Thursday, August 21, 2014

66. කාන්ති - 02

මෙතෙක් කතාව 

මට හරියටම මතක නැහැ ඊට පස්සේ මොනවද උනේ කියල. පස්සේ දැනගත්ත විදිය විතරයි කතාව ගොතාගන්න උදව් උනේ. මට හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙන්න ඇති. කොහොමත් වැඩිහිටි දේවල් අපේ කනට (මගේ) නොඑන්න හැම වෙලේම අපේ අම්මි සැලකිලිමත් උනා කියලා නම් මට මතකයි.

කාන්ති එකපාරටම අපේ ගෙදරින් අතුරුදහන් උනා.



මගේ සගයා නැති උන හින්ද මම නිහඬවම දුක් උනා. කොහොමත් මම පොඩි කාලේ ගෙදරදී මගේ හැඟීම් එලියට පෙනපු කෙනෙක් නෙවෙයි. කාන්ති ගෙදර නැති එකෙන් මම මගේම කටුවක ඇතුලට වෙලා ඉන්න එක තමයි කලේ.

ඔහොම ගියපු දවසක.....



ගේ ඇතුලේ මොනවහරි වැඩක හිටපු මට ඉස්සහරහ පැත්තේ පොඩි පහේ කලබලයක් ඇහුණා. මම හෙමීට හෙමීට වටෙන් ආවා. බලනකොට කාන්ති ඇවිත්. ලොකුවට වැඩුණු පිරුණු උදරයක් ඇතුලේ දරුවෙක් දරාගෙන හිටියා. මට ඇත්තටම තේරුනේ නැහැ ඒ බවක්. ඇයත් එක්ක මම දැකල නැති වයසක පිරිමියෙක් හිටිය. කරේ ලේන්සුවක් ගෙන හිටපු ඒ මනුස්සයාගේ මුහුණේ කියන්න බැරි තරම් අසරණකමක් මම දැක්ක.

"ඇතුළට වරෙල්ලා රට්ටු හිනස්සන්නේ නැතුව..."

අත්තම්මගේ අණින් අර අසරණ මනුස්සයා, කාන්තිව ගේ ඇතුලට තල්ලු කරලා, ඔහුත් ඇතුලට ගියා. මම කලේ එළියේ ඉඳන් ජනේලෙන් බලන් හිටපු එකයි.

කරේ තිබ්බ ලේන්සුව අතට අරන් ගෙදර තිබ්බ පොඩි පුටුවක වාඩිවෙලා බිම බලාගත්ත ඒ මනුස්සයාගේ මුහුණ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අසලින්ම බිම බලාගත් කාන්ති හිටගෙන උන්නේ අපහසුවෙන්.

"අනේ ලොකු හාමිනේ.... මට මේකි එහෙ තියන් ඉන්ට බැහැ..... "

ඒ වැඩුණු පිරිමියා ලේන්සුවට ඇස් දෙකට තදකර ගත්තා. ඔහු හඬනබව පැහැදිලියි. මට බැලුනේ කාන්තිගේ මුහුණ දිහායි. වෙහෙසකර දුර ගමනක කතාවත්, අසරණකමත් එහි අඩුවක් නැතුව තිබ්බ. පොඩි දරුවෙක් විදියට මට දැනුනේ අද දැනෙන දේ නොවුනත්, මගේ හිත දුකෙන් පිරුනා.

"එව්වා හිතන්න එපෑ ඔව්ව කරගන්න කලින්.... ඔතරන් නැටිල්ලක් තියෙන්ට ඇහැක ?"

මට පිටුපා ඉන්න අත්තම්මගේ වචන රළුයි. අම්මි ඈතින් එනවා දැක්ක මම ජනේලේ ළඟම බිමට නැමුණේ දැක්කොත් මාව එලවයි කියල හිතුන හින්ද.

"ජේමිස්..... මේ මොකද හදිස්සියේ...."
"අනේ ලොකු නෝනා.... මේකි..... මේකි මට ගමේ තියාගන්න බැහැ . එක එකා එක එක කතා කියනවා. මගේ ගෑනි , මුන්ගේ අම්ම මට බනිනවා. වත්තේ නෝනා අපේ ගෙදර ඊයෙත් ඇවිත් හොඳටෝම බැනලයි ගියේ. අනේ නෝනා.. මේකිගේ බර හෑල්ලු වෙනකල්වත්..."

අර මනුස්සයාගේ හඬ බිදිලා ගියා. වත්තේ නෝනා කියන්නේ අපේ නැන්දා. ඇය ටිකක් සර පරුෂ කෙනෙක්.

"ජේමිස්... කාන්ති මෙහෙ නතර කරලා යන්න. දරුවා ලැබෙනකල් මෙහෙ උන්නාවේ."
අපේ අම්මිගේ කටහඬ මට ඇහුන.

"දුවේ... පිස්සුද... අර මිනිහ පල්ලෙහා ඉන්දැද්දී...?? ඌ ඇවිත් මේකිව මැරුවොත්? ඔන්න මම නොකිව්වයි කියන්න එපා "

අත්තම්ම අපේ අම්මිට සැරෙන් කිව්වා.
ටික නිහඬතාවයකින් පස්සේ අම්ම මොනවහරි හෙමිට කිව්වා. හරියට ඇහුනේ නැහැ.

පස්සේ මම දැනගත්ත විදියට වෙලා තියෙන්නේ ගමේ මිනිස්සු එක එක කතා කියල කාන්තිට. කොහොමත් ගම්වල ඔය වගේ දෙයක් තියා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කර කර හිටියත් ඇති නේ. ගමේ මිනිස්සුන්ගේ කතන්දර හින්ද කාන්තිගේ මවත් කියල වෙන්න ඇති කාන්තිව කොහේ හරි ගෙනිහින් දාන්න කියල. සැරපරුෂ කෙනෙක් උන අපේ නැන්දත් කියල, සිද්ධිය උනේ අපේ ගෙදරදී හින්ද ගමේ තියාගෙන ඉන්නේ නැතුව අපේ ගෙදර ගෙනත් අරලින්න කියල. ඉතින් ජේමිස් කියන කාන්තිගේ පියා, කාන්තිවත් අරන් අගේ ගෙදර ඇවිත්. දුප්පත් මිනිස්සු.. අසරණ උනහම වෙන මොනවා කරන්නද?

කොහොමත් අපේ අම්මි කාන්තිව නතර කරගත්ත. කාන්තිව අපිට බාරදීලා ජේමිස් ආපහු ගියා.

ආගන්තුක පෙනුම හින්දද මන්ද මම කාන්ති ළඟට ගියේ නැහැ. කාන්ති දවසම කලේ අපේ අත්තම්ම විසින් නියම කරපු ඇතුල් කාමරයකට වෙලා දවසම අඬමින් ගත කරපු එකයි. කාන්ති ගෙදර තියාගන්න තීරණේ කලාට, ඇයට දවල් කාලයේදී ලැබෙන සැලකිලි ගැන නියමකරන්නට අම්මිට හැකිවුණේ නැත්තේ, දවල්ට ඇත්තේ අත්තම්මගේ බලය හින්දයි කියල මට අද හිතෙනවා.

කොහොම හරි කාන්තිට දරුවා ලැබුනා.... දරුවා පිරිමි දරුවෙක්

මට මතකයි කාන්තිව දරුවා ලැබුණු ගමන් ගෙදර එක්කගෙන ආපු හැටි... මෙතෙක් කාලෙකට ඉපදුනු ගමන් දරුවෙක් මම මේ විදියට දැකල තිබ්බේ නැත්තේ මම බඩපිස්සී හින්ද වෙන්න ඕනේ.

දරුවාව අරගෙන කාන්ති ආවෙත් මැලවුනු මුහුණින්. වෙහෙස හින්ද වෙන්නත් ඇති. සුපුරුදු අහුමුලු කාමරේට යන්න හැදුවම, අපේ අම්මි මමයි, අක්කයි නිදාගන්න කාමරේ පෙන්නලා ඒකට යන්න කිව්වා. පස්සේ දවසක කිව්ව විදියට, එහෙම කලේ අලුත උපන් දරුවෙක්ට විසබීජ යයි කියල අපේ අම්මිට හිතුනලු.

පුංචිම පුංචි පාර්සලයක් වගේ උන්නු පොඩි එකා කොයිවගේද කියල බලන්න මගේ පුංචිකම මාව තල්ලු කලත්, මම බය වුනා. දන්නේ නැහැ ඒ මොන හේතුවකටද කියල. මොකද, අත්තම්ම හිටියේ විලක්කුව පත්තු කරගෙන ආවේස වෙච්ච යකදුරෙක් වගේ, තරහින්, ආවේගයෙන්. අපේ අම්මි කාන්තිට උණු වතුර , ඇල් වතුර වගේ හැම දෙයක්ම ලඟට ගෙනත් දුන්න.

හවස් වෙනකොට මම හෙමින් හෙමින් කාමරේට සෙන්දුවුනා. වැඩේ ලේසියි, මොකද කාන්ති ඉන්නේ අපේ කාමරේ. අපේ අක්කා නම් ඒ වෙනකොටත් වෙන කාමරේකට මාරුවක් හදාගෙන හිටියේ, බයටම. මම හොරෙන් ගිහින් කාමරේට එබුනා.

මුළු කාමරේ පුරා අමුතු සුවඳක්, කිරි සුවඳක් වගේ දෙයක් පැතිරිලා... අදටත් මට ඒ සුවඳ මතකයි... මට ඔය සුවඳ සමාන කරන්න පුළුවන් එකම එක දෙයයි හමුවෙලා තිබ්බේ... කාලයක් අර 'අමුල්' කියල කිරිපිටි ජාතියක් තිබ්බේ. කහට නොදා හැදුවම මේ සුවඳ තමයි ආවේ. සුගන්ධයක් නෙවෙයි, අමුතු කිරි සුවඳක්...

මම හෙමිට එබිලා බැලුවම මම එන පැත්තට පිටුපාල මගේ ඇඳ පාමුල පැදුරක බිම වාඩිවෙලා කාන්ති දරුවට කිරි දෙනවා. පොඩි එකාගේ පුංචිම පුංචි අතක් මම දැක්කා රෙදි අතරින් එලියට ඇවිත් තියෙනවා. ආසාව වැඩිකමට මම හෙමිට ඇඟිලි තුඩුවලින් ගිහින් කාන්තිගේ පිටිපස්සෙන් හිටගත්තා.

එතකොටම කාමරේට වේගෙන් ඇවිදගෙන ආපු අත්තම්ම මට ඉස්සරහින් හිටගෙන කාන්තිගේ හිස් මුදුනට දබර ඇඟිල්ල තියල තද කළා. කාන්ති ඉස්සරහට වැනුනා

"දීපන් කිරි දැන්... අපිත් වසල හමාරයි මේ පැත්තේ... අන්න ඇවිත් උඹගේ මනමාලය"

අත්තම්ම ඒ වෙලාවේ කියපු වචන වලට රිදුනු කාන්ති, හෙමිහිට ඉකිබිඳින්න පටන් ගත්ත. ඇත්තටම මගෙත් හිත රිදුන. මට ඇයත් එක්ක අඬන්න ඕනෙකලා. අඬන්නේ ඇයි කියලනම් මට ඒ වෙලාවේ තේරුනේ නැහැ. මට දුකක් විතරයි දැනුනේ. පපුවට දැනෙන දුකක්, හේතුව නොදන්නා දුකක්...

සාලය පැත්තෙන් ආයෙත් ගෝරනාඩුවක් ඇහුන. ජානක ඇවිත් බනිනවා මම හිතන්නේ. පලවෙනි දවසේ බය උන හින්ද මම ආයෙත් ගියේ නැහැ ඒ මනුස්සයා බලන්න. සද්දේ විතරක් ඇහුන. සද්දේ ඇහෙන්න ඇහෙන්න කාන්තිගේ ඉකිබින්දිල්ලත් වැඩිවුනා. ඇය ඉකිබින්දිමින්ම දරුවාට කිරි දුන්නා. අම්මි ඇවිත් අත්තම්මව කාමරෙන් යැව්වා. කොහොමත් එදත් ජානක රණ්ඩු වෙලා තිබ්බේ දරුවා එයාගේ නෙවෙයි කියල.

දවස් කීපෙකට පස්සේ ආයෙත් ජේමිස් ඇවිත් කාන්තිව එයාගේ අලුත උපන් දරුවත් එක්ක එක්කගෙන ගියා. පොඩි දරුවෙක් උන මට ඊට වඩා දෙයක් විසිබල් උනේ නැහැ.

කාන්ති ආයෙමත් අපේ ගෙදර ආවේ නැහැ. ජානක කියන හාදයත් ඊට සතියකට විතර පස්සේ රට ගියා කියල ආරංචි උනා. කොහොමත් එහෙන් සහ මේ ගැන තියෙන ආරංචි අපි ඉන්නකොට කතා කරන එක පුළුවන් තරම් අම්මි වැලැක්වුවා. ඒක හොඳයි කියල කියන්න මට තේරෙන්නේ නැහැ. කොහොමත් පොඩි වැඩියි තේරුම් ගන්නත්. මට මතක අපේ අම්මිට අත්තම්ම නිතර දොස් කියපු එක විතරයි. දොස් කිව්වේ කාන්ති ගැන මිට කලින් හෙව්වේ නැහැ කියල. ඒ වගේම කාන්ති දරුවා ලැබෙන්න මෙහෙ ගෙනාව කියල. හැබැයි, මේ සිද්ධියෙන් අර ජානකගේ ගෙදර මිනිස්සු අපේ ගෙදරත් එක්ක තරහක් ඇති කරගත්තේ නැත්තේ අම්මිගේ කලබල නොවෙන ගතිය හින්ද.

කොහොම හරි ඊට පස්සේ පොඩි එකෙක් විදියට මට අහන්න ලැබුන අනික් නිවුස් එක තමයි, කාන්ති වස බිල මැරිලා කියල.

ඔව්.... අපේ කුඹුරු අඳේට කරන ජේමිස්, ගෙනල්ල තිබ්බ කෘමිනාශක බෝතලේ බීලා කාන්ති රබර් වත්ත මැද්දේ, පස් කාගෙන මැරිලා වැටිලා හිටියා කියල අපේ ගෙදරට ආරංචිය ලැබෙනකොට මම පොඩි එකෙක් විදියට කම්පනය උනා. හැබැයි මට දැන් හිතෙනවා, කාන්ති දුකෙන් ඉන්නකොට , අඬනකොට මම ඇයි නිකන් ඔහේ බලන් හිටියේ කියල... නොදන්නාකම වෙන්න ඇති නේද?

කාන්තිගේ පුතා, මේ සම්බන්ධ පොලිස් පරික්ෂනෙට ආපු පොලිසියේ කෙනෙක් හදාගන්න ගත්ත කියල පස්සේ ආරංචි උනා.

කතාවක් විදියට, කාන්ති ගැන කතාව ඔච්චරයි...

කවදාවත් කාන්ති අපේ අත්තම්මගේ නපුරු වචන වලට ඇඩුව මිසක්, කිසි දෙයක් කිව්වේ නැහැ. මම නම් කියන්නේ එහෙම කරදරයක් වුන කෙනෙක්ට තදින් කතා කරන එක නරකයි... ඊටත් වඩා තාමත් අපි දන්නේ නැහැ කාන්තිගේ දරුවාගේ සැබෑ පියා කවුද කියල ....

කාන්ති ඒක රහසක් විදියටම තියා ගත්ත. මොකද මට හිතෙන්නේ ජානක කාන්තිව නොබදිවී කියල හිතන්නත් අමාරුයි.... තාමත් අපි දන්නේ නැහැ මොකද උනේ කියල.

අපේ අම්ම නිතර කියන දෙයක් තියෙනවා
"ඒ කෙල්ල මට කරපු උදව් වලට මට ඒකිට සලකන්න බැරි උනා..."

ඔව්.. කාන්ති අපිව ඇත්තටම ආදරෙන් බලාගත්තා. මටත් දැන් දුකයි, පොඩි දරුවෙක් විදියටවත් කාන්ති අඬනකොටවත් මට මොනවහරි කියන්න තිබ්බ කියල. දැන් ඒවගෙන් ඇති පලක් නැහැ...

අදටත් මම ගෙදර ගිහින් අපේ පරණ ඇල්බම් බලනකොට, අපි ගාර්ඩ්න්ස් ගිහින් ගත්ත පින්තුරවල කාන්ති ඉන්නවා දැක්කම මට කියාගන්න බැරි දුකක් එනවා...

කොතනද වැරැද්ද දන්නේ නැහැ.... නොදනිමි කාගේ දොසා....... 

29 comments:

  1. මේක කියවලා, මොනා කියන්නද කියලා හිතාගන්න බෑ.
    නොදනිමි කාගේ දොසා.....??????

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්.... වඩා දෙයක් කියන්න මතක් වෙන්නෙම නැහැ

      Delete
  2. කියන්න කාරනා දෙකතුනක් තියෙනවා,එක කතාවක් ලියල අපි ගුණ පණ කියනකල් ටික දවසක් ඉන්න.සතුටුදායක අවසානයක් දකීවී කියල හිතාගෙන කියෙව්වත් අන්තිමට ශෝකාන්තයක්.මේ කතාවෙ වැඩියෙන්ම මගේ හිත ගත්තෙ උපේක්ෂගෙ අම්මා රඟපාපු චරිතයයි.වෙච්ච දේ හරියටම පැහැදිලි නැති නිසා කාන්තිගේ පැත්තෙනුත් මේ කතාව ලියන්න තිබුණ නං වටිනාකම කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මේකයි හැලපේ .... මම එක දිගට ලියාගෙන ගියා. කෙනෙක්ට කියෝගෙන යන්න ඕනේ නම් ඒකට බාධා කරන්න ඕනේ නැති හින්ද ඔක්කොම දැම්මේ. මේක ප්‍රභන්ධයක් නොවෙන හින්දත්, තලු මර මර රස විදින්න බැරි දෙයක් හින්දත් එක පාරට කියෙව්වම හොද වේවි කියල හිතුව. පොස්ටු දෙකක් ලියන්න හිතුවේ නැහැ. අනපේක්ෂිත විදියට කතාව දික්ගැසුනා.

      අපේ අම්මි ගැන ලියනවා නම් තව ලියන්න ජාති එමටයි. මගේ ලෝකේ කේන්ද්‍රය තමයි ඇය. මම හිතන්නේ ගොඩක් අම්මලා එහෙමයි. සමහර වෙලාවට ඇයගේ මේ කලබල නොවෙන ගතිය මාව කලබල කරවනවා!

      ඇත්තටම කාන්තිගෙන් මේ ගැන අහන්න පුළුවන් වයසක මම හිටියනම් කියල මට අනන්ත හිතිලා තියෙනවා. ස්තුතියි කොමෙන්ටුවට

      Delete
  3. මට ඇත්තටම අඬන්න හිතෙන දුකක් දැනුනා උපේක්ෂා......
    ඔයාගෙ අම්ම පුදුම තරම් ආදරණීය "අම්මා" කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..... අප්පච්චිටත් වඩා අපේ ගෙදර බැක්බෝන් එක ඇයයි. මම වගේ කොකු මාස්ටර් කෙනෙක්ගේ අම්ම කියල හිතන්නත් බැහැ නේද? හි.. හි...

      Delete
  4. බොහෝම ශෝචනීය කතාවක්.
    කොයි මේඩ් ගෙත් කතාව මේකමද මන්දා?
    අපේ කසින්ගේ ළමෙක් බලාගන්න හිටියේ ලතා. මම හිතන්නේ ලතාට ඒ වෙද්දි අවුරුදු 14ක් වගේ. ලතාගේ අක්කත් ඊට කලින් වැඩ කරලා තිබුනේත් එයාලා එක්කමයි. ලතා තමයි අපිවත් කොන්ට්‍රෝල් කලේ. ගොඩාක් වෙලාවට අපි නොකන චිකන්, මාළු ලතා අපි කෑම මේසෙට වාඩි වෙන්නත් ඉස්සෙල්ලම ඉල්ලල තියෙන්නේ. අපේ පොඩි එකා බොන ඔරේන්ජ් ජූස් එකත් එහෙමයි. ඒක හින්දම ලතාට හැමදේම මුලින් ලැබිලා අපි තමයි පස්සේ වරප්‍රසාද ලබා ගත්තේ. පුදුම දැඟලිල්ලක් තිබ්බේ. අවුරුදු දෙකකින් විතර මම ආයේ ලංකාවට යනකොට ලතා හිටියේ නෑ. හොයලා බලනකොට ඒ වෙද්දි ලතාට ළමෙකුත් ඉන්නවා.
    පස්සේ කාලෙක අනුරධපුරේ යන ගමන් මහව හරියේ නතර වෙලා අපි තැබිළි බොනවා. එක පාරට මිස් කියාගෙන හරිම අසරණ විදියට ඒ ලතා මාව හොයාගත්තා. අර ඉස්සර තිබුන දැඟළිලි මොකුත් නෑ. ළමයිත් සෑහෙන ලොකුයි.එවෙලේත් මට දැණුනේ මේ උපේක්ශා කියන දේම වෙන්න ඇති. ලතා මට වඩා අවුරුදු පහක් හයක්වත් බාල ඇති. ඒත් දැන් එයා ආච්චි කෙනෙක් වෙන්නත් පුළුවන්. මුල්ම සිදුවීම මීට අවුරුදු විස්සකට එහා. අනික දහයකට විතර එහා.

    ReplyDelete
    Replies
    1. රංගි තරහ නැතුව ඒ කතාවත් ලියනවද?

      Delete
    2. කාන්ති හරි අහිංසකයි. ඇයට එහෙම උනේ ඇගෙ තරුණ කාලේ එක්ක තිබ්බ අනවබෝධය කියලයි මට තේරෙන්නේ. ඒත් මට හිතෙනවා එයා දරුවාගේ සැබෑ පියා හැංගුවා. ජානක වෙන්න බැහැ. මම දන්නේ නැහැ, මම අපේ අක්ක වුනානම්, මම අහන්න ඉඩ තිබ්බ ඇගෙන්.. ඇය මට ඇත්ත කියන්නත් ඉඩ තිබ්බ. මට ඒ ගැන තියෙන්නේ දුකක්.... මෝඩ දුකක්

      Delete
  5. ජීවනය ඔත්තුව දුන්න ටෝන් එකට මම හිතුවෙ හෙන පැණි කතාවක් කියල. ඒත් කොටස් දෙකම එක හුස්මට කියවල හිත බොහොම බර වුනා.

    ඇත්තටම හැළපෙ කිව්ව වගේ කුමාරිගෙ අම්ම ඉතාම අගය කලයුතු චරිතයක් ( මේ කතාවෙ සිද්ධි සහ විස්තර අනුව ).

    මට හිතා ගන්න බැරි ඇයි ජානක කාන්ති ආයි ආවම පරල උනේ කියල!


    //ඒත් මම ඒ දවස්වලම හිතා ගත්තා, මගේ ළමයෙක් එහෙම ඇඬුවොත් , අර හිනා වෙන ප්‍රතිචාරේ නැතුව වෙන ඕනේ ප්‍රතිචාරයක් දක්වන්න.//

    බොහොම වැදගත් අදහසක්.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික උපශාන්ත
      බලපන් පලවෙනි කොටසේ කොමෙන්ට් ඇනෝ පොලිස් නෝනා කෙනෙක් ඉන්නවා සත්තයි මචන් ප්‍රොෆයිල් එකන්ම ඉන්නවා
      (රහසින්) මචන් ඉන්දික වැඩිය මගේ නම කියන්න එපා, ජීවන කියන්නෙත් උඹේ ප්‍රොෆයිල් එකක් කියල ඇනෝපාරක් එයි. මට තමා වහ කන්න වෙන්නේ

      Delete
    2. ඔත්තුවක් හින්ද ආවට ස්තුති...
      අපේ අම්මි ගැන කියල වැඩක් නැහැ.. ඔහොම තැන්පත්කම වගේම ඇය බොහොම සැහැල්ලු ජොලි චරිතයක්. එයාගේ ගෝලයෝ ඔක්කොම තරුණ අය. ඒ මදිවට ඒ ලව් හුටපට වලටත් මාර සපෝට්! හි හි... ඔව් ඇය තමයි මගේ ජිවිතේ නුගරුක. මල් දෙන.. සිසිලස තියෙන

      මට හිතෙන්නේ ජානක දෙවෙනිපාර තදවෙලා එන්න ඇත්තේ, අපි ඇවිත් දරුවා බාරගන්න කියල කියයි කියල හිතල වෙන්නත් ඇති. උගත් මිනිස්සු නෙවෙයි.

      Delete
  6. කොටස් දෙකම බැළුවා.. ඇත්තටම දුක හිතෙන කථාවක්.. තව එකක් ඔබගේ මව උතුම් කාන්තාවක්..

    ස්තුතියි ඔබට මෙය අප හා බෙදාගත්තාට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ අම්මි අගය කලාට. පෙනුමෙන් බට්ටෙක් උනාට අපේ අම්මි අපිට පුදුම ශක්තියක්.

      Delete
  7. මේ කතාවේ චරිතය අර උතුම් අම්මයි.
    අම්ම කියල කට ඇරලා කියන්න පුළුවන් අම්මයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට.
      මම ඇයගැන ලියන්නම් වෙලාවක. මට ඉස්සර ඔෂින් බලනකොට මතක් වෙන්නෙම අම්මිව. මේ ළඟදී ආයෙත් ඔෂින් පෙන්නනකොට මට මගේ ඇස් වලින් කඳුළු නතර කරගන්න බැරි උනා අම්මි මතක් වෙලා. මම තවමත් වාසනාවන්ත දුවෙක්

      Delete
  8. කිසිත් නොකියාම
    සියල්ලම එක් මිටකට ඇරන්
    සැවොගේම සැප දුක බැලූ ඈ
    කිසිත් නොකියාම
    එක් උදෑසනක
    නික්ම ගියාය
    යළිත් නොඑන්නම...

    ReplyDelete
  9. හඬන්නත් කඳුලු හිඟ
    ගිම්හානයේ ඉම
    සුවඳ කැවු මතක සර
    බොල් වු හිත පාරවන,

    පිපෙන්නට පෙරම මියැදුන
    මියෙන්නට මොහොතකට පෙර
    සුවඳ බිඳුවක් ඉතිරි කරැ ගිය
    වසන්තය මලක් විය...

    ඒ සඳ නෙවේ වෙන්නැති
    ලා පාට සලුවකින්,
    රාත්‍රිය වසා නොවසා
    රිදී පෑ හීනයෙහි පලුදු රිදවා ගියේ....
    සඳනම් නෙවේ වෙන්නැති!

    වචන නැති කතාවක
    චරිත මේ ළඟපාත
    වචන තහනම් හිතට
    අත්තටු ලදත් කුමකට

    රබර් කොල තාම නාඹර
    අසාගන් මේ කඳුලෙහි වචන
    මගේ පුතු අපි නොදැන
    හැදෙද්දෙන් මිනිසෙකු විලස 

    ReplyDelete
    Replies
    1. ලස්සනයි.... ස්තුතියි

      Delete
  10. අර ගෙවල් හදන තැනක් තිබුණාය කිව්වා නේද කලින් කොටසේ?
    මගේ සැකය තමයි ඔය දරුවාගේ පියා එතන වැඩ කරපු වෙන්ඩ බාස් කෙනෙක් කියන එක.

    මං කාලෙකට කලින් ලියපු මේ ආසිරි-විශාකා කතාව බලන්න.
    http://kathandara.blogspot.com/2012/05/you-are-jury-love-letter-case.html

    තවත් එකක්. හොඳ වෙලාවට ඔයා ගේ තාත්තා ගෙදර නොහිටියේ. එහෙම හිටියා නම් සමහරවිට කාන්ති තාත්තාවත් අල්ලන්න ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. නැහැ කකා... මම කිව්වේ අපේ ගෙදර හදන්න බාස්ලා හිටියා කියල විතරයි.

      මට හරියටම කියන්න බැහැ කවුද කියල. අනිත එක නිරපරාදේ සැකකරන එක මම අකමැතිම දෙයක්. අනිත් එක කාන්ති නරක කෙල්ලෙක් නෙවෙයි.

      අපෝ නැහැ කකා... කාන්ති අපේ අම්මිට, අප්පච්චිට සැලකුවේ දෙවියන්ට වගේ. අප්පච්චි ගැන කවදාවත් එහෙම කියන්නේ නැහැ. වෙන මොකක් හරි දෙයක් උනේ. දන් කාලේ ඉන්න වැඩකාරියෝ වගේ නෙවෙයි කාන්ති... ඒකයි දුක

      Delete
  11. හප්පා. වෙන්න ඕනේ දේ මහ එකෙන්ම වෙලා. වෙන කතාවල් වගේ නෙවෙයි. මේ කතාව ගැන කියන්න යමක් හිතාගන්න බැරිව ගොලුවෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි.....
      මම බොහොම පොඩියි ඔය කාලේ. මම ඒ ගැන දුක් වෙනවා. ඒත් අපේ පාලනයෙන් තොර දේවල් එමටයි... මුකුත් නොකිව්වා කියල අවුලක් නැහැ. ඇත්තටම මම මේක ලිව්වේ මගේ හිතෙන් මේක බිම තියන්න ඕනෙකමට මිසක්, කවුරු, කොතන කොහොම කරපු වැරද්දක්ද හොයන්න නෙවෙයි

      Delete
  12. කාන්ති වෙනුවෙන් දුක්වෙමි!!!

    ReplyDelete
    Replies
    1. මමත්....
      ඒකෙන් පලක් නැහැ රවියෝ... මට මේක කොහේ නමුත් ලියල හිතින් බිම තියන්න ඕනේ කළා. අඩක් පිරුණු සැහැල්ලු වීදුරුවක් උනත්, එකදිගටම එක ඉරියව්වෙන් උස්සන් ඉන්නෙක මහා බරක්

      Delete
    2. අවුල කියන්නෙ දැන දැනම වීදුරුව තිබ්බෙ මගෙ අත උඩින්ද කොහෙදො.. ම්ම්හ්හ්.... බරයි.

      Delete
    3. බිමින් තියන්න , බිමින් තියන්න... ගස් ලබ්බෝ.. ඇත්තටම මෙහෙම ලියපු එක මට හරිම සැහැල්ලුවක්

      Delete
  13. මැවිලා පේනවා... දම් පාට කලු පාට චීත්ත වගේ ගවුමක් ඇඳගෙන..තෙල්ගාලා මනාව රොද බෙදලා පීරලා.. කොණ්ඩෙ බැඳගෙන.. මලක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න කාන්ති, ගේ ඇතුලෙන් එකපාරටම පොඩි එකී කෑ ගහන සද්දෙ ඇහෙනකොට කන උස්සලා අහගෙන ඉන්නවා.. නලවනව නම් නලවන්න ඇති තරම් වෙලාව දෙනවා.. කවුරුත් නැතිව දුකින් අඬන දරුවා වඩා ගන්න එයා දුවන්නෙ පිම්මෙ.ආදරෙන් තුරුල් කරගෙන පිහින්නෙ දරුවගෙ කඳුලුමද? නැත්තන් එයාගෙ තනි උනු ජීවිතයෙ ඇතුලාන්තයෙන් ඇදවැටුනු කඳුලු ද?
    බබා උපේක්ෂා පොඩි කමට දුක හිරකරන් උන්නා..
    කාන්ති..?? අසරණ කමට දුක හිර කරන් උන්නා..
    කාන්තිගෙ දිවිය ඔච්චර කල් වත් රැකුනෙ උපේක්ෂ්ගෙ අම්ම නිසා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට කාන්ති දරුවත් තුරුළු කරන් අඬපු හැටි නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඇගේ හිතේ දුකක් තියෙන්න ඇතිද නේද? පපුව ඇතුලෙන් වේදනාවක් මට අදටත් දැනෙනවා ඒ පින්තූරය හිතේ ඇදෙනකොට. එයාව සනසන්න වචනයක් කියාගන්න බැරි උන එක ගැන තිබ්බ පසුතැවිල්ල තමයි මේ පෝස්ටුව ලියවෙන්න හේතුවත්.

      හරියටම කියන්න දන්නේ නැහැ ලබ්බෝ. ඇත්තටම කාන්ති අපේ ගෙදර හිටියා නම් කීයටවත් ඈ මැරෙන්නේ නැති බව නම් විස්වාසයි. නමුත් ඒ වෙලාවේ හැටියට අපේ අම්මිට එයාව තියාගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ හිතන්නේ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...