Saturday, June 28, 2014

54. 'වැඩකාරියන්' බලා ගැනීම

මේක මම ගොඩ දවසක ඉඳල කියන්න හිතාගෙන හිතපු දෙයක්... ඇත්තටම කාරණා දෙකක්..

එකක් මේක, අනිත් එක වෙනම ලියන්නම්. දෙකම එකට සම්බන්ධ උනාට, එකිනෙකට වෙනස් රසයන් වලින් යුක්ත හින්ද, කතා දෙකම එකට ලිව්වොත් වෙන්නේ දෙකේම රසය  නැති වෙලා යන එකයි.. හරියට පුළුන් හොරා කරෙන් දැනේ වගේ... කොහොමද මගේ උපමාව? එළටම ගැලපෙනවා කියල මම දන්නවා, අහන්න දෙයක් නැහැ... හැමෝම මගේ උපමා ගැන මිට කලින් ලවක් දෙවක් නැතුව වර්ණනා කරලා තියෙන එකේ... මේක වරදින්න විදියක් නැහැ නේ.. ඔව්.. ඒක තමයි!

ඉස්සර අපේ ගෙදර වැඩට හිටපු අය අතුරෙන්, මගේ මතකයේ හැටියට අන්තිමට හිටියේ කාන්ති කියල මගේ ප්‍රියතම තරුණියක්. ඇගේ කතාව තමයි අනික් කතාව. මේ කතාව අපේ ගෙදර ඈට පස්සේ (හුඟක් කාලෙකට පස්සේ) අපේ ගෙදරට ගෙනාපු 'වැඩකාරියන්' ගැන.. ඇත්තටම එයාල වැඩකාරියෝම තමයි! මොකද එයාල කලේම අපිට වැඩ පෙන්නපු එක. ඒ අතුරෙන් මිට අවුරුද්දකට කලින් ගෙනාපු අන්තිමයාට  කලින් එක්කෙනා ගැන තමයි අද ලියන්නේ..

අනේ ඇත්තමයි,  වැඩකාරකම කොතරම්ද කියල තේරෙනවත් ඇති නේ... බ්ලොග් පොස්ට් හිටන් උන් ගැන ලියවෙනවා.. හුහ්.. අපි ගැන කොහෙවත් වෙන කෙනෙක් එහෙම ලියනවද ඈ ??? මම ගැන නම් මෙලෝ යකෙක් එහෙම ලියල නැහැ.. එහෙම ලියන්නේ වැදගත් 'වැඩ්ඩෝ' ගැන විතරනේ.. එක්කෝ ගලුත් පාවෙන යුගයක් වෙච්චි!


මම මේ කියන චරිතය මේ බ්ලොග් කියෝන ගොඩේ නැති හින්දත්, මල පොතේ අකුරක් නොදන්නා මේ පිස්සු මනුස්ස දුව කීයටවත් මේ ගැන නොදන්නා හින්දත් මම ලියන්නේ ඇත්තමයි.. ගොතන්න දෙයක් නැහැ.. නමත් ඇත්ත..

ඔන්න අපේ ගෙදර තියෙන වැඩ කරන්න කියල අපේ අම්ම කොහෙට කොහෙට හරි කෝල් කරලා ගෙනාව වැඩකාරියෙක්. මම ඉතින් ඕව ගැන වැඩියෙන් වදවෙන්නේ නැති හින්දත්, අපේ අම්මගේ මහන්සිය ගැන හිතලත් සද්දේ වහගෙන හිටිය. 

ඔන්න ගෑනි එක්කගෙන එන්න ගියෙත් අපේ අම්ම තමයි. ගිහින් එක්කගෙන එනකොට දොර ඇරියේ මම... මගේ ඉස්සරහ හිටගෙන හිටියේ වයස 40 ඉක්මවපු පෙනුමක් තිබ්බ, ඔලුව කපුටු කුඩේ වගේ තියෙන.. දත් ටික එලියට දාගෙන මට සුදන්ත හිනාවක් දාගෙන හිටපු ගෑනියෙක්... ( මට පස්සේ තමයි තේරුනේ, එය හිටියේ හිනා වෙලා නෙවෙයි ,ගෑනිගේ දත් ඇන්ද කෙසෙල් ඇවරියක් වගේ ඉස්සරහට පැනල තිබ්බ හින්ද කියල) දැකපු ගමන් කෙනෙක්ව ජජ් කරන මට මේ ගෑනි දැකපු ගමන් මහා භයංකර හැඟීමක්නේ ආවේ!! දන්නේ නැහැ ඇයි කියල.... එකපාරට කෙනෙක්ව ජජ් කලත්, මම ඒ අනුව වැඩ කරන්නේ නැහැ. මම මුකුත් නොකියා මගේ ඉබි විලාසය පෑවා. මේ ගෑනිගේ නම 'කමලා'

දත් ටික හින්ද විතරක් නෙවෙයි, හෙමින් ගමනකුත්- ඇති වැඩකුත් නැති කමලා මතක් වෙනකොට මට දැන් හිනාවක් ආවත්, ඒ දවස්වල නම් පුෂ්පය විකසිත වෙන්නේ.... කිසිම වෙලාවක පාවහන් පාවිච්චියක් නැති කමලා සමග අපිට මේ වෙනකොට ගෙදර බේබි සිටර් කෙනෙකුත් හිටියා. අපේ අම්මා කලින්ම අක්කට කියල තිබ්බේ, කමලාට දරුවා අල්ලන්න දෙන්න එපා කියලත්. බේබි සිටර් හිටියේ වයසින් අඩු කෙල්ලෙක්. ඇය බොහොම පිරිසිදුයි. හැමදාම නානවා. ආපු පලවෙනි දවසේ මම කොච්චර කිව්වත් ඇග හොදගත්තේ නැති කමලා, දවස් දෙකෙන්ම අර කෙල්ලත් එක්ක හරිහරියට නාන්න පටන් ගත්ත... 

මම ඉතින් දවල් වෙන විකාර දන්නේ නැහැ නේ... මම දන්නේ ඉඳල හිටලා ගෙදර ගියාම දකින දේවලුයි, අපේ අම්මා කෝල් කරලා කියන දේවලුයි විතරයි. 

මම ගෙදර ගිය දවසක මම කමලාට කිව්වා මේ සතියේ ගෙනාපු පලාකොල වලින් මුකුණුවැන්න, කංකුන් දඬු අම්ම පැළවෙන්න දාල තියෙනවා, ඒවා මම පාත්තියක් හදල තියෙනවා, හිටවන්න කියල. ගියා ගිනි කසේ වගේ කුස්සිය පැත්තට, එන පාටක් නැහැ... ඉතින් මම මගේ පාඩුවේ වෙන වැඩකට ගියා. හවස මම බලනකොට මම හදපු පාත්ති දෙකේ මේ පිස්සු කේස් එක... මුකුණුවැන්නයි, කංකුනුයි ඔක්කොම එක ගොඩේ හිටවල! පාත්ති දෙකක් හරි අපුරුවට හදල තිබ්බ මට ඕක දැකල යක්ෂාරුඩ උනා..

"කමලා.... මෙහෙ එනවා"

ඔන්න විනාඩියකින් විතර පද්ද පද්ද එනවා..

"... ඇයි මේ ඔක්කොම එක ගොඩේ හිටවල.. මම පාත්ති දෙකක් හැදුවේ දෙක වෙන වෙනම හිටවන්න"
"මමනේ නෝනා කඩන්නේ, මට කඩන්න පුළුවන් තෝරලා"

මගේ ඔලුවෙන් දුමක් වගේ නැග්ග... මෙන්න ආපහු හැරිලා යන්නත් ගියපි... ඔය එක සිද්දියක් විතරයි... සිද්දි හෙන ගොඩයි..

වැඩේ කියන්නේ මේ ගෑනිට මල පොතේ අකුරක් බැහැ , ඉලක්කන් අකුරු ජාති දෙක විතරයි අදුනන්නේ. අර බේබි සිටර් කෙල්ල පත්තර කියෝනකොට මෙයත් ඉක්මනට පත්තරයක් දිගෑරගන්නවා ... පන යනවා හිනා වෙලා.. ඒ කෙල්ල ගාන ෂැම්පු එක ගන්න පලවෙනි පඩියෙන් හින මවනවා.. පව් කියල මම කලේ ෂැම්පු එකක් ගෙනත් දීපු එක... එතකොට කියාපි 
"අර මුනේ ගාන්නේ... ගාල හෝදන්නේ.. අන්න ඒකක් තිබ්බ නම් තමයි හොද කියල"
මට කටේ පිට්ටු හිරවෙලා ඉස්මොල්ලේ ගියා වගේ උනා. මදැයි!

ඒ වගේම කුළු හරකෙක් ආන් බාන් කරනවා වගේ... හරිම රුඩ් වැඩ !!! කිව්වොත් දෙයක් කරන්නෙම අනික්පැත්ත. හැබැයි නෝනලාට තමයි ඔහොම, ඕක වෙනස් මහත්තය කිව්වොත් වැඩේ සුටුස් ගාල! අපේ අය්ය පළවෙනියට කමලාට කතා කරලා අපි නැති වෙලාවක තේ එකක් හදෝ ගන්න 
"කමලා......"

කුස්සියෙන් හෙන රොමැන්ටික් විදියට 
"හ්ම්........................................." කියල සද්දයක් ඇවිත්.
හරියට අර 'සුජාතා' කියල සිසිර සේනාරත්න කියන සිංදුවේ , දෙන රොමැන්ටික් හ්ම්ම්.. එක වගේ... 

අපේ අය්ය කොර වෙලා ගිහිං ! බලනකොට කමලා... අය්යාට ඉල්ලන්න හිටියේ මොනවද කියලත් අමතක වෙලා.... ඊට පස්සේ කවදාවත් තේ නම් ඉල්ලලා නැහැ... හි.. හි... එක දවසක් අපේ අය්යා කෑම එක දාල ගිහින් ආපහු ආවම, අම්ම කමල අතේ කෑම එක යවල ගේට්ටුව ගාවට 

"අනේ... බලන්නකෝ.... කෑම එක දාල ගිහින් නේ............... බ....ල...න්නකෝ...."

ඒ නැලවිල්ලට අපේ අය්යා කොතරම් භිත වෙලාද කියනවා නම්, කාර් එකේ අක්සිලේටරේ පෑගිලා කාර් එක ගේට්ටුවෙත් වැදිලා! අපේ අය්යා ඒ දවස්වල මෙලෝ යකෙකුට බය නැහැ කමලාට ඇරෙන්න... හි... හි...

සෙරෙප්පු පාවිච්චියක් නැති හන්ද මගේ වැඩි මනාපයක් තිබ්බේ නැහැ කමලා වැඩිපුර සාලේ ඉන්නවට. පව්.. එත් මම මොනවා කරන්නද.. එළියේ දුවන්නෙත් සෙරෙප්පු නැතුව... මම එහෙම ආස නැහැ, නැතුව නපුරුකමට නෙවෙයි... 

ඔන්න ඔහොම දුවන අතරේ දවසක් ගෑනිගේ කකුලේ යටිපතුලේ මොනවා හරි අනිල... අපි ඇහුව ටෙටනස් ගහලද කියල... මේ ගෑනි එහෙම කිසි දෙයක් දන්නේ නැහැ. දැන් අපිට බයයි ගහල නම්, ආයෙත් ගන්න හොඳත් නැහැ, ගහල නැත්තම් නොගැහුවොත් මේ ගෑනි විපතට පත්වෙයි කියල. කොහොමත් වැඩිය මුකුත් පෙන්න දෙයක් නැති හින්ද තුවාලේ හාරාගෙන දාන්න කියල බෙහෙතුත් දුන්න. අපිට පුලුවන්ද ගෑනිගේ කකුලේ හාරන්න.. ඔක්කොටමත් වඩා මට ඔය තුවාල සින් කෙලවර, අති උතුම් ජබර කලන්තේ තමයි!

ඔන්න පහුවදා ගෙදර කවුරුත් වැඩිහිටියෝ නැහැ, බලනකොට කමලාට උණ ! දැන් මක් කරන්නද? මම එපෑ බලන්න. දැන් මට බයයි තුවාලේ බලන්නත්... කලන්තේ හැදෙනවා නේ... අන්තිමට මම තිරණේ කළා කමලාව දොස්තරට පෙන්නන්න. කමලා  නෙවෙයි, එයාගේ කකුල! ඔන්න ඉතින් මම දැන් එක්කගෙන යන තැන කල්පනා කළා..... පොඩි තැනකට එක්කගෙන යන්න බයයි , හරියට බෙහෙත් නොදැම්මොත් කකුල කපන්න වෙයිද දන්නේ නැහැ....

ඔන්න ඔහේ කියල... අපි සාමාන්‍යයෙන් චැනල් කරන හොඳ ඉස්පිරිතාලෙකට එක්කගෙන යන්න හිතුව. කමලාවත් ත්‍රි විලරේ දාගෙන , ඔන්න මම යනකොට වතුර බෝතලයක් ගත්ත.. මේ ගෑනි කලන්තේ දැම්මොත් කියල..... එතනට යනකොට කෙඳිරිය උත්සන්න වෙනවා.
උණත් තියෙන හින්ද, අමාරුවකුත් ඇති නේ... මම ඉතින් වත්තන් කරගෙන ගියා ඇතුලට... OPD ගෙනියල, ඩොක්ටර් කිව්වා ඇතුලට යන්න , බෙහෙත් දාමු කියල. මගේ පපුව දැන් දෙමොලෙන් කොටනවා... මගේ ලේ දන්දීම් හිස්ට්‍රිය දන්නා අය දන්නවා ඇති මොකද කියල....

දැන් ඇතුලට ගියා..

කමලා බෙඩ් එකේ දාල, නර්ස් කකුල පරික්ෂා කරනවා දොස්තර එක්ක, මම නෙවේ බැලුවේ... 
ඔන්න දැන් දොස්තර බලල ඉවරයි..

"මුකුත් අව්ලක් නැහැ... පොඩ්ඩක් විතර පැසවල ..." යන්තමට යන්තමට මට එහෙම ඇහුන.... දැන් මමනේ පේෂන්ට් ගෙනාවේ... මම දැනගන්න එපෑ විස්තරේ.. ඕක අහන්නේ නැතුව ගෙදර ගිහින් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොඳයි බඩ කපා ගන්නවා!

මම තිබ්බ ගට ඔක්කොම දාල දොස්තර දිහා බැලුව 
"මොකද ඩොක්ටර් වෙලා තියෙන්නේ?"
"බය වෙන්න දෙයක් නැහැ.... පොඩ්ඩක් පැසවල , ඇතුලේ මුකුත් කුණුත් නැහැ.... ටිකක් කපල සුද්ද කරලා... බ්ලා බ්ලා බ්ලා......"

එතනින් එහාට මොනවත්ම ඇහුනේ නැහැ නොවෑ ! කන් දෙක ෂෝ ගාන්න අරගෙන චැනල් එක කට් වෙලා සිග්නල් නැතුව ගියා... වටේ මොකද්දෝ කලබලයක් වගේ ඇහුන... ටික වෙලාවකින්.. මම හරහට..... ඇඳක් උඩ !! මම ගෙනාපු ලෙඩා - කමලා අපුරුවට ඉන්නවා...



"මරු කෙනෙක්නෙ ලෙඩත් එක්ක ඇවිත් තියෙන්නේ..."

 මම කමලාට බොන්න ගෙනාපු වතුර බෝතලේ පොවන ගමන් නර්ස් හිනා උනා.. දොස්තර අපරාදේ කියන්න බැහැ මුකුත්ම කිව්වේ නැහැ...

බලනකොට මම කඩන්  වැටිලා තියෙන්නෙත් විස්තරේ කිය කියා හිටපු දොස්තරගේ ඇගටමයි !!

ඔන්න ඔහොමයි මම 'වැඩකාරියෝ' බලා ගන්නේ.... දිවි පරදුවට තියල!

34 comments:

  1. මගෙ ඇඟිලි දෙකක් කැපිල ඩොක්ට මහද්දිත් මාව එක්කං ගිය එකා එතනම කලන්තෙ දාල වැටුණා.

    ReplyDelete
    Replies
    1. ඇඟිලි දෙකක් මොනවා කළා කිව්වා.... ඔන්න... ඔන්න.... ටිං .... ටිං ... ගානවා මගේ ඔලුව

      Delete
    2. හා හා කලබල වෙන්න එපා.මම ඔය කිව්වෙ මීට අවුරුදු විසිගානකට ඉස්සර වෙච්ච කතාවක් නොවැ.

      Delete
    3. හපොයි හැලපෙ.. මුලින් බ්ලෙඩ් එක අයින් කරන්න එපාය

      Delete
    4. හෆොයි.... මගේ ඔලුව උඩින් රේසින් කාර් යනවා වගේ :-(

      Delete
  2. අන්න නෝනලා.....................

    කොහොමත් ගෙදර වැඩකාරියක් ඉන්න එක නම් හොදයි තමයි.... මොකද ඔය තත්වේ හැටියට ඒක හොදයි.....................

    කතාව හරි අගෙයි..... කැප කිරීමත් අගෙයි.........

    ReplyDelete
    Replies
    1. හි.. හි.... ඔව් ඔව්..... නෝනා රෙදි නැතුව ආයේ ආවේ... කියල වැඩක් නැහැ...

      ස්තුති..

      Delete
  3. Never meant to disclose my identity.However,I every day all day witness these type of things.Best practice is to keep the bystander/guardian outside.

    ReplyDelete
    Replies
    1. True, but she was my responsibility, so I couldn't left her alone inside that room.

      Delete
  4. මම නම් බැරිවෙලාවත් උපේක්ශා ඉන්න පලාතක එන්නේ නෑ. ඇයි ඉතින් අපිටත් සිහි නැති වෙයි මෙයා කරගන්න ඩ්‍රාමා වලට ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... ඩ්‍රාමා ක්වින්!

      Delete
  5. වැඩ කාරියෝ ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.අපේ ගෙදර හිටපු ගෑනි මගේ ෆෝන් එකටත් විදලයි ගියේ.

    ReplyDelete
    Replies
    1. අන්න නියම වැඩකාරියෝ ! වැඩ පෙන්නුවා නේ?

      පව් , ඒක තුනපහ බෝතලයක් වගේ පෙන්න ඇති.... නැත්තම් චී එයාල ඒවගේ වැඩ කරන්නේ නැහැ...

      Delete
  6. හම්මේ අපේ ගෙදර උන්නු එකෙක් හිටියා අයියා (cousin) හරි තාත්ත හරි එන දාට හරියටම උණ ගැනෙනවා.... සාමාන්‍යෙන් අයියා ඇවිත් ලෙඩ අහනකම් ගෑණි නෙමෙයි ඇඳෙන් බහින්නෙ. අපේ අම්ම යකා සේ ඉන්න හින්ද වැඩි සෙල්ලම් දාන්න උනේ නෑ හැබැයි අපේ දිහා උන්නු උන්දලාට. දැන්නම් අපේ වැඩ අපිම කරගන්නවා. සර්වන්ට්ලා වානා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... කමලාටත් ඔය වගේ එකක් උනා මේ තුවාලෙන් පස්සේ.. බෙහෙත් දාගෙන ආවට පස්සේ මේ ගෑනි ඇඳෙන් බිමට බහින්නේ නැතුව ඉඳල තියෙන්නේ... තේ එකත් ඇඳට ගෙනියන්න ඕනේ... සතියකට වැඩියි..

      අන්තිමට මම වචන දෙකයි කිව්වේ.. පහුවදා ඉඳල ගෑනි පුරුදු පරිදි වැඩ!

      Delete
  7. උපේක්ෂා වැරදි රස්සාවනේ කරන්නේ. ඔයාට තිබ්බේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ ජොබ් එකක් හොයාගන්න. විවේකයෙන් ඇඳකටම වෙලා ඉන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බලනකොට අපි කවුරුත් කරන්නේ වැරදි රස්සා තමයි හෙන්රි... එක අතකට එහෙම වෙච්ච එක හොඳයි, අපිට ඕනේ රස්සා කලානම්, දැක්කනේ අපේ පරිකල්පන කොතරම් පිස්සුද කියල (කලින් පොස්ටුවේ)... අපි මුරුගසන් වරුසාවට අහු වෙලා කියල හිතයි...

      හි... හි.... අනේ මන්ද හෙන්රි... ඉස්සර මම මිට අන්තයි... ඩ්‍රාමා ක්වින්! දැන් ටිකක් හරි දොස්තර කියන දෙයක් අහන්න පටන් ගන්නවත් පුළුවන්.. ඉස්සර ඇහෙන්නත් කලින් වැඩේ සිද්දවෙලා...

      Delete
  8. ඔන්න ඔන්න උනාම ඔන්න මට කියවන්නත් එපා වෙනවා ඔන්න..

    ReplyDelete
  9. මටත් ලේ බලන්න, තුවාල පිරිසිඳු කරන්න අමාරුයි. හැබැයි සීරියස් වැඩක් නම් ගට අරන් බහිනවා වැඩේට. ඉස්සර අපේ ගේ ඉස්සරහ හයිලෙවල් පාරේ රෑ කාර් එකකට කෙනෙක්ව යට කරන් ගියා. මම සද්දෙට පාරට බැස්සා. වයසක කෙනෙක් පාර මැද. අපි සෙට් එක බැහැලා මෙයාව ඉස්සුවා. මම කකුල් දෙකෙන් ඉස්සුවේ. එක කකුලක් ගැලවිලා අතට ආවා. මේ කෙනා අපේ ගේ ඉස්සරහ ගෙදර ඒ තාත්තා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පියා.

    මගේ කකුල් දෙකේම ඔපරේෂන් දෙකක් කරා. සිහිය නැති කරලා නිසා මෙලෝ දෙයක් දන්නේ නැති නිසා ලකි.

    ReplyDelete
    Replies
    1. ඔව්... මමත් තේරුම් ගත්ත ඔතන තියෙන්නේ හිතේ අවුලක් මිසක් දෙයක් නෙවෙයි කියල.... ඒ හින්ද තමයි අර ලේ දන්දීමේ පින්කම් වගේ ඒවාට ගියෙත්.. හි... හි... මම හිතන්නේ යන්තම් වයස 60 ඇරගන්න පුලුවන්වෙයි භීතිකාව.. එතකොට කොහොමත් ගොක්කොල පේන කාලේ නොවැ !

      මගේ අම්මෝ... මට උනා නම්, අර මනුස්සයට උඩින් දඩොන් ගාල මම වැටෙනවා ජබර කලන්තේ දාල... අනිත් මිනිස්සුන්ට වැඩ දෙකයි! ඔය වගේ වැඩක් උනා නේ...

      අපේ තාත්තට ෂුගර් වැඩි වෙලා ක්‍රොමා එකක් ආව... ඔන්න දැන් කට්ටිය තාත්තව සිහිය එනකල් සහ වෑන් එක ලෑස්ති කරනකල් බිම මේට්‍රස් එකක තියල තිබ්බ. ඔන්න මම ලඟට වෙලා ඔලුව ඇත ගගා හිටිය. තාත්තව දැන් ගෙනිච්ච වෑන් එකේ හොස්පිටල්... ගියා විතරයි ඔන්න මට ඔතනම ජබර කලන්තේ!! ඒ මෙට්‍රස් එකේ මම දොයි!! මෙව්වා හින්ද මට නමකුත් තිබ්බ 'ජේ බී - ජබර කලන්තේ' කියල

      Delete
  10. හපොයි මටත් ඔය ලේ හොල්ලන වැඩ නං අමාරුයි තමයි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ

      Delete
  11. මට තාම මතකයි පොඩිකාලේ අපේ බාප්පා කෙනෙක් ජීප් එකක හැපිලා ඉස්පිරිතාලේ ගියා බලන්න. මුලු ඔලුවම බැන්ඩේජ් කරලා තියෙනවා දැක්කා වාට්ටුවේ කොට තාප්පෙට උඩින්....එච්චර තමයි..මම දොයි....අදත් ඒ බාප්පගේ වම් නලලත උඩින් ඔලුකට්ට නැති නිසා ඩිම්පල් එකක් තියෙනවා..වෙලාවට ආකියෙක් උනේ, මෙඩිසින් එහෙම කලානම් මෙලහට කලන්තේ හැදිලාම මැරිලා...

    ReplyDelete
    Replies
    1. ඔහොම මමත් ඉතින් පණ්ඩිතය වගේ යනවා ලෙඩ්ඩු බලන්න... එන්නේ හරහට! අන්තිමට මමම තේරුම් ගත්ත මේ වැඩේ හරියන්නේ නැහැ, ඔහොම ගිහින් වැඩිපුරම ඉස්පිරිතාලවල කුලියට කලන්තේ දාල ගිනස් පොතට යන්න වෙයි කියල.... දැන් යන්නේ හරිම අඩුවෙන්.

      Delete
  12. බුදු අම්මෝ!! මේක කියවද්දි මට මතක් වුණේ කැම්පස් යන කාලෙ මායි යාලුවෙකුයි නතර වෙලා හිටිය ගෙදර නංගිගෙ කකුල උලුක්කු වෙලා ඒ ගෙදර මල්ලියි, අපි දෙන්නයි ආන්ටියි හතර දෙනාම නංගිව අරන් ගියා ඇක්සිඩන්ට් වෝඩ්!!
    එතෙන්ට ගියාම ඉතිං ෆයිනල් ඩෙස්ටිනේෂන් මූවීස් ටික සේරම එක පාර බැලුව වගේ තමා... විනාඩි පහ හයකට සැරයක් අතක් කකුලක් ලෙලි ගියපු, ඇඟිලි කැපිච්ච, ලෙඩ්ඩු ගේනව..
    ඔන්න අර නංගිගෙ කකුල ඩොක්ට කෙනෙක් බලනව. දැන් මං ඒ අස්සෙ බයෙන් බයෙන් හතර වටේ හොරෙන් බලනව.. ඕකෙ ලස්සන වැඩේ කියන්නෙ නොබල ඇස් පියන් හිටපංකො බය නං. එහෙම ඉන්ඩ හිතෙන්නෙ නෑ මක්කරලවත්.. හොරෙං හරි බලන්ඩම හිතෙනව..
    මෙන්න ගෑනු කෙනෙක්ව රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන එනව..මාත් හොඳට බලන් ඉන්නව..මගෙ ඇස් හොයන්නෙ දැන් මේ මනුස්සයට වෙලා තියෙන්නෙ මොකද්ද කියලමයි..
    ලඟටම එද්දි තමයි දැක්කෙ... එ දැක්ක භයංකාර සිද්ධිය මෙතන කියල උපේක්ෂවයි මෙතන ඉන්න දහ පහලොස් දෙනෙක්වයි ඔෆිස් එකේ උන්ට හොස්පිටල් ගෙනියන්ඩ වැඩේ සිද්ධ කරන්න මට බෑ..
    මං ඒක දැක්ක පාර මගෙ ඔලුව පිටිපස්සෙන් සිරි සිරි සිරි ගාල සීතල වෙනව මට ‍තේරුණා.. හාත්පස කලුකරගෙන එද්දි මං එහෙමම එතන තිබුණ කණුවක් බදාගෙන ඉඳගත්ත විතරයි මට මතක..

    ReplyDelete
    Replies
    1. මටත් තියෙනවනේ ඔය 'කොහොමහරි ඇහැ යන' ලෙඩේ!!! මට නම් සමහර ඒවා ඇහුවත් ඇති...
      මම නම් දැන් ඔය වගේ ප්‍රසිද්ධ තැන් වල ඇඩ් දෙන්නේ අඩුවෙන් :-D

      Delete
  13. කංකුන් මුකුණුවැන්න කතාව නම් එල එකේ හොඳම එක. අයියා බය වෙච්ච හැටි මතක් වුනාම හිනා යනෝ

    ReplyDelete
  14. හොද වෙලාවට වැම්පරයෙක් වෙලා ඉපදුන් නැත්තේ .එහෙම උනානම් ඉතින් බඩගින්නේ තමා මැරෙන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම්, මම කරන්නේ ලේ බෝතල් කර විකුණන තැනකින් දුඹුරු පාට බෝතලේකට අරගෙන, ස්ට්‍රෝ එකකින් බොනවා. ඕක ඉතින් බල බල බොන්න ඕනේ නැහැ නේ... නැද්ද?

      Delete
    2. චික් විතරක් ඒ කියපු කතාව!!! ඈක්කා !!!

      Delete
    3. වැම්පරයන්ට ලේ බෝතල් කරලා විකුණන තැන් ගැන ඇහුවමයි . මන් අහලා තියෙන්නේ ලේ බැංකුවෙන් ලේ අරන් මිනිස්සුන්ට ලේ දෙනවා කියල විතරයි .

      Delete
    4. ලේ බැංකුව ගැන කියනකොට කතාවක් මතක් උනා.මන් මගේ මුළු ජීවිතේටම ලේ දෙන්න ගිහින් තියෙන්නේ එක සැරයයි . මන් ලේ බලන්න බය වගේම ලේ දෙන්නත් බයයි.
      අපේ ස්කුල් ඩේ එකට හැම අවුරුද්දෙම ලේ දන්දීමේ කදවුරක් තියෙනවා .උසස් පෙළ කරන කාලේ ඉතින් කොල්ලොත් එක්ක මමත් ඔය ලේ දෙන පෝලිමේ හිටියා.ඇයි දෙයියනේ සෙට් එකේ උන් බැරිවෙලාවත් දැනගත්තොත් මන් ලේ වලට බයයි කියලා ඉදලා හමාරයි.දෙයියෝ බැලුව වගේ එදා මගේ බර මදි කීවා. මම ඉතින් බොරුවට අප්සට් මුඩ් එකක් දාගෙන මාරු උනා.අම්මෝ යන්තන් ඇති .

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...