Thursday, April 24, 2014

36. අපේක්ෂා .. 03

මෙතෙක් කතාව...

පළවෙනි කොටස
දෙවෙනි කොටස


මේ කටයුතු මෙහෙම වෙද්දී මට විභාග භීතිකාව වැළදිලා තිබ්බ හින්දා බතලයා එක්ක වැඩිය කතාකරන්න ලැබුනෙත් නැහැ.

කොහොමහරි දවසක සෙනසුරාදාවක, බතලයා මහණවෙන්න යන්න හිටපු සිල් ආරාමෙට ගෙනිහින් ඇරලවන පොඩි විසිට් පාරක් ලෑස්ති වෙලා තිබ්බ. අපි ඔක්කොම ඉතින් ට්‍රිප් කිව්වොත් අල්ලපු ගෙදරට හරි කමක් නැහැ... මමත් ඉතින් පැනගෙන ගිහින් වෑන් එකේ ඉස්සරහ තියෙන සිට්  එකකින් වාඩි උනා. මොකද මට කාර් , වෑන් , පොඩි බස් වල පිටිපස්සේ යන්න නම් බැහැ .. කෙලවර වෙන්නේ හෝටලයක් දාල තමයි. දැන් උනත් තාමත් ඒක තියෙනවා. පොඩ්ඩ බැරි උනොත් හෝටලේ..!

දැන් ඔන්න අපි තුන් හතර දෙනෙකුයි, බතලයයි, බෝඩිමේ අක්කයි, එයාගේ පුතයි, පැන්ඩා යි  ඔන්න යනවා. ගිහිං කෝට්ටේ පැත්තේ සිල් ආරාමෙකට ගියා. ඒක කන්දක් උඩ වගේ පාරෙන් උඩට වෙන්න තියෙන්නේ. අපිත් ඉතින් ඒ පඩිපෙල් නගින ගමන් හිතුවේ මහණ උනාට පස්සේ  මේ පඩිපෙල් දවසගානේ නැගලා බතලයා නිවන් යෑම කෙසේවෙතත් ඉතා ඉක්මනින් ස්ලිම් ෆිගර් එකක් ඇති කරගනී කියලයි. (අන්න එහෙමයි කල්‍යාණ මිත්‍රයෝ කල්පනා කරන්නේ හරිද?)



අපිව පිළිගත්තේ තරුණ සිල් මෑණිවරු කිහිප දෙනෙක්. එක්කෙනෙක් ටිකක් මහතයි , සුදුයි. මුහුණේ යටි තොලට පහලින් ලොකු කළු පාට ලපයක් තියෙනවා. ඉන්නෙක් වෙන්නත් පුළුවන්. අනිත් අය මට මතක හිටියේ නැහැ. මට එයාව මතක හිටින්න හේතුවත් මට කලින් එයාගේ ගැන කතාවක් බතලයා කියල තිබ්බ හින්ද, කතාවට අදාල කෙනා කවුද කියල මම හරි විපරමෙන් හිටිය හින්දා වෙන්න ඇති.
පෙනුමෙන් එකපාරටම මම කෙනෙක්ව මනිනවා. ඒක මම හිතල කරන දෙයක් නෙවෙයි. ඉබේම වෙන්නේ. 'ගොඩක් වෙලාවට' ඒ මැනුම නිවැරදි වෙනවා. හැබැයි මම පළවෙනි දර්ශනයෙන් ලැබෙන ඒ අර්ථකතනේ මත පදනම් වෙලාම වැඩ කරන්නේ බොහොම අඩුවෙන්. මම එහෙම කිව්වේ, දැකපු ගමන් මට ඒ සිල් මෑණිව ඇල්ලුවේ නැති එක ගැන කියනකොට ඕනෙවෙන පදුරු තැලිල්ල පහසු වෙන්න තමයි. හි හි හි හි ........
කතාව තමයි... ඒ සිල් මෑණියෝ ගොඩක් ලස්සනයි'ලු'.. එක පාරක් බෙහෙත් ගන්න දොස්තර ළඟට ගියාම දොස්තර කිව්වලු සිවුරු ඇරලා එන්න අනේ... මම ඔයාව කසාද බදින්නම් කියලත්!


මේ තරුණ සිල් මෑණිවරු ගැන මම කෙටියෙන් කිව්වොත් එයාලා එදා හැසුරුණු විදිය මට එතරම් ඇල්ලුවේ නැහැ. මොකක් හින්දද මන්දා මගේ හිත ඒ වෙනකොටත් කිව්වෙම බතලයා ගත්ත තීරණේ නුවණට හොඳ නැහැ කියලාමයි. ඒත් පිටින් බැලුවම කිසි අවුලක් තිබ්බෙත් නැහැ.

ඔන්න ඉතින් අපි බතලයාවත් සිල් ආරාමේ නතර කරලා ආපහු එනකොට අපි අතරේ ටික දුරක් එනකල් තිබ්බේ නිහඬබව... ඒ අතරින් පතරේ අපේ බෝඩිමේ අක්කා කිව්වේ ඒ සිල් ආරාමේ ඇත්තටම අයිති (මම හිතන්නේ අර පන්සලේ නායක හාමුදුරුවෝ වගේ ඉන්න) සිල් මෑණියෝ අසනීපෙන් ලු ඉන්නේ. ඒ හින්ද මේ සිල් මෑණිවරු 'ලු' සිල් ආරාමේ බලා කියා ගන්නේ කියල. මට එතකොට සිහි උනේ... ඇයි එහෙනම් ඒ සිල් මෑණියෝ එපැයි බතලයාව මහණ කරවන්න ඕනේ.. ඇයි එහෙනම් එළියටවත් ආවේ නැත්තේ කියල. මම හිත ඇතුළෙන් තර්ක කළා මිසක්, කට ඇරියේ නැහැ. මොකද මම නේ මෙතන දැන් 'ඕඩ් ' පොර...!!

දැන් ඉතින් අර බතලයගෙන් හිස් උන කාමරේ අපේ බෝඩිමේ අක්කා වෙන කෙල්ලෙක්ට දුන්නා. ඒ කෙල්ල සල්ලිකාරියක්, ඒ මදිවට ඒ හින්දා 'බයි ඩිෆෝල්ට්' බෙදා හදා ගන්න නොදන්නා එකියක්..... අක්කට ඉතින් සල්ලි ලැබනවා නේ.. වරදක් නම් නැහැ.

ඔහොම කාලය ගත උනා. බෝඩිමට අලුතෙන් කට්ටිය ආවා. මමත් මගේ උපාධියත් කරගහගෙනම රස්සාව පටන් ගන්න වෙන තැනකට මාරු උනා. බෝඩිමට අලුතෙන් ආවේ අපේ ෆැකල්ටියේ ජුනියර් කෙල්ලෝ ටිකක්. ඉතින් මම ඉඳල හිටලා කැම්පස් පැත්තේ රවුමක් ගියපු වෙලාවට බෝඩිමේ ආරංචිත් ලැබෙනවා.

ඔන්න මම කාලයක් ගිහිං (මම හිතන්නේ අවුරුද්දක් විතර) , බෝඩිම පැත්තේ ගියා කට්ටියවයි, අක්කවයි බලල එන්න කියල. යනකොට.. මෙන්න බොලේ වැඩක්!!! බතලයා බෝඩිමේ!!!!!!!!


අර මම කලින් කිව්වා වගේ පඩිපෙළ නගිනකොට තියල තිබ්බ අපේ කෑම මේසේ මුල්ලකට කරලා බතලයාට ඇඳක් දාල දීලා තිබ්බ. බෝඩිමේ අක්කා කරුණාවන්ත හින්දා සිවුරු ඇරලා ආපු බතලයාව ආයෙත් බාරගෙන. බෝඩිම් ගාස්තු ඇතුවද, නැතුවද කියන්න නම් දන්නේ නැහැ. මමත් හදිස්සියේ ආපු හින්දා මට වැඩි වෙලාවක් කතා කරන්න ලැබුනේ නැහැ. ඒ මදිවට ඉතින් බතලයා කියන්නේ අපි වචන පන්සියක් විතර කතා කරාට පස්සෙත් 'හ්ම්' කියල වත් කියන්නේ නැති පොරක් වෙච්චි..!
පස්සේ මට ආරංචි උන විදියට නම් වෙලා තිබුනේ... මෙයාගේ අකවුන්ට් වල තියෙන සල්ලි වලට කට්ටිය වට වෙන්න පටන් අරං . ආරාමේ වැඩ වලට කිය කියා සල්ලි අරන් දෙන්න කියනවලු. තව එව්වා කිව්වා.. මට දැන් මතක නැහැ නේ අප්පා... කොටින්ම කියනවා නම් තරුණ සීල මෑණිවරු ටික 'ගැන්' එකක් ගැහිලා සිල් ආරාමේ බලය අල්ලාගෙන ඉන්නවා මම හිතන්නේ. බතලයා වගේ එකෙකුට කොහොමත් එතන ඉන්න බැහැ  නේ.

ඔන්න ඔහොමයි බතලයාගේ මහණකම කෙලවර උනේ.

කොහොම හරි කාලයත් එක්කම මගේ බෝඩිම් විසිට් එකත් නතර උනේ බිසී වෙන්න ගත්ත හින්දත් මගේ පිස්සු පැන්ඩා බෝඩිම හැර යාමත් එක්කයි.

තව අවුරුද්දක් ගත උනා ඔහොම....

එක පාරක් මම නුගේගොඩ 'වෝග්' එකට ගියා. (එළවලු ගන්න) හදිස්සියේම මම දැක්කා බතලයා..... පෙනුමේ නම් වෙනසක් තිබ්බේ නැහැ. ඒත් මොකද්දෝ අමුතු වෙනසක් තිබ්බ. පොඩ්ඩක් විතර 'පොෂ්' වෙලා වගේ. පොෂ් හැරමිටියකුත් තිබුනා අතේ. මම හිටිය තත්වේ හැටියට (මම හිටියෙත් කට්ටියක් එක්ක) මම බතලයට කතා කලේ නැහැ. එයා කලේ රත්තරන් බඩු තෝරපු එක හින්දා මාව දැක්කෙත් නැහැ. පුරුදු විදියට බතල වෝක් එකෙන් බතලයා කඩෙන් පිටවෙලත් ගියා. මට හිතට සැහැල්ලුවක් ආව.... බතලයා දැන් වෙනස් වෙලා.... අඩුම තරමේ ජීවිතේ අරමුණක් වත් ඇවිත් ඇති කියල මට හරි සැහැල්ලුවක් දැනුණා..... හිත ඇතුලේ බතලයා වෙනුවෙන් දුක් උන අර මහා ලොකු කවුන්සලර් තමයි වැඩිපුරම සතුටු උනේ...


ඔහොම තව මාස ගානක් ගියා... මට හරියට මතක නැහැ අවුරුද්දක්ම ගත උනාද කියල. ෆැකල්ටියේ මොන හරි තියේ නම් මගේ පුරුද්දක් තිබ්බා පොඩ්ඩක් ගිහින් ඔලුව දාල පොඩි උන්ට හය්යක් වෙන්න ඕනේ කියල අදහසක්. ඔන්න BMICH  එකේ තිබ්බා මොකද්ද ප්‍රදර්ශනයක්. ආරංචි උනා අපේ උන්ගේත් ස්ටෝල් එකක් තියෙනවා කියලා. මමත් ගියා පැනගෙන... පව් දෙය්යනේ.... උන් හරි හොඳයි... මහන්සි වෙලා හදපුව බලන්න එන ඕනේ එකෙකුට පණ දාගෙන කියා දෙනවා. ගොඩක් වෙලාවට සමහර උන් කට අරන් අහගෙන ඉදල....
"අය්යේ.... දැන් කොයි ඕකේ බොත්තම?"  වගේ ප්‍රශ්ණයක් අහනවා...

එතනට යනකොට පොඩිඋන් බරටම වැඩ. එතන හිටියා අපේ අර බෝඩිමේ පස්සේ join උන කෙල්ලෙක්. මමත් ඉතින් පටන් ගත්ත උන්ගේ වැඩේ අල වෙන්නම මගේ ඕප -දූප සජ්ජායනාව !! අරය.. මෙයා... දන්නේ නැද්ද ඉතින්? බ්ලා .. බ්ලා ... බ්ලා .....


ඔය අතරේ බතලයා ගැනත් කතාව ඇදුන...
"බතලයා තාම ඉන්නවද බෝඩිමේ" මම ඇහුවේ අර රත්තරන් බඩු තෝරපු සිද්දිය මගේ හිතේ මවාගෙන
"ඇයි  අක්ක දන්නේ නැද්ද බතලයාට උන දේ?"

මම පොඩ්ඩක් අමුතුවට බැලුවේ ටොන් එක අවුලක් වගේ දැනුන හින්ද...
"ඇයි  මොකද?"

"බතලයා මැරුණා"

...............................

මට කතා කරගන්න බැරි උනා..
.." බෝඩිමේදීමයි.... ගිනි තියාගෙන බාත්රුම් එකට වැදිලා දොර වහගෙන."

ඇත්තටම එහෙම වෙලා!!!!
බතලයාගේ කතාව ඉවර වෙන්නේ එහෙමයි.



මේ කතාව මම ලියල තියන්න ඕනේ කියල හිතුනා.... එකයි ලිව්වේ.. එක දිගට ලියාගෙන යන්න බැරි විවේකයක් ලැබුනේ නැති හින්ද

මේ කතාවෙන් මම දකින දේට වඩා.. අනිත් අය දකින විදිය අහන්න ආසයි... අනිත් අය වගේ රසවත්ව, නිර්මාණශිලිව ලිව්වේ නැතුවට සමාවෙන්න.. වෙලාව නැහැ අප්පා...





12 comments:

  1. මට මතක නෑ කව්ද ඔයා??? හැක්...

    ReplyDelete
    Replies
    1. වැදුන නේද නළල හරිය උළුවස්සේ? මට හිතුන...

      Delete
  2. දැන් දැන් ...අළුත් අවුරුද්දක්ම එන්න ඕනේ වාගේ බ්ලොග් එකක් ලියන්න....
    මේ කතාවේ මුල් දැන් මතක නෑ ..ආපහු මුල් එව්වා කියවලා එන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමයි අප්පා.... කැවුමක් දෙකක් කනකොට තමයි බ්ලොග් එකක් තිබ්බ කියල මතක් වෙන්නේ... හි හි හි.... ආපු එකේ තව ඩිංගක් බැනලම යන්න අනේ

      Delete
  3. කතාව ලාවට මතක තිබ්බ හින්ද හොඳයි,ඔයත් කෑල්ලක් ලියන්නෙ අවුරුද්දකට විතර පස්සෙනෙ.පව් නේද බතලයා.

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි.. මම ඔයාලගේ මතක ශක්තිය බැලුවේ.... ඔය තියෙන්නේ සුපිරිවට!!!!

      බතලයා පව් කියලා හිතනවට වඩා මට හිතුනේ තමන්ගේ ජිවිතේ අනිත් අයගේ අතට දුන්නම අපිට අත්වෙන ඉරණම කොතරම් ඛේදනියද කියලයි හැලපේ.... බතලයා තමන්ගේ ජිවිතේ අනුන්ට බාරදීලා බලා හිටියා.... අනිත් අයත් තමන්ගේ කොටස ඉෂ්ට කළා
      කොමෙන්ටුවට ඉස්තුති....

      පාර මතක තියාගෙන ආයෙත් එමුකො මගේ ඊළඟ පොස්ටුව බලන්න.. ( මොකද ඊළඟ එක එනකොට මමත් තව නාකි වෙලා ඉදිද දන්නේ නැහැ නේ.. හි හි හි....)

      Delete
  4. ඔය වාහන වල වමනේ යන එක නවත්තන්න ඉස්සෙල්ලම අර සින්දු ඕෆ් කරන්න. ඊට පස්සෙ නිදාගන්න. තව ඇවමීන් වගේ පෙති ජාතිත් තියෙනවා.

    >>පෙනුමෙන් එකපාරටම මම කෙනෙක්ව මනිනවා. ඒක මම හිතල කරන දෙයක් නෙවෙයි. ඉබේම වෙන්නේ. 'ගොඩක් වෙලාවට' ඒ මැනුම නිවැරදි වෙනවා.<<

    මමත් එහෙමයි කියලා මගේ බිරිඳ නිතරම කියනවා.

    මම හිතුවේ බතලයා මහන වෙන්න ගියෙ ගිණුමේ සල්ලි ඉවර වුන නිසයි කියලා.

    මාත් ඔය "වෝග්" එකට යනවා වාහන කෑලි හොයන්නෙ. ඔය රත්තරං ආලේප කරපු සයිලන්සර් වගේ ඒවා.

    හප්පා. ඛේදවාචකයකින්නේ කෙලවර වුනේ. නමුත් මම දැන් ඉස්සර වගේ සියදිවි නසා ගන්නවුන් ගැන එක පාරටම තීරණ ගන්නේ නෑ. I'm not judgmental.

    ReplyDelete
    Replies
    1. අපොයි ... ඔය පොදු ප්‍රවාහන එව්වයේ තියෙන සින්දු ගැන නම් මට මතක් කලත් වමනේ යනවා... බස් එකට නගින්නෙත් මම සින්දු නැත්තම් විතරයි.... දැන් අලුත් එකක් පටන් අරන් නේ.. සින්දු මදිවට දැන් TV හයි කරලා... යන උන් ඔය කොහේ හරි එල්ලිලා අරකෙ යන නලඟනන්ගේ මරුවිකල් නැටුම් බල බල යන අතරේ බස් එක යනවා කොට කොටා.. මීක් සද්දයක් කරන්නේ නැහැ නේ මගියෝ.. ( කිසි සද්දයක් කරන්න සිහි එලවගන්න බහ නේ අප්පා!!!!)


      මම එයා මහණවෙන්න යනකොට ගිණුමේ සල්ලි ගොඩක් තිබ්බද කියන්න නම් දන්නේ නැහැ. කීය උනත් ඉතින් මෑණියන්ට නිකන් ලැබෙන දේ හින්දා ආසා හිතෙන්න ඇති...

      හි හි හි..... වෝග් කතාව.... එක්කෝ ඔන්නෑ !

      එයා දිවිනසාගත්ත ආසන්නතම හේතුව මොකද්ද කියන්න මම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ වෙනකොට එයාට ඇහුම්කන් දෙන්න, එයාව අපි වගේ එක එක දේවල් වලට ගන්න අලුත් උන් උනන්දුවක් දක්වන්න නැතුව ඇති. හැමෝම ඉතින් දිවිල්ලක් නේ කරන්නේ.. කැම්පස් එකෙත් ඉතින් පොරකෑම වෙනසක් නැහැ නේ... උන්ට උන්ගේ ලෝකෙට නොගැලපෙන එකෙක් ගන්න උවමනාවක් තියෙන්නත් නැතුව ඇති... වැරැද්දක් නැහැ! තමන්ට වෙනකල් තේරෙන්නෙත් නැහැ!!

      දැන් කාලේ දිවිනසගන්න එව්වා ගැන නම් කතා කරලා වැඩක් නැත! අය්යෝ සල්ලි

      Delete
  5. mata hithenne kawuru hari eya gana kapa unanam e jeewithe bera ganna tibuna kiyala.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.

      මේ කාලේ වෙනකොට බෝඩිමේ මුල් යුගයේ ( බතලයාගේ අතීත කතා දන්නා ) අය හිටියේ නැහැ මම හිතන්නේ. කැම්පස් ලයිෆ් එක කියන්නේ පුදුම දිවිල්ලක් ( අපේ නම් එහෙමයි) එතකොට බෝඩිමේ ඉන්න එහෙම නාදුනන කෙනෙක් තියා සමහර වෙලාවට තමුන්ගේ බැචාලා බැචිලා පවා මග දාල යන්න වෙනවා. ( අපෝ එහෙම නැති අවස්ථා එමටයි. මම කියන්නේ 'සමහර වෙලාවට'). බතලයා කියන්නේ ඇත්තටම කිසිම ප්‍රතිචාරයක් නොදක්වන කළු ගලක්. ( එයා ඩිප්රේෂන් තත්වයට බෙහෙත් ගනිමින් හිටියේ මම දන්නා දවස්වල පවා.) එහෙම තියෙනකොට ඇත්තටම ලොකු ශ්‍රමයක්/කැපකිරීමක් කරන්න වෙනවා එයාව ගොඩදාන්න. එහෙම කැපකිරිල්ලක් කරන්න තරම් යාලුවෝ එයාට හිටියේ නැහැ මම මේ කියන කාලේ මම හිතන්නේ. ඒ වගේම පවුලේ කවුරුත් බැලුවෙත් නැහැ.

      වතුර වලට වඩා ලේ ඝනකමයි කියනවා නේ.

      ඒ තමයි සිද්දවෙච්ච විදිය.

      Delete
  6. හරිම දුක්බර කතාවක්.

    මගේත් උසස් පෙළ පන්තියේ මිතුරෙකු ගේ අවසානය මේ වගෙයි.

    කලකිරී මහණවීමත්, දහම් හදාරා යම් අවබෝධයක් ඇතුව මහණවීමත් වෙනස්.

    ReplyDelete
    Replies
    1. 'කලකිරී' මහනවෙනවා කියන දේ අපි වැරදියට තේරුම් අරගෙන දැන් misleading එකක් වෙලා බවයි මගේ හැඟීම. ජිවිතේ එපා වීම කියන අර්ථයෙන් තමයි දැන් මිනිසුන් ධර්මයේ කලකිරීම ගණන් අරගෙන තිබෙන්නේ. ජිවිතේ සතුටින්ම ගතකරන කෙනා තමයි මහණ වෙන්නේ. ඒ තමයි මම දරන මතය

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...