Friday, May 23, 2014

39. ඇඩික්ටඩ් ඇඩික්...

ඇඩික් කිව්වම දන්නවනේ...

කොච්චර දේවල් ඉතින් මතක් වෙනවද එහෙම කිව්වම නේද?
ලොල් කියලත් කියාවි, එතකොට මත් ලොල්, රාජකාරි ලොල් ( එහෙම උන් ඉන්නේ මම වැඩකරන කොම්පීතර අවකාශයේ.. වර්කොලික් කියන්නේ) , අරව මෙව්වා.... ඇයි එතකොට ස්ත්‍රී ලොල්.... චීය ..

ඒ ගැන කතා නොකර ඉම්මු.. මොකද මම මේ කියන්න යන්නේ එහෙම එකක් කිසිසේත්ම නොවෙන හින්ද... දැන් දුවගෙන ගිහිං , වෙනදට හොරු ගෙට පනිනකොට ගහන්න කියලා හංගලා තියෙන දෙකේ දෙකේ පොල්ල උස්සන් එන්න එපා මට දෙකක් දෙන්න හරිද? මම නිකන් ටෙස්ට් කලේ, ඒක හදිස්සියට ගන්න පුළුවන් තැනක දැනටත් තියෙනවද කියල...

මම මේ කියන්න ගත්තේ මම ඉස්කෝලේ යන කාලේ බැඳිලා හිටපු සංගමයක් ගැන කියන්න... අන්න ගොනාට වගේ තේරුනා නේ? ඔව් ඔව් ... ඇඩික් (ADIC ) කියන්නේ පාසැල් යන ළමුන් අතරේ ඒ දවස්වල ඉතා ජනප්‍රිය සංගමයක්. ( අඩු තරමේ මම එහෙම ජනප්‍රියයි කියල වත් හිතාගෙන හිටිය කියමුකෝ)
නොදන්නා අයට මෙන්න ලින්කුව 


උසස්පෙළ කරන කාලේදී මම මේ සංගමයට බැඳුනේ , ඇත්තම කියනවා නම් ගොඩක් ක්‍රියාකාරකම් ඒකෙන් ඒ වෙනකොට කරමින් පැවතුන හින්ද ඇතිවුන ආසාවටමයි. ටික දවසකින්ම ඕවයේ නිලතලත් කරපින්නාගෙන බැහැගෙන වැඩ කලේ... අපිට උපදෙස් දෙන්න පිටින් එනවා මවු සංගමයෙන් නියෝජිතයෙක්. ඒ අය්යාගේ නම ඉන්දික. මිනිහ හෙන කූල් පොරක්. මිනිහගේ ස්ලෝගන් එකට මම කැමති..

"අපි අමද්‍යප නෙවෙයි" - ඒක තමයි ස්ලෝගන් එක.

ඉඳල හිටලා මාස දෙක තුනකට සැරයක් වෙනස් වෙනස් පාසල්වල තියෙන මේ සංගම්වල ක්‍රියාකාරකම් වලට අපිට ඉස්කෝලේ නියෝජනය කරමින් යන්නත් චාන්ස් එනවා. ඔව්ව වැඩියෙන් කරන්නේ පිරිමි ඉස්කෝල. උන්ට නැතුව කොහොමද කෙල්ලෝ ඉස්කොලෙටම ගෙනත්දෙන වෙන මන්තර තියෙන්නේ... හි.. හි.... ඒ මදිවට ඔය වගේ ඉවෙන්ට් ලං වෙනකොට අපිට අලුත් සාමාජිකාවෝ එහෙමත් බැඳෙන්න පොරකනවා.. වෙන කවුද ඉතින් අර කොල්ලොන්ගේ ගෑනු ළමයි මිසක්... කාන්තා විද්‍යාලයක් හින්දා හිතාගන්න පුළුවන් නේ උනන්දුව.. හැබැයි මෙව්වා හරිම හෙමීට , හීන් නූලෙන් , වැදගත් විදියට තමයි කෙරුනේ.. 

මේ ඇඩික් එක ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා... මම ලියන්න හිතන් ආපු ටික විතරක්ම ලියන්නම්කො... වෙන එව්වා පසුවට. නැත්තම් ඔක්කොම කියෝලා ඉවරත් වෙලා මෙතන,  දිග වැඩි කියල දේවාලේ පොලුත් ගහල යයි.

ඔන්න අපි නමෝ විත්තියෙන් නිලවරණේ ඉවර උනහම, ඔෆීෂියල් විදියට අපේ සහෝදර පිරිමි පාසල ට විසිට් එකකුත් ගිහින් අපේ 'සහෝදරකම්' එහෙම මුවත් තියාගෙන ආව. 

මම ඒ දවස්වල හිටියේ නසරානි පංති අතුරින් , මීඩියම් නසරානි පංතියක. නඩු නැත්තෙත් නැහැ, ඇත්තෙත් නැහැ.... ඒ පන්තියේ හිටපු නසරානියා ( නසරානිච්චි ??) මමත් නෙවෙයි ඔන්න... ඒ ළමයා.... එක්කෝ එව්වා පස්සේ එකක ලියනවා.. මෙතන ඇඩික් එකක් නේ ලියන්නේ නේද? අවුලක් නැහැ ඒ ළමයා දැන් ලෙඩ්ඩු මරණවා... දොස්තරයෙක්.... අපෝ... දැන්ම කොලයක් අරන් ලියාගන්න නම, "මල්ලව ආරච්චි"... නමෙන්ම පේනවනේ තරම ?? නම ලියාගෙන මතක ඇතුව තමුන් කොයි වෙලාවක හරි බෙහෙතක් ගන්න ගියාම බෙහෙත ලියන්නත් කලින් දොස්තරගේ නම සැකහැර දැනගන්න මේ නම නෙවෙයි කියල... නම ඒ නම නම් විස්වාසෙන්ම කියන්න පුළුවන් දෙන්නේ මාරාන්තික බෙහෙතක් කියල... ඒකිට පිස්සු!!! විස්වාස කරන්න, මේ ළමයා අපේ ඇග්රි ඒරියා එකේ වවල තිබ්බ කෙසෙල් ගහෙන් කැනකුත් කැපුවා ඉස්කෝල වෙලාවේදීම! 
ඉතින් මෙන්න මේ වගේ උන් එක්ක ඉන්නකොට මම වගේ දරුවෙක් උනත් අනපේක්ෂිත කරදර වලට මුහුණ පානවා... 

කිව්වත් වගේ, ඔහොම දවසකදී පන්තියේ බ්ලැක් බෝඩ් එකේ බලියක් ඇඳලා මුළු පන්තියම දඩුවමට ලක් කළා... දඩුවම තමයි ඔෆිස් එක ඉස්සරහ තාර දාපු බිම්කඩේ දණගහගෙන ඉන්න එක. පන්තියේ හිටපු නාරිලතා සහ චාරුලතා ල දෙන්නා තුන්දෙනා ඇරෙන්න අපි කිසි කෙනෙක්ට මේකේ අවුලක් නැහැ... 

තාර දාල තිබ්බට එතන පොඩ්ඩක් මෙට්ල් ගතියයි.. මම නම් ඔතන දඬුවම්  ඩිප්ස් හිටන් ගහල තියෙනවා ප්‍රැක්ටිස් කරද්දී. දණගහගෙන ඉන්න එක නම් ජොලියක් නැති උනත්, කට්ටියම ඉන්න හින්දා අපි හිටියේ හෙන ෆන් එකේ. ඔෆිස් එකෙන් කවුරුහරි එනකොට සීරියස් මුණක් දාගෙන , යනකොටම ආයෙත් කිචි-බිචි ගානවා. එතනින් පාස් වෙන උන් අපේ තිබහට වතුර බෝතලුත් දෙනවා. ඒවා කකුල් දෙක මැද්දෙන් බිම තිබ්බම ගවුම නිසා පෙන්නේ නැහැ. අව්වත් සැරයි .. ඒත් ගානක් නැහැ. 

ඔෆිස්  එකත්,අපි හිටපු තැනත් මුහුණට මුහුණ... දෙකටම පැත්තෙන් තමයි ඉස්කෝලේ ගේට්ටුව තියෙන්නේ. මීටර් 150ක් විතර දුරක් ඇවිදගෙන එන්න ඕනේ කොහොමත් ගේට්ටුවේ ඉඳල. අපි දණගහගෙන හිටියේ මම හිතන්නේ හවස් වරුවේ, මම හිතන්නේ දොළහත් පැනල. ඔන්න ටික වෙලාවකින් කවුදෝ  පේනවා ගේට්ටුව පැත්තෙන්, දිගට කලිසම් ඇඳලා , යුනිෆෝම්... මල සේක!!! ඇස් කොනින් දැක්ක ඒ අපි මිට දවස් කීපෙකට කලින් ගිහිං සහෝදර බැම්මෙන් බැඳුනු, සහෝදර පිරිමි පාසලේ ඇඩික් එකේ සෙට් එක! තඩි ගොම බාල්දියක් නෑවා වගේ මට ඉන්න හිටින්න තැන අමතක වෙන තරමයි.... මුන් ටික ඇවිත් තියෙන්නේ උන්ගේ උත්සවේකට අපිට ආරාධනා කරන්න.... චා චා.... විලි ලැජ්ජාවයි... දත් ලොකුවට පෙන්නගෙන මුන් ගියා ඔෆිස් පැත්තට.... මම නෙවේ බැලුවේ... බලන්න බැහැ නේ... නම්බු කටුව???
තවත් සිද්දියක්.... 

අර සහෝදර පිරිමි පාසලේ ඇඩික් එකෙන් නාට්‍ය තරගයක් තියෙනවා කියලා ඔන්න එවල තිබ්බ. ඔන්න ඉතින් දනිපනි ගාල අපිත් ඕකට සුදානම් උන. ඒ දවස් වල නවකතා , පෙම් කතා එහෙම ලියල බල්ටි ගහල හිටපු මම පැනල තව වැඩක් කල.. ඒතමයි නාට්ටිය හදපු එක!!! අහන්න එපා මොකද්ද කලේ කියල.... කියන්න තියා අපිවත් දැනගෙන හිටියේ නැහැ ඒක මොකද්ද කියල... එකත් අර ශෂී විජේන්ද්‍රගේ ෆිල්ම් එකක් වගේ.. කතාවත් ශෂී, දෙබසුත් ශෂී, අධ්‍යක්ෂකත් ශෂී, ප්‍රධාන නළුවත් ශෂී.... ( එව්වා බැලුවෙත් ශෂී වෙන්න ඇති නේද...) මට මතකයි ඉස්සර අපේ සර් කෙනෙක් කියනවා ඒ ගැන.. මම නම් නොදනී... හි.. හි...  තමයි... ඔක්කොම මම තමයි කලේ.... 

ඔන්න ඉතින් කලින් සැලසුම් කරගෙන හිටපු විදියට නාට්‍ය තරගෙට කට්ටිය ගියා පිරිමි පාසලට. මෙන්න බොලේ ජජ් කරන්න ඇවිත්.. ධනංජය සහ සනත් විමලසිරි...!! දෙන්නම මම හරියට ආසා කරපු දෙන්නෙක්... ඔන්න ටිකින් ටික අපේ නාට්‍ය පටන් ගන්න වෙලාව ආව... අපි දැන් ලක ලැස්ති  වෙලා ඉතින් දෙබස් කටපාඩම් එහෙම කරලා පටන් ගත්ත..

මුල කොටස සාර්ථකව කෙරීගෙන ගිය හින්දා මගේ ස්ට්‍රෙස් ගතිය අඩුත් වෙලා... ඔන්න එක තැනකදී මම ආයෙත් වේදිකාවේ පෙනී ඉන්න ඕනේ... පොඩි දෙබස් කීපයක් කියලා එහෙම මට සින්දුවක් පටන් ගන්න තමි තිබ්බේ... සිංහ සෙය්යාවෙන් එකත් කියලා.... සිදුව පටන් ගන්න හැදුව විතරයි....

මලා! මට සින්දුව අමතක උනා.... තත්පරයක් ගියා... මම ශාලාව දිහා බැලුව, ඔක්කොම මාළු කාරයාගෙන් විසිවෙන මාළු කෑලි දිහා බලන් ඉන්න පුසෝ රංචුවක් වගේ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා...

ස්ට්‍රෙස් ගතිය කොතරම් නැති වෙලා ගිහින් කිය නම්... මට සින්දුව මතක් උනේම නැහැ... අකුරක්වත් මතක් උනේ නැහැ... මොලේ කියන්නේ ප්‍රොම්ප්ටර් කෙනෙක් වත් අපි සැලසුම් කරලා හිටියේ නැහැ. මතක් කරනවා.. .කරනවා... කෝ???

බැරිම තැන මම පොඩ්ඩක් නටල බැලුවා සින්දුව මතක් වෙයිද කියලා... නැහැ නේ අප්පා.... මේ විගඩම මම හිතන්නේ විනාඩියක් දෙකක් තිබ්බ... ඉවසන් ඉන්න බැරිම තැන, සින්දුවට මියුසික් දෙන කෙල්ල  ඔක්කොටම ඇහෙනම ඇහුව 
"ඇයි අනේ අර අහවල් වචනෙන් පටන් ගන්නේ....." කියලා  ( හපෝ.. දැනුත් මට මතක නැහැ නේ... හි.. හි.. හි...)
ඔන්න එතකොට ගැහිලා ගැහිලා, ටියුබ් ලයිට් එක පත්තු වෙලා මම ගජ රාමෙට සින්දුව පටන් අරගෙන කියන්න ගත්ත.... ඔන්න ඔහොමයි නාට්ටියේ නාටකේ!!!! දිනුවද කියල අහන්න එපා  මෙච්ච්චර දෙයක් කිව්වට පස්සේ හරිද?


තව තියෙනවා..... දිග වැඩිද?



12 comments:

  1. නුවර කුමාරි, ළඟදි අහුවුනේ ඔයාගේ බ්ලොග් එක. ඔක්කොම කියවං ගියා. ලිවිල්ල හරී.........ම රහයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බළල්ලු සංහතියම වෙනුවෙන් සාදරෙන් පිළිගන්නවා ... ස්තුති.. ඉඳල හිටලා හිට් වෙන එකක් විතර ලියවෙන්නේ.... තව දෙයක්.තව දෙයක්... කිරිපිටි බොන්නේ නැති හින්දා අල්ලපු බ්ලොග් එකෙන් තමයි බළල් හාමිනේට කිරි නම් ඉල්ලගන්න වෙන්නේ.... ඉන්න අනේ ගුලියක් ගැහිලා මේ පැත්තේ!!!

      Delete
  2. හෝප්.. අකුරු ටික ලොකුවට දැම්ම නං වයසක අපිට කියවන්න පහසුයි.. නැද්ද

    ReplyDelete
  3. ඇඩික් එක්කට මගෙයි මගෙ ගජෙක්ගෙයි නං දෙක දුන්න... හික්ස් ඒත් අපිව තේරුණා කියල නං ආවෙ නෑ උං රාස්පරීස්සක වැඩක් කොලාද දන්නෑ... දමාකදඅපිත් අමද්‍යප ෙනවේවෙ...
    හැක්

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම්, අමද්‍යප කියන්නේ පොඩ්ඩක් වෙනස් සංකල්පයක්.. පස්සේ ලියන්නම්කො ඔය ස්ලෝගන් එකේ තේරුම...

      Delete
  4. / මොලේ කියන්නේ නැරේටර් කෙනෙක් වත් අපි සැලසුම් කරලා හිටියේ නැහැ

    නැරේටර් නෙවෙයි මෝඩියෙ...ප්‍රොම්ප්ටර් නොහොත් පෙළ මතක් කර දෙන්නා...පොතේගුරා කිව්වෙත් එයාටම තමයි.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක පබ්ලිෂ් කලාට පස්සේ නොවැ මතක් උනේ වචනේ... ෂරියා... ෂරියා... ගොනාට වගේ තේරුණා

      Delete
  5. මට මේ කතාව මිස්වුනේ කොහොමද,නෑ නෑ දිග වැඩි නෑ කොහෙත්ම දිග වැඩි නෑ තව තිබ්බනං තව කියෝනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න අකුරු පොඩි හින්දා මිස් උනා කියන්න කොහොමටත් ඔට්ටු නැහැ හොඳේ? එව්වා හදලා..! ආවට ඉස්තුති... ආයෙත් එමු

      Delete
  6. >>මාළු කාරයාගෙන් විසිවෙන මාළු කෑලි දිහා බලන් ඉන්න පුසෝ රංචුවක් වගේ<<
    මේ උපමාවල් නම් හරිම නිර්මාණශීලීයි.

    දිග වැඩි නෑ. ලියවිල්ල හොඳ නිසා කියවන්න පුලුවන්.

    ඔය ඇඩික් එකේ තිබ්බ එක අවුලක් තමයි සමහර ප්‍රචාරාත්මක දැන්වීම් වල තියෙන බොළඳ ගතිය.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි... ඒක මටත් ඒ දවස්වල හිතුනා... අපේ ටීම් එක කලේ වෙනස් වැඩ.. එව්වා මම පස්සේ ලියන්නම්..

      ස්තුති මගේ උපමාවල් හොඳයි කිව්වට... I feel grate!!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...