මුල් දිගහැරුම...
වැවරවුමේ බංකුවෙන් බිමට වැටිලා , දන ගාන්නේ නැතුව මම කකුල් දෙකෙන් ඇවිදගෙන ආව..
ඇත්තටම පිළිසකර නොකලත් වැවරවුමේ පලින් පල තියෙන පස් මතුවෙච්ච කොන්ක්‍රීට් අතුරනයන් නොමැති තැන්වලට මම ආසයි. ඒවායේ තියෙන කලුපාට පස් වලට ,මම මගේ ඩෙක් ෂූස් වලින් හෑරෙන පහරවල් දෙමින් ගමන් කරන එක හරිම විනෝදයක්.
කෙල්ලෙක් දිහාවත් නොබලා බිමම බලාගෙන යන එකෙත් තියෙනවා ආතල් එකක්.. ඔව් එහෙම යනකොට තමයි වැඩිපුර කෙල්ලෝ බලන්නේ... ඔලුව උස්සන්නේ නැතුව උනත් මට කියන්න පුළුවනි ඒක නම්!
සිමෙන්තියෙන් හැදුවත් කළුගල් පෙනුමක් තියෙන පඩිපෙළින් බිමට , පඩියෙන් පඩිය පනිමින් මම ආවේ මගේ පරණ මතකයකුත් බිම දිගේ ඇදගෙන...
'හෙක්.. හෙක්... '
මහේෂි එක්කත් මම මෙතන පහුකරගෙන ගිහින් තියෙනවා... නිර්මලී එක්ක නම් ගියේ පල්ලෙහා පාරේම විතරයි. මදාරා නම් කොහොමත්ම පාරවල් දිගේ ඇවිදිනවට කැමැත්තක් තිබ්බෙම නැහැ. කවුද අර කොන්ඩේ කැරලි කැරලි එක? නම මතක් වෙන්නෙම නැහැ. හැබෑට මට හැම වෙලේම ඒකිගේ නම අමතක වෙන්නේ මොකද?
'හෙහ්... ඒකෙත් හැටි...'
කාර්ගිල්ස් එක පහුකරනකොට මටත් නොදැනීම මගේ හිස හැරුනේ කාගිල්ස් එකේ විශාල වීදුරුවෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බය දිහාවට. පුරුදු විදියට මම මගේ කොණ්ඩය නළලින් උඩට හැදුවේ, ඊළඟ මොහොතේ ආයෙමත් වැටෙනබව දැනගෙනමයි.
ඒත් මම ආසයි එහෙම කොන්ඩේ හදන්න. වීදුරුවෙන් ඇතුලේ, සුපිරි වෙළඳ කුටියේ තිබුනේ භාණ්ඩ ගෙනියන 'ට්‍රොලි' අසුරන ස්ථානය. එතැනට එන කැරලි කොණ්ඩයක් තියෙන , බටර් පාට කෙල්ලෙක් මාව දැකල එකපාරට නතර උනේ අපි දෙන්නා අතර තියෙන වීදුරුව ගැන අමතක වෙලා වගේ...
මම කොණ්ඩේ ආයෙත් පාරක් හදලා පොඩි හිනාවකුත් එක්ක යන්න පටන් ගත්ත.
























.jpg)





















