Thursday, June 12, 2014

46. නැට්ටුක්කාරී -01

මගේ පොඩිකාලේ ගෙවුනහැටි කියෝලම ඔයාලට එපා වෙලා නැද්ද?

මම ලිව්වා
පරණ ඉස්කෝලේ ගැන 
පොඩි කාලේ අය්යත් එක්ක කරපු සොඳුරු (දඟ) වැඩ 
අත්තම්මෙක්ට ඔලුවේ කැක්කුමට තෙල් බෙහෙතක් දීපු හැටි 
පහල ගෙදර නංගිට ෆිට් එකට උදව් කරපු හැටි 
පහල ගෙදර නංගිත් එක්ක බස් එකේ ගියපු හැටි 
පන්තියේ බිස්නස් කරපු හැටි 
පුස්තකාලේ පොත් බලපු හැටි 


කරන්න දෙයක් නැහැ... කිව්ව දේවල් වලට වඩා නොකිව්ව දේවල් වැඩියි.. එක්කෝ මේක නතර කරලා, වෙන බ්ලොග් එකක් හොයාගන්නවා හොඳයි! මොකද මම ලියන්නේ මට මේවා මතක් වෙන පිළිවෙලට.



වැඩේ කියන්නේ ගොඩක් දේවල් මතක් වෙන්නේ එක පෙලට, එක වැලට ! සමහර වෙලාවට මතක් වෙන එක නතරකරගන්න බැරිම උනහම මම හිතට ගන්නවා එක්කෝ මේවා බ්ලොග් එකේ ලියල කීප දෙනෙක්ගෙන් පද අහගෙන, ගුටියක් දෙකක් හොම්බට ඇනගෙන ඉවරයක් කරලා දානවා කියල. පස්සේ මතක් වෙනවා අපේ කොම්පැණියේ , මගේ කියුබිකල් එකේ ඉඳන් මම සිංහල කොටනකොට මට සිද්දවෙන ජරමර... ඊට පස්සේ ගොඩක් වෙලාවට වෙන්නේ වැඩේ අල්ලලා දාන එකයි.. කොලේක හරි ලියන්න හිතාගෙන තමයි ගෙදර යන්නෙත්.. කොහෙද.. මහා රෑ ජාමේ වෙනකල් හිටියත් 'මී ' ටයිම් එකක් හොයාගන්න අමාරුයි.. අන්තිමට මට කටත් ඇරගෙන නින්ද ගිහිං .. ආයෙත් උදේට සුපුරුදු රුටිං එකට වැඩ.. කොහොම හිටිය මමද? හ්ම්ම්..?

කොහොමද හිටියේ කියල ඉතින් කියන්න එපෑ .. නැතුව කොහොමද දන්නේ නේද?


මම අද ලියන්නේ මගේ නැට්ටුක්කාරකම ගැන

'කිසිවක් 
එකලෙසට 
කරගත නොහැකි 
පුදුමාකාර - නැට්ටුක්කාරකමක් 
මට 
ඇත '

මේ කවිය දැකල තියෙනවද?

මම හිතන්නේ දැකල ඇති කියල හිතෙන්නත් බැහැ .. මොකද (මම ඒ කාලේ සඳැස්  විතරක් නෙවෙයි නිසඳැස් කවිත් ලියනකොට), දවසක් මම ක්‍රීඩා කර කර ඉන්න අතරතුරේ වතුර බොන්න ආපු වෙලාවක මගේ පාසැල් ලියන පොතක පිටිපස්සේ මම ලියපු කවියක් හින්ද..

ඒ කවිය බොරුවක්!

මොකද මට එකලෙසට කරන්න බැහැ කියපු හින්දයි.. මට එකලෙසට කරන්න තමයි හැමවෙලේම බලන්නේ, ඒත් අන්තිමට දෙතුන් ලෙසකට කරලා තමයි පස්ස බලලා තියෙන්නෙත්. මම එහෙම කියන්නේ මොකද දන්නවද?

මම කලිනුත් කියල ඇති මහේ පරණ ඉස්කෝලයක් ගැන, මම ස්කොලෂිප් එක ලිව්වේ ඒ ඉස්කෝලේ ඉඳල. මට මතකයි අපිව 4 වසරේදීද කොහෙද සෞන්දර්ය විෂයන් තෝරාගන්න කියල කිව්වම මම එකපාරටම තෝරාගත්තේ ඩාන්සින් (නැටුම්)! ඊට පස්සේ දවසේ ඉඳල, ඒ පීරියඩ් එක එනකොට නැටුම්, සංගීතය කරන අය ඒ ඒ කාමර වලට යද්දී, චිත්‍ර කරන ළමයි පංතියේ නතර වෙනවා.

පොඩිම පොඩි කාලේ ඉඳල මම චිත්‍ර පිස්සෙක් කිව්වොත් වැරද්දක් නැති තරමට චිත්‍ර ඇඳපු , විඳපු කෙනෙක්. චිත්‍ර වල පුරාණේ මම මෙතන කියන්න ගියොත් නැටුම කියන්න වෙන්නේ නැහැ. වෙනම ලියන්නම් අප්පා තරහ අවසර!

මට කියන්න ඕනේ කලේ, මට මේ චිත්‍ර, නැටුම් දෙකම එක වගේ ඉන්ටරෙස්ට් කියල විතරයි. ෆිෆ්ටි-ෆිෆ්ටි වගේ.

ඔන්න මම එක සාමාන්‍ය දවසක සුපුරුදු විදියට සෞන්දර්ය පීරියඩ් එකේ නැටුම් වලට යන්න ලෑස්ති වෙලා එළියට එනකොටම පංතිය ඇතුලට චිත්‍ර උගන්නන සර් ආවා.. එනකොටම ළමයි එයාල ගෙනාපු බඩු බෑග් වලින් අරගන්නවා මට පෙනුනේ . පංතියෙන් එලියට යන මගේ ඇස් තිබ්බේ ඇතුලේ, චිත්‍ර සර් චෝක් වලින් මොනවා හරි අදින්න කියල දෙන්නයි හදන්නේ..

ඔන්න මගේ ඇතුලෙන් මට මොනවා හරි උනා! ප්‍රෙඩික්ටබල් නැති මම!!!

නැටුම් පන්තියේ එදා ගුරුතුමී ඇවිල්ලත් නැහැ කියල, මට ඈතදීම පෙනුන. මම කලේ මොකද දන්නවද? හරියට හරි... හැරුනා.. පංතියට ගියා.. ගිහිං චිත්‍ර කරන මගේ අල්ලපු ඩෙස්ක් එකේ කෙල්ල ගාව වාඩිවුණා.. මම පංතියේ මොනිටර් හින්ද, කෙල්ලෝ මට බයයි.. හි.. හි. හි... ළඟ වාඩිවුන මම කලේ කෙල්ලගෙන චෝක් ඉල්ලපු එක... කෙල්ල දුන්න. ඒ මදිවට මම කොහොමත් චිත්‍ර නට් කෙනෙක් හින්ද, මගේ බෑග් එකේ නිතර චිත්‍ර පොතක් තියෙනවා, මම සද්ද නැතුව ඒකත් ගත්ත. දැන් ඔයාලට ගැටළුවක් ඇති සර් මේ විගඩන් බලන් හිටියද කියල.. පිස්සුද? සර් සර්ගේ පාඩුවේ... පාඩම පටන් ගත්ත... මට හරියට මතක නැහැ මොනවද එදා කියල දුන්නේ , මම කලේ කියල ඒ වෙලාවේ. මට මතක, කිසි අවුලක් නැතුව මම චිත්‍ර පන්තියේ සොඳුරු වෙලාවක් ගතකලා කියල විතරයි.

පුදුමයි නේ? ඔව් දැන් හිතනකොට පුදුමයි... ඔයිට  වඩා පුදුම වැඩ මම ඒ ඉස්කෝලෙදි කරලා තියෙනවා.... මතකනේ මගේ අර ස්කොල් එකෙන් පස්සෙත් මේ ඉස්කෝලෙට ආපු ගමන? හි.. හි...

දැන් මම මේක මගේ පාඩුවේ කරනවා, මේක කිව්වේ මට හිතෙනකොට නැටුම් වලට යන එකයි, හිතුනොත් චිත්‍ර පාඩමට පන්තියේ ඉන්න එකයි.. ටික දවසක් ගියහම මේක දිගට කරගෙන යන්න බැරි උනා... නෑ ... නෑ .. ඔයාල හිතන හේතුව හින්ද නෙවෙයි.. උනේ මේකයි... නැටුම් පන්තියේ ගුරුතුමිගේ බෙරේ ඉඳල, කවි කිවිල්ලයි, ඔය එක එක පොඩි නැටුම් පුරුදුවිල්ලයි ඇතුළු සියලු දේ කරන්න හිටියේ මමත්, තව එක කෙල්ලෙකුත් තමයි. මට හොඳට නටන්නත් පුළුවන් හින්ද ගුරුතුමී හොයන්නෙත් මම.
'කෝ ....' කියල මාව අහනවා ගුරුතුමී ( මාව ඉස්සර ඒ ඉස්කෝලෙදි දන්නේ මගේ සර් නේම් එකෙන්)
'චිත්‍ර පන්තියේ' කවුරුහරි කියනවා
'එක්කගෙන එන්න'

ඔන්න පණිවිඩ කාරයෙක් එනවා මාව එක්කන් යන්න... චිත්‍ර පන්තිය නතර කරලා මට යන්න වෙනවා. ඔහොම දෙතුන් පාරක් උනහම මමම වැඩේ අල්ලලා දැම්ම.. නැටුම් පන්තියට තමයි බින්න බැස්සේ. පුදුමේ කියන්නේ ඒ ගුරුවරු කිසි කෙනෙක් මට කිසි දෙයක් කියල නැහැ... දැන් කාලේ උනා  නම් , මම හිතන්නේ මාව විනය කමිටුවට දාල, පුළුවන් නම් තව වෙන මොනවා හරි චෝදනාවකුත් දාල.. ඉස්කොලෙනුත් අස් කරලා... මිඩියා වලටත් කියල, උත්ඝෝෂනයකුත් අපේ අම්මලට කරන්න වෙනවා. මටත් පුදුමයි... කොහොමින් කොහොම හරි ඔන්න ඔහොමයි විෂයක් විදියට මගේ නැට්ටුක්කරකම පටන් ගත්තේ..

මේ අතරේ මම දහම් පාසල් යනවා. ඒකෙත් පෙරහැරට නටනවා අනිවා! ඔය දහම්පාසලේ නැටුම් වලට යන අතරේ වෙච්ච සිද්දියකුත් මම ලියල ඇති. පෙරහැර කාලෙට පිස්සුවෙන් වගේ යන්නේ... හි... හි.. අපේ අක්කත් ඒ දවස්වල නටනවා.. හි.. හි.. නෑ .. නෑ ... උඩරට නැටුම්!
පෙරහරට විතරක් නෙවෙයි, දහම් පාසලෙන් සමහර තැන්වලට ඩොනේෂන් වගේ දේවල් කරනවා. මට මතකයි එක දවසක් අපි වැඩිහිටි නිවාසෙකට එහෙම ගියපු දවසක අපි පොඩි ළමයි පොඩි නැටුම් කීපයක් කළා එයාලව එන්ටටේන් කරන්න.. ඔක්කොම නැටුම මතකයි.. ගියේ කොහෙද කියල මතක නැහැ.. හි හි..

ඔන්න මේ කාලේ තමයි අපේ අක්කගේත් නැටිල්ල වැඩි උනේ... හි.. හි.. එහෙම නෙවෙයි, ඒ කියන්නේ අපේ අක්ක එයාගේ නැටුම් හැකියාව වර්ධනේ කරගන්න ප්‍රොජෙක්ට් එකට බැස්සේ. නැටුම කියන්නේ ගර්ලිෂ් වැඩක් හින්ද වෙන්න ඇති.. හි.. හි.. එයාගේ ඉස්කෝලේ නැටුම් ගුරුතුමී වෙනම ඉස්කෝලේ ක්ලාස් කරනවා නැටුම්, අක්ක ඕකට ජොයින් උනා. මම හිතන්නේ මෙයාව තනියෙන් යවන්න බැරි හින්ද මාවත් ඔය ක්ලාස් එකට කිසිම ඉල්ලීමක් නැතුවම දැම්ම. මට දැන් හිතෙනවා ඒ ගුරුතුමීට පුදුම පවර්ස් තියෙන්න ඇති කියල, ඉස්කෝලේ ඇතුලෙම ප්‍රයිවෙට් ක්ලාස් කරන්න... ඇත්තටම එහෙම පවර්ස් තිබ්බ තමයි, මට මතකයි එයාට ඕනේ විදියට තමයි ඉස්කෝලේ සියලු කොන්සට්, ඩාන්සින් ඉවෙන්ට්ස් එහෙම තිබ්බේ. එයාව ෂේප් නැත්තම්, ඉස්කෝලේ වසලත් හමාරයි.. අපේ අක්ක ගියේ මම ගිය ඉස්කෝලෙට නොවෙන හින්ද, අක්කගේ නැටුම් ක්ලාස් මම ගියේ සැහැල්ලුවෙන්. එතන පවර්ෆුල් ය තමයි පාසල් නැටුම් කණ්ඩායමේ කට්ටිය. ඔහොම යනකොට අක්කත් ඒ ගොන්නට වැටුන. මගේ වයස මේ වෙනකොට 7ක් විතර ඇති.
"සු..ලෝ....., ඔයාගේ නංගිවත් අ.....පේ ඉස්කෝලෙට දාන්නකෝ"

ඕක නිතරම අර ගුරුතුමී කිව්වේ හරිම සුකොමල විදියට. මට නම් ඇහුනේ හරියට අපේ පොලිසියෙන් රිමාන්ඩ් එකේ ඉන්න උන්ට සැඟවුණු ආයුද පෙන්නන්න එක්කගෙන යන්න කතා කරනවා වගේ භයානක අදහසක් වගේ. මොකද කියල අහන්නේ? අක්කත් එක්ක එකම ඉස්කෝලේ ඉන්න එක තරම් භයානක වැඩක් තවත් තියේද? මම මගේ පාඩුවේ ඉස්කෝලේ බල්ටියක් දෙකක් ගහගෙන, මීයෙක් වගේ ගෙදර එන කෙල්ල... මට මතකයි එතකොට මම බාගෙට කට ඇරගෙන , කම්මුල් දෙක  පාත් කරගෙන බලන් උන්නු හැටි..

මොනවා උනත්  ගුරුතුමිගේ ක්ලාස් එකට මම ගියේ හරි සන්තෝසෙන්. ඒ වගේම අක්කත් ඉතින් ඉස්කෝලේ ඩාන්සින් ටීම් එකටත් ඇතුලත් උනා. මේ ක්ලාස් එකේ උඩරට විතරක් නෙවෙයි පහතරට, සබරගමු වගේම භාරතත් ඉගැන්නුවා.. ඇත්තටම ටීචර් ඒවගේම ටැලන්ටඩ්!  මට අද වගේ මතකයි පැන්චෝ වගේ හිටපු අපි සෙට් එක දවසක් එක පෙලට හිටෝල  භරත කියල දෙන්න වෙන්න ඇති ඇස් කරකවන්න ඉගැන්නුවා... ඔළුවත් දෙපැත්තට වනන්න පුළුවන් මට කිසි ආයාසයක් නැතුවම... පොඩි දරුවෙක් විදියට මට එදා හරි සතුටක් දැනුන... දන්නේ නැහැ හරියටම මොකද්ද කියල.

ඔය අතරේ මම අලුත් ඉස්කොලේකටත් ගියා. පරණ ඩාන්සින් ටිචර්ලත් එක්ක ඇයි හොදැයිය බිඳිලා ගියා.. ඒ කියන්නේ අර පොඩි ඉස්කෝලෙන් කොන්වන්ට් එකට ආවට පස්සේ මගේ පරණ පුරුදු ඉබි ගතියට හිටිය මිසක්, ඉස්කෝලේ ඩාන්සින් ටිචර්ලත් එක්ක වැඩි බජනයක් මගේ ඇති උනේ නැහැ.. පාඩුවේ ටියුෂන් ක්ලාස් එකේදී ඇති වෙනකල් නැටුවා!

අළුත් ඉස්කෝලේ ඩාන්සින් ටීචර්, වෙනස්.. ඉස්කෝලේ ලොකු හින්දද, නැත්තම් එයාගේ පවර් එක වැඩි හින්දද කියල දන්නේ නැහැ. එයා හිතුනොත් තමයි උගන්නන්නේ.. ඒකත් හරියට අපි කරදරකාරයෝ වගේ.. මේ ඉස්කෝලෙට එන්නේ ස්කොලෂිප් එකෙන් හින්ද, සමහර ළමයි පොත් ගුල්ලෝ. උන්ට එහෙම කියන එක වැරදි එක අතකට.. මොකද පොඩ්ඩක්වත් රිදම් එකක් නැති, මෙලෝම කලාකාමී ගතියක් නැති වෙන එක උන්ගේ වරදක් නෙවෙයි නේ... නැත්තම් ලංකාවේ දේශපාලකයෝ වගේ උන් කොහොම හැදෙන්නද නේද? මට තේරුණ විදියට, යන්තම් අඩිය පොලවේ ගහගන්න පුළුවන් නම් උන් පනිනවා ඩාන්සින් වලට... අහගෙන ඉන්න අමාරු උනත් පොඩ්ඩක් හරි බීට් එකක් තලා  ගන්න පුළුවන් නම් මියුසික් කරන්න යනවා. හොදට මියුසික් පුළුවන් උන් තමයි ඉතින් වෙස්ටන් මියුසික් කලේ. මට නම් තාලෙට මොරදෙන්න පුළුවන්... කටහඬ නම්, අර ඉස්සර සිරස සුපර්ස්ටාර් එකේ පලවෙනි වටයට එන උන් වගේ තමයි.. හි.. හි... චිත්‍ර වලට එන්නේ ඒ මෙලෝ දෙයක් කරගන්න බැරි, ඒ මදිවට චිත්‍රත් අඳින්න බැරි උන්!! පව් දෙය්යනේ අර ගුරුවරු!!! අපේ ඩාන්සින් ටීචර්, අපේ ග්‍රේඩ් එකට නම් ඉගැන්නුවේ නැත්තේම ඩාන්සින් වෙන්න ඇති, මොන එකක්ද මන්ද නෝට්ස් ටික නම් එවනවා සමහර දවස් වලට පංතියට , නැත්තම් ඉඳල හිටලා කවියක් දෙකක් කියල, අපිටත් මොනවා හරි කියල බැනල යනවා. මට හෙන හිතට අමාරුයි මේ වැඩේට.. මොකද මම හරි ආසයි ඩාන්සින්!

අපිට මෙහෙම සැලකුවට මේ ටීචර් ඉස්කෝලේ ඩාන්සින් කම්පටිෂන් වලට එහෙම කට්ටිය හොදට ට්‍රේන් කරවනවා. ඒ හින්ද හොඳ නමක් තිබ්බ එයාට. ඊට අමතරව තව ඩාන්සින් ටීචර් එකෙනෙකුත් හිටිය. එයාගේ ඇස් වපරයි. නම 'හිල්ඩා' කියමුකෝ.. එයත් ඉඳල හිටලා අපිට උගන්නනවා.. එත් වෙනසක් නැහැ. කුඩම්මාගේ සැලකිල්ල තමයි තිබ්බේ. මට අදටත් හිතාගන්න බහ ඇයි කියල. මගෙත් එක්ක තව අපේ ග්‍රේඩ් එකේ ළමයි 3 දෙනෙක් හිටිය, හොඳට ඩාන්සින් පුළුවන්. මටත් වඩා එයාල ක්ලාස් වල එක එක තරඟ වලට එහෙම ගිහින් දිනලත් තියෙනවා. මම දැන් ඉන්නේ 7 වසරේ.. ඔහොම කාලය ගතවුණා.

ඔන්න අපේ ස්පෝර්ට්ස් මීට් පටන් ගත්ත. 

පලවෙනි ස්පෝර්ට්ස් මීට් එකේ මම ගෘප් ඉවෙන්ට් එකකට හිටියේ. විල්බරෝ ගෙනියන එකේ මම තමයි විල්බරෝව! අපි ෆස්ට් උනා! කොහොමත් ඉතින් ස්පොර්ට්ස් මීට් කියන්නේ මගේ සැණකෙළි කාලේ.. 

දෙවෙනි ස්පෝර්ට්ස් මීට්  එකේ, මට මතකයි ඩ්‍රිල් එක හැදුවේ අපේ ඩාන්සින් ටීචර්ලා, අර වපර ටීචර්. මට මතකයි ඒ දවස්වල ඩාන්සින් රූම් එක පැත්තේ කාටවත් එන්න දෙන්නේ නැහැ.. අක්කල කීපදෙනෙක් එක්ක මෙයා එකසිය ගානට ඒක හැදුව.. උනන්දුව වැඩිකමට, මම ඒ පාර ඩ්‍රිල් එකට ගියා.. ඒක බැලට් ටයිප් එකක්... අම්මෝ! මගේ ජිවිතේ මම ආසම ඩ්‍රිල් එක.. ඒ වගේම මම හිතන්නේ අපේ ඉස්කෝල ඉතිහාසේ පලවෙනි ලස්සනම, වෙනස්ම ඩ්‍රිල් එක.. 

ඔය ඩ්‍රිල් එක හැදුවේ හිල්ඩා ටිචරුයි, අපේ ඉස්කෝලේ හිටපු ප්‍රභල චරිතයක් තිබ්බ අක්කල කීපදෙනෙකුයි. ඒ අක්කල ඔක්කොම වෙන හවුසස් වල ( නිවාස කියන්නේ) ඔන්න ඩ්‍රිල් එක කියල දෙන්න එයාල එක එක හවුස් වලට යනවා. ඉතින් ඒ කරන විදිය බලාගෙන අපේ අක්කල අපිටත් ප්‍රැක්ටිස් කරවනවා. දන්නවනේ ඉතින් ස්පෝර්ට්ස් මීට් වල සීතල යුද්ද.. ඔහොම ඔහොම තරඟය උණුසුම් වෙනවා.. මමත් බොහොම උනන්දුවෙන්, පන කඩාගෙන, පට්ට අව්වේ වේලි වේලි ඩ්‍රිල් එකේ බැහැගෙන වැඩ!




දැන් මේක මහා පතරන්ගයක් වෙලා නේ...

අනිත් ටික වෙන දවසක ලියන්නද? කම්මැලි නේ?

9 comments:

  1. ආ...... හරි.... හරි......
    නොලිව්වොත් ඉතින් මලිට් බැරල් තමා ඉන්න දිහාකට එවන්න වෙන්නේ........

    ReplyDelete
    Replies
    1. එවන දෙයක් හොඳට ඔතල එවන්න. නැත්තම් මේ දවස් වල කුඩු අහුවෙන තරමට ඕකත් අන්තිමට කුඩක් වෙලා තමයි ලැබෙන්නේ.. හි.. හි... මග එනවා.. හෝව්!

      Delete
  2. මෙහෙම හරියන්නේ නෑ.
    දැන් ඔය නටපු නැටුම් ඔක්කොම ඉවරද?
    දැන් ශාන්ත දාන්ත තීන්ත කූඩුව වෙලා නම් මේ බ්ලොග් ලියලත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. නැත නැත.... හොඳ හොඳ නැටුම් ඉදිරියට!
      ශාන්ත? හුහ්! ලෙවෙත් නැහැ... ලොවි ගහෙත් නැහැ...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete


  4. සෞන්දර්ය විෂයයන් දෙකක් එක පාර කරන එකත් නරක නෑ.

    උපේක්ෂගේ කතාව අස්සේ හිල්ඩාගේ නම කිව්වාම මතක් වුනේ, අපි ඔය නම් මතක තියාගන්න ෂෝර්ට් කට් පාවිච්චි කරනවනේ. ඒ කියන්නේ චිත්ත රූප හෙම මවාගෙන. ඔය වගේම එක සුප්‍රසිද්ධ නැ‍ටුම් උපදේශිකාවක්ගේ නම එකෙක් මතක තියාගෙන ඉඳලා තියෙන්නෙත් ඔහොම ෂෝට් කට් එකකින්. පස්සේ එයාගේ නැ‍ටුමක් බලලා මූ කියනවලු.
    "යකෝ ෆැන්ටා නැ‍ටුවා නැටිල්ලක්..."
    "කවුද යකෝ ෆැන්ටා?"
    "සොරි මිරින්ඩා. අහ් ආ.. මි‍රැන්ඩා හේමලතා..."

    (මිරින්ඩා කියන ඩ්‍රින්ක් එක තාම තියෙනවද උපේක්ෂා?)

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි... මට ඒ අවස්ථාව ආයෙත් ලැබුනේ නැහැ. මම එහෙම සංකල්පයක් දැක්කේ පස්සේ කාලෙක පොතක 'හරි පුදුම ඉස්කෝලේ' කියල

      හි.. හි.. මරු ෂෝට්කට් එක! මටත් ඔහොම එකක් වෙලා තියෙනවා. මට දැන් ඔක්කොම විස්තරේ මතක නැහැ.

      ඔව් ඔව්... අපි වගේ පාරිභෝගිකයෝ ඉන්නකල් 'මිරින්ඩා' මාර්කට් එකෙන් අයින් කරනවා බොරු! හි.. හි...

      Delete
  5. මමත් සංගීත මිස් ඇවිත් නැති දවසක චිත්‍ර කලා. යාළුවගෙන් සුදු කොළයක් ඉල්ලගෙන පාටත් ඉල්ලගෙන. එදා තිබුණෙ බලාගෙන අඳින්න. මල්පෝච්චය, පොත් වගේ ආලෝකයත් එක්ක. චිත්‍ර මිස් ඇවිත් බලාගෙන ඉදලා පිටට තට්ටුවක් දාගෙන ගියා හිනාවක් දාගෙනම. කිසිදෙයක් කිව්වෙ නැහැ.

    ජීවිතේ ලස්සනම කාලේ රසටම උපරිමටම විඳලා තියෙන කෙනෙක් බව හිතුණා මේ කතා ආසාවෙන් කියවන ගමන්.

    ජය වේවා..! අපේ අතීතයන් මතක් කරන ගමන් දිගටම ලියන්න..!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, මේ කොමෙන්ටුව මම දැක්කේ අදයි. ස්තුතියි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...