Thursday, February 12, 2015

152. සුරංගනා කතාවකි - 5





ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම


මේ අතර සිදුවුයේ කුමක්ද?

සාමාන්‍ය කෙල්ල තම නිදි වර්ජිත රාත්‍රියෙන් පසුව සුපුරුදු දිනචර්යාවේ නිරතව සිටිද්දී දුරකතනයේ නාදයෙන් ගැස්සී ගියද, එය නොසලකා උන්නාය. නමුදු සේවිකාව විසින් කැඳවන ලදුව රිසිවරයේ කෙළවරක සිය සවන්පත් තබාගත්තේ ගැහෙන හදිනි.

"මම මේ කුමාරයාගේ සගයෙක්... දැන් කතාකරන්න පුළුවන්ද ?..."

පපුවේ වේගය වැඩිවුවද සාමාන්‍ය කෙල්ල හාත්පස බැලුවේ ආරක්ෂාවට පමණක්ම නොවේ. මෙවන් පැනයකදී ඇගෙන් ලැබෙන්නේ නිහඬතාවයක් බව දන්නා සගයා නැවත කතාකරන්නට පටන්ගති.

"... කුමාරයාට උණ. අන්න ඌ උණ විකාරෙන් ඔයාගේ නම කියනවා."

කුමක් කියන්නද හිතනවාට වඩා විසල් කන්දකට එකවර යටවී ගියා සේ ඈ දුර්මුඛව ගියාය. ඉන්පසුව වෙනදා මෙන් සගයා දෙගොඩතලා යන්නට සිනාසෙන හඬින් සාමාන්‍ය කෙල්ල සාමාන්‍ය සිහියට එළඹියාය.

සිය ප්‍රියතම සුදු පරවියාට හීයකින් විද බිමලු අයෙකු පරිද්දෙන් තද වේදනාවක් තමන් තුලින් ඇරඹී පිටතට එන්නට දඟලනවිට ඇය ඉක්මනින්ම වචනයක් හොයාගත්තාය.

"අහ් !"

"දැන් ඉන්නේ වෙදතුමා ගාව. ඇවිල්ල ඔය කොහෙන් හරි අල්ලලා වත් යන්න. උණ බහී බස බස ගාල."

"මේ......! මගෙන් මුකුත් අහගන්න.."

"විහිළුවක් කලේ අය්යෝ. පුළුවන් නම් එන්න. බොරුවට නෙවෙයි කිව්වේ..."

"පොඩි උණක් වෙන්න ඇති. ගණන් ගන්න එපා කියන්න. මේ.. ආයේ කෝල් කරන්න එපා හරිද?"

"එනවද කියන්න"

151. මොන්ටිසෝරියේ 'කොන්සට්' ( After the Nursery Concert)





අම්මේ මම
රහස් සියල්ලම දැනගතිමි...
ඔබ කී බොරුද හසුවුනි.

පාටක් නැති කියූ
පාට පාටයි කියූ
සියල්ලටම 'පාටක්' ඇත..

සුරංගනාවන් , කුමරියන්
කැරලි කොණ්ඩා තියෙන
සුදුම සුදු අය (පමණක්) බවද,

රකුසන්, මන්තරකාරියන්
වැද්දන් හෝ දුෂ්ඨයන්
කළුම කළු අය ( පමණක්) බවද ,


දැනගතිමි....

රහස් සියල්ලම දැනගතිමි...
අම්මේ මම.......!



150. අගුලක උගුල




මම ගැන කවි ලියා
කියවමි..
නුඹ ගැන කිසිත්
නොලියමි..

පෙම් පත් ලියා
අලවමි....
යලි කවර ගලවා
මුමුනමි....

අගුළු දොරකට
අමතමි....
රන් පිහියකින්
ඇනගමි...



~~~~~ මෙලංග ~~~~~

Wednesday, February 11, 2015

149. සුරංගනා කතාවකි - 4



ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම



සුරංගනා ලෝකයට ඉල් මාසය ලබනවිට උත්සව සමය ආරම්භ වෙයි.

ඒ අතරේ අපුරු සිදුවීමක් සිදුවිය. එනම්, කුමාරයා තමුන්ගේ නාගරික මාළිගාවෙන් තාවකාලිකව ගම්බද පිහිටි ඔවුන්ගේ නිදහස් මාළිගාවට සංක්‍රමණය විය.

පිය රජතුමා විසින් මෙම මාළිගාව වෙසසින්ම නිමවා තිබුනේ නාගරික ජිවිතයේ තෙහෙට්ටුව නිවාලන සිලිලාරක් දනවන පරිද්දෙන් බැවින් ඉඳහිට මෙම මාළිගාවේ සති අන්තයක් හෝ ගිමහාන සමයක් ගතකරන්නට පැමිණීම පවුලේ චාරිත්‍රයක් වුවා කිවහොත් නිවැරදිය. නමුදු මෙම තාවකාලික සංක්‍රමණය යුධ උපක්‍රමයක් බව මවු බිසව උදක්ම දැන සිටියේ නැති බැවින් අවසරය එතරම් පුදුමයක් නොවිය.

වෙනදා මෙන් සිලිලාරක් මාළිගාවේ නොදැනුනද, නිරන්තරව පොපියන කඩිකුලප්පුවක් කුමාරයාට දැනෙන්නට වුවත් එය තවමත් සිය සගයන්ට පමණක් සීමාවූ මන්ත්‍රණයක් වී තිබුනේ මාළිගාවට පැමිණි දෙවන හෝරාව වනතෙක් පමණි. ආ පයින්ම සෛන්ධව අශ්වයින්ගෙන් යුත් සිය නවතම අශ්ව රියට වන් කුමාරයා සිය සගයින් තිදෙනා සමඟ පිටත්වූ බව මිත්තනිය විශ්මයෙන් බලා උන්නාය. මෙය නම් අපූරු වැඩකි!

148. සුරංගනා කතාවකි - 3




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

වසන්ත කාලය එළඹෙන වග කියමින් නොයෙකුත් පණිවිඩ කාරයින් පැමිණ තිබිණ. නමුත් සාමාන්‍ය කෙල්ල ඒ පණිවිඩ සියල්ල ලියුම් කවර වලම සංවෘත ස්වභාවයෙන්ම තිබෙන්න හැර කුඩා ලී පෙට්ටියක අහුරා තැබුවාය.

පාඨශාලාවෙන් නික්මුනද ඇය සිටියේ සතුටිනි. කුමක් හෝ සිතුවිල්ලක දැවටී එන ඒ නැවුම් බවට අමුනපු ගීත කියමින් ඇයගේ දවස ගෙවුනේ සාමාන්‍ය ලෙසටය. පුදුම වන්නට දෙයක්ද නැත, සාමාන්‍ය කෙල්ලක සාමාන්‍ය ලෙස දවස් ගත කිරීම සාමාන්‍ය වැඩකි.

ඒ සාමාන්‍ය බව සාමාන්‍යයෙන් බිඳෙනසුළුබව කියන්නට එකෝමත් එක දවසක දුරකථනය නාද වන්නට විය. කිසියම් වැඩක නිරතව සිටි බැවින් ඇමතුමට පෙර සුදානමක් තිබුනේද නැත, කොහොමත් ඇගේ පෙර සුදානමක් ඇත්තෙම නැති තරම්ය.

"මාව අඳුනන්න පුළුවන්ද ?"

කටහඬින් තිගස්සුනද සාමාන්‍ය කෙල්ල ඉක්මනට සාමාන්‍ය වුවාය.

"හිතුවද මේක TV එකක් වගේ මුණ පේන එකක් කියල?"

අනෙක් පසින් නොනවත්වා නැගෙන සිනාවෙන් පසුව දෝංකාරයක් සේ ඇසෙන පසුබිම් සිනා හඬවල් වලින් ඇමතුම් කරු එක් අයෙක් නොවන බව ඇයට වැටහුනේ ක්ෂණයෙන්. ඒ ක්ෂණයෙන්ම ඇය දුරකථනය විසන්ධි කළාය.

Tuesday, February 10, 2015

147. සුරංගනා කතාවකි - 2






සුරංගනා කතාවේ ඇරඹුම

ඉක්බිතිව එළඹියේ අමුතු ගිම්හානයකි.

කිසිදු ලෙසකින් ඒ කඩවසම් මුහුණ අමතක කර දමන්නට ඒ සාමාන්‍ය කෙල්ලට නොහැකිවිය. උගැන්මට පන්හිඳ ගන්නා සියලු අවස්ථාවන්හිදී කුමාරයාගේ විස විතක් වන් බැල්ම සිහිවීම වලක්වන්නට ඈ අසමත්ව ගිය බැවින් එය එසේම වන්නට ඉඩහරින්නට ඇයට සිදුවිය. කාලය ගතවුනේ ඉබි ගමනින් යන පරිද්දෙන් වුවද බීජයක් වැඩුනේ තුන්වන මානයක වූ සමාන්තර ලොවක බැවින් ඒ බීජය ගසක් වීමට වැඩි කලක් ගතවුනේ නැත. නමුදු ඒ සාමාන්‍ය කෙල්ලට අවබෝධ වූ කාරනා කීපය අතුරින් තමන් සාමාන්‍ය කෙල්ලක පමණක් බව ඇගේ සිතේ තදින් පැලපදියම්ව පැවතුනි.

එය එසේ පැවතුනේ හරියටම අඩ වසරකි.

සාමාන්‍ය කෙල්ල තම ගම්මානයෙන් පිටත්ව පාඨශාලා කටයුත්තකට නාගරික ප්‍රදේශයට යන්නට පිටත්වුවාය. එය වැසිබර දිනයක් විය. ඇය පාසල් කටයුත්ත සඳහා වූ ස්ථානයට ඇතුළුවනවිටම , ඇතුලත සිට පිටතට කඩාවදින සේනාවක් පරිද්දෙන් සිසුන්ගේ පොදියකට එකවරම හසුවුවාය. ගංගාවක උඩුගං බලා පිනන පිහිනුම් කාරියක සේ ඇයට තම අතපය ගසන්නට සිදුවීම දුක්බර වුවද, එකවරම තමන් පසුකොට ගිය දිය කඳක් තමන් දෙසට හැරෙනු වැටහී ඇයගේ ස්වභාවික සත්වයා එයට පිළිතුරු වශයෙන් ඈ ආපසු හරවා තැබුවාය.

Monday, February 9, 2015

146. දන් දුන් පසු






දුවණියක උස් මහත් කර
දෝතින්ම ගෙන අහිතක් නොගෙන
පුදා ආයෙමි හිස් අතින් ගෙදර...

කෙළිකවට කම් කරපු
නොරිස්සුමකට තලපු
කිචි බිචිය , ඉකිබිඳුම
ගෙදර හැම මුල්ලකම
අතුගාගන්ට බැරිවුණු...

Thursday, February 5, 2015

145. ගුරු වෙරී - 01


මම පුංචිම පුංචි එකා කාලේ මගෙන් ඒ දවස්වල ලොකුය කියල හිතෙන වැඩිදෙනෙක් අහපු ප්‍රශ්න කීපයක්ම තිබ්බ.
එකක් තමයි අම්මටද අප්පච්චිටද වැඩිපුර ආදරේ? තවත් ඒ ජාතියේ වෘෂභ ප්‍රශ්නයක් තමයි බබා ලොකු උනාම කවුරු වෙන්නද කැමති? කියන එක.



ඒ කාලේ හිතුනේ නැතත් දෙවැනි ප්‍රශ්නෙට දැන් නම් හිතෙනවා
"කවුරු නැතත් ඔයා වගේ නැතුව ඕනේ කෙනෙක් වෙච්චාවේ"
වගේ රුවන් වැකියක් කියන්ට.

කියන්ටත් බෑ... මගේ ප්‍රොෆයිල් එකේ හැටියට සහ මගේ ඉතිහාසේ දන්නා උදවිය කියනා හැටියට පුදුමයි මම ඔහොම උත්තරයක් නොදුන්නා! එක්කෝ ඒ දවස් වලත් අපේ දෙමවුපියන්ගේ නම්බුව තියනවා කියන කාරණේට වඩා තියෙන නම්බුවත් නැතිකරන්නේ නැතුව ඉන්න එකේ තියෙන මහත්ඵල මහානිසංසය ගැන ඒ දවස්වලම හිතේ තියෙන්ට ඇති. ඒකයි උත්තරේ පමා වෙන්ට ඇත්තේ.

Monday, February 2, 2015

144. සිස්සත්තෙන් පසු.....







ගස.....
පළමුවර මල් වැරූ විට
උදුරවා ගොස් ,
අළුත් පසකට
යට කළෙමි..





Friday, January 30, 2015

143. සඳ කිඳුරු වැළපුම






විනෝදෙට වෙඩිතියන සුරඟනන්
වෙඩි වැදී වැටුණු සඳ කිඳුරන්
සොයා එන බව දනිමි,

වැටුණු ඒ කිඳුරන්ට
පණ ටිකක් හෝ තියේ නම්
වස පොවා යන්ට බලාගෙන....

Thursday, January 29, 2015

142. සුරංගනා කතාවකි - 1





එකෝමත් එක දවසක....

නෑ ... ඇත්තටම දවසකද? නැත්තම් දෙකක්ද? නෑ සතියක්ද? මට මතක නැත.

එකෝමත් එක තැනකදී....

නෑ .... එක තැනකදීද ? තැන කීපයකදීද ? මට මතක නැත.

එකෝමත් එක හෝරාවකදී...

ඔව්... එය නම් හෝරාවකදී නම් තමයි. කුමන හෝරාවකදී දැයි මට මතක නැති බව සැබෑය. නමුත් එය එක්තරා හෝරාවකදී බව සැබෑය.

එකෝමත් එක කුමාරයෙකු....

ඔව්. ඔහු කුමාරයෙකි. කිසිම අයුරකින් සඟවාගත නොහැකි මැණිකකි.

පිටියක සෙල්ලම් කරමින් සිටියේය.

ඉතාම සාමාන්‍ය කෙල්ලක ඒ දෙස බලා සිටියා පමණි. එකවරම සෙල්ලමට යොදාගන්නා උපකරණයක් කුමාරයාගෙන් ගිලිහි ඒ සාමාන්‍ය කෙල්ල දෙසට විසිවී වැටුණි.

අපි හිතනවට වඩා මිනිස් හැඟීම් සංකීර්ණයි. කොතරම් සංකීර්ණද කියනවා නම් මෙහෙම කියන මමවත් සමහර වෙලාවට දන්නේ නැහැ මම හිතන සංකීර්ණ බවට වඩා සංකීර්ණයි කියල.

චපල ආදරවන්තියක් වෙච්ච දවසට ඒ කෙල්ලට මොකක් හිතෙනවා ඇත්ද?

චපල ආදරවන්තයෙක්ට වඩා ඒ හැඟීම ගොඩක් සංවේදී කියල හිතෙන්නේ , මනුස්සයෙකුට ගැහැණියෙක් විදියට චපල වෙනකොටත්, පිරිමියෙක් විදියට චපල වෙනකොටත් තියෙන හැඟීම් සමුදාය එක්ක බැලුවමයි. ඔන්න දැන් ඉතින් අතට ගත්ත කඩු / කිනිසි/ තෝමර/ පොල් අඩි / කුන්ෆු ෂොට් ආදිය පොඩ්ඩට බිමින් තියල ගන්න අනේ ඔතන තිබ්බ මාළු කපන මන්නේ !!!

141. පරම සත්‍ය සහ ඇත්ත (Absolute truth and Truth)






ආකහෙන් වැටුනට
මමත් තරුවක් තමයි..

ගොහොරුවෙන් උඩට ආවට
උඹ නෙළුමක් වෙන්නේ කොහොමෙයි?





Wednesday, January 28, 2015

140. අතැ'ර ආ ඔබට කියමි..




එකක් හෝ ලියනු මැන
කවි,
මම ගැන...

ඔය හිතේ
සිදුරුකළ
තැන් ගැන....
අපේ රහස් ගැන...

පය වෙට්ටුවක් දමා
පයින් පාගා
දැමූ මම ගැන...

Tuesday, January 27, 2015

139. ආදර උස් - අඩි






වාරුවෙමි ඔබට
පාවහන් අඩි
උස වැඩි නිසා....




Monday, January 26, 2015

138. ~~~~~~ ඇස්බැන්දුම් සහයිකාව ~~~~~~




උඹ වෙනුවෙන්

අතුරුදන් වෙමි,
කවන්ධ වෙමි,
රුදු කිනිසි පහරින් නොසෙල්වෙමි...

පාවෙමි,
ගිලෙමි,
කැබලි වෙමි.

යලි

ඔල්වරසන් ඉල්වා දෙමින්
වෙන තැනකින් මතුවෙමි......

Friday, January 23, 2015

137. පත්වීම් ලිපිය


පුතා දැන් ලොකුයි
බැනුම් අහන්නට
සුදුසුයි.








Wednesday, January 21, 2015

136. කුඩයක් සහ බිම්මලක්



ඔබ...
තෙමෙන වැස්සක නොතෙමෙන
රුදුරු අව්වක මුවාවන

මම.....
වැසි සොයා තෙමෙමින් දුවන
ඉර දකින තුරු දින ගනින 

Tuesday, January 20, 2015

135. හටන 02

මගේ හටනේ ආරම්භක ස්ථානයට යන්නට මෙතන කොටන්න...


මම ඉතින් සතුටෙන් සමාදානෙන් නිදාගත්තා. කූඩුවේ හිටපු නොසන්ඩාල මීයා..

ඌ ද?

ඌ හොඳට කාලා නිදාගෙන ඉන්නවා උදෙන්ම කුස්සියට ගියපු මම දැක්ක. උදෙන්ම කිව්වට ඉතින් දැන් මේ වෙනකොට පෙරවරු 8  වෙලාලු ඈ...

තට්ට තනියෙන් ඉන්නවා කියල මොකක් කරන්නද..  මොනවහරි තම්බගන්න එපැයි. මම ඉතින් කුස්සිය පැත්තට ගියා..

'අලෝ .. අලෝ ... කොහොමද නංගි... අද නම් උදෙන් නැගිටලා වගේ ඈ...'

පෙනේද මුගේ කටේ සව්දම? මම මගේ පාඩුවේ වතුර ටිකක් රත්කරන්න පටන් ගත්ත. තේ එකක් නැත්තම් පන නැහැ වගේ.

'ඔය මොකක් හරි දෙයක් තම්බන් කාල දවල් වෙනකොට බඩපැලෙන්න දෙයක් හදාගන්න බැරිය.. ' කියල හිතන ගමන් මම උදේ කෑමට මොකක් හරි ජරාවක් තම්බන්න කබඩ් ඇරියා.

'ෂ් ... ෂ් ..... '
මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා.

'.....මේ.... නුඩ්ල්ස් ද හොයන්නේ...?'

Monday, January 19, 2015

134. ~~~~ වපසරිය ~~~~



පෙම් කවිය
ඉරා යමි - කුස්සියට


කරපිංචා
කොළ දමමි
හොද්දකට...


සාලයේ හඬ මකමි
බ්ලෙන්ඩරේට..


අමුත්තන් නොපතමි
අද රෑට....



Saturday, January 3, 2015

133. කඩවසම් දිග කොණ්ඩය



අතිශය කඩවසම් බව
මිතුරුකමට බාධා කරන බව  ද,
බොලට දක්වා
දිගු කෙස් ඇති බව
කොල්ලෙක්ගේ හිත ලෙහනබව ද,
දැනසිටියා නම් - අපි

තාමත් නාදුනන්නෙමු....



Tuesday, December 30, 2014

132. හටන - 01



ගෙදර තාවකාලිකව කාත් කවුරුත් නැතුව ගෙවන්න ලැබුනොත් ඔයාල මොකද කරන්නේ?

හම්මේ... මට නම් කරන්න ජාති තියෙනවා ඉසේ කෙස් ගානට.


  • අයිස්ක්‍රීම් ටබ් එකක් ඔඩොක්කුවේ තියන් සාලේ මූවි එකක් බලන්න.....
  • ආස ඩාන්සින් බීට්ස් තියෙන සින්දු දාගෙන සාලේ මැද්දේ නටන්න.....
  • පපුව කඩන් යන දුක්බර/හැඟීම්බර සින්දු දාගෙන ඒ සින්දු කිය කියා තමුන්ට හිතෙන ආංගික අභිනයන් පාන්න... ( ඔව් ඔව් ඉතින් මේක කලින් එකට හාත්පසින් වෙනස් තමයි. ඒත් මම එහෙමයි.)
  • Pizza එකක් order කරලා තනියෙන් බඩ පැලෙනකල් කන්න...
  • Full sound එක්ක හොල්මන් මූවි එකක් බලන්න....

so on and so forth.....

ඇත්තටම කිව්වොත් මට දැනට මතක් වෙන්නේ නැති තරම් තොගයක් මගේ මේ ලිස්ට් එකේ තියෙනවා. වැඩේ කියන්නේ ඔය ලිස්ට් එක කොතරම් දිගද කියනවා නම් සමහර දවස් වලට කරන්නේ මොකද්ද කියල හිතන්නම මගේ කාලය ගිහින් අන්තිමට මුකුත්ම කරන්නේ නැතුවම ඒ වෙලාව ගෙවෙනවා. අනේද කියන්නේ...

ඉතින් කරන්න වැඩ තියෙන ලිස්ට් එකේ තියෙන සමහර එව්වා ඉතින් කවුරුත් ගෙදර උන්නත් කිසි අව්ලක් නැතුව මට කරන්න පුළුවන් උනත්, කෝ අනේ කිසි කික් එකක් නැහැ නේ ඕක හොරෙන් කරනවා තරම්.... මම හිතන්නේ ඕක මගේ පොඩි කාලේ ඉඳන්ම තියෙන අව්ලක්ද කොහෙද.. හෙහ්..

ආ.. දැන් ඇති මගේ පට්ටන්දරේ කියෙව්වා... ඔය පට්ටන්දරේ කියෝනවා කියන්නේ මොකද්ද දන්නවද? නෑ අනේ මම දන්නෙත් නැහැ.. හි.. හි...

Thursday, December 18, 2014

131. මගේ (Modern) කෙල්ලගේ පැනය ?



දිගු වරල අතැ'ර මම
තට්ටු විලාසිතයට කැපුනු
වරලසක්  - පැලැන්දෙමි....

හැකිපමන සීරුවෙන්
නෙක සඳුන් වීරියෙන්
කරන රූ - කරන්නෙමි....

Wednesday, December 17, 2014

130. කතාකරන බිනර මල



කිසිම විදියකින් කියාගන්න බැරි හිතුවිලි වලට මොකද කරන්නේ?

පොලවේ වලක් හාරලා, ඒකට කියල පස් වලින් වහලා දානවද? එතකොට පස්සේ කාලෙක එතන පැලවෙන ගහක් සුළඟට වැනෙනකොට.. මගේ රහස කියන තාලෙන් වැනෙයිද ?

පැන්සලකින් කඩදාසියක ලියලා ඉවර වෙලා, මකලා දානවද? කඩදාසිය උඩින් පැස්ටල් ගානකොට ලියපු ඔක්කොම පෙනෙයිද?

මට ඇත්තටම කරන්න හිතෙන්නෙම නැති දෙයක් තමයි, අදාළ කෙනාටම හිතේ තියෙන දේ කියන එක! ඇත්තටම ඒක වේදනාත්මක ප්‍රවිෂ්ඨයක්. මොකද, ඒ හිතුවිලි අහගෙන ඉන්න බැරුව මාව ප්‍රතික්ෂේප කිරිල්ලට වඩා ඒ මොහොතෙන් පස්සේ හිතේ තිබ්බ සියලුම දේවල් කීමෙන් ඇතිවෙන හිස් බවට මම හරිම බයයි!!

මිතුර......

Tuesday, December 16, 2014

129. අතීතෙන් කෙනිත්තෙමි



කිසිදිනෙක
නෑල්ලු අතකත්....
හැමදාම බැලූ
නෙතකත් .....
රැඳුනු සුසුමක් අදත්
ඇතිය පතුලේ - හිතේ...

පස්වසක අතීතෙන්
වෙලීගිය සමරුවක්
තවත් ඇත කාමරේ
පුංචි පෙට්ටිය තුලත්...

මැකුණු සෙනෙහස නැතත්
වරක් හෝ මතකයක්
තිබුණි නම් 'ආදරී'
වටිනවා මහමෙරක්....


Wednesday, December 10, 2014

128. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 6




පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

පස්වන දිගහැරුම


ටාගට් එක සපුරන්න අසමත් වෙච්ච හින්ද නැතිවුණු පලවෙනි රස්සාවත්,
වෙලාවට වාර්තා නොකිරීමට අහිමිවුණු දෙවැනි රස්සාවත්,
පිළිවෙලින් බේබදුකමට ගිහින්; අසාධාරණකමකට කතා කරන්න ගිහින් සහ රැකියානුබද්ධ දේශපාලනය තේරුම් නොගැනීමට කියන කාරනා වලට නැතිවුණු රස්සාවලුත් ඔක්කොම නැතිවුනාට පස්සේ මම අනිවාර්යයෙන් ලබපු එකම දෙයක් තිබ්බ..

ඒ තමයි මේඝනාගේ පොල් අඩි බැනුම් අහගෙන විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු එක.

ඒ මුරුගසන් ගල් වරුසාවෙන් පස්සේ, ආයෙත් ඒකි මට ජොබ් වලට දාන්න උදව් කරන එක පරණ පුරුදු විදියටම පටන් ගන්නවා.

ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දේකට හැඩගැහෙන්න අමාරු නැහැ කියල මට තේරුනේ මේඝනාගේ මේ බැනුම් අහගෙන මට දැන් ඉස්සර වගේ නොවී , ගේමක් නැතුවම ඉන්න පුළුවන් එකෙන්මයි.

නමුත්, මගේ හයවෙනි රස්සාවට පස්සේ මම ජොබ් එක වෙනුවට මාරු කලේ තනතුරු. ඒ වෙනකොට මගේ සෙල්ලක්කාර ජිවිතේ , කොටින්ම කෙල්ලෝ මාරු කරමින් මම කරපු නාස්තිය ඔක්කොම වගේ නතර වෙලා...

මට මාව හම්බවෙලා කියල මට දැනෙනකොට, මම හිතන්නේ නැති දුරක් ඇවිත්.

වෙනදා වගේ නැතුව වෙනස් විදියට හැසිරෙන්න බලාගෙනමයි ඔෆිස් එකෙන් ආවේ. වෙනදා මුණගැහෙන තැනම උනත් මට දැනුනේ අමුතු ගැස්මක් තියෙන තැනක් විදියට.

සෝයා එකේ උසම උස පඩිපෙළ මට දැනුනේ වෙනත් ලෝකෙකට යන පාරක් වගේ. ඒ පඩි නැගගෙන, පඩියෙන් පඩිය වෙනස් වන සපත්තු සද්දය මම අහමින් ගියා. උසම උස පඩිපෙළ නිමාවෙනකොටම වමට හැරුණු මම අපේ සුපුරුදු බැල්කනි මේසයට ඇස හැරෙව්වේ ඇත්තටම ගැහෙන පපුවකින්.

මගේ වෙනසට කලින් මේඝනා වෙනස් විදියට ඇඳගෙන ඇවිත් හිටිය එකම මාව පුදුම කල හින්ද, ඒ පුදුමෙන් මම සීතල අයිස් කුට්ටියක් ගිල්ලා වගේ වෙව්ලවුනා.

"තේජන..."

Monday, December 8, 2014

127. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 5



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

තුන්වෙනි පාරට මට මේඝනා හමුවුනේ කවදාද කියල මට මතක නැහැ. හතරවෙනි පාරට, පස්වෙනි පාරට... ඔව්.. ඊට පස්සේ කීපාරක් හමුවුනාද කියලා මට කොහොමත් මතකයක් නැහැ. මතක තියාගන්න ඕනෙකමක් තිබ්බෙත් නැහැ.

මාව කුඩු කරලා , ඒ කුඩු වලින් හැමදාම මට කිවිසුම් යවන නරුම කෙල්ලෙක්ට මම මේ අහු උනාමයි. පියාඹන අස්සයෙක් වගේ හැමතැනම තටු ගහලා, මේඝනා ගාවදි තටු ටික අකුලන් ඉන්න මට කිසිම ආයාසයක් ගන්න උනේ නැහැ. මොකද ටික දවසකින්ම මට තේරුනා වඩා ලේසි ඒ වෙලාව කියලා.

පියාඹන අස්සයෙක්ගෙන් අහල තියෙනවද, උගේ තටු , බිමක වේගෙන් දුවන එකට ඇත්තටම බාධාවක්ද කියල?

"සිගරට් බිව්වද?"

ඊතලයක් මගේ දිහාවට එල්ලකරගෙන ඉන්නවා වගේ බැල්මකින් මාව හිරකරලා මේඝනා ඇහුව. මට නොදැනුවත්වම කටේ හුස්මක් පිටි අල්ලට එල්ලවුණේ මගේ සිගරට් සුවඳ , රස පරීක්ෂණයකට ලක්කරමින්.

Sunday, December 7, 2014

126. 'ප්‍රථම'....



නම නොදත් තැනක සිට
හෙළන සුසුමක රැඳුනු
පුරුදු සුවඳකි යලිත්
හිත කොනිති ගසන්නේ....

වරෙක වෙර වීරියෙන්
මඩින ලද සියුම් රති,
නොදන්නා තැනකටම
යලිත් අතවනන්නේ.......

කෙලෙසකද යලිදු මා
අනෙකෙකුට බැඳෙන්නේ?


Saturday, December 6, 2014

125. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 4



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම


"..මම.... අන්තිමට එයාව දැක්කේ ඉස්කෝලෙන් අවුට් වෙලා ටික දවසකින්. ද-න්-න-ව-ද...?"

එතකොට නම් එකපාරටම බළලා මල්ලෙන් එලියට පැන්නා වගේ, මට..

"මොකද්ද?" කියල ඇහුනා..

කෙල්ලගේ මුණේ තිබ්බ දුක වගේ ගතිය මකාගෙන මහා රවුද්‍ර පෙනුමක් ආවේශ උනා. එකපාරටම මගේ යටිබඩ දන්න ගත්තේ , ඔහොම තදවෙන කෙල්ලෝ ඊළඟට පුපුරන විදිය ගැන අපේ නංගි ගෙදරදී ප්‍රදර්ශනය කරලා තියෙන හින්ද.

"තමුසේ වගේ කෙල්ලෝ මාරුකරන කොල්ලෙක් කොහෙද දම්සිරිනිට වෙච්ච දෙයක් දන්නේ?....."

මාව ගල් ගැහිලා ගියේ සීතල වතුර බාල්දියක් ඔලුවේ වැක්කෙරුනා වගේ. 'මේක නම් ටයිම් බෝම්බයක්'! කෙල්ලෙක් මෙහෙම කඩන් පනිනවට මම බොහොම බයයි. විශේෂයෙන් මේ වගේ පොදු තැනකදී.

මොකද උන්ට තියෙනවා පොදු අවියක්, කොල්ලෙක්ට නැති. ඒ තමයි 'කෙල්ලෙක් වෙන එක'! ගහගන්න ආවොත් කෙලලා අරින්න පුළුවන්, ඒත් කෙල්ලෙක් එක්ක බැනුම් අහන එකට වඩා හොඳයි හෙළුවෙන් කඩේ යනවා.

"මේ.... හරි හරි... මම නෑ කියන්නේ නැහැ. මට කියන්න ආපු එක කියන්නකෝ"

මම ඇවිලෙන පිදුරු ගොඩට වතුර පනිට්ටුවක් විසිකලා.

Monday, December 1, 2014

124. සුළඟක් කල හදියක්



සුළඟ එන්නට හරිනලද
කවුළු පියනට රිසිලෙස
මගේ කුටියට එබෙන
මුදු රේණුවක කෙමි
නගයි කිවිසුම ආදර.....

වදනකුත් නොදොඩන
සුළං ආපසු නොමයන,
රැඳෙන කුටියක උණුහුම
ලෙහයි කය වසන අතුරණ....


නිමිත්ත : මල්මී - සුළඟ 


Friday, November 28, 2014

123. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 3



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

මට ආවේ පට්ට කේන්තියක්.

"ඔහ් "
කියල තමුන්ගේ වමතින් කට වසාගත්ත කැටපෝල්කාරී, විසල් කරගත්ත ඇස් වලින් මගේ දිහා බැලුවා. ඔව්.. ආයෙමත් මාව පුටුවෙන් බිමට වට්ටන තරම් වන ඇසට - ඇස හමුවිල්ලක්.

වටේ තිබ්බ සියලු දේවල් වෙන්කරලා අහස වෙනකල්ම එකවරම තාප්පයකින් මාව වටවෙලා ගියා වගේ දැනුනා.... ඔව් ඉස්සරවෙලා දැනුන තරම්ම ලොකු කම්පනයක් එක්කම මහා වැහි බීරුමක් මගේ ඔලුව ඇතුලේ නැගුනා..

'ඔව්... ඒ ඇස්..... '
නෑ.. ඇස් නෙවෙයි....... මගේ ඇස් ඇලවිලා තිබ්බේ ඒකිගේ කට වහගෙන තිබ්බ වමතේ! මම මෙතෙක් දැකල තිබ්බ ලස්සනම ලස්සන දිගටි කෝමල ඇඟිලි....

'මගුලක් කතා කරනවා... තෝ කොහොමද බොල දන්නේ ඒවා කෝමලද නැද්ද කියලා.... අඩෝ... උඹට පිස්සුද බොල ?'

ඒත් මගේ කටින් පිටවුනේ
"ඉට්ස් ඕකේ..."

කියල.

"සොරි"
කියල ඒකි කිව්වේ ඊට පස්සේ.
'අඩේ... ඒකි සොරි කියන්නත් කලින් උඹ මොකද්ද බන් ඒ කිව්වේ... තුක් නොදකින්.... ගොන් වස්සා'

මම මටම නම්බු නාම දෙමින් හිටියා.

මෙන්න ඒ පාර කෙල්ල කිසිම වගක් නැතුව බංකුවේ වාඩිවෙලා! ගෙනාපු අයිස් කෝපි එකේ ඉතිරිටික බීගෙන බීගෙන ගියේ හරියට මම ඒකිගෙන් ඉල්ලයි වගේ, නැත්තම් මම ඒක ඒකිගේ ඔඩොක්කුවේ හලයි වගේ. දැන් නම් හරි යන්නේ නැහැ පුතා...

මම කලේ, මගේ ඔඩොක්කොවට වැටුන අයිස් කෝපි බින්දු කීපය මේ වෙනකොටත් ඩෙනිමට උරාගෙන තිබ්බත්, බොරු වංසයක් පෙන්නමින්, එක අතක් මේසය මත තියෙද්දී , අනික් අතින් 'ෂෙක්' හඬ නගමින් දෙතුන් විටක් පිහන නාටකය රඟදක්වපු එකයි.

Thursday, November 27, 2014

122. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 2






මුල් දිගහැරුම...


වැවරවුමේ බංකුවෙන් බිමට වැටිලා , දන ගාන්නේ නැතුව මම කකුල් දෙකෙන් ඇවිදගෙන ආව..

ඇත්තටම පිළිසකර නොකලත් වැවරවුමේ පලින් පල තියෙන පස් මතුවෙච්ච කොන්ක්‍රීට් අතුරනයන් නොමැති තැන්වලට මම ආසයි. ඒවායේ තියෙන කලුපාට පස් වලට  ,මම මගේ ඩෙක් ෂූස් වලින් හෑරෙන පහරවල් දෙමින් ගමන් කරන එක හරිම විනෝදයක්.

කෙල්ලෙක් දිහාවත් නොබලා බිමම බලාගෙන යන එකෙත් තියෙනවා ආතල් එකක්.. ඔව් එහෙම යනකොට තමයි වැඩිපුර කෙල්ලෝ බලන්නේ... ඔලුව උස්සන්නේ නැතුව උනත් මට කියන්න පුළුවනි ඒක නම්!

සිමෙන්තියෙන් හැදුවත් කළුගල් පෙනුමක් තියෙන පඩිපෙළින් බිමට , පඩියෙන් පඩිය පනිමින් මම ආවේ මගේ පරණ මතකයකුත් බිම දිගේ ඇදගෙන...

'හෙක්.. හෙක්... '

මහේෂි එක්කත් මම මෙතන පහුකරගෙන ගිහින් තියෙනවා... නිර්මලී එක්ක නම් ගියේ පල්ලෙහා පාරේම විතරයි. මදාරා නම් කොහොමත්ම පාරවල් දිගේ ඇවිදිනවට කැමැත්තක් තිබ්බෙම නැහැ. කවුද අර කොන්ඩේ කැරලි කැරලි එක? නම මතක් වෙන්නෙම නැහැ. හැබෑට මට හැම වෙලේම ඒකිගේ නම අමතක වෙන්නේ මොකද?
'හෙහ්... ඒකෙත් හැටි...'

කාර්ගිල්ස් එක පහුකරනකොට මටත් නොදැනීම මගේ හිස හැරුනේ කාගිල්ස් එකේ විශාල වීදුරුවෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බය දිහාවට. පුරුදු විදියට මම මගේ කොණ්ඩය නළලින් උඩට හැදුවේ, ඊළඟ මොහොතේ ආයෙමත් වැටෙනබව දැනගෙනමයි.

ඒත් මම ආසයි එහෙම කොන්ඩේ හදන්න. වීදුරුවෙන් ඇතුලේ, සුපිරි වෙළඳ කුටියේ තිබුනේ භාණ්ඩ ගෙනියන 'ට්‍රොලි' අසුරන ස්ථානය. එතැනට එන කැරලි කොණ්ඩයක් තියෙන , බටර් පාට කෙල්ලෙක් මාව දැකල එකපාරට නතර උනේ අපි දෙන්නා අතර තියෙන වීදුරුව ගැන අමතක වෙලා වගේ...

මම කොණ්ඩේ ආයෙත් පාරක් හදලා පොඩි හිනාවකුත් එක්ක යන්න පටන් ගත්ත.

Wednesday, November 26, 2014

121. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 1


වෙනදා වගේම වැහිබර අහසක්...

ඔව්.. මම කැමතිම ජාතියේ අහසක්.. මගේ හිත ප්‍රබෝධමත් වෙනවා වගේ දැනුන. මට ඕනේ කලේ වැව රවුමේ බංකුවක් විතරයි.

එතකොට මේ එතනින් යන එන දෙනෝදාහක් මිනිස්සු?

ආ... කවුද ඒවා ගණන් ගන්නේ... මට ඕනේ මේ ජාතියෙන් බංකුවක් විතරයි. කොතන තිබ්බත් ඒ බංකුව මට ඕනේ මගේ විදියටම.

මම වටපිටවත් බලන්නේ නැතුව බංකුවේ කොනින් වාඩිවුනා. ඇත්තටම කවිබර දවසක්.

"ආ... මේ මොකද මේ භාවනාවක්ද?"

යාලුවෙක් තට්ටුවක් දාගෙන ගියා. ඈ යකෝ.. භාවනාවක් කොරන එකෙක්ට මෙහෙම තට්ටු දාගෙන යනවද බොල ?

මම එහෙම හිතල ඌට හිනාවක් දාල අනික් පැත්ත හැරිලා වාඩිවුනා.



හරියටම මගේ බංකුවට ඉදිරියෙන් තිබ්බ අනික් බංකුවේ මගේ දිහා බලාගෙන හිටපු ඒ රූපය මාව තව ඩින්ගෙන් බංකුවෙන් බිමට දානවා!

විශ්මයෙන් ඇරුන මගේ ඇස් එක්කම මගේ කටත් ක්‍රමයෙන් ඇරෙනබව දැනෙනකොටම මම ක්ෂණයෙන් කට පියාගෙන ඇස් වලින් ගින්දර පිටකලා.

'අසමජ්ජාති කෙල්ලෙක්....'

Tuesday, November 25, 2014

120. ව්‍යාපාරිකයාගේ ජන්දය





පෙරලෙන්නපා
දෙය්යනේ...
ආණ්ඩුනම්

ආයෙමත්
'පෙරේත ගොටු'
දෙන්ට නෑ
බජට් මට!

Sunday, November 23, 2014

119. අල්ලපු වත්තෙන් ප්‍රශ්නය ඉවරයි..

ඔබ කොළඹ අවට හෝ ප්‍රධාන නගරයක් අවට, තදාසන්න කලාපෙක ජිවත් වෙන කෙනෙක්ද? එහෙනම් මම මේ කියන දේ සියයට සියයක්ම අදාළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එහෙම නොවෙන අයට අදාළ නැහැ කියල. යම් යම් වශයෙන් අපිට අදාළ වෙනවා.

මෙහෙම කියන්නම්කො.. කුණු කියන්නේ ඔබට බලවත් ප්‍රශ්නයක්ද?

සමහරු එකහෙලාම 'ඔව්' කියයි. සමහරු හිතල මතල 'ඔව්' කියයි. තවත් සුළුතරයක් හිතන්නෙත් නැතුව මේ පෝස්ටුවත් මගෑරලා යයි. ඔව්.. ඒ අපේ කාගේත් හැටි! විශේෂයෙන්ම ලංකාවේ.

මම දකින හැටියට නම් කුණු කියන්නේ අපිටත් වඩා රටේම ප්‍රශ්නයක්. මොකද සමහරු කොහොමහරි තමන්ගේ වත්තේ හතර මායිමෙන් එහාට තල්ලු කලාට පස්සේ තමුන්ට කිසිම කුණු ප්‍රශ්නයක් නැති බව දිවුරන්න පවා සූදානම්. ඊට අමතරව කුණු විදියට ගෙදර විසිකරන 'සියලුම දේ' එකතුකොට එකම ගිනි ගොඩක පුච්චන්නට හැරීමෙන් පසු තමුන් ඒ ගින්නෙන්ම සුද්දවන්තයින් බවට පත්වෙනවා යයි දැඩිව විස්වාස කරන අය මම කොළඹ අසල්වාසීන් විදියට තියාගෙන ඉන්නේ.

කොනක ඉඳල ලියන්න ගත්තොත් ඇත්තටම මම පටන් ගන්නේ මගෙන්.

මට නම් කුණු කියන්නේ කොළඹ පරිසරයේ ඉන්නකොට 'බලවත්' ප්‍රශ්නයක්. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ කුණු වශයෙන් මම බැහැර කරන 80% විතර නොදිරන දේවල් හින්දා. ගෙදර එකතුවෙන ගස්වල කොළ ආදිය සඳහා මට කොම්පෝස්ට් බින් එකක් තිබෙනවා. කුස්සියේ සියලුම බැහැරකිරීම් මම 'කුණු' විදියට තමයි කියන්නේ. ඒ කියන්නේ කුස්සියේ ඉඳුල් , දිරන දේවල් උනත් මම බින් එකට දාන්නේ නැත්තේ, ඒවා මිශ්‍ර උනහම ඉවසන්න බැරි දුගඳක් එන හින්ද මට කොම්පෝස්ට් බින් එක එපා කරවන දෙයක් වෙන හේතුවෙන්.

Wednesday, November 19, 2014

118. දිනපොතෙන් කොලයක්...

මගේ දිනපොත කියෙව්වාද ඔබ?

නැහැ නේද තවම?

කොතරම් සැනසුමක්ද එය....




මම එසේ සිතනවිට.... එකෝමත් එක දවසක ඔබ ඇවිත්..

මට තාම මතකයි ඒ වැහිබර දවාල, හැන්දෑවක් සේ විලිබරව උන්නු හැටි.. මගේ හිත වගේම....

"බිනූ... දැක්කද?"
වැවරවුමේ වාඩිවෙලා උන්නු මට, වැව මැද්දේ උන්නු හංසයෝ දෙන්නෙක් පෙන්නමින් ඔබ පටන්ගත් දෙබස?

කවදාවත් නැතුව, කිසිම දෙයක් නොහන්ගා මම කඳුළු සලනකොට, කිසිම අවසරයකින් තොරව මා උරහිසට තදකරන් නිහඬවම මගේ කඳුළු ඇසූහැටි.. ඒ මුරුගසන් වැස්සට පසුව නැවතත් මගේ රුදු තල්ලුවෙන් වෙන්වෙලා , නැවත පසෙකට උනා එදා ඔබ.. අද වගේම!

ඉඩක් ලද හැමවිටම අතින් ඇද , සියුම් විදුලිසර දෙමින් විදා පෑ ඔබේ ඒ ප්‍රේම ප්‍රකාශය කොතරම් මටසිළුටුද ?

Saturday, November 15, 2014

117. අනුකලනය සාහිත්‍යමය ඇසින්?




කතන්දරයක්, සිද්ධියක් උනත් ලියන්න ගියහම කපන්න කොටන්න වෙනවා.

මොකද සමහර දේවල් අමුවෙන් කියනකොට අපුල ගතියක් දැනෙනවා වගේම අමුවෙන් කියනකොට දැනෙන දේ  සාර්ථක ප්‍රථිපල ගෙනදෙන්නේ නැහැ කියල  පුද්ගලිකව විස්වාස කරන හින්ද.

නමුත් මම කියවපු සමහර බ්ලොග් වලින් දෙන ව්‍යංගය උනත් නොතේරෙන ගතියක් තියෙනවා කියල පොදුවේ මට දැනිල තියෙනවා.

එක්කෝ අපේ රසාංකුර මොට්ට වෙලා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන ව්‍යංගය ඇත්තටම එතන මැවිලා නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ පලවෙනි කාරණේ ඔප්පු වෙන එක.

එතැනදී මම කියන්නේ නැහැ, මට ඔක්කොම තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ කියල. මමත් එන්න එන්නම මොට්ට පරිකල්පනයකට ඇදිල යද්දී තමයි මට කල්පනා උනේ මම මොකද ලියන්නේ නැත්තේ කියල.

Tuesday, November 11, 2014

116. පොලිස් මාමා



පොඩි උන්ට 
බත්ගුලි 
ගිල්ලවන්නට මිස ,
ලංකාවේ පොලෝසිය 
කවර පොරෝජනයක්ද 
මිනිසුන්ට ??

Monday, November 10, 2014

115. ඇබෑර්තුවක් ඇත...



කාටද පුළුවන්
පණිවිඩයක් දෙන්න...
මා වෙනුවෙන්
එකෝමත් එක
ගිනිවිදින මකරෙක්ට ?

ලිපිනයක් දන්නේ නැති
උනත් හරි කමක් නැහැ
යවන්නට ඕනෙමයි
පණිවිඩේ....
අද හෙටම...

" එන්ට හැකිනම්  - හොඳයි 
මගේ මළගම - හෙටයි "




Sunday, November 9, 2014

114. දැදුරු සිතක...



හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....

විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට 
ගෙවෙන හැම 
මිනිත්තුවේම 
දෙස් දෙවොල් 
තියමි මම.....

Thursday, November 6, 2014

113. හඳ ඕනා....





හිතක් තිබිය හැකිද, කියවන්න හැකි මුළුමනින්ම? හිතක් ඒ සිතුවිලි ගොන්නත් එක්කම එකට ගත්තත් හිතාගන්නට බැරිනම් අපේ හිතුවිලි? කොතරම් දුර්වලද එහෙම හිතන එක..

ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ අපේ හිතත්, ඒ හිතේ ඒ දේවල් ගැන තියෙන ආකල්පයත් හින්ද. දරුවෙක් තමන්ගේ නම් එක ආදරේකුත් අනුන්ගේ නම් තව ආදරේකුත් වෙන්නේ අපේ ඒ බැඳීමේ පරතරය පෙන්නන මිනුම්දඬු වගේ. ඒ වගේමයි... මෙතෙක් කාලයක් නිකන්ම යාළුවෙක් , අදහස් දක්වන්නෙක් වෙලා ඉඳල එක පාරටම ( ඇත්තටම කියනවා නම් එකපාරටම නෙවෙයි, 'එක පාරටම ටික ටික' ) වෙනත් අර්ථයකින් දකින්නෙක් උනහම අපේ හිතේ ඒ අදහස්, අංගචලන, ප්‍රතිචාර ගැන වෙනස් චිත්‍රයක් මැවෙන්නේ...

කොතරම් ආදරයක් තිබිය හැකිද හිතක් තුල සැඟවිලා..? කියාගන්නට , මනින්නට බැරුව..?

මගේ සෙනෙහස 
මෙතෙක් වේයැයි 
මනින්නට තව 
උගෙන නැත ඔබ 

මගේ අවසන් 
සුසුම පමණද 
අවැසි ඔබහට 
මා දකින්නට......


Wednesday, November 5, 2014

112. යලිත් ලියනු හැකිනම් - අතීතය



එකපාරටම ඇවිදින් 
මගේ ඇස්දෙක වහන 
සෙල්ලම 
ආයෙත් කරමුද?

හැබැයි ඇස් අරිනකොට 
ඔබ ඉන්නවනම් 
ගියපාර වගේ නැතුව.....


Friday, October 31, 2014

111. ඔබද මාද ඒ? - 03


පළමුවැනි කොටස


දෙවැනි කොටස

ණුසුම් ජලයෙන් තෙත්වෙන සිරුරේ නැගෙන්නේ වේදනාත්මක වින්දනයක්. සිරුර වගේම හිතෙත් ඒ වගේ ජල කෙලියකට ඉල්ලීමක් තිබ්බත්  අලුතෙන්ම ගෙනාපු බොඩිලෝෂන් අතුල්ලා නැගෙන මෘදු පෙන ගොන්නේ ලොකුම සබන් පෙන පිඬ සොයමින් මම කාලය මැරුවා.

ඔව්... දැන් සෙවිය යුත්තේ ලොකුම පෙනපිඬ ! ලොකුවටම පිපිරෙන, කාලබෝම්බයක් තරම් සද්දෙන්?

කාන්තාරයක් මැද්දෙන් දිවෙන කිසිම හැලහොල්මනක් නැති රේල්පාරකින් එකපාරටම බුලට් ට්‍රේන් එකක් ගිහින්, වටේ ඇතිවෙන කම්පනය වගේ දෙයකින් මගේ කන් දෙක අගුල් දාල. ඔව්.. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ කොහොමත් මගේ කන් දෙක අගුල් වැටුනා. අගුල් වැටුනද? අගුල් දාගත්තද?

නානකාමරෙන් එළියට ඇවිත් නැවුම් ශරීරයක් එක්ක හිටපු මට අලුත් හිතක් ඕනේ කළා. කිසිම දෙයක් නැති හිස් ළිඳක් එක්ක ඉන්නවා වගේ මගේ දිහා බලන් හිටියේ , කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. වෙනදට වඩා නැවුම්, දිලිසෙන ඇස්......

මම හොඳට බැලුවේ ඇත්තටම කම්මුල්පාර කෑවේ මමද , වෙන කවුරුද්ද කියල... ඔව්.. මම නෙවෙයි... මගේ කම්මුල නිල් වෙලා නැහැනේ..

ක්ෂණයක් කියන්නේ මහා දිග කාලයක්. ඒ දිග කාලේදී අපිම සමහර උපකල්පන වලට ඇවිත් ඒ උපකල්පන වලට අදාළ හේතු සාධනීය කරලා, උපකල්පන අපිම නිෂ්ප්‍රභා කරනවා. ඔව්.. ගොඩක් ජාති කරන්න තරම් වෙලාව තියෙනවා. මමත් එහෙම කළා...

' මේ ගෑනි.... හොර ගෑනි.... තුක් විතරක්!'

Tuesday, October 28, 2014

110. 'චෙක්'



ළමා.........යි
ඔන්න ළමා..........යි

එකෝමත් එක රටක හිටියා ඉතාම වැදගත්, ගිණිගත් ,රූමත්, උගත් , සිල්ගත් තරුණ කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට කුමාරියක් වගේ තමයි. නෑ නෑ .. නුවර කුමාරි නෙමෙයි හරිද....? මේ ළමයා බොහොම පැහැපත් කෙල්ලෙක්.

මේ දරුවා බොහෝම , මම කිව්වේ බොහෝ..........ම තැන්පත් ගතිගුණ තියෙන දාහකින් නෙවෙයි ලක්සෙකින්වත් හොයාගන්න බැරි තරම් වටිනා කියන දරුවෙක් හින්ද කොලොම්පුරේ ඉගෙනගෙන අහවර වෙලා, කරන බහුබූත වැඩවලට මාසේ අන්තිමට සල්ලි ටිකක් දීල ගෙදර එවන.. නෑ .. නෑ .... කෙටියෙන් කිව්වොත් වැදගත් රැකියාවක නිරතවෙලා හිටියේ.

මේ දරුවා ඉගෙනගන්න කොලොම්පුරේ ඉන්න කාලේදී ගෙදරට ආරංචි වෙන / නොවෙන ජාතියේ නොයෙකුත් සුප්‍රකට/කුප්‍රකට ජාතියේ වැඩ බොහොමයක් කරලා තිබ්බ හන්දා කාගේ හරි එකෙක්ගේ කර්මදෝසයක් පලිසන් දෙන්න තියෙන කාලෙකදී උගේ ඇඟේ එල්ලනකල්, කොහොමහරි වෙන එකෙක්ට අතුරු ආන්තරාවක් වෙන්ට නොදී රැකගන්නේ කොහොමද කියල මේ දැරිවිගේ අම්මා උන්නේ පුදුම ගින්දරකින්. මේ හින්ද පුළුවන් උපරිම වෙර වීරිය දාල මේ අම්මා විසින් බොහොම මහන්සි වෙලා හොයාගත්තා දුරින් නෑයෝ වෙන ගෙදරක් මේ දැරිවිට නතර වෙන්ට, ටික කාලෙකට.

Sunday, October 26, 2014

104. අස්සයා මැරුණු ජොකියෙක් වීමි..





මගේ ක්‍රීඩා ජිවිතයේ පාසලේ මතකයන් මම ලියාගෙන ආවා. ඉවර උනේ නම් 11න් පහළ කණ්ඩායම විදියට සෙල්ලම් කරලා පරාජයක් එක්ක ගෙදර ආපු මතකයෙන්.


මේ කතාවේ මුල්ම කොටස 

මේ කතාවේ ඊළඟ කොටස


මට ඊට පස්සේ උන දේවල් උනත් හරියටම අනුපිලිවෙල මතක නැති අවුලක් තියෙනවා. නමුත් වෙච්ච සිද්ධි නම් මතකයි.

ඔය කාලේදී අපේ පුහුණුකරු වෙලා හිටපු සර් නගරයේ අනිත් ප්‍රධාන ගැහැණු පාසලෙත් පුහුණුකරු. අපිට නම් මේන් හෝල් එකේ ඇඳපු කොට්ස් කෝට්ස්  දෙකක් ඒ දවස්වල තිබ්බත් අනිත් ඉස්කෝලෙට එහෙමවත් තිබ්බේ නැහැ. මේ හින්ද ඒ ළමයි එක්කගෙන සර් අපේ ඉස්කෝලෙට එනවා. කොහොමහරි අපි නිතර Friendly matches ගහනවා.

බොරු බේගල් කියන්නත්, පුරසාරම් කියන්නත් අකමැති උනත් මම ලියන්නම්... ඒ දවස්වල මම unbeatable category එකේ හිටියේ. ඒ වගේම අපේ කණ්ඩායමත් අනිත් කණ්ඩායමට පැරදෙන්නෙ හරිම අඩුවෙන්.

ඔහොම ගතවෙනකොට, මම හිතන්නේ මගේ කණ්ඩායමේ අනිත් උන් එක එක හේතු හින්ද ක්‍රීඩාව give-up කළා. මගේ වයසේ හිටපු අනිත් උන් දෙන්න නම් හරියටම හේතුවක් දන්නේ නැහැ. අක්කලා හිටපු අය නම් සාමාන්‍යපෙළ හින්ද කියල තමයි කිව්වේ. කොහොමත් අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන්නේ මට නම් බද්ධ වෙච්ච දෙයක්. මම කවදාවත් ඉගෙනගන්න බාධාවෙනවා කියල ක්‍රීඩාවෙන් ඉවත් උනෙත් නැහැ එහෙම වෙනවා කියල විස්වාස කලෙත් නැහැ.

අන්තිමට මම ඇරෙන්න මගේ කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩාව නතර කළා.

ඉතින් මම අස්සයා මැරුණු ජොකියෙක් වගේ උනා....!! 


Friday, October 24, 2014

103. මිතුරු තොමෝ.... 02



පළවෙනි හෑල්ල 

කැටයක් හොල්ලනවා කිව්වට කැටයක්ම නෙවෙයි. අපි කලේ අපේ යුනියන් එකෙන් ටිකට් එකක් ගහලා ඕක විකුණන එක.

ඔන්න දැන් මමත්, කිරි බර්ටියාත් ගජ රාමෙට එහෙ මෙහෙ දුවලා ටිකට් ගහන්න විදියක් බැලුවා. මේ ගැන අපේ ෆැකල්ටියේ ඩින් සහ ජේෂ්ඨ ආචාර්යවරු දැනුවත් කරලා කිරි බර්ටියා උන්ගේ ගෙවල් ගාව තිබ්බ මුද්‍රණාලයකින් ටිකට් ගහන්න ලෑස්ති කරගත්ත. ඒ අතරේ වරින්වර තිලිණගේ හිත හදන්න ඌ එක්ක විකාර දේවල් කතා කළා. අන්තිමට ඌ අපිට අනාවරණය කළා උගේ යාලු ගෑනුලමයා ගැනත්. ටිකට් විකුනලා සල්ලි හොයල දෙන්නම් කිව්වම උගේ තිබ්බ ඉල්ලීම තමයි
"මචන්, මගේ කෙල්ල ඉන්නේ _____ කැම්පස්. ඒකෙ ඇරෙන්න වෙන ඕනේ දිහාක විකුනපන්. කෙල්ලට හොඳ නැහැ"

අපි මේ අහිංසක ඉල්ලීමට කන් දුන්නා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ ෆැකල්ටියට වෙනම ආරක්ෂක සේවයක් තිබ්බ. ඒ වගේම ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක් උන්නා ඌ අන්තිම රස්තියාදුවෙක්. ආරක්ෂක සේවයේ ලොක්ක වෙලා හිටියෙත් කුපාඩි බැල්මක් තිබ්බ වයසක මනුස්සයෙක්.

102. මිතුරු තොමෝ.... 01


මිත්තරයෝ / මිත්තරියෝ ඉන්නවා නේද? ( ඔය ඉන්නේ...) මගේ ජිවිතේ උන්ට හිමිවෙන්නේ ලොකු ඉඩකඩක්. මම නොයෙකුත් තැන්වලදී ලියල පාරම්බාලා ඇති මගේ මිත්‍ර සමාගම් ගැන. නොසැලකිල්ලෙන් මිත්‍රයෝ ඇතිකරගන්න මම උන්ව පරිස්සමෙන් මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ ආයෙත් ආයෙත් ආශ්‍රය කරන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන්. ඒක ඇතුලෙම අනිත් වචනෙත් ලියවිලා තියෙනවා... ඒ කියන්නේ 'පොඩ්ඩක් විතර නොසැලකිල්ලෙන්'

යාලුවෝ උනහම මට එක එක කැටගරියේ උන් ඉන්නවා. ඉස්කෝලේ කාලේ යාලුවෝ නම් දැන් හරි අඩුවෙන් සම්බන්ධකම් තියෙන්නේ. මොකද මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් ආවට පස්සේ ගම් පළාතේ යන එකත් අඩුවෙලා ගිහින්, කොටින්ම ගමේ උන්වත් මම අපේ අම්මගේ දුවෙක් කියල අදුරන්නේ නැහැ නේ බොලේ...



හිටපු ගමන් ගම් වැදුන මමත් ඉස්සර කරගෙන අපේ අම්මත් එක්ක මම ටවුමේ රස්තියාදුවකට කියල හිතාගෙන බස් එකට බඩගානවා...
"ආනේ.. මිසිස් _____, කොහෙද අද මේ පයින්ම?"
"අපේ මේ දුවත් එක්ක මම මේ ටවුන් යනවා"

Friday, October 17, 2014

101. ඔබද මාද ඒ? - 02







මුල් කොටස 

තොරක් නැතුව දුවන නොයෙකුත් ජාතියේ වාහන... කවදත් වගේ යන ගමනක්... බසය කලර් ලයිට්ස් ළඟදී හිරවුනා, එතකොට මගේ හිරවෙච්ච හිත ආයෙත් ලිහිල් වෙන්න ගත්ත.

'මට මෙහෙම ජිවත් වෙලා මොකටද.. '

පාරේ කිළුටු දරුවෙක් කිහිලිගන්නාගෙන යන කිළුටු මවක්.. මගේ හිත ඉරිසියාවෙන් පෑරුනා..

'මේ ගෑනිට කන්න නැතත්.. අඩු තරමේ මිනිහ දරුවෙක් හරි දීල... දරුවෝ ලැබෙනවද ඉතින් උඩබලන් උන්නට.... පො___යා'

මටම දැනුන ඒ කම්මුල්පාර මගේ වම් කම්මුලට වැදුන! මම කම්මුල අතගාල බැලුව. ඔව්, වෙනද වගේම උණුසුම්.

'අපරාදේ මට ඌගේ මුණටම කියන්නයි තිබ්බේ.... හෙහ්..  ඔව්.. මුණටම.. අර ගල් වෙච්ච කොන්ක්‍රීට් මුණට.... '

100. ඔබද මාද ඒ? - 01



මුළු ගෙදරම ඇත්තේ මුසල කමක්.. කලබලෙන් වහපු පැන්ට්‍රි සින්ක් එකේ වතුර වැටෙන සද්දේ පවා මට ඇහුනේ මට ඔලොක්කු කරනවා වගේ. මිට විනාඩි දෙක තුනකට කලින් මේ ගෙදර බිත්ති දෙදරන්න බෙරිහන් දීපු මගේ කටහඬම ආයෙත් මගේ පැත්තට හැරිලා ඇහෙනවා වගේ මට දැනුනේ...

"... මොනවද උඹට මගෙන් ඕනේ... කියපන් මෝඩයෝ?"

මගේ හඬ ගිගුම් දුන්න බව මට මතක් වෙන්නේ දැනුයි.

ඔක්කොම ඉවර වෙලා කුණාටුවෙන් පස්සේ මම ඇදන් වැටුනේ සුපුරුදු සෝෆාව උඩට. අත්දෙක ඔලුවේ තියන් මම ඇත්තටම කිසි දෙයක් කල්පනා කරන්නේ නැතුව අහන් හිටියේ මගේම ගිගිරුමේ දෝංකාරය..

ගෙදර තිබ්බ මොකක් හරි දෙයක් සඳුන් අරගෙන ගිහින් වගේ, මට මොනවහරි හොයන්න ඕනේ කළා... ඒත්  ඒ වෙනුවට මම කලේ දුරකථනය අරන් තීක්ෂණට වයිබර් කරපු එක..

උදේ ඇතිවුන කතාබහ දුරදිග ගිහින්, අවසානෙදි කවදත් වගේ මම පුපුරා හැලුනත් සුපුරුදු විදියට සඳුන් එයාගේ කොන්ක්‍රීට් මුණ දාගෙන ඉන්නකොට මොන ගෑනිටද ඉවසන්න පුළුවන්? හැමදාම එකම කාලසටහනට දුවන බල්ලෙක් වගේ සඳුන් දුවනවා. මමත් ඒ කාල සටහනේ විදියට කරලා දෙන ටිකට, අඩුම තරමේ බැනුමක් බැනපන්? හොඳක් කියපන්? එක්කෝ ගහපන්? නැත්තම්... මොකක් හරි....

"තමුසේ මාව වහලෙක් කියලද හිතන් ඉන්නේ"

කොතරම් දවසක් මෙහෙම අහල ඇද්ද? හැමදාම ඒ හිස් හිනාව මම කොහොමද දරන්නේ? පිරිමියෙක් වගේ රණ්ඩු නොවෙන පැපොල් ගහක්? ආයෙත් මම තීක්ෂණ ගේ රිප්ලයි එක කියෙව්වා...

Thursday, October 16, 2014

99. සෙරෙප්පු



හිතල හිතල ඇති වෙලා මට...
කොච්චර හිතුවත් ඉවරවෙන්නේ එකම තැනකින්. හරියට එකම තැනකට යන්න හදපු පාරවල් ගොඩක් වගේ.

හැමදාම මේ සෙරෙප්පු දෙක දකිනකොට දැනෙන කම්පනය වහගන්න ඒ සෙරෙප්පු දෙක කාටවත් කවදාකවත් හොයාගන්න බැරි තැනකට විසිකරන්න ඕනේ කලත්, මම කලේ ගබඩාකාමරේ පෙට්ටියක් ඒ වෙනුවට තෝරගත්ත එක. අන්තිමට මට උනේ කවුරුත් නැති වෙලාවක ගබඩා කාමරේ මැද්දෙදි මේ සෙරෙප්පු දෙකෙන් විහිදෙන අවලං හිනාවත් එක්ක සම්මුඛ වෙලා , වෙනදාටත් වඩා හිතලක් එක්ක සුසුම්ලන්න.

කොහෙන් එන සිතුවිලිද මේ? පෙනේරෙකින් නතර කරන්න බැරි වතුර පාරක් වගේ මම මගේ හිතුවිලි එක්ක පොරබදනවා..

"ලස්සන ඇඟිලි... මොකද ඔයා කියුටෙක්ස් ගාන්නේ නැත්තේ "

ඒ වචනෙත් එක්කම අනික් පැත්ත හැරුන මට ඔබේ ඇස් වලින් බේරෙන්න ලැබුනේ , ඒ ඇස් දෙක නතර වෙලා තිබ්බේ මගේ කකුල් දෙකේ හින්ද.

98. හිර - බස්




විවාහය
එකට එකක් වෙනස්
ගමනාන්තයන් ඇති....
                   බස් මෙනි...

එකක් මගහැරුණුවිට
තව එකක් එනු ඇති...
                   විශ්වාසද නැති...

ටිකට් නොගත්තද
හිටගෙන, ඉඳගෙන ගියද
                  බසිනු බැරි..

Tuesday, October 14, 2014

97. පිට - රට හුට- පට

මම ලියාගෙන ආව මගේ බොස්ලා ගැන මෙන්න මෙහෙම

එක දෙයක් ගැන ලියන්න හිතාගෙන ගත්තම, තව අතුරු කතා මැද්දට ඇවිල්ල, මුල් කතාවේ ගලායාමට හරස් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය අතුරු කතා ඉතින් වෙන තැනක කියන්න බැහැනේ. ඉතින් නොලියත් බෑ.. මොකද වැදගත් මාතෘකාවක් දාගෙන මේ වල් පල් ලියනකොට තමයි කට්ටිය පලු අරින්නේ නැතුව කියවන්නේ... බලන්න අර රවී... කොතරම් පැසසුම් ලබනවද කියල?

මේ ටික ලියන්න හිතාගෙන නෙවෙයි උන්නේ.. කොහෙද අර 'අශාන්' කියල කොල්ලෙක් ( මම හිතන්නේ කොල්ලෙක් කියල... වැරදි නම් මෙව්වා වෙන්ට ඕනේ! ) ප්‍රශ්නයක් ඇහුවම තමයි මේ බොස්ලා ටික මතක් උනේ...

මම වලක්වන්න බැරි හේතුවක් හින්ද ඩුබායි' කියල රටක් තියෙන්නේ.. ආ.. ඔව් වොව්.. අන්න එහෙ ගියා. ගියා කියන්නේ ඉතින් අත්දෙක වන වනම තමයි ගියේ. මොකද හිටපු රස්සාවට ආයුබෝවන් කියල, කිසිම රස්සාවක් නැතුව තමයි යන්න උනේ.

ඔහොම ගිහිල්ල මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් මට ලාංකික ( ලංකාවේ තාත්ත උනත්, ඌ එංගලන්තේ හැදිලා තියෙන්නේ.. අනේ මන්ද කොහොම ලාංකික වෙනවද කියල..) මනුස්සයෙක් එහෙ කරගෙන යන මෘදුකාංග කොම්පැනියක රස්සාවක් ලැබුන, හැබැයි උන් කලේ මාව එහෙ ලොකුම ලොකු IT කොම්පැනියකට අවුට්සෝස් කරපු එකයි. ඒ 3000 කට වඩා වැඩකරපු කම්පනියේ හිටපු එකම ලංකාවේ කෙල්ල මම විතරයි. ඊටත් වඩා වැඩේ කියන්නේ 99% ක්ම හිටියේ ඉන්දියන් අය! ( හා දැන් කියන්න හෙන්රියෝ ඔයාගේ අදහස... හෙක්.. ඔයා හරි මනාප කට්ටියක් නොවැ )