Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.



Friday, October 10, 2014

95. සිකුරාදාවක - සවස




අල්ලට ගත්
දිය අහුරකි..
සති අන්තය 

Monday, October 6, 2014

94. මොන්ටිසෝරි හයිලයිට්ස්...




අම්මි අද
මගේ පුටුවේ
නතාෂා වාඩිවෙලා..
අනුහස් එයාට
මට දෙන ඉරේසරේ දුන්න...

අම්මි
මම උදෙන්ම
නැගිටිනවා හෙට ඉඳං !


Sunday, October 5, 2014

93. එයාට කිරි - මුන්ට කැකිරි!

කතාකලයුතු බොහෝ දේවල් තිබියදී මේ සටහන ලියන්නට හිතුනේ ඇයිද කියල හරියටම කියන්න අමාරුයි.. ඒත් එක දෙයක් පැහැදිලියි. අපි බොහෝ දෙනෙක් කතාකලයුතු දේවල් පසෙක තියාගෙන නන්දොඩවන තත්වෙට පත්වෙලා හින්ද, මේ කතාව අමුත්තක් වෙන එකක් නැහැ..

අපේ රටේ සංස්කෘතිය, සමාජ ආකල්ප ගැන කෑමොර දෙන ඔක්කොම දෙනා ඉස්සර ඉඳන්ම බෙරිහන් දෙන, හෙලා දකින දෙයක් තමයි වරදෙහි බැඳීම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ විවාහක පුරුෂයා, ස්ත්‍රිය හැරුනුකොට වෙනත් ස්ත්‍රියක්/පුරුෂයෙක් කෙරෙහි කාමුකව ආසක්තවිම.

අපේ රටේ ඉතිහාසයේ නරකම නරක ලේබලයක් තියෙන අනුලා බිසව එහෙම 'නරක' අයෙක් විදියට හංවඩු ගැහිලා. ඒ වගේම තවත් රජ පවුලේ/ගොවි පවුල්වල ස්ත්‍රීන් මෙහෙම හංවඩු ගැහිලා, ඉතිහාසෙන් ඕනේ තරම් උදාහරණ. දෝනකතරිනා ගැන තිබ්බ ඒ කැළල හින්දම වෙන්නත් ඕනේ වේදිකාව උඩදී ඇයට සාධාරණයක් කරන්න 'දෝනකතරිනා' නාට්‍ය හදන්නත් ඇත්තේ. ඇය හැබැයි වරදෙහි බැඳුන කෙනෙක් විදියට නෙවෙයි චෝදනාව.

මට තියෙන ප්‍රශ්නය...



Thursday, October 2, 2014

92. ඇඩ්වෙන්චර් - නැද්ද හා?

අදත් උදේ පාන්දර 9ට විතර පාරට බැහැල, වෙනද යනවා වගේම මෙලෝ ගර්ලිෂ් ගතියක් නැතුව කඩාගෙන බිඳගෙන ඇවිදගෙන බස් එකට නගින්න කියල ආව. වෙනදට මාළුපාන් කන්න කැන්ටිමේ පොරකන ළමයි රොත්ත වගේ, පාර දිගේ දුවගෙන එන වාහන එකක්වත් නෑ ! ඒ මදිවට පාරෙන් එහාපැත්තෙ විරුද්ධ පැත්තට යන වාහන ටිකත් ඉද්ද ගැහුවා වගේ නතර කරලා.

"චැක් විතරක්! අදත් මුන්ට පාර්ලිමේන්තු! අම්මප මෙතරම් තාක්ෂණය දියුණු කාලේ, බැරිද බොලේ ඔය මහා ලොකු පාර්ලිමේන්තුව ස්කයිප් හරි, කොන් කෝල් එකකින් හරි කරලා ඉවරයක් කරන්න.... ඈ... ?

එහෙම මම කිව්වේ නෑ... හිතුව විතරයි හින්ද මගෙත් එක්ක හෝල්ට් එකේ උන්නු අනිත් උන් දන්නේ නෑ මම දේශද්‍රෝහියෙක් කියල! වෙලාවට

ඔන්න එතකොට නලා පිඹගෙන, දුන් දාගෙන , අහස ගොරෝනවා වගේ මහා කලබලයක් කරගෙන ගියා VIP කියන කාන්ඩේ එකෙක්. කවුරු ගියාද කියල කොහොම හොයන්නද? එක්කෝ සමහර වෙලාවට වටේ ගාඩ් එකවත් දන්නේ නැතුව ඇති ඇතුලේ කවුද යන්නේ කියල.... වටේ පිටේ මෙතෙක් වෙලා තමන්ගේ සියලු වැඩ අතපසු උන හින්ද, වෙන බලන්න දෙයක්, කරන්න දෙයක් නැති 'මම' වගේ උන් රොත්තම අර නලාකාරයෝ වටකරගෙන යන මේ අරුම පුදුම රතේ දිහා සීරුවෙන් බලන් ඉන්නවා....

මොකද එක අඩියක්වත් ඉස්සරහට ගත්තොත්.... වටෙන් යන බයිසිකල් ගාඩ් එකේ උන් එක්කෝ වෙඩි තියයි.. නැත්තම් පයින් අනිවී කියල හිතන හින්ද...

Monday, September 29, 2014

91. යාළු-ගම් යෑම

නෑයෝ බලන්න යනකොට කදමලු බැඳන් යනවට කියන්නේ 'නෑගම් යනවා' කියලා නම්, මිත්‍රයෝ.. ඒ කියන්නේ යාලුවෝ බලන්න කදමලු බැඳගෙන යනවට කියන්නේ 'යාළුගම් යනවා' වෙන්න ඕනේ!

[හෙහ්.. කොහොමද පටන්ගැන්ම? කාලතුවක්කුවකට බීමබටයක් ගැහුවා වගේ නේ? අන්න එහෙමයි අපි කතාවට ප්‍රවිෂ්ට වෙලා, උත්කෘෂ්ට වෙන්නේ...]


කැම්පස් යනකොට හිටපු නානාප්‍රකාර බෝඩිම් අතරින්, අපේ අක්කත් එක්ක හිටපු බෝඩිම කියන්නේ එකම පිස්සු මඩුවක්. මම ඒ බෝඩිමේ ඉන්නකොට
120 බස් එකේ ගියපු කතාවත්,
ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණය කරපු හැටිත් කියල තියෙනවනේ.

අද කියන්න යන්නේ ඒ ජාතියෙන් නොවෙන, ඒත් ඒ ජාතියේම කතාවක්.

මේ බෝඩිමට අපි දෙන්නා සැපත් වෙනකොට මේ බෝඩිමේ නිල නොලත් 'ලොකු අක්කා' වෙලා හිටියේ චීස් බෝලයක් වගේ පාටක් තිබ්බ, සුදුම සුදු, ඒ වගේම ලස්සන, ඒ වගේම අඩුවක් නැතුව පිස්සුව තිබ්බත් බෝඩිමේ ආන්ටිගේ හිත දිනාගෙන හිටපු 'චචා' අක්කා තමයි.

Thursday, September 25, 2014

90. ඉල්ලීමක්



නේන තැනක්
කියන් මට - නුඹ
ගොහිං මොහොතක්
ගුලිවෙලා ඉන්න!

මුණු පොතේ නැති
ට්විටරයේ නැති
වයිබරයේ හෝ
වට්සැප් හි නැති... - නුඹ
කොහෙද නේන්නේ?

Wednesday, September 24, 2014

89. අවබෝධය



කියනු බැරි විඩාවෙන්
උන්නාට මම
අදත් ගෙට එනකොටම
ඔබ කියයි....
'ඔයාට පුරුදුනේ දැන්'

Monday, September 22, 2014

88. කුරුමිණියෝ මිරිකුණියෝ

ඕකනේ කියන්නේ..

එක කතාවක් ලියනකොට.... තව කතා පේලියක් ඒ එක්කම පෙළ ගැහෙනවා. කලින් 'කුට්ට කුටං ' කතාව ( කතාව කිව්වට කතාවකුත් නෙවෙයි) කියනකොට මගේ පොඩි කාලේ මඩ සෙල්ලමක් විදියට 'ලේනි බර්ඩ්ස් ඇල්ලිල්ල' කියල එකක් කිව්වා නේ.

දැන් ඉතින් ඔහොම කිව්වට මගේ ඔලුගෙඩිය ඇතුලේ ඔය රස්සාවට අදාළ අටෝරාසියක් ජාති පිරිලා තිබ්බත්, ඔය සෙල්ලම මතක් කරපු ගමන් ඔන්න බොලේ පරණ තිබ්බ පිස්සුව ආයෙත් ගැහුවා ඔළුවට !! දැන් ඉතින් සම්ම ජාතියකට ඔපීසියේ වැඩක් කරන්නම හිතෙන්නේ නෑ මේ පිස්සුව ලියනකල්... ඒ හින්ද මම ලියල දානවා...

ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කරගන්න බැරිද?

87. ෆැන්ටසි



සමනළයෙක් පතාගෙන
පොඩි කෝෂයක් බලාගෙන
බොහෝ කල් ගෙවුනා - නොදැනීම...

රුදුරු කතරක් ගෙවාගෙන
කෙම්බිමක් නොසොයාම
උන්නු හැටි සිහිවුණා  - අද මෙන්ම.....

Saturday, September 20, 2014

86. කුට්ට කුටං

මගේ පොඩි කාලේ ඇත්තටම වර්ණවත් හිතෙන්නේ ලොකුකමකට නෙවෙයි,  දැන් ළමයින් දකින ලෝකය කොතරම් අවර්ණද කියල හිතනකොට!

කොහොමත් එක පරම්පරාවක් අනිත් පහල ඉන්න පරම්පරාවට හැමදාම කියන 'ටිපිකල්' ටෝක් එක තමයි

 'උඹලගේ කාලේ වගේද අපේ කාලේ.. හෙක්..' 

කියල.

මම පුංචි කෙල්ලෙක් වෙලා ඉන්නකොටත්, දැන්  කරදඩු උස්මහත් වෙලා හිටියත් ඔය කතාවට මට එක ලෙසම ඌරු ජුවල් යනවා! ඇයි බොලේ අපි විඳින්නේ ලැබිල තියෙන දේවල්නේ හත්ඉලව්වේ! නැති එකක් ගැන කියෝනව මෙතන!!!

මම පොඩිකාලේ කරපු, කියපු, හිතපු දේවල් ලියන්න ඕනේ කියල හිතුනේ  ඒ වගේම කරපු, කියපු, හිතපු තව කෙනෙක් ඒ දිහා ප්‍රීතියෙන් බලන එක මට ප්‍රීතියක් ගෙනදෙන දෙයක් හින්දත්,  ඉඳලත් ඒක විඳපු නැති අයට අමුතු රසවින්දනයක් ඒකෙන් ලැබෙන හින්දත් කියන මේ ප්‍රධාන කාරණා දෙක හින්ද.

Tuesday, September 16, 2014

85. අන්තෝ ජටා - බහි ජටා

පින්තුරේ ඉස්සුවේ මෙතනින් : http://trolarti.blogspot.com/2010/10/art-analysis-hanshofmann.html



ආදර හුටපට
හැමතැනම...

එක හුටපටයක්
ගෙදර ඉන්නකොට,
තව එකක් මම
ඔෆිස් එකේ තියාගෙන..

Monday, September 15, 2014

84. කල්පිරිණි...




කොහේදෝ තැනක සිට
මා නමින්....
හෙලන සුසුමක්
දැවටුනා මේ මැදියමේ
වසර හතකට පසුව.....

83. putha... I see something in you....

"Putha... I see something in you.. but i dont 'know what it is.."

මේ වචන ඔබට මතකද?

සමහර අය ඇති මතක තියෙන, සමහරුන්ට මේක විකාරයක් කියලත් හිතෙයි...

මගේ හොඳ යාළුවෙක් මට එවල තිබ්බ ලින්ක් එකක්... මම සාමාන්‍යයෙන් ඔෆිස් එකේ යූ - ටියුබ් එකේ ඒවා බලන්නේ නැහැ. ඒ හින්ද මම ඔෆිස් එකේදී ලින්කුවට කෙටුවේම නැහැ. ගෙදර ගිහිල්ලත් මම සාමාන්‍යයෙන් ලැප ඕපන් කරන්නෙම නැහැ. ඒත් එදා මගෑරිච්ච මේල් බලන්න මම මගේ මේල් එක ඕපන් කරනකොට මේ ලින්කුව දැකල, කෙටුවා.

ඇත්තටම මම මගේ ජිවිතේ අහපු ඉතාම වැදගත් ප්‍රසන්ටේෂන් එකක්.

ඔහු.. නමින් ධනංජය හෙට්ටිආරච්චි.....

දැන් නමින් දන්නා කට්ටිය දැන් වැඩියි. ඔව්.. ඒ ඔහු 'ලෝකයේ හොඳම කථිකයා' කියන සම්මානයෙන් පිදුම් ලබල හින්දම වෙන්න ඇති. ඇත්තටම ඔහුට එය අනිවාර්යයෙන් උරුමයි.

මම අහපු ඔහුගේ ඒ ප්‍රසන්ටේෂන් එක, ඔහුගේ ඒ ගමන්මග ඔහු විස්තර කරන විදිය ගැන කරපු එකක්. ඇත්තටම මම පුදුම උනා. ඔහු කියපු දේවල්ම මම ආයෙත් මෙතන ලියන්න ඕනේ නැහැ. මොකද, මට වඩා හොඳට, ඉතාම ආකර්ෂණිය විදියට ඔහු ඒ ගැන කියනවා.

මම මේ සටහන ලියන්න හිතුවේ, ඒ වීඩියෝව බලපු මම, ඒ ගැන හිතන විදිය පොඩ්ඩක් සටහන් කරලා තියන්න ඕනේ හින්ද. මොකද ඔහු ඇත්තටම ලෙජන්ඩ් එකක් වේවි..

Thursday, September 11, 2014

82. වංගු නැති පාරක



එකෝමත් එක දවසක
මහා වැහි බීරුමක් අවසන

කිසිම වංගුවක් නැති
පාරක් හොයාගෙන...

81. රුවක්...




ලැයිම් පේළියේ කොනේ
නටඹුන්ව ගිය
පයිප්පය ගාවදි,
හදිස්සියෙන් දැකපු

වේලුගේ බාලදුව
'රෝජා'.....!

වෙනුවට....
ඒකිගේ දිලිසෙන
ඇස්දෙක තියෙන

Tuesday, September 9, 2014

80. කලබල කතාවක්...


පෙරවදන:
මේ කතාවේ ඔරිමජිනල් කතාව මම ලිව්වේ මට වයස අවුරුදු 18දී. කතාව ලියල පෙන්නුවා මගේ යාලුවෝ දෙන්නෙකුට. ඊට පස්සේ මේ කතාව සුපුරුදු විදියටම මගේ හමස් පෙට්ටියට ගියේ ඉබේමයි. 

බ්ලොග් එකේ මේක දාන්න හිතුනට, හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුනා. අන්තිමට තීරණේ කළා, කතාව මතක විදියට ආයෙත් ලියනවා කියල. මම ලිව්වේ මේ ශෛලින්මයි. පොඩි පොඩි සිද්ධි විතරක් වෙනස් කළා , කියන්නේ ලියන් යනකොට ඉබේම වෙනස් උනා. ඔරිජිනල් කතාව දිගයි. 

කොහොමත් මම එකපාරටම හිතිලා දෙයක් ලිව්වොත්, ආයෙම ලිව්වත් ඒ කොලිටිය ගන්න බැහැ ඔරිජිනල් එකේ තරම්. ඒ හින්ද මම තවමත් විස්වාස කරනවා මුල් එක මීට හොඳයි කියල. 

ඒත් මේක මම ආසකරපු මගේ කතාවක් හින්ද නොලියම බැරි උනා. බැනල ගියාට කමක් නැහැ... මට ඔව්ව පුරුදුයි... හි.. හි..



මම උඩ විසිවෙලා ඇහැරුණා..

'ඩොන්.. පටෝන්...' ගාල පුපුරන රතින්නා සද්දෙට මම නිදාගෙන හිටපු තැනින් පනින්න ගිහිල්ල, තව ඩින්ගෙන් ඔලුවත් මේසේ වදිනවා. බිමට වැටෙන්න යද්දී තමයි දැක්කේ මම නිදාගෙන ඉඳල තියෙන්නේ අපුච්චගේ ඇඳේ...

හනික දුවන් ගියා සාලෙට මොකද්ද මේ සද්දේ කියල බලන්න. මිදුලේ මැද්දෙන් ඈත පේනවා ලොරියක්.. හප්පා ලොරියක්? මම සාලේ මැද්දෙන් දුවන්න නෙවෙයි ඉගිලෙන්නයි හැදුවේ..

"පොඩ්ඩා.... හෙමීට කොල්ලෝ.. හෙමීට..  ඔය ගොක්කොල ටික පාගන්න එපා දරුවෝ..."

මගේ මුනටම මාට්ටු උනේ සිසිලියා නැන්දා. මගේ උරහිසෙන් අල්ලාගෙන මාව පැත්තකට වෙන්න අල්ලගත්ත.

"අනේ.... මල්ලි ඇහැරිලාද... අන්න අම්ම අහ අහ හිටිය... යමු බත් ඩිංගක් කන්න... බලන්න දැන් ඉරත් අවරට ගිහිං "

Saturday, September 6, 2014

79. නිකිණි



සැබෑම ආදරය...
කිසිවක් ඉල්ලන්නේවත්,
කිසිවක් නොලද මුත්
අඩුවන්නේ වත් -
මියයන්නේවත් නැත...

කිසිවිට වෛරයට පෙරලෙන්නේද නැත..

දුර  අමතක වන්නේවත් 
ළඟ සිටියද අගය අඩුවන්නේවත් නැත..
"සැබෑම ආදරය"
අවංක හා පිරිසිඳුය 


පුදුම හිතෙන තරම්
අව්‍යාජ,
අහිංසකය ...........................!

Thursday, September 4, 2014

78. හමුවීම් තුනක් - එක වෙන්වීමක්




ගිටාර් එකත් කරට අරගෙන මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.

"අය්යා... මම යනවා"

එහෙම කිව්වේ යන්නම නෙවෙයි. කාගේත් ඔලු මගේ පැත්තට හරෝගන්න.

"නංගිට තනියෙන් යන්න පුළුවන්ද ?"

තවමත් මෙවලම් ටික අකුළමින් හිටපු කණ්ඩායමේ නායක සරිත් මගේ දිහා බැලුවේ සුපුරුදු ලෙන්ගතුකමින්. මුකුත් කියන්න කලින් මම හීනියට හිනාවක් පෑවා. කළුවරේ යනකොට ඇඟට දැනෙන සීතල මට දැනටමත් දැනෙනවා වගේ.

"ඔව්"
මම කිව්වේ නිකමට. ඒ බව සරිත් දන්නවා.

"කුසල්, මචං උඹට යනගමන් මේ පර්ල් නංගිවත් බස්සගෙන යන්න බැරිද?"

මගේ දිහා බලපු කුසල්, සරිත් දිහා බැලුවේ කට කොනෙන් හිනාවෙන ගමන්.

"ඕකේ .... මම බස් එකෙන් ඩ්‍රොප් කරගෙන යන්නම්කො"

හැමෝගෙම සුපුරුදු සුහද හිනාවෙන් වැහුණු වචන එක්ක මම බැලුවේ කුසල් දිහා. ඒ එක්කම මට මැවුනේ අර මමම මවපු අඳුරු ලස්සන සීතල වටේට මොකක් හරි පොරෝනයක් ඔතල වගේ උණුසුම් හැඟීමක්. තනියෙන් යනවට වඩා භයානකයි! මගේ පපුව ගැහෙන්න ගත්ත.

"මට යන්න පුළුවන්.."
මගේ පපුවේ සද්දෙට වඩා පොඩ්ඩක් හය්යෙන් මම කතා කලේ සද්දේ එලියට ඇහෙයි කියල බයේ. මගේ ඔලුවට ආවේ මේ ප්‍රසංගයේ පලවෙනි පුහුණුවීමේදී වෙච්ච අකරතැබ්බය.

Wednesday, September 3, 2014

77. බිඳුණු බැඳුම



ඔබ
වැඩිම දේ පැවසුවේ..
කිසිත් නොදෙඩු
කාලයෙයි...

Monday, September 1, 2014

76. බෝනික්කෙක් නොවෙන බෝනික්කෝ කතාවක්

මගේ පොඩිකාලේ ගැන මම නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් කාරනා ඉස්මතු වෙන විදියට කතන්දර එමට ලියල ඇති.

ඒ හැම පොඩිකාලේ කතාවකම ඉන්නම කීපදෙනෙක් ඇති. ඒ තමයි අපේ අය්යා සහ අක්කා. ඊටත් අමතරව අපේ පල්ලෙහාගෙදර නංගි. මොකද එයත් අපේ ගෙදර අපේම පවුලේ කෙනෙක් තරමටම අපේ ගෙදරම තමයි හැදුනේ. අමුතුවෙන්  ඕනා නැහැ නේ අක්කයි අය්යයි නැති පොඩිකාලයක් මට තියෙන්න හැටියක් නැහැ කියල? කොටින්ම මට මොන්ටිසෝරියටවත් යන්න ඉතුරුකරලා නැතුව සියල්ල ඒ දෙන්නා විසින් ඉටුකලාලු.

අනේ මන්ද එව්වා නම්..... දන්නා සාස්තරයක් තියෙයිනම් වැඩිපුරම ඔලුව බේරාගැනීම වගේ ශිල්පයක් තමයි පොඩිකාලේ ඉඳන්ම ප්‍රගුණකලේ. වඩා වැඩිමල් සහෝදර සහෝදරියෝ අතරේ පොඩ්ඩෙක් උනහම හැමෝම හිතන්නේ හෙන ආතල් කියල. මොකටද ඒ කියන කට? කිසිම සිරා සෙල්ලමකට ගන්නේ නැතුව , කිසිම කසුකුසුවක් කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද මම වගේ කැසිල්ලක් තියෙන කැළෑ සතෙකුට?

75. සොඳුරු මල් මාවත

මේ කතාවේ මතකය අලුත් උනේ මම මේ ළඟදී සියා කෙනෙක් විසින් පදවන බස්රථයක් ගැන ලියද්දි. නැත්තම් මට මේ කතාව මතක් වෙන්නේ හරි අඩුවෙන්. හැබැයි, මගේ ජිවිතේ මම ආයෙත් හිතල බලන කතාවක්. සමහර වෙලාවට කෙනෙකුට බැලුවම වැදගම්මක් නැතුවා වගේ පෙනෙන්න පුළුවන්.

ඔව්.. අපි හැමෝගෙම ප්‍රයෝරිටිස් එකිනෙකාට වෙනස් නේ!

අපේ ගෙදර ඉඳන් මම බස් එකේ ඉස්කෝලේ යනකාලේ නොයෙකුත් විසිතුරු වැඩ සිද්ධ උනත් මෙලෝ රහක් නැති මම ඕවට කිසිම හොඳ ප්‍රතිචාරයක් දක්වපු කෙනෙක් නෙවෙයි. කොටින්ම මම අපේ ගෙවල් පැත්තේ සම වයසේ අනිත් ගෑනුලමයි , පිරිමි ළමයි එක්කවත් වැඩි ඇයිහොඳය්යක් පවත්වපු කෙනෙක් නෙවෙයි. අපේ අම්මට ගමේ මිනිස්සු සලකන හින්දත්, අපේ අය්යා ගමේ කාගේත් හිතවත් චරිතයක් හින්දත් මිසක්, මම නම් හිතන්නේ මාව වැඩිදෙනෙක් අදටත් අඳුනන්නේ නැතුව ඇති. ඒ ඔක්කොම මගේ සුපුරුදු ඉබි ගතිය හින්ද.

Friday, August 29, 2014

74. ගෙයි ගින්දර



ගෙයි ගින්දර පිටට දෙන්න හොඳ නැහැ කියනවා නේ...

කෝ කොහෙද? කවුද එහෙම කිව්වේ?

ඇයි අනේ.. ඔය ඩිගිසි සින්දුවලත් තියෙන්නේ 'ගෙයි ගින්දර පිටට දෙන්න බැහැ ඒකයි ඉවසන්නේ......' කියල මැරෙන්න හදන්නේ...

අනේ ඔව්.. මම ඔය ඉස්සර කාලේ කට්ටිය - කට්ටිය කිව්වේ වැඩිහිටියෝ - කියල  තියෙන දේවල් ඇහිපිල්ලමක්වත් වෙනස් කරන්නේ නැතුව කරන අහිංසක සුකුමාර කෙල්ල හින්ද මමත් ඔය වැඩේ නම් කරන්නෙම නැහැ...

මොන වැඩේද ඈ ?

ඔය ගෙදර ගින්දර ගැන කියන වැඩේ....? (ඒ විතරක්ද... එයාල කියන අනික් ගොඩක් වැඩත් .. හි.. හි..)

Thursday, August 28, 2014

73. උණුවතුර ළිඳ

මම බට්ටම බට්ටා කාලේ, අපේ ගෙදර හදන කාලේ වෙච්ච එක දෙයක්.

ඒ දවස්වල අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ. බාසුන්නැහැලා රොත්තත් හිටියේ එළියේ වෙනම හදපු මඩුවක. ඒ මදිවට දුරින්- ළගින් නෑයෝ වෙන කොල්ලෝ කෙල්ලෝ අපේ ගෙදර ගොඩක් හිටියේ අපේ අම්මා උන්ට උසස් අධ්‍යාපනයට උදව් කරපු හින්ද. උන්ගේ උසස් අධ්‍යාපනේ කොතරම් විශිෂ්ටව අවසන් උනාද කිව්වොත් ,එකෙක් ඇරෙන්න ඔක්කොම උන් ගියේ PhD ගහල. ඉතුරු උන එකා විතරයි ඉංජිනේරු පීඨයෙන් ඩිග්රියක් අරගෙන ගියේ. PhD උන් ඉතින් (Permanently Head Damage) වෙලා කෙල්ලෝ නම් කොල්ලෝ සෙට් කරගෙන, කොල්ලෝ නම් කෙල්ලෝ සෙට් කරගෙන තමයි ගියේ. ඒ අපේ අම්මගේ බුරුල!

ඒ මදිවට අපේ ගෙදර මේ උන්නු සෙනග හැටියට තිබ්බ බාත්රුම් 2 මදි හින්ද එළියේ නිදහසේ නාන්න තඩිම තඩි බැරල් කීපයක් තිබ්බා. එයින් එකක් අපේ අත්තම්මගේ ඔෆීෂියල් බැරල් එක. අනිත් එක පොදු ළිඳ වගේ තිබ්බ බැරල් එක. අපේ අත්තම්ම උදෙන්ම එයාගේ බැරල් එකට වතුර හෝස් එකෙන් පුරෝනවා. ඔය බැරල් තිබ්බේ උඩතට්ටුවේ කොන්ක්‍රීට් එක උඩ හින්ද ඔතනට දවල්ට ගිනියමට අව්ව වැටෙනවා. අව්ව වැටිලා දවල් 2-3 වෙනකොට වතුර ටික නිකන් ඇඟ සනීප වෙන ගානට රත් වෙනවා. අම්මේ එහෙම සනීප වතුරක් උණුවතුර ළිංවල විතරයි ඇත්තේ.



ඔය බැරල් දෙකෙන් හොඳටම අව්ව එන්නේ අත්තම්මගේ බැරල් එකට. ඒකට අතගහන්න ලැබෙන්නේ නැත්තේ, අත්තම්ම කියන්නේ හැමදාම නාන කෙනෙක් හින්ද වතුරටික රත්වෙනකොට මොනවා තිබ්බත් අත්තම්ම වෙලාවට නාන්න සැපත් වෙනකොට රත්වුණු වතුරටික තියන්න එපැයි !. පච කියන්නේ මොකටද, මම ඉස්සර හැමදාම නාපු කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් මම මේ කියන වයසේදී. දවසක් ඇර දවසක් තමයි මාව අත්තම්ම නාවන්නේ. ඒකත් පහල බාත්රුම් එකේ. මට ඇහෙනවා අපේ අක්කලා, අය්යලා , අර නතර වෙලා හිටපු නෑදෑයෝ වෙන උන් ඔක්කොම කැකිරි පල පල ඔය බැරල් එක ගාව නානවා පැය ගණන්. බට්ටෙක් උන මාව කවුද ඔතනට වැද්දගන්නේ? මට දැන් හෙන අවුල්......

මමත් නාන්න ඕනේ ඕකෙන්......



බට්ටෙක් උනාට ගේමක් නැතුව පරදින්න මමත් කැමති නැහැ. මම මොනවා උනත් හිතල ප්ලෑන් එකක් ගැහුවා... ප්ලෑනේ හැටියට කට්ටිය අඩු දවසක් බලල, මම හෝස් එකෙන් බැරල් එකට වතුර පුරෝලා , හොඳට රත් උනහම ඇති තරම් දියබුන් ගහන්න ඕනේ! ඕ යේ!!!!!! කොහොමද ප්ලෑන් එක? අනේ මේ... අවුරුදු 5ක් වත් නැති බට්ටේක්ට ඔයිට වඩා ගේමක් දෙන්න බැරි නැති උනත්, මගේ සුකොමල මොලේට ආවේ ඔච්චරයි..

Wednesday, August 27, 2014

72. බීරිවෙන නිහඬබව



සද්ද බද්ද නැති දහවලක්
තියෙන දවසක
සවසක...
ඉරක් විතරක්
තිබ්බ අහසක
වෙරළක...

Saturday, August 23, 2014

69. වැහිකබා කාරයා ඇවිත්



කෝ කොහෙද තිබ්බේ

ඉස්සර මං හිතපුගමන්
හොයාගත්ත - එක මොහොතෙන්

වැඩිමනත් පරිස්සමට
අරං තිබ්බ බව මතකයි

කොහේ කොයි මුල්ලකට
හැඟුවද මතක නැහැ...

අඩු තරමේ
හංගපු තැනකවත්
සලකුණක් - මතක නැහැ

Friday, August 22, 2014

68. වැස්සක් කල හදියක්



කොලපාට බිස්ස නමාගෙන
වහිනවා එක දෝරෙට
ඇතුලේ හිටියත් නොතෙමි
තෙමෙනවා මම
වැස්සේ - හොඳටම !

67. ක්‍රීඩා තරග මාධ්‍ය ආවරණය

මම කැම්පස් යනකාලේ....

අනේ මේ.... හැමදාම ඔය පම්පෝරිය කියවන්නේ නැතුව කියනවකො කතාවක්, හරියට...

ඔන්න ඒ හින්ද මම ලියනවා වෙන විදියකට. අපේ අක්කත් එක්ක බෝඩිමක ගෙවපු කාලයක් තිබ්බ.

ඒ කාලේ තමයි කාලේ.



ඒ කියන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි, අපේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ පලාලි කෑම්ප් එකේ අවුරුදු ගානක් ලැබෙන පුහුණුවට වඩා ඉවසීම, විනය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මතක ශක්තිය ඕය එකී මෙකි සියලු දේ ගැන අත්දුටුවයි සත්තයි ජාතියේ පුහුණුවක් ලැබෙනවා ආයේ ජීවිතේට අමතක නොවෙන්න. අනේ ඔව්...

බොරුනම් අහල බලන්නකෝ අපේ අක්කගෙන්ම.. එයා කියයි එයා තරම් කිසි අවුලක් නැති රූමියක් වෙන කොහෙවත් නැහැ කියල.. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ..

වැඩි කතාවක් බහක් නැති මම කොහොමත් බෝඩිමට එන්නෙත් බිං කරුවල වැටිලා, කැම්පස් එකේ දොරවල් වහන වෙලාවට. ඒ වෙනකොට අපේ අක්කා බෝඩිමේ සියලු නෙට්වර්ක් සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන , උන්ගේ කෑම පිඟන් වලටත් වැඩේ දීල මම එනකල් දොර දිහා බලන් ඉන්නවා. මේ බෝඩිමේ හරි අපූරු දේවල් සිද්ධවුනා. වෙන වෙනම කියන්නම්කො.

මම කියලත් ඇති මේ බෝඩිම කියන්නේ බෝඩිම් අයිතිකාර ආන්ටිගේ පරණ මහ ගෙදර. එයාලගේ අලුත් ගෙදර තිබ්බෙත් ඒ වත්තෙමයි. එකම ගේට් එක තිබ්බේ. මුළු ගෙදරම එක එක රූම්ස් , වෙන වෙනම කෙල්ලොන්ට දීල තිබ්බේ. අපි වගේ ගොඩක් රූම්ස් ෂෙයාර් කරලා තිබ්බේ සහෝදරියෝ. සමහර රූම්ස් තනියෙන්.



බෝඩිමේ ආන්ටි හෙන නීතිකාරි. ඒ හින්ද හරි පරිස්සමෙන් තමයි වැඩකරන්න ඕනේ. බෝඩිමට මුලින් එනකොට අනිවාර්යයෙන් දෙමවුපියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් භාරදෙන්න ඕනේ. ගේට් එක ඇරෙන සද්දෙට කොහේ හරි ඉඳන් එයා එබිලා බලනවා, කවුද, කොයි වෙලේද , කොහොමද ආවේ කියල. කිසිම අමුත්තෙක් වැද්දගන්න තහනං ! ඒ වගේම ඉතින් විනය කියන්නේ ( කෙහෙල්මල්  විනය) එයාට නැතුවම බැරි දෙයක් කියලයි කියන්නේ. කතාවට වැඩිය සෙට් උනත් අවුල්, නැතත් අවුල්... මම නම් කලේ කිසිම ඉන්ටරැක්ෂන් එකක නොකර ඒ කොටස අපේ අක්කට බාරදීලා  බිල්ලෙක් වගේ ඉන්න එකයි. අපේ අක්කටත් ඉතින් ඒවා පුළුවන් එල කිරිවට! ආලවට්ටම් දාල ෂේප් එකේ ඉන්න දන්නවා, ඉතින් මම මොකටද නිකන් පෙට්‍රල් පුච්චගන්නේ?

Thursday, August 21, 2014

66. කාන්ති - 02

මෙතෙක් කතාව 

මට හරියටම මතක නැහැ ඊට පස්සේ මොනවද උනේ කියල. පස්සේ දැනගත්ත විදිය විතරයි කතාව ගොතාගන්න උදව් උනේ. මට හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙන්න ඇති. කොහොමත් වැඩිහිටි දේවල් අපේ කනට (මගේ) නොඑන්න හැම වෙලේම අපේ අම්මි සැලකිලිමත් උනා කියලා නම් මට මතකයි.

කාන්ති එකපාරටම අපේ ගෙදරින් අතුරුදහන් උනා.



මගේ සගයා නැති උන හින්ද මම නිහඬවම දුක් උනා. කොහොමත් මම පොඩි කාලේ ගෙදරදී මගේ හැඟීම් එලියට පෙනපු කෙනෙක් නෙවෙයි. කාන්ති ගෙදර නැති එකෙන් මම මගේම කටුවක ඇතුලට වෙලා ඉන්න එක තමයි කලේ.

ඔහොම ගියපු දවසක.....

65. කාන්ති - 01

කලින් කතාවක් ලියනකොට මතක් වෙච්ච තව කතාවක් උනාට මට මේ කතාව මගේ ජිවිතේ වැඩිපුරම ආවර්ජනය වෙච්ච කතා වලින් 'එකක්'..

කලින් මම අපේ ගෙදර හිටපු සේවිකාවන් ගැන කියනකොට යන්තම් කියල නොකිය හිටපු කතාව තමයි මේක. මොකද ඒ මුඩ් එකයි, මේ මුඩ් එකයි හොඳටම වෙනස් හින්ද.

මම දන්න කාලේ ඉඳන්ම අපේ ගෙදර අපේ අත්තම්ම ( අම්මගේ අම්ම ) හිටිය. එහෙම උනේ මම හිතන්නේ මගේ අත්තා මියගිහින් තියෙන්නේ අපේ අම්මි කැම්පස් ඉන්න කාලෙම හින්ද, අත්තම්ම එයාගේ මහගෙදරින් පිටමන් වෙලා අපේ අම්මි යන යන තැනට ආපු හින්ද. රජයේ නිලධාරියෙක් වෙච්ච අපේ අම්මිට, අපිව අත්තම්මට තියල යන්න තමයි වෙලා තිබ්බේ.

ඒ මදිවට කියන කියන පළාතට මාරු වේවි, එක එක පළාත්වල මිනිස්සු අතරේ අප අම්මි ගතකරන්න ඇත්තේ මහා කටුක ජිවිතයක් කියල මට නම් දැන් හිතෙනවා. උපතින්ම හම්බානක මලපනින අප්පච්චි අන්තිමට රජයේ රස්සාවට පයින් ගහල රට ගියාට පස්සේ ඒ ජිවිතේ තවත් කර්කශ වෙන්න ඇති. තනියෙන් දරුවෝ තුන්දෙනෙක්ගෙ වැඩ කරනවා කිව්වම? ඒ අතරේ රස්සාවත් කරගෙන? කොතරම් සල්ලි ලැබුනත්, මම නම් හිතන්නේ ඒ කර්කශ බව අඩුවක් නැතුව ඇති. දැන් කාලේ වගේ ඒ වගේ සිද්ධි කොමන් නැහැ නේ....

Tuesday, August 19, 2014

64. සීයාගේ කැඩිලැක් ටෙරටරිය

වයසක සීයලා පාරේ ඩ්‍රයිව් කරනකොට ඔයාලට මොනවා හිතෙනවද?



ඇත්තම කිව්වොත් තමන් කව්ද, ඉන්න තැන සහ කරමින් ඉන්න වැඩේ අනුව හිතෙන දේවල් කැරට් - බීට් වගේ වෙනස් වෙනවා... කොටින්ම කිව්වොත්


  • ඔයා තරුණ කොල්ලෙක් නම් - මේ පිස්සු හුටන් මොනවා කරනවද මන්ද... මොකට එලෝනවද මන්ද 
  • ඔයා ඊට පස්සෙන් යන කෙනෙක් නම් ( ඕනෑම ජෙන්ඩර් එකක්) - $##^%^(!@# අම්මප මුව හප්පලා දාන්න බැරිහැටි! එක ලේන් එකක යන්නෙත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ 
  • පාරේ යන මගියෙක් නම් - මේ මිනිහද පාරේ? මමද පාරේ? බ්‍රේක්ද ? නැද්ද? මාව හප්පයිද? මූ හැපෙයිද ?
  • ඕනෑම වයසක පුරුෂයෙක් නම් -  අඩේ අප්පා, මුගේ වයසටද මේ ඈ ? 
  • ඒ රිය ඇතුලේ ගමන් කරන (අසරණ) මගියෙක් නම් - මම තව පව් කරලා තියේද? මේකෙන්ම ගෙවෙයිද? හැප්පිලා මැරෙනවද? මැරෙනකොට හිනා වෙලා මැරෙනවද? අන්තිම වතාවට සමාවගන්න, ආදරෙයි කියන්න බැරිවුන කවුරුත් ඉන්නවද? 
  • මම වගේ අන්දොස් කෙල්ලෙක් නම්- අනේ හෙන කියුට් අනේ... මෙලෝ විචාරයක් නැහැ.. දාන්න හිතෙනවා වෙට්ටුවක්!


ඔය වගේ දහසකුත් දේවල්!

Monday, August 18, 2014

63. 1ට කලින් 2

එකපාරක් කියල කට/අත ගන්න ලැබුනේ නැහැ.. ආයෙත් ඒකම කරලා!

හැබැයි මේ පාර නම් තත්වේ දරුණුයි... කරලා තියෙන්නේ සැලසුම් සහගතව.

කොච්චර සියුම්ද කියනවා නම් ෂර්ලොක් හෝම්ස් දැම්මත් හොයා ගන්න බැරි වෙයි කොහොමද මේක කරේ කියල. මට දැන් අලුතෙන් හිතන්න වෙලා කොහොමද මගේ දේවල් පුළුවන් තරම් රහසිගතව තියාගෙන ඉන්නේ කියල.



කියන්න බැහැ , ලියන්න බැහැ , අඩුම තරමේ හිතන්නවත් බැරි වෙලා...

මම කියලත් ඇති මගේ පරිකල්පන හොරාගෙන ලොකු ලොකු අය කරලා තියෙන දේවල් ගැන. කොටින්ම මගේ පේටන්ට් නොදී හිටපු ගැන. ඒකත් කමක් නැහැ කියමුකෝ...

දැන් වෙලා තියෙන්නේ ඊටත් එහා ගියපු වැඩක්...

කොටින්ම කියනවා නම්,

Wednesday, August 13, 2014

62. මගේ හැටි



කිසිවක්
එක ලෙසකට
කරගත නොහැකි

පුදුමාකාර නැට්ටුක්කාරකමක්
මට
ඇත !!!


Sunday, August 3, 2014

61. එන්න කණ්ණාඩියෙන් මුණ බලන්න!

මගේ ගොඩක් ලියවිලි වලට ප්‍රස්තුතයක් සාමාන්‍යයෙන් තියෙනවා.

මේ ලිපියේ ප්‍රස්තුතය ගැන කිව්වොත් - මේක කාලයක් තිස්සේ මගේ ඔලුවේ වැඩකරපු දේවල් වලින් එක කාරණාවක් හින්ද හරියටම කියන්න බැහැ 'මේකයි' කියල. ඒත් මෑතකාලයේදී මට වුනු, වටේ සිද්දවුනු දේවල් මේක ලියල තියෙන එක ස්ථිර කරා කිව්වොත් තමයි නිවැරදි. මේක ලියන්නේ කාටවත් රිද්දන්නවත්, ඇඟිල්ල දික් කරන්නවත් නෙවෙයි. මට හිතෙන විදියට අපි අපි ගැනම හැරිලා බලන්න ඕනේ වෙලාවට, අපි කැඩපතක් පාවිච්චි කරනවා වගේ   මෙහෙම දේකින් අපි තමන්ගේම ස්වයන් විවේචනයක් කරගන්න එක වටිනවා. මොකද ගොඩක් වෙලාවට පිට කෙනෙක් කරන විවේචන දරාගන්න බැරි හින්ද.



මමත් ඉස්සර විවේචන වලට කැමතිම නැහැ. එහෙම වෙන්න මම හිතන විදියට බලපාපු කාරණා කීපයක් තියෙනවා (මට).


  • එකක් තමයි, මට විවේචනයක් එල්ල කරන්න තරම් 'පොරක්' මට හමුවුනේ කලාතුරකින් හින්ද මගේ 'මම හරිමයි' කියන විශ්වාසය  , 
  • අනිත් එක තමයි විවේචනයක් ආවොත් ගොඩක් වෙලාවට ඒක 'කන්ස්ට්‍රක්ටිව්' නොවී මාව බිම දමන්නම එල්ල කරන ප්‍රහාරයක් මිසක් ( හරියට පුද්ගලික පළිගැනීමක් වගේ) එතැන වෙන අවකාශයක් , සංවාදයක් ඇතිවෙන්නේ නැති හින්ද කියන්නේ මොනවාද කියන එකට මගේ කිසිම අවධානයක් නොදැක්වීම.


Wednesday, July 16, 2014

60. පූස් පින

මගේ කැම්පස් එකේ අවසන් කාලේ කැම්පස් එක අද්දරම වගේ තිබ්බ බෝඩිමට හිටිය. සමහර අයට මතකත් ඇති මම ඒ ගැන ලියල තියෙනවා මිට කලින්

අනේ මේ පණ්ඩිත නොවී ඉන්නවා, තමුසේ ලියන හැම මගුලම මෙහෙ එන උන් කියවන්නේ නැහැ. ඊටත් ඔයිට වඩා කොච්චර ජාති වෙන ඒවගේ තියෙනවාද, ඔක්කොම ටැපලෙනවා නේ කියෝන අයට.. ඔව්ව මතක තියන් ඉන්නේ කවුද?  -ඕනේ නම් දානවා ලින්ක් ටිකක් පහළින් .. අනුකම්පාවක් හිතෙන උන් එතනට ගිහින් බලාගනී.. හිහ්  -
ඒ අපේ අය්ය උඩ තියෙන එක වාක්‍ය දැක්ක ගමන් කියන වාක්‍ය ටික !

ඔන්න එහෙනම්, මම ලිව්ව අර බතලයාගේ කතාව? , ඒ කතාවේ බෝඩිම තමයි අද කතාවෙත් පසුබිමෙන් ඉන්නේ.

එහෙනම්  කියන්න ඕනේ නැහැ නේ, අනිවාර්යයෙන් ඔය කතාවේ පැන්ඩා ඉන්නවා කියල.. හෙහ්.. පැන්ඩා නැති කතාවක් ඔය බෝඩිමෙන් හොයාගන්න හරිම අමාරුයි. මොකද, මම කොතනද, පැන්ඩා එතන... පැන්ඩා කොතනද මමත් එතන.. ඒ වගේම මොකක් හරි පිස්සු වැඩක් කොතනද.. අපි දෙන්නම එතන!
පැන්ඩා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම්..... දන්නා අයගෙන් අහගන්න.. මට ලියන්න ගියොත් අන්තිමට ආපු එක ලියන්න වෙන්නේ නැති තරමට ඔය බඩ්ඩ ගැන රස කතා පොදියක් තියෙනවා.

Tuesday, July 8, 2014

59. උපේක්ෂාගේ රහස

තකතීරු වැඩක් කරලා හම්බානක නට්ටන් වෙලා , නහය ළඟට ගිලිලා ඉන්න වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද?

තවත් ඒ වගේම තකතීරු වැඩක් කරන එක!!! 

හෙහ්.. හෙහ්... මොකද දන්නවද? නහය ලඟට ගිලිලා නම් ඉතින් අහවල් දේකට කරදර වෙනවද? ඊට උඩින් කොච්චර ගියත් එකම සෙතේ...
'හොඳ වැඩේ උඹට... හෙහ්.. මම කිව්වා ඔය මගුල ලියන්නේ නැතුව මෙන්න මේ මගුල ලියන්න කියල, ඇහුවද? ඇහැව්වද ??'

ඔන්න මගේ ඇතුලේ උන්නු එකෙක් මට ඔහොම කිව්වා... ඒ හින්ද ( ඌට ඕනේ හින්ද) මම මේ මගුල ලියනවා..

එහෙමමත් නෙවෙයි, කරපු තකතීරු වැඩේට හුඟක් කලින් ඉඳලයි මම මේ වැඩේට තප්පුලන්න පටන් ගත්තේ. කාර් එකේ, බස් එකේ යන ගමනුත් ; ලොම්බ විකන ෆැෂන් හින්ද අමාරුවෙන් යන වෙලාවල් වලදීත් මට අනේක වාරයක් මේක මතක් වෙනවා..

අද ලියනවා, හෙට ලියනවා කිය කියා හිටියට කෝ කොහෙද ලැබුනේ නැහැනේ. මොකද්ද දන්නවද? ඒක සහසක්! සහස තමයි...



'මම හෙන නාකිච්චියක් අනේ!'

Monday, July 7, 2014

58. නිල් නුවන් - 02

පළමු කොටස 

ප්‍රධාන පාරෙන් රථය හරවා මැයිමාර ගස් අතුරේ දිවෙන නිස්කලංක මාවතේ මද දුරක් රථය පදවාගෙන එන නුවන්ගේ සිත ශරීරයෙන් වෙන්වී ඇත්තා සේය.  වෙනදාට මෙහි එන ඔහුගේ සිතත්, අද සිතත් හාත්පසින්ම වෙනස්ය.

රථගාලේ රථය නතරකල නුවන්, සුක්කානම පොඩිපට්ටම් කරන තරමේ ආවේගයකින් එය මිරිකාගද්දී, අනායාසයෙන් ඇස් වලින් කඳුළු කුට්ටි කිහිපයක් ඔහුගේ කමිසයට වැටුනේ, මුරුගසන් වරුසාවක දිය බිඳු විලාසයෙනි. සෙමින් හිස සුක්කානමේ ඉහල කෙලවරේ රැඳවූ ඔහු, කුඩා දරුවෙකු සේ ඉකි බිදින්නට විය. ගතවුයේ මිනිත්තු කිහිපයකි, සෙමෙන් හිස ඔසවා සිහියෙන් කඳුළු පිස දැමු ඔහු, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනය ඔබා කනෙහි රඳවා ගත්තේය.

"අම්මේ... මම මේ... අහ් ... ඔව් ඔව්... මම පොඩ්ඩක් පරක්කු වෙයි. සෝමදාස කිව්වද?"

අනෙක්පසින් ඇසුන තම මවගේ හඬ සුපුරුදු සිතල කෝමාරිකා ඇතිරිල්ලක්ම විය.

"හොදයි පුතේ.. පරක්කු වෙන්න එපා. රෑ උනහම බීපු උන් පිස්සෝ වගේ එළවන්නේ "
"නෑ , පරක්කු වෙන්නේ නැහැ."

ඇමතුම විසන්ධි කොට සුපුරුදු සන්සුන් විලාසයෙන් හාත්පස බැලූ ඔහු, නැවත රථය හරවා ගත්තේ ආරක්ෂකයා පුදුමයෙන් බලාසිටියදිමය. 

උමයංගනා ... උමයංගනා.....

Saturday, July 5, 2014

57. නිල් නුවන් -01

වෙනදාටත් වඩා වැඩ අඩුවෙන් කලත්, තෙහෙට්ටුව නිසා කලින්ම කාර්යාලයෙන් පිටවුණ නුවන් ඈතින් දකිත්ම ඔහු අසලට දුව ආ රියදුරු ඉක්මනින් අතේ වූ පරිඝනක බෑගය අතට ගෙන දොර විවර කර දුන්නේය.

"සෝමදාස, අද සුපර්මාකට් යන්න ඕනේ , හන්දියේ  නෙවෙයි. එහා තියෙන එකට. අක්කට ඕනේ කිව්වා එතන තියෙනවා කියල බඩුවගයක් "

සෝමදාසගේ සිනහවෙන් මදක් සමහන් වුනු සිත අතගාමින් නුවන් පසුපස ආසනයට බරවිය. වෙනදාටත් මේ වැකිය සොමදාසට හුරුය. එලෙසම මෙවන් විඩාපත් මුහුණත්! නුවන් මහත්තයා ගැන ඔහු තුල ඇති පහන් හැඟීම වසර ගණනාවක් තිස්සේ තිරව පවතින්නට ඒ කිසිවකින් බලපෑමක් නොවුනද, ඔහු ගැන අනෙක් රියදුරන් එක්කාසුවන රථගාලේදී පලවන අදහස් මැඩීමට ඔහුට හැකියාවක් නැත.

රිය පණගන්වා ප්‍රධාන පාරට හරවා, පදවාගෙන යන අතරතුර සෝමදාස වරින්වර කණ්ණාඩියෙන් පසුපස අසුනෙහි සිට නිසොල්මන්ව දෑස පියාගෙන ඉන්න නුවන් දෙස බැලුවේ යමක් කියවන්නට මෙනි.

".. ඔය කිව්වට ලොකු මහත්තුරු... හෙහ්.. අපි නොදන්නවාද.. නැතුවද ගෑණු රට වටේ.... හෙහ්.. හෙහ්... පේනවනේ අපේ මහත්තය.. හෙහ් හෙහ්... ගෙදර පුස වගේ.. බලන්ට එපෑ ඔපිස් එකේ... හාහ් හාහ්.."

නිමල් ගේ වදන් ඔහුගේ කන් වල දෝංකාර දෙන්නා සේය. වසර පහක් තිස්සේ තමන් සේවය කලත්, ඔවුන් කියන ආකාරයේ අසම්මත සබදකම් තමන්ගේ කිසිම ගමනකදී හෝ නොදැනුණි. පෙනුමෙන් වුවත් කිසිවෙකුත් වරකට වඩා හැරී බලන ,තවමත් විවාපත් නොවුණු ස්වාමියෙක් ඉන්නා එකම රියදුරු තමන්ද?

56. කණගාටුව

පොඩි සෙටින් අවුලක් හින්ද, මගේ draft පොස්ට් වගයක් පොස්ට් වෙලා.. සිදුවූ අපහසුතාවයට මගේ කුණාටුව !! සමාවෙන්න 

Friday, July 4, 2014

හදේ කොතැනක හෝ හිඳී ඔබ....

සුපුරුදු විදියට මගේ මග සලකුණු ඔස්සේ එන යහළුවන්ගේ , (ඔව් ඔහුගේ යහළුවන් ) නොයෙකුත් කටහඬවල් වලින් අතරින් පතර විසිවෙන , මා සම්බන්ද විහිළු... මගේ නිහඬ , තනිවම සිනාසීම්.... මේ පුරුදු පාර... ඔව්.. ඔහු.........
සුපුරුදු පරිදි ඔහු!

ඔහු..... දැනට වසර එකහමාරක් තිස්සේ මගේ සෙනෙහස ඉල්ලමින් එන , මෙලංග!

"දකුණට සිග්නල් දාල හරවන්න, අන්න අතනින් පාක් කරලා.. ය.. මූ....."

කියාගෙන මා පසුකරගෙන ගිය ඔහුගේ යහළුවන්, සුපුරුදු පරිදි කැෆටේරියා එකේ ඉහළ මාලයට යන තැනින් නතර වුනා. මම ගියේ පයින්, සිග්නල් දානවා කියන්නේ මගේ යහළුවන් මගහරින්න බව මම නොදන්නවාද? කැෆටේරියා එක ඉදිරිපිට සිට ඉහළ මාලයට නගින ඔහුගේ කකුල් පමණයි දැන් පෙනෙන්නේ..

" මට අද යන්න ඕනේ... බස් නැතිවෙයි"

මම මෙහෙම කියන්නේ ඔහුගේ යාළුවෙක්ට , නමින් 'ඉන්ෆාස්'

" අරූ එහෙනම් උඩ තට්ටුවෙන් පනී , මළගෙයක් වෙන්නේ එහෙනම් මෙතන! අය්යෝ මේ.. උඩට යනවද.. අපි ගෙනිහින් දාන්නම් ඕනෙනම් ගෙදරටම"

ගැලවිල්ලක් නැති කතා! ඕනෙම දේකට උත්තරයක් ඇති කටක් වේනම් ඒ ඉන්ෆාස් ගේ කටයි! මාව පඩිපෙළ  ලඟට විසි උනා.. හැමදාම වගේ පපුව ඇතුලේ බේස් ඩ්‍රම් ගහනවා කව්දෝ.. 'ඩික් ... ඩික් ...' පඩිපෙළ උඩම පඩියේ හිටගෙන මගේ දිහා බලන් ඉන්න ඔහු!
"කොහොමද"

මාව දියවෙලා වැක්කෙරෙන්න ගත්ත. බෙල්ල ලඟින් බිමට නැමුන, කන් දෙක රත් වෙලා... මූලික රෝග ලක්ෂණ ඔක්කොම! වෙලාවට ඔහු වගේ සුදු නොවුනේ.. කම්මුල්, කන් රතු වෙලා කියල පෙනෙයි..
"හො .. ද.. යි.."

"උඩට එන්න, බය වෙන්න එපා... අරුන් ඉන්නවා පහළ...."

ඔහුගේ ආරක්ෂක බටයෝ!

".... එනවද?... මම......"

ඊළඟට කියන්නේ මොකද්ද දන්නා හින්දම මම උඩ පඩියට පැන්නවුනා. මිට කලින් දවසක, එන්න කිව්වම ආවේ නැති වරදට මගේ අතින් අල්ලලා උඩට ඇදල අරගෙන වෙච්ච සන්තැසිය මට අමතක නැහැ.

එදා ඔහු මාව තුවාල කළා... අතපය නෙවෙයි, හිත!! මම විදෙව්වා හොඳටෝම!!

කැෆටේරියා එකේ උඩ  තට්ටුවේ කිසි කෙනෙක් නැති බව මට විස්වාසයි.. එහෙම තමයි හැමදාම වෙන්නේ.

"I want you to meet,  'Kalana'.."
මගේ ඔළුව ඉස්සුනේ විශ්මයෙන්... ඔළුව ඔසවනකොටම පුටුවක් තල්ලු කරගෙන නැගිට්ට 'කලණ ' මට අත දිගු කළා ...

"Hello, nice to meet you"

විශ්මයෙන් හිටපු මගේ දිහා මෙලංග හිනාවක් සමග බැලුව

".... උඹ හිතුවද ෂේක් හෑන්ඩ් කරයි කියල?"
"ඔහ් වැරදුණා .... ඔව් ඔව් අහල තියෙනවා ඔයා ගැන, ඔයාගේ 'හැටි' ගැන"

ඔහු දිහා කෙලින් බලාගෙන හිටපු මට ඔහුගේ දීප්තිමත් හිනාව පාමින්, ලජ්ජශිලිව කලණ තමන්ගේ දිගුකල අත හකුලවා ඔලුව පිටුපසට ගෙනිච්චා.
'අපූරු හිනාවක්! හරි අපූරු ඇස් බැමි!!'

කලණ ඔහුගේ පළමු දැක්මෙන්ම මගේ ඇස් අලව ගත්ත.

"මෙයාට ඔයාට කියල එයාගේ කතාව ලියෝගන්න ඕනෙලු" මෙලංග කිව්වා.

මම ඔලුව හරවලා කෙලින්ම කලණ දිහා බැලුව. මෙලංගගේ වගේ මාව කම්පනයට පත් කරන පෙනුමක්, බැල්මක් කලණට තිබ්බේ නැති හන්ද මට එහෙම කරගන්න පුළුවන්කමක් තිබ්බ. කොහොමත් ප්‍රබල පර්සනලිටි ඉස්සරහ මම කම්පනය වෙනවා.. වෙන සංක්යාතයකින් !

කලණ ගේ මුහුණ බලන් ඉන්නකොට වෙනස් උනා..

මාව පළවෙනියට මුණගැහුණ කලණ තමයි ඒ....
ඒ මදිවට ඔහු වගේම පෙනුමක් තියෙන 'චලන'ත් මට හම්බ උනේ එදා තමයි. කලණ - චලන දෙන්නා ට්වින්ස් ලා!!! මේ දෙන්නගේ වෙනස හොයන්න මටත් කාලයක් ගත වුනා. වැඩ අතින් තමයි වෙනස් !

මොඩ්ල් කෙනෙක් වගේ පෙනුමක් තියෙන ඔහු..

රැලි ගැහුණු කොන්ඩේ , පිටතින් මුහුණේ අලවාගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාව! සරාගී ඇස් සිමාවේ තිබ්බ අපූරු ඇස් බැමි... ඔව්.. කලණ ට ඕනේ කරලා තිබ්බේ එයාගේ කතාවක් මට කියල ලියෝ ගන්න.. මම ලියන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිත කතාවක්! කවදාවත් කරලා නැහැ..

"දැන් මම හැම දෙයක්ම කියන්න ඕනෙද?"

කලණ මගේ දිහාත් මෙලංග දිහාත් බලන ගමන් ඔලුව කස කස ඇහුව

"මචං... කිස් කරපුව... මිරිකපුව වගේ ඒවා කියන්නේ නැතුව වෙන සිද්දි ඔක්කොම කියපං "

මෙලංග  ගත කටටම කිව්වා. මගේ කන් දෙකෙන් දුන් පැන්න... දෙන්නම හිනාවෙනවා.. මම ආපහු හැරුන

".... අම්මෝ හරි හරි.... යන්න එපා යන්න එපා.... ඕනේ දෙයක් කියපන්, ඕනේ දෙයක් අහගන්න... ඔන්න මම මුකුත් කියන්නෑ "

අත් දෙකම උඩට උස්සල මෙලංග යටත් උනා. මටත් හිනා, මම යන ගමන නතර කරලා ඉක්මනට මුහුණට බොරු රව්ද්‍ර ගතියක් මවාගත්ත.

එතැන් පටන් හැමදාම මෙලංගත් සමග කලණ ත් මාව මුණගැහෙන්න ආව.

කලණගේ කතාව මම ලිව්වේ එහෙමයි. අන්තිමට ඔහු මගේ ළඟම හිතවතෙක් උනා. හැම දෙයක්ම ඔහු මට කිව්වා. ඔහුගේත්- නිකිණිගේත් අනුවේදනීය පෙම් කතාව!!

ඒත් මම ??

"ඔයා මොනවද මෙලංග ගැන හිතන්නේ?"
කලණ එක දවසක් මගෙන් ඇහුව. මම අහක බලාගත්තා

"කියන්න බැහැ කිසිම දෙයක්"
"දැන් අවුරුදු දෙකකටත් ලඟයි නේද අහන්න අරගෙන"
"හ්ම්ම්ම්...." මගේ පපුව දැවෙන්න අරගෙන, ගම්මිරිස් ඇතිල්ලුව වගේ..
"ඌ ඔයාට පණ යන්න ආදරෙයි... "
"ඒක තමයි ප්‍රශ්නේ" මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට..

කලණ හිනාවුනා...
" වෙන කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ නැහැ මැට්ටි.."
"මම දන්නවා මැට්ටෝ.."
"මම දන්නවා ඔයාට වෙන කවුරුත් කොල්ලෙක් නැහැ කියල, ඇයි මෙලංගව..."
"... මඩවන්නේද .." මම ඔහුගේ වචනේ සම්පුර්ණ කළා

"නැහැ.... ඇයි ඌව එපා කියන්නේ? "
"ඒ ගැන කතා නොකර ඉන්න කලණ... මෙලංග මට හොඳ වැඩි.. ඔයා මට වඩා මෙලංග ගැන දන්නවනේ.."
"ඔව්.. මම හිතන්නේ නැහැ ඌ වෙන කිසි කෙල්ලෙක්ට මෙහෙම පස්සෙන් ගිහින් ඇති කියල... "
"කලණ ..."

මම ඔහුගේ කතාවට බාධා කරමින් කඩාපැන්න
".... ආයෙත් ඔය ගැන කතා කරන්න එපා... ඔයාගේ පොත තව දවස් තුනක් යන්න කලින් මම ඉවර කරනවා. හැබැයි, ඔරිජිනල් එක මගේ ගාව තියෙද්දී, ඕනේ නම් ෆොටෝකොපියක් ගහගන්න "

කලණ නිශ්ශබ්දව බංකුවෙන් නැගිට්ට
"තෑන්ක්ස්.... ඒ ටික ඔයාට කිව්ව එකම ඇති මට.. ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් උනා. මෙලංග හරි, උගේ තේරීමත් නිවැරදියි... ඔයා පුදුම කෙල්ලෙක්!"

එක පාරටම වාහනේකට වැදුන වගේ දැනුන. මෙලංග ! මම වගේ නපුරිච්චියක් !


-----------------
සාලිය කුමාරයා අශෝකමාලට තියෙන ප්‍රේමෙන් රජකම අතැරිය කියල මහා පොත් ඔක්කොගෙම තිබ්බත්, ඊට පස්සේ ඔහුගේ වීරකම්, පරිත්‍යාගයන් ගැන ලියවිලා තියෙනවද? කොහෙවත්?

දිදුලන්න ඕනේ තරුවක් තනියෙන් අයිති කරගත්ත කියල වෙන්නේ ආලෝකේ වෙනත් අයට නොදී ඉන්නෙක විතරයි... මට ඒක ඕනේ නැහැ... මම කැමති තරුව දිහා ඈතින් බලල, තවත් කෙනෙක්ටත් විඳින්න දෙන්න..

මෙලංග ..... ඔබ මේ බ්ලොග් කියෝනවද? කියවන්න එපා... මට මා ගැනම බයයි!

55. මම වෙනස්කරන්න ඕනෙද?

ජිවිතේ කවදාහරි දවසක, ආපහු හැරිලා බලනකොට.. සමහර කරපු කියපු දේවල් ගැන , හිතපු -දරපු මත ගැන පසුතැවිලි වෙලා තියෙනවද? ඊට වඩා වෙනස් ආකල්ප, ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්කම තිබ්බ නේද කියල හිතිලා තියෙනවද?

මම මෙහෙම කියන්නේ, ජිවිතේ සැන්දෑ කාලය ගෙවන අයට කියල හිතනවා නම් වැරදියි... මම මේ කියන්නේ වයසින් තාමත් විශ්‍රාමික දශකයටවත් පාතබල නැති අය ගැන.. කොටින්ම තරුණ අයට..

මොකටද එහෙම හිතන්නේ?

මොකටද එහෙම නොහිතන්නේ?

ගිය දේ ගියා, තියෙන්නේ ඊළඟට මොකද කරන්නේ කියලයි... මුල ප්‍රශ්නෙත් අහන ගමන් ඊළඟට එන සාධාරණීකරණ උත්තරේ ඒක තමයි.. එහෙම තමයි පොසිටිව් තින්කින් කියන්නේ... ඇත්තටම ඒක එහෙමද? ඒකද පොසිටිව් තින්කින් කියන්නේ?

දෙවනියට කියපු විදියට හිතුවොත්... අපි එහෙම පරණ දේවල් හිතල, හැදෙන්න බලන්න ඕනේ.. ආයෙත් ඒ වගේ සිටුවේෂන් එකකදී වෙනස් තීරණයක් ගන්න.. ඔව් එහෙම හිතන එක වැරදිද?

Saturday, June 28, 2014

54. 'වැඩකාරියන්' බලා ගැනීම

මේක මම ගොඩ දවසක ඉඳල කියන්න හිතාගෙන හිතපු දෙයක්... ඇත්තටම කාරණා දෙකක්..

එකක් මේක, අනිත් එක වෙනම ලියන්නම්. දෙකම එකට සම්බන්ධ උනාට, එකිනෙකට වෙනස් රසයන් වලින් යුක්ත හින්ද, කතා දෙකම එකට ලිව්වොත් වෙන්නේ දෙකේම රසය  නැති වෙලා යන එකයි.. හරියට පුළුන් හොරා කරෙන් දැනේ වගේ... කොහොමද මගේ උපමාව? එළටම ගැලපෙනවා කියල මම දන්නවා, අහන්න දෙයක් නැහැ... හැමෝම මගේ උපමා ගැන මිට කලින් ලවක් දෙවක් නැතුව වර්ණනා කරලා තියෙන එකේ... මේක වරදින්න විදියක් නැහැ නේ.. ඔව්.. ඒක තමයි!

ඉස්සර අපේ ගෙදර වැඩට හිටපු අය අතුරෙන්, මගේ මතකයේ හැටියට අන්තිමට හිටියේ කාන්ති කියල මගේ ප්‍රියතම තරුණියක්. ඇගේ කතාව තමයි අනික් කතාව. මේ කතාව අපේ ගෙදර ඈට පස්සේ (හුඟක් කාලෙකට පස්සේ) අපේ ගෙදරට ගෙනාපු 'වැඩකාරියන්' ගැන.. ඇත්තටම එයාල වැඩකාරියෝම තමයි! මොකද එයාල කලේම අපිට වැඩ පෙන්නපු එක. ඒ අතුරෙන් මිට අවුරුද්දකට කලින් ගෙනාපු අන්තිමයාට  කලින් එක්කෙනා ගැන තමයි අද ලියන්නේ..

අනේ ඇත්තමයි,  වැඩකාරකම කොතරම්ද කියල තේරෙනවත් ඇති නේ... බ්ලොග් පොස්ට් හිටන් උන් ගැන ලියවෙනවා.. හුහ්.. අපි ගැන කොහෙවත් වෙන කෙනෙක් එහෙම ලියනවද ඈ ??? මම ගැන නම් මෙලෝ යකෙක් එහෙම ලියල නැහැ.. එහෙම ලියන්නේ වැදගත් 'වැඩ්ඩෝ' ගැන විතරනේ.. එක්කෝ ගලුත් පාවෙන යුගයක් වෙච්චි!

Friday, June 27, 2014

53. කෝ බොලව් මගේ පේටන්ට්?

සමහර දේවල් ලියල තියෙන එක එක  එක අතකට මහම මහා කරදරයක්!

මොකද, ඒවා පස්සේ දවසක කියෝනකොට ඒ හිටපු කුඩුවෙච්ච මුඩ් එකෙන් සහමුලින්ම රිකවර් වෙලා හිටියත්, ආයෙත් ඒවාට සම්බන්ධ සිතුවිලි, සිද්ධි අතර පටලවෙන්න පටන් ගන්නවා. ඊට වඩා හොඳයි විසිකරන්න ගන්න කොලේක ලියල, හති වැටෙනකල් ඒකෙ ලියල, විසිකරලා දාන එක...



හපොයි.. එහෙම කරන්නේ කොහොමද? කවුරුහරි ඒක අහුලාගෙන කියෙව්වොත්? එතකොට මට විෂුවල් වෙන්නේ අර 'ළමාතැනී' සින්දුවේ අඹ විකුණනකොට ඔතල දීපු කොලේ රස කර කර කියෝන ගමන්, රස අඹ ගෙඩිය විසි කරන කෙනාව....

හෑ ?? එහෙම වෙයිද? මම කියන, හිතන දේවල් තව කෙනෙක්ට මී අඹ වගේ රසවත් වෙයිද? මගේ පිස්සු පරිකල්පන...??? හීනෙන් තමයි! හි.. හි...

මම එහෙම පරිකල්පනය කරපු දේවල්, අහසේ ලියල මැකෙන්න දීල බලාගෙන ඉඳල තියෙනවා... ඒ හැඟීම හරිම අමුතුයි...මැකිලා ගියාට පස්සේ හරි සැහැල්ලුවක් දැනෙනවා...

මොකද කොහොමහරි මම මගේ හිත ඇතුලේ තෙරපුණ දෙයක්, කොහොමහරි විදියකින් එලියට දාගත්ත කියල. ගොඩක් එහෙම වෙන්නේ මගේ ඒ පරිකල්පන විතරයි. හිතේ තියෙන දේවල් ලියන්න නම් නැහැ ලොවෙත්... ලියපු හැම වෙලේම වෙන්නේ කුඩුවෙන්න! මොකද මගේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක ඒ පරිකල්පන සපුරා වෙනස් හින්ද මිනිස්සු මම ගැන පුදුම හිතනවා..

Tuesday, June 24, 2014

52. ඔව්... ඔබ මේ සවන් දෙන්නේ.....

මගේ සුපුරුදු ජිවිතේ මේ ලඟදි වෙනස් උනා...

සිද්ධි කීපයක්ම එක පිට උන හින්ද මොකක් කලින් උනාද කියලවත් මතකයක් නැහැ. ඒ හින්ද, වෙනදට ඔෆිස් ඇවිත් කුළු හරක ඔලුව පාත් කරගෙන තණකොළ කනවා වගේ ලැප්ටොප් එකේ වැඩ පටන් ගන්න මම, දැන් මුලිම්ම මගේ බ්ලොග් එක චෙක් කරනවා. මොනවා හරි ලියන්න කියල ඇතුලේ මොකෙද්දෝ එකෙක් බඩට ඇනගෙන ඇනගෙන යනවා වගේ...

සීරියස් දෙයක් අදත් ලියන්නේ නැහැ... මම ඌට කියල වතුර එකක් බීලා ලියන්න ගන්නවා. එකම වැඩේ, මම ලියන සිංහල ඔෆිස් එකේ අනිත් උන්ට පේන එකත්, අකුරු පොතේ ලියන වේගේ ටයිපින් වේගෙට වඩා මගේ හුඟක් අඩුවීමත් හින්ද මට ලියාගෙන ලියාගෙන යන්න බැහැ මුළු පොස්ටුවම ... ඇයි හත්ඉලව්වේ බොසා මට ගෙවන්නේ මම ලියන බ්ලොග් එක පුරෝනවටද ?!

එව්වා ගියාවේ.... (වන්නාටය ! හි.. හි... )

දවසක් මම ලිව්වා නේ, මගේ ඇඩික් එකේ පොඩි පොඩි සිද්ධි ටිකක්? අදත් කියන්නේ එහෙම සිද්ධියක්..

Sunday, June 22, 2014

51. පිරිමි ගොඩයි.. මම (විතරයි?)

කෙල්ලනේ....
කොල්ලෝ ගැන උනන්දු නැති කෙල්ලෝ ඉන්නවද?

මට කියන්න එපා මේකට උත්තරේ.. පොඩි කොළ කෑල්ලක ලියල ගඟට විසි කරන්න. මට කොහොමත් මේකට අවංක උත්තරයක් හරියට ගන්න බැරි බව මම දන්නවා, මගේ සිරා ෆිට් කෙල්ලෙක්ගෙන් ඇරෙන්න.. මොකද  කියන්නේ බොරු! අන්තිමට බැලුවම, පොඩි පොඩි වෙරියේෂන්ස් තිබ්බත් එකම උත්තරේ තමයි ඔක්කොම දීල තියෙන්නේ

" එහෙම කෙල්ලෝ නැහැ අය්යෝ.. මොන වැල් බයිලයක් කියනවද?"

ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලොන්ගේ ඒ ගැන තියෙන උනන්දුව ඉස්මතු වෙලා පෙන එක විතරයි. හා නැද්ද? තමන් උනන්දු කොල්ලගෙන් යාලුවෙන්න කෙලින්ම අහන කෙල්ලෙක් ගැන ඇහුනොත් කටත් බලියාගෙන
'හෑ ...... ඒ කෙල්ල ඇහුව?... නෑ .................."

Friday, June 20, 2014

50. ඉතින් ඊට පස්සේ....

Under 11 කතාව ලිව්වට පස්සේ මට ඊට සම්බන්ධ ඔක්කොම ජාති ටික වැලක් වගේ මතක් වෙන්න ගත්ත.



සමහර දේවල් මම මීට කලින් කාල වකවානු එක්ක කවදාවත් සසඳලා තිබ්බෙත් නැහැ. ඒත් ඒ හැම දෙයක්ම මට මතක් වෙන්න ගත්ත හින්ද මට හිතුන මේ ටික ලියල දාන එක කෝකටත් හොඳයි කියල

කොටින්ම මට මේ වෙනකොට මම පාසල් කණ්ඩායමට ඇතුලත් වෙලා ඉන්න බවක්වත් තේරුනේ නැහැ. මම කරපු එකම දේ හැම අඟහරුවාදාම යි, බ්‍රහස්පතින්දාමයි ප්‍රැක්ටිස් වලට පිස්සුවෙන් වගේ දුවගෙන ආපු එකයි. තාමත් අපේ ගෙදරට මගේ මේ ටීම් එකට ආපු එක වැඩිය නොට් නැහැ. මමත් පුරුදු විදියට මගේ ලී රැකට් එකත් කරතියන් එනවා. මේ ලී රැකට් මම ගහන වේගෙටද මන්දා පැලෙනවා. එකක් පැලුණම මම අනිත් රැකට් එක අරන් එනවා.

Monday, June 16, 2014

49. සැඟවෙන්න



කොතරම් සැනසිල්ලක්ද..
කළුපාට ෆර්දාවට ඇතුලෙන් දැනෙන්නේ?

කෙනෙකුන්ට නොරිස්සූ,
තවකෙකුව හිනැස්සු ,
මගේ ගැලවිල්ලටම - සිටි
මගේ ඒ ෆර්දාව !
එදත් තිබුනානම්?

Friday, June 13, 2014

කොතැනක සිටියත් ඔබ මෙලොවේ...

සුපුරුදු විදියට මගේ මග සලකුණු ඔස්සේ එන යහළුවන්ගේ , (ඔව් ඔහුගේ යහළුවන් ) නොයෙකුත් කටහඬවල් වලින් අතරින් පතර විසිවෙන , මා සම්බන්ද විහිළු... මගේ නිහඬ , තනිවම සිනාසීම්.... මේ පුරුදු පාර... ඔව්.. ඔහු.........
සුපුරුදු පරිදි ඔහු!

ඔහු..... දැනට වසර එකහමාරක් තිස්සේ මගේ සෙනෙහස ඉල්ලමින් එන , මෙලංග!

"දකුණට සිග්නල් දාල හරවන්න, අන්න අතනින් පාක් කරලා.. ය.. මූ....."

කියාගෙන මා පසුකරගෙන ගිය ඔහුගේ යහළුවන්, සුපුරුදු පරිදි කැෆටේරියා එකේ ඉහළ මාලයට යන තැනින් නතර වුනා. මම ගියේ පයින්, සිග්නල් දානවා කියන්නේ මගේ යහළුවන් මගහරින්න බව මම නොදන්නවාද? කැෆටේරියා එක ඉදිරිපිට සිට ඉහළ මාලයට නගින ඔහුගේ කකුල් පමණයි දැන් පෙනෙන්නේ..

" මට අද යන්න ඕනේ... බස් නැතිවෙයි"

මම මෙහෙම කියන්නේ ඔහුගේ යාළුවෙක්ට , නමින් 'ඉන්ෆාස්'

" අරූ එහෙනම් උඩ තට්ටුවෙන් පනී , මළගෙයක් වෙන්නේ එහෙනම් මෙතන! අය්යෝ මේ.. උඩට යනවද.. අපි ගෙනිහින් දාන්නම් ඕනෙනම් ගෙදරටම"

ගැලවිල්ලක් නැති කතා! ඕනෙම දේකට උත්තරයක් ඇති කටක් වේනම් ඒ ඉන්ෆාස් ගේ කටයි! මාව පඩිපෙළ  ලඟට විසි උනා.. හැමදාම වගේ පපුව ඇතුලේ බේස් ඩ්‍රම් ගහනවා කව්දෝ.. 'ඩික් ... ඩික් ...' පඩිපෙළ උඩම පඩියේ හිටගෙන මගේ දිහා බලන් ඉන්න ඔහු!
"කොහොමද"

මාව දියවෙලා වැක්කෙරෙන්න ගත්ත. බෙල්ල ලඟින් බිමට නැමුන, කන් දෙක රත් වෙලා... මූලික රෝග ලක්ෂණ ඔක්කොම! වෙලාවට ඔහු වගේ සුදු නොවුනේ.. කම්මුල්, කන් රතු වෙලා කියල පෙනෙයි..
"හො .. ද.. යි.."

"උඩට එන්න, බය වෙන්න එපා... අරුන් ඉන්නවා පහළ...."

ඔහුගේ ආරක්ෂක බටයෝ!

".... එනවද?... මම......"

ඊළඟට කියන්නේ මොකද්ද දන්නා හින්දම මම උඩ පඩියට පැන්නවුනා. මිට කලින් දවසක, එන්න කිව්වම ආවේ නැති වරදට මගේ අතින් අල්ලලා උඩට ඇදල අරගෙන වෙච්ච සන්තැසිය මට අමතක නැහැ.

එදා ඔහු මාව තුවාල කළා... අතපය නෙවෙයි, හිත!! මම විදෙව්වා හොඳටෝම!!

කැෆටේරියා එකේ උඩ  තට්ටුවේ කිසි කෙනෙක් නැති බව මට විස්වාසයි.. එහෙම තමයි හැමදාම වෙන්නේ.

"I want you to meet,  'Kalana'.."
මගේ ඔළුව ඉස්සුනේ විශ්මයෙන්... ඔළුව ඔසවනකොටම පුටුවක් තල්ලු කරගෙන නැගිට්ට 'කලණ ' මට අත දිගු කළා ...

"Hello, nice to meet you"

විශ්මයෙන් හිටපු මගේ දිහා මෙලංග හිනාවක් සමග බැලුව

".... උඹ හිතුවද ෂේක් හෑන්ඩ් කරයි කියල?"
"ඔහ් වැරදුණා .... ඔව් ඔව් අහල තියෙනවා ඔයා ගැන, ඔයාගේ 'හැටි' ගැන"

ඔහු දිහා කෙලින් බලාගෙන හිටපු මට ඔහුගේ දීප්තිමත් හිනාව පාමින්, ලජ්ජශිලිව කලණ තමන්ගේ දිගුකල අත හකුලවා ඔලුව පිටුපසට ගෙනිච්චා.
'අපූරු හිනාවක්! හරි අපූරු ඇස් බැමි!!'

කලණ ඔහුගේ පළමු දැක්මෙන්ම මගේ ඇස් අලව ගත්ත.

"මෙයාට ඔයාට කියල එයාගේ කතාව ලියෝගන්න ඕනෙලු" මෙලංග කිව්වා.

මම ඔලුව හරවලා කෙලින්ම කලණ දිහා බැලුව. මෙලංගගේ වගේ මාව කම්පනයට පත් කරන පෙනුමක්, බැල්මක් කලණට තිබ්බේ නැති හන්ද මට එහෙම කරගන්න පුළුවන්කමක් තිබ්බ. කොහොමත් ප්‍රබල පර්සනලිටි ඉස්සරහ මම කම්පනය වෙනවා.. වෙන සංක්යාතයකින් !

කලණ ගේ මුහුණ බලන් ඉන්නකොට වෙනස් උනා..

මාව පළවෙනියට මුණගැහුණ කලණ තමයි ඒ....
ඒ මදිවට ඔහු වගේම පෙනුමක් තියෙන 'චලන'ත් මට හම්බ උනේ එදා තමයි. කලණ - චලන දෙන්නා ට්වින්ස් ලා!!! මේ දෙන්නගේ වෙනස හොයන්න මටත් කාලයක් ගත වුනා. වැඩ අතින් තමයි වෙනස් !

මොඩ්ල් කෙනෙක් වගේ පෙනුමක් තියෙන ඔහු..

රැලි ගැහුණු කොන්ඩේ , පිටතින් මුහුණේ අලවාගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාව! සරාගී ඇස් සිමාවේ තිබ්බ අපූරු ඇස් බැමි... ඔව්.. කලණ ට ඕනේ කරලා තිබ්බේ එයාගේ කතාවක් මට කියල ලියෝ ගන්න.. මම ලියන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිත කතාවක්! කවදාවත් කරලා නැහැ..

"දැන් මම හැම දෙයක්ම කියන්න ඕනෙද?"

කලණ මගේ දිහාත් මෙලංග දිහාත් බලන ගමන් ඔලුව කස කස ඇහුව

"මචං... කිස් කරපුව... මිරිකපුව වගේ ඒවා කියන්නේ නැතුව වෙන සිද්දි ඔක්කොම කියපං "

මෙලංග  ගත කටටම කිව්වා. මගේ කන් දෙකෙන් දුන් පැන්න... දෙන්නම හිනාවෙනවා.. මම ආපහු හැරුන

".... අම්මෝ හරි හරි.... යන්න එපා යන්න එපා.... ඕනේ දෙයක් කියපන්, ඕනේ දෙයක් අහගන්න... ඔන්න මම මුකුත් කියන්නෑ "

අත් දෙකම උඩට උස්සල මෙලංග යටත් උනා. මටත් හිනා, මම යන ගමන නතර කරලා ඉක්මනට මුහුණට බොරු රව්ද්‍ර ගතියක් මවාගත්ත.

එතැන් පටන් හැමදාම මෙලංගත් සමග කලණ ත් මාව මුණගැහෙන්න ආව.

කලණගේ කතාව මම ලිව්වේ එහෙමයි. අන්තිමට ඔහු මගේ ළඟම හිතවතෙක් උනා. හැම දෙයක්ම ඔහු මට කිව්වා. ඔහුගේත්- නිකිණිගේත් අනුවේදනීය පෙම් කතාව!!

ඒත් මම ??

"ඔයා මොනවද මෙලංග ගැන හිතන්නේ?"
කලණ එක දවසක් මගෙන් ඇහුව. මම අහක බලාගත්තා

"කියන්න බැහැ කිසිම දෙයක්"
"දැන් අවුරුදු දෙකකටත් ලඟයි නේද අහන්න අරගෙන"
"හ්ම්ම්ම්...." මගේ පපුව දැවෙන්න අරගෙන, ගම්මිරිස් ඇතිල්ලුව වගේ..
"ඌ ඔයාට පණ යන්න ආදරෙයි... "
"ඒක තමයි ප්‍රශ්නේ" මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට..

කලණ හිනාවුනා...
" වෙන කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ නැහැ මැට්ටි.."
"මම දන්නවා මැට්ටෝ.."
"මම දන්නවා ඔයාට වෙන කවුරුත් කොල්ලෙක් නැහැ කියල, ඇයි මෙලංගව..."
"... මඩවන්නේද .." මම ඔහුගේ වචනේ සම්පුර්ණ කළා

"නැහැ.... ඇයි ඌව එපා කියන්නේ? "
"ඒ ගැන කතා නොකර ඉන්න කලණ... මෙලංග මට හොඳ වැඩි.. ඔයා මට වඩා මෙලංග ගැන දන්නවනේ.."
"ඔව්.. මම හිතන්නේ නැහැ ඌ වෙන කිසි කෙල්ලෙක්ට මෙහෙම පස්සෙන් ගිහින් ඇති කියල... "
"කලණ ..."

මම ඔහුගේ කතාවට බාධා කරමින් කඩාපැන්න
".... ආයෙත් ඔය ගැන කතා කරන්න එපා... ඔයාගේ පොත තව දවස් තුනක් යන්න කලින් මම ඉවර කරනවා. හැබැයි, ඔරිජිනල් එක මගේ ගාව තියෙද්දී, ඕනේ නම් ෆොටෝකොපියක් ගහගන්න "

කලණ නිශ්ශබ්දව බංකුවෙන් නැගිට්ට
"තෑන්ක්ස්.... ඒ ටික ඔයාට කිව්ව එකම ඇති මට.. ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් උනා. මෙලංග හරි, උගේ තේරීමත් නිවැරදියි... ඔයා පුදුම කෙල්ලෙක්!"

එක පාරටම වාහනේකට වැදුන වගේ දැනුන. මෙලංග ! මම වගේ නපුරිච්චියක් !

මෙලංග ..... ඔබ මේ බ්ලොග් කියෝනවද? කියවන්න එපා... මට මා ගැනම බයයි!

48. නැට්ටුක්කාරී - 02

මෙතෙක් හෑල්ල 


අහගෙන ඉන්න කම්මැලි කියල හිතුන හින්ද මම පලවෙනි කොටස මගින් නතර කළා. මෙලෝ රහක් නැති උනහම, බනින්නේ නැතුව ෂේප් එකේ වින්ඩෝ එක වහල දාල යන එක මට තේරෙනවා. ඒ හින්ද මම හිතුව හැමදේම ලියන්නේ නැතුව කොකෙක් යනවා වගේ ලියල දාන්න.. ඒ කියන්නේ උඩින් උඩින්, පොඩි පොඩි වපසරියන් කවර් කරන් යන්න.. මොකද මම  ඇරෙන්න මේවගේ කාලවකවානු එක්ක ඕව ඉන් ඩිටෙල් දැනගන්න තරම් කැසිල්ලක් තියෙන්න හැටියක් නැහැ නේ මේ අවකාශේ කට්ටියට!

මම ඉවර කලේ ඩ්‍රිල් එකේ සිද්දියෙන්, ඇත්තටම කියනවා නම් සිද්දියට පිවිසුමක් විතරයි ලිව්වේ, සිද්දිය උනේ මේ වගේ පසුබිමක.

කොහොමහරි හවුසස් අතර තරගේ එන්න එන්නම වැඩිවුණා. කොතරම් දුරදිග ගියාද කියනවා නම්, වෙනත් හවුසස් වල ප්‍රැක්ටිස් කරනකොට ඔත්තු බලන්නත් කට්ටිය හිටියා. මට ඔය අතරේ  තමයි, අර ඩ්‍රිල් එක හදපු අක්කලාගේ විශේෂ අවධානයක් මට තියෙනවා කියල මට දැනුනේ , මම ඒත් හිතුවේ එක මගේ හිතින් මවාගත්ත ලොකුකමක් කියල.

Thursday, June 12, 2014

47. කොතැනක සිටියත් මා මළ දවසක........

මගේ ප්‍රිය මිතුර..

ඔබ මෙය නොකියවන බව මට සක්සුදක්සේ විස්වාසය. කිමද... ඔබ මා මෙවැන්නක් ලියන බවක් නොදන්නා බැවිනි. ඔව්.. ඔබේ කතාව මම පොතකට ගොනුකලා මතකද? ඒ පොත, මගේ කුරුටු අකුරෙන් ලියා.. ඔබේ අතට පත්කලවිට, වෙවුලන දෑතින් එය විවරකර, එක අකුරක්වත් කියවාගත නොහැකිව, හිස් පිටක් දෙස බලාඉන්නා සේ උන් හැටි?

"ගෙනිහින් කියවන්න ඕනෙද?"

මම එසේ විමසනවිට, ඔබේ ඇස වල තිබුණු දිලිසුම.. ඔබ ඇඩුවාද ? ඔව්... එය එසේමයි.
නැවත එක දිනකින්ම, මා හඹාගෙන ඇවිත්, මගේ උරෙන් අල්ලා

"උපේක්ෂා... ඔයා පුදුමයි, මෙහෙම හිතුවේ කොහොමද? "

කිව්වම, මතකද මම සිනාසුන හැටි?

"මැට්ටා.. වැඩිය හිතන්න එපා. මට හිතුන ඔයාට එහෙම හිතෙන්න ඇති කියල "

46. නැට්ටුක්කාරී -01

මගේ පොඩිකාලේ ගෙවුනහැටි කියෝලම ඔයාලට එපා වෙලා නැද්ද?

මම ලිව්වා
පරණ ඉස්කෝලේ ගැන 
පොඩි කාලේ අය්යත් එක්ක කරපු සොඳුරු (දඟ) වැඩ 
අත්තම්මෙක්ට ඔලුවේ කැක්කුමට තෙල් බෙහෙතක් දීපු හැටි 
පහල ගෙදර නංගිට ෆිට් එකට උදව් කරපු හැටි 
පහල ගෙදර නංගිත් එක්ක බස් එකේ ගියපු හැටි 
පන්තියේ බිස්නස් කරපු හැටි 
පුස්තකාලේ පොත් බලපු හැටි 


කරන්න දෙයක් නැහැ... කිව්ව දේවල් වලට වඩා නොකිව්ව දේවල් වැඩියි.. එක්කෝ මේක නතර කරලා, වෙන බ්ලොග් එකක් හොයාගන්නවා හොඳයි! මොකද මම ලියන්නේ මට මේවා මතක් වෙන පිළිවෙලට.

Thursday, June 5, 2014

45. භයානක ෆැෂන් කතාවක්...

මම මෙහෙම පිස්සෙක් වගේ උන්නට හෙනම මනෝ කාරයෙක්...

කොහේ ගියත් පොඩ්ඩක් චාන්ස් එකක් අවොත් ලස්සන මනෝ පාරක් ගහගෙන පාඩුවේ ඉන්නවා. මගේ මනෝ ලෝකවල සංචාරයට සුදුසුම තැන තමයි.... ඇඳ ? පිස්සුද.. බස් එක!!!!

මම මගේ කලින් පොස්ටුවකත් කියල ඇති මගේ මේ බස් මනෝ සංචාරය හින්ද , අතේ හිටපු කුරුල්ලෙක් ( එහෙම කිව්වට චීස් කෑල්ලක් ..! හි... හි...) අල්ලගන්න බැරි වෙච්ච එකක් ගැන.

බස් එක මේකට මට හොඳම තැන වෙන්නේ, හේතු කීපයක් හින්ද

1. ලංකාවේ පොදු ප්‍රවාහනේ තියෙන කාර්යක්ෂමතාවේ කොහොමද කියනවනම් , ගමනාන්තයට යන්න කලින් මට පුළුවන් ඉන්දියාවට ප්ලේන් එකෙන් ගිහින් එන්න හින්ද.. (එතරම් සුකොමල ලලිත ගමන් යන බස් අහුවෙනවා... ඔය කොට්ටාව බස් එහෙම නෙවෙයි අම්මෝ! ඒවා යන්නේ හරියට වලිගෙ ගිනිගත්ත හනුමා වගේ නේ)

2. බස් එකට නගින , බහින හුදී ජනයාගේ සමහර විලාසිතා, විලාසයන් හැබෑවටම මාව වෙන ලෝක වලට ඇදල දානවා... සමහර අය සමහර මාතෘකා අපිට මතක් කරලා දෙනවා..

3. බස්වල යන අපූරු සින්දු හින්ද ..  සමහර සින්දු මම හිතන්නේ ගායකයාගේ විතරක් නෙවෙයි, රියදුරුගේ, කොන්දොස්තරගේ මවත් ඉතා හොඳින් මතක් කරලත් දෙනවා

4. හේතුවක් නැතුව ට්‍රැෆික් එකක් ඕනෙම වෙලාවක ඇතිවෙන්න පුළුවන් හින්ද එකම තැන ඉන්නකොට වෙන මොනවා කරන්නද ? මම වගේ කෙනෙක්?

මේ මොන හේතු තිබ්බත්, ඒ මොන හේතුවක්වත් නැතුව කට ඇරගෙන එකසිය ගානට බස් වල නින්ද ගිහිල්ලත් තියෙනවා... මේවා දැකල සසර කළකිරිලා මහණ වෙන්න ගියපු අය හිටියද දන්නේ නැහැ බස් එකේ. අපිට ඒවාට වගකියන්න බැහැ නේ... අහක බලාගන්න තිබ්බේ නැද්ද හා??

3 වෙනි හේතුව හින්ද වැඩක් අද මට මේ උනා... ඒක නෙවෙයි නේ කියන්න ආවේ! 2 වෙනි හේතුව හින්ද වෙච්ච වැඩක් නේ... මුලින් ආපු කන බලමුකෝ අඟට කලින්...

Thursday, May 29, 2014

44. අත බලා සාස්තර කියනු ලැබේ.... (දේව වරමින්)



මම මොරටුව කැම්පස් බඩගාපු කාලේ...

සුන්දරයි..! හුහ් මොන පිස්සුවක් කියෝනවද?

ගන්න දෙයක් නැහැ... අන්තිමයි... වෙන වෙන පිස්සු නටන අතරේ වෙලාවක් තිබ්බොත් ඉගෙනත් ගත්ත. ඔය සුන්දර සොඳුරු කැම්පස් කතා තියෙනවා නේද? මොන වැල් බයිලද..? මට නම් තිබ්බේ උසස්පෙළට නොදෙවෙනි දිවිල්ලක් දිව්ව , අන්තිමට දිනපු තරඟයකුත් නැති මෙව්වා එකක් වගේ. මොකටද බොරු කියන්නේ.. මමත් ඉස්සර ලිව්වා, සිහින මැව්වා කැම්පස් වල තියෙන මල් - මල් , ටින් - ටින් ආදර කතන්දර එහෙම... හීනෙන් තමයි..

ඒවා ගැන පස්සේ කතාකරමුකෝ.. මේ කතාව එහෙම දෙයක් ගැන නම් නෙවෙයි. මට කියන්න ඕනේ කලේ, කැම්පස් පටන් ගන්නකොට අපිට පොඩි ගැන්සියක් හිටිය කියලයි. මේ ගැන්සියේ අනේක විධ කෙල්ලෝ-කොල්ලෝ හිටිය. සල්ලිකාර උන් හිටියේ අඩුවෙන්, අපි වගේ මධ්‍යම පාන්තික පිස්සු මෝල් තමයි වැඩිපුර. දුප්පත් උන්ට අපි කොහොමත් දොර ඇරලයි තිබ්බේ. උන් සෙට් එකට එනවා, යනවා.

Wednesday, May 28, 2014

43. Under 11

මම නිතර දොඩවන කෙනෙක්...



තනියෙනුත්, කට්ටියත් එක්කත්.. හැබැයි එහෙම දොඩවන්නේ දැන් ඉන්න මේ මං ! ඉස්සර මම එහෙම පිටින්ම වෙනස්... මම මේ කියන කාලෙට මගේ වයස අවුරුදු 3 සිට 15 දක්වා කියමුකෝ. යාලුවෝ කැටියක් හිටියත් ඉස්සර මට සද්ද නැතුව ඉන්න පුළුවන් කිසි ගේමක් නැතුව... දැනටත් මේ ගතිගුණේ නෂ්ටාවශේෂ තියෙනවා. හැබැයි මතුපිටින් වෙනස් වෙලා..

මම මගේ පරණ කතා කියනකොට කියලත් ඇති මගේ පාසැල් කණ්ඩායම් ක්‍රීඩාවක් ගැන. එව්වා කොහොම වලක්වන්නද? ඒ ක්‍රීඩාවත් මමත් කියන්නේ ගහට පොත්ත වගේ වෙලා තිබ්බේ. කොටින්ම මට මගේ යාළුවො උනත් මගෑරෙන්න සමහර වෙලාවට මේක හේතුවක් උනා. මොකද මම පන්තියෙත් නැහැ සමහර මැචස් තියෙන කාලවල් වලට. එහෙම තිබ්බේ නැතත්, මම වැඩිපුර හිටියේ මගේ ටීම් එකේ අනිත් උන් ඉන්න පන්තිවල.

Tuesday, May 27, 2014

42. නම්බු කටුව


ඔයාලටත් තියෙනවද නම්බු කටුවක්? ඔව් හැමෝටම තියෙනවා.... එක එක මට්ටමෙන්... එක එක විදියට අටෝගත්ත නම්බු කටු


මට ගොඩාක් ලොකු අද්දැකීම් සම්භාරයක් නැහැ.. එත් මගේ කැපෑසිටි එකේ තරමට අනිත් අයට සාපේක්ෂව මට අද්දැකීම් තියෙනවා. ඒ වගේම මම පුංචිකාලේ ඉඳන්ම පුරුදු වෙච්ච හොඳ/නරක අතුරින්, ඕනෙම සිද්දියක් මගේ පුද්ගලික අද්දැකීමක් වගේම හිතන්නත්, ඒ සපත්තු මටත් දාගෙන බලන්න මට පුළුවන්කම තිබ්බ, තවමත් තියෙනවා කියල මම හිතනවා.

කොටින්ම කිව්වොත්, මම ඉස්සර නවකතා ලියන කාලේ, මගේ නම මට වඩා වැඩිමල් කෙල්ලෝ අතරෙත් ජනප්‍රිය වෙලා තිබ්බට සමහර දෙනෙක් මාව දැකල තිබ්බෙත් නැහැ. අතින් අත පාස් වෙලා යනකොට පොත කියෝලා, සමහර අය ලියල තිබ්බ කමෙන්ට්ස් ( පොත අන්තිමට මම හිස් පිටු ඉතුරු කරා, අදහස් ලියන්න කියලා) කියෙව්වම සමහර වෙලාවට මම පුදුමත් වෙලා තියෙනවා. සමහර අය මාව හොයාගෙනම ඇවිත් කියල තියෙනවා

"අනේ නංගි ... ඔය කොහෙන්ද අහවල් සිද්දිය හොයා ගත්තේ... කවුරුහරි ඔයාට කිව්වද?" කියල... බලනකොට ඒ ළමයට එහෙම සිද්දියක් වෙලා... මම ලියල තියෙන හින්ද හදමල මෙව්වා වෙලා ඇවිත් !!!

Friday, May 23, 2014

40. ඇවිත් ගියා

මෙතෙන්ටත් ආවා
ලියපුවත් කියෙව්වා...
කොමෙන්ටුත් කියෝලා
සද්දයක්  නැතුව

වැහුව නේද බ්‍රව්සරේ?

හොර ගෙඩියා !

39. ඇඩික්ටඩ් ඇඩික්...

ඇඩික් කිව්වම දන්නවනේ...

කොච්චර දේවල් ඉතින් මතක් වෙනවද එහෙම කිව්වම නේද?
ලොල් කියලත් කියාවි, එතකොට මත් ලොල්, රාජකාරි ලොල් ( එහෙම උන් ඉන්නේ මම වැඩකරන කොම්පීතර අවකාශයේ.. වර්කොලික් කියන්නේ) , අරව මෙව්වා.... ඇයි එතකොට ස්ත්‍රී ලොල්.... චීය ..

ඒ ගැන කතා නොකර ඉම්මු.. මොකද මම මේ කියන්න යන්නේ එහෙම එකක් කිසිසේත්ම නොවෙන හින්ද... දැන් දුවගෙන ගිහිං , වෙනදට හොරු ගෙට පනිනකොට ගහන්න කියලා හංගලා තියෙන දෙකේ දෙකේ පොල්ල උස්සන් එන්න එපා මට දෙකක් දෙන්න හරිද? මම නිකන් ටෙස්ට් කලේ, ඒක හදිස්සියට ගන්න පුළුවන් තැනක දැනටත් තියෙනවද කියල...

මම මේ කියන්න ගත්තේ මම ඉස්කෝලේ යන කාලේ බැඳිලා හිටපු සංගමයක් ගැන කියන්න... අන්න ගොනාට වගේ තේරුනා නේ? ඔව් ඔව් ... ඇඩික් (ADIC ) කියන්නේ පාසැල් යන ළමුන් අතරේ ඒ දවස්වල ඉතා ජනප්‍රිය සංගමයක්. ( අඩු තරමේ මම එහෙම ජනප්‍රියයි කියල වත් හිතාගෙන හිටිය කියමුකෝ)
නොදන්නා අයට මෙන්න ලින්කුව 

Wednesday, May 21, 2014

38. කාලය කොතරම් සොඳුරුද නපුරිය (02)

පළවෙනි කොටස 

කාලය, අවකාශය, වටපිටාව කියන කිසිම මානයක් මගේ ප්‍රස්තාර වල තිබුනේ නැහැ. මට මතක පොඩි සිද්දි කීපයක් විතරයි...

කාලය ගත උනේ මේ කිසි දෙයක වෙනසක් කරන්නේ නැතුව... මට හිතෙන්නේ ටිනේජ් ආදර කතා මේ වගේ වෙන්න ඇති ( දැන් නම් එහෙම නැහැ කියලා හිතෙනවා.... මම කියන්නේ නැහැ වැරදි කියලවත්, හරි කියලවත්)



ඔන්න මේ සිද්දි වල ඒකාකාරිත්වය බිඳගෙන යමක් සිද්ද උනා. ඒ තමයි ඔහු යාලුවෝ නැතුව තනියෙන් ,එතනින් ගමන් කරන මාව එකවර පාර මැද්දේ නතර කරගෙන කතා කරපු එක! ඒක මහා භයානක සිද්දියක් වගෙයි අදටත් මට දැනෙන්නේ. මොකද යුනිෆෝම් එකක් ඇඳගත්ත කෙනෙක් විදියට, අවේලාවේ, ටවුම මැද්දේ කලඩ් ඇඳන් ඉන්න කොල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ අපේ ඉස්කෝලෙන් 'කිරිමේල් එකක් කැඩෙන'  වැඩක්! ඒ වගේ කිරිමේල් මෙතෙක් කැඩිලා තිබ්බේ ලස්සන, සුදු කෙල්ලොන්ටනේ.... මම ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි... මගේ අම්මෝ...!!! භයන්කරයි...

Tuesday, May 20, 2014

37. කාලය කොතරම් සොඳුරුද නපුරිය (01)

අද උදෙන්ම.. ( උදෙන්ම කිව්වට පාන්දර 9 ට විතර) ගාට ගාට එන බස් එකේ නැගල... වාඩිවෙන්න අවස්තාවක් හොයාගෙන ඉස්සරහටම ආවම ... දන්නවනේ ඉතින් අර ගැබිණි කාන්තාවන්ට තියෙන ආසනේ.. ඒක  තිබ්බේ තුන්වෙනි පේළියේ ... මගේ වෙලාවට එතන ඉඳන් හිටපු කොල්ලා බැහැලා යනකොටම මම මගේ ලට පට ටිකත් අරගෙන වාඩිඋනා..

හෝල්ට් තුනක් යන්න ලැබුනේ නෑ ... පොඩියට බඩක් තියෙන කෙනෙක් නැග්ගා බස් එකට... දැන් මට හෙන සැකයි ඇත්තටම මෙයාට දරුවෙක් ලැබෙන්නද , නැත්තම් හොදට කාලා බීලා හදාගත්ත පෘෂ්ටිමත් බඩක්ද කියලා. කොහොම උනත් එයාට ආසනයක් ලැබුනේ නම් නැහැ ඉස්සරහ පේලි වලින් ( සමහර වෙලාවට මම වගේ දෙගිඩියාවෙන් හිටියද දන්නේ නැහැ නේ එයාලත්? ) ඔන්න ඔහේ කියලා මම මගේ ආසනේ දුන්නා.. එකට කියන්නේ පරිත්‍යාග කළා කියලා නේ!

දානෙන් දානේ උතුම් දානේ ( හා හා ... තෑග්ගෙන් තෑග්ග කියලයි පොතේ තිබ්බේ) කියලා එක හෝල්ට් එකක් යන්න කලින්ම ඊට ඉස්සරහ සිට් එකෙන් ඉඩක් ලැබුණා , ඉඳගත්ත බන්ඩි ගෙඩි අම්මා මගෙන් මගේ මළු ඉල්ලලා පොරකනකොට මම ඉක්මනට එතනින් වාඩි උනා, ජනේලේ පැත්තේ හිටියේ කොල්ලෙක් වගේ, මම වැඩිය නොට් කලේ නැහැ. බස් එක අයෙත් ඉබි ගමනේ, මම ඔහේ පුරුදු විදියට මගේ මනෝ ලෝකේ.......

Thursday, April 24, 2014

36. අපේක්ෂා .. 03

මෙතෙක් කතාව...

පළවෙනි කොටස
දෙවෙනි කොටස


මේ කටයුතු මෙහෙම වෙද්දී මට විභාග භීතිකාව වැළදිලා තිබ්බ හින්දා බතලයා එක්ක වැඩිය කතාකරන්න ලැබුනෙත් නැහැ.

කොහොමහරි දවසක සෙනසුරාදාවක, බතලයා මහණවෙන්න යන්න හිටපු සිල් ආරාමෙට ගෙනිහින් ඇරලවන පොඩි විසිට් පාරක් ලෑස්ති වෙලා තිබ්බ. අපි ඔක්කොම ඉතින් ට්‍රිප් කිව්වොත් අල්ලපු ගෙදරට හරි කමක් නැහැ... මමත් ඉතින් පැනගෙන ගිහින් වෑන් එකේ ඉස්සරහ තියෙන සිට්  එකකින් වාඩි උනා. මොකද මට කාර් , වෑන් , පොඩි බස් වල පිටිපස්සේ යන්න නම් බැහැ .. කෙලවර වෙන්නේ හෝටලයක් දාල තමයි. දැන් උනත් තාමත් ඒක තියෙනවා. පොඩ්ඩ බැරි උනොත් හෝටලේ..!

දැන් ඔන්න අපි තුන් හතර දෙනෙකුයි, බතලයයි, බෝඩිමේ අක්කයි, එයාගේ පුතයි, පැන්ඩා යි  ඔන්න යනවා. ගිහිං කෝට්ටේ පැත්තේ සිල් ආරාමෙකට ගියා. ඒක කන්දක් උඩ වගේ පාරෙන් උඩට වෙන්න තියෙන්නේ. අපිත් ඉතින් ඒ පඩිපෙල් නගින ගමන් හිතුවේ මහණ උනාට පස්සේ  මේ පඩිපෙල් දවසගානේ නැගලා බතලයා නිවන් යෑම කෙසේවෙතත් ඉතා ඉක්මනින් ස්ලිම් ෆිගර් එකක් ඇති කරගනී කියලයි. (අන්න එහෙමයි කල්‍යාණ මිත්‍රයෝ කල්පනා කරන්නේ හරිද?)

Saturday, February 22, 2014

35. අපේක්ෂා 02

මෙතෙක් කතාව මෙතනින් 
මගේ කුතුහලය ඇවිස්සුන මේ කතාවෙන් දිග ඇරුනේ 'බතලයා' ගේ අතුරු කතාව..

කතාව කෙටියෙන් මෙහෙමයි

බතලයා කියන්නේ ටිකක් තලෙළු , ලස්සනට අඳින පළදින, ලස්සන ෆිගර් එකක් තිබ්බ කෙල්ලෙක්. ඉස්කෝලේ ඉවර කරලා 'ආකියක්' විදියට අපේ කැම්පස් ආපු බතලයා ඉස්කෝලෙදි වගේම කැම්පස් එකෙත් හැමෝගෙම හොඳ යාලුවෙක්. එයාගේ ඉස්සර කාලේ පින්තුරක් දැක්කොත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ මේ දැන් ඉන්නේ ඒ බතලයා කියල කීයටවත්. 

බතලයා පවුලේ එකම ළමයා. එයා කැම්පස් එකේ බාස්කට්බෝල් ටීම් එකටත් සෙල්ලම් කළා. මේ අතරේ එයාගේ හිත ගියපු කොල්ලෙක් ඔන්න කතාවට සම්බන්ධ වෙනවා. මට හරියටම මතක නැහැ සියලු සිදුවීම්, නමුත් කෙටියෙන් කිව්වොත් මේ දෙන්න 'ක්‍රෂ් ' වෙලා ඉදල තියෙනවා.   බතලයත් ඉතින් හැඩ  වැඩ කෙල්ල හින්ද විතරක් නෙවෙයි, බතලයාගේ පවුලට තිබුණු වත්පොහොසත් කම් ගැනත් ඉතින් එයා දැනගෙන ඉන්න ඇතිනේ.
ආකි එකේ අන්තිම අව්රුද්ද වෙනකල්ම හැමදේම හොඳින් සිද්ද වෙලා. අවසාන අවුරුද්ද අවාම, කොල්ල එක පාරට වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අතරේ මාස කීපයක් ඇතුලත බතලයාගේ අම්මත්, තාත්තත් දෙන්නම මිය ගියා!! බතලයා අසරණ උනා, හැබැයි පෝසත් කෙල්ලෙක්! කොල්ලා ගැන මම  සංවේදී වෙලා හිටිය බතලයා අනිත් සියලු දේවල් ගැන අසංවේදී උනා... නෑයෝ  ටික කලේ
"දුවේ.. ඔයාට  මෙතරම් දේපලක් පාලනය කරන්න බැහැ නේ.... (  අපිටත් නිකං  බැහැ  නේ) ඒ හින්දා අපි ඔයා ගැන කල්පනා කරලා හිතුවා දේපල විකුණලා ඔයාට සල්ලි දෙන්න"

කිසිම දෙයක් ගැන සංවේදීකමක් නොතිබුන නිසා විතරක් නෙවෙයි, කරන්න වෙන දෙයක් නැති නිසාත් බතලයා ඒකට  එකඟ උනා. අදටත් එය දන්නේ නැහැ දේපල වල හරි වටිනාකමවත්, විකුනපු ගානවත් !!!! ( මේක හින්දි චිත්‍රපටියක් නොවෙන බව මතක තියාගන්න!)
සල්ලි ටික බැංකුවේ ගිණුමට වැටුනට පස්සේ, බතලයා තමන්ට අයිති නැති බව නෑයෝ  ටික කාලෙකින්ම ඔප්පු කරලා. ඉතින් මේ බෝඩිමට වෙලා එයා බැංකු ගිණුමේ ශේෂය තියෙන කල් ඉන්නයි කල්පනාව. අපේ බෝඩිමේ අක්කා කරුණාවන්තයි. එය බතලයාට අනුකම්පා කරලා ඉන්න දෙනවා. හැබැයි සල්ලි ගන්නවා.
මෙයට ඩිප්රේෂන් තියෙන හින්දා නාන්නේ නැහැ. වෙනත් කිසිම කෙනෙක් ඒ හින්දා කාමරේ ෂෙයාර් කරන්න කැමති නැහැ ( සාධාරණයි)

ඒ හින්දා මෙයා හිටියේ අර තනි කාමරේ....


ඔන්න ඕකයි මට පැන්ඩා කියපු කතාව කෙටියෙන්...

මට දැනුනේ පුදුම කම්පනයක්. 'තරුණ ජිවිතයක්' නේද කියල මට හරි දුකක් හිතුනා. මේ මුළු කතාව ඉවර වෙනකල් බතලයා හුමිටි තිබ්බා ඇරෙන්න එක කඳුලක් හෙළුවේ නැහැ. ඒත්  ඒ ඇස්වල තිබ්බ දුක්බර, වියළි  බැල්ම එයාගේ තත්වය මට වටහල දුන්නා.

කවුන්සලින් ඉගෙනගෙන තිබ්බ හින්දා ඕනෙම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියන පොර මානසික තත්වයක් මට  ඒ දවස්වල තිබ්බ. බතලයා ගැන රෑ දවල් නැතුව කල්පනා කරමින් මූට මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද කියලා කල්පනා කළත් , එතරම් සාර්ථක උත්තර මට ලැබුනේ නැහැ.

මේකේ ප්‍රථිපලයක් විදියට මගේ කෑම සාද වලට, පිස්සු කෙලිම් වලට බතලයා මම විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගිකරගත්තා.

'හුරේ... මෙන්න බතලයා හිනාවෙනෝ..."

ඉඳහිට පැන්ඩා ගෙන් එවැනි ඔල්වරසන් ආවා. ඌ දත් පෙන්නනවා කියන්නේ අපිට හිනාවෙනවා හා සමානයි!
ඉඳහිට මම කවුන්සලින් වලිනුත් තෙල් බෙදුවා. එතරම් සාර්ථක නැහැ. මම හොඳ කවුන්සලර්ස් ප්ලේස් එකකුත් දුන්නා.. ගියාද  නැද්ද දන්නේ නැහැ. මේ බෝඩිමෙන් ඉවත්වෙලා යන අන්තිම මාස කීපය ලං වෙනකොට මට පැන්ඩා  අලුත් නිවුස් එකක් කිව්වා. ඒ තමයි, බතලයා මහණවෙන්න  (සිල් මෑණි  කෙනෙක් වෙන්න) යනවා කියලා.

බෝඩිමේ අක්කත් මෙයාට අනුකම්පා කරලා තැනක් හොයලා දීලා.

බොරුවක් නෙවෙයි, සහතික ඇත්ත මම කියන්නේ.. මට ඒක  ඇහුනේ භයානක නිවුස් එකක් වගේ. පැන්ඩා  ඇතුළු බෝඩිමේ සියලු දෙනා ඒ තීරණේ ගැන සතුටින් කතා කරද්දී, මම විතරක්

" ඕක හොඳ අදහසක් නෙවෙයි බතලයා" කිව්වා.. එච්චරයි මම කිව්වේ.

ප්‍රතිපත්තියක් විදියට මම තවමත්, යමකට විරුද්ධ නම්, මගෙන් ඒ ගැන අදහස් විමසුවොත් විතරක් විරුද්ධ බව කියනවා. ඒත්  ඒක  ගණන් ගන්නේ නැතිනම්.. සද්දේ වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවා. මම කලේ ඒක ! හැමදෙනාම බතලයා සිල්මෑණි කෙනෙක් වෙන එකට බොහම සතුටු උනා, මම ඇරෙන්න


to be cont.....

Thursday, February 20, 2014

34. අපේක්ෂා.. 01



හැමදාම ලියන්නේ ඉස්කෝලේ කතා විතරක් හින්දා මට හිතුනා වෙනත් දෙයක් ගැන ලිව්වොත් හොඳයි කියලා. මොකවත් හින්දා නෙවෙයි.. ගිය දවස් ටිකේම අහන්න දකින්න වෙන සිද්දි එක්කම මට මේ කතාවත් ආපහු ආපහු මතක් වෙන්න ගත්ත හින්දයි.

කැම්පස් ඉන්න කාලේ වැඩිම කාලයක් මම උන්නේ අපේ අක්කත් එක්ක එක බෝඩිමක. මට ලැබෙන්න ඕනේ රැකවරණය අපේ අම්මලා විස්වාසෙන් ඉටුකරගත්තේ ඒ විදියට වෙන්න ඇති. 

හපොයි.. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ.. මගේ රැකවරණය කෙසේ වෙතත් අපේ අක්කත් එක්ක වසලා මගේ ඔලුවත් එක්ක පිස්සු වැටිලා උන්නේ...




කොටින්ම කිව්වොත් මම බෝඩිමට බිස්කට්, ප්‍රීමා  නුඩ්ල්ස් ගෙනත් දානවා විතරයි මට මතක.. මම කවදාවත් කනවා මතකත් නැහැ, කුඹි වහල විසිකරනවවත් මතක නැහැ නේ අප්පා..! බිස්කට් ටිකට විතරක් නෙවෙයි මේ බඩුව ප්‍රීමා නුඩ්ල්ස් ටිකට වැඩේ දෙන්නෙත් අමුවෙන්!!!!!! ඕක මට වැටහෙන්න මම හිතන්නේ අවුරුදු දෙක තුනක්ම ගියා. සාමාන්‍යයෙන් මම තමයි රෑ  වෙලා ගෙදර එන්නේ.. 

පුළුවන් තරම් වෙලා කැම්පස් එකේ පැලපදියම් වෙලා ඉඳලා, බිං කළුවර වැටෙනකොට තමයි ගෙවල් මතක් වෙන්නේ. හි හි හි... ඒත් අපේ අක්කා නම් ලෙක්චර් ඉවර වෙච්ච ගමන් බෝඩිමට දුවන් එනවා.. අනිත් එක එයා  පාඩම් කරන්නේ දවල්ට.. මම ඉතින් රෑ 10න්  පස්සේ තමයි පලවෙනි උත්සාහය පටන් ගන්නේ.. ඒ ගැන නම් කතා අනන්තයි.. හි හි හි... එව්වා පස්සට. 

මම ඉතින් පරක්කු වෙලා එන හන්දා මට තමයි රෑ  කෑම  ගේන  භාරධුර රාජකාරියත් පැවරුණේ. මම ඉතින් ඒකත්  අරගෙන වැනි වැනි ඇවිත් රුම් එකේ දොර ගාවට එන්න විතරයි තියෙන්නේ..
 කෑම එකේ සුවඳ වැදෙන්නෙත් කලින් අක්කා පැනපු ගමන් දොර ඇරලා මාව සාදරෙන් පිලිගන්නවා???

 නෑ .. නෑ ... වැරදී ! 
පැනපු ගමන් කෑම එක උදුරගන්නවා

"අම්මෝ මම මේ පුදුම බඩගින්නේ හිටියේ... වෙලාවට ඔයා ආවේ .."

ඉතින් මම මේ පිය තෙපුල් වලට රැවටිලා උන්නේ. එක දවසක් මම එහෙම ඇවිත් කෑම එක එයාගේ අතට දීලා ගියා මුණ ටිකක් හෝදගන්න කියලා.. තව රූම්  එකක ඉන්නවා අපේ අතිජාත මිතුරියක්.. ඇය  දැන් ලෝයර් කෙනෙක්..
 එයත් සින්ක් එක ගාව හිටියා..

"අනේ උපේක්ෂා , ඔයා අද පරක්කු උනාද? පව් අනේ සුලෝ අක්ක ( අපේ අක්කගේ නම කෙටියෙන්) අන්න බඩගිනි කියා කියා නහයෙන් අඬ අඬ හිටියා... මමත් එක්ක පාන් කෑවා ඊට පස්සේ.. "

මගේ කට ඇරුනද නැත්තම් ඇස්  දෙක ලොකු උනාද කියල මට මතක නැහැ.... අත  හෝදන එක අතැරලා මම දිව්වා කාමරේට මේකි අපේ කෑම  එක කන හැටි බලන්න... කියන්න දුකක් නැහැ, ගෙනාපු කොත්තුවෙන් හරියටම බාගයක් බෙදාගෙන එයා වැඩ!!!

 ඔන්න ඔහොමයි සිද්දි කීපයක් කිව්වොත්... තව තියෙනවා.. ඒවා පස්සේ කියන්නම්... නැත්තම් අර රවී අය්යාගේ 'ගුරුවෙරි ගේ කතාව ' වගේ වෙනවා නේ ... හි හි හි


මේ සොඳුරු බෝඩිම හැරදාලා අපේ අක්කා උපාධියත් අරං ගෙදර දිව්වා.. මේ බෝඩිම ටිකක් දුරයි අපේ කැම්පස් එකට. ඒ උනාට හෙනම ජොලි! මක් කොරන්නද.. දුර වැඩි හින්දත්, දැන් ඉතින් තනියෙන් ඉතිරි අවුරුදු ටික අදින්නත් ඕනේ හින්දා ගියා කැම්පස් එක ගාවම බෝඩිමකට... හි හි.. වැඩක් නැහැ කියලා... යකාගේ හැටියටලු නේ විමානේ ... ඒකත් පිස්සු බෝඩිමක්!

 ඒ ගැන පස්සේ කියන්නම්..මේ බෝඩිම කොටින්ම කිව්වොත් 'ආකියොන්ගේ' බෝඩිමක්.. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ ආකිටෙක්චර් උන් පුරෝපු තැනක්..

 මගේ කරුමෙට මම  ඒ වෙනකොට උන්ට මෙතරම් පිස්සුවක් තියෙන බව වත්, උන් එක්ක වසන්න මෙතරම් අමාරු බවවත් දැනගෙන උන්නේ නැහැ නේ... ( ආකියෝ සමා වෙන සේක්වා..!! ඔය කොයි ආකියාටත් මම මේ කතාව මුණටම කියලා තියෙනවා.. ඒත්  එක ඇත්තක්  තියෙනවා.. ඒ තමයි, මට හම්බවුණු සොඳුරුම මිනිස්සුත් මට මුණ ගැහුණේ  මේ ආකියෝ අතරේ!) 

අපේ කාමරේ ඇරුණුකොට තව කාමර දෙකක් තිබ්බා . අල්ලපු කාමරේ හිටිය 'ආකියක්' තමයි අන්තිමට මගේ තදම ෆිට් එකී උනේ... කියල වැඩක් නැහැ එය ගැන නම්!!! කතා ගොඩාරියක් තියෙනවා හි හි හි...




උගේ නම 'පැන්ඩා'!!!

නමෙන්ම හිතාගන්නකෝ පෙනුම!
හිනා කන වැඩේ කියන්නේ මෙතනට එන හැමෝටම පෙට් නේම් එකක් තිබ්බා. කව්රුත් නෙවෙයි ඒ පෙට් නේම් එක දන්නේ. මේ පැන්ඩා ! මටත් නමක් වැටුනා.. ඒක  තමයි 'සැන්ඩි' ..... ඔන්න ඉතින් එව්වා මෙව්වා බොන එවුන්ට මතක් වෙයි එක එක හැඩේ ජාති.... තව එකෙක් 'බට්ටා' ( දෙය්යෝ දනී මෙව්වා මොන තේරුමෙන් දානවද කියලා.. ඌ නම් පොඩ්ඩක්වත් බට්ටෙක් නෙවි, මටත් වඩා උස කෙල්ලෙක්..)  

බට්ටා හිටියේ මගේ කාමරේ, පැන්ඩා එක්ක තව දෙන්නෙක් ඒ කාමරේ. තව පුංචි රූම් එකක් තිබ්බා. ඒක  මම ඇවිත් දවසක් විතර යනකල් ඉන්න කෙනෙක්වත්, ඇරලා තියෙනවා වත් දැක්කේ නැහැ. 

බෝඩිමට ගිහින් එළඹුන පලවෙනි සති අන්තයේදී මට ඒ ගල් ගුහාවේ හිටපු කෙනා දකින්න ලැබුනා අපි කෑම කන මේසේ ලගඳි .සුපුරුදු විදියට සෙනසුරාදා ලෙක්චර් එක ඉවර වෙලා කැම්පස් එකේ දොරවල් වහනකොට මම බෝඩිමට සැපත් උනා. 

අපි උඩ  තට්ටුවක තමයි හිටියේ. පඩිපෙළ නැගගෙන ආවම, පළවෙනියට තියෙන්නේ.... බිත්තිය! දකුණට හැරුණම කෑම  මේසේ ,  වමට හැරුනම නාන කාමරේ. කෑම මේසේ පහුකරගෙන යන්න ඕනේ අපේ කාමර වලට. 

මම පඩිපෙළ නැගල දකුණට වංගුව ගනකොටම ඒ අපුරු රුපය මම දැක්කේ... මම කොහොමද විස්තර කරන්න පටන්ගන්නේ???? මම මුලින් දැක්කේ කලුපාට ගුලියක්. මගේ දිහාට හැරුන ඇස් දෙක හරියට කළුපාට පර්වතයක හයි කරපු ෆොග් ලයිට් දෙකක් වගේ. ලොකු, ඒ වගේම සුදුපාට පසුබිමේ තිබ්බ ඒ ඇස් ! මට අදටත් මතකයි.....කොට, මහත, කළුම කළු ඇය... තමයි 'බතලයා' !!!!! (ඇති යන්තම් පැන්ඩා  ගේ නම ඌට ගැලපුනා ඒ පාර නම් )

එක පාරක කිසිම කෙනෙක් එක්ක යාලු නොවෙන, නමුත් යාලු උනොත් නම් ලේසියෙන් ඌව අත්නොහරින මම කලේ, දැක්ක දර්ශනය හිතේ තියාගෙන එහෙම්මම කාමරේට ගියපු එකයි. ඒත්  පැන්ඩා  එක්ක ඒක  ලේසි වැඩක් නෙවෙයි... එය හරියට අර 'අයිස් ඒජ්' එකේ ඉන්න 'zid' වගේ කෑකෝ ගහගෙන කාමරේට කඩන්පාත්වෙන එකයි..

 වැඩි වෙලාවක් ගියේ නැහැ පැන්ඩා  සුපුරුදු විදියට දුවන් ආව.. නිකන් නෙවෙයි.. කොන්තරාත්තුවක්  අරං

"අනේ සැන්ඩි , මේ බතලයටත් එක්ක හදමුකෝ අද තමුසෙගෙ අර කෑම වට්ටෝරුව"

ඔය කෑම  වට්ටෝරුව ගැන තියෙනවා කතා කීපයක්ම.. 

ඒ දවස් වල කෙට්ටු වීම පරම ආදර්ශ පාඨය කරගෙන උන්නත් මෙලෝ විදියකින් ඒක  අනුගමණය නොකරපු පැන්ඩා කලේ ,අහුවෙන අහුවෙන ඕනෙම දෙයක් අර හා හා හරි හාවා එකේ ඉන්න 'තස්මේනියන්  ඩෙවිල්' කනවා වගේ ඇදල ඇරලා , තමාගේ ශරීරයේ මහත ගැන වටේ උන්ට දොස් කියන එකයි.  

එළවලු තම්බන් කන්න කියලා කිව්වට මු නෙවෙයි තම්බන්නේ.... අන්තිමට මම තම්බන්න ගත්තා... පැන්ඩා  කරන්නේ මම තම්බලා හදලා, බෙදන්න හදනකොට දුවන් ඇවිත් උගේ පංගුව කාගෙන කාගෙන යන එකයි...

 පස්සේ තව රස කතා කියන්නම්කො ඒ ගැන... පස්සේ හරිද?

මම ඉතින් සුපුරුදු පරිදි එළවලු තම්බන වැඩේ පටන් ගත්තා. ඔය කෝකටත් අපිට තිබ්බේ හිටරේ විතරයි.. මම ඉතින් කෑම මේසේ එළවලු කපනකල් පැන්ඩා පොර ටෝක් දිදී මේසේ වටේ තියෙන පුටුවක වාඩිවෙලා ඉන්න එක කරනවා. 

එදත් එය ඒ වැඩේ .. තොරතෝංචියක් නැතුව කියවන පැන්ඩා  ගාවින් අර මම කියපු 'බතලයා' ගල් පරුවතේ වගේ වාඩිවෙලා හිටියා.

 මම හෙමිට එයාගේ හැසිරීම නිරීක්ෂණය කලේ දැකපු ගමන් මේ අමුතු කෙනාව මගේ හිතේ අමුත්තක් ඇති කරපු හින්දයි. කිසිම හල හොල්මනක් නැතුව ඔහේ ඉන්නවා... කළුම කළු එයාගේ ඇස්  වල තිබ්බේ හිස්, වියළි , අමුතු බැල්මක්. කිසිම හිනාවක් නැහැ. මේ ඔක්කොටම වඩා පුදුමේ කියන්නේ මේ නොනවත්වා කියෝන පැන්ඩා කොහොමද මේ වගේ ගල් පරුවතයක් එක්ක යාලු උනේ?


එළවලු තැම්බිල්ල ගැන විස්තර තව තියෙනවා ඒවා පස්සේ කියන්නම්.. මට කියන්න ඕනේ කලේ 'බතලයාගෙයි' මගෙයි පලවෙනි හමුවීම ගැන. ඒ වගේම තම්බපු එළවලු කනකල් කිසිම සද්දයක් නැතුව එයා හිටියේ මැටි පූසෙක් වගේමයි...පිටින් නොපෙන්නුවට මට හරි කුතුහලේ, මෙයා  මේ වගේ බෝඩිමක ඉඳන් මොකද්ද කරන්නේ කියලා... ඉගෙන ගන්නවා වත්ද? රස්සාවක්? අපෝ කීයටවත් වෙන්න බැහැ .. මේ වගේ කෙනෙක් කොහොමද රස්සාවක් කරන්නේ??? පුදුම අමුතුයි. අනේ මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට, (මමත් කළුයි තමයි) එයාට තිබ්බෙත් හරි පුදුම කළු හමක්... කළු කියන්නේ දම් පාටට පොඩ්ඩක් ළඟයි ..  (හරියට කියනවා නම් අර ඩුඩ් ගේ වගේද මන්ද! ඔහ් ... ඇහුනද දන්නේ නැහැ) 

ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මම ප්‍රසිද්ධ තැනක තිබ්බ මනෝවිද්‍යාව පාඨමාලාවක් එහෙම හදාරලා  හිටපු මට ,කවුන්සිලින් ගැන හොඳ දැනුමක් වගේම හැකියාවකුත් තිබ්බා.

ඔන්න තම්බපු එළවලු කන වෙලාව ආව.... සුපුරුදු පරිදි පැන්ඩා එයාගේ පිගානට කොත ගහලා බෙදාගෙන, වාඩි උනා මේසේ .. බතලය එයා ගාවින් ළගම පුටුවේ.

මෙලෝ සද්දයක් නැතුව ඔන්න බතලයා කන්න පටන් ගත්තා...'ටකස්.. ටකස්' හරියට අර ලී වංගෙඩියක් ඇතුලෙන් කොටනවා වගේ සද්දයක් එනවා.. නොනවත්වාම... මම එතරම් ගණන් ගත්තේ නැහැ

"ඇහෙනවද සැන්ඩි බතලයාගේ හපන සද්දේ?? එයා හපනකොට හකු දෙක එකට වදිනවා.. එතකොට ඒ සද්දේ එන්නේ"

මම අහන්නත් කලින් පැන්ඩා කිව්ව දෙයින් මම පොඩ්ඩක් පුදුම උනා කිව්වොත් ඇත්ත.. 

හකු වදිනවා කිව්වා?


To be cont....

Wednesday, February 5, 2014

33. බිස්නස් නම් බිස්නස්...

මම කතාවක් ලිව්වම තව කතා කීපයක් මතක් වෙනවා. එකයි එක දිගට ලියාගෙන යන්නේ.. (ඔන්න ඉතින් පලු අරින්න කලින් කිව්වා....)

ගොඩක් කතා මට මතක් වෙන්නේ මගේ අවුරුදු 4ක් විතරක් ගෙවුණු ඉස්කෝලේ ගැනමයි.. ඒ ඇයි  කියන්න මට හිතා  ගන්න බැහැ . මම කරපු රහස්, ඒ වගේම ඉන්ටරෙස්ටින් වැඩ උනේ එහෙදි හින්දා  වෙන්නත් පුළුවන්.
ඒ මොන හේතුව තිබ්බත් මම මෙව්වා ලියන්නේ මට කවද හරි අමතක වෙයි කියල බයටමයි මොකද, මම පුංචි කාලේ පිටින් නිහඬ, ඇතුලතින් දොඩමළු චරිතයක් හින්දා මටම පුදුමයි මම මේවා කළාද කියලත්.. හි හි... කව්රු මොනවා හිතුවත් මම ලියනවා ඒ හින්ද ...

Monday, February 3, 2014

32. පුස්තකාලේ කතා ...

මම ඉස්සර පොත් ගුල්ලෙක් කිව්වොත් වැරැද්දක් නැහැ. දැනුත් පොතක් ලැබුනොත් ( මගේ ටයිප් එකේ පරිවර්තනයක් වගේ එකක්) මම ඒක කියවන්නේ එක හුස්මට.
අපේ ගෙදර ඉස්සර ඉදන්ම තිබ්බේ පොත් වලට අනුබල දෙන වටපිටාවක්. පොත් රාක්කයක් , කියවන්න තැනක් වගේම වෙලාවකුත් තිබ්බා. ඒ දවස් වල දැන් ළමයින්ට වගේ ඉවරයක් නැති ටියුෂන් තිබ්බේ නැහැ නේ....

මම මිට කලින් දවසකත් ලියල ඇති මගේ පරණ ඉස්කෝලේ ගැන.... ඒ ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනත් දැන් නම් හොදට තියෙන බව තමයි ආරංචිය.. ඒ දවස්වල අපිට ඉතින් පුස්තකාලේ වෙලාවක් තිබ්බා පොත් කියවන්න කියල.. පුංචිම පුංචි කාමරයක, කොනට වෙන්න තිබ්බ ඒ පුස්තකාලේ පොත් තිබ්බේ ටිකයි. මට මේක හිතට හරි දුකක් තමයි ඇතිකළේ...