ඇසුවේ පහත් හඬිනි. නිමල් බියපත්බව වසා ගනිමින් ඔලුව දෙපසට වනන්නට විය.

Thursday, July 2, 2015

188. දුම ( කෙටි කතාව) - 1






කමල් වෙනදා මෙන් නොවී, ගල්පඩියෙන් ඉහළට එසවුණු ඒ නිවස අසල නැවතී පැහැදිලි, උස් හඬක් නංවන පරිදි සිය පාපැදියේ සීනුව තෙවරක් නාදකළේය.

'ට්‍රින්... ට්‍රින්... ට්‍රින්'

සීනුව දෙවන වරට හඬනගද්දී වෙනදා මෙන්ම අඩක් අඩවන් කරනලද ජනෙල් පියන මුළුමනින්ම ඇරී යනවාත්, ඒ සමගම ජනේලයේ ආවරණය කරනලද තිරරෙදි තීරයේ ඉහල කොටසින් මතුවෙන තරු යුවලක් වැනි දෙනෙත පෙනීමත් යන කාරනා දෙකම සිදුවුවත් වෙනසක් නොපෙන්වා තෙවන වර සීනුව නාදකරන්නට කමල් පසුබට වුයේ නැත.

'ලියුම්... ලියුම්'

කමල් උස්හඬින් කියද්දී ඈතින් පෙනුනද ඒ ඇස්වල ඇතිවුණු දීප්තිය වසන් කල නොහැකි විය.

"අපිටද............? කාටද...........?"

වෙනදා මෙන්ම ඒ තරු නෙතැත්තිය උස්හඬින් අසද්දී, කමල්ගේ උගුර සිරකර දමන ලද කලෙක මෙන් බොල් බවින් සිරවී ගියේය. එකවරම හඬක් නිකුත් වුයේ නැතියෙන් තරු නෙතැත්තියගේ කුලී නිවසින් වෙනදා එලියට පනින රුව එකවරම දොර අසලින් මතුවිය.

"අපිටද? "
හැඩිදැඩි සිරුරැති මිනිසා බැරැන්ඩි හඬින් අසනවිටම කමල් සිය උගුර පාදා ගන්නට සමත්විය.

"නෑ නෑ ...... එහා ගෙදරට.... 23 න් 3 ගෙදරට "

එසැනින් තරු දෙනෙත් ජනේලය අසළින් අතුරුදහන්ව ගොස්, වේගයෙන් ඇරුණු දොරෙන් එළියට පනින කෙල්ලෙකුත් දර්ශනය වනවිට කමල්ගේ සර්වාන්ගයම ගල්වී ගොස්, බයිසිකලයේ හැඬලයට දෙඅත් කිටිකිටියේ තදවුයේ නිරායාසයෙනි.

Monday, June 29, 2015

187. දේවදාස් මේ අහපන්





විකාර වැඩකි

විසබීජ මරන්නට
හැමදාම කොන්ඩිස් බොන එක....

මාව අමතක කරන්න
උඹ ඔහොම මත්වෙන්න හිතන එක!

ලෝකෙට පේන්න විඳවන එක....

රීල් එක ඉවර නම්
දාපන්කෝ අලුතෙන් රීල් එක!



186. ඇරඹුම







'මෙහා' ගෙදර
කොලවරණ ගසක්,
හලයි
'අල්ලපු' ගෙදරට
කොළයක්




Monday, June 22, 2015

185. අමුතුයි නේද?




පුදුමයි මෙහෙම හිතෙන එක?

බරක් පතලක් නොතේරෙන කාලේදී, බරපතලවට හිතල ගන්න තීරණ කොතරම් නිවැරදි උනත් අවුරුදු ගණනාවකට පස්සේ දුක්වෙන්නේ ඇයිද කියල මට කියාදෙන්න ඔබ ළඟ නැති එක ගැන මම අද උදෙත් දුක් උනා.

හැමදාම උදේ පාන්දර මගේ කවුළුවේ එළිපත්තට වෙලා කන්දෙක 'කුං' ගැන තාරතාවයකින් සින්දුකියන පොල්කිච්චට, කෑම නොදී උනත් හිතින් ආදරේ කරන්න මට හිතුනේ අදක ඊයෙක නෙවෙයි. කොහොමත් අව්කුටකෙට කරවෙච්ච ගොම මැටි පොළවක් ජීවයක් පෙන මානයකට ගේන්න වතුර පනිට්ටුම කීයක් හලන්න කියලද? ඊටත් හැමදාම??

Friday, June 19, 2015

184. නොකී කවියක - තනුව






ඉතා ලස්සන කොලයක
පාට පාටින් ලියා තිබුනද
එකවරක්වත් නොකියවූ
කවියක් තිබේ - ඔබ ගැන

හොරෙන් අත අල්වා
පූසියක සේ ගුලිවී
ලාවා කන්ද අවුලා
අතුල්පහරින් සිහිකැඳවන...

Thursday, June 18, 2015

183. නඩුව






නඩුමගට බසිමි
වළාකුලකට එරෙහිව..

එන්න කීවිට නොඑන
වැස්ස ඕනෙම වෙලාවට නොදෙන
හාදුවකට ඉඩක් නොමදෙන,
පොරොන්දුවක්වත් නොඉවසන !

Tuesday, June 9, 2015

182. දැන් මටද පිස්සු? උන්ටද?





මේක හැබැයි ගොඩක් කාලයක් තිස්සේ ලියන්නම් කිය කියා හිටියා මිසක් ලිය උනේ නැහැ. හේතුව ඉතින් මුලිකවම කම්මැලිකම.  අනිත් එක මේ සිංහල කොටන එක ඔෆිස් එක අමුතු කෙලියක් වෙලා නිසා අනිත් උන් සෝමාලියාවෙන් ආපු තරබාරු එකෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න පටන් අරගෙන. ඉතිං අලුත් තැනකට මාරු වෙනකල් එක දිගට ලියාගෙන යන දෙයක් පටන් ගන්න තිබ්බ නොහැකියාව.

ඔන්න මම ගැලවිජ්ජාවට අවශ්‍යටික උඩ ජේදේ ලිව්වා, මේ ජේදේ ලියන්නේ පුරසාරම් ටික. ඒ කියන්නේ මම පොඩි කාලේ කොරපු...

අනේ අම්මප කොතරම් කිව්වත් මේ පුරාජේරුව අඩුවක් නැති හැටි? කොයි වෙලෙත් පොඩි කාලේ එව්වා ලියනවා කියනවා මිසක්ක ලොකු කාලේ එව්වා ලියන්න හිතෙන්නෙම නැති හැටි? ඒකත් එහෙම වෙන්නේ පොඩි කාලේ මක්කා කොලත් ලොකු කාලේ කරපු කියපුවයින් සායම ඔක්කොම දියබත් වෙලා ගොහින් තියෙන නිසා ජාමේ බේරගන්න පොඩි කාලේ එව්වා කියන්නම වෙනවා. එව්වා ඔක්කොම කිව්වත් අන්තිමට 'අනේ ඇත්තට ඒවා කලේ උඹමද හැබෑට? කොහොම හිටපු එකෙක්ද නේද? දැන් මේ විදියට ඉන්නේ?' වගේ අදහස් දැක්වීමකින් නතර වෙනවානම් හොඳයි. ලොකු කාලේ කරපුව ඉතින් මෙව්වගෙ තැනක කොහොමත් ලියන්න අමාරුයි. මොකද බැරිවෙලාවත් අපේ උන්දලා සර්ච් කරන සර්ච් කිරිල්ලේ තරමට වැරදිලාවත් මේවා අහු උනොත්, තක්කෙටම දන්නවා මේ කියන්නේ මම ගැන කියල, මොකද උන්ට මතක හිටින විදියට වැඩේ කරන්න මම හැමවෙලේම වගකියනවා. හරි හරි දැන් ආපහු පුරාජේරු ජේදේ !

181. නරුම කෙල්ල (නොකී කවිය )




හැඩිය යුතු තැනදී
සිනාසී ඉමි
පෙම් හැඟුම් ඉහිරෙනකොට
ඉවත බලමි
විහිදුනු දෑත් දැක දැක
කබායක ගුලිවෙමි
ආපසු හැරී යන ඔබ දැක
සුසුම්ලමි



Friday, May 29, 2015

180. මොණර ගීතය




කඩදාසි රුවකි මා
ගිනිගොඩක් මුරකරන
පොඟන අත්දෙකෙන් යලි
දර කැබලි ලංකරන....

විතකි මීවිත කැවුණු
රෝසකටුවෙන් අනින
බරැති තටු පිරිමදිමි
ඔබේ පිහියට කැපුන.....

Tuesday, May 26, 2015

179. දවල් කෙයාර් - 2




මේ ලිපියේ කලින් කොටස කියවන්න බැරිඋන අය මෙතැනින් කියවන්න...

මම කලින් කොටසේදී විස්තර කලේ ඩේ කෙයාර් මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය සහ එහි සාමාන්‍ය සේවාවන් වල තත්වය ගැනයි. තව දෙයක් කියන්න ඕනේ. ඒ ලිපියට කොමෙන්ටු දාපු අයගේ අදහස් මේ ලිපියට ගාවගන්න අදහසක් නැත්තේ ලිපියේ මම ලියාගෙන යන්න හිතාගෙන ඉන්න දේ ඕනෙවට වඩා රබර් වෙයි කියල. ඒ හින්දා කොමෙන්ටු දාපු පින්වතුන්ට මම ඒ තැන්වලදී උත්තර දෙන්නම්. ( දැක්කද ලිස්සල යන විදිය. අවුලක් නෑනේ?)

මේ කොටසින් මම ලියන්න හදන්නේ මේ මධ්‍යස්ථාන සහ සේවාව ගැන සංවාදයක් ඇතිකලයුතු කරුණු ගැන.

අපි මෙහෙම කියමු. දිවා සුරැකුම් මධ්‍යස්ථාන කොතරම් තියනවද? ඒවා ඇත්තටම කොයිවගේද? ඒ හැම එකක්ම සමානද?

Friday, May 22, 2015

178. දවල් කෙයාර් - 1



අද මම කියන්න හදන්නේ.... ( ඔන්න ඉතින් පටන් ගත්ත... හරි හරි කියන එකක් කියනවා කෙටියෙන්...) ටිකක් වෙනස් දෙයක්. මේ කාරනාව කෙලින්ම අදාළ වන අය ඉන්නත් පුළුවන්, ඒ වගේම වක්‍රව ඒ දෙස බලාසිට මතයක, සංකල්පනාවක ඉඳල අදහසක් ඉදිරිපත් කරන්නෙක් ඉන්නත් පුළුවන්. ඒ මොන කැටගරියේ හිටියත් මම හිතන්නේ මේ මාතෘකාව මට නම් හරිම සුලබයි.

කොටින්ම මම අද කතාකරන්න යන්නේ දවල් කෙයාරින් කරන එක ගැන. අපෝ අපෝ එහෙම එකක් නෙවෙයි. කට්ටිය කලබල වෙන්ට එපා, මම කිව්වේ පොඩි දරුවන්ව දවල්ට බලාගන්න 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' හෙවත් 'ඩේ කෙයාර්' ගැන! ( ආන්න එහෙම එන්ටකෝ මල ජවුසන් නැතුව!)



මේ සංකල්පය ලංකාවට අමුතු උනාට ( මම කියන්නේ සංවිධානාත්මක ලෙස හරි ආයතිනකව හරි පරිපාලනයකින් ඉටුකරන විදියට සැලසුම් කරපු) ලෝකයේ නොයෙකුත් රටවල් වල සහ සමාජයන් වල මෙහි එක එක ලක්ෂණ සහිත සංකල්ප ක්‍රියාත්මක වෙනවා. මට මේ ගැන ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි. ගොඩක් කල්, නමුත් ඒ අදහස අලුත් උනේ ඔමායා ලියල තිබ්බ මේ ලිපියේ ඒ ගැන කෙටියෙන් හරි සඳහන් කරලා තිබ්බ නිසා.

177. හමුව






නැතිවුණිය ඉවසුම්
දකින තුරු ඔබ දසුන්
පුරා දෙවසරක සුසුම්
ඇසුණු පපුවද නොමැත සැනසුම්

ඈතින් එනු දුටද
හිස බිමට බාගෙන උනිද
කීමට යමක් නොතිබුණද
දුටිමි නෙතඟින් ඔබ පාද

Friday, May 15, 2015

176. ඔඩුදුවන පෙම් රිදුම







මුදාලමි වරපටින්
ඉගිලියන් හිතුලෙසට

හරිමි දොරගුළු කඩා
පලා හදවත රිදෙන

නොයා උඹ තවත් මේ
එළිපත්ත උඩ රැඳෙන

රහස කුඩුකර බලමි
යලිත් ඔබ ඇත පැමිණ?



Thursday, May 14, 2015

175. දැරියක සුසුම්..







නටමි , ගයනෙමි
තුටු කරන්නට
අයෙන් නෑසිය මිතුරු කැල 'ඟින්
නමුදු පෑරෙන බැවින් වණයද
හැකිද නොඑනට ආයෙමත්?

මට නොමැති, ඔබට ඇති
දෙමව්පිය, නෑසිය අසිරියෙන්
නගද්දී කිරි සිනහ හඬ ඈ
හිතේ කහටක් නැතිය , දුකමෙන්




Tuesday, May 12, 2015

174. හී - ටර්



මම මාරම මාර වැඩ කිසි දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැටමාර වැඩ විතරයි. මට ඒකට හරියන ජාතියෙන්, ඒ ගානට මොළයක් දීල තියෙන නිසා වැඩිය මොලය වෙහෙසන්න මම කොහොමත් උත්සහ කරන්නෙත් නැහැ. මොකද ඒවාට රටේ ලෝකේ කට්ටිය ඕනේ තරම් ඉන්නවා.

අද මම කියන්න යන මේ වැඩේ උනේ මගේ කීර්තිමත් බෝඩින් ජිවිතේ එක නවාතැන්පලක ඉන්න අතරතුරේ. මම හිටිය නුගේගොඩට අද්දර නගරයක බෝඩිමක. අපේ වැදගත්, සුකොමල, ලෝකේ ගැන හසල දැනුමක් තියෙන ( එක ඇනෝ මහත්මයෙක්/මහත්මියක්/ මියක් මට එහෙම තමයි අපේ අක්කණ්ඩි ගැන කිව්වේ) ඒ උනාට හුළඟට ගහක් හෙලඋනත් ගම දෙදරවන අපේ අක්කා එක්ක මම ඒ ගතකරපු අවුරුදු කීපය...... අම්මේ මට නම් කල්පයක් වගේ. මොකද දිනපතාම තකට තක විදියට අපි දෙන්නාම පුදුම දැනුම් සම්භාරයක් තමයි එකතු කරගත්තේ. ඒ බෝඩිමේදී තමයි මේවා උනේ.

120 බස් ගොඩක හෝල්ට් කීපයක් යාම
සාර්ථක ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණයක් සිදුකිරීම
යාළු ගම් යාම

ඔය ඔක්කොම නෙවෙයි. ඒ තියෙන්නේ ලියාගන්න පුළුවන් වෙච්ච එව්වා.




අද ලියන්න යන්නේ මම කරපු ටිකාක් විතර , හුඟාක් නැති වැටමාර වැඩක් ගැන. මිට සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඒක මම කතාව ඉවර වෙලා කියන්නම්.

ඔන්න එකෝමත් එක සුන්දර දවසක.....

173. සැඟවුණු මෙරුවකු






නිහඬවෙමි
නොඑන ඒ අතීතෙට..
හුස්ම අල්වා සිටිමි
මොහොතකට...

සිහිවිකල් තරුනෙකුව
පියාපත් බිම හෙලා
මෙරුවෙක්ව - අයැදි පෙම
නොලත් මුත්....

Monday, May 11, 2015

172. හැබෑම බොරු උමතුව




වෙලාවකට මට හිතෙනව මම ඉන්නේ උමතුවකින්ද කියල..

වෙන්නත් බැරි නැහැ..

පොඩිම පොඩි උමතු ගතියක් මට කොහොමත් දවල් වෙනකොට දැනෙනවා. වැඩිපුරම එහෙම වෙන්නේ කාමරේ උණුසුම් තත්වය අයහපත් උනහම. අයහපත් උනහම කියන්නේ පොඩ්ඩක්වත් යහපත් කමක් නැතිකමට නෙවෙයි. පොඩිම පොඩි යහපත් කමක් තියෙනවා, හරියට අයහපත් කියලා ලියනකොට මුලින්ම 'අ' යන්න ලියනවා වගේ යහපත් කමක් ගැනත් අගට ලියවිලා තියෙනවා. ඇත්තටම යහපත්කමක් ඇත්තෙම නැති වෙලාවට අපිට බැරිද අයහපත් කියල ලියන්නේ නැතුව 'යහපත්' කමකට පොඩ්ඩක්වත් සම්බන්ධයක් නැති වචනයකින් ඒ ගැන ලියන්න? එතකොට අපිට සහතික වෙන්න පුළුවන් එතන යහපත්කමක් ඇත්තෙම නැහැ කියල... නැද්ද? එක අතකට එහෙම ලියන එක වැරදියි නොවැ ... පොඩ්ඩක් වත් යහපත් නැති, අයහපත් දේවල් තියෙනවද හැබෑටම?

හැබෑටම.....

Friday, May 8, 2015

171. අදර ඇරයුම








සුදර්ශන් එන්න
ආයෙමත් සෙල්ලම් කරන්නට
හැංගිමුත්තම් , කවඩි , ඔන්චිලි
පුලුවන්වේවි පිට්ටුත්!

එපා සෙල්ලමට වත්
හොරා පොලිස් අල්ලන්ට
උඹ හොරා - මම පොලිස් උනත්
ඕනේ නැහැ හිත පාරන්ට...
ඒත් සුදර්ශන්
හිතයි මට කඩු හටන් කරන්නට
හැබැයි මුත්තට නොපෙනෙන්ට!

Friday, April 24, 2015

170. අටපට්ටම්







"අන්න බලහං පුතේ
උනුත් ආසයි මෙව්වා කොරන්නට "

අටපට්ටම මට දෙමින්
නැන්දා හිනැහී කියයි මට...

දුන්නු අටපට්ටමට සෑහෙන
මොණර කොලයක් පතාගෙන
බලාගෙන හිඳියි
'මොහොමඩ්' මා දෙස



Thursday, April 23, 2015

169. දුහුල් මලක්?







හදිසියේ තණ අතරින් නැගී
වරපටින් බැඳි මා අතින් ඇද
බදා සොලවනු කිමද 'තුරු ගස?

අන්බිමක මුල් අදිනු දැක දැක
කිසිවිටෙක මුවගින් නොබැන මට
මැකීගොස් හදිසියේ ගිනිවැද
දුබල තැනකින් හසුවුනිද අද?

Wednesday, April 22, 2015

168. ~~~ ප්‍රබන්ධ~~~ - ඉතිරිය



මුල් කොටස 


"පිස්සු කොල්ලෙක්නේ.... "

මම ශිවා දිහා බලලා ඔහුගේ එක උරපත්තකට තට්ටුවක් දැම්ම.

"...... පිස්සු නැතුව ඉන්න ශිවා. දැන් ගිහින් මොනවා කරන්නද?"

මේ වගේ පාලු වත්තක තමන්ගේ නිවාඩුවක් ගතකරන්නට තෝරාගන්න එක තරම් ඔලමොට්ටල වැඩක් මට නම් හිතාගන්න බැහැ. එහෙම දුවන් යන්නේ ලෝකෙන් ඈතට දුවගෙන ගිහින් හැංගෙන්න හේතුවක් ඕනේ උන්ට විතරයි මම හිතන්නේ.

මගේ දිහා පොඩි වෙලාවක් බලාගෙන හිටපු ශිවා මුකුත්ම උත්තරයක් දෙන්නේ නැතුව හිනා උනා. මාව උන්තැනම ගල් උනා වගේ උනේ ඒ හිනාවට. මගේ විලාසය දැක්ක ශිවාගේ හිනාව ඒ එක්කම තොල් පියවිල්ලකින් කෙලවර උනා.

"නෑ මිස්....."

මට නෝනා කියවිල්ල ගැන මම නොයෙකුත් දේවල් කිව්වට පස්සේ ශිවා ස්වයන් තේරීමකින් මාව 'මිස්' කරන්නට හිතලා තිබ්බ.

Tuesday, April 21, 2015

167. ~~~ ප්‍රබන්ධ ~~~






අලුතෙන් ගෙනාපු සපත්තු දෙක ආයෙමත් මම කකුලේ දාල කාමරේ දොර ගාවට එනකල් ඇවිදගෙන ආව. 'ටොක් ටොක්' ගාමින් සපත්තු දෙක ඇවිදන් ගිහින් නතර උනාට තවත් ටොක් ටොක් සද්දේ ඇහෙනවා. මම ඇහුම්කන් දුන්නේ කොහෙන්ද ඒ සද්දේ එන්නේ කියල.

ෂොපින් ගිහින් ගෙනාපු ඇඳුම් ටික ඇඳ උඩ පුරෝගෙන, මුලින්ම අඩවන් කරපු ජනෙල් පියන් දෙක ගාවට ඇඟිලි තුඩු වලින් ඇවිදගෙන ගියපු මම හෙමින් ජනේලෙට තල්ලුවක් දැම්මේ ඒ 'ටොක්' ශබ්දය පෙරිලා එනවා කියලා මම අනුමාන කරපු ඉලක්කය හොයන්නමයි.

තේවත්ත හරහා තියෙන සිහිලස ගුලිකරගෙන හිටපු හුලන් පාරක් ඒ අවසරයෙන් මගේ කාමරේට පැන්නේ මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැතුවයි. මගේ ඇස්දෙක අඩවන්ව ගිහින් අමුතු කිතියක් එක්ක සෘන්ගාරයක් මුළු සිරුරම සලිත කරගෙන පිබිදුනා.

පමාවූ ඒ මිනිත්තුවට මම හොයපු 'ටොක්' ශබ්දය අතුරුදහන්ව ගිහිං ! මම ඈතට දිවෙන තේවත්ත පුරා ඇස් ගෙනිච්චේ හෝඩුවාවක් හොයන්නම නෙවෙයි. එතකොට මගේ ඇස ගැටුනේ ටොක් ශබ්දයේ අයිතිකාරයයි වැඩියෙන්ම සැකකලහැකි රුවක්...

Friday, April 10, 2015

166. අලුත් වැස්සක්...



මම ඔබව සොයමි....

වරෙක හිස් කඩදාසි කොලයක, වරෙක අළු-සුදු කෝලා සෙල්ලම් බඩුවක පසුපසට වී ඔබ ඇතැයි බියෙන් මම ඒවා අතින්වත් නොඅල්වමි. යලිත් ඔබ නැතැයි කියමින් නින්දට පෙර සුරංගනාවන්ට චෝදනා ගොනු කර තබායමි. නැවත සිහිනෙන් ඇවිත් පිහාටුවකින් ඇන මා බිමහෙලුවා යයි කියමින් දින ගණනක් දෙස් දෙවොල් තබමි.

දියසලකුණක් සේ ඒ සියල්ලටම ඇතුලෙන් නිරුපද්‍රිතව ඔබ ඇත්දැයි ඉඳහිට අතගා බලමි.

මේ කුරිරු සැලකිල්ලෙන් මරණිය කැළලක් නොඑන්නට ඔබ වගබලාගත්තේද?
නැත්තම් ඇත්තටම මිරිදිය කුඩමසෙකු සේ තණපත් අතරේ සැඟව හෝ ඔබට ඉන්නට හැකිවිද?
ඉඳහිට උනත් මුළු දියකඩිත්තම කළඹමින් ඔබ සොයා නිහඬ ඔබ සම්මුඛ වීමෙන් පසුව තොරතුරක් හෝ නොවිමසා ඔබට යන්නට හරින්නට මට හැකිවුණේ කිනම් අරුමයක් නිසාද?
මේ සියල්ලටම ඔබට උත්තර දියහැකිද?

රුදුරු සීතල මා දවාලන බව දන්නා බැවින්, කිසියම්ම මොහොතක ඔබ කවුළුවෙන් එබෙනු ඇතැයි සිතමින් , බොරු හේතුවකට කවුළුව ඇරතබා හිඳිමි. අහම්බෙන් මෙන් එලෙස එන විට සුපුරුදු ලෙසම කබායෙන් එලියට විහිදෙන උණුහුමක් ඔබ රැගෙන එන බව මම නොදන්නවා සේ හිඳින්නට තිරකරගනිමි.

Thursday, April 9, 2015

165. නපුරු සුන්දරී





මම කැමතියි මේ විදියට
උඹගේ නපුරු එරවිල්ලට...
හිනාවක් නැති මූණට....
මං දකිනකොට හැකිලෙන ඇහිබැමට.....

පුයර තවරන් ඉන්නෙක
කිතිකවන සුවඳ ඉහිරන එක
එකා පිට එකා හැරෙනෙක
කටුවක්ය නින්ද නැතිඑක

164. ~~~ හිම දේශය ~~~



ළඟකදී ආසහිතෙන වැඩක් කරන්න ලැබුනා.


ඒතමයි පොඩි එකෙක්ගේ උපන්දින සාදයක තීම් එකක් කරන්න ලැබුණු එක. කාඩ් එක පටන් සියල්ලම කලේ මගේ අතින්.

මේ තියෙන්නේ කාඩ් එක.




මේ තියෙන්නේ පිටත.

කාඩ් එකේ හිමපියල්ල ( snow flakes) කාඩ් එක එහා මෙහා කරනකොට කැරකෙනවා. මේ ජාතියේ කාඩ් වලට කියන්නේ Spinning cards කියලා.









Wednesday, April 8, 2015

සුරංගනා කතාවකි -6




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම

පස්වන සුරඟන පබැඳුම


සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.

"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."

සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.

"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"

අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.

"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."

කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.

"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"

සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.

"ම.. මාඅ.. ම.."

"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"

මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.

සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.

හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.

"පුතා.... උත්තර දෙන්න බැරිද?..."

කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.

".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."

මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.

"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "

පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.

*********************************

"ගොන් බඳින කණුවක් උඹ නම්"

සිය යෙහෙළියගේ ක්ෂණික ප්‍රතිචාරය ශරීරයේ කොතැනක හෝ සිට දෝංකාර දෙනවා සාමාන්‍ය කෙල්ලට දැනෙන්නට විය. එය පිටතට නොයන්නට ඇය කෙටි හුස්මවල් පිටතට හෙලන්නට සැලකිලිමත් වුවාය.

"පිටින් මෙහෙම පෙනුනට මම ඇතුලෙන් ගොඩාක් වෙනස් කෙනෙක් කුමාරයෝ..."
"මම ඒක දන්නවා. දැනගෙන තමයි මේ හැමදෙයක්ම කරන්නේ"

"මට හිතෙන්නේ අපි ආයේ මුණගැහෙන්නේ නැතුව ඉන්නවනම් ගොඩක් හොඳයි. කොහොමත් මම නගරෙට යනවා"
"නගරෙට එන එක කොතරම් හොඳද? මට එහෙ ලේසියි.. මෙහෙ ඔයා ඉන්නේ පරාන බයෙන් නේ?"

"මම කොහොමත් නගරෙට ගියහම හොඳ කොල්ලෙක් හොයලා යාළුවෙනවා"
" ( උගුර එකවරම සිරවී, පසුව) මට වඩා හොඳ කෙනෙක් හොයාගනිද? විශ්වාසද? නගරේ කොල්ලෝ නරකයි දන්නවද?"
"ඔයත් ඉතින් නගරේ කොල්ලෙක්නේ... මම නගරෙට ඇවිත් ඉන්න ගමේ කොල්ලෙක් හොයාගන්නේ"
- ඇස් හීනිකර , දත් නොපෙන්වා සිනහවක් -


මේ දෙබස් කොටස් එකම ආකාරයෙන් ප්‍රතිරාව වන සිග්‍රතාවය වැඩිවන අවසන් සතියක අගකදී සාමාන්‍ය කෙල්ල නගරයට සංක්‍රමණය වුවාය.


මන්තර කාරිය සිය නියෝජිතයා පිටත්කොට සැනසිල්ලේ නින්දට පිටත්ව ගියාය.

ඇය නින්දෙන් අවදිව පැමිණෙනවිට සියල්ලම යහතින් සිදුවී පැවතුනි.

මන්තර කාරිය සැනසුම් සුසුමක් හෙලා සිය බෙහෙත් මුට්ටියෙන් ගත් කසාය කුසලානකයට පිරවුවාය.අසල කටාරම අද්දර තබා තිබුණු රිටෙහි වසා උන් සිය මන්තරකාර පක්ෂියාගේ හිස යන්තම් අතගා සිහින් සිනහවකින් සංග්‍රහ කළාය.

"මම කිව්ව දේ ඇහුව නැති එකී.... හික් හික්.... දැන් බලාපන් සිද්ද වෙනදේ"

ඇගේ සිනහවේ දෝංකාරය මුළු කුටිය පුරාම වූ විදුරු බඳුන් කම්පනය කරවන්නට පවා සමත් විය.

************************************


මතු සබැඳි 

ගුරු වෙරි - 2

සංසාරේ කොතනකවත් මම ගුරුවිරියක් වෙන්ට හිතුවේ නැහැ කියල මෙන්න මෙහෙම මම ලිව්වා....


දැන් ඉතින් ඉතිරි ටික....

ඔන්න ඉතින් මුලින්ම මට එන්න කියල ගියපු දවසේ මම උදේ කඩියා වගේ දුවල පැනලා ලෑස්ති වෙලා වෙලාවටත් කලින් ගියා ක්ලාස් එකට. මම ඉතින් සුවච කීකරු, වැදගත් කෙල්ලෙක් වගේ වාඩිවෙලා හිටියා රිසෙප්ෂන් එක ගාව තිබ්බ පුටුවේ. මට එතන වාඩිවෙලා ඉන්න කියලා සර් වෙන වෙන වැඩ වලට එහෙ මෙහෙ දුවනවා.

මමත් ඉතින් වලිගෙ අහුවෙච්ච රිලවා වගේ වාඩිවෙලා වටපිට බලබල හිටියා. ඔන්න පැය බාගයක් ගියා.... පැයක් ගියා.... පැය එකහමාරක් ගියා...... කෝ බොලේ කියපු කෝස් එකේ පටන් ගැනිල්ල ?

Tuesday, March 31, 2015

163. බුදු අම්මෝ හෝව් හෝව්..!





මේකත් මගේ පොඩි කාලේ සම්බන්ධ කතාවක්.

මගේ පොඩි කාලේ ගැන ඉතින් කොහොම කොතැන කියන්න ගියත් ඉතින් අපේ අය්යා කාරයා සහ අක්කා ගැන නොකියාම බැහැ.

පොඩි කාලේ ගැන සැකවින් මම මෙතැන ලිව්වා.

ඒ වගේම උණුවතුර ළිඳක් පහසුවෙන් සහ ඉක්මනින් සාදා ගන්නා අයුරු මම පොඩි කාලේ අත්හදා බලපු හැටිත් ලිව්වා.

පොඩිකාලේ ඉඳල පුරුදු වෙච්ච යහපත් ගතිගුණය තමයි ගෙයි ගින්දර පිටට නොදෙන එක. ඒ ගැනත් ලිව්වා

බෝනික්කෙක් හින්ද වෙච්ච පපුවේ අමාරුවක් ගැනත් ලිව.

ඇයි අපේ අය්යාගේත් මගෙත් කුරුමිණි මිරිකුනි වැඩේ?

ඒ වගේම අපේ පාරම්පරික ක්‍රීඩාවක් ගැනත් ලිව්වා.



දැන් ඉතින් මක්කද ලියන්න හදන්නේ? මක්කා ලියන්නද ඉතින් වෙච්ච දෙයක් ලියනවා මිසක්. අපි වෙච්ච දේවල් කියනවා, වෙන්න තියෙන දේවල් නම් කියන්නේ නැහැ... අනේ ඔව්...

අද මම ලියන්න හිතුවේ පොඩි කාලේ සිද්ද උනත් ගොඩක් ලොකු උනාට පස්සේ ක්ලික් වෙච්ච සිද්ධියක්. මක් කිව්වා? ඒ මොන හරුපයක්ද? නෑ නෑ .. කිසි හරුපයක් නැහැ. ඔක්කොම සුද්ද සිංහලෙන්...

Friday, March 27, 2015

162. කෝට් එකේ කොටු කොටු





මම මගේ ක්‍රීඩා අතීතයේ සමහර සිදුවීම් ලියාගෙන ආවා.

මේ මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ.
මේ ඊට පස්සේ සිද්ධි කීපයක්
මේ මම කණ්ඩායමක් නැතුව ගන්දබ්භව හිටපු කාලේ.

ඔය අන්තිමට කියපු සිද්ධියෙන් පස්සේ මම තනියෙන් සෙල්ලම් කරලා දක්ෂකම් පෙන්නපු නිසා මගේ වැඩිමහල් කණ්ඩායමට 'සිද්ද උනා' මාව එයාලගේ ටීම් එකට ගන්න. මම එහෙම සිද්ද උනා කිව්වේ හැමදෙනාම වගේ එයාලගෙන් ප්‍රශ්න කළා මම චැම්පියන්ශිප් එකක් දිනලත් මොකද ටීම් එකේ නැත්තේ කියලා. ඒ නිසා මාව මට වඩා වැඩිමල් අක්කලා ඉන්න ටීම් එකට දොරවල් ඇරුණා.

මේ ටීම් එකේ හිටියෙ මම පොඩිකාලේ ඉඳන්ම කෝට් එකේ ඉඩ පොඩ්ඩක්වත් නොදුන්නු, කලින් චැම්පියන්ශිප් එකකදී මට ලොකු කැපිල්ලක් දාපු වැඩිදෙනෙක්. එකම එක අක්කා කෙනෙක් ඇරෙන්න, අනිත් හැමෝම හිටියේ හොස්ටල් එකේ.

ඒ දවස්වල උනත් මම ඔය අසාධාරනකම් හරි පරණ කෝන්තර හරි මතකේ තියාගෙන පළිගන්න හිතන්නෙවත් නැති කෙනෙක්. කොහොමත් ඉස්කෝලේ මේ ප්‍රශ්න කිසිම දෙයක් මම මගේ ගෙදරට කිසිම විදියකින් අඟවන්නේ නැතුව තමයි හිටියේ. ඒ මගේ හැටි. ඒ හින්දා අලුතින් ටීම් එකට ආවාම මට ආපු පොඩි පොඩි කැපිලි සහ හිත රිදවීම් මම ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. මේ හින්ද අලුත් ටීම් එකේ ඉහ ගහලා ඉන්න මට එතරම් අමාරු උනේ නැහැ. මම ඒ දවස්වල කොහොමත් ගල් ඉබ්බෙක් වගේ. වැඩි කතාවක් බහක් නැහැ, ආව - ප්‍රැක්ටිස්  කළා - ගියා. ඒ අක්කලා කියන දෙයක් කරලා සද්ද නැතුව හිටියා.

Friday, March 13, 2015

161. සිද්ධියක් සහ දෙදෙනෙකු






නුඹ..
මගෙ අතින් ගිලිහුණ...
ගිලිහී බිම පතිතවුන..
පතිත වී බිඳුන...
බිඳී සුන්බුන් විසිරුණ..
නිරුවත් මොහොතෙ පෑගුන...
ඇනුන මොහොතට වඩා රිදවන..


මම...?

රුවල් හකුලන - ගිලෙන 

Thursday, March 12, 2015

160. මල් - කෝපි - රිවෝල්වර





ඉදින් මා පුරවමි
පතුරොම් එකින් එක
මල් අමුණන විවේකෙට
ලැබෙන උණු
කෝපී තොලගාමින

Monday, March 9, 2015

159. වර - කා (02)

මුල්  වර-කා කෑම

ඔහොම මාව ජිම් එකෙන් දොට්ට දැම්මට පස්සේ...

පස්සේ ඉතින් මක්කා කරන්නද...? වෙන කරන්න දෙයක් නැති වෙලාවට ඉතින් මම පාඩම් කළා. ඇත්තම කිව්වොත් මට ලැබුන කාලෙන් වැඩි කාලයක් වැය කලේ මගේ නවකතා ලියවිල්ලට. ඒ දවස්වල මට පට්ට ඉන්ටරෙස්ටින් සත්‍ය කතාවක් ලැබුනා ලියන්න කියලා. ඉතින් මම එකසියා ගානට ඕක ලිව්වා. දවසකට පිටු 10-15 පවා ලිව්වා. ( දැන් අහන්න එපා පොතේ පිටු කීයක් තිබ්බද කියල.. එව්වා මට මතක නැහැ)

ඔහොම ඔහොම ඉතින් කාලය ගෙවුනා.

මට පොඩි පහේ ලෙඩක් තියෙනවා. පොඩි කිව්වට ඕක හරිම සුට්ටන් ලෙඩක්. එකම වැඩේ ලෙඩේ සුට්ටන් උනාට අතුරු ප්‍රථිපල සුට්ටන් නොවීම. ඔය ලෙඩේ නිසා තමයි මම එක පාරක් ලියපු අර පරණ ඉස්කෝලේ මිස් වෙලා වෙච්ච සන්තැසිය සිද්ද උනේ.

ලෙඩේ මොකද්ද දන්නවද? ඒ තමයි මහා විනැම්බෑසියක් වෙලා තියෙද්දී මුකුත්ම නොදැනී ඉඳල, හිටපු ගමන් කොළ බොක්කටම එකවරම වෙලා තියෙන සන්තැසිය දැනෙන්නට පටන් ගැනිල්ල.


කොටින්ම කිව්වොත් මාස ගානකට කලින් exam භීතිකාවෙන් කොර වෙලා අනිත් එවුන් දඟලනකොට මට ගානක් නැතුව ඉඳල, එකපාරටම විභාගෙට සතියක් විතර හෝ පැය ගානක් තියෙද්දී හෝ එකවරම සුනාමියේ දෙවන රළ ප්‍රහාරය වගේ දැනෙන එක!

කිව්වත් වගේ මට ඕක මේ පාර දැනුනේ හරියටම..... හරියටම කිව්වොත්......

ඇඩ්මිෂන් ගන්නකොට? අපෝ නෑ....... ඒවාට තව කල් තියෙනවා

ක්ලාසස් වල අන්තිම දවසේ - නෑ නෑ

සතියකට කලින් - හ්ම්ම්... මේ පාර නම් එහෙම උනේ නැහැ..

හරියටම උනේ.... - පළවෙනි පේපර් එක තියෙන දවසට කලින් දවසේ රෑ !!

158. වර - කා (01)

අද ඉඳන්, මේ මොහොතේ ඉඳන් සිරා වෙනවා ( නෑ නෑ .. ඒ සිරා නෙවෙයි... නෑ නෑ .. අර සිරාත් නෙවෙයි... සීරියස් සිරා ඕයි ) කියල හිතල හුස්මක් ගන්න ලැබුනේ නැහැ.

මට හම්බුනා නේ වරකා ගෙඩියක්... 

ගෙඩියක් කිව්වට ගෙඩියක්ම නෙවෙයි, ගෙඩියකින් පොඩි පංගුවක්. පොඩි කිව්වට කෑල්ලක්. කෑල්ලක් කිව්වට ගෙඩියක් දෙකට කපලා එක කෑල්ලක්. අර්ධයක්? නෑ ... නෑ .... අර්ධයක් වෙන්නේ කොහොමද... ඕක දෙකට කපනකොට මමමනේ එක පැත්තක් වැඩිපුර ලොකු වෙන්න කියල කප්පවාගෙන අමතකවිල්ලකින් වගේ අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල ඉක්මනට කොලේකින් ඔතෝගෙන ගෙදර උස්සන් ආවේ! ඉතින් ඕකට අර්ධයක් කියන්න මට පිස්සුය?



හා... දැන් කියන්න එපා මම දෙකට කපන්න දන්නේ නැහැ අරකය මේකය කියල... මොකද මම නොදන්නේ! වරකා දෙකට කපනකොට ඔහොම වෙනවා කොහොමත්. කොහොල්ලා ගතිය වැඩි නිසා කොහොමත් එක බාගයක් පොඩියට කැපෙන්නේ. ඊටත් වඩා ඕකේ තියෙන කටු කටු ගතිය නිසා කොහොම කැපුවත් කෑලි දෙකම එක ගානට පේන්නේ. ඒ උනත් මට පුළුවන් තක්කෙටම අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල කිසි ගේමක් නැතුව අඳුන ගන්නත්, මොන වැඩ රාජකාරි තිබ්බත් ඔය වරකා ගෙඩිය පරිස්සමට ගෙදර ගේන්නත්. මම කොහොමත් කිසි කරදරයක් නැති ළමයෙක්.. අනේ ඔව්... වරකා සම්බන්දයෙන් මම කිව්වේ..

Friday, March 6, 2015

157. කඩය වසා ඇත







පෝයට
පව්
කරනු
නොලැබේ..




Wednesday, March 4, 2015

156. හා කියපන් මචන්... ( say YES machan)!!



මේ දවස්වල ඔෆිස් එකේ හුස්ම ගන්න බැරි වෙන තරම් වැඩ. ඒ කියන්නේ ඔලුව උඩ දුං කබලක් තියාගෙන ඉන්න හනුමන්තා වගේ මගේ වැඩේම ඒ කොනේ ඉඳන් මේ කොනට දුවනවා. වෙලාවට ඔෆිස් එක එතරම් ලොකු නැත්තේ. නැත්තම් එක කොනක ඉඳන් අනිත් කොනට එනකොටම ඉන්ටවල් බෙල් එක වදී. ඒ කොනේ ඉඳන් මේ කොනට දුවන්නේ මොකද දන්නවද... පුටුවේ උන්නොත් සමහරුන්ට ඇහේ කටු අනිනවා වගේ

"උපේක්ෂා... මේ වැඩක් තියෙනවා පොඩ්ඩක් බලනවද?"

"මේ හලෝ... ඔතන සිංහල කොට කොට ඉන්නේ ඇවිත් මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ගොඩදාල දෙනවකො"

"මේ... අර මේල් එක යැව්වද?"

"..... හදල ඉවරද?"

".. මේක කරලා දෙනවද?"

"... මිටීම කෝ?"

ඔන්න පුටුවේ හිටියොත් වෙන ජාති. ඉතින් මම කරන්නේ පුරුවෙන් බිමට පැනලා දුවන එක. ඔය දුවන අතරෙත් මට බාල්දි වැටෙනවා. චෙක් විතරක්  හිතෙනවා! මොකට විස්ස විජ්ජාලෙකින් උපාධියක් ගත්තද කියල හිතෙනවා.

කොහොමත් මට ඔය කලකිරිල්ල තියෙන්න අදක ඊයෙක ඉඳන් නෙවෙයි. අර සුදු බණ්ඩා දිසානායකට ඔව්වගේ අයිතිය පැවරුවට පස්සේ. (දැන් ඉතින් ඒ ජෝලියත් නැහැ අනේ. මේකද අනේ යහපාලනේ ? දවසකට ජෝක් තුන හතරක්ම අහගෙන දෙය්යනේ කියල අපේ සුදු බණ්ඩාට ලවක් දෙවක් නැතුව බැන බැන ඉන්න තරම් ජොලියක් දැන් ඉන්න අජ්ජාපන ඇමතිලා දෙනවද? මෙලෝ රහක් නැහැ. ඇත්තටම දවසක අපිටම අමතක වෙනවා අපි විස්ස විජ්ජාලෙ ගියා කියල... කෝ දැන් මෙලෝ නිවුස් එකක් නැහැනේ...)

Monday, March 2, 2015

155. ශිශිර නිද්‍රාවෙන් ?




යතුරු සිදුරකින් වෑස්සෙමි
ඔබේ පපුතුරට..

බෙහෙත් ඔරුවක්ව හොවාගමි
දෙඅත් බැඳ එක්කොට...

නිද්‍රා හැර අවදිවනු මැන
මේ කුරිරු 'සරණ බැඳුමෙන්'

ඉක්මනට !