Monday, July 7, 2014

58. නිල් නුවන් - 02

පළමු කොටස 

ප්‍රධාන පාරෙන් රථය හරවා මැයිමාර ගස් අතුරේ දිවෙන නිස්කලංක මාවතේ මද දුරක් රථය පදවාගෙන එන නුවන්ගේ සිත ශරීරයෙන් වෙන්වී ඇත්තා සේය.  වෙනදාට මෙහි එන ඔහුගේ සිතත්, අද සිතත් හාත්පසින්ම වෙනස්ය.

රථගාලේ රථය නතරකල නුවන්, සුක්කානම පොඩිපට්ටම් කරන තරමේ ආවේගයකින් එය මිරිකාගද්දී, අනායාසයෙන් ඇස් වලින් කඳුළු කුට්ටි කිහිපයක් ඔහුගේ කමිසයට වැටුනේ, මුරුගසන් වරුසාවක දිය බිඳු විලාසයෙනි. සෙමින් හිස සුක්කානමේ ඉහල කෙලවරේ රැඳවූ ඔහු, කුඩා දරුවෙකු සේ ඉකි බිදින්නට විය. ගතවුයේ මිනිත්තු කිහිපයකි, සෙමෙන් හිස ඔසවා සිහියෙන් කඳුළු පිස දැමු ඔහු, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනය ඔබා කනෙහි රඳවා ගත්තේය.

"අම්මේ... මම මේ... අහ් ... ඔව් ඔව්... මම පොඩ්ඩක් පරක්කු වෙයි. සෝමදාස කිව්වද?"

අනෙක්පසින් ඇසුන තම මවගේ හඬ සුපුරුදු සිතල කෝමාරිකා ඇතිරිල්ලක්ම විය.

"හොදයි පුතේ.. පරක්කු වෙන්න එපා. රෑ උනහම බීපු උන් පිස්සෝ වගේ එළවන්නේ "
"නෑ , පරක්කු වෙන්නේ නැහැ."

ඇමතුම විසන්ධි කොට සුපුරුදු සන්සුන් විලාසයෙන් හාත්පස බැලූ ඔහු, නැවත රථය හරවා ගත්තේ ආරක්ෂකයා පුදුමයෙන් බලාසිටියදිමය. 

උමයංගනා ... උමයංගනා.....


උමතුවෙන් මෙන් ඒ නම මිමිනෙනවා හැරෙන්නට වෙන යමක් නොසිතෙන හැටි? ඒ ඇත්තටම ඇයද ? ඇය නොවීද ? වෙන අයෙක්ද? හිත හදාගන්නට මෙන් නුවන් ඒ ඇය නොවේ යයි සිතත්ම, ඇයත් සමග උන් ඇගේම ඇස් ඇති ඒ සිඟිත්තිය පතාක සෙවනැල්ලක්සේ සිත පුරාම භීතියක් ඇතිකරන්නට විය. 
'දෙවියනේ උමයංගනා.... ඔබ අන්සතු වීද ?'

දෙදරන සරසුලක් කන් අසල තීව්‍ර ලෙස නදදෙන්නාසේ , සිය කන් නෑසී යනවා ඔහුට දැනෙන්නට විය.

එසේ විය හැකිද? ඇයට අන්සතු වියහැකිද? එය කෙසේවත් පිළිගතහැකි යමක් නොවේ! හිත ඇතුලට ගිලුණු ඊයම් බරුවක් සෙමෙන් ඉවත් කරන්නාසේ, එය එසේ නොවන්නට ඔහුට එක එක කරුණු එක්කාසු කළහැකි විය. නිවසට ළඟාවනතුරු ඔහු සිදුකලේ එවන් කරුණු එක්කාසු කිරීම පමණකි. නොරිස්සුමෙන් නලා ශබ්ද කොට, සිය රථය ඉස්සරකර ගිය කිසි රථයක් ගැන කිසි කල්පනාවක් ඔහුට තිබුනේද නැත. 

ගරාජයෙන් රථය මුදාහල ඔහු, නිවසට ඇතුල් වනවිටම මල් විසිරෙන සිනහවකින් ඔහු පිළිගත්තේ වැඩිමල් සොයුරියයි. සිය නෙරා ආ උදරයට තබනලද අතක් සහිතව, ඇය මුව පුරා ඇදීගිය ඒ සිහිල් සිනහවෙන් යටපත්වුණු නුවන්ගේ සිත මදකට පසුබෑවේය.

"මල්ලි මහන්සි පාටයි.."

හ්ම්ම් කීවා හැරුණුකොට කිසිවක් නොකියා උඩුමහලට වදින්නට නුවන්ට දැඩිව අවශ්‍යව තිබුණි. 

"පුතාට මම උණුවතුර ලෑස්ති කළා.. තුවාය...."
සිය කාමරය දොර අසලින් මතුවෙමින් ආ අම්මාගේ පිළිගැන්ම නුවන්ට මහා කරදරයක් සේ දැනුනෙන්, දොර වසාගනිද්දී නෑසී ගිය ඒ අතරමැදින් කැඩුණු වැකිය ඔහුගේ වෙනස ඇයට තදින් දනවන්නට සමත් විය. 

ටයිපටිය බුරුල්කල ඔහු, පාවහන් සමගම යහන මතට කඩන් වැටුනේ පණක් නැතුවා සේය. සියළු ප්‍රාණයන් සිය සිරුරෙන් මිරිකාහල කලෙක මෙන් රිදුම් දෙන සිරුරත්, කටුවක් ඇනුන සිතත් සුවපත් බවක් පතමින් අයදුමක් කලද... ඔහුට කිසිදු මගක් නොපෙනේ.

උමයංගනා...

ඔව් ඇය... තමුන්ගේ මුළු ජිවිතයම කණපිට පෙරළු ඇය ? කෙසේ අමතක කරම්ද? දොළොස් වසරක් තිස්සේ පවා, අමතක කොට නොවුණු ඇය... එක ක්ෂණයකින් දිස්වී , ඒ ක්ෂණයෙන්ම අතුරුදන් වූ අරුමය?

ගමේ පාසලේ එකට අකුරුකළ උමයංගනා  තමුන්ට අමතකව යනවා නම්, තමන් මියගිය විට පමණක් යයි තම මවට වුවද නිර්භයව පැවසීමට තරම් නුවන්ගේ සිත ස්ථිර විය. එකම පාසලේ, තමන්ට වසරක් කනිෂ්ට පන්තියේ උන් උමයංගනා නුවන්ගේ සිත පැහැරගත්තේ රුව නිසාම නොවුනත්, උමයංගනා සතු ඉතා සුවිශේෂ නෙත් යුවල පාසැලේ පමණක් නොව අවට පාසල්වල තරුණයන්ද වශීකෘතව සිටියහ. කවදත් නිහඬ නුවන් ඇය රසවින්දේ නිහඬවම වුවද, තරුණ සිතක් ගැන කවර සිමාවක්වත් වලංගු නැත.

පළාතේ ප්‍රභූ පවුලක උඩවැඩියා මලක් වූ උමයංගනා තමන්ගේ ඒ නිල්පාට ඇස් දිළිසුවේ නුවන් කෙරෙහිය. සැබෑවකි, මෙය සම්ප්‍රදායික ප්‍රේමයකි. දෙදෙනා අන්ත දෙකකත්, පාසල් ප්‍රේමයක් වීමත් අනෙකුත් බොළඳ ගතිගුණ වලින් කීපයකි. නුවන් පියා අහිමි දුප්පත් පවුලක නිදිකුම්බා ගසකි. උසස්පෙළ පන්තියේ සිටි නුවන්ට උමයංගනා හැකි සෑම විටම අමතර පංති සඳහා මුදල් වලින් උපකාර කලෙන් , නුවන් එක සිතින්ම ඉගෙනුමට මුල්තැන දුන්නේ කිසියම් දිනෙක උමයංගනා වෙත යන මාර්ගයක් වේනම්, එය ඉගෙනීමෙන් නිරාවරණය වනු ඇතැයි සිතමිනි. ඇයගේ මේ කරුණාව ඇය සේම ඇගේ පවුලේ සැමගෙනුත් නුවන්ට නොඅඩුව ලැබුණි. ඇය මෙන්ම ඇගේ පියා, මව, නැගණිය යන  සියලු දෙනා තමන් කෙරෙහි දක්වන කරුණාව නුවන් තවත් දිරිමත් කලබව නොරහසකි.

සැබවින්ම තමන් ඇයට ණයගැතිය... සදාකාලිකවම!

සියල්ල හොඳින් සිදුවුයේ උසස්පෙළ ප්‍රථිපල පිටවනතෙක් පමණකි. උසස්පෙළ ප්‍රථිපල වලින් විශිෂ්ට ලෙස සමත් වූ නුවන්, පළමුව මවත් දෙවනුව උමයන්ගනාත් සොයා දිවගියේ සෙල්ලම් බඩුවක් පළමුවර දිනු දරුවෙකු පරිද්දෙනි. එදින උණු කඳුළු වැගිරූ උමයංගනා සිහිවනවිට දැනටත් නුවන්ගේ සිත රිදුම්දෙයි.
"නුවන්, මට පොරොන්දු වෙන්න කවදාවත් මොනම හේතුවකටවත් ඉගෙනීම අත අරින්නේ නැහැ කියල...."
"මම පොරොන්දු වෙනවා උමා"

එය නුවන්ගේ දිවියේ සංවේදීම මොහොතවල් වලින් එකකි. යහනේ කෙලින්වී හිඳගත් නුවන් දෙඅත් නළලේ තබාගත්තේ සිය කැරලි කොණ්ඩය තදින් මිරිකා ගනිමිනි.

'උමා... මම ඔයාගේ පොරොන්දුව කවදාවත් කැඩුවේත් නැහැ... එහෙම කියල ඔයා අතුරුදහන් උනේ ඇයි ? අද වගේම?  '

නුවන්ගේ සිතුවිලි ගඟ බිඳිමින් කවුරුන්හෝ දොරට ගසන ශබ්දයක් ඇසුනෙන් වහා යහනෙන් බිමට බට ඔහු, කමිසයේ බොත්තම් ගලවන්නට වුයේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාමය.

"මල්ලි......... කෑම කන්න එනවද......"

අක්කාගේ කටහඬ දොර පාමුලින් ඇසුනේ සෙමිනි. ඉඳහිට මෙවන් මුහුණකින් නිවසට එන නුවන්ගේ නිහඬ හැසිරීමට සඳුන් සිසිලක් වන්නට ඇයට හැමදාම හැකිය. අම්මාට වඩා ඉවසිලිවන්තියක  ඇය නුවන් කෙරෙහි ඇත්තේ පුදුමාකාර බැඳීමකි.

"ඇඟ හෝදගෙන එන්නම්, අක්ක යන්න"

දොර වසා තිබියදීම එසේ කි නුවන් ඇඳුම් උනා තබා නාන කාමරයට පිවිසියේය. සිතල වතුර මලකින් නිවිය නොහැකි ගින්දරක් තමන්ගේ සිත තුල බුර බුරා නඟිනු නුවන්ට දැනුනත්, කෙළවරක් සෙවිය නොහැකි මේ ගැටළුව නිරාකරණය කරනාතුරු වෙන මගක් නොලැබෙන බව පමණක් වටහා ගත්තේය.

උසස්පෙළ ප්‍රථිපල වලින් දින දෙකකට පසුව උමයංගනා ගේ නිවස සොරුන් විසින් බිඳිනු ලැබ , ඊට දිනකට පසුව ඔවුන් සිය නෑයින්ගේ නිවසකට ගිය බව ඇසු නුවන් අවසිහියෙන්  දිවගියේ උමයංගනාහට කවරක් සිදුවීද යයි දැනගැනීමටය. කිසිවක හෝඩුවාවක් නැති වුවත්, එදින සවස පාසල් මිතුරෙකු ඔහුට ගෙන ආවේ තොරතුරක් නොව, පණිවිඩයකි. නිවසේ කිසිවෙකුටත් නොදැනෙන්නට ඇතුල් කාමරයට ගිය ඔහු නුවන් දෙසට හැරුනේ දොරද අඩවල් කරමිනි.

"නුවනෝ... මේක උමයංගනා නංගි දෙන්න කිව."

කළුපාට ටියුලිප් වර්ගයේ බෑගයක් නුවන්ගේ අතෙහි රැඳවූ ඔහුගේ විලාසය නුවන්ට සැක මතු කළේය.

"මචං... උමා කොහෙද ගියේ? එයා යනකොට කිව්වද?"

අතෙහි රැඳවූ බෑගය පිළිබදව කිසිදු තැකීමක් නොකළ නුවන් මිතුරාගේ දෙවුර සොලවන්නට වුයේ, පිළිතුර කොහේ හෝ සඟවා තබා ඇත්නම් බිමට පතිතවන තරම් ආවේගයෙනි.

"මං දන්නෑ බං... ඒකිගේ නංගි අතේ එවල තිබ්බේ.... මං යනවා "

මිතුරා ගැන කිසිදු තැකීමකින් තොරව නුවන් බෑගයට අත දැමුයේ උමා කිසියම්හෝ වැදගත් යමක් තමන්වෙත ඒවා ඇතැයි හිත එකවරම කි බැවිනි. ඔහුගේ අතට හසුවූයේ තදින් ගැටගසනලද පාර්සලයකි.  ගෙන විවර කල ඔහුට ඔහුගේ දෑස් අදහා ගත නොහැකිවිය... එහි තිබුනේ මුදල් නෝට්ටුය. පාර්සලය ඔතා තිබු කවරයේ ලියා තිබු වැකිය ඔහු දුටුවේ ඉන් පසුවය.

'මේ සල්ලි ඔයාට, කවදාවත් ඉගෙනගන්න එක නතර කරන්න එපා නුවන්.'

21 comments:

  1. කතාව ගලාගෙන යනවා වේගේ වැඩිද මන්දා . දෙවෙනි කොටසේ මොකක් හරි නොගැලපීමක් තියෙනවා . කමෙන්ට් දාන්න බැරිඋනත් මන් කතාව දිගටම කියවනවා නිවාඩු වෙලාවට.
    දිගටම ලියන්න.අපි බලමු.
    කතාව ගොඩක් බොලද කරන්න එපා .සමහර නවල් වල කොල්ලත් අඩනවා කෙල්ලත් අඩනවා .මටනම් යකා නගිනවා ඒ වෙලාවට .

    ReplyDelete
  2. කතාවේ ගලායාම ටිකක් වේගේ වැඩියිද කියලා හිතුනා හැබැයි.. කෝම වුනත් කමක් නෑ.. ලියමුකො බලන්න..

    ReplyDelete
  3. වෙනස් ආරක කතාවක් වගේ... ඔහොම යන්

    ReplyDelete
  4. අප්පේ ....හා හා ලියාපන්කෝ ඉතුරු ටික. උමයන්ගනා දැකපු වෙලේ මොන විදිහේ හැගීමක් එන්න ඇතිද කියලයි මම හිතුවේ ,

    ReplyDelete
  5. ටියුලිප් බෑග් එකක් පුරෝලා සල්ලි....

    අන්න කෙල්ලො!

    ReplyDelete
  6. මෙතනින් ඉවරද? තව තියෙනවද?

    ReplyDelete
  7. පුරුවේ ණයකාරයෙක්ද කොහේද මේ උමා... කතාව හොදයි..

    ReplyDelete
  8. මේ ගෑල්ලමයා මතක් කරන දේවල්....
    ඔයවගේ දේවල් වෙච්ච අය ඉන්නවා නේද?
    පස්සේ කාලෙක හම්බ උනාම, තාමත් බැඳලා නැතිබව දැනගත්තාම තමයි ගිල්ටි ෆීලින්ග් එකේ අන්තිම එක දැනෙන්නේ....

    ReplyDelete
  9. ඉතුරැ ටික ඉක්මනට ඔනේනේනේ....
    එල ද බ්‍රා

    ReplyDelete
  10. ඇත්තක් කියන්නද?මම නම් හැම එකටම හරී හොඳයි කියන කෙනෙක් නෙමෙයි. දේවල් දිහා විචාරක්ෂියකින් බැලෙන්නෙ හිතල නෙමෙයි.ඉබේට.මම ඔයාගෙ බ්ලොග හරියට රස වින්ද කෙනෙක්.ඒත් මෙම කතාවේ කිසිම විශේෂයක් මට පෙනෙන්නේ නැහැ..හැම කුනු ගොඩම කියවන කෙනෙකු වන මම ඉස්සර අරලිය,යුවති වගේ පැනි පත්තර වල මෙවැනි කතා අටෝ රාසියක් කියවා තිබුනා.ඔක්කොම එක වගේ.කතාවල ප්‍රවේශය, චරිත වල හමු වීම, හැමදෙයක්ම හරිම ස්ටීරියෝටයිප්.මුල කියන කොට අග කෑල්ල අපිටම හදා ගන්න පුලුවන්.අවස්ථා නිරූපනයක් නැහැ.ඉක්මනට කියන්න යන්න එපා.කලබලයක් නැහැනේ.කතාවට ගලා ගෙන යන්න දෙන්න.ඒ අවස්ථාව විස්තර කරන කොට අපිට මැවෙන්න ඕනේ.කෝ ඔයාගේ ලකුන? ඔයාගේ අනන්‍යතාව?ඔයා හරියට ප්‍රස්තුත සහ සම්පත් සහිත කෙනෙක්.ඒක හරියට භාවිතා කරොත්,අනන්‍යවූ යමක් මෙහි තැබිය හැකි වෙනවා.කතා කීමේ කලාව හුදු සරල ආනන්දයෙන් එහා ජීවිතාබෝධයටත් ප්‍රඥාවටත් ගෙන යන්නට ඔබට විභවය තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා.....ගයාත්‍රිගේ කමෙන්ට් එක දෙවරක් කියවන්න. මම නිල් නුවන් කොටස් දෙකම එකවර කියෙව්වා. ගයාත්‍රි කියනදේ මටත් හිතුනා. මම විචාරකයෙක් නෙමේ.

      Delete
    2. කම්මැලියෙක් ලියන්න ගත්තම වෙන ඇබැද්දි!

      ගයත්‍රී - සමාවෙන්න, ඔයා කියන දේ ඇත්ත... කම්මැලි, නොසැලකිලිමත් මැට්ටි මම
      අරූ - ඔව් මම ඒ ගැන හිතනවා.

      Delete
    3. ගයාත්‍රී කියපු දේට මාත් එකඟයි. උපේක්ශාගේ ලිවීමේ හැකියාව බොහෝ ඉහලයි. කරන්නන් වාලේ නැතිව උවමනාවෙන් කලෝත් ටොප් එකට තියෙයි.

      Delete
  11. කතාව ගෙනියනවා වේගෙ වැඩියි.කතාවට ගලාගෙන යන්න දෙන්න ඔබ කතාව ඇදගෙන දුවන්න එපා.

    ReplyDelete
  12. උමයංගනා....අනේ... උමයංගනා....

    තව කොටසක් තියනවද?
    ඒකත් කියවල බලමු..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ඒ ගමන මෙන්න විදානයා මැරෙන්න හදනවා.අනේ අම්මපල්ල බොලල්ල වැඩිහිටියො නේද?

      Delete
  13. මෙන්න තියෙනවා පොල් කෝම්බයක් ! තලාපල්ලා ඇති වෙනකල්... ඉන්නදීපල්ලා පාඩුවේ මට.... අනේ අම්මප මෙව්වා ලියල මම කොරගත්ත හරියක්... එන්න එපා එකෙක් මේ පැත්ත පළාතේ ආයෙත් එහෙම... ආවොත් ගහේ බැඳලා දානවා දිමිගොටු.. ඕ යේස්!


    ( හෙහ්.. හෙහ්... දැක්කනේ... කට්ටිය ඔක්කොම සැරෙන්ඩර්.. හෙහ්.. ආව මෙතන මට දෙසන්න, හුහ්...


    පැය දෙකකින්: ඔය ගියාට පස්සේ එයි නේ මගේ පරණ කතාවක්වත් අහගෙන...

    පැය හතරකින්: චෙප් විතරක්.... එකෙක්වත් නැහැ... හැම බ්ලොග් එකටම ගිහින් 'නියමයි.. එල එල.... ++++ වගේ කොමෙන්ට්ස් දාන්න ඕනේ... හුහ් එතකොට එයි සෙනග සූ ගාල... ආයේ දෙකක් නැහැ

    පහුවදා : ඈ බොලේ... කෝ මේ අටමා.. අනේ අටමෝ.... මේ........ එකෝමත් එක කාලෙක මම තට්ට තනියෙන් බ්ලොග් එකේ කියෝ කියෝ ඉන්නකොට ඇවිත් හොම්බට දෙකක් ඇනල බ්ලොග් එක ටිකක් අස්පස් කරගන්න කියල පයින් දෙකකුත් ගහල ගියා වගේ, මෙන්න මෙහෙ ඇවිත් මොනා හරි කියල, අනිත් අයට මම මාරයි කියල යන්නකෝ.... )

    ReplyDelete
    Replies
    1. උපේක්ශාට මොකක් හරි අසනීපයක්වත් හැදීගෙන එනවද?
      :)

      Delete
    2. ඕක අමුතුවෙන් හැදෙන්න දෙයක්ද ????

      Delete
  14. අන්න එහෙම හිතලද මන්දා මගෙ බ්ලොග් එකේ අර වාක්‍ය ටික ලිව්වෙ.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. හි.. හි...

      නැහැ සරත්... සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට..
      මටත් හිතෙනවා වෙලාවක මේ විෂය ගැන පොඩ්ඩක් ලියන්න.. එහෙමටම අත්දැකීම් නැහැ.. ඒ හින්දයි පසුබෑවේ. දැනට තියෙන ටික ලිව්වොත් හොඳයි කියල හිතෙනවා. බලමු, වෙලාව තියෙන හැටියට. ස්තුති මගේ පිටට තට්ටු කරලා මතක් කලාට ( ඒ පොස්ටුව දාල)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...