ඒක ගෙදරක්. සුදුපාට බිත්ති ,ඕලන්ද ආරුක්කු තියෙන විසාල ගෙදරක්. මම හිටියේ පළවෙනි මහලේ ආලින්දයට පිවිසෙන දොරටුවත් එක්කම තියෙන කොරිඩෝවේ මැද්දට වෙන්න. කොරිඩෝව පේනමානයේ තියෙන ඔක්කොම ආරුක්කු බලාගෙන හිටියේ එකම පැත්තක්. ඒ පැත්ත වසාගෙන තිබ්බේ රූස්ස ගස්.
මෙතරම් වනාන්තරයක් මැද්දේ කිරිපාටට මෙහෙම මන්දිරයක් තියාගන්න පුළුවන් කියන එක මම ඒ වෙලාවේ ආයෙමත් කිරල බැලුවේ නැහැ. කොටිම්ම එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.
මම හිටියේ කැළඹීල්ලෙන්. මගේ අත්වල ඇඟිලිගැට 'ටුක් ටුක්' හඬින් මම කැඩුවත් ඒ කැළඹීල්ල අඩුවක් උනේ නැහැ. මම ඉතින් කොරිඩෝවේ දොර පැත්තට සක්මනක් පටන් ගත්ත.
'දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....'
පඩිපෙළ දිගේ ඒ සද්දේ මට හොඳට පුරුදුයි.. ඔව් ඒ උන් තමයි... තවත් හිතන්න දෙයක් නැහැ. මම කලේ ආරුක්කු ජනේල් පේලියේ මැද්දේ තියෙන ජනේලෙ පඩිය මතට මගේ දකුණු අතේ අල්ල තියලා ලොකු ගැම්මක් අරගෙන පහලට පැනපු එකයි. හුස්ම අල්ලාගෙන කලත්, 'දඩිස්' සද්දයක් මිසක් හුස්ම පහතට වැටෙන්න දඟලන හිත ඇතුලෙන් වෙන කිසිම සද්දයක් ආවේ නැහැ.