Tuesday, May 27, 2014

42. නම්බු කටුව


ඔයාලටත් තියෙනවද නම්බු කටුවක්? ඔව් හැමෝටම තියෙනවා.... එක එක මට්ටමෙන්... එක එක විදියට අටෝගත්ත නම්බු කටු


මට ගොඩාක් ලොකු අද්දැකීම් සම්භාරයක් නැහැ.. එත් මගේ කැපෑසිටි එකේ තරමට අනිත් අයට සාපේක්ෂව මට අද්දැකීම් තියෙනවා. ඒ වගේම මම පුංචිකාලේ ඉඳන්ම පුරුදු වෙච්ච හොඳ/නරක අතුරින්, ඕනෙම සිද්දියක් මගේ පුද්ගලික අද්දැකීමක් වගේම හිතන්නත්, ඒ සපත්තු මටත් දාගෙන බලන්න මට පුළුවන්කම තිබ්බ, තවමත් තියෙනවා කියල මම හිතනවා.

කොටින්ම කිව්වොත්, මම ඉස්සර නවකතා ලියන කාලේ, මගේ නම මට වඩා වැඩිමල් කෙල්ලෝ අතරෙත් ජනප්‍රිය වෙලා තිබ්බට සමහර දෙනෙක් මාව දැකල තිබ්බෙත් නැහැ. අතින් අත පාස් වෙලා යනකොට පොත කියෝලා, සමහර අය ලියල තිබ්බ කමෙන්ට්ස් ( පොත අන්තිමට මම හිස් පිටු ඉතුරු කරා, අදහස් ලියන්න කියලා) කියෙව්වම සමහර වෙලාවට මම පුදුමත් වෙලා තියෙනවා. සමහර අය මාව හොයාගෙනම ඇවිත් කියල තියෙනවා

"අනේ නංගි ... ඔය කොහෙන්ද අහවල් සිද්දිය හොයා ගත්තේ... කවුරුහරි ඔයාට කිව්වද?" කියල... බලනකොට ඒ ළමයට එහෙම සිද්දියක් වෙලා... මම ලියල තියෙන හින්ද හදමල මෙව්වා වෙලා ඇවිත් !!!



ඔය අතරේ මම උදේ රැස්වීමේදී දකින කෙල්ලෙක් තවත් එකීයක්ට
"අරය තමයි... ඔව් අර පොත මම දුන්න එක.... එයාගේ ...." තවත් මොනවදෝ කියනවා.. පැහැදිලි නැහැ
"මොනවා... මේ බටු කෙල්ල? හෑ ... බොරු අනේ.. නිකං ඉන්න පච නොකියා.."

බටු ගෙඩි දෙකක් විතර උස, වැඩිය කාගේත් එක්කවත් වැඩි බජනයක් නැති, කොන්ඩෙත් කොටට කපපු, මෙලෝම ලස්සන පෙනුමක් නැති.... මම? අරවගේ රොමැන්ටික් කතා ලියනවා කිව්වම මොන මෝඩයාද ඔව්ව විස්වාස කරන්න ඕනේ? නැද්ද මම අහන්නේ... ඔය වගේ එව්වා මට හොඳට පුරුදු හින්දා, ඔය කසු කුසු මට හොඳට පුරුදුයි.

මේකෙන් අදහස් කරන්නේ නැහැ, ඉස්කෝලේ හිටපු අසහාය ලියන්නි මම කියලා... මට කොහොමත් එහෙම දැනිලා නැහැ. මම මේ කිව්වේ ඉඳල හිටලා වෙන දේවල්...

කියන්න ඕනේ කලේ, මගේ පෙනුමත්, මාව නොදැකපු මගේ වැඩ ගැන අහපු මිනිස්සුන්ගේ මා ගැන තියෙන ආකල්පෙත් අතර තිබ්බ වෙනස විතරයි...

පෙනුමෙන් මම දැන් පොඩ්ඩක් වෙනස්.. උස ගැන නම් අහන්න එපා... අනිත් එව්වා නම් සම්පුර්ණයෙන් වෙනස්... එත් මගේ පබ්ලික් ඉමේජ් එක? එහෙම වෙනස් වෙනවද?

විශේෂයෙන් මාව ගොඩක් කල් ඉඳල දන්නා මිනිස්සුන්ගේ? මට හිතෙන්නේ ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ නැහැ කියල... ඒක හොඳ වගේම නරක ඉමේජ් එකකටත් පොදුයි... මාව නරකට දන්නා අය , මම කොතරම් හොඳ වැඩ කලත් මගේ ඉමේජ් එක අලුත් කරන්න හිතන්නේ බොහොම පොඩ්ඩ දෙනයි. හොඳ පැත්ත නම් ඊට පොඩ්ඩක් වෙනස් (අප්ඩේට් කරන වේගේ) වෙන්න පුළුවන්.

මම මේ හිතන දේ ලියන්න ගත්තේ අද ඊයේ නෙවෙයි. ටෙලිනාට්‍යයක් ( දැන් තියෙන එව්වා නම් නෙවෙයි බුදු අම්මෝ) බැලුවත්, පත්තරේ සංවාදාත්මක ලිපියක් කියෙව්වත්, හිත ඇතුලෙන් එලියට එන අදහස්, තර්ක-විතර්ක මම කොලයක් අරන් ලියනවා... අන්තිමට මට එහෙම ලියන්න පෙළඹවීමක් උනේ 'අබා' චිත්‍රපටිය. මොකද එක බැලුවම මට උතුරන කිරි කළයක් වගේ වෙන්න උනා... ගොඩක් විචාර මට තිබ්බ ඒ ගැන කියන්න...

මම ඉස්සර ඉඳන්ම මේවා ලිව්වට, කාටවත් දෙන්නේ නැහැ... ලියල හංගලා තියනවා. ඊට පස්සේ සමහර වෙලාවට මමම ආයෙත් අරන් කියෝනව. කියෝනකොට මට සමහරවිට මගේ අස්සේ ඉන්න වෙනත් පර්සනලිටි එකක් හම්බ වෙනවා... මම හිතන්නේ මේක මට විතරක් වෙන පුදුමාකාර දෙයක් නෙවෙයි.. සාමාන්‍යයි..! මම මගේ සමහර සිතුවිලි තේරුම් ගන්නේ අන්න ඒ වෙලාවට.

මම මිට කලිනුත් මගේ සිංහල ගුරුතුමියන්ලා ගැන කියලත් ඇති.. අර මට උපදෙසක් දුන්නේ.. ඇය තමයි මගේ ෆෙවරීට්.

එකමත් එක දවසක, සුපුරුදු විදියට පංතියට ඇවිත්, නම් ලකුණු කරලා සංවාදය පටන් ගත්තා. මම කියල ඇති නේ ඇගේ ඒ පුරුද්ද ගැන. ඇය  එදා කිව්වේ අදහස් ප්‍රකාශ කිරීම ගැන. ලංකාවට ආපු සුද්දෙක් වෙන කවියෙක්, ලංකාව ගැන වචන දෙකක කවියක් ලිව්වලු...

'ටාන් .. ටාන්
ඩොන් .. ඩෝන් '

ඇය මේක කියනකොටම මට හය්යෙන් හිනා ගියා.. ළමයි ඔක්කොම බූත වෙලා බලන් ඉන්නවා. මගේ ගුරුතුමී සුපුරුදු විදියට ඇගේ ව්‍යංගාර්ථය එහෙම්මම ඉතුරු කරලා.. හැමෝම දිහා කරුණාවන්ත බැල්මක් දැම්ම. මම මගේ හිනාව වහගෙන බිම බලාගත්ත. ඇයට තේරුනා මම හිතන්නේ, කවිය තේරුනේ මට විතරයි කියල. ඇය තේරුමත් කියලදිලා , පාඩම පටන් ගත්ත.

මට කියන්න ඕනේ කලේ මේකයි... සමහ දේවල් කියන්න යනකොට මතුපිටින් පේනවට වඩා අපි කියවන්න පුරුදු වෙන්න ඕනේ. හාස්‍ය, ජොලිය... තියෙන්න ඕනේ.. හැබැයි මොට්ට විදියට නෙවෙයි.. ඒ වගේම සෘන්ගාරය , රාගය ලියන්න, කියවන්න , විදින්න ඕනේ... මොට්ට තාලෙට නෙවෙයි... මේක රූල් එකක් නෙවෙයි... උපෙක්ෂාගේ මිම්මක්.. ඕනේ කෙනෙක්ට ඒක විවේචනය කරන්න පුළුවන්, එත් හොඳ නැහැ කියන්න බැහැ ...

නුවර ඉන්න කාලේ, උසස් පෙළ කරනකොට මම තනියෙන් ටවුමේ රස්තියාදුවේ යනවා. නරක විදියට නෙවෙයි.. බස් එකේ යන්න තියෙන දුර, මම පයින් යනවා. ඇත්තටම ඒ ගමන මට මගේ පොත් වලට ලියන්න ඕනේ ජාති එකතු කර කර ( සැලඩ් එකක් හදන්න වත්ත දිගේ නැවුම් පළතුරු නෙලාගෙන යනවා වගේ..) යන්න හොඳ අඩිතාලමක්. එක එක දවසට මම එක එක පාරවල් වල ගිහින් බලනවා.

මට තිබ්බ/තවමත් සුව නොවී ඇති දරුණු වේදිකා නාට්‍ය පිස්සුවක්.. ඒ කාලේ දරුණුවට පැතිරිලා තිබ්බේ.. වේදිකා නාට්‍යයක් කැම්පස් එකට ඇවිත් කියල ආරංචි උනහම කිරිපනුවෝ නටනවා... ඉඳල හිටලා අම්මගෙන් යන්න අවසර ඉල්ලනවා.. සුපුරුදු විදියට ඉල්ලීම ඉවතට. තනියෙන් යවන්න බැහැ කියල.. මට මතකයි මම එක දවසක් 'ජනාධිපති තාත්තා' බලන්න යන්න ඕනේ කියල හර්තාල් එකක් දැම්ම... ඉල්ලුව, කෑ ගැහුවා, ඇඩුවා, සන්ඩුත් කළා... මුහු... මොන පිස්සුද.. අපේ අම්ම මෘදු චරිතයක් උනාට, දෘඩ උනොත් මොන ජාතියෙන් වත් බෑ වෙනස් කරන්න... මගේ අදටත් ආසාව වෙනස් වෙලා නැහැ ඒක බලන්න යන්න...

එදා මම හිත ගත්ත... මම කැම්පස් ගිහින් ඇතිවෙන්න බලනවා කියල... මේකත් කියන්න ඕනේ... මම හිතුවොත් ඒක කරනවාමයි... සමහර වෙලාවට දරුණුයි ද මන්ද... මට මෙහෙම බලන්න යන්න දෙන්නේ නැති උනත්, මට වෙනත් දේවල් වලට හොඳට නිදහස තිබ්බ. කොටින්ම ප්‍රැක්ටිස් පාන්දර 5ට ගිහින්, රෑ  වෙලා ගෙදර එන්න අවසර තිබ්බ මට. ඒත් ඉතින් රෑ 8ට කලින් නාවොත් එළියේ... එකමත්එක දවසක, මම ප්‍රැක්ටිස් ඉවර වෙලා ඇන්තනිස් එකෙන් එලියට ඇවිත් පාර දිගේ එනවා. හෝල් එක පහුකරගෙන තමයි එන්න ඕනේ...

එතන මොකද්දෝ ෂෝ එකක්... පෝලිමේ හිටියා අපේ ඉස්කෝලේ අක්කල දෙන්නෙක්..
"මොකද්ද ෂෝ එක..?"
නමක් කිව්වා.. අහල නැහැ..
"බලනවද?"

ආයේ මොනවා හිතන්නද? අතේ තිබ්බ සල්ලි දීල ටිකට් අරගෙන බැලුව... පොඩ්ඩක්වත් අපතේ ගියේ නැහැ. එදා මම බැලුවේ 'රෝමය ගිනිගනී' කියන අපූරු ප්‍රහස්නය ... අදටත් මම ආසයි..

ගෙදර එනකොට හොඳට වෙලා ගිහින්, සද්ද නැතුව හිටියා මීයා වගේ... බස් එකේ ආවත් අර අක්කලගෙන් ඉල්ලගෙන.

මම බලල, තව සමහර මගේ සංකල්පනා වලින් ගොඩනගපු දේවල් පාවිච්චි කරලා... එක එක නිරමාණ කළා... ඒ හැමදෙයක්ම හොරෙන්..!!! සමහර වෙලාවට අපේ ගෙදර උන් ඔව්ව අහු උනාම, මාව අනිත් අය ඉස්සරහම පච කරලත් තියෙනවා.. ඒ හින්ද මම මගේ 'නම්බු කටුව' බේරගන්න හැම නිර්මාණයක්ම පොත් ගොඩවල් අස්සේ, පත්තර ගොඩේ හැංගුවා.. සමහර නිර්මාණ පත්තර කරය ගෙනිච්ච... එක්කෝ පොත් එක්ක තවමත් ඇති .. එත් දන්නේ නැහැ...


බ්ලොග් ලෝකෙට මම ලියන්න පටන් ගන්නකොට, මම දැනගෙන හිටියේ නැහැ සිංහල බ්ලොග් තියෙනවා කියල... මගේ හිටපු විශිෂ්ට බෝසෙක් ලියන බ්ලොග් එකක් ෆලෝ කරගෙන හිටිය (ඉංග්‍රීසි). එකේ අපේ හෙන්රි කොමෙන්ටුවක් දාල තිබ්බ. එකෙන් තමයි දොර ඇරුනේ... ඒත් , තවමත් අර 'නම්බු කටුව' හින්ද මගේ කකුල ඉස්සෙන්නේ නැහැ...

මේ ජේදය විවේචන උහුලගන්න බැරි, අනුන්ටත් මතයක් තිබෙන බවත්- එය තමුන්ගේ මතයට වඩා හාත්පසින්ම වෙනස් උනත් එය හානිකර නොවෙන බව දැනගෙන උනත් ඉවසගන්න බැරි ඇම්මක් තියෙන උන් කියවන්න එපා........

මේ බ්ලොග් අවකාශයේත් තමුන්ගේ පුද්ගලික අදහසක් නොවුනත්, පොදුවේ යම් දෙයක් ගැන සංවාදයක් පටන් ගත්තොත්, ඒක කෙලවර වෙන්නේ සෝචනීය ඌරු කොටුවක් වෙලා.
විශේෂයෙන් රාගය, විවාහ ජිවිතේ, පෙම් හබ, ආගමික සංවාද කියන්නේ පුද්ගලික හෙළුවැල්ල පෙන්නාගෙන, දරුණු චරිත ඝාතනයක් දක්වා යන දේවල්. ඇනෝ කෙනෙක් විදියට හරි කුණුහරප කියාගෙන එන්න හරිම ආසයි.... සිංහල ගතියද? කොටින්ම.. අපි තහනම් ආදරයක් ගැන ලිව්වොත් - පැන්න නේද හොරකොටු? වගේ දේවල් තමයි කෙලින්ම නිගමනේ.. ලියල තියෙන්නේ මොනාද, ඒකෙ තර්කෙ මොකද්ද කියල නෙවෙයි... අපි ලිව්වොත් විවාහ ජිවිතේ කම්කටෝළුවක් ගැන - මේකිට මොකක් හරි පවුලේ අව්ලක්....
කව්ද දන්නේ මෙයා බැඳලද නැද්ද  කියලවත්? මෙව්වා ඔක්කොම පුද්ගලික අද්දැකීම් වෙන්නම ඕනෙද හත්ඉලව්වේ???

අර එක තැනක හෙන්රි කියල තිබ්බ වගේ... ඒ වගේ දේවල් ගැන පුද්ගලික මතයක් තිබ්බත් ඒවා තමන්ගේ පොකට්ටුවේ තියාගෙන ඉන්නවා මිසක් පොස්ටුවක් දාල හරි කොමෙන්ටුවක් කොටලා  හරි (මම කියන හැටියට) 'නම්බු කටුව' නැති කරගන්න ඕනෙද? 

12 comments:

  1. අපිට නෑ නම්බු කටු. ඒවා කුඩු..

    ReplyDelete
    Replies
    1. දෙසන්න ඉහින් අනිත් කට්ටිය දෙසාබාලා වගේ....

      Delete
  2. කාඩ් කුඩු වී බොහෝ කල්ය... මේ වගේ කතාවක් රයිගම හන්දියෙ තිබ්කාලෙකට කලිං..
    එයා කියලතිබ්බෙ
    කව්රු හරි බ්ලොග් එක්කින් මතයක් ප්‍රකාශ කරපුවාම සමහර අය ඇවිත් ඊට පරස්පර විරෝධි මත දක්වපු වම ඒවට කැපෙන උත්තරයක් නොදී මාරු වෙනව ියල..
    මට අනුව ඒක ගොලුලබලි කටු න්‍යාය..
    තමන් කියන දෙ වෙනුවෙන් පෙනී ඉන්න බැයිනං මොන සෙද්දටද ලියන්නෙ නේහ්...
    අනේ මංද ඒ මට හිතෙන හැටි...
    ඒක නෙවී... ඔය නමුබු කටුව තිබ්බ කියල මොනාද හම්බවෙන්නෙ අප්ප.. ?????????????????????

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට තර්කෙට අහුවෙන්නේ නැති දේවල් ගැන අපි තර්ක කරන්න ට්‍රයි කලාම එහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ. එතකොට මාරු වෙන එක හොඳ ඇති.... අපි තර්ක කරන්න ඕනේ ජයගන්න බලාගෙන වෙන්න හොඳ නැහැ.. ඒකයි අනිත් එකාව බීට් කරලා බිම දාන්න පුදුම උනන්දුවක් ඇති වෙන්නේ.. අදහස් බෙදාගන්න ලෑස්ති උනහම එහෙම ගැටුමක් ඇතිවෙන්නේ නැහැ.. මේ හැම දෙයක්ම සාපේක්ෂයි
      ස්තුති කොමෙන්ටුවට

      ඇයි දෙය්යනේ.. නම්බු කටුව කියන්නේ සියළුම දේවල්!!! හරියට පාස්වර්ඩ් එක වගේ... කාටද දැන් පාස්වර්ඩ් එකක් නැත්තේ හා? නම්බු කටුව ගැන බය නැති අය එහෙනම් මට ඊමේල් පාස්වර්ඩ් එවන්නකො එහෙනම්.. හි.. හි...

      Delete
    2. ඔන්න එහෙනමි ටයි කොරල බලන්න
      maheshrmx@gmail.com
      Master9876

      පුලුවං නං ට්‍රයි කරල බලන්න
      හැක්

      Delete
    3. text ආවද? two step වෙරිෆිකේෂන් දාල නේ? හි.. හි.... ඇත්තටම ඔයාට උවමනා කලේ ඒකනේ ? ඉතින් පාස්වර්ඩ් එකේ තවත් ස්ටෙප් එකක් විතරයි... Do u get my point? Hope not... :-)

      Delete
    4. ඇත්තටම මේකයි කේස් එක...
      මම ටූ ස්ටෙප් දැම්මෙ නිකං අත්හදා බලන්න ඒත් වැඩේ කියන්නෙ දැං ඒව අයිං කරන්න බෑ... අයින් කරන්න ගහන පාස්වර්ඩ් එක වැරදී කියනව... මොනා කරන්නද... බුකියටයි මේකටයි දෙකටම වෙලා තියෙන්නෙ ඕක තමා...
      හ්ම්ම්

      Delete
  3. ජීවිත පන්නරය ලබාගත යුත්තේ අද්දැකීම් තුළින්මයි. ඔබේ මේ දිගු පොස්ටුවේත් අන්තර්ගතය එයම නොවෙද? මත කාටත් තිබෙනවා. ඒ මත අන් මත හා ගැටෙන විට එය විදග්ද විවාදයක්ද නැතිද යන්න වැටහේ නම් එතැනින් මාරුවීමේ කලාව ඉතාම ප්‍රඥාගෝචරයි. එයින් රැකෙන්නේ ඔබ කියනා නම්බුකටුවම තමා. ටිකක් ආවේගශීලි වගේ වුවත් ඔබ මතුකරනා කරුණු කාරණා එක්ක එකගයි. හැමෝගෙම ජීවිත තුළ හීන තියනවා. අප ඒ හිින ඉටුකරගන්න වෙර දරනවා. සමහර හීන සැබෑවෙනවා. ඇතැම් ඒවා නෑ. ලෝක ස්වභාවය එයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින්, අත්දැකීම් වලින් තමයි. හැබැයි තමන්ගේම අත්දකිම්ම වෙන්න ඕනෙද? හිතන්න... ගන් එකක් කෙනෙක්ව මරන්න යොදාගන්නවා කියල දැනගන්න, ඔය ගන් එකකින් කවුරුහරි මරල තියෙන්නම ඕනෙද? අපි එව්වා ඉගෙන ගන්නේ එක්කෝ මුවී වලින්...

      Delete
    2. නිර්මාණකරුවෙකුට තම නිර්මාණය කාර්යයකදී අද්දැකීම් කරගන්නේ තමන්ගේම අද්දැකීම් පමණක් නොවේ තම මිතුරෙකුගේ විය හැකියි නැතිනම් සමාජයේ දෙයක් විය හැකියි. ඒ පිළිබද ආයි කිසිම තර්කයක් නැ.

      Delete
  4. ගොඩක් දේ කියන්න තියෙනව,වැඩේ කොතනින්ද පටන්ගන්නෙ කියන එකයි.ඔබේ ඇඟේ හිටපු ලේඛිකාව දැන් එළියට ඇවිත් වගේ,කොහොම වුනත් ළමයා සිංහල ටීචර්ට අවනම්බුවක් නොවෙන්න තරම් හොඳට සිංහල ලියනවා.
    මේ පෝස්ටුවට ආසන්නම නිමිත්ත වුනේ ඔබ ලියපු පහුගිය පොස්ටුවට ලැබුණු ප්‍රතිචාර වෙන්නත් පුළුවනි.බ්ලොග් ලෝකේ හැටි ඔහොම තමා ඕනෑම දෙයක් ලිවාම ඒක එයාගෙම අත්දැකීමක් කියල හිතනවා,උදාහරණයක් හැටියට මම අහල තියෙන එක්දාස් අටසිය ගණන්වල කතාවක් ලිව්වොත් මේ අය හිතන්නෙ මම ඒ කාලෙ හිටිය කියලයි.ඉතිං ඔව්වට විස්සෝප වෙලා වැඩකුත් නෑ නිවැරදි කරල වැඩකුත් නෑ රණ්ඩු වෙලා වැඩකුත් නෑ එන විදියට බාරගන්න එකයි.
    අපේ නම්බුව කුඩුවුනේ නං බ්ලොග් ලියන්න ආපු අලුතමයි.

    ReplyDelete
    Replies
    1. හි.. හි... හැලපේ සමහර වෙලාවට හරි වෙන්න ඇති... මම ලිව්වා ඉස්සර... දැන් භාවිතය අඩු හින්ද සමහර වචන එන්නෙත් නැහැ. අපෝ මම දැන් ලියන එව්වා මෙලෝ රහක් නැහැ කියල අපේ සිංහල ගුරුතුමී කියයි... බුදු අම්මෝ

      ඔව් ආසන්නම හේතුව ඒකත් වෙන්න පුළුවන්. මේක මම කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක් මිසක් එක පාරට ආපු දෙයක් නෙවෙයි. මම කොහොමත් ඔය වගේ දේවල් ට්‍රයි කරන්න බය නැහැ ඉස්සර ඉඳන්ම... කාගෙවත් මතවාද වලට පහර ගහන්න නෙවෙයි.. මගේ බ්ලොග් ඒකෙ බේසික් රුල්ස් ටික විදියට තියාගන්න විතරයි... නම්බු කටුව කුඩුකරගන්න නම් මට වුවමනාවක් නැහැ... එහෙම දෙයක් මම කරනවා නම් කරන්නේ ගොඩක් ප්‍රබල හේතු තිබ්බොත් විතරමයි...

      මම ලියනවා.... වෙනසක් වෙන්නේ නැහැ. ස්තුති කොමෙන්ටුවට

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...