Tuesday, June 24, 2014

52. ඔව්... ඔබ මේ සවන් දෙන්නේ.....

මගේ සුපුරුදු ජිවිතේ මේ ලඟදි වෙනස් උනා...

සිද්ධි කීපයක්ම එක පිට උන හින්ද මොකක් කලින් උනාද කියලවත් මතකයක් නැහැ. ඒ හින්ද, වෙනදට ඔෆිස් ඇවිත් කුළු හරක ඔලුව පාත් කරගෙන තණකොළ කනවා වගේ ලැප්ටොප් එකේ වැඩ පටන් ගන්න මම, දැන් මුලිම්ම මගේ බ්ලොග් එක චෙක් කරනවා. මොනවා හරි ලියන්න කියල ඇතුලේ මොකෙද්දෝ එකෙක් බඩට ඇනගෙන ඇනගෙන යනවා වගේ...

සීරියස් දෙයක් අදත් ලියන්නේ නැහැ... මම ඌට කියල වතුර එකක් බීලා ලියන්න ගන්නවා. එකම වැඩේ, මම ලියන සිංහල ඔෆිස් එකේ අනිත් උන්ට පේන එකත්, අකුරු පොතේ ලියන වේගේ ටයිපින් වේගෙට වඩා මගේ හුඟක් අඩුවීමත් හින්ද මට ලියාගෙන ලියාගෙන යන්න බැහැ මුළු පොස්ටුවම ... ඇයි හත්ඉලව්වේ බොසා මට ගෙවන්නේ මම ලියන බ්ලොග් එක පුරෝනවටද ?!

එව්වා ගියාවේ.... (වන්නාටය ! හි.. හි... )

දවසක් මම ලිව්වා නේ, මගේ ඇඩික් එකේ පොඩි පොඩි සිද්ධි ටිකක්? අදත් කියන්නේ එහෙම සිද්ධියක්..



ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ ,ඔය ඇඩික් එකේ නුවර ශාඛාවේ ක්‍රියාකාරී කණ්ඩායමට මමත් බැඳුන. ඒකට නුවර ප්‍රසිද්ධ ඉස්කෝලවල ගෑනු පිරිමි දෙපක්ෂයම සහභාගී උනා. කණ්ඩායමට 10ක් විතර සෙට් එකක් හිටියේ. හේතුව මොකද්ද මන්ද, අපේ සෙට් එකේ හිටියේ නුවර හොඳම කියල සම්මත පාසල් 4න් විතරයි. සමහර වෙලාවට කණ්ඩායම් හදන්න තීරණේ කරන්න ඇත්තේ එහෙම. මම ඒ ගැන මිට කලින් හිතල තිබ්බේ නැහැ. දැන් මොකට හිතනවද? ඔය වයසත් එක්ක කියන්න ඕනේ නැහැ නේ තියෙන ජවයයි ඒ වගේම තියෙන ජොලියයි ! ඔව් ඔය දෙකම හින්ද, අපි සෙට් එක ගොඩක් වැඩ කළා. හිනා කන වැඩ අනන්ත උනා. ඒ වගේම ජීවිතේට ලැබුණු අත්දැකීම් එමටයි.

ඔහොම කරගෙන යන වැඩසටහන් අතරේ, අපිට රේඩියෝ වැඩසටහනක් කරන්න පිනක්/පවක් පහල උනේ, අහම්බෙන් වගේ. මම කියන්නේ නැහැ දෙය්යෝ දීපු අවස්ථාවක් කියල, මොන බොරුද... අපේ කණ්ඩායම් වලට නායකත්වය දීපු අය්යාගේ මහන්සියේ ප්‍රථිපලයක් තමයි!

දැන් ඉතින් අපි එක එකා එක එක විධියට තමයි ලෑස්ති උනේ.

මම මේක කලින්ම කියන්න ඕනේ.. අපේ කණ්ඩායම ඇතුලේ ඉතා හොඳ විනයක්, පාලනයක් තිබ්බ. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් උනත් අපි අතරේ තිබ්බ හැඟීම් වෙනස් කියල මට ඒ දවස් වලම තේරුනා. ඒ කියන්නේ, කෙල්ලෝ පස්සේ යන පිස්සුවක් තිබ්බේ නැහැ කොල්ලන්ට, උන් අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා වැඩසටහනක් කරන්න අපි ඔක්කොම යනකොට. කෙල්ලොත් ලොකු සීන් තිබ්බෙත් නැහැ. තමන්ගේ සිමාවේ තමයි හැම දෙයක්ම. විහිළුවක් උනත් හානියක් නැති වෙන්න! 'බං  බොලං' කියාගෙන නොහිටියට, එහෙම ඉන්නකොට ඇත්තටම ගෑනු - පිරිමි ළමයි එකට වැඩ කරන එක හරි ඉන්ටරෙස්ටින් කියල 'මට' හිතෙන්නේ..

මම කිව්වේ රේඩියෝ වැඩසටහනක් කියල... දැන් කාලේ වගේ එක අකුරේ, අකුරු දෙකේ ඉඳල ඉර , හඳ වගේ දේවල් වල නම් වලින් පවා රේඩියෝ චැනල් ඉස්සර තිබ්බේ නැහැ නේ. ඊටත් වඩා, නුවර වගේ පළාතක එහෙම ස්ටේෂන් තිබ්බෙත් නැහැ. තිබ්බත්, දැන් යන උදේ ඉඳන් ගෙවල්වල ඉන්න කොල්ල-බල්ලාගේ ඉඳල ,  කුස්සියේ උයන අයටත් ලංකාවටම ඇහෙන්න නිදහසේ කිචි බිචි ගාන්න ඉඩක් දෙන්න බැරිව නේ හිටියේ..

එහෙම නොවෙන , සමහර වෙලාවට පන තියෙන කිසි කෙනෙක් ඒ කාලේ වත් අහන්නේ නැති චැනල් එකක් වෙන්නත් ඇති! හුහ්... කාටද ඔව්ව ඕනේ? අපිට ඕනේ කලේ රේඩියෝවෙන් කතා කරන්න විතරයි. සුපුරුදු විදියට මම...... මේක අපේ ගෙදරට කිව්වෙත් නැහැ!! හි.. හි.... ගල් ඉබ්බිනේ මම! හැබැයි මම ඇඩික් වැඩවලට යන එක ගෙදරට කියල යන්නේ....

වැඩසටහන ප්‍රචාරය කරන්න යන්නේ නුවර ටවුන් එකේම තියෙන ප්‍රාදේශීය චැනල් එකක්... ( විලිලජ්ජවයි නේද? අනේ නැහැ... අපේ ගෙදර ඕක අහන්නේ නැහැ කියල මට ෂුවර්... ඉතින් මොකට ලජ්ජා වෙනවද?) දැන් අපි මාතෘකාවක් අරගෙන ඕකට ලෑස්ති උනා. එක එකා එක එක කොටස් වලට... ඔක්කොටම හොඳට කතා කරන්න පුළුවන්. අපේ සෙට් එක ගැන කිව්වොත් ඔතන එක එක ටැලන්ට් තිබ්බ අය හිටිය.
ඔතනින් 'ජෝන්' කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කෙනා ගැන විතරක් වැඩිපුර කියන්නම්. ඌට ජෝන් කියන්නේ උගේ මුණ 'John Player Gold Leaf' සිගරට් පැකට් එකේ ඉන්න නැවියා වගේ. ඊටත් වඩා, එකපාරක් ඩ්‍රාමා එකකට රැවුලකුත් දාල

'අපි නිදහස්... පව් ජෝන් තාමත් සිගරට් බොනවා'

කියන තීම් එකෙන් රඟපෑමක් කළා. ඉතින් මේ නම එකෙන් පර්මනන්ට් උනා. ජෝන් හෙන පිස්සු පොරක්... ඕනෙම තැනක ඕනෙම කොමඩියක් කරන්න ගටක් තියෙන කොල්ලෙක්. හැබැයි සැබෑ ජීවිතේදී සීරියස් කෙනෙක්. ඉගෙනගන්නත් දක්ෂයි. වැඩක් දුන්නොත් ආය හොයන්න පස්සෙන් දුවන්න ඕනේ නැහැ.. කියපු විදිය හරිනම්, වැඩේ කෙරිලා ඇති තිතට!



ඔන්න දැන් වැඩසටහන යන්න නියමිත දවසේ ලියාගත්ත කොළ මිටි, තව එක එක මුලාශ්‍ර අරගෙන එක පෙලට ස්ටේෂන් එකට ගියා. නෑ ... නෑ ... කොච්චි ස්ටේෂන් නෙවෙයි.. රේඩියෝ ස්ටේෂන් එකට! එතන හෙන සම්ප්‍රදායික මෙව්වා මොකද්ද එකේ හොඳම එක... හෙන පරණ අංකල්ලා ටිකකුයි, වැනි වැනි විසිවෙන ඇන්ටිලා ටිකකුයි තමයි හිටියේ.. අහන්නත් දෙයක්ද... මුන් ප්‍රචාරය කරන එව්වා අහල වෙන්න ඇති ඒ කාලේ ගොවියෝ වස බොන්න ඇත්තේ... මොකද මේ සේවයේ වැඩිපුර යන්නේ ගොවියන්ට ඕනේ වැඩසටහන්... හෑ ????

ඒයි... හිනාවෙන්නේ නැහැ හරිද? මොකේ හරි රේඩියෝවෙනේ.. එහෙමවත් එකක කතා කරලා නැති උන් කොතරම් ඉන්නවද හා? ඒක තමයි... කට වහප්!

දැන් වැඩසටහනට සම්බන්ධීකරණය වගේ මොකද්ද එක කරපු ( මම දන්නේ නැහැ... මට අදාලත් නැහැ.. මට ඕනේ කතා කරන්න... බිරෝ අහන රේඩියෝවේ උනත් මොකෝ... ) අන්කලේ වගේ කොල්ල ඇවිත් අපිට ඔන්න විස්තර කරන දෙනවා...

අරක ප්‍රෙස් කරලා කතා කරන්න, අරක ප්‍රෙස් කරලා කතා කරන එක නතර කරන්න, මෙන්න මෙතනට කතා කරන්න... මෙව්වා අල්ලන්න එපා... ඔන්න රූල්ස්...
අපි ටික කැළෑ වැද්දෝ වගේ පේන්න ඇති... කොහොමත් මේ වගේ තැනක් ජීවිතේට දැකල නැති මට ඒ ටික කියල තිබ්බේ නැත්තම්, ඇත්තටම මම ඕවගෙන් එකක් දෙකක්වත් ටෙස්ට් කරන්න ඔබල බලනවා.. ඒ මගේ හැටි! ආයෙත් කවද ලැබෙන චාන්ස් ද?

ඒත් එක්කම වැඩසටහන අතරේ ප්‍රචාරය කරන්න යන සින්දු ටික අපිට තෝරන්න දුන්න. ඒ කාලේ ඉරාජ් හිටියෙත් නැහැ, කිසිම තරුවක් පායලා තිබ්බෙත් නැහැ නේ... ( වෙලාවට!) අපේ මුඩ් එකත් ක්ලැසික් හින්ද අපි තේරුවේ අමරදේවගේ, වික්ටර්ගේ, සුනිල් එදිරිසිංහ ගේ සින්දු. කොහොමත් මම ඕල්ඩ් හිට් ෆෑන් කෙනෙක්. ඊටත් වඩා, මේ ලපයි සිපයි ස්ටේෂන් එකේ ගිහින් සුනිල් පෙරේරාගේ සින්දු ඉල්ලලා, මුස්ලිම් මගුල් ගෙදර පෝක් ඉල්ලුව වගේ තියෙයි!

ඔන්න අපි සෙට් එක , බටර් කේක් ගෙඩිය වටේ තියපු කුඹියෝ ටිකක් වගේ ඉන්දවල, අපේ කණ්ඩායම මෙහෙයවපු අය්යා පුටුවක් එක්ක පැත්තකින් අලෝල අර අංකල් -කොල්ල දැන් අපිත් එක්කම ඉන්නවා. අපිටත් සුවර් මුට අපිව ෂුවර් නැහැ කියල...

ඔන්න වැඩසටහන පටන් ගත්ත.. මෙතෙක් වෙලා තෝරන් බලබල හිටපු මට දැන්, වැඩසටහන කරනවට වැඩ කික් මේක ඇතුලේ වෙන දේවල් බලන් ඉන්න එක. අපේ සෙට් එකේ කෙල්ලෙක් මගේ අත කෙනිත්තුවේ මම මාළු ගිලින කනකොකෙක් වගේ උඩ බලන් සිරි නරඹනවා අන්කල් කොල්ල දැකපු හින්ද.... මම ඉක්මනට කොලේ බලාගෙන වැදගත් පෙනුමක් ආවේස කරගත්ත.

අර අන්කල්-කොල්ල හරියට දැන් වාදනය හසුරවන එකා වගේ...


'වන් .... ටූ ..... ත්‍රි...'

ඔහොම කියනකොට අපේ සෙට් එකේ වැදගත්ම පෙනුමක් තියෙන එකා, ඔන්න වැඩසටහනට ආරම්භයක් දුන්න... ආරම්භය කොතරම් ලස්සනට දුන්නද කියනවා නම්... අන්කල්-කොල්ලා පුදුමෙන් වගේ බලන් ඉඳල ටික වෙලාවකින් පස්සේ තමයි ඉහලට ගත්ත හුස්ම පහලට දැම්මේ. ඇත්තටම කතාවෙහි දක්ෂ අපේ කණ්ඩායමේ පොර,  අපි කියමු 'නලින්' කියල.. මේ කරපු වැඩෙන් අපි හැමෝටම හරි පහසුවක් දැනුන. අන්කල්-කොල්ලත් මම හිතන්නේ අපිට වඩා පහසුවෙන් ඉන්න ඇති. වලං කඩේකට ගත්ත ගොන්නු ටික වගේ කියල හිතාගෙන හිටියට... අපි එතරම්ම නරක නැහැ කියල තේරෙන්න ඇති....

ඔන්න දැන් වැඩසටහන එකසිය ගානට නැගල යනවා. එක එක්කෙනා තම තමන්ගේ ටර්න් වලදී සාර්ථකව කතා කළා, අදහස් කිව්වා... දැන් මේක ජොලියෙන් යනවා කිසි අව්ලක් නැහැ.. ඔය අතරේ සින්දුත් ප්‍රචාරය කරනවා. වැඩසටහන කොතරම් ස්මුත් විදියට ගියාද කියනවා නම්, සින්දුව පටන් ගන්නකොට වගේම, ඉවරවෙනකොටත් සින්දුව ගැන අපි කවුරුහරි ඉදිරිපත් වෙලා පොඩි දෙයක් කියනවා. මෙව්වා දැන් කාලේ සාමාන්‍යයි වගේ තේරුනාට මැජික් වගේ මගේ ඉස්කෝලේ කාලේ නම්. එතකොට සිරස වත් ඇවිත් නැහැ...

දැන් වැඩසටහනේ අන්තිම කොටසේ, සින්දුවක් දැම්ම... වික්ටර් ගේ... ඔන්න සින්දුව යනවා..

" අපි ඈතින් ඈතට පා නගලා ..
ඝන වනන්තරේ...
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ...."

මේක ජෝන් ගේ ආසම සින්දුවක්... ඌ කිව්වා ඌට ඕනේ කියල සින්දුව අන්තිමට කතා කරලා, වැඩසටහන ඉවර කරන්න. හිතන්න දෙයක් නැහැ... මේ වෙනකොට අන්කල්-කොල්ලගේ හිතත් ජෝන් දිනාගෙන හිටියේ ඔහුගේ ස්වභාවය හින්දම.. අන්කල්-කොල්ලත් අපේ කණ්ඩායමේ අය්යත් එක්ක ළඟම පුටුවක දිගෑදිලා කකුල් හොල්ල හොල්ල ජොලියෙන්...

සින්දුව හෙමින් ඉවර උනා...
ජෝන් තමන්ගේ වාරෙට මයික් එකට ලං වෙලා..
"...ඔව්... ඔබව ඝන වනාන්තරේට කැඳවාගෙන ගොස් අතරමං කලේ..  වික්ටර් රත්නායකයන්..."

"........................................"
"හු... හුප්...."


ඔච්චරයි උනේ....


අර අන්තිමට ආපු සද්දේ.... මට විස්වාසයි එහෙම සද්දයක් ආව කියල. හොඳටම විස්වාසයි ඒක අපේ සෙට් එකේ කිසිම කෙනෙක්ගෙන් නොවෙන බව, අනිවා.... අර අන්කල්-කොල්ල එයා හිටපු තැන ඉඳල දුන්නක් වගේ පැනල ජෝන් ගේ මයික් එකේ ඕෆ් බට්න් එක ඔබන්න ට්‍රයි කරනකොට ආපු සද්දයක් මිසක්... අපි එකෙක්ගෙන් වත් කිසිම සද්දයක් පිටවුනේ නැහැ... මොකද අපි සෙට් එකම පිට්ටු හිරවෙච්ච පුසෝ ටික වගේ භීත වෙලා හිටියේ....

44 comments:

  1. //මොනවා හරි ලියන්න කියල ඇතුලේ මොකෙද්දෝ එකෙක් බඩට ඇනගෙන ඇනගෙන යනවා වගේ...// සුභ පැතුම්!!!
    යකෝ ඔෆිස් එකේ එවුන් හිතයි මට පිස්සු කියලා හිනාව නවත්තගන්න බෑ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆීස් එකේ එවුන් හිතන්නෙත් මට පිස්සු කියල

      Delete
    2. බොලන්ලගේ ඔෆිස් වල උන් හිතුවට මොකෝ,, උබලා දෙන්නටම පිස්සු තමා. ආය එකේ හිතන්න දෙයක් නෑ..

      Delete
    3. අපේ ඔපිස් එකේ උනුත් අනිවා එහෙමම හිතන්න ඇති

      Delete
    4. පිස්සන් අතර මම????

      මෙයින් පෙනී යන කාරණා කීපයක් ඇත
      1. මුන් ඔක්කොම ඔෆිස් වල වැඩ නොකරති (මමත් ඇතුළුව)
      2. පිස්සෝ ලියන එව්වා බලන්නට පිස්සෝ මිස වෙන කිසිවෙක් නොපැමිණෙති
      3. කම්පියුටර් දිහා බලාගෙන හිනාවෙන උන් ගැන, විමසිල්ලෙන් සිටින කම්පියුටර් නැති උන් පිරිසක්ද සිටිති (මම උන් අදුනන්නේ නැත)

      මේ කාරණා හැර, වෙනත් කාරණා තිබේද?

      Delete
    5. මං මේ බොහොම ආඩම්බරෙන් කියන්නෙ. අපේ ඔෆිස් එකේ තනියම හිනා වෙන සහ තනියම මොනිටරේට හිනාවෙන කියන ටයිටල් දෙකම මගෙ!!

      උපේක්ෂ ලියන විදිය හරිම සැහැල්ලුයි.. අනවශ්‍ය බරක් දාන්නෙ නෑ... ඔහේ එන විදියටම ලියනවද කොහෙද.....ඒක මගෙ ආසම විදියක්..

      Delete
    6. ස්තුති.... සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට...

      එන විදියටම තමයි අනේ.... වෙලා නැහැ ඔව්ව ප්‍රොෆෙෂනල් කරන්න!

      Delete
  2. දැං නිවේදකයෝ කියන ඒවා හැටියට වික්ටර් ගණ වන්ත්රේ අපිව අනාත කරත් අවුලක් නැහැ. කව්ද හැබෑට මේ අංකල් කොල්ලා..

    ReplyDelete
    Replies
    1. එතන වැඩකරපු කොල්ලෙක් - මට හිතුනේ එයත් අන්කල් කෙනෙක් වගේ වෙලා කියල... වටේ උන්ගේ හැටියට අනුවර්තනේ වෙලා

      Delete
  3. හොඳ විනයක් පාලනයක් ඇතුව ගෑනු පිරිමි එකට වැඩකරන්න පුලුවන් වෙන්න ඕන තමයි. එතකොට අනවශ්‍ය ප්‍රශ්න නෑ. නමුත් ගෑනු පිරිමි දෙගොල්ලන්ට එකට කරන්න පුලුවන් වැඩයි බැරි වැඩයි වෙන්කරගන්න පුලුවන්කමක් තියෙන්නත් ඕනේ. මේ වගේ රේඩියෝ වැඩසටහන්නම් ඉතින් ගෑනු පිරිමි කාටත් සම්බන්ධ වෙලා කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එක අමුත්තක් නෙවෙයි.. අපි සත්තු නෙවෙයි නේ...

      Delete
  4. මගේ ඉස්කෝලේ කාලේ නම්. එතකොට සිරස වත් ඇවිත් නැහැ////
    එ් කියන්නෙ උපේස්ස පැංසොං ගන්න කාලෙත් ළගයි නේද...:v
    හිහි
    ඇඩික් හිංද මොනවට වත් ඇඩික්ට් වුනේ නැද්ද...
    හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට මටත් ඕකම හිතුන....

      ඔයා හෙමින්ද ටයිප් කරන්නෙ. මටනම් කියෝනකොට හිතෙන්නෙ පැයට හැතැප්ම සීයක විතර වේගෙන් චටපට ගාල කටර් එක වගේ කතාව කියාගන කියාගන යනව කියල

      Delete
    2. මුද්‍රණ දෝෂයක්..

      'සිරස වැඩිය ජනප්‍රිය නැහැ..' මෙහෙම හිටියට මම මාර නාකී හොඳේ... හි.. හි...
      බස්සි: නැහැ වේගෙන් ටයිප් කරන්නේ. ඊට වඩා වේගෙන් මට හැබැයි අකුරු ලියන්න පුළුවන්. ඔව් මට සිතුවිලි එන්නේ මහා වේගෙන්... ඒක ලියන විදියේත් තියෙනවද? හරි පුදුමයි
      මම කතා කරන්නෙත් වේගෙන් තමයි

      Delete
    3. සිරාවටම ඔව්. ඔයා ලියන ඒව කියවගෙන යන්නෙත් මං පට්ට වේගෙන්, මේ ලිපි කියවද්දි මටනම් චටපට ගාලා කියවන විදියයි මැවෙන්නෙ. :D

      Delete
  5. ඔය මන් හිතන්නේ කදුරට සේවය වෙන්න ඇති

    ReplyDelete
  6. ඈ බොල.. මේ මොන ආච්චියෙක්ද.... මං අට වසරෙ ඉන්නකොටද කොහෙද සිරස ආවෙ.. ( දැං ඒක නැති උනාට මං මොනා කරන්නද... ආශ්‍රය කරන උන් හින්ද මුලින්ම නැති උනේ ඒකනෙ...) ඕක මතක උන් මුලින්ම දැම්මෙ ජයසූරියගෙ පළවෙනි වෙඩිමෙ ෆොටෝ එක හින්ද... හි හි

    අපි ඔය වගේ පිස්සු නැටුවෙ ඇක්වයිනාස් එකේදි තමා....

    ReplyDelete
  7. //අරක ප්‍රෙස් කරලා කතා කරන්න, අරක ප්‍රෙස් කරලා කතා කරන එක නතර කරන්න, මෙන්න මෙතනට කතා කරන්න... මෙව්වා අල්ලන්න එපා... ඔන්න රූල්ස්..//

    හිනා වෙලා පණ යනවා බන්. හපෝ.....! දිගටම ලියු...

    ReplyDelete
  8. හරියට "අඩවන් වූ දෑසින් කා දෙසදෝ බලා සිටින අමරදේව " කියලා කිව්වා වගේ

    ReplyDelete
  9. චිත්ත රුප මැවෙන්න ලියල තියෙන්නං.

    ReplyDelete
    Replies
    1. මැවුනද ? මම හිතුවේ මම රේඩියෝ ස්ටේෂන් එක ගැන විස්තර කිව්වා මදි කියල... ඇතුලේ වටපිටාව මට තව විස්තර ලියන්න ඕනේ කරලා තිබ්බ. වෙලා නැහැ ඔව්ව ඔක්කොම ලියන්න...

      Delete
  10. ජොන්සන් ඇන් හෙජස් නෙවෙයි බොල, බෙන්සන් ඇන්ඩ් හෙජස්. නැවියා ඉන්නේ ඒකේ නෙවෙයි. ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් වල.

    මරු අත්දැකීම නේද?

    දැන් මේ කතාව ඉවරද නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා!! මමත් බලන් හිටියේ මේ හෙන්රියා පැනල මෙතන ජොන්සන් ගෙයි, ජෝන් ගෙයි පටලැවිල්ල ලෙහනකල්! ඇත්තම කියන්න හෙන්රියෝ ලියාගෙන යනකොට වැරදුනා... හැදුවේ නැහැ... මම කලිනුත් කියල තියෙනවා නේ ... ලියපු දෙයක් ආයෙත් බලන පුරුද්දක් මගේ නැහැ කියල... දැක්කනේ දැන්
      මේ ජෝක් එක ඉවරයි...

      ඇඩික් කතා තව ඇත.. පස්සේ ලියනම්

      Delete
  11. // අපි එකෙක්ගෙන් වත් කිසිම සද්දයක් පිටවුනේ නැහැ...//

    ඔය කිවුව දේනම් ඉතින් ශුවර් කරන්නම බැහැ.. මොකෝ ඉතින් ඔය වගේ වෙලාවට එහෙම ඉන්න පුළුවන් කාටද අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. නෑ ... ඒ වෙලාවේ උනේ ජෝන් කියපු දේ අපේ කන් වලට ගිහින් ප්‍රොසෙස් වෙන්න වෙන දේවල් වලට වඩා කාලයක් ගත උන හින්ද... කන් දෙක නිකන් මගේ 'කුං ' ගෑව වගේ උනා... අපි ඔක්කොම ෆුල් ෆොක්ස් උනා... මු මේ මොන මගුලක්ද ඒ කිව්වේ කියල තක්බීර් වෙලා උන්න මිසක්..

      Delete
  12. පරණ මතකයන් හරි රසවත්....හෙන්රි කියන කතාව තමයි හරි.

    ReplyDelete
    Replies
    1. දී කිරට බළල්ලු සාක්කි ලු....

      ඕකනේ වැඩේ.. බීපු උන්ට ඕවගේ ජොලිය කොතරම්ද කියනවා නම්, බ්‍රෑන්ඩ් නේම් එක වැරදියට තියෙනවා දැක්කොත් කහඹිලියා කෑවා වගේ... හරි හරි... සේක්වා... හදන්නම්..

      හදන්න ඕනෙමද??? එහෙම හැදුවොත් මේ කොමෙන්ටු වැඩක් නැති වෙයිනෙ... නැත්තම් මට කම්මැලි එහෙම නැහැ හොඳේ... වැරදියට එහෙම හිතන්න එපා හරිද? හි... හි...

      Delete
  13. කාත්කවුරුවත් උන්නත් ඒ කිසිත් නොසළකා ඇගේ මුවට උඩින් ඒ පාත් උනේ .....සනත් නන්දසිරි,

    උඹ මාරයි...කලිනුත් කියල තියනව..ඒත් ආයම කියන්නම ඕන...:)

    ReplyDelete
    Replies
    1. රවී....ආතල් සිංදුවක්නේ බං.....කාත් කවුරුවත් ඇතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්......

      මා හැඬවු ගීතයක්. ලිව්වේ විමල් ජයශාන්ත. මියුසික් සනත් ලොක්කාම තමයි. ඉතිහාස කතාව දන්නවා ඇතිනේ උඹලා.

      එදා මෙදා තුර ...අමතක නොකරන ගීතයක්.

      Delete
    2. අහන හැම වතාවෙම ඇහැට කඳුලක් ගේන ගීතයක් උනත් රවීගෙ කමෙන්ටුව කියවලා මෙන්න බොලේ මගෙ කටින් බකස් ගාල හිනාවක් පැනපි.

      Delete
    3. අරූ,

      කතාව දන්නව බං. බොහොම සෝබර දුක්ඛ දායක කතාවක් ..:(

      Delete
    4. බස්සි,

      ඇත්ත බං, අහන අහන වාරයක් පාසා මගෙත් ඇස් තෙත් කරවන ගීතයක්. මෙහෙම කමෙන්ට් එකක් දාන එකත් හරි නැහැ කියලත් හිතුන. ආයෙම ඔන්න ඔහෙ දානව කියල හිතල දැම්ම. . සනත් ලොක්කවත් විමල් ජයශාන්තවත් මා එක්කල අමනාප වෙන්නෙ නෑ කියල මම දන්නව, එයාල දන්නව මයෙ හැටි ..:)

      Delete
    5. සිරාවට රවී... මට ඇත්ත සින්දුවේ තියෙන සෝබර ගතිය ඔක්කොම අමතක වෙලා හිනා ගියා නොවෑ !!! ඔන්න මම දන්නෑ ... මම ඔව්වට නැහැ

      ඔව් මමත් ඔය සින්දුවේ උපත් කතාව කොහෙදිදෝ කියෙව්වා මට මතකයි.. පපුවේ කටුවක් ඇනුණා එදා ඉඳන්.. ඇත්තටම මම ඔය සින්දුව ගැන දැනගෙන හිටියෙත් නැහැ එතකල්... දැන් ඒක ඇහෙනකොට පපුව කකියන්න ගන්නවා... සමහර සිංදුවල වස්තුබිජය අපිට සින්දුව විඳින්න ඇත්තටම ඕනේ වෙනවා කියල මට ඉස්තිරෙටම කියන පුළුවන්..

      Delete
  14. මේක කියෙව්වාම මට මතක් වුනේ අපේ බැචෙක් අපේ තව බැචෙක්ගෙ සීයගෙද කොහෙද මළගෙදර ගිහින් කැම්පස් එක නියෝජනය කරමින් කතාව පවත්තපු හැටි ගැන අපේ මල් පාත්තියෙ කොල්ලො රඟ පාල පෙන්නල ඌට වදේ ගැහුව හැටි.. මෙන්න මෙහෙමයි ඌ කතාව පවත්තල තියෙන්නෙ
    ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි, සංවේගප්‍රාප්තව සිටින අම්මලා තාත්තලා,ඇතුළු සියලුම වැඩිහිටියන්ගෙන්ද, මා සොහොයුරු (අර බැචාගෙ නම) ගෙන්ද සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි.... (සංවේගයෙන් හුස්මක් හෙලා!!! යළි හුස්මක් ගෙන) ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන්නෙ මනුස්ස ජීවිතේ........ බ්ලා බ්ලා බ්ලා...... අවමංගල සභාවේ සිනා....
    මං දන්නෙ නෑ මුන් මේක පොඩි වැරදීමක් අල්ලගෙන අතින් ලුණු ඇඹුල් දාල කිව්වද කියල.. හැබැයි අර කොල්ල මේක කියද්දි ඇඹරුන ඇඹරිල්ල‍ෙ හැටියට මොකක්ම හරි කොස්සක් තියෙන්ඩත් ඇති අනිවාර්යයෙන්ම...

    ReplyDelete
    Replies
    1. මට ෂුවර් , පෙට්ටිය ඇතුලේ උන්නු එකත් හිනා වෙන්න ඇති! පෙට්ටිය ඇරලා තිබ්බ නම්, පේන්න ඉඩ තිබ්බ..

      මට ඔහොම කියනකොට මතක් උනා අවමංගල සභාවල වෙන ඇබැද්දි වැල නොකැඩි .... වෙනම ලියමු නේ? එකක් කියන්නම් කට කහන හින්ද... මට මතකයි අපේ බැචෙක් සෝබර අවමංගල්‍ය උත්සවයක කතාවකින් ඔද වැඩිලා ගිහින්... දඩ බඩ ගාල නැගිටලා අප්පුඩි ගහන්න පටන් ගත්තනේ!!! වැඩේ කියන්නේ ඌට අත්වැල සපයන්න දෙතුන් දෙනෙක්ම පටන් ගත්ත... තත්පර පහෙන් විතර ඇත්තටම අපේ අප්පුඩිය පටන් ගත්ත එකා මුකුත් නොකළ ගානට අත්දෙක බැඳගත්තා...
      අන්තිමට වටපිට බැලුවම වැරැද්දට මාට්ටු උනේ පස්සේ සෙට් උන අය...

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මං ආසම, නිතර අහන වික්ටර්ගේ සින්දුවක්. දැන් ඉතින් ඒ සින්දුව ඇහෙද්දි මේ කතන්දරේ මතක් වෙලා මූඩ් වෙනස් වෙනවනේ...

      Delete
    2. රසේ මැරුණද මන්ද...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...