Thursday, October 16, 2014

99. සෙරෙප්පු



හිතල හිතල ඇති වෙලා මට...
කොච්චර හිතුවත් ඉවරවෙන්නේ එකම තැනකින්. හරියට එකම තැනකට යන්න හදපු පාරවල් ගොඩක් වගේ.

හැමදාම මේ සෙරෙප්පු දෙක දකිනකොට දැනෙන කම්පනය වහගන්න ඒ සෙරෙප්පු දෙක කාටවත් කවදාකවත් හොයාගන්න බැරි තැනකට විසිකරන්න ඕනේ කලත්, මම කලේ ගබඩාකාමරේ පෙට්ටියක් ඒ වෙනුවට තෝරගත්ත එක. අන්තිමට මට උනේ කවුරුත් නැති වෙලාවක ගබඩා කාමරේ මැද්දෙදි මේ සෙරෙප්පු දෙකෙන් විහිදෙන අවලං හිනාවත් එක්ක සම්මුඛ වෙලා , වෙනදාටත් වඩා හිතලක් එක්ක සුසුම්ලන්න.

කොහෙන් එන සිතුවිලිද මේ? පෙනේරෙකින් නතර කරන්න බැරි වතුර පාරක් වගේ මම මගේ හිතුවිලි එක්ක පොරබදනවා..

"ලස්සන ඇඟිලි... මොකද ඔයා කියුටෙක්ස් ගාන්නේ නැත්තේ "

ඒ වචනෙත් එක්කම අනික් පැත්ත හැරුන මට ඔබේ ඇස් වලින් බේරෙන්න ලැබුනේ , ඒ ඇස් දෙක නතර වෙලා තිබ්බේ මගේ කකුල් දෙකේ හින්ද.



"චී.. ලජ්ජා නැද්ද කෙල්ලොන්ගේ කකුල් බලන්න?"
මම දාගෙන හිටපු සෙරෙප්පු දෙක හින්ද කොහොමත් නියපොතු වහන්න බැහැ. ඒ හින්ද මම කලේ ජැකට්ටුවෙන් උරහිස් වහගන්න එක.

"මොකටද ලැජ්ජා වෙන්නේ... අනිත් එක ඔයාගේ කකුල්නේ "

මගේ කන් අඩි දෙකෙන් මොකද්දෝ දුමක් පිටවුණා. සුපුරුදු විදියට ගල් ගැහුන මගේ ශරීරය වෙව්ලනවා මට දැනෙනකොට පසුබිමින් ඔබේ හිනාව මට ඇහුනේ කෙකෙරගෑමක් වගේ. අතේ තිබ්බ දෙයක් නැති හන්ද මම කලේ ශරීරයට පණ ලැබුණු ගමන් දවාලන බැල්මකින් ඔබව උණු කරන්න හිතාගෙන ඔබේ දෙසට හැරුණු එකයි... ඇත්තටම දැවුනේ මමයි..

පරාජිතයෙක් වගේ මම බිම බලාගත්ත.

"ඔයා හරි නරකයි" මට වෙන වචන තිබ්බේ නැහැ වෙන යමක් කියන්න.

ඉඳගෙන හිටපු තැනින් නැගිටලා මගේ ළඟට එන ඔබගේ ඇස්වල තියෙන රස්නය මට දැනෙන්නට උනා. ඔව්... හැමදාම ඒක දැනෙනවා..

"ලජ්ජා හිතුනද? කාටවත් ඇහුනේ නැහැ.... කවුරුත් නැහැ මෙතන. මම කිව්වේ ඇත්ත"
"පචයා"

මට ඊට වඩා වචන හොයන්න බැහැ... කුණාටුවක් හමනකොට කඩදහියක් හොයන්නේ කොහොමද? කකුල් ගල්වෙලා හින්ද යන්න බැහැ අඩියක්වත්. මගේ ළඟ හිටගෙන, මේ කරන හිරිහැරය මට දරන්න බැහැ හැමදාම.

"මට පච කියන්න පුළුවන් කියල ඔයා හිතනවද?"
උත්තරේ ඇතුලේ තියාගෙන අහපු ප්‍රශ්නයක්. මට ඒ වෙලාවේ මාවම අහිමි උනා, අවසන් වතාවට.

"දැන් කවුරුහරි එයි මේ පැත්තට.. අපි යමු"
"කවුරු ආවත් මොකද, ඇයි කාට බයවෙන්නද?..."

උත්තරයක් නැතුවම මම මිදුලෙන් එලියට ඇවිත් පාර දිගේ යන්න ගත්ත.
 "... ඉන්න පොඩ්ඩක්.... ඔය සෙරෙප්පු දෙක දාගෙන යන්න එපා"

මම ආපහු හැරිලා බැලුවේ මගේම සෙරෙප්පු දෙක දිහා නෙවෙයි, ඔබේ සෙරෙප්පු දෙක දිහා. හැබෑමයි... මම දාගෙන උන්නේ ඔබේ සෙරෙප්පු දෙක!

මගේ තොල් අගට අදටත් හිනාවක් ඇඳෙන හැටි? ඔව්.. ඇත්තටම මම හිනාවුනේ ඒ හදවතින්මයි. ඒත් ඔබට පිටුපෑවේ වෙන හදවතකින්. මට ඒ හදවත දුන්නේ ඔබ නොවෙයි.

අතේ තියෙන ඔබේ ඒ සෙරෙප්පු පවා මගෙත් එක්ක හිනාවෙනවා, හීනියට පටන් ගන්න හිනාව අන්තිමට ලොකු කොක් හඬලෑමක් වෙනකල් වර්ධනය වෙලා මගේ වටේට ඇහෙනවා. ඒ කොක් හඬලන්නේ ඔබ නොවේ, මමයි !

වරෙක බොරු කලන්තයක් පා මගේ අතින් ඇල්ලු, පිටුපස ආසනේ ඉඳන් මගේ දිගු වරලසේ අගිස්සන් හොරෙන් අතගෑ, අයිස්ක්‍රීම් වලින් මා රවටා මගේ තොල් මිරිකූ ඔබ... අදත් මගේ ගබඩා කාමරේ හැමදාම අලුත් කරනා කාඩ්බෝඩ් පෙට්ටියක් තුල සෙරෙප්පුවක්ව ඉන්න හැටි?

"මම ගැන පොඩ්ඩක් වත් කැමැත්තක් නැද්ද?"
"............"

මගෙන් උත්තරක් ගන්නට ඔබ කොතරම් හිතුවාද? කටින් පිට නොකරන මගේ හිත කියවන්නට ඔබට ඇති අයිතිය කුමක්ද? මට මා ගැනම දුකයි... එදත් දැනුනේ මේ විදියටමයි.

"හැමදාම මගෙත් එක්ක කතාකරනවද? පාරේදී හම්බුනොත්?"
"නැහැ..."

කඩුවක් වගේ මම කෙසෙල් කඳක් කොටා දමන....
ඔබේ අඳුරුවුණු මුහුණ බිමට නැමුණු හැටි..... ඔබ දන්නේ නැහැ ඒ උත්තරේ එහෙම උනේ ඇයි කියල... ඇත්තටම වෙන ජීවිතයක යන්නනම්, මට ඔබව අමතක කරන්නම වෙනවා. මොකද මම ආයෙත් මැරිලා ඉපදෙන්න ඕනේ.. ඔව්... මම ආයෙත් ඉපදෙන්න තමයි හිතුවේ..

"ඔයත් එක්ක මම තරහ නැහැ. මාව හොයනවා නම් හොයන්න... ජිවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන් හම්බවේවි. හම්බ උනේ නැහැ කියන්නේ.. මම මැරිලා කියන එක"

ඒ ඔබේ වචන. වේදනාවේ වචන....

මම ආයෙත් සෙරෙප්පු දෙක දිහා බැලුව. ඔව්... ඔබ මැරිලා වෙන්න ඇති, නැත්තම් මම හිතනකොට ඔබට ඒක දැනෙනවා, ඉස්සර වගේම!

30 comments:

  1. මෙන්න අර මම කියන මාන්දමික පෝස්ට්ස් .... :D ඔෆිස් වෙලාවේදීම මේවා කියවන නිසා හොඳයි .. සිහි කල්පනාව තියෙන වෙලාවක කියෙව්වොත් පිස්සු හැදෙනවා ... හික් හික් හික් ..

    මොකක් වුනත් ලස්සනයි ඈ .... පස්සේ තේරුම් ගන්න බලන්නම් .. නැත්නම් තේරුම ලියල තව පොස්ට් එකක් දාන්න ..

    ReplyDelete
    Replies
    1. අනේ මේ පැතුම්... මගෙන් අහන්නේ නැතුව ඉන්නවද.... ඔව් වොව්... මම නොදන්නවාද ඔයාගේ ඔෆිස් වැඩකිරිල්ල ! සිහි කල්පනාව තියෙන්න ඉතින් එහෙම වෙලාවක් එපැයි... මෙව්වා තේරෙන්නේ නැහැ බොලාට...

      Delete
  2. මොකක්ද මේ??? මටනම් තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්නෝවා හිතින් අතෑරලා වෙන වැඩක් බලාගන්න සිත්තම්!

      Delete
  3. හිතින් ආදරය කළ පරණ කැඩ් එකේ විප්‍රෙයා්ගයද මේ..

    ReplyDelete
    Replies
    1. අපෝ.. මෙලෝ රහක් නැහැ..... මම වගේ විශිෂ්ඨ රචකයෙක් ලියන එව්වා කොහෙද ඔයාට තේරෙන්නේ... තනිකර පැහැදිලි ඉරිසියාව!

      Delete
  4. උපේක්ශාගේ පරිකල්පනය ඉතාම විශිෂ්ටයි ... මේ කතාවේ "ඔබේ" , "ඔබ" කියලා තියෙන තැන්වල "ඔයාගේ" , "ඔයා" වගේ වචන යෙදුනානම් හොඳයි වගේ මට හිතෙන්නේ , එහෙම වුනානම කතාවේ හෘදයාංගම බව තවත් වැඩිවෙයි කියල හිතුනා

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා - ස්තුතියි

      Delete
    2. එතකොට ලියවිල්ල සාටර් විදියට 'බොළඳ' වෙයි නේද ඉවාන්? ඔබ කියන වචනෙන් මම උත්සහ කලේ ඇගේ හිතින් පෙ පුද්ගලයාට දෙන දුරස් බව පෙන්නන්න. හ්ම්ම්.. හ්ම්ම්... බලමු ටිකක් හිතල. ස්තුතියි

      අහ් ... මෙන්න බොලේ විදානේ නිවැරදි වෙලා.. හෙක්... හෙක්...

      Delete
  5. සෙරෙප්පුවක් අස්සෙන් මතුවන ආදරනීය සිතුවිලි....සෙරෙප්පුවේ හිමිකාරයා හෙන රොමැන්ටික් බුවෙක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අරූ.... හි.. හි.... මෙයාගේ ඉව!

      Delete
  6. හැගීම්බර සටහනක් උපේක්ෂා...
    හිත බර උනා වගේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  7. සෙරෙප්පු කතාවක්.............. හ්ම්........................ නියමයි................හරිම සංවේදීව දැනුනා......

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... ලාමක ටින් ටින් උනාද මන්ද...

      Delete
  8. “කාන්තාවන්ගේ පාද ලස්සනයි. ඒකයි ඇත්ත. ඇයි ඉතිං බනින්නෙ බැලුව කියලා? ඕවා ලස්සනට තියාඉන්නෙ බලන්නනේ.“

    ReplyDelete
    Replies
    1. හි.. හි... ලස්සන පාද තියෙනවද කියල නොදන්නා කෙල්ලෝ..

      Delete
  9. මාත් ඔය කෙල්ලන් දිහා බලන වෙලාවට පේන පෙන එව් කියෝනව...
    ඒත් රොමෑන්ටික් නං නැ හෙන කුප්ප අයිඩියාස්...
    හෙක් හෙක්

    ReplyDelete
  10. මම නොවෙයි මම.. ගොඩක් දෙනෙකුට හරි පාර දැක දැක (දැන දැන ) වැරදි පාරවල් වල යන්න වෙනව ජීවිතේ සමහර මංසන්ධි වලදි.. සමහරු එහෙම ගිහිං වැල යන අතට මැස්ස කියල හිත හදං ඉන්නව.. සමහරු අතරමං වෙනව.. හැබැයි ගොඩක් දෙනෙකුට මේ වගේ කවදාවත් අමතක කරන්න බැරි 'සෙරෙප්පු' ඉතුරු වෙනව.. ජීවිතේ..

    මං කල්පනා කලේ නුවර පැත්තෙ මේ වගේ 'සැන්ටිමෙන්ටල්' කුමාරිලත් ඉන්නව නේද එහෙනම් කියලයි.. අපූරු ලියවිල්ල.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රයා.... මට කියන්න ඕනේ කලේ ඔය වගේ දෙයක්. අපි යන පාරේ හැම ගලක්ම දාගෙන ගියොත් ගොඩක් දුර යන්න බැහැ. ඒ වගේම සමහර පාරවල් ලස්සන උනාට යන්න බැහැ, මොකද අපේ ගමන ඒ පාරෙන් වෙනස් හින්ද.

      ඇයි .. නුවර කෙල්ලෝ සෙන්ටිමන්ටල් නැහැ කියල නිගමනයකට එන්න හේතුව? මම එහෙනම් ඒ ජාතියේ කෙනෙක්...

      Delete
    2. දැන් එහෙම කෙල්ලො ඉන්න එක ගැන සතුටුයි. අනේ මංදා 'ඒ' කාලේනං සැට් උනේම සැන්ටි නැතුව මැන්ටල් කෑලි.. හිකිz.. නැත්නං ඉතින් අපිත් උඩරටින් පාතරටට බින්න බහින්නේ නෑනෙ.. :D

      Delete
  11. ඊයේ බාගෙට කියවල නැවැත්තුවා, කාමරේට විසිටර් කෙනෙක් කඩන පාත් උනාම.
    අද තමා ඔක්කොම කියෙව්වේ
    මට හිතෙන්නේ කවියකින් කියන්න ඕන දෙයක් කතාවකින් කියල .

    ඔයාගේ අරාබි නිසොල්ලාසය මීට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙනවා.
    මගේ ඇත්ත හැගීම කිව්වේ තරහ උනාද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්... හැමදාම මේ වගේ දෙයක් මෙලෝ රහක් නැති කවියක් කරලා ගුලිගහන එක තමයි කලේ. හිතුව ලියන්න ඕනේ කියල. තරහ වෙන්නේ මොකටද? ගල්-පොල්-මල් ඕනේ දෙයක්..... අපෝ සෝඩා එපා..!

      Delete
  12. හ්ම්ම්... සෙරෙප්පු!
    අමුතු කෙටි කතාවක්. මමනම් ලයික් මේ වගේ අගමුල නැති කතාවලට

    ReplyDelete
    Replies
    1. ස්තුති.... බස්සිට කියන්න බස්සියෝ.... අගත් නෑ.... මැදත් නෑ ..... මුලත් නෑ ... අවුලකුත් නෑ

      Delete
  13. ගහනවා කියලා ඔහොමත් සෙරෙප්පුවෙන් ගහන්න එපා බොල, සෙරෙප්පුවට ලියපු කතාව නියමයි.

    //මම දාගෙන හිටපු සෙරෙප්පු දෙක හින්ද කොහොමත් නියපොතු වහන්න බැහැ. ඒ හින්ද මම කලේ ජැකට්ටුවෙන් උරහිස් වහගන්න එක.//

    වැදුනා ඈ, මටත් සමීපයි ඔහොම සිද්දියක්. ඒ නිසාම නොව කතාව නිකන් බවාන්තර වල එපිසෝඩ් එකක් බැලුවා වගේ. ජය වේවා බන්.

    ReplyDelete
    Replies
    1. හි.. හි.. ස්තුතියි රසවින්ද නම්...

      Delete
  14. එහෙම මතකයක් එක්ක සෙරෙප්පුවකට ලැබිච්ච වටිනාකම ඈ! :D

    ReplyDelete
    Replies
    1. සෙරෙප්පු, පරණ බස් ටිකට්, පරණ පැන්සල් කියන්නේ වටිනා දේවල් කියල කවුද එකඟ නොවෙන්නේ?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...