Monday, October 13, 2014

96. දෙන්නම්කෝ ලොක්කා.....

ලොක්කන් ගැන කතාකරනකොට කියන්නට ජාති නම් ගොඩක් තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ලොක්කන්ගෙන් නම් මට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැති හන්දා පොඩිකාලේ ඉඳන්ම ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා.

ඒත් මම පොඩිකාලේ ගැන අටෝරාශියක් කතන්දර කියල චොරවෙලා ඉන්න හන්ද , දැන් කියන්න යන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ රස්සාවට ආවම මට ලැබුණු ලොක්කන් ගැන. කැම්පස් එක ඇතුලේදීත් , ඉන්ටර්න් ඉන්නකොටත් ලැබුණ අත්දැකීම් නම් මිල කරන්න බැහැ.

මගේ පළවෙනි රස්සාවට මම ගියේ විසුළු ආකාරයට .

ඒ කියන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නියමිත ඉන්ඩස්ට්‍රියල් බේස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මම මගේ ටීම් එකේ පොරවල් එක්ක එක එක ආයතන වලට ගියා ප්‍රපෝසල් එකක් හදාගන්න. මොකද ප්‍රපෝසල් තුනක් ඉදිරිපත් කරලා, එතනින් එකක් තමයි කරන්න අවසර ලැබෙන්නේ.

ඉතින් ඔහොම ආයතන ගණනාවකට ගිහින් ඒ අතරින් තුනකට අදාළ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ඉදිරිපත් කරලා දැන් අපි තීරණේ කළා එකක් කරන්න. තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ගොඩක් රිසර්ච් කරලා කරන්න ඕනේ දෙයක්. මට ඔයවගේ දේවල් හරිම ආසයි. මොකද කවුරුත් කලින් කරලම නැහැ. මම දැන් වලිගෙ විකාගෙන මේ ගැන හොයනවා. නෙට් එක පීරලා ඒ ගැන කියෝනව.





ටීම් එකේ අනිත් උන් හතර දෙනා වගේම මමත් ටිකක් විතර ලොස්ට් වෙලා ඉන්නකොට මගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා ඒ ප්‍රපෝසල් එක ගත්ත කොම්පැනියේ ටෙක්නිකල් පොරට මේල් එකක් දැම්ම. දාල විනාඩි තුනක් නෑ උත්තරයක් ආව. මම කලේ Yahoo චැට් එකට ඒ පොරව ඇඩ් කරපු එකයි. දැන් මම මේ ගැන චැට් එකේ විස්තර අහනවා, දවස් කීපයක් ඒ කම්පනියටත් ගියා උදව් ගන්න.

කොහොමින් කොහොමහරි මට වැඩේ අල්ලලා ගියාට ප්‍රොජෙක්ට් එකට A + එකක් ගැනිල්ල ගැනම හිතපු අපේ ටීම් එකේ අනිත් උන් එක හෙලාම කිව්වා මේ ප්‍රොජෙක්ට් එක කරන්නම බෑ , නාන්න වෙන්නේ කියල. මොකද ඒ වෙනකොට අපි සාගරේ මැද්දේ අතෑරපු කොල්ලෑ වක් විතරක් ඇති පාරුවක් වගේ වෙලා හින්ද. කොහොමහරි අකමැත්තෙන් උනත් මට වැඩේ අතෑරලා වෙන එකක් කරන්න උනා. ඕක අර ටෙක්නිකල් පොරට කිව්වෙත් මම, මිනිහ මගෙත් එක්ක ෂේප් හින්ද.

ඔය මිත්‍රකම හරිම ප්‍රොෆෙෂනල් මට්ටමෙන් තිබ්බත් මගේ තියෙන නැහැදිච්චකමට ඉඳල හිටලා මම ඒ පොර එක්ක චැට් කරනකොට විහිලුත් කරනවා. මිනිහා ඇත්තටම 'බෝන් ටැලන්ටඩ්' පොරක්, ඒ වගේම මේ කියන කාලේ වෙනකොටත් මේ දැවැන්ත මෘදුකාංග සමාගමේ ආරම්භක සාමාජිකයෙක්.

ඔහොම ගිහින්, අපි අවුට් වෙන්න ලංවෙනකොට , සුපුරුදු විදියට ඉන්ඩස්ට්‍රි එකෙන් අපිට පෝලිමට ඉන්ටවිව් වලට කතාකරනවා. මේ වෙනකොට ෆයිනල් එග්සෑම් පවත්වන්න සුදානම. මම නිකමට වගේ අර පොරට, ( දැන් පොර පොර කියන්න බැහැ , අපි කියමු සොහාන් කියල) චැට් කරලා කිව්වා අපි පාස් අවුට් වෙන්නයි හදන්නේ කියල. මිනිහ මගේ සීවී එක ඉල්ලුව. මමත් ඔහේ දැම්ම. තවත් බැචාලගේ ඒවාත් උන්ගෙන් ඉල්ලලා දැම්ම. මෙන්න බොලේ දවසින් මට ඉන්ටවිව් කතාකලා. ඉන්ටවිව් ගියා.... තුන්දෙනෙක් එකපෙළට ඉඳගෙන කොටාගෙන කොටාගෙන ගියා... සොහානුත් ඒ අතරේ හිටියා... මම දන්නා වැඩ දාල යන්තම් පණකෙන්ද බේරාගෙන ආව.



ෆයිනල් ඒගසෑම් ඉවරවෙන දවසේ... අප්‍රේල් 1 වෙනිදා මම එක්ක චැට් කරපු සොහාන් කියාපි මට ජොබ් එකට එන්න කියල අප්‍රේල් 5 ඉඳන්! දැන් මම හොල්මන්... අඩේ මේක අප්‍රේල් පළවෙනිදා විහිලුවක්ද? මම දැන් ප්‍රොෆෙෂනල් ටෝක් දාගෙන හිටියට හිටපු ගමන් ගොන් ආතල් දීල තියෙන හින්ද අහන්නත් බයයි මේක විහිලුවක්ද කියල... හෙහ්...

අන්තිමට හිතාගත්ත මගේ තියෙන මාර ටැලන්ට් එක හින්ද මාව විතරක් මුන් තෝරාගෙන කියල හිත , බඩ , කට ඔක්කොම උදුම්මවාගෙන අප්‍රේල් 5 වෙනිදා ඉඳන් වැඩට ගියපු එකයි... ආ... බයවෙන්න දෙයක් නෑ , උන් ඇත්තටම මාව රස්සාවට අරං තිබ්බ! ඔන්න මගේ පළවෙනි රස්සාව!!!

මේ රස්සාවට ආපු දවසෙම මම ගොන් බාස් වැඩක් කරලා චාටර් වෙලා උන්නු හින්ද මම මුළු කම්පනියේම ප්‍රසිද්ධ චරිතයක් උනා. ඒවාට තමයි හලෝ ටැලන්ට් කියන්නේ.. නැත්තන් ඉතින් මම වැඩකරලා පෙන්නලා ප්‍රසිද්ධ වෙන්නද ඈ ?

මගේ පළවෙනි බොස්...



ඇත්තටම මට තාමත් ප්‍රශ්නයක් ඌට මාව දිරෙව්වෙ නැත්තේ ඇයි කියල. මට දුන්නේ අලුත් දේවල් ඉම්ප්ලිමෙන්ට් කිරිල්ලක් වගේ වැඩක්. හැබැයි බොසා විසින් කෙලින්ම වැඩ පවරනවට වඩා මම කලේ වැඩ හිත හිත කරන එක. ඒ කියන්නේ පලවෙනි දවසේ කරපු විදියට නැතුව, දෙවැනි දවසේ අලුත් ක්‍රමයක් හොයනවා .ඊට පස්සේ දවසේ ඊටත් හාත්පසින් වෙනස් දෙයක් කරනවා. හරියට කෝම්පිට්ටු වලට වැඩදානවා වගේ ජොලියක් මට දැනුනේ. මගේ බොසා අර සොහාන් නොවුනත් කම්පනිය ඇතුලෙදි මුණගැහෙනකොට මම මුනට විහිළු කලේ නැති උනත්, චැට් එකේ බයිට් කරනවා ( හෙක්... අන්තිමට බලනකොට බයිට් වෙලා තිබ්බේ මම... )

ඔහොම ගත වෙනකොට මට වැඩදෙන බොසා මගෙත් එක්ක පොඩ්ඩක් විතර නොරොක් බව මට තේරුණා. මට හොයාගන්න බැහැ මොකද කියල, මොකද කියනවා නම් මම දෙන වැඩ නම් වරද්දන්නෙ නැතුව කරනවා. හැබැයි මට තේරුණ දෙයක් තමයි, මේ බොසා මගේ මුණට යමක් කියන්නේ නැහැ. මට පේන්න බැරි ගතිගුණයක් තමයි මුණට නොකියා තැන් තැන් වල කිය කියා යන එක. මගේ බොසාට වඩා පවර්ස් තිබ්බ කෙනෙක් තමයි සොහාන්. සොහාන්ට පුදුම බයක් මගේ බොසා. ඇත්තටම මගේ මැටි මොලේට ඒ දවස්වල තෙරුනෙම නැහැ ඒ ඇයි කියල.

මේ අතරේ මගේ රිසර්ච් වැඩ වලින් ලොකු ප්‍රථිපල ටිකක් ලැබුන හින්ද, ටික ටික මගේ වැඩ කොටස වැඩි උනා වගේම තව කට්ටියව ගත්තා මේ වැඩවලට. මම කොහොමත් කොඩින් වලට ( මෘදුකාංග වල code කෙටිල්ල) ඒ දවස්වල පුදුම ආසාවක්. කෝඩ් එකක් මැද්දට වැටුනම, කෑම බිම වත් මතක නැහැ මට. මේසේ හපාගෙන වලිගෙ නවාගෙන, කුළු හරක වගේ තමයි වැඩ. රිසර්ච් වලට ආස උනාට මේ වෙන්න යන වැඩෙන් මගේ කෝඩ් සිහිනය බිඳවැටෙනවා කියල මගේ ඔලුවේ ඉන්න එකා රතු එළියක් පත්තු කළා. ඒ වගේම මුනට කිසිත් නොකියන බොසාගේ ගතිය හින්ද මම දවසින් තීරණයක් අරගත්තා... මම එතනින් අස්වුණා.. සොහාන්ට විතරක් ඇත්තම හේතුව කිව්වා. සොහාන් සද්දයක් නැතුව අහන් හිටියා.

මගේ බොසා ගෙන් මම ඉගෙන ගත්ත කාරණයක් තමයි - තමන්ගේ ටීම් එකත් එක්ක ට්‍රාන්ස්පේරන්සි තියාගන්න...
සොහාන්ගෙන් ඉගෙන ගත්ත -  හොඳ සවන්දෙන්නක් වෙන්න



ඔහොම යනකොට මගේ ජිවිතයේ ඊළඟ ලොකුම බලපෑම ( අදටත්) කරපු බොසෙක් මට මුණගැහෙනවා. ඒ තමයි... Idle Thoughts ලියන 'බිමල් ගුණපාල'. ඔහුට අපි ආදරේට කිව්වේ ඩොට් ගුණේ කියල. ඇත්තම කියනවා නම්, මම අද බ්ලොග් ලියන්නේ ඔහු හින්ද, ඔහුගේ බ්ලොග් එක බලලා ගොන් කොමෙන්ටු දදා ඉඳල, අහම්බෙන් ඒ කොමෙන්ටු අතර තිබ්බ හෙන්රිගේ කොමෙන්ටුවකින්, ඔහුගේ බ්ලොග් එකට ගිහින් තමයි මෙහෙම දෙයක් උනේ. ( හෙක්.. තාම ඩොට් ගුනේ නම් දන්නෙත් නැහැ මම සිංහල බ්ලොග් ලියනවා කියල)

බිමල් කියන්නේ ඇත්තටම පුදුම නායකයෙක්, පුදුම බොස් කෙනෙක්. නායකයෙක්ට තියෙන්න ඕනේ මේ වගේ ලක්ෂණ කියල මාව හිතන්න පෙළඹෙව්වේ බිමල්. චරිත ස්වභාවයෙන් නිරහංකාර, සැහැල්ලු, මෘදු කෙනෙක් උන බිමල් මෙතෙක් නායකයෙක්ට අත්‍යවශ්‍යයි කියල හිතන් හිටපු සෘජු, දැඩි ගතිගුණ ගැන විස්වාසය තියපු මාව හිටි තැනම ගල් කෙරෙව්වා.. ඒ කියන්නේ ඔහු ඉතාම හොඳ සුහදත්වයක් එක්ක හිටපු හින්ද කොයි වෙලෙත් ඕනෙම දෙයක් ඇති සැටියෙන් ඔහුට කියන්න මාව යොමු කෙරෙව්වා. පොඩ්ඩ ඇත්තම් පුපුරා හැලෙන ගතියක් තිබ්බ මගේ චරිත ස්වභාවය හින්ද, මාව 'නියම' නායකයෙක් වෙන්න තාම සුහුඹුල් බව ඔහු මට ඉගැන්නුවා. ඒ එකක්වත් වචනයෙන් කියපුව නෙවෙයි, ක්‍රියාවෙන් පෙන්නුවා.

ඔහුගේ බ්ලොග් එක මම කියෙව්වේ පුදුම ආසාවෙන්, ලියන්නේ හරි ලස්සන ඉංග්‍රීසි, ඔහුත් ඒ වගේම සුන්දර මනුස්සයෙක්!

මගේ තියරියට අනුව නම්, මම මැරෙන්න වැටිලා උන්නත්, ඔහු කිව්වොත් ඕනේ වැඩක් කරලා දෙයි! මේ මොනවා කලත්, ස්තුතියකින් එහාට ගිය යමක් තිබ්බා නම්, මගේ වාර්ෂික ඇගයීමේදී පඩි වැඩිකිරිල්ලට විතරක් වෙන්න ඇති. බොරුවක් කියනවා නෙවෙයි, මගේ ජීවිතයේදී මට ලැබිල තියෙන ලොකුම පඩි වැඩිකිරිල්ල ලැබුනේ මම බිමල් යටතේ වැඩකරනකොට. මම අදටත් විස්වාස කරන්නේ එහෙම උනේ මගේ දක්ෂකමට වඩා, මගෙන් වැඩ ගැනිල්ලේදී ඔහු දක්වපු දක්ෂතාවය කියල. හැබැයි, කවදාවත් ඔහු කාටවත් ෆේවර් කළා කියල කම්පනියේ 'කිසිම' දවසක 'නිකමටවත්' කාගෙන් වත් කතාවක් අහල නැහැ. අඩුම තරමේ ලන්ච් වෙලාවේදී වත් එහෙම කසුකුසුවක් ඇහිලා නැහැ. අදටත් මම බිමල් දැන් ඉන්න ඔෆිස් පැත්තේ ගියොත්, ඔහුට කතා කරලා ලන්ච් වලට ඉන්වයිට් කරනවාමයි! මොකද, ඔහු මගේ හොඳ මිත්‍රයෙක්! ඇස් පාදපු අයෙක්!



තවත් කොම්පනියකදී, මට හමුවෙනවා 'විජේ' කියල බොසෙක්ව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම මගේ ජිවිතයේ දැකල තියෙන 'මෝඩම බොසා' තමයි විජේ කියන්නේ... සමාවෙන්න විජේ.. මම සැර පුළුවන් තරම් බාල කරලා කිව්වේ, දන්නවා ඇතිනේ කොල්ලෙක් කිව්වා නම් මොකද්ද පාවිච්චි කරන වචනේ කියල?

විජේ කියන්නේ දෙමළ කෙනෙක් උනත් කවදාවත් දෙමල කතාකරනවා මම අහල නැහැ, කොටින්ම මීටින් , ටෙක්නිකල් කතාබහ වලදී ඇරෙන්න විජේගේ කටහඬ අහලත් නෑ. ටෙක්නිකල් ඉංජිනේරුවෝ 30 කටත් වඩා සංඛ්‍යාවක් පාලනය කරපු නන්-ටෙක්නිකල් බොසෙක් හින්දම විතරක් නෙවෙයි, ඔහුගේ වහල් පරිකල්පනය හින්දම ඔහු යටතේ හිටපු කිසි කෙනෙක් ( එකෙක් ඇරෙන්න) සතුටින් නොතියා ඉන්න ඔහු දක්ෂ උනා. අර එක්කෙනා නේද? ආ.. ඔහු තමයි අපි 29 දෙනා කරන කියන ජාති ගැන විජේට කේලම් කිව්වේ. නෑ .. නෑ ... ඒ එක්කෙනා ස්ත්‍රී රත්නයක් නෙවෙයි, පුරුෂ රත්නයක්! බොසෙක්ට තියෙන්න පුළුවන් නරකම ගතියක් තමයි කේලම් අහන එක කියල මම අත්දුටුවේ විජේ හින්ද. කොතරම් දරුණුද කියනවා නම්, ඉතා දක්ෂ ඉංජිනේරුවන් රැසක් කලකිරිලා ඉවත් වෙලා ගියා ( මමත් ඇතුළුව..... ! ඔව් වොව්... මමත් ඉතා දක්ෂ තමයි... අනේද කියන්නේ... ) කේලම් කියන්න නම් කොතනත් කට්ටිය ඉන්නවා නේ, ඒත් ඒ කේලම් පදනම් කරගෙන උපකල්පන වලින් වැඩ කරන්න ගියාම වෙන්නේ තමනුත් අගාධෙට වැටෙන ගමන්, තවත් රැසක් අගාධෙට තල්ලු කරන එක....

අන්න බොසාලා !!! යන එකේ කොරහත් බිදගෙනම යාම!




තව ලියන්න ගියොත් ඉවරයක් නෑ...

මේ දෙන්නා මට ගොඩක් දේවල් කියල දුන්නා. එක්කෙනෙක් සාර්ථක වෙලාත්, අනිත් කෙනා අසාර්ථක වෙලාත් මට උගන්නපු පාඩම් නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඒ වගේම... මම ඉන්ටර්න් කරන කාලේ මට හිටපු බොසා ගැනත් ලියන්න ඕනේ. මේකේ ලියන්න බෑ... දිග වැඩියි, බොරින් නේ??

මෙහෙම ලිව්වේ.... අද උදේ හිතුනා මම මෙහෙම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කොහොමද කියල... බලනකොට බිමල් හින්ද... හික්... අදටත් ඔහු දන්නේ නැහැ මෙව්වා!

ඊළඟ කොටස 

39 comments:

  1. ඕ යේස්... මම එක

    ReplyDelete
    Replies
    1. මමත් සෑහෙන දේවල් ඉගෙනගත්තේ මගේ පලවෙනි ජොබ කරපු තැන බෝසාගෙන්. ඔය සොෆ්ට්වෙයාර් කොම්පැනි කෑල්ලක තමා මමත් වැඩ කොලේ. මම රිපෝර්ට් කරපු බොසා මෙලෝ ටෙක්නිකල් දෙයක් දැනං හිටියේ නෑ. පොර හිටියේ මාර්කටින්, හැබැයි මුළු ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකම හැඩල් කලේ පොර. මෑන් වැඩේ කෙරෙන්න ඕනේ විදිය නියමෙටම ඔලුවටම දුන්නා. අදටත් මට ඒ උගන්නපු දේවල් වල ප්‍රොයෝජන තියෙනවා. අන්න බොස්ලා...!!!

      Delete
    2. අන්න මම ගොඩක් අගය කරන ගතියක්, බොසෙක්ගේ! තමුන් සබ්ජෙක්ට් එක නොදැන උනත් යට ඉන්න උන්ගෙන් වැඩ ගන්න ඇති හැකියාව! බිමල් මගේ බොස් උනාට, ඇත්තටම මගේ ටෙක්නිකල් සයිඩ් එක දන්නේ වෙන කෙනෙක්. ඒත් ඔහු දන්නවා වැඩේ කරවගන්න... ඒ අතින් ඔහු විශිෂ්ටයි! මම ඒ ඉගෙන ගත්ත පාඩම, අද.. මේ මොහොතේ පාවිච්චි කරනවා මට වඩා වෙනස් ටෙක්නොලොජි එකකින් වැඩකරන ගොඩ දෙනෙක් හසුරුවන්න කිසිම අවුලක් නැතුවම!

      Delete
  2. ඇයි දෙවනි තැනින් අයින් වුණේ..?

    ReplyDelete
    Replies
    1. හි.. හි... මගේ රෙසියුම් එක බලන හැමෝම වගේ අහන ප්‍රශ්නයක් ඕක... හෙහ්.. අපේ පවුලේ කට්ටිය රට ගියා. ඉතින් මටත් ඒ එක්ක යන්න සිද්ධ උනා. වලක්වන්න බැරි හේතුවක් හින්ද ආපහු එන්නත් උනා. නැත්තම් මම ඊට වඩා වැඩි කාලයක් ඒ කම්පනියේ රැඳෙන්න ඉඩ තිබ්බ. 'ඊට වඩා වැඩි' කියල කිව්වේ... මම ගොඩාරියක් කාලයක් තිස්සේ එකම කම්පනියේ රැඳෙන්නේ 'අඩුවෙන්' හින්ද. මගේ ඉලක්කයන් වලට කම්පනිය ඇතුලෙදි යන්න බැරි නම්, මම අස්වෙනවා කිසිම පැකිලීමක් නැතුව. බොරුවට කම්පැනි එකට දෙස් දෙවොල් තියන සිරිතක් මගේ නැහැ. මම හිතන්නේ මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්න නේද?

      Delete
    2. පැහැදිලිවම උත්තරේ දුන්නා.. :D සාමාන්‍යයෙන් බොස්ලා ඕනතරම් හිටියට නායකත්වයක් නියම විදියට දරන්න පුළුවන් බොස්ලා බොහොම දුර්ලභ නිසා එහෙම අහන්න හිතුණේ..
      // මගේ ඉලක්කයන් වලට කම්පනිය ඇතුලෙදි යන්න බැරි නම්, මම අස්වෙනවා කිසිම පැකිලීමක් නැතුව. බොරුවට කම්පැනි එකට දෙස් දෙවොල් තියන සිරිතක් මගේ නැහැ. //
      100% ක් එකඟයි මේ කතාවට..

      Delete
    3. අනිත් එක : මම බොස් හොඳ උන පළියට විතරක් රස්සාවක බින්න බහින්නේ නැහැ. මුල්ම ප්‍රධානම කාරණේ, කරන වැඩ මම ආසාවෙන් කරන තැනක් වීම, බිමල් අද වැඩ කරන්නේ වෙන තැනක. මම ඔහුව හඹාගෙන ඒ කම්පනියට යන්න කවදාවත් උත්සහ කරලා නැහැ. නමුත් ඕනෙම වෙලාවක මාව රෙකමන්ඩ් කරන්න ඔහු පැකිලෙන්නේ නැති බව ඔහු මට ඔප්පු කළා.

      අහ් .. ඇත්තටම මම ලියන්න හිතාගෙනම හිටපු බොස්ලා කීප දෙනෙක් මට අමතක උනා. මම රට ගිහින් වැඩකරපු තැන බොස්ලා සහ සගයෝ.. ඔව්.. උ ගැන ලියන්නම් මම ඊළඟ පොස්ටුවේ... ඇත්තටම ලියල තියන්න වටිනා මිනිස්සු !

      Delete
    4. \\\ අහ් .. ඇත්තටම මම ලියන්න හිතාගෙනම හිටපු බොස්ලා කීප දෙනෙක් මට අමතක උනා. මම රට ගිහින් වැඩකරපු තැන බොස්ලා සහ සගයෝ.. ඔව්.. උ ගැන ලියන්නම් මම ඊළඟ පොස්ටුවේ... \\\


      හුටා..ඔන්න මෙයා ඒ පාර රට ගිය විත්ති ලියන්න හන්දනවා....ඔහෙත් එක්ක බැහැ...

      Delete
    5. // මම බොස් හොඳ උන පළියට විතරක් රස්සාවක බින්න බහින්නේ නැහැ. මුල්ම ප්‍රධානම කාරණේ, කරන වැඩ මම ආසාවෙන් කරන තැනක් වීම // ඇත්ත.. තමන් අකමැති රස්සාවක් අකමැත්තෙන් කරන එක තමන්ටයි, ඒ ආයතනයයි දෙගොල්ලන්ටම කරන අසාධාරණයක්..

      // හුටා..ඔන්න මෙයා ඒ පාර රට ගිය විත්ති ලියන්න හන්දනවා....ඔහෙත් එක්ක බැහැ... // :D

      Delete
  3. ජීවිතේට අත්දැකීම් ගන්න මිනිස්සු එක්ක ගැටෙන්නම ඕනා, මිනිස්සු තේරුම් ගන්න මිනිස්සු අතරට යන්න ඕනා, දන්නවද අර කළු නැති යකා කව්ද කියලා?, අන්න ඒ කියන තරම් යකාලා වගේ තමා මිනිස්සුත්. :D, මිනිසුන් අතර හිටියම අම්මෝ ගන්න තියෙන වගේම විසුක්කා කරන්න තියෙන ජාති.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අතරට ගියත්, තමුන්ගේ ඔලුවත් ආරක්ෂා කරගෙන, කාගේවත් අතකොළුවක් නොවී, කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඉගෙන ගන්න එක සමහර වෙලාවට මම ප්‍රේක්ෂකාගාරේ ඉඳන් ඉගෙන ගත්ත පාඩම් වලින් තමයි ගොඩදාගන්නේ... කලිනුත් මේ ගැන මම ලියලා ඇති..

      Delete
  4. ප්‍රධානියෙක් වෙන්න පුළුවන් නායකයෙක් වෙන්න අමාරුයි කියනවනේ, ඇත්තටම හොන බොස් කියන්නේ තමන්ට නොදැනුවත්වම තමන්ගෙන් උපරිමය ගන්න පුළුවන් කෙනෙකුටයි , අනික තමයි හොඳ බොස් ගාව කොහොමටවත් කුහක කම, ඉරිසියාව නෑ. මොකද සමහර බොස්ලා බයයි මේකා මෙහෙම ගියොත් වැඩ පෙන්නුවොත් කවදා හරි මට කෙලවෙයි කියලා . අන්න ඒ ගතිය නැති කෙනෙක් ළඟ වැඩ කරන්න ලැබෙනවා කියන්නේම වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සු දැන් හරි අඩුයි ඉවාන්. ඇත්තටම මම වාසනාවන්ත උනා එහෙම අඩුවෙන් මුණගැහෙන මිනිස්සු එක්ක මගේ මුල්ම කාලේ වැඩකරන්න ලැබුණු එක ගැන. දැන් එහෙම මිනිස්සු අඩුම තරමේ දකින්නවත් නැහැ. ඒක අලුතෙන් එන අයට ලොකු පාඩුවක්.

      Delete
  5. අම්මෝ බොස්ලා.... පස්සෙ වෙලාවක පෝස්ට් එකක්ම ලියන්න වෙනව... හි හි....

    හොඳම එකා තමයි අපේ කැපා... ආයිත් කිය කිය ඉන්නෙ නෑ... එයාම කරල දානව වැඩේ.. අනිත් හොරුන්ටත් ඉතිං බලං ඉන්න බැරි හින්ද වැඩේ කරන්න වෙනව... හි හි

    ReplyDelete
    Replies
    1. කැපා කිව්වේ? පොඩ්ඩක් අර්ථය පැහැදිලි වනසේ වාක්‍ය තනලා පෙන්නන්නකො... හෙක්... ඉස්සර සිංහල පොතේ මම ආසම වර්ගයේ අභ්‍යාසය!! මමත් බලන් ඉන්න බැරි තැන වැඩේ කරන කෙනෙක්, නමුත් මට නම් වෙලා තියෙන්නේ එතකොට අනිත් වටේ ඉන්න උන් අත්දෙක බැඳගෙන මට උපදෙස් දෙන්න පටන් ගන්න එකයි. ඊයෙත් ඒ වගේ වැඩක් උනා.. මට ආපු හිනාව මම කට ඇතුලේ තියන් හිටිය..

      Delete
  6. අර 29ක් අතර හිටපු එකා ඉන්නවා නේද? දැන් ඒකට වෙලා තියෙන්නේ මොනවද කියල හොයල බලන්න.
    මම මේ දවස්වල අත්දකිනවා ඔය වගේ එකෙකුගේ අන්තිම කාලේ ගතකරන් විදිහ. නියම දුක්ඛාන්ත නාට්‍යයක්.
    අර දිට්ටදම්ම වේදනීය කර්මය හොඳට බලාගන්න පුළුවන්. අනිත් එවුන් ඔක්කොම අමාරුවේ දාල කරගත්තු දෙයකුත් නැහැ. මේකාගේ හැටි මේ වෙනකොට ඔක්කොම දන්නා හන්ද ලොක්කෝ ගණන් ගන්නෙත් නැහැ. පොඩි උන්ට පෙන්න්නත් බැහැ. යාලුවෙක් ඇත්තෙත් නැහැ. තිනි වෙලා මානසික වැටිලා ලෙඩ වෙලා.
    අයියෝ සංසාරේ කිව්වලු.
    අවසානේ එක හන්දම අමාරුවේ වැටුණු දෙතුන් දෙනෙක් විතරයි පිහිටට ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ජිවන... ඌ දැන් ඕස්ට්‍රේලියන් කැන්ගරුවෙක් වෙලා රටින් පිටමන් වෙලා. මම හිතන්න ඉන්න තැනක ගානට කේලමක් කියාගෙන, ලංකාවේ අනිත් උන්ගේත් සායම ඇරගෙන ඇති කිසි අවුලක් නැතුව. අනේ වාසනාවන්!

      ඔහොම වෙන්න නම් ජිවිත කාලේ ටිකක් දිග වෙන්න ඕනේ මම හිතන්නේ. මගේ ඉස්කෝල කාලේ එහෙම උන් නම් දැන් තමයි විඳවන්නේ. මම කියපු එකාට තව කල් තියෙනවා.

      අවසන් වැකිය නම් ඇත්තම ඇත්ත! මම කියන්නම්කො ඇත්තම කතාවක් ඒ ගැන වෙලාවක

      Delete
  7. ආපෝ බොස්ලයි බොසාලට කේළම් කියන කාළකණ්නි ගොටු කාරයොයි ගැන නම් මට මතක් කරත්දිත් හිතට එන්නෙ පුදුමාකාර කේන්තියක්!

    ReplyDelete
    Replies
    1. අනේ ගණන් ගන්න එපා අනේ.... සමහර බොස්ලට හුස්ම ගන්න බැහැ ඒ ජාතියේ උන් ඔෆිස් එකේ නැත්තම්. පව්නේ ඒ බොස්ලා...? සමහරු ඇත්තටම දන්නෙත් නැහැ එයාල බොසාට කේලම් කියනවා කියල, උන් හිතන්නේ බොස් ඌ එක්ක මාර ෆිට් කියල. ඒ වගේ උන් නම් පව්, මොකද වෙලාව ආවම සමහර බොස්ලා ඌටත් වැඩේ දෙනවා අර විදියටම, අලුත් එකෙක් පත්කරගන්න.

      Delete
  8. බ්ලචස්...
    අයි හේට් බොස්ල...
    දෙපාරයි බොස්ල යටතෙ වැඩ කලේ
    එකෙට්ට හොම්බ රිවට් වෙන්න නොගහ ආවෙ අමාරුවෙන් අනිකට නං ජාතියත් අමතල ආවෙ...
    සෙද්ද බොස් සට පේන්න බැ

    ReplyDelete
    Replies
    1. අයි ලයික් මයි බොස්...

      මොකද මම උන්ගෙන් පොස්ටිටිව් නෙගටිව් හැමදේම ඉගෙන ගත්ත. උන්ට වරදිනකොට මම ඉගෙනගන්නවා. මට හානියක් නැතුවම සමහර දේවල් බලන් ඉඳන් ඉගෙනගන්න පුළුවන් උනා. උන් මගේ ලැබ් මීයෝ !!

      Delete
  9. මටත් ඉන්නවා ඔය වගේ හොඳ බොසෙක් . දැන් නම් කාලෙකින් හම්බ වුනේ නෑ .. වැඩට වගේම වැඩ ගන්නත් දක්ෂයි . අපි හිටපු කොම්පැනියෙන් අයින් වෙන්න ඉන්ටර්විව් යද්දී පොරට කියල යන්නේ .. මිනිහ ෆුල් සපෝර්ට් .. ඒ කියන්නේ අපිව යවන්න ඕනේ නිසා නෙවෙයි අපිට හොඳ අත්දැකීම් දෙන්න . එයා කියන්නේ මේ සොෆ්ට්වෙයාර් ජොබ් කරන අය නිතරම අප්ටුඩෙට් ඉන්න ඕනේ ඉන්ටර්විව් ගියාම තමන්ගේ තරම මැන ගන්න පුළුවන් කියල .. හෙහ් හෙහ්

    අනිත් එක බොහොම නිහතමානි විදියට හැමෝම එකම මට්ටමේ සැලකුවේ . කවුරුත් ලොකුත් නෑ .. පොඩිත් නෑ ..

    මට මේ පොස්ට් වල තියෙන සමහර මාන්දමික දේවල් දැක්කම හිතුන ෂුවර් එකට රෑට රෑට හීනෙන් ෆෝ ලුප් වල කැරකෙන චරිතයක් වෙන්න ඇති කියල ... කිරි ගහට ඇන්න වගේ හරි ... හෙහ් හෙහ්

    මට නම් දැන් කෝඩ් උණ හොඳ වෙලා .. දැන් වස කම්මැලියි මොකක් හරි කොටා ගන්න .. :(





    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන් පැතුම්... එහෙම එකෙක්ගෙන් කොතරම් දේවල් ඉගෙනගන්න පුලුවන්ද නේද?
      හෑ ... මාන්දමික කිව්වා? හේ... මගෙන් අහගන්න එපා හරිද? කෝඩ් වලින් බනින්නේ හරිද? Exception පනින්න දෙන්නේ... හුහ්...

      මම කෝඩ් වලින් සමුගත්තේ මුල්ම කාලේ, මගේ හිටපු බොස්ලාගේ හොඳකම කොතරම්ද කියනවා නම්.. උන් මගේ ටැලන්ට් එක තියෙන්නේ ඇත්තටම මැනේජ්මන්ට් වල කියල තේරුම් අරන් වැඩකලා. පළවෙනි ජොබ් එකෙන් පස්සේ ඉඳන්ම මම ටීම් ලීඩ් කෙනෙක් උනේ අන්න එහෙම. ඒත් ටෙක්නිකලි සවුන්ඩ්..

      Delete
  10. මටත් කොහොමත් ඔය බොස්ලා කියන ජාතිය පොඩ්ඩක් දිරවනවා මදි. වැඩියෙන්ම මල පැනලා තියෙන්නේ බොසියෝ එක්ක! කලින් මම part time කරපු තැනක බොසියක් හිටියා. අන්තිමට මම එද්දී සුද්ධ සිංහලෙන්ම කියලා ආවේ,

    ReplyDelete
    Replies
    1. හි.. හි... ගැහැනුන් තමුන්ගේ බොසා උනහම 'ගොඩක්' පිරිමින්ට දරන්න අමාරුයි. මමත් ඔහොම හිතන කොල්ලොන්ට බොසා වෙලා ඉඳල තියෙන හින්ද කියන්නේ... මට නම් කවදාවත් කිසිම පිරිමියෙක් උන්ගේ බොසා උනා කියල බැනල නැහැ. ඒ මම හැන්ඩ්ල් කරන විදිය වෙනස් නිසා. මගේ බොසාලගෙන් මම ඉගෙන ගත්ත හැම ටෙක්නික් එකක්ම මම පාවිච්චි කරනවා. ඒත් ඇත්තටම සමහර බොසිලා කමාන්ඩින් වැඩියි. එතකොට නම් කේස් ඇත්තටම.....

      Delete
    2. අපෝ දරාගන්න අමාරුයි කියන්නේ ඒ කාන්තා පරානේ ගේ හිතේ IT කියන්නේ ලෝකේ අනිත් පැත්ත උනත් පෙරලන්න පුළුවන් මැජික් එකක් කියලා.
      එක දවසක් මම පැහැදිලි කරපුවහම අපි windows වලට හදපු system එකක් ඒ විදිහටම Linux platform එකකට දාන්න බෑ කියලා මගේ ඇඟට කඩා පනින්න එනවා "ඇයි හදන වෙලාවෙම එහෙම හදන්න එපැයි" කියලා! මොනවා කියන්නද ඉතිං!

      Delete
  11. මටත් කෙල කෝටියක් විතර බොස්ලයි ජබොස් ලයි උන්නා.. මම එදත් අදත් හෙටත් අදහන එකම දේ..

    බොස් ඉස් ඕල්වේස් රයිට්...

    ReplyDelete
    Replies
    1. හෙක්... බොස් මක් කිව්වා?

      මාතලන් .... මම තරම් බොසත් එක්ක එකට එක කියන කෙනෙක් කිසිම කොම්පනියක හිටියේ නැහැ. ඒ උනාට අර උඩින් කිව්වා විජේ එක්ක නම් නො තර්ක. මොකද ඌ මෝඩ බොසෙක් හින්ද. දැලිපිහියෙක් අතේ තියෙන වඳුරෙක් හින්ද... උගේ වැරද්දක් නැහැ.. ඌට පිහිය දීපු එකාගේ වැරැද්ද..

      Delete
  12. මටත් ඔපිස් එකේ කට්ටිය ලොක්කා කියලා කථාකරනවා...... චැහ් ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  13. බොස් කවුද යකෝ බොස්....

    අපේ කොල්ලො සෙට් එක ඒ දවස් වල මට කිව්වේ බොස් කියලා...
    අන්තිමට උන් නන්නත්තාර උනා... මං යන්තං ගොඩ ගියා..
    ඉතිං මං හොද බොස් කෙනෙක් නේද?????

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අන්න බොසල !!

      අනුගාමිකයෝ කොතරම් නරක උනත්, තමුන්ගේ ගමන යනවා.... ඔයත් හොඳ බොසෙක් තමයි

      Delete
  14. / අපි සාගරේ මැද්දේ අතෑරපු කොල්ලෑ වක් විතරක් ඇති පාරුවක් වගේ වෙලා හින්ද. /

    මොනවද බොල මේ උපහැරන? පාරු වලට කොහෙද කොල්ලෑවක්?

    මගෙ බොස්ලා ගැන මම අනන්ත ලියල තියනව බ්ලොග් එකේ....:)

    PS - Your writing style is brilliant!!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න රවී... ඔය වාක්‍ය ලියනකොට මම නතරවෙලා කල්පනා කළා. මොකද්ද කියල අර කොල්ලෑවක් එක්ක යන එක. ඇත්තමයි හලෝ දැනුත් මට වචනේ එන්නේ නැහැ... ඊට පස්සේ හිතුව
      "රවිය හරි හෙන්රියා හරි ආවොත් ඉවරයි.... පොඩි අකුරෙන් දාන්න ඕනේ... එක්කෝ උන් එන එකක් නැහැ.. උන්ට හම්බානක වැඩනේ... "

      පස්සේ ඔන්න ඔහේ කියල දැම්ම හෙක්.... කොහෙද 'ඔහෙත්' එක්ක බැහැ නොවැ ! ( මේ දවස්වල අර චෙෆාකියා මම කියන හැම එකකටම ඕක කියා කියා යනවා... හි.. හි..)

      ඔයාගේ බොසාල නම්... අනේ මන්ද.... ඔයාටම හරි යනවා!
      PS: Thanks a lot

      Delete
  15. අපිට ඉස් ඉස්සෙල්ලම හම්බඋනේ මහා මරුමුස් පොරක්. පොර එක්ක හිටිය කියන්නෙ වසවර්ති මාරයා එක්ක උනත් ඉන්න පන්නරේ ලැබුණා කියන එක. ඉතිං නරකද හා...?

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි. මගෙත් ඇත්තම මුල් බොසා මගේ ඉන්ටර්න්ෂිප් කරනකොට හිටපු එකා. ඌත් ඒ වගේ... ඒ උනාට ඉගෙන ගන්න දේවල් මහා ගොඩක් තිබ්බ. අදටත් ඌ කරපු දේවල් මගේ හිතේ තියෙනවා.

      Delete
  16. මගේ ජීවිතෙත් නියම බොසාලා සෙට් වෙලා තියෙනවා. ඉන් වඩාත් වැදගත් කෙනෙක් තමයි මැක් ෆිලිෆ්ස් කියන ලාංකිකයා. අන්දවන්න, රවට්ටන්න ලේසියෙන් බැහැ. හොඳ වැඩ කාරයෙක්. පර්ෆෙක්ට් වැඩියි. ඒත් ඒක අපිට පස්සේ ප්‍රයෝජනවත් වුනා. මමත් හරියට බොස්ලා එක්ක වාද විවාද කරගන්නවා. හැබැයි ඒවා එවලෙට විතරයි. මට හිටපු හැම බොසෙක් එක්කම වැඩ ඉවරවෙලා බොන්න සෙට් වෙනවා. ඒ අපේ ට්‍රේඩ් එකේ හැටි වෙන්න ඇති. හිටපු ඔක්කොම බොන්නෝ.

    ReplyDelete
    Replies
    1. මමත් බොස් ජබොස් මොනවත් බලන්නේ නැහැ ටෙක්නිකල් වැඩකදී, එකඟ නැත්තම් නැහැ කියල ඒ වෙලේම කියල තර්ක කරනවා. නම් බැරි බවත් හේතුත් කියනවා. සමහර බොසාලට ඕක දිරවන්නෙම නැහැ. පළවෙනි ජොබ් එකේදී වෙන්න ඇත්තෙත් ඕක තමයි. (මම අලුත් හින්ද) ඌ ටිකක් විතර ලොකු සීන් දීගෙන හිටපු එකෙක්. හැබැයි මගේ තිබ්බ අවුල තමයි 'ඩොන් පටෝන්' කියල පුපුරන් හැලෙන එක. ඒ කියන්නේ මල පනිනවා පොඩ්ඩ බැරි උන ගමන්. මම දැන් ඒ අඩුපාඩුව නම් හදාගෙන ගොඩක් දුරට.

      මගේ පරණ බොස්ලා ඔක්කොම මගේ චැට් එකේ ඉන්නවා. එයාල මගේ යාළුවො අදටත්. ඉඳල හිටලා බලන්න යනවා, එක්කෝ ලන්ච් වලට යනවා. මේ අරූ වගේ බොන්න පුලුවනෑ මට? ( මම බොන හැටි දැකල කලන්තේ - ජබර කලන්තේ හැදෙයි උන්ට) ඉස්සර නම් එතරම් ආශ්‍රයක් නැහැ, බයයි. දැන් එහෙම දැනෙන්නේ නැහැ.

      Delete
  17. I apologize for being late.

    ඔව්. බිමල්ගේ ඉංග්‍රීසි බ්ලොග් එක ලස්සන ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. කියවන්න ආසා හිතෙන. නමුත් ඒකා ලියන්නේ හාවා හඳ දකිනවා වගේනේ. බිමල් මෙහෙම චරිතයක් බව අදයි දැනගත්තේ. උපේක්ෂාගේ බොසෙක් ඈ?

    මට මෙතනදි ඔබන්න වෙනවා මම මේ වෙනකොට පෝස්ට් ගනනාවක කමෙන්ට් එකක් හැටියට ලියපු මම ජාලෙන් අහුලගත්ත මේ කමෙන්ට් එක. තරහා වෙන්න එපා. මේක මෙතනට ෂෝක් එකට ගැලපෙනවා.

    My boss is like a diaper
    Always on my ass
    And full of shit.

    මම හරි නේද?

    ReplyDelete
    Replies
    1. Good for you!

      බිමල් ගැන මට තව ලියන්න හිතයි, බිමල්ගේ චරිත ලක්ෂණ මම මේ කිව්වට වඩා දේවල් කියන්න පුළුවන්. නමුත් ඒක මම ඔහුට කරන අසාධාරණයක්. හි.. හි.. ඔව්.... හාවෙක් හඳ දකිනවට වඩා හොඳයි 'කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ' කියන එක. හික්.... මම ආස ඔහුගේ ඒ සැහැල්ලු චින්තන රටාවට.
      අපෝ මෙයාගේ ඩයපර් සින්දුව! කියන්න දෙයක් නැහැ, ඕක මගේ කලින් පොස්ටුවකටත් ඔබල තිබ්බ. මට හිටපු සමහර බොස්ලා ගැන නම් මේ කතාව බොරු... ඒ අය තමයි මාව පෝෂණය කරපු මුල්.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...