Friday, June 13, 2014

48. නැට්ටුක්කාරී - 02

මෙතෙක් හෑල්ල 


අහගෙන ඉන්න කම්මැලි කියල හිතුන හින්ද මම පලවෙනි කොටස මගින් නතර කළා. මෙලෝ රහක් නැති උනහම, බනින්නේ නැතුව ෂේප් එකේ වින්ඩෝ එක වහල දාල යන එක මට තේරෙනවා. ඒ හින්ද මම හිතුව හැමදේම ලියන්නේ නැතුව කොකෙක් යනවා වගේ ලියල දාන්න.. ඒ කියන්නේ උඩින් උඩින්, පොඩි පොඩි වපසරියන් කවර් කරන් යන්න.. මොකද මම  ඇරෙන්න මේවගේ කාලවකවානු එක්ක ඕව ඉන් ඩිටෙල් දැනගන්න තරම් කැසිල්ලක් තියෙන්න හැටියක් නැහැ නේ මේ අවකාශේ කට්ටියට!

මම ඉවර කලේ ඩ්‍රිල් එකේ සිද්දියෙන්, ඇත්තටම කියනවා නම් සිද්දියට පිවිසුමක් විතරයි ලිව්වේ, සිද්දිය උනේ මේ වගේ පසුබිමක.

කොහොමහරි හවුසස් අතර තරගේ එන්න එන්නම වැඩිවුණා. කොතරම් දුරදිග ගියාද කියනවා නම්, වෙනත් හවුසස් වල ප්‍රැක්ටිස් කරනකොට ඔත්තු බලන්නත් කට්ටිය හිටියා. මට ඔය අතරේ  තමයි, අර ඩ්‍රිල් එක හදපු අක්කලාගේ විශේෂ අවධානයක් මට තියෙනවා කියල මට දැනුනේ , මම ඒත් හිතුවේ එක මගේ හිතින් මවාගත්ත ලොකුකමක් කියල.



අන්තිමට ස්පෝර්ට්ස් මීට් එකට සතියක් තියෙද්දී, සියලුම ඩ්‍රිල් වල කට්ටියට එන්න කියලා හැමෝටම පොදුවේ ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා. කොටින්ම මුල ඉඳල හැම මුව් එකක්ම කරලා පෙන්නුවා. ඒකට අර ප්‍රසිද්ද අක්කා කෙනෙක් ආවේ. පුංචි බට්ටෙක් උන මට ඇය කියන්නේ ලොකු නෙවෙයි, දැවැන්ත ෆිගර් එකක්!
එකපාරටම පිරිස අතරින් මගේ ගාවට ආපු අර අක්ක
"එන්න උපේක්ෂා... ඔයා මගෙත් එක්ක ඩාන්ස් කරන්න" කියලා මාව ගත්ත එයාගේ පාට්නර් විදියට.. මුළු ඩ්‍රිල් එකම, මම එදා ඔක්කොම පිරිස මැද්දේ ඉදිරිපත් කලේ කිසි අවුලක් නැතුව. කොහොමත් මම ඒ වගේ වෙලාවට බය වෙන්නේ නැහැ.. බය වෙන්නේ ඔක්කොම ඉවර වෙලා ටික වෙලාවක් ගියාමයි.. හි.. හි..

"ඔයාගේ මුව්ස් නියමයි"
ඔක්කොම ඉවර වෙලා අත්පොලසන් මැද්දේ අර අක්ක කිව්වා. මට හිතාගන්න බැරි උනා. මම ජීවිතේට කවදාවත් බැලට් ඉගෙනගෙන නැහැ. මම එදා ආපහු ප්‍රැක්ටිස් ගියේ අපේ හවුස් එකේ අක්කලාගේ කර පිටින්...

කොහොමහරි.... ස්පෝර්ට්ස් මීට් දවසේ අපි ඩ්‍රිල් එක කරලා ( එදා මට හොඳට මතකයි, යන්තම් පොදයක් තිබ්බ) අවසාන කරනකොට අපේ හවුස් එකේ අක්කලා ඇත දෙක විදහාගෙන අපේ දිහාට දුවගෙන ආවේ කෑගහගෙන..
"නංගිලා..... ඔයාලා නියමයි... එක්කෙනෙක්වත් වැරද්දුවේ නැහැ"

එදා, අපේ ඩ්‍රිල් එක ෆස්ට් වෙලා, ඒකෙ අතුරු ප්‍රථිපලයක් විදියට, අපේ හවුස් එකත් ෆස්ට් උනා! සතුටු නැද්ද?

මේකෙන් පස්සේ මාව අවුරුදු කීපයක් යනකල් ඩ්‍රිල් එකේ නිත්‍ය සාමාජිකාවක් උනා.

මේ වෙනකොට අපේ අක්කගේත් සති අන්ත ඩාන්සින් ක්ලාස් එකෙන් මම හැලිලා, මගේ ජීවිතෙන් වැඩි කොටසක හිටියේ මගේ ස්පොර්ට් එක තමයි. ඒත් මම හැමදාම ඩාන්සින් පීරියඩ් ඒකෙදි වෙන පසුතැවිල්ල අඩු උනේ නැහැ.. ටික කාලයක් ඔහොම ගතවුනේ කිසිම වෙනසක් නැතුව. වෙනසක් උනා නම් උනේ, වසර අවසානේ අපි විසින් ඉදිරිපත් කරන විවිධප්‍රසංගයේ අනිවාර්‍ය නැටුමකට සහභාගී වෙන එක තමයි. ඒකෙ අරුමයක් නැහැ නේ!
එකෝමත් එක දවසක, අර හිල්ඩා ගුරුතුමී අපේ ඩාන්සින් පීරියඩ් එක වෙලාවේදී කිව්වා ඉස්කෝලෙන් මුද්‍රා නාටකයක් කරන්න යනවා කියල. ඒකට නුවර ඉස්කෝල සේරගෙම්ම ළමයි එකතු කරලා තමයි කරන්න ප්ලෑන් එක. අපේ පන්ති වලින් කීපදෙනෙක් ඇය තෝරනවා කිව්වා. මගේ ඉහේ මල් පිපුනා. ඔන්න ඇය අපේ පන්ති ටික ඔක්කොම එක තැනකට රැස්කරවල , එක්කෙනා දෙන්න සිලෙක්ට් කරනවා. මම කලිනුත් කිව්වේ මට අමතරව අපේ පන්ති වල හිටිය මටත් වැඩ හොඳට ඩාන්සින් පුළුවන් කෙල්ලෝ දෙන්නෙක්. ඔන්න ඒ දෙන්නව තොර ගත්ත. තව අපේ පංතියේ ලස්සන , සුදු කෙල්ලෙක් හිටිය, ඇයවත් ඔන්න ඉස්සරහට ගත්ත. මාව උස මදිවද මන්ද, නොපෙනෙන්නේ? මම ඉස්සි ඉස්සි බැලුව. මගෙත් එක්ක එක පේලියේ ඉන්න කෙල්ලත් මම වගේ පොඩ්ඩක්, හැබැයි මට වැඩ උසයි. ඇස දෙක ලොකුයි.ඒ දවස්වල මගේ කොන්ඩෙත් කපල. ඇයට තිබ්බ චුට්ටක් දිග කොණ්ඩයක්.

ඔන්න හිල්ඩා මිස්ගේ ඇස්  අපේ පේලිය හරහා යනවා... මාව  මට දැනුනේ අර ඉලෙක්ට්‍රික් කියතකට තල්ලු වෙලා යන ලෑල්ලක් වගේ කපාගෙන යනවා කියලා. ඒ ඇස්  මාව පහුකරගෙන ගිහිං , මගේ යාළුවා ගාව නතර උනා.
"ඔයා එන්න"
ඇය කිව්වේ මගේ යාළුවා , ඉමල්කාට... උඩ පැනගෙන ඉමල්කා ගියා.. ඒත් එක්කම හිල්ඩා මිස් කිව්වා දැන් හරි යන්න කියල හැමෝටම... මට දැනුනේ මාව පතුලක් නැති ළිඳකට වැටෙනවා වගේ.. මම මේ කියන්නේ ඇත්තමයි, පොඩි දරුවෙක් විදියට මට හරිම වේදනාවක් දැනුණා. හැමෝම ආපහු යනකොට මම විතරක් ඩාන්සින් රූම් එක ගාවින් නොහෙල්වී බලන් හිටිය. හිල්ඩා මිස්ට අමතක වෙලාද මාව?? දකින්නේ නැතුව වත්ද? මම ඊළඟ පීරියඩ් එක ඉවර වෙනකල්ම එතනට වෙලා හිටියේ කොයි වෙලේක හරි මාව දකී කියල.
විටෙක ජනේලෙන් හොරෙන් එබෙමින්, විටෙක කිසිම කල්පනාවක් ඉදිමින් මම හිටියේ මොන පිස්සුවකින්ද කියල අදටත් මට විස්වාස නැහැ. ඇතුලට ගත්ත ළමයින්ට නොයෙකුත් දේවල් කියාදෙන හිල්ඩා මිස්ට මාව පෙනුනේ නැහැ. පෙනුනත් හොයන්න බැහැ නේ එයා වපරයි!

පීරියඩ් එකක්ම මෙහෙම කාලා දාලා, මගේ හිත යන්තම් හදාගෙන මම හිස් අතින්ම ආපහු පන්තියට ගියා මතකයි... ඒ වෙලාවේ දැනුන හැඟීම අදටත් මාව තොන්තුවට පත්කරනවා. මම කීයටවත් කියන්නේ නැහැ හිල්ඩා මිස් වැරදි කියල, මාව තෝරාගන්න තිබ්බ කියල. හැමවෙලේම අවස්ථාව ලැබෙන්නේ නැති බව මම ජීවිතේට ඉගෙනගත්තේ ඒ වගේ ප්‍රැක්ටිකල් එකකින්.. දොසක් නැහැ... මම කිව්වේ මගේ හිතේ පොඩි දරුවෙක් විදියට ඇඳුන , දැනුන හැඟීම්! මට ඒකත් එක්කම මගේ ක්‍රීඩාවේදී මාව තොරගන්නකොට , නොතේරෙන තව කෙනෙක්ට දැනෙන වේදනාව කිරල මැනලා තේරුම් ගන්න පුළුවන්කමත් , සසදන්න හැකියාවකුත් ලැබුන.

ඒත් මම හීන බලන එක නතර කලේ නැහැ!

හවස අපේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් තියෙන්නේ මේන් හෝල් එකේමයි. ඒකෙ ස්ටේජ් එකේ දැන් මේ මුද්‍රා නාටකයට ප්‍රැක්ටිස් මේ අතරේ. මගේ හිත රිදුනේ නැහැ කිව්වොත් බොරුවක්.. ඒ උනාට මට කාගැනවත් ඉරිසියාවක් ඇති උනේ නැහැ කියල හොඳටම විස්වාසයි. මම ප්‍රැක්ටිස් කරන ගමන්, වේදිකාව දිහාත්  බලනවා.

මේ මුද්‍රා නාටකය, මහනුවර ගැහැණු, පිරිමි ඉස්කෝල ඔක්කොම එකතු වෙලා හැදුවේ. මේක නම් කරලා තිබ්බේ 'නිල් දියවර' කියල. පරිසරය , ගහකොළ , සත්තු කියන මේ හැමදෙයකම තියෙන සෞන්දර්ය තමයි නිරුපනය කරන්නේ. එක එක කොටස් වෙන වෙන තැන්වල තමයි ප්‍රැක්ටිස් කලේ. අපේ ඉස්කෝලෙට ළඟ ගැහැණු, පිරිමි පාසල් වල ළමයි එනවා ප්‍රැක්ටිස් වලට. මට මතක විදියට ඔය අස්සේ ආදර හුටපට කීපයකුත් ඇතිවෙලා පොඩි ආන්දෝලනයක් ගියා. පුදුම වෙන්න දෙයක් නැහැ නේ.. කෙල්ලෝ ඉන්න ඉස්කෝලෙකට කොල්ලෝ ගෙනත් දැම්මම, වයසේ හැටි නේ! මේ ප්‍රැක්ටිස් දෙකම මම ගෙනිච්ච, ඒ කියන්නේ ස්ටේජ් එක උඩ මුද්‍රාව ප්‍රැක්ටිස් (මම නැතුව)  , මම හෝල් එකේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් (මම ඇතුව )... ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් ඉවර වෙලා, මම අන්තිමට මේ ප්‍රැක්ටිස් බලන්න මේන් හෝල් එකේ අන්තිම කොනේ, වැඩිය කාටවත් නෝටිස් නොවෙන තැනකට වෙලා බලන් ඉන්නවා.හරිම ආස හිතෙනවා. අපේ හිල්ඩා මිස්ට අමතරව, වෙනත් පාසල්වල ඉන්න ගැහැණු, පිරිමි නැටුම් ගුරුවරුත් දැන් එකට වැඩ... නැටුම් වලට ආස මට හරිම මැජික් එකක් මේක දැන්!

ඔහොම යන අතරේ අපේ ටර්ම් ටෙස්ට් ආව. එහෙමයි කියල මගේ මේ වැඩේ නතර උනේ නැහැ. උනේ, ටර්ම් ටෙස්ට් හින්ද මුද්‍රා නාට්‍යයේ ප්‍රැක්ටිස් නතර කරපු හින්ද, මටත් නිතරගයෙන් වැඩේ කල්දාන්න වෙච්ච එකයි. ඩාන්සින් වල ප්‍රැක්ටිකල් වලට තියෙනවා නිර්මාණයක් කරන්න ඕනේ කියල කොටසක්. ඒ කියන්නේ ගායනය, උගන්නපු වන්නමක් , ඊට අමතරව නිර්මාණයක් කරන්න ඕනේ. පලවෙනි දෙක අපි කැමති එකක්, අන්තිම එක නැටුම් ටීචර් එවෙලේ කියන්නේ, අපි හදාගෙන කරන්න ඕනේ.
"මේ පාර නිර්මානේ - සතෙකුගේ ඉරියව්වක්"

හිල්ඩා මිස් තමයි ප්‍රැක්ටිකල් එක ගත්තේ, ඔන්න ඇගේ  අභියෝගය!

ඔන්න ඒ පාර සමහර කෙල්ලෝ අඬන්න වගේ... යන්තම් අඩියක් තලාගන්න කෙල්ලෝ කාගෙන් හරි ඉක්මනට මොකක් හරි අහනවා. මට මුකුත් ඔලුවට ආවේ නැහැ. දැන් එක එක්කෙනා ප්‍රැක්ටිකල් දෙනවා. සමහරු නියපොතු කනවා, ස්ට්‍රෙස් ඒ තරමට! මට වෙලා තිබ්බේ, මෙලෝ දෙයක් ඔලුවට ආවේ නැති එක. කලින් කරපු කෙල්ලෝ එක එක විකාරත් කළා.

එක කෙල්ලෙක් පටන් ගත්ත වෙලේ ඉඳන් දන ගානවා, එහාට... මෙහාට... අපි දැන් ඔක්කොම බලන් ඉන්නවා මේ මොකාද කියල... ම් ... හ් .... තෙරුනෙම නැහැ. අන්තිමට පොඩ්ඩක් 'ඤාව්' කිව්වම තමයි කට්ටියට පොඩ්ඩක් තේරුනේ
"මොකද දරුවෝ ඔතරම් වෙලා දණගෑවේ? කලින්ම ඤාව් කිව්වනම් ඉවරයිනේ" කිව්වා මිස්...

හිනාවෙන්න බැහැ , මොකද අපි කරන විකාර වලට අනිත් අය හිනා වුනොත් අපිට දැනෙන්නේ කොහොමද? ඒ හින්ද මම හිනා උනේ නැහැ...

ඔන්න මගේ නම කිව්වා
ගැස්සිලා ගියත්, බය නැතුව ගියා.. මුල දෙක කළා, දැන් තියෙන්නේ නිර්මාණය.... එකපාරටම මට මොනාද උනේ කියලා දන්නේ නැහැ. මම කකුල් අත් බිම හිටින්න හතර ගාතෙන් වාඩි උනා....

'බ්ර්ර් රාක් ..... බ්ර්ර් රාක් ..... බ්ර්ර් රාක් ' කියල මම එහෙට මෙහෙට පැන්නා... කකුලක් එක පාරට පැත්තෙන් දික් කරලා ආයෙත් කෑගැහුව... මම ගෙම්බෙක්!! කෙල්ලෝ ඔක්කොම 'බුකෑස් ' ගාල හිනාවෙන්න පටන් ගත්ත. මට නෙවෙයි හිනා ගියේ! මම මගේ පාඩුවේ ගෙම්බෙක් වෙලා!!!! හිල්ඩා මිස් හිටපු පුටුවෙන් එකපාරට ඉස්සරහට පැන්නුනා !

"නියමයි! ගොඩක් හොඳයි පුතා"
ලේසියෙන් 'පුතා' නොකියන හිල්ඩා මිස් මම හිතන්නේ මට හොඳට ලකුණු දෙන්න ඇති. එයාගේ මුද්‍රා නාටකයේ ඉන්න කෙල්ලෝ එක්කෙනෙක් මුවෙක්, අර වැදගත් විදියට සාමාන්‍යයෙන් නැටුම් වලින් මුවෙක් නිරුපනය කරන විදියට කළා, අනිත් කෙල්ලත් ඒ වගේමයි වැදගත් විදියට නයෙක් නිරුපනය කළා. මගේ යාළුවාත් මුවෙක් වෙලා ගොඩ දාගත්ත. මම විතරයි ගෙම්බෙක් උනේ! මටත් පුදුමයි.... අඩු තරමේ වැදගත් සතෙක් වෙයන්? ඒකත් ගෙම්බෙක්!! මට හිතෙන ඒවා තමයි...

ටර්ම් ටෙස්ට් ඉවරයි. ආයෙත් මගේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස්... ඔන්න ආයෙත් මුද්‍රා නාටකේ ප්‍රැක්ටිස් මේ අතරේ පැරලල් යනවා. මගේ ප්‍රැක්ටිස් ඉවර වෙලා මම සුපුරුදු විදියට මගේ අඳුරු මුල්ලේ තියෙන නැරඹුම් පොට් එකට ගියා. ඔන්න පරණ ටික ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා, අලුත් කොටසක් ප්‍රැක්ටිස් කරන්න ගත්ත. හිල්ඩා මිස් තමයි ආවේ. දුර වැඩි හින්දා මට ඇහෙන්නේ නැහැ එයා මොනවද කියන්නේ කියල. මම කියල තියෙනවා නේ, මේ මුද්‍රා නාට්‍ය තිබ්බේ පරිසරය ගැන, පිරිසිඳු දියවරක් ගැන, කැලේ සත්තු ගැන එහෙම කියල.

හිල්ඩා මිස්, එක එක ළමයි වෙන් කරලා හතර පස් දෙනෙක්ට විතරක් යමක් කියල දෙනවා මම දැක්ක.. මට ඇස් අදහ ගන්න බැරි උනා... එදා මම මගේ ප්‍රැක්ටිකල් එකේදී ගෙම්බෙක් වෙලා කරපු රංගනය ඇය අර ළමයින්ට කියල දෙනවා!!!!! මගේ ඇස් දෙක බලියට ඇරිලා, කන් දෙක කෙලින් උනා.... ෂා !! කොතරම් අපුරුද ???? මට හරිම සතුටක් දැනුණා... එදායින් පස්සේ මුද්‍රා නාට්‍යට මාව නොතේරුනා කියල මගේ හිතේ පුංචිවට උනත් තිබ්බ දුක, ඔක්කොම එක මොහොතින් හේදිලා ගිය කෙනෙක් විදියට සතුටින් ඒ නිර්මාණය ගොඩනැගෙනවා මම වින්දා.....

තවත් කොටසක් පස්සේ....
දැන් ඇති නම් කියන්න හොඳේ? හි.. හි...

12 comments:

  1. එහෙම නම් හිල්ඩ මිසී ඔයාවත් කොපි කලා නේහ්..

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ....

      සමහර වෙලාවට එයාගේ අදහස් ගලාගෙන එන්න පටන් ගන්න ඇති මගේ 'ගෙඹි' කම දැකල... හි.. හි... ස්තුති..

      Delete
  2. ගෙම්බෙක් ද ගෙම්බියක් ද (ගෙම්බගෙ ගෑනු සතා...)?

    ReplyDelete
    Replies
    1. හි.. හි... ගෙම්බෙක් කියල හිතාගෙන හිටියට ගෙම්බියක් නේ!!

      ඔන්න ඕකට තමයි කියන්නේ 'බුරන බල්ලන් සපා නොකයි' කියල... හි හි...
      ( කොහොමද මගේ උපමාව? නියමෙට ගැලපෙනවා නේ?)

      Delete
    2. බුරන එකයි හපාකන එකයි සිමල්ටේනියස්ලි කරන්න බැහැ කියල ගෙම්බියො දන්නෙ නැහැ

      Delete
  3. Replies
    1. නැට්ටුක්කාර ගෙම්බියක් හරිද?

      Delete
  4. //මොකද දරුවෝ ඔතරම් වෙලා දණගෑවේ? කලින්ම ඤාව් කිව්වනම් ඉවරයිනේ" කිව්වා මිස්..//
    හිනාවෙලා ඉල ඇදුනා උපේක්ෂා.ඔයාගෙ වචන හරි ප්‍රබලයි.කතාව ලස්සනයි වැඩි නෑ තව තිබ්බ නං තව කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඉල ඇදගන්න එපා ඔන්න... වගකියන්න බැහැ !
      ස්තුති හොඳ නම්.. ඉන්න මම ඉතුරු ටික ලියන්නම්... ( ඉතුරු කොටසක් ඕනේ නැති ය සමාවෙන සේක්වා!... හි.. හි...)

      Delete
  5. ඒ උනාට මිස් තිබුනා උඔව තොර ගන්න. (උඔ කිව්වට සොරි).

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මාව ගැලපෙන්නේ නැති වෙන්න ඇති. සුදුත් නැහැ, උසත් නැහැ, කොන්ඩෙත් නැහැ... නටන්න විතරක් පුළුවන් උනාට මදි නේ! මට ඒක හොඳ පාඩමක් උනා මගේ ඉස්සරහ ජීවිතේට...

      මොකද දන්නවද සංජීව,
      අපි හිතුවත් එතනට නියම සුදුස්ස අපියි කියල, ඇත්තටම බැලුවම ඊට වඩා බ්‍රෝඩ් ඈන්ගල් එකකදී අපිට වඩා සුදුස්සෙක් එතනට ඉන්නවා. අනිත් එක ලයිෆ් එකේ හැම වෙලේම අපිට අවස්තාව ලැබෙන්න ඕනේ නැහැ.. සමහර අවස්ථා මගෑරෙන්නේ වෙන අවස්තාවක් ලැබෙන්න තියෙන හින්ද. මට ඔයිට වඩා අවස්ථා මගෑරිලා තියෙනවා, අපෝ ඒවා සමහර වෙලාවට හිතලම කරපු වැඩ. ඒ වගේම මමත් සමහර වෙලාවල් වලදී ලැබිච්ච අවස්ථා මග ඇරලා ඇවිත් තියෙනවා. එහෙම තමයි 'ඔපචුනිටි කෝස්ට්'

      මගේ ස්පෝර්ට්ස් ජිවිතේ මට ලොකු අනතුරු, කම්කටොළු එනකොට මාව ශක්තිමත් වෙලා හිටියේ මේ වගේ දේවල් මට තනියෙන් දරාගෙන ඉන්න පුළුවන්කම තිබ්බ හින්ද. මේවා සරල, සිම්පල් සිද්දි.. නැද්ද?

      උඹ කිව්වට මම උඹට බනිවි කියල උඹ හිතුවද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...