Thursday, June 5, 2014

45. භයානක ෆැෂන් කතාවක්...

මම මෙහෙම පිස්සෙක් වගේ උන්නට හෙනම මනෝ කාරයෙක්...

කොහේ ගියත් පොඩ්ඩක් චාන්ස් එකක් අවොත් ලස්සන මනෝ පාරක් ගහගෙන පාඩුවේ ඉන්නවා. මගේ මනෝ ලෝකවල සංචාරයට සුදුසුම තැන තමයි.... ඇඳ ? පිස්සුද.. බස් එක!!!!

මම මගේ කලින් පොස්ටුවකත් කියල ඇති මගේ මේ බස් මනෝ සංචාරය හින්ද , අතේ හිටපු කුරුල්ලෙක් ( එහෙම කිව්වට චීස් කෑල්ලක් ..! හි... හි...) අල්ලගන්න බැරි වෙච්ච එකක් ගැන.

බස් එක මේකට මට හොඳම තැන වෙන්නේ, හේතු කීපයක් හින්ද

1. ලංකාවේ පොදු ප්‍රවාහනේ තියෙන කාර්යක්ෂමතාවේ කොහොමද කියනවනම් , ගමනාන්තයට යන්න කලින් මට පුළුවන් ඉන්දියාවට ප්ලේන් එකෙන් ගිහින් එන්න හින්ද.. (එතරම් සුකොමල ලලිත ගමන් යන බස් අහුවෙනවා... ඔය කොට්ටාව බස් එහෙම නෙවෙයි අම්මෝ! ඒවා යන්නේ හරියට වලිගෙ ගිනිගත්ත හනුමා වගේ නේ)

2. බස් එකට නගින , බහින හුදී ජනයාගේ සමහර විලාසිතා, විලාසයන් හැබෑවටම මාව වෙන ලෝක වලට ඇදල දානවා... සමහර අය සමහර මාතෘකා අපිට මතක් කරලා දෙනවා..

3. බස්වල යන අපූරු සින්දු හින්ද ..  සමහර සින්දු මම හිතන්නේ ගායකයාගේ විතරක් නෙවෙයි, රියදුරුගේ, කොන්දොස්තරගේ මවත් ඉතා හොඳින් මතක් කරලත් දෙනවා

4. හේතුවක් නැතුව ට්‍රැෆික් එකක් ඕනෙම වෙලාවක ඇතිවෙන්න පුළුවන් හින්ද එකම තැන ඉන්නකොට වෙන මොනවා කරන්නද ? මම වගේ කෙනෙක්?

මේ මොන හේතු තිබ්බත්, ඒ මොන හේතුවක්වත් නැතුව කට ඇරගෙන එකසිය ගානට බස් වල නින්ද ගිහිල්ලත් තියෙනවා... මේවා දැකල සසර කළකිරිලා මහණ වෙන්න ගියපු අය හිටියද දන්නේ නැහැ බස් එකේ. අපිට ඒවාට වගකියන්න බැහැ නේ... අහක බලාගන්න තිබ්බේ නැද්ද හා??

3 වෙනි හේතුව හින්ද වැඩක් අද මට මේ උනා... ඒක නෙවෙයි නේ කියන්න ආවේ! 2 වෙනි හේතුව හින්ද වෙච්ච වැඩක් නේ... මුලින් ආපු කන බලමුකෝ අඟට කලින්...


බස් එකට හොඳටම හිර ඇඳුමක් ඇඳගෙන එක්කෙනෙක් නැග්ග... වැඩි අවුලක් පෙන්න තිබ්බේ නැහැ.. දැන් ඉතින් හිරට අඳින එක ෆැෂන් එකක් හින්ද.. මට තනියෙන් හිනා ගියේ වෙනින් වැඩකට. 

මම කියලත් ඇති මගේ ඉස්සර ෆැෂන් ගැන තිබ්බ මිමි ගැන. ඕව කරන්න ගිහිං මම එකසිය ගානට ඇනගෙනත් තියෙනවා. ගොඩක්ම එහෙම දේවල් උනේ මම පොඩි කාලේ, ඉස්කෝලේ යනකොට. අපේ ගෙදර මම ඉබ්බෙක් වගේ හිටියේ, ඒ කියන්නේ කටුවෙන් එළියට එන්නේ නැහැ. අපේ අක්ක වගේ රුපලාවන්‍ය ගැන මෙලෝම උනන්දුවක් නැහැ, ඒ උනාට එයා කරන්නේ මොනවද කියල මගේ මීටරේ නිතර කරකැවෙනවා. මොකටවත් නෙවෙයි, අපේ ගෙදරින් එයාගේ ගර්ලිෂ් වැඩවලට සපෝර්ට් එක තිබ්බ හින්ද. මට ඒවා මැජික් වගේ... එක්කෝ මොනවා හරි මුණේ ගායි, නැත්තම් පර්ෆියුම් එකක්, කියුටෙක්ස් අරව මෙව්වා... අම්මෝ තිබ්බ විගඩන් !! මම කරන්නේ මිනිහ එහාට මෙහාට වෙනකල් ඉඳල ඒවගෙන් පොඩ්ඩක් ට්‍රයි කරන එක. ගොඩක් වෙලාවට මට වෙන්නේ අර ඇටිකෙහෙල් කාපු මොකාටද වගේ ඉන්න වෙන එක... මොකද හදිස්සියට, ඉරිසියාවට වගේ ගෑවොත් එක්කෝ ගාල තියෙන්නේ කකුලේ ගැන එකක් මුණට.. නැත්තම් කම්මුලේ ගාන එකක් හදිස්සියට ලිප්ස්ටික් කියල වරද්දාගෙන... හය්යෝ... මොන තරම් ජවුසමක්ද? කාට කියන්නද? මොනවා උනත් මගේ පරිස්සම වැඩි උනෙත් නැහැ, හොරෙන් කරන වැඩේ නතර උනෙත් නැහැ. මට දැන් හිතෙනවා මගේ පිනකට තමයි අක්කා ඩයි වගේ දේවල් පාවිච්චි නොකළේ කියල.. නැත්තම් එක්කෝ මම ඕක බීලා වලපල්ලට ගිහිං !

ඔහොම හිටපු අක්කා මට කලින් කැම්පස් එකට යන්න කොළඹ ආව. මෙතෙක් කාලයක් ඇහේ කටුවක් වගේ දැනුණට , ඊට පස්සේ තමයි අක්ක නැති අඩුව මට හරියටම දැනුණේ. අපි දෙන්න ගොඩක් සමීප උනෙත් ඔය වයසේදී තමයි. කැම්පස් යනකොට සියළු ඇඳුම් පොදිබැදන් ගියත්, හිටපු බෝඩිමට පින්සිද්ද වෙන්න මිනිහ මාස කීපයෙන්ම ජම්බෝලයක් වගේ උනා. 
පිටිම කාල! 
මට ඒ දවස්වල හිතුනේ ප්‍රීමා සමාගමෙන් අපේ අක්කව වෙලාවක එයාලගේ සක්සස් ස්ටෝරි එකක ඩිස්ප්ලේ අයිටම් එකකට ගන්න කොයිවෙලේ හරි කිඩ්නැප් කරගෙන යයි කියල. ඔය සිද්දියෙන් පස්සේ අපේ අක්කට සිද්දවුනා එයාගේ මෙතෙක් ඇඳපු ඇඳුම් ටික ගෙදර දාල යන්න, අකමැත්තෙන් උනත්. ඔන්න ඉතින් මගේ ඉල්ලම පෑදෙනවා!!! අපේ අක්කට ඩ්‍රෙස්මෙකින් හොඳට පුළුවන්. ඒ හින්දා කලිසම්, ඩෙනිම් වගේ ඒවා ඇරුණුකොට ගොඩක් ඇඳුම් ඉස්සර එයා මහනවා. මෙලෝ ජාතියෙන් ගවුමක් ඇඟට තිබ්බේ නැති මමත්, ගර්ලිෂ් වෙන්න කියල හිතාගෙන ඒවගේ ගවුම් මස්සව ගත්තත්, අන්තිමට කෙලවර උනේ මගේ සුපුරුදු ඩෙනිමෙන් තමයි!!! ඔරොත්තු නොදෙන ලොම්බ විකන ෆැෂන්!!!

වයසින් මගේ අක්ක උනාට මිනිහ මටත් වඩා කොටයි, ඒ දවස්වල කෙට්ටුයි.. මහන ඇඳුමුත් ඒ වගේම ඇඟට ගානට මහන්නේ. තිබ්බ ඉරිසියාවට ඇඳගෙන ගියත්, හෙන අමාරුවෙන් තමයි... ආයේ ගෙදර එන්නේ දොරකට ඉඳන්ම පුලුපුලුවන් තරමින් ඇඳුම ගලෝගන! අක්කත් නැති එකේ, එයාගේ ඇඳුම් නාස්ති වෙන්නත් දෙන්නේ කොහොමද? ඒ දවස්වල ගර්ලිෂ් වෙන්න හිතක් පහල වෙලා තිබ්බ හේතු කීපයක් හින්ද... හි.. හි.... හිනත් යනවා දැන් නම්.. දුකත් හිතෙනවා ඒ උනාට ( වෙනම ලියන්නම් ඒක !!)

අක්කගේ තිබ්බ හරි අපුරුවට මහපු කළුපාට දිග ටයිට් සායක්... ඒක මට හිරයි , ඒත් අබාධයක් නැතුව ඇඳගෙන යන්න පුළුවන්. ගමනක් යන්න බැලුවම ඕක අල්ලලා, අන්තිමට අදින්නේ නැතුවම යනවා. මම ඉතින් වැඩි සෙල්ලම් දාන්නේ නැති ගමන් වලට කියල හිතාගෙන තමයි එහෙම කරන්නේ. ඔන්න ඔහොම අත ගගා ඉඳල, අන්තිමට නිකං ටවුන් යන දවසක මම ඕක අතට ගත්ත අඳින්න කියල. 
' ඔන්නොහෙ'
ඔහොම හිතල සාය ඇන්ද ... ඇඳගෙන ටවුන් එකෙත් තිබ්බ වැඩේ කරගෙන.. සුපුරුදු පරිදි බස් හෝල්ට් එකට ආව බස් එකට නගින්න කියල. පපුව නතර උනා වගේ උනා, බස් එකේ පඩිය දැක්කම. මට හරියට මතක නැහැ, පඩිය එතරම් උසට තිබ්බේ, බස් එක නතර කරලා තිබ්බ තැන හින්දද, නැත්තම් ඇත්තටම වෙන බස් වලට වැඩ ඒ පඩිය උසට තිබ්බ හින්දද  කියල. දොඩම් ගෙඩි දෙකක් විතර උස මට, පොඩි උසත් මාරම උසක් හින්ද වෙන්නත් ඇති. 
මට මතක මෙච්චරයි 

ඒ පඩිය තිබ්බේ හරියට මම කකුල නිකටට එනකල් උස්සල නගින්න ඕනේ තරම් උසකින්!!!

හිතා ගන්න පුලුවන්ද මට ඇතිවෙච්ච භීතිකාව??? සෙනගත් වැඩිය හිටියේ නැහැ බස් එකේ. මම වටපිට බැලුව... බස් එකේ අනිත් දොරත් බැලුව... කිසිම සහනයක් පෙන්න නැහැ... සාය හිරයි ... දිගයි.. පිටිපස්සෙන් පළලා තියෙනව උනත්, කකුල කොහොමද ඔතරම් උස්සන්නේ? මම වටපිට බලල, කට්ටිය මගේ දිහා බලාගෙන ඉන්නේ නැහැ කියල හිත හදාගෙන.... දකුණු කකුල පුළුවන් උපරිමෙන් උස්සල... නවල.. පැත්තට හරවල... උඩත් පැනල ( කරන්න පුළුවන් උපරිම නාටක කරලා) හෙනම හෙන අමාරුවෙන් කකුල පඩියේ ගෑවෙන්න සලස්වලා, උඩත් පැනල නගින තැන පොල්ලේ එල්ලුණා 
".. බරාස්..!!"

ඔන්න ඇහුණා මම අහන්න අකමැතිම සද්දේ!! 

සෙනගත් හිටියේ නැති හන්ද , ඒ වගේම බස් එකේ කන පැලෙන්න සින්දු දාල තිබ්බෙත් නැති හින්ද, මගේ මේ සද්දේ නගින තැනම තියෙන සීට් එකේ හිටපු  කොල්ලොන්ට ඇහුන... ඒ ඔළුගෙඩි දෙක මගේ පැත්තට හැරෙනකොටම මට ඒක තේරුණා... මොනවා කියල කරන්නද? බැහැල දුවන්නද? දනිපනි ගාල නැග්ග මගේ වාසනාවට පිටිම පිටිපස්සේ දිග සීට් එකේ කිසිම කෙනෙක් හිටියෙත් නැහැ.. පැනපු ගමන් පිටිපස්සේ, අන්තිම කොනේ පැනලා වාඩිවුණා. මගේ කන් දෙකෙන් දැන් දුන් පිටවෙනවා... 
ඕපනිං එකෙන් ෂුවර් එකට පැලිලා..... අඟල් තුනක්? පහක්? අඩියක්? කොහොම කියන්නද පේනවද? 

මම නගිනවත් එක්කම වගේ බස් එකත් යන්න පටන් ගත්ත... මම කලේ, අත් දෙක දෙපැත්තෙන් දාල ඕපනිං එක හරියෙන් අල්ලලා බැලුව.. හම්මේ නූල් හෙන ගොඩක් අහුවෙනවා. මම අද ඉඳල ඉවරයි!! අක්ක තමයි මේකට වගකියන්න ඕනේ.. මෙහෙමත් ඇඳුම් මහනවද? මම දැන් හෝ ගාල අතේ තිබ්බ පර්ස් එකේ කටුවක් හොයනවා.. මට ඕනේ කලේ බස් එකෙන් බහින්න කලින් , කොහොම හරි කටුවක් ගහගෙන හරි යන්න. මේ කෙහෙල්මල ඇවිදිනකොට මොන තරම් ගිනි විජ්ජුම්බරයක් කරයිද?? බස් එකෙන් බැහැල මට පයින් යන්න තියෙනවා ගෙදරට... අම්මේ.. කොහොමද ඇවිදගෙන යන්නේ? මගේ කරුමෙට මට හම්බ උනේ පේපර් පින් එකක් විතරයි.. එකෙන් ඒ වැඩේ කොහොමත් කරන්න බැරි උනත්, මම හිත හදාගෙන එකවත් ගහනවා කියල හිතාගෙන ඔන්න පටන් ගත්ත...

අත් දෙක දෙපැත්තෙන් පහලට.... යටින් එකතු කරලා සායේ ඕපනිං එක අල්ලන්න ට්‍රයි කරනවා.. ලේසි නැහැ.. මම දැන් සීට් එකේ ඉස්සරහට නැමිලා... පින් එක ගහන්න ට්‍රයි කරනවා.. එතකොට කොන්දොස්තර ඇවිත් මගේ දිහා පුදුමෙන් බලන් ඉන්නවා.. මගේ විලාසය දැකල වෙන්න ඇති... පැල්ම දැක්ක නම්? උණ හැදෙයි... මම මුකුත් නොවුණ ගානට ඉක්මනට ටිකට් ගත්තා. කොන්දොස්තර ආයෙත් එක පාරක් බලල යන්න ගියා. මගේ සීට් එක තාම හිස් හින්ද මට මගේ පාඩුවේ මේ වික්‍රමය කරන්න වෙලාවත් තිබ්බ.. දැන් දාඩිය දාල  බයට,ලජ්ජාවට.. උත්සාහය අන්තිම අසාර්ථකයි!! සායේ ඕපනිං එක අහු වෙන්නෙම නැහැ... මේ සටන යන අතරේ බස් එකත් යනවා 

ඔන්න බස් එකට පුංචි අවුරුදු 5ක ගෑනුළමයෙක් එක්ක අම්මෙක් නැග්ග. කරුමේ කියන්නේ, නගිනකොටම වාඩිවෙන්න තීරණේ කලේ මගේ ලඟින්! පිටිම පිටුපස්සේ කරගෙන ගියපු මගේ මේ පැලුණු සායේ ඇඩ්වෙන්චර් එක දැන් කොහොමද කරන්නේ? කරුමේ උනත්, පොඩ්ඩක් කරලා තියෙන්න ඇති... වෙලාවට මගේ ලඟින් වාඩිවුණේ අර ගෑණුළමය. එයාගේ මුණ දිහා බලන් හිටපු මම තීරණේ කළා...
 පොඩි එකානේ... අවුලක් නැහැ.. කියල 

ආයෙත් නැමිලා ඕපනිං එකට මගේ පේපර් පින් එක ගහන්න අසාර්ථක උත්සාහය පටන් ගත්ත. මම වැරදි! අර පොඩි එකා ටික වෙලාවකින් මගේ මේ අමුතු ඉරියව්ව දිහා බැලුව! ඔන්න එතකොට මම ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙනවා... ආයෙත් අහක බලනවා.... මම ආයෙත් නැමෙනවා.... බලනවා... රිටක් වගේ කෙලින් වෙනවා... ඔන්න ඔහොම ගියා... මගේ පින් එක ගැහිල්ල කෙසේ වෙතත් බහින තැනට ලං වුනා. මොනවා කියල කරන්නද??

 කෙනෙක්ට කියල බෙල් එක ගස්සවාගෙන , බස් එක නතර කරනකල් වාඩිවෙලා ඉඳල... නතර කරපු ගමං , පැනල බහින්න දොර ගාවට එනකොට.. මම නගිනකොට බරාස් සද්දේ අහගෙන හිටය  කොල්ලෝ දෙන්නත්, මගේ දිහා බලාගෙන ඉන්නවා දැක්ක ඇස් කොනින්! අනේ අසරණ මම... බැහැල... දැන් කොහොමද යන්නේ?

මම බැහැපු තැනම හිටගෙන හිටියා තත්පර කීපයක්, මම හිතන්නේ.. යන්නේ කොහොමද කියල කල්පනා කරකර... කකුල් මාරු වෙනකොට ඕපනිං එකෙන් පේන දේවල් ගැන මට හිතාගන්න වත් බැහැ !!! මිනිස්සුන්ගේ හිනා කටවල් පේන්නේ මාව පහුකරගෙන ගියාමනේ ? 

දැන් ඉතින් වෙන මොනවා කරන්නද? දන්නා කියන තැනකුත් නැහැ කටුවක් ගහගන්නවත්... එහෙම තිබ්බත් යන්නත් ලැජ්ජයි... සතියේ දවසක මේ වෙලාවට සමහර මිනිස්සු ගෙවල් වලත් නැහැ. ලොකු හුස්මක් අරගෙන මම හිට ගත්ත... වෙන දෙයක් උනාවේ... හානිය අවම වෙන විදියට වැඩේ කරන්න ඕනේ.... 

මෙහෙම හිතාගෙන, මම කරේ.. වෙනද වගේ දනී පණි ගාල දුවන්නේ නැතුව, පොඩි පොඩි අඩි හෙමින් හෙමින් තිය තිය බිම බලාගෙනම යන්න පටන් ගත්ත එකයි... හෙමින් ගියේ ඕපනිං එක අඩුවෙන් ඇරෙන්න. බිම බලන් ගියේ හිනා වෙන උන් පෙනෙයි කියල... දැන් හෙමින් හෙමින් යන මට නොයෙකුත් රුප මැවෙනවා... දැන් මගේ මේ පැල්ම හෙන උඩට ගිහින් ඇති..... කොච්ච්ච්ර දරුණුද දන්නේ නැහැ නේ? අල්ලලා බලන්නත් බැහැ... මේ මහා පාරේ?

බෙල්ල බිමට හරවාගෙන යන මේ ගමන, මටත් හෙන අවුල්... මම හිතන්නේ මාව නිතර දකින අයටත් අවුල් වෙන්න ඇති 

".. අහ් ... දුව... කොහේ.. ගි....හි....න් එන ග....මන්ද ?" 

වගේ දේවල් අහන්නේ වචන අතරේ අමුතු හිදැස් තියල... 

උන්ට අමුත්තක් තේරිලා බව ටෝන් එකෙන්ම තේරෙනවා. ගොඩක් අය අපේ අම්මගේ ගමේ යාලුවෝ, අසල්වාසීන්. අපේ අම්මට එයාල හරියට රෙස්පෙක්ට් කරනවා. හි.. හි... ගාල දාන මගේ හිනාව වෙනද වගේ නෙවෙයි කියලත් තේරෙන්න ඇති.... මොනවා කියනවද මන්ද... සාය පැලිලා මෙහෙ... මගුලක් කතා කරනවා !! කරුමේ කියන්නේ මේ වෙලාවටම තමයි අම්මගේ වැදගත් යාළුවොත් මුණගැහෙන්නේ.. වලිගෙ නැති හුනෙක් වගේ මම දැන්!!!

මම දැන් ඇවිදින්නේ කකුල් දෙක අඩුවෙන්ම ඈත් වෙන විදියට හින්ද මට හිතෙන්නේ ඒක පේන්න ඇත්තේ ෂුවර් එකට හරිම විකාර ගමනක් වගේ වෙන්න ඕනේ. ඔහොම විකාර ගමනින්, කොහොමින් කොහොමහරි ගේ පේන දුරට ආව විතරයි මම පන කඩාගෙන ගිහිං ගෙට රිංගුවා.. 

මුලින්ම කලේ... කණ්නාඩිය ඉස්සරහට ගිහිං ... මට වෙච්ච අහස පොලව උහුලන්නේ නැති නස්පත්තියේ ප්‍රමාණෙ බලපු එක... හැරිලා බෙල්ල කරකවල බැලුව...

හත්වලාමයි! සායේ අඟල් බාගයක්වත් පැලිලා නැහැ!!! පාරේ මම නාඩගමක් නැටුවේ මේකටද??

මගේ පැතුම: හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා!

35 comments:

  1. සිත්තමක් සේ ස්ද්ධි දාමය මැවෙන්න ලියලා තියනවා

    ReplyDelete
  2. අගල් භාගයක් වත් පැලිල නැතිව මේම කොලා නං අඩියක් විතර පැලුන නං කෝම තියේද...
    හික්ස්

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා...! මොනවා කරයිද?

      Delete
    2. එව්වා දන්නේ ගෙදර ආවම නේ.... එනකල් මම හිටිය තත්වේ...... හය්යෝ..
      ස්තුති කොමෙන්ටුවට !

      Delete
  3. කියවනකොට කරපු වැඩ ටික මැවිලා පෙනුනා...... සුපිරි ඈ.......!
    සුවර් එකට මිනිස්සු හිතන්න ඇති පිස්සු කෝච්චියක් කියලා,,,,, හැක්..........

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ මිනිස්සු කොහොමත් හිතාගෙන ඇති, අපේ අම්මගේ තත්වෙට අපි කොහොමත් ගැලපෙන්නේ නැහැ කියල... හි.. හි.. කාලයක් මම හොඳට හිතට අරගත්තා අම්මට ලජ්ජා වෙන හින්ද හොඳට ඇඳගෙන පාරෙවත් යනවා කියල.... හි.. හි...

      Delete
  4. මිස්ටර් බීන්ගේ වයිෆ්ට ගන්න තිබ්බා එවෙලේ දැක්කනම්

    ReplyDelete
    Replies
    1. අහ් .. ඔව් නේද? අර මිනිහා රෙදි හෝදන්න ගිහිං එක පාරක් සායක් ඇඳගෙන හිටියේ..... හය්යෝ... එහෙමද දන්නේ නැහැ මගේ ඇවිදිල්ල තිබ්බේ...

      Delete
  5. මමත් බස් එකේ මනෝ පාරවල් දාන කෙනෙක්.
    මටත් ගෙදර ඇඳේ නිදියනවට වඩා හුඟාක් හොඳට බස් එකේ අයිනකට වෙලා නිදාගන්න පුලුවන්.

    කතාව නම් ආයෙ කියලා වැඩක් නෑ. චිත්ත රූප මැවෙන්න දීල තියෙනවා. හරියට අපිට වුනා වගේ තමයි.

    ඇත්තෙන්ම ඔය වගේ දෙයක් වුනාම ගන්න පුලුවන් ආරක්ෂිත පියවර මොනවද? ඔය ජර්කින් එකක් ජැකට් එකක් වගේ තිබ්බා නම් අර අත්දෙකින් ඉන වටේ ගැට ගහගෙන පස්ස වැහෙන්න එල්ලං ගියෑකි නෝන්ඩි නැතුව.

    මේක මට තේරුනේ නෑ. >>ඔහොම හිතල ඇන්ද ... ඇඳගෙන ටවුන් එකෙත් තිබ්බ වගේ කරගෙන..<<
    අනික සායෙ ඕපනිං එක නේද? ඕපන් එක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. නොතේරුන කොටස පැටලිලි සහගතයි නේද? ඔන්න මම අප්ඩේට් කළා.. දැන් තේරෙනවද? ඕපනිං එක තමයි.... සොරි වෙන්ට ඕනේ... කොහෙද මේ ඉංගිරිස් ගුරෙක් නොවැ !!

      ඔව් ඉතින් මොකක් හරි තිබ්බ නම් වහගන්න තිබ්බ. පර්ස් , කුඩයක් වගේ දෙයක් ඇරෙන්න වෙන කිසි දෙයක් තිබ්බෙත් නැහැ මට. ඕවගෙන් වහගෙන ගියොත් ආය ඕන්නෑ...
      බස් වල නිදාගැනිල්ල කියන්නේ ඉස්සර මගේ බස් ගමනේ කොටසක්... මොකද ඉස්සර දත්කුරු කාගෙන, මරු විකල්ලෙන් වගේ වැඩ ඉවර වෙලා යන්නේ.... අපේ අම්මා විහිලුවට කියන්නේ
      'මේ කෙල්ල වැඩ කරන්නේ මුට්ට කරගහන තැනකද මන්ද' කියල... ඉතින් බස් එකට නැගල හොඳ තැනක් සෙට් උනොත්, කට අරගෙන විකාර දර්ශනයක් දිදී නිදාගන්නේ නැතුව? සමහර වෙලාවට කිට් බිට් ගහගෙන නගින්නේ... කට ඇරගෙන නිදාගෙන ඉඳල ඇහැරුණු ගමන් වට පිට බලල මම නෙවෙයි වගේ යනවා... එක පාරක් මගේ ගාව හිටපු කොල්ල නොනවත්වා හිනාවෙන්න ගත්ත මගේ මේ වැඩේ දැකල...

      Delete
  6. ඉතිං ඉතිං අක්ක ඊට පස්සෙ ඇඟ ෂේප් කරගත්තද.

    ReplyDelete
    Replies
    1. ඒ සායට උනේ කටුගෙට යන්න... අක්ක කෙට්ටු උනත් හිටපු ගානට ආවේ නැහැ... ඒ හින්ද මම ඉරුණු විදියටම තිබ්බත් වැඩේ අහු උනෙත් නැහැ... හි.. හි...

      Delete
  7. ලියවිල්ල නම් පට්ටයි.

    ReplyDelete
  8. හි හි.... ටයිට් ඒවා අඳින්නෙ නැති නිසා මට ඔහොම ඒවා වෙලා නැති උනාට අපේ අනිත් උන්ට නං ඔය වගේ වැඩ වෙලා තියෙනව... හැබැයි ඉතිං ඒවා යාලුවො ගොඩක් එක්ක ඉන්න වෙලාවෙ නිසා උන්ට ගානකුත් නෑ.. තනියෙන් යන වෙලාවලදි තමයි පුදුම කේස් වෙන්නෙ... ඇයි ඉතිං උනේ මොකද්ද කියල හරියට දැනගන්න ක්‍රමයක් නැති හින්ද හිතේ අප්සට් එකෙන්නෙ මුළු ගමනම යන්න වෙන්නෙ... විශේෂයෙන්ම අර අර දවස් වලදි... හි හි

    බස් වල මනෝ පාරවල් ගහන එක මගෙත් හෙන ප්‍රියතම වැඩක් තමයි....

    ReplyDelete
    Replies
    1. බැරි ෆැෂන් කරන්න ගියාමනේ ඔහොම එව්වා වෙන්නේ...
      අපේ එවුන් කට්ටිය එක්ක ගියා නම් මට එතනම කලන්තේ දානවා... මොකද උන් කියන්නේ.... 'අපෝ උපෙක්ෂෝ .... පැලිලා නේද අඟල් පහක් විතරම' කියල.

      Delete
  9. අලේ මේක මරු බ්ලොගිය. මම අදයි ආවෙ! ජයවේවා ඈ!! ඔයා මැවිල පේන්න සුපිරියටම ලියනව!

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට.. ඒවගේම කොමෙන්ටුවට!

      Delete
  10. මවලා දුන්නා ගානට.ලස්සනට ලියනවා.මෝඩ පහේ බ්ලොග් එකක් නෙමෙයි,හොඳ ගැඹුරක් තියෙනවා මේ ලියැවිලි ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට.. කොමෙන්ටුවට!

      Delete
  11. මවලා දුන්නා ගානට.ලස්සනට ලියනවා.මෝඩ පහේ බ්ලොග් එකක් නෙමෙයි,හොඳ ගැඹුරක් තියෙනවා මේ ලියැවිලි ඇතුලේ.

    ReplyDelete
  12. අපි බස් එකේ යද්දි තමයි මේල් බලන්නේ රිප්ලයි කරන්නේ,බ්ලොග් කියවන්නේ, නිව්ස් බලන්නේ, සින්දු අහන්නේ. අපි ඉන්නේ මනෝ ලෝකේත් නෙමෙයි. අල්ලපු ගෙදර එකා හිටියත් තට්ටුවක් දාලා කතා නොකලොත් අපිට ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හය්යෝ.. මටත් ඔය ලෙඩේ තදටම තියෙනවා! ඒ කියන්නේ... අල්ලපු ගෙදර එකා ළඟ හිටියත් අඳුරගන්න බැරි එක! මේ ළඟදී දවසක්, මගෙත් එක්ක එක ළඟ සිට් එකේ වාඩිවෙලා ඇවිත්, පැයක් විතරම... බහින්න යනකොට එයත් නැගිට්ට හින්ද බැලුව මේ කවුද කියල.. අපෝ මේ අල්ලපු ගෙදර ඉන්න කෙල්ල! මට හෙන අප්සෙට්.. හිතුවද දන්නේ නැහැ ලොකුකම කියල, නැත්තම් මගේ මෝල් ගතිය තේරුනාද දන්නෙත් නැහැ... මම නම් හැමවෙලේම කියන්නේ.. දෙමවුපියන්ගේ වැරැද්දක් නෑ .. එයාල හෙන අහිංසකයි..

      Delete
  13. "යං කලිසම මං එන්නම්" වර්ගේ විලාසිතාව ආව කාලේ මටත් උනා ඔහොම වැඩක්. උඩින් හිරට යටින් ලොකුවට මහන මේ කලිසම් තෙල් ගාල තමා උද ටික බස්සන්න ඕන. දවසක් කොල්ලෙක්ගේ ගෙදර ගිහිං පොඩි ඇල පාරකින් අත හෝදන්න ඉඳ ගත්තා විතරයි "බරාස්" ගාලා පිටිපස්සෙන් ගියා යට මුට්ටුවේ ඉඳන් උද ඉන ලඟට එනකං. දැන් ඉතින් මක්ක කොරන්නේ. උගේ ගෙදර කවුරුත් හිටියෙත් නැ මහගන්නවත්. මගේ සයිස් එක හිංදා උගේ කලිසමක් කිට්ටු කරන්නවත් බැ. අන්තිමට තාත්තගේ සුදු සරමක් ඇඳන් තමා ගෙදර ආවේ.

    ReplyDelete
    Replies
    1. හය්යෝ..... වෙලාවට එහෙම එකක්වත් තිබ්බේ. මම ඉතින් එහෙනං අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ ඒ වෙලාවේ එන හැඟීම් ගැන! ස්තුති කොමෙන්ටුවලට

      Delete
  14. බස් වල මනෝ පාර ගහන එක , නිදාගන්න එක මට හිතෙන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන හැමෝම කරන දෙයක් . මටනම් මනෝ පාර ගෙන යනකොට දන්නෙම නැතුව නින්ද යනවා .
    එහෙම නින්ද ගියාම මනෝ පාර ගෙන ගිය දේවල් හීනෙනුත් පේනවා . උසස් පෙළ කරන දවසක් බස් එකේ නින්ද ගිහින් අන්තිම සීට් එකේ .ජනේලෙත් අරගෙනම .කොච්චර හොදට නින්ද ගියාද කියනවනම් වැස්සක් වැහැලා මගේ පැත්තක් තෙමිලා .එත් මන් නිදි.අන්තිමේට බස් එකට මගදී ගොඩවුන
    මගේම යාලුවෙක් තමා මාව ඇහැරුවේ ජනේලේ වහන්න.කලිසම ඉරිලා වෙච්ච සීන් එකක් තියේ මටත් . වෙසක් බලන්න ගිහින් රෑ.ඊට පස්සේ මොන වෙසක්ද .බයික් එකෙන් බැස්සේ නෑ බෝඩිමට එනකන් . මේ බ්ලොග් එකට අදමයි ආවේ . ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට ....

      මම හිතන්නේ ඔය ඔහොම බස් එකේ ගිහින් ඇහැරිලා බලනකොට කොන්ඩේ තිබ්බ හැටි වෙන්න ඇති ඔය ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන්නේ?

      Delete
    2. අපොයි නෑ,මේ මන් පොඩි කාලේ ගහපු ෆොටෝ එකක්.බ්ලොග් එක ලස්සනයි . දිගටම කරගෙන යන්න.ලස්සනට ලියනවා.අර ලේ දෙන සීන් නම් ආතල් .
      මටත් ඔය ලෙඩේ තියෙනවා . ලේ දිහා ගොඩක් වෙලා බලන් ඉන්න බෑ . අද වෙනකන් කලන්තේ දාල නම් නෑ. ඔලුව කැරකෙන්න පටන් ගන්නකොට වෙන පැත්තක් බලාගන්නවා .එතකොට හරියනවා .

      Delete
    3. එහෙමද.. එහෙනම් 'දෙමව්පියන්ගේ වැරද්දක් නැහැ... උපන් හැටි' කියල හිත හදාගන්න පුළුවන්! මරු... ස්තුති අගය කිරීමට

      ලේ දැන් දෙන සීන් ඔය හිතන් ඉන්නේ ඔතනින් ඉවරයි කියලද? හුහ්.... මේ ළඟක් වෙනකල්ම ඒවගේ අත්දැකීම්!!
      මම 'නම රැන්දු ජය කැන්දු' පොරක්!

      හුහ්.. ගොඩක් වෙලා? අනේ මට නම් දෙය්යන්ගේ පිහිටෙන් දකින්න ඕනෙත් නැහැ... අතක් කැපුන කියල ඇහුවත් ඇති 'ටිං ටොං ' කියල වදිනවා බෙල් එක!

      Delete
  15. ඔව් අප්පා . උපන් කැත තමා. මොනා කරන්නද ඉතින් . 'ටිං ටොං ' කියල බෙල් එක වදිනවා කීවේ ඉන්ටර්වල් එකට වෙන්ටැ? :)

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...