Thursday, October 2, 2014

92. ඇඩ්වෙන්චර් - නැද්ද හා?

අදත් උදේ පාන්දර 9ට විතර පාරට බැහැල, වෙනද යනවා වගේම මෙලෝ ගර්ලිෂ් ගතියක් නැතුව කඩාගෙන බිඳගෙන ඇවිදගෙන බස් එකට නගින්න කියල ආව. වෙනදට මාළුපාන් කන්න කැන්ටිමේ පොරකන ළමයි රොත්ත වගේ, පාර දිගේ දුවගෙන එන වාහන එකක්වත් නෑ ! ඒ මදිවට පාරෙන් එහාපැත්තෙ විරුද්ධ පැත්තට යන වාහන ටිකත් ඉද්ද ගැහුවා වගේ නතර කරලා.

"චැක් විතරක්! අදත් මුන්ට පාර්ලිමේන්තු! අම්මප මෙතරම් තාක්ෂණය දියුණු කාලේ, බැරිද බොලේ ඔය මහා ලොකු පාර්ලිමේන්තුව ස්කයිප් හරි, කොන් කෝල් එකකින් හරි කරලා ඉවරයක් කරන්න.... ඈ... ?

එහෙම මම කිව්වේ නෑ... හිතුව විතරයි හින්ද මගෙත් එක්ක හෝල්ට් එකේ උන්නු අනිත් උන් දන්නේ නෑ මම දේශද්‍රෝහියෙක් කියල! වෙලාවට

ඔන්න එතකොට නලා පිඹගෙන, දුන් දාගෙන , අහස ගොරෝනවා වගේ මහා කලබලයක් කරගෙන ගියා VIP කියන කාන්ඩේ එකෙක්. කවුරු ගියාද කියල කොහොම හොයන්නද? එක්කෝ සමහර වෙලාවට වටේ ගාඩ් එකවත් දන්නේ නැතුව ඇති ඇතුලේ කවුද යන්නේ කියල.... වටේ පිටේ මෙතෙක් වෙලා තමන්ගේ සියලු වැඩ අතපසු උන හින්ද, වෙන බලන්න දෙයක්, කරන්න දෙයක් නැති 'මම' වගේ උන් රොත්තම අර නලාකාරයෝ වටකරගෙන යන මේ අරුම පුදුම රතේ දිහා සීරුවෙන් බලන් ඉන්නවා....

මොකද එක අඩියක්වත් ඉස්සරහට ගත්තොත්.... වටෙන් යන බයිසිකල් ගාඩ් එකේ උන් එක්කෝ වෙඩි තියයි.. නැත්තම් පයින් අනිවී කියල හිතන හින්ද...



ඇත්තටම අපි ඔහොම යන රථ පෙළකට එකපාරක් හරි, 'බුක්' කියල පැන්නොත් මොකක් වෙයිද????

එහෙම කරපු එකෙක්ගෙන් ඇත්තටම කොමෙන්ටුවක් ගන්න විදියක් නැති වෙයි, මොකද එක්කෝ උන් ජිවතුන් අතර නැති හින්ද, නැත්තම් එහෙම කිසිම එකෙක් කරන්න හිතල නැති හින්ද....



ඇත්තම කියනවා නම්, මට ඔහොම කරන්න හිතිලා තියෙන වාර ගණන ඉසේ කෙස් පරාදයි!!!!

ඒ කියන්නේ...

ඕම හයිම හයි සෙකියුරිටි තියාගෙන යන රථ පෙළකට එකපාරටම 'බුක්' කියල පනින එක...

පැනල ඉවර වෙලා මෙහෙමත් කියන්න ඕනේ...
'හූ .. හූ ..... මම විහිළුවක් කලේ....'

එතකොට එයාල මාව අතාරියි නේද? මොකද විහිළුවක් කියන්නේ දඬුවම් ලැබියයුතු දෙයකුත් නෙවෙයි, ඒ වගේම මම කිසිම විදියකින් වැරද්දක් කරලත් නෑනේ?? නැද්ද හා ?

ඇත්තටම, මම මේ කියන්නේ සහතික ඇත්ත... මට ඔය වැඩේ කරන්න හිතිලා තියෙනවා අනෙක වාරයක්. ඔය වැඩේ විතරක් නෙවෙයි... මට ඔය වගේ තවත් වෙන ජාතියේ වැඩ කරන්න හිතිලා තියෙනවා.... එව්වට කියන්නේ ඇඩ්වෙන්චර් කිරීමේ ආසාව කියලා

පොඩිම පොඩි කාලේ....
උසම උස තාප්පයක් දැක්කම මට හිතිලා තියෙනවා....

රෑට හරි මහා දවල් හරි... උස තාප්පෙන් එහාට පනිනවා... වැඩකට නෙවෙයි අනේ... ජොලියට! අහු උනොත් කියනවා නිකං හිතිලා පැන්නේ කියල... එහෙම අහුඋනොත් උන් මොකද කරන්නේ? එකපාරටම වෙඩි තියන්නේ නැතුව ඇති නේ? නිකං පැන්න කිව්වම, 'ආ ඇත්තද?' අහල යන්න දෙයි නේ? මොකද ඇත්තම කාරණාව ඒකනේ !

මම මේ කියන්නේ ඇත්තම ඇත්ත...



මට හිතිලා තියෙනවා වාහන නතර කරන තියෙන තැනකට ගිහින්, නිකමට වාහනයක් අරගෙන බලන්න. ලොක් එක ඇරලා, පැදගෙන යනවා... අවුලක් නෑනේ..? ජොලියට නේ කරන්නේ... අයිතිකාරයා ආවම දෙනවා... සාධාරණයි නේ.. නැද්ද හා?

ඔය ආසාව මට වැඩිපුරම තිබ්බේ යුද්දේ තිබ්බ කාලේ.... එක පාරක් මම ක්‍රෙස්කැට් එක ගාව හිටන් ඉන්නකොට දුවගෙන ආපු හමුදාවේ එකෙක්, මාව කොහේදෝ ගේට්ටුවකින් ඇතුලට තල්ලු කරලා ගේට්ටුව වැහුව.... ඒ මදිවට මට කිව්වා ගේට් එක දිහාවට හැරෙන්නේ නැතුව, පිටුපාල හිටගන්න කියල. ඒ වෙනකොට මගෙත් එක්ක හිටපු එකාගේ කටට බයේ මිසක්.. ඇත්තටම මම හිත හිත හිටියේ මගේ ඇඩ්වෙන්චර් වැඩේ කරන්න හොඳම දවස එදා වෙන්න ඇති... මොකද එදා රටේ ලොක්කා පාරේ යන හින්ද තමයි මට එහෙම කරන්න උනේ.. මට හිතුනේ කිසිම කෙනෙක්ට වරදක් නැති ෂෝයි වැඩක්! ගේට්ටුවෙන් එලියට දුවලා ගිහිං අර හමුදාවේ එකාගේ රයිෆල් එක උදුරන් දුවන්න! මුකුත් කරන්න නෙවෙයි... රයිෆල් එක උස්සන් දුවන්න.. එතකොට ඌ මගේ පස්සෙන් පන්නගෙන එයි නේද...

"අනේ... දෙන්නකෝ අනේ පිස්සු නැතුව ඔය වෙපන් එක.. මට වැඩ තියෙනවා..."

ටික දුරක් දුවල,

"මෙන්න ආ"
කියල ආයෙත් උගේ අතෙන් තියල මට පුළුවනි නේ මගේ වැඩකට යන්න... අවුලක් නෑනේ? ඔව්.. කිසිම අවුලක් නෑ.. එහෙමවත් විහිළුවක් තේරෙන්නේ නැති ය ආරක්ෂක සේවෙට ගන්නත් හොඳ නෑ .. නැද්ද හා?




ඒ වගේම...
ඔය හන්දියක් හන්දියක් ගානේ තියෙන බැංකු, උකස් මධ්‍යස්ථාන වල ඉන්නවනේ ලොකු රැවුල් තියෙන බඩ තඩි ආරක්ෂකයෝ. මෙලෝ රහක් නෑනේ? මට ඔහොම තැනකට ගියොත් අනන්ත හිතෙනවා එකපාරටම දුවගෙන ගිහිං උන්ට කිචි කවල වෙපන් එකත් උදුරන් දුවන්න. දුවන්න ඕනෙත් නෑ .. නිකන් උදුරන්න... ආයෙත් දෙන්නනේ ගන්නේ... මොකද මම ගෙදර ගෙනියන්ඩද ? එයාලටත් ඔහොම ඉඳල කම්මැලි නැතිද හා?

ඇයි ...
එහෙම බැංකු ඇතුලට ගිහිං එකපාරට ඇතුලේ උන්ට පිහියක් හරි, ඔතපු එස්ලෝන් බටයක් හරි දික් කරලා බය කරන්න? අනේ මට හිතිලා තියෙනවා....! සල්ලි ඕනේ නෑ.. මම ජොලියට කලේ කියල කිව්වම
"අ...න්..........නේ ......... මේ ළමයත් දන්න විහිළු"

කියල කට්ටිය ආයෙත් තමන්ගේ පුරුදු රාජකාරි කරගෙන යාවි... නැද්ද හා?


ඒ වගේම උස ගොඩනැගිල්ලක්.... දැක්කොත්....
උඩ ඉඳන් පනින්න තියෙනවා නම්......! ජොලියට අනේ.... වෙන මොකටද?

වහපු දොරක් කඩාගෙන ඇතුලට යන්න... අත නොතබනු පාර්සලයකට අත තියන්න..... කොටින්ම ඔය 'තහනම්, සපුරා තහනම්, වලකිනු,' වගේ එලවන වචන ලියල තියෙනකොට මට තේරෙන්නේ ඒවා මට කතා කරනවා කියල.



'අධි ආරක්‍ෂිත කලාපයකි... ඇතුළුවීම තහනම්'

දැක්ක නේද? ඒ වාක්‍යයේ තියෙන ආකර්ෂණය? කාටද ඉතින් ඇතුළු නොවී ඉන්න හිතෙන්නේ .. නැද්ද හා?

ඒ උනාට මෙහෙම කියන මම, පාරේ යන්නේ, කන්නේ බොන්නේ, අනිත් හැමදේම කරන්නේ සුපුරුදු අනිත් නීති වලට අනුව. එක දවසක්, එක පාරක් වෙනස් දෙයක් කළා කියල කාටවත් බෑනේ එහෙම නොකර හිටපන් කියන්න... නැද්ද හා?

ඒත් ඉතින්, කරුමේ කියන්නේ... ඔය වගේ වැඩක් කරන්න හිතපු නැති වෙලාවටම තමයි මට ඔහොම දෙයක් මගේ අතින් කෙරිලා තියෙන්නේ... යුද්දේ තියෙන කාලේ.... වෙච්ච වැඩක්..

මගේ ගාව තියෙනවා වයිල්ඩ් ලයිෆ් යන පොරක් ගාව තියෙනවා වගේ ජැකට් එකක්. ඇත් දළ පාට, පොකට් ගොඩක් තියෙන මේ ජැකට් එකට මම හෙන ආසයි. මම ඉතින් හපුට්ටා වගේ ඩෙනිමක් ගහගෙන , මේ ජැකට් එක දාගෙන බස් එක ඇතුලේ තෙරපෙනවා. ඔන්න ආව කොන්දොස්තර මල්ලි... එක පාරක් මගේ දිහා බැලුව... මම සල්ලි දුන්න ඩෙනිමෙන් අරගෙන. සල්ලි අරගෙන ආයෙත් මගේ දිහා බැලුව. ලස්සන හින්ද බලනවා වෙන්න බෑ කීයටවත්. මම ගණන් ගන්නේ නැතුවම උන්න. ටිකක් එහාට ගිහින් ආයෙත් බැලුව. මම ජැකට් එක හදාගත්ත, කවුද දන්නේ ජැකට් එක ඇතුලෙන් මොනවවත් එලියට පැනලද කියල.... ඔන්න ආව කොන්දොස්තර මල්ලි....

"ගන්න අයිඩින්ටිය.... කොහෙද ගෙවල්...? කොහෙද යන්නේ??......"

ඒ දවස්වල බස් බෝම්බ පිපිරෙනවා රතින්න පිපිරෙනවට වඩා වේගෙන්. මම මගේ හම්පඩ බෑග් එක ඇදල අයිඩින්ටිය ඉදිරිපත් කළා, සත්ගුණවත් කොන්දොස්තර කොලුවට! මගෙන් ඒක උදුරලා අරගෙන බැලුවට පස්සේ තමයි කොලුවාගේ මුණ පොඩ්ඩක් හරි මොලොක් උනේ. ෂුවර් එකට, අයිඩින්ටියේ තිබ්බ පින්තුරේ දැකල, හද පෑරෙන්න ඇති..... මෙහෙමත් සත්තුන්ට අයිඩින්ටි දෙනවද කියල....


ප.ලි. ඌ හිතල මම ඇඳන් ඉන්න ජැකට් එක මරාගෙන මැරෙන එකියක් අඳින ජාතියේ එකක් කියල.. හෙක් හෙක්...

"... සොරි මිස්.... දැන් කාලේ බයයිනෙ .... සොරි වෙන්ට ඕනේ....."

මම හිතල කලේ නැති උනත්, ඒ වෙලාවේ මම කිව්වා නම් හරි
"හූ ... හූ ..... රැවටුනා නේ..?" කියල..


නැද්ද හා?

මට තාමත් හිතේ තියෙනවා.. ඔය සම්භාව්‍ය තැනකට ගිහින්, බොහොම විකාර දක්වලා 'සොරි ඈ ' වගේ දෙයක් කියන්න....



මම දන්නවා, මම පළවෙනියා නොවෙන විත්තිය මේ ජාතියේ.... මේ කැඳවිල්ල මේ ජාතියේ අනිත් උන්ටයි...

කියමු බලන්න මෙහෙම දේවල් කරන්න හිතිලා නැද්ද? හිතිලා තියෙනවා නේද? නැද්ද හා?

63 comments:

  1. නාවික හමුදාපති ගෙ නිල නිවාසෙ ගේට්ටුව ගාව පිළිමයක් වගේ හිටන් ඉන්න කෙනා ඉස්සරහින් යමින් ගමන් පැස්බර ඩාන්ස් එකක් දැම්මා...ඉවර වෙනකල් ගල් ගිල්ල වගෙ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නැතුව ඉඳල, මම ආපහු යන්න හදනකොට එයා ඇහුවනේ මහන්සිද කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කළා? සිරාවටම? මරු කියන්නේ.. මරේ මරු !! මම හිතුව එහෙම කලොත් 'ඩොන්' ගාල සද්දයක් විතරක් ඇහෙයි කියල
      අන්න දැක්කද, මම වගේමයි

      Delete
    2. Hats off bitter sugar! ඔයා නම් මාරයි!!!

      Delete
  2. මට හිතෙනවා වෙලාවකට බං තට්ටි විස්සම උඩ ඉදල පැනල බලන්න.. සමහර වෙලාවට හිතෙනවා කන්දක් උඩින් ඇවිදගෙන පල්ලමට යන්න.. මොනා කරන්නද?? එක දවසක් නං අර වාහන පෝලිමකට යන්න බැරි වෙන්න මගේ බයිසිකල් කටුව හිරවෙලා උං මට තිත්ත කුණුහරුපෙන් බැන්නා. මාත් ඇරියේ නෑ හොදවයින් කිව්වා. පස්සේ අංසබාගේ හැදිල දැං ඉන්න ඇමති කෙනෙක් වීදුරුව ඇරල මට බැන්නා. වැඩේ දෙල් වගේ නිසා ඌ යනකං ඉදල මං ඌටත් හොදට බැන්නා.. හැක්..

    ReplyDelete
    Replies
    1. තෝ වගේ එකෙක් නම් පනින එකමයි කාරිය .. මතක ඇතුව අර හැලපය කෙන්ජි ඇතුළු බෞද්ධ විරෝධී ත්‍රස්ත මුස්ලිම් හිතවත් සෙට් එකත් අරන්ම පැනපන්...

      Delete
    2. පැන්නත් වැඩක් නෑ බං..නොපැන හිටියත් වැඩක් නෑ.. හැක්..

      Delete
    3. පැනල බලන්න? අනේ මේ... බල බල ඉන්නේ මොකද... පනින්න පනින්න... පනින්න කලින් ඔය දේපල එහෙම මගේ නමට හරවන්න හොඳේ?? මොකද උපදෙස් දුන්නට ගාස්තු ගැන කතාකරගත්තේ නැහැ නොවැ

      Delete
    4. තනියෙන් පනින්න එපා අර බෞද්ධ විරෝධී හැත්ත එක්කම පැනපන්..

      Delete
  3. //""බැරිද බොලේ ඔය මහා ලොකු පාර්ලිමේන්තුව ස්කයිප් හරි, කොන් කෝල් එකකින් හරි කරලා ඉවරයක් කරන්න"//
    එතකොට එදාට එනවට දෙන දීමනාව, පෙට්‍රල්-ඩීසල් දීමනාව , ලාබෙට දෙන කැන්ටින් කෑම එක එහෙම දෙන්නේ උඹද? හැබැයි උපයෝ උඹට තිබ්බේ අර තුවක්කුව අරං දුවන වැඩේ කරලා බලන්න, මොකද කියන්නේ වෙලාවක ගිහිං අර අරලිය ගහ මන්දිරේ ඉස්සරහ ඉන්න එකාගේ බයිනෙත්තුව උස්සං දුවමුද ?

    ReplyDelete
    Replies
    1. මේ "ඉරානයා"ගෙ දහංගැට වලට අහුවෙන්න එපා උපයෝ... :D

      Delete
    2. @ඉවාන්: ආවොත් විතරයිද දීමනාව දෙන්නේ? මම හිතුවේ කොහොමත් දෙනවා කියල... පැමිණීමේ දීමනාව, දිරි දීමනාව..... අනේ පව් අනේ... අර ගාමන්ට් ළමයි වගේ නහිනවා... ඉතින් පාරවල් වහගෙන හිටන් දුවන එක සාධාරණයි නොවැ.. මටත් ඔහොම දෙනවා කිව්වා නම් 9 වෙනකල් දොය්ය ගන්නේ නැතුව ඉතින් 8 ට විතර එනවා නේ...

      හරි අපි දුවමු.. මම උදුරන්නම්... ඔය දුවන්න... ( උඹ දුවනකොට මම කියන්නම් .. "ඉන්ට සර් මම ඌට වෙඩි තියන්න.... ඌ ඊයේ ඉඳන් පොලිසිය දැක්කම හැංගෙනවා " කියල...)


      @බස්සි:
      අවුලක් නෑ බස්සි.. මම උදුරනවා.. ඌ දුවයි....

      Delete
  4. අඩේ සිරාවට ඊයෙ හවස පට්ට සීරියස් මූඩ් එකකින් යන ඩිස්කශන් එකක් මැද්දෙ මට හිතුනෙම කකුල් දෙක උඩට අරන් ඇස් පියාගෙන "ඕම්!" කියකියා භාවනා කරන්න ගත්තනම් කොහොමට තියෙයිද එතන කියලා.

    මට හිතෙන්නෙ ඔයා දවසක් මගෙ බ්ලොගේ කියාපු සමාන්තර ලෝකෙ කතාව ඇත්ත. ඔහොම බොක් ගාල පැනල කට්ටියව බය කරන්න මටත් හිතිල තියෙනව. ඇයි ඉස්සර ඒ ලෙවල් ක්ලාස් යනකාලෙ ආමි මාමල වෑන් එක නවත්තල බෑග් චෙක් කරද්දි හොරෙන් මාරුවෙලා යනව වගේ පෙන්නන්න, ඩීන්ගෙ (නලින් ද සිල්වා හොඳේ.) ඔෆිස් එක ගාවින් කන පැලෙන්න රොක් සිංදුවක් දාගෙන යන්න. එතකොට පොලිස් මාමෙක් ගාවටම ගිහින් එයාව දැක්කම බය උනා වගේ කඩාගෙන ආපහු යන්න......

    හම්මේ හිතෙන ඒවානම් ඇති තරම්.

    ඇයි යකෝ පට්ට අමාරු සිමා එක්සෑම් එකක් වෙලාවෙ මට හිතුනනෙ මේ පේපර් එකට මතුරලා වතුර ටිකක් ඉහිනව වගේ කලොත් සුපවයිසර් ඇන්ටිලා සෙට් එක මොනා කරයිද කියලා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්! ඉස්සර ප්‍රැක්ටිකල් කරද්දිනම් මම ඔය මැතිරිල්ල කරනවා ජෝක් එකට. ජෙල් එක හදලා රන් වෙන්න දාන්න කලින් ඒකට මතුරනවා වගේ ඇඩ් එකක් දානවා. දවසක් බලද්දි වෙනදා වටවෙලා ඕකට හිනාවෙන උන් එකෙක්කත් නෑ, අපිට ඒ සබ්ජෙක්ට් එක කරපු වයසක ප්‍රොෆා සෑර් ඇස් දෙක නළලෙ තියන් බලන් ඉන්නව. මට පොළව පලාගෙන අතුරුදහන් වෙන්න හිතුන.

      Delete
    2. කටගැස්ම වී මා ලෝකෙට පේනවා
      තලුමරා මාවම බයිටට ගන්නවා
      හිස හැරුණු ඒ මේ අත දුවනවා
      ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා....

      ගායනය - ලහිරු පෙරේරා

      Delete
    3. බස්සි: මේකට කොමෙන්ටුවක් ලියන එක අසාධාරණයි.. පොස්ටුවක් ලියවෙනවා. ඔය ෆයර් එක්සිට් දොරවල් තියෙනවා නේද? මට හිතෙන්නෙම ඒවගෙන් දුවන්න... ඒ වගේම අර ෆයර් එලාම් එක වදින්න විදුරු තියෙන්නේ කඩන්න.... කඩලා බලනකල් මට ෂුවර් නෑ ඔව්ව ඇත්තටම වැඩ කරනවද කියල....

      අමාරු එග්සෑම් අතරේ මට වෙන දෙයක් තමයි ඉවරයක් නැතුව ඔලුවේ සින්දු ප්ලේ වෙන එක... ඇත්තමයි මට ඒක නතර කරගන්නම බැහැ.... සින්දු කියන්නේ පුදුම සින්දු තොගයක්. මම තොල් මතුරනවා සමහර වේලාවට 'පිස්සුද බෝල තොට.. ලියල හිටු මේකට' කියල එකම පේලිය කියනවා පොඩ්ඩක් සද්දෙන් දෙතුන් වතාවක්... සමහර සුපර්වයිසර්ලා මගේ දිහා අමුතුවට බලනවා දැකල තියෙනවා.. උන්ට ඇහෙනවද මගේ සින්දු ටික? හුහ්.. ඇහුන නම් උන් කියයි සාධාරණයි කියල එකෙන්ම!

      ඒ වගේම මට ඔය ටකල් දාන පිස්සුවත් තියෙනවා... ඕනෙම වැදගත් සභාවක... සම්භාවනීය අමුත්තෙක්ට ටකල් දාන්න මට හරිම ආසයි... වැඩියෙන්ම හිතිලා තියෙන්නේ අපේ ඩීන් ට.....

      Delete
    4. අන්නේ .. අපේ සින්දු ඇනෝ....... මේ එන්නේ සින්දුවක් කියාගෙනම! හැබැයි ඇනෝ මේ සින්දුව නම් විතරක් මදි හොඳේ?

      Delete
    5. අපිට ඔෆිස් එකෙන් එලියට යන්න එන්න ඕනේ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක් පාවිච්චි කරලා . එකේ සෙන්සර් එක ගාවම තියෙනවා පොඩි වීදුරුවක් දාපු කැල්ලක් ඉමජන්සි වෙලාවට දොර ඇරගන්න ... බොහොම අමාරුවෙන් තමයි මම ඔය වීදුරුව නොකඩ ඉන්නේ .. ගොඩක් දවස් වලට අතගාල නිකන් ඉන්නවා .. හෙහ් හෙහ් . "මම මේ නිකන් බැලුවේ මේක වැඩද කියල බලන්න" කියන ටික ඒ විදියටම අනන්ත සැරයක් හිතිලා තියෙනවා ...

      Delete
  5. ඉස්සර ක්ලාස් යනකොට කොච්චි ටික්කො ටිකට් ඉල්ලුවම, පර්ස් එකේ, බෑග් එකේ, පොත් අස්සේ, කලිසන් සාක්කු එලියට අරන් ඒවා අස්සේ හැම තැනම හොයල කෝච්චිය නවත්තන්න ඉස්ටේසමේ හදන කොට කකුලේ මේස් එක අස්සෙන් ටිකට් එක එලියට ගන්නවා. බැනුම් පෝරියල් එකයි.
    මමත් හතර අතේ නැවි නැවි සොරි කියනවා.

    ReplyDelete
    Replies
    1. ෂා මම ආසයි අත්හදා බලන්න! මම නම් සොරිවත් නොකියා ලොකූ.... හිනාවක් දාගෙන ඉන්නවා...

      Delete
    2. කරලා බලන්නකෝ
      බට්ටි -2 බලන්න පුළුවන් FB එකේ

      Delete
  6. මතකද අර මැරිච්ච නලුව ග්‍රැන්විල් රුඩ්‍රිගු.
    ඌ දවසක් යාලුවෙක් එක්ක පාරෙ යන ගමන් ඉස්සරහින් යන පොරක් පෙන්නල මම අරූට ගහනවා කීයක්ද ඔට්ටු කියල.
    යාලුවත් ඔට්ටුව දැම්මලු හරි ගහපන් පුලුවන් නම් කියල.
    මූ පිපස්සෙන් ගිහින් දෝන් ගාල් පිටට තඩි බාන ගමන් හාල්ලෝ අංකල් කොහොමද කියල අහල.
    මෑන් තක්බීර් වෙල හැරිල මූණ දිහා බලනකොට ග්‍රැන්විලය කිව්වලු
    "අනේ මිස්ටර් වෙරි වෙරි සොරි මගේ අංකල් කෙනෙක් ඉන්නව ඔය වගේමයි කියල".
    කොහොම හරි පොර ඔට්ටුවෙ දිනුව

    ReplyDelete
    Replies
    1. ඌව දැක්කහම බය හිතෙනවනේ බං පාරවල් හතක් අටක් ගැහුවත් මිනිහෙක් ගහයිද පොරටු ඒ උනාට පොර හෙන අහිංසකයි ලු

      Delete
    2. හි.. හි... නියමයි නේද? නළුවෙක් හින්ද මිසක් වෙන මිනිහෙක් නම් ගුටි කනවා
      අටම් : හි.. හි.. ඇත්ත... දැක්කම බය හිතෙනවා... විහිළුවක් කරයි කියල හිතෙන්නේ නැහැ නේ..

      Delete
  7. අනේ මටත් හිතෙනව එක එක දේවල් කරන්න.. පස්සේ එක්කෝ ඕන නෑ කියලා හිතෙනවා.. මතකනේ අර සෙල්වා කොලුවට වෙච්ච ඇබැද්දිය...

    හිනා කකා වතුර බොන්න පුළුවන් පෝස්ට් එකක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ ඌ එහෙම එව්වා අපි වගේ ප්ලෑන් කරලා කරන්නේ නැති හින්ද. ඒ වෙලාවේ නිකන් අන්ධයෙක්, බීරෙක් වගේ ඇක්ට් කරා නම් ඔය මොකවත් නෑ!

      ඔයාට හිනා ගියාද? හෑ ?? මේ එකෙක්ටවත් හිනා ගිහින් නෑ නොවැ

      Delete
  8. මේක හරිම නිර්මාණාත්මක - නිර්මාණාත්මක කියන එක හරිද? ඒ මොකද මේවා මේ ඇත්තටම හිතෙන දේවල් නිසා එහෙම කියන්න බෑනේ නේද? එහෙනම් නිර්මාණාත්මකව ලියපු ඇත්තටම කාටත් කරන්න හිතෙන නමුත් ප්‍රසිද්ධියෙ පිළිගන්න අකමැති ක්‍රියාකාරකම් වැලක්.

    මේ ක්‍රියාකාරකම් කාන්තා අංසෙකට නම් කරලා බලන්නත් පුලුවන් ඇති ඇත්තටම. මොකද කවුරුත් අනුකම්පා කරනවනේ ඒ අයට. ඕක පිරිමි පරාණයක් කරන්න ඕනේ නෑ. හිතුවත් ඇති. විශේෂයෙන්ම මං වගේ ගුටිකන මූණක් තියෙන එකෙක්...

    ReplyDelete
    Replies
    1. කිසිම නිර්මාණශීලි කමක් නැති මම කියන එව්වා නිර්මාණ වෙන්නේ කොහොමද ඩුඩ් ? කියන්න බලන්න ඩුඩ්ට මොනවද හිතිලා තියෙන්නේ? ෆයර් එලාම් එක ටෙස්ට් කරලා බලන්න? පෙට්රෝල් ෂෙඩ් වලදී ඇත්තටම නේකඩ් ෆ්ලෙම් හොඳ නැද්ද බලන්න? කෝ කෝ... කියන්නකෝ? මට ෂුවර් ඔයාට මිටවඩා දේවල් හිතෙනවා කියල...

      අනේ.. මේ මොන කාන්තා අනුකම්පාව ගැනද කියන්නේ? මටත් වෙන්නේ මුකුත් නොකර ඉඳල අහු වෙන්න.. දැක්කනේ මම බස් එකේදී ත්‍රස්තවාදියෙක් උන හැටි? මේ මදිවට මරාගෙන මැරෙන බෝම්බකාරියක්!

      හිතිලා නැද්ද දවසක, උගන්නන පංතියේ ඇතුලට ළමයෙක් වගේ ඇතුල් වෙලා , ජෝකර්ලා දාන රතු පාට නහයක් දාගෙන වාඩිවෙලා ඉන්න? පන්තිය පුරා ඇවිදිමින් සර්පයෙක් ඇතුලට ආවද, කෝ ඌ කියල අහගෙන පන්තියට එන්න? ස්ටාෆ් රූම් එකෙන් යනකොට/එනකොට අමුතු සද්දයක් කරගෙන යන්න/එන්න? කෝ.. කෝ?? කියන්නකෝ?

      Delete
    2. බොලට කියන්න ඔය ෆයර් සඑලාම් එකට නම් මම දුන්න බන් වැඩේ අපේ ඉන්ස්ටිටියුට් එකේ, ඕක දකින කොට මට නිකන් කහනවා කහනවා වගේ, වීදුරු කෑල්ල බිඳලා බොත්තම ඔබන්නමයි හිතෙන්නේ, දවස් දෙක තුනක්ම අනින්න වගේ අත ලගට ගෙනියනෝ, එත් ආයේ පස්සට ගන්නවා, අන්තිමේ ඔට්ටුවකට ඕකට කෙලලා එබුවා බන්, මොන මෙලෝ සද්දයක් නැහැ, ආන්න බලන්න මම හොයා ගත්තේ ඒක

      හෙක් හෙක් බොලට හිතෙන් නැද්ද ලිෆ්ට් එකේ එලාර්ම් එක ගහන්න, මම එකත් ගැහුවා බන්, එකනම් වැඩ, හැබැයි අන්තිමේ ගහපු එකෙක් නැහැ.

      ඇයි එක්සෑම් වල උත්තර ඔක්කොම ලියලා විභාග අංක දාගෙන දාගෙන යනකොට කොපි කරනවා වගේ කොළ ටික අස්සෙන් හොරෙන් බල බල ලියනවා වගේ ලියනවා, සර්ට් එකේ එහෙන් මෙහාන් අද අද හෙනම ආතල් එකක් දෙනවා, බලන එකත් ඇවිත් කොලටික උස්සලා බලලාෂර්ට් එකේ කොලර් එකයි සාක්කුයි පෙන්නන කියලා බලලා යනවා, මට හෙන ආතල් ඒ ඇඩ්වෙන්චර් එකේ ෆස්ට් පාට් එක දෙවැනි දවසේ කොප්ප ගැහුවට බලන්න එන්නේ නැහැ එකෙක්වත්. :D

      කොහොමද ටිකිරි මොලේ

      Delete
    3. සොමියෝ ඇයි මචං කෝච්චියේ දම්වැල අදින සෙල්ලම ....එකත් මාරු බන් .බොරු නම් කෝච්චියේ යනවෙලාවක ඇදලා බලපන් .බ්‍රේක් එක අපේ අතේ වගේ මචෝ .ඕඕ යේස් අත්දුටුවයි ...දවසක් ඇදලා හපුතලේ ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් ගාවට අරන් ගියා .තනියම නෙවෙයි මගේ අතිජාත යාලුවෝ 15ක් එක්කම .පට්ට ආතල් ..

      Delete
    4. ඕකට හීන් එකා කාලේ හෙනම ආසයි මචන්, එත් මේ දවස් වල කෝච්චියක බද ගාන්න සෙට් උනේ නැහැ, ඉන් ඕක බලා ගන්නේ පෙට්ටියේ තියෙනවා එළියෙන් පෙත්තක් වගේ එකක් පොඩි, ඕක ඇදපු පෙට්ටියේ ඔය පෙත්ත උඩ අතට වැටෙනවා, ඉතින් ගාඩ් කාරයා කරන්නේ අන්තිම පෙට්ටියෙන් බැහැලා පෙට්ටියෙන් පෙට්ටිය බලන් එනවා, ඇවිත් පෙත්ත වැටුණු පෙට්ටියට නැගලා මොකාද ගැහුවේ කියලා අහනවා, පාවා දෙන්නෝ හිටියොත් හරි ගහලා ඔකේ හිටියොත් ඉතින් බඩු මාට්ටු, එත් තාමත් ඕක යටින් ගහලා තියෙනවා නෝටිස් එක ආතල් එකට ඇද්දොත් දඩය සත විස්සයිද කොහෙද කියලා, මට හරියටම මතක නැහැම එත් නෝටිස් එක කොපි කාලේ තරම් පරණයි, අපේ ලොකු තාත්තා හිටපු හෙඩ් ගාඩ් කෙනෙක්, ඉතින් යකඩ යකා පන වගේ තමා, එල එල, අයියෝ ගම්පොල කිට්ටු වෙලා එපැයි අදින්න එකේ ඇස එම් මගේ බොක්කක්.

      Delete
    5. // ලිෆ්ට් එකේ එලාර්ම් එක ගහන්න//

      මෙතන කමෙන්ට් මිසක් පෝස්ට් පිටින් ලියන්න බෑනෙ. එලවේටර් එකට බැන්ද ආලේ ගැන පෝස්ට් එකක් ලියන්න ඕනෙ.

      Delete
    6. අනන්ත හිතිලා තියෙනවා. මේ දැනුත් හිතෙනවා. සමහර ඒවා විනාශකාරී සිතුවිලි හන්දා නොකියා ඉන්න තීරණය කලා.

      Delete
    7. සොමියා: අනේ.... මට දැන් සොමියෝ හිතෙනවා කිරි කිරි බෝලේ නටන්න! ඒ තරම් සන්තෝසේ!! ඔය ෆයර් එලාම් එක මගෙත් ඇහේ ඇනෙන කටුව වගේ. දැන් ඉන්න ඔෆිස් එකේ ඔබන්න බැහැ , තට්ටු ගාන වැඩියි. අනිත් එක වැදගත් විදියට ඉන්නේ... තාම බෑ ... ඒත් කියන්න බෑ ඔව්ව!

      ලිෆ්ට් එකේ එක නම් මම ඔබල තියෙනවා.. හෙක් හෙක්... උන්ට පුරුදුයි මම හිතන්නේ මම වගේ එව්වෝ... චෑ .. ආතල් එක කුඩු උනා... ඔහොමත් කරනවද ඈ ? ඔය කොපි කිරිල්ල ගැන මම ලියන්නම් වෙනම! හෙක්.. කැම්පස් කාලේ තමයි කාලේ කිව්වලු!

      දම්වැල ඇද්දම එහෙමද හොයන්නේ? හැක.. හැක... අන්තිම ප්‍රථමිකයි නේ.... හෙන ජොලියක් ගන්න නියමායි !!

      සින්දු ඇනෝ : මම තාලෙට කියෙව්වේ ඔය ජේදේ ..... පොඩ්ඩක් අහල හොරයි වගේ සින්දුව.. හෙක් හෙක්...

      බස්සි: ලියන්න අනේ.... මෙතන මම ලියනවට වඩා කැමති ඔයාල බලන්න. මම අන්තිමට කිව්වේ ඒකයි... මේක අපේ සෙට් එකට කරන ගෙට්ටුවක් !!!

      හෙන්රි: ලිව්වට මුකුත් වෙනවද? එක්කෝ දීපා අක්කගෙනුත් කොසු පාරවල් කන ජාතියේ එකක්වත්ද? ඔන්නොහෙ ලියන්න අනේ.. මගේ බ්ලොග් එකේ නේ!

      Delete
    8. ලිෆ්ට් එකේ උඩ පනින එකත් ජොලි වැඩේ .. කැඩෙයි ද කියල බලන්න හොඳ ක්‍රමයක් .. හෙහ් හෙහ් ..

      Delete
  9. මම දවසක් වරායේ ඩියුටි ඉද්දි ලොක්ක ආව ස්කොඩ් එකත් දාගෙන මම ඉස්සරහින්ම ආපු බයික් දෙක මැද්දට පන්නා... කරාස් ගාල බ්රේක් පාර ගහල සෙට් එකම නැවැත්තුවා... එකෙක් අමු කුණු හබ්බෙන් මට බැන්නා.. මටත් මල පැනල ඩිෆෙන්ඩර් එකේ ආපු ආමි කාරයෙක්ගේ තුවක්කුව උදුර ගත්තා..
    ඊට පස්සේ හතර වටේම සෙට් එක මන් දිහාට තුවක්කු දික් කරගෙන තුවක්කුව බිම දාපන් කියල කැගැහුව... මමත් තුවක්කුව බීම දාල මහා හයියෙන් හිනා වෙලා "විහිළුවක්නේ කරේ" කිව්වා... ඊට පස්සේ මම නැගිටිනකොට හිටියේ හොස්පිටල් එකේ ඇඳක... හැම තැනම බැන්ඩේජ් කරලා... දැන් මම රෝද පුටුවේ ඉන්නෙ.. කකුල් දෙකම නෑ.. එක අතක් තාම එල්ලගෙන.. ලොක්ක අද උදේ කෝල් එකක් දීල කිව්ව එදා කරපු දේට සුදු වෑන් එකක් එවනවා ලෑස්ති වෙලා හිටපන් කියල. දැන් මම මේ බඩු පැක් කරනවා යන්න... :3

    ReplyDelete
    Replies
    1. චා.. චා.... වැරදියි.. වැරදියි... වැඩේ වරද්දාගෙන නේ!
      උන් මොකට කුණුහබ්බ කියා කියා හිටියද? මැද්දට පන්න ගමන් 'ඩෝන් ' ගාල තියන්නේ නැතුව! ඒ මදිවට එක පාරක් කරන්නේ නැතුව ආයෙත් සුදු වෑන් එකක ගෙනියන්න තියාගෙන.... අපරාදේ පෙට්‍රෝල් !

      මෙහෙමයි කරන්න තිබ්බේ...
      විහිළුවක් කලේ කියන තැන වෙනකල් බකන් නිලන් හිටියා නම්, 'ආ මල්ලි/නංගි ... ඔය හරි කියුට්... එන්න යන්න අපිත් එක්ක.... කෝපි බොන්න මන්දිරේ' කියල ඩිෆෙන්ඩර් එකේ ගැටගහපු ලණුවක අග බැඳලා එක්කන් යන්න ඕනේ. මොකද ඩිෆෙන්ඩරයේ සූ ගාල සෙනග.. ඇතුලේ ඉඩ මදි. ඒ වගේද හරි රස්නේ! හුළං වැදි වැදී යනකොට හරි සනීපයි... ඒකයි එහෙම ගෙනියන්නේ...

      අරුන්ට ඉලක්කෙට වෙඩිතියන්න බැරිද? කකුල් දෙකට තිබ්බේ? අපරාදේ...

      Delete
  10. හැක්..

    සිරාවට.. අපේ උන්ට දැන් ගෑ තීන්ත අල්ලන්න එපා කිව්වොත් බදලා අල්ලනවා ඇත්තද බලන්න..

    උබල වගේ කෙල්ලෝ ඔහෙම්මම තමයි උපේක්ෂෝ කරන්න එපා කියන දේ කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. මේකනේ... දැන් ගෑ කිව්වට වෙලාවක් ලියන්න එපැයි ! ඒකනේ වැරැද්ද? දැන් දැන් කිව්වට කොයි වෙලේ ඉඳන්ද දැන් කියන්නේ? එහෙම මහජනයා සඳහා චෙක් කරන්න තියන්න නරකයි... මොකද අපිත් යනවනේ ඔතනින්..

      කෝ කොහෙද එපා කියල තිබ්බේ.. උන් කිව්වේ 'තහනම්... නොවෙනු' වගේ ඒවානේ... ඊටත් එහෙම එපා කියන ඒකීය හැම දේම නොකර හිටියා නම් වරිගයක් වත් රැකෙන්නේ නෑ .. ආදම් - ඊවා ඇහුවද? හුහ්.. නැද්ද හා?

      Delete
  11. අනිවා...ඊයෙ රෑ පෙත්ත මග ඇරුණා නේද? මෙහෙම කරන්න. අද පෙති දෙකක් ගන්න. දවස් දෙකක්ම වැරදුනොත් දවසට දෙක ගානෙ දවස් දෙකක් ගන්න. දවස් 3 ක් වැරදුනොත්...ළඟම සිටින වෛද්‍යවරයා හමුවෙන්න.
    නෑ...නෑ... මටයි වැරදුනේ. යාලුවෙක් ටෙස්ට් කරන්න මලක් දුන්නා නේද අදින්න? නැත්තං ගුලියක් කැවුනද? මේ... අමු පොල්කිරි කෝප්පයක් බොන්න. අත්දුටුවයි සත්තයි. අනේ වෙඩිකන්න කලිං බීපං නංගියෙ හොඳේ...

    ReplyDelete
    Replies
    1. පෙති ඔක්කොම එක පාර බිව්වේ.. ඇයි වැරදිද?
      හෝ.. හෝ... මම කියන්නද වැඩක්.. හැමදාම නිවුස් බලන්න.. මේ වගේ කරන වැඩ තමයි දැන් නිවුස් විදියට පෙන්නන්නේ.. මම ප්‍රසිද්ධ වෙයි ඉරිසියා කරන්න එපා හොඳේ.... නයි නළඟන දැන් කවුද නොදන්නේ හා?? මමත් එහෙම පුරසිද්ද වෙනවා කියල හඳහනේ තියෙනවා...
      බොරුනම් අහන්න අර වාස්තු විද්‍යා ප්‍රෝග්‍රෑම් එක කරන ස්වාමිගෙන්!

      Delete
  12. අම්මපා මේ දැරිවිට තියෙන ගායක්, බොලට කියන්න ඔය වෙපන් උස්සන ගය මට තියෙන්නේ අවුරුදු 5 ඉඳන්, අපේ මාමා එස් ටී එෆ් එකේ ඉඳලා අම්පාරේදී නැති උනා, කොහොම හරි මළගෙදරට එන හමුදාවේ අයගේ තුවක්කු වලට මට හෙන ගාය, අර සොහොන් කරන්න කලින් වෙඩි තියලා හේනට ආචාර කරලා වැඩ දාන්න ආපු ඒ හමුදා මාමෙක් මගෙත් එක්ක සෙට් වෙලා, මට ඕන වුනේ එකාගේ තුවක්කුව, කොහොම හරි අන්තිමේ මලගේම දෙක කරලා මගේ ආසාව ඉටු කරගත්තා පොඩ්ඩක් එක අතපත ගාලා, මට ඕන උනේ ඕක අතපත ගාල බලන්නනේ, හා නැද්ද. මම පොඩි එකානේ. අර ඔයාගේ කලබල කතාවේ හිටිය එකා වගේ :D

    තව ඔහොම මල ගේක මිනිය වටේ අර හෙන ශෝක මූඩ් එකේ ඉන්න හතර දෙනෙක් ඉන්න බෙල්ල කඩාගෙන, මගේ වැඩේ උන් හතර දෙනා ගාවට යනවා උන්ගේ මුණ බලාගෙන වට පිට කව්වුරුත් නැත්තන් විරිත්තනවා, කොහොම හරි එක පොරකට හිනාව නවත්ත ගන්න බැරිව පොර නලියන මට හෙනම ආතල්. ඒ හය වසරේ

    තව සැරයක් bmich එකේ ආමි එෂ්හිබිශිඔන් එකක කොටින්ගෙන් අල්ලපු තුවක්කුවක් අතට අරන් "ඩිසුන් ඩිසුන් කැව් කැව්" ගාලා කටින් සවුන්ඩ් එකක් දාල මගෙත් එක්ක ආපු එවුන් ටිකට වෙඩි තිබ්බා. අපේ උනුත් වෙඩි වදිනා වගේ වැටෙන්න ගත්තා බඩවල් අල්ලන්, එතන හිටපු ආමි කාරයා මල්ලි බුලට් කීයක් ඇතුලට බස්සුවද කියලා අහපි, ආච්චි අම්ම කෙනෙක් කන්නාඩියත් උස්සලා බලලා මහා නැහැදිච්ච කොල්ලෙක් කිව්වා. මන් ඒ ආච්චිටත් වෙඩි තිබ්බා ඒ පාර. ආච්චි බය උනා අයි කලින් උන් වැටෙනවා දැකලා. :D

    බොලට කියන්න ඔය ත්‍රාස ජනක සීන් වලට තියෙන ඇම්ම නිසාම ඉස්කෝලේ පිනාගේ කාරෙකේ හුලන් යවලා ආතල් ගත්තා, විහිලුවටනේ කරේ හා නැද්ද? තව අපේ ඉස්කෝලේ පාලු බිල්ඩිමක් තියෙනවා, එකක් නෙවේ 4 5ක්ම තිබුනා අතහැරලා දාලා, ඕවයේ හෙන පිස්සු වැඩ කලේ, ඔලු පලා ගන්න නෙවේ දෙපැත්ත බෙදිලා ගල් ගැහුවේ, අපි ගැහුවේ බෝම්බ, හා නැද්ද?

    අන්තිමට ආතල් ගත්තේ කැම්පස් එකේ ඇස බී ට හූ තියලා, විහිලුවටනේ හූ තිව්වේ හා නැද්ද? මොකද ඇමතියෙකුට ආයේ ඔය හු තියන්න චාන්ස් එකක් එනවය, ආපු වෙලාව එහෙම මිස් කර ගන්නවද අපි.

    අයි ඔය බස්සි අක්ක වගේ ප්‍රැක්ටිකල් වලදී ඩිමෝ බට්ටෝන්ට දිනේ ආතල්, හෙක් හෙක් බොලා කරලා නැද්ද ඒ වැඩේ, ඔය මතුරන වැඩ නම් මටත් ඇහැකි, අපේ අම්මාලා ගඟ පහලනේ. :D, අපේ හිටියා දෙමල ඩිමෝ කෙනෙක්, තව එයාටම හරියන ලේක්චර් බද උඩට කලිසම අඳින මෝටාර් සර්, ප්‍රැක්ටිකල් එක ටෙන්සයිල් ටෙස්ටින් කම්බි වල, අනිත් උන් ගජරාමෙට ප්‍රැක්ටිකල් එකේ, මම කම්බියට ඇඟිල්ලෙන් ඇන ඇන ගිටාර් ගහනවා, සර් බුකාවන් බලන් ඉඳලා පුතා දැන් තත් කැඩෙන්න ලඟයි, ඉක්මනට ගහලා ඉවර කරන්න කියපි. මම මගේ ආතල් එකනේ ගත්තේ, හා නැද්ද

    හෙක් හෙක් බොලට අර උඩ පහල යන එක පදින්න හිතෙන්නේ නැද්ද, ගේට්ටුවල බෙල් ගහලා දුවන්න හිතෙන්නේ නැද්ද, තව සැරයක් සී සී ට්ට් වී කැමරා හයි කරලා තියෙන සාප්පුවක අපේ උන් එක්ක ගිහින් මොනවා හරි කමරාවටම පෙන්න උස්සලා දැන් බිල ගහන තැනැත ආවම එකෙක් එනවා අපිව බලන්න, ඌ ලඟට ආපු හැටියේ අයියේ මේ මේ ටිකටත් බිල ගහ ගන්න ඕනා කියලා ගන්ගපු ඒවා එලියට ගත්තා. අපි විහිළුවක්නේ කලේ හා නැද්ද?

    හෙක් හෙක් තාමත් ඒ ගතිය තියෙනවා බන්. ඒවා ජානවලින්ම එන නලියාමක්.

    ReplyDelete
    Replies
    1. මෙව්වා දැක්කම ඇඩෙනවා සොමියෝ!
      මෙව්වගෙන් සමහරක් මමත් කර ඇත.... ගහට ඉණිමගේ නැගල ඉන්න එකෙක්ගේ ඉනිමග උස්සන් .දුවල බලන්න... හරිම සොඳුරුයි! පොඩි කාලේ නම්, අපේ අය්යා කාරයා කිව්වා සුපර්මෑන් වෙනවා කියල සරමක් කරේ බැඳගත්තම.. මම ඉතින් එහෙම බැඳලා තඩි පල්ලමකින් පහලට පැන්න ... එදා මම හිතාගත්ත මම ඒ ජොලිය තව කාටහරි දෙන්නම ඕනේ කියල. අපි එහෙමයි... හොඳම දේ අර කාටද කියනවා නේ! අපේ දැනුම, අත්දැකීම් අපි බෙදාගන්න ඕනේ! අනේ ඔව්!

      අනේ අපසාදේ එස්බීට හූ කිව්වේ... ගඩොලකින් කෙලලා අරින්නේ නැතුව!

      තාමත් තියෙනවා කිව්වා? හ්ම්ම්.. මේ මටත් හිතෙනවා... සෙට් උනොත් කියල වැඩක් නෑ !

      Delete
    2. ගඩොලකින් කෙලලා සිස්ස වාවෙට කෙලෝ ගෙන බැහැනෙව බන්, එක නිසා හු තිව්වේ, අඬන්න එපා බන්ස්, ඔය වැඩෙත් කරා බන් මම, බොලට කියන්න තවසැරයක් අපේ සෙට් එක පටවන මාමගේ මහේන්ද්‍රා ඩබල් කැබ් එකේ යන ගමන් ඒ පැත්තේ පාරක ඔන්න ඩිෆරන්සලේ හිටා ගලක් උඩ, ඔන්න දැන් රේස් කරාට රෝද කැරකෙන්නේ එක තැන, අපේ එකෙක් ළඟ ගෙකින් කුළු ගෙඩියක් ගෙනත් අස්සේ ඉඳන් ගල කඩනවා, තව එකෙක් රෝද වලට අඩ තියලා, මම හෑන්ඩ් බරක් ගහලා දැන් බලන් ඉන්නවා, දැන් යන්තම් හරි කොහොම හරි, මේ අස්සේ මම අඩ අයින් කරා, අරු දන්නේ නැහැ, ඌ තාමත් යට. අන්තිමේ එලියට ඇවිත් කව්ද යකෝ අද අයින් කරේ අහනවා.

      අන්න එහෙමයි වැඩ කරන්න ඕනා. :D

      Delete
  13. ඉස්සෙල්ලම කියන්ට ඕන නියමයි බං කියල..ඊට පස්සෙ පහක් දාන්ට ඕන…High Five

    ********************************

    මම මේ කියන එව්ව නං උපේස්සො උඹ ඔය කියන ඇඩ්වෙන්චර් කැටගරියට වැටෙනවද මන්ද...

    මගේ ඇඩ්වෙන්චර් ඔක්කොම අපෙ උන්දැ එක්ක තමයි. ඩිසයින් ක්ලබ් එකේදි දවසක් මම ඔන්න ජොක්කු තෝරනව. අපෙ උන්දැ ටිකක් එහායින් ටී-ෂර්ට් වගයක්ද කොහෙද අතගගා ඉන්නව.." ඒයි මේ මගෙ අන්ඩර්වෙයා සයිස් එක කීයද? " මම එතන ඉඳලම ඇහුව...ඇහුව තමයි...හෙහ්,හෙහ්, ඊට පස්සෙ සුමාන දෙකක් තුං වේලම කෑවෙ පැණිදෙණිය හන්දියෙ සමනල හෝටලෙන්.

    ආය දවසක් ඔන්න මොකක් හරි එහෙකට උන්දැ මා එක්ක තරහ වෙල.නෝ කතා නෝ සිනා. බස් එකේ අපි යනව එක ලඟ ඉඳගෙන මම් ඉතිං වංගු ගන්නකොට උන්දැගෙ ඇඟට තල්ලු වෙනව ඔන් පර්පස්..මුන්දැ මා දිහා රවල සීට් එකේ කෙලවරටම වෙනව. දෙතුන් පාරක් ඔහොම උනා..පස්සෙ සීට් එකේ ඉඳපු උස මහත මරු මුස් පොරක් නැමිල අහනව " මිස් ඔතන කරදරයි නේද? මේ සීට් එකට එන්ට..මම ඔතනට එන්නං "කියල..ඊට පස්සෙ වෙච්චි දේ ආය කියල වැඩක් නෑ..ඉඳපං ලියන්නංකො පෝස්ට් එකක්ම. ඈ හා සමඟ මගේ ඇඩ්වෙන්චර් කියල.

    ********************************

    වී.අයි.පී. ආරක්ෂක රථ පෙලක් ඉදිරියට පැනීමක් ගැන කාලෙකට ඉස්සර මම ලියපු කතාවක් මේ. ඒත් මෙතන ඒ වැඩේ වෙන්නෙ කැමැත්තෙන්මත් නෙවෙයි..නොකර බැරිකමට....

    ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ.හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.

    " මම ඔයාට ආදරෙයි " ඔහු ඇගේ දෑසට පැවසීය......." එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස හඬ පාලනය කොට ගත්තේය....." නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"

    " මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.

    ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්යානය වටා දිවෙන ප්රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ වාහන අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.

    වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,

    වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත ද ඇය දෙස මොහොතක් බලා සිට හැරී, ඇයට පිටුපා ප්රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.

    එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්රියකර මූසල නාදය මධ්යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය.ඇසිපිය නොහෙලා බලා සිටියාය.

    උද්යානයේ ප්රධාන දොරටුව අසල වූ සිව් මං සල අසලදී, සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. සිව් මංසලට ප්රභූ ආරක්ෂක රියපෙළ, වේගය අඩුකරගනිමින් ළඟා වෙමින් තිබිණ. ප්රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.

    අසුරු සැනකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........... ඒ දැඩි නිහඬතාවය මධ්යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.

    ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

    දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.

    ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, ප්රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.

    අසුරු සැණින් මුළු මහත් විශ්වයම නිහඬ විණි.........

    ReplyDelete
    Replies
    1. රවියෝ.. රවියෝ...
      උඹටත් තියෙනවා නේ මේ සීරියස් කතාවක් පැනල 'බුක්' ගානවා වගේ පිස්සුව හොඳටම... බලනවා හලෝ... මම මේ සිරාවට කියාගෙන එන වැඩ . .දැම්ම නේද කළේ අතැරිය වගේ දුක හිතෙන එකක්!!

      රවියෝ ... ඒ කතාව මාව දෙදරෙව්වා! නෑ නෑ ... හාමිනේගේ කතා නෙවෙයි අර බෝම්බ කතාව!!

      මගේ ඔලුවේ තිබ්බ විෂුවල් එකක් උඹ ඒ විදියටම ලියලා නේ ( අන්තිම ජේදේ ) හරි පුදුමයි. ඒකෙ කැමරා කෝණ , නිළියගේ ඇඳුම, බංකුවේ කොටසක් එක්ක පසුබිමෙන් නැගෙන කළු ,තැඹිලි , රතු මිශ්‍ර දුමාරය.... මෙව්වා මම මැව්වේ මට මතක විදියට මගේ වයස 18 වගේ කාලේදී. හැබැයි, රවියා තරම් ලියාගන්න හැකියාවක් නැහැ මට නම්...

      ඩිසයින් ක්ලබ් කතාව: මම අඳුනන තැනකදී නම් හම්බෙන්න එපා නුවරදී.. මගේ අම්මේ... මම බුර්කාවක් දාගෙන යනවා පර්ස් එකේ...

      Delete
  14. නටන්ඩ හිතුණා.....................

    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    මගෙ පබී නෝන පෙනෙනා විට නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හිතුණා

    නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    පිස්සෙක්ය සිතා සෙනග පිරේ නටන්ඩ හොඳ නෑ
    සාලෙ නටන්ඩ හොඳ නෑ

    හරි විහිළුකාරයා මේ මාගෙ පුරුෂයා //
    ලැජ්ජ නැද්ද මේ දොඩවන්නෙ පිස්ස සේ //
    පිස්සු කමට නොවෙයි විහිළු මගේ හැටි තමයි //
    සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    ආදර මුහුණා හරි රූබර පානා
    ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
    නුඹේ ආදර මුහුණා හරි රූබර පානා
    ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
    කෝප ගන්ඩ එපා ආදරෙටයි කියන්නේ //
    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    නවනින්දා නොකර මෙ ලෙස
    වැදගත් ලෙස හැසිරියන්කො
    මගෙ හැටියක් උඹට මොටෝ
    හොඳ විදියට උඹ ඉඳින්කො
    තරහ ගියා
    තරහ ආව
    තරහ ගියා
    තරහ ආව

    ඔව්

    ඔව්
    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හොද නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ

    ගායනය – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
    ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
    සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

    ReplyDelete
  15. බුදු කිරි අප්පේ...ඉක්මනටම ඔලුව බලන ඩොකෙක් ගාවට යන්න නෝනේ...ඔය කියපු එක දෙයක්වත් ඇඩ්වෙන්චරස් නම් නෙවෙයි...සූසයිඩල්...විහිලුකරන්න එපා අපිත් එක්ක...

    මේක කියවනකොට පරන සිංදුවක් මතක් උනා...

    සරා ගොයියා හරි මිනිහා...මතකද...
    එක තැනක තියෙනවා මෙන්න මෙහෙම...


    දුවන්නටත් අද ලයිසොන්
    ගන්නට ඕනද රලහමි...

    අර වෙපන් එක අරන් දුවලා ආපහු දුන්න ගමන් ඕක කිව්වා නම්....

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම මෙතන කොමෙන්ටු දාපු අනිත් උනුත් කුදලන් යන්න වේවි ඕන් !

      ඔය සින්දුව මගේ ඔලුවට ආව.. හික්...

      Delete
  16. මම බැලුවේ මේ පොස්ට් එකට කමෙන්ට් වලින් පොස්ට් කීයක් දාලද කියලා. ඔයාට හිතෙන්නේ නැද්ද සත්තු වත්තේ සිංහයාගේ කූඩුවට පනින්න. තනි අලියෙක් ගාවට ගිහින් ඌට හූ කියන්න. නයි බෙනයකට අත දාලා උගේ කොහෙන් හරි මිරිකන්න. දුවන කෝච්චියකින් පනින්න. නිකං බෙල්ල තියන්න වගේ ඉඳලා නැගිටින්න.

    මගෙත් එක්ක යාලුවෙක් ඉන්නවා ෆයර් බොක්ස් එකට කොටලා වොර්නින් ලෙටර් හම්බ වුණා. තව එකෙක් ඉන්නවා පාරේ යන ගමන් කටහඬ වෙනස් කරලා වඩේ වඩේ වඩේ කියනවා. මිනිස්සු බලනවා වඩේ කාරයා කෝ කියලා.

    ReplyDelete
    Replies
    1. සුදීක, මේවට තමා කියන්නේ ''පට්ට පොස්ට්'' කියල
      කියවන එවුන් මුනිච්චාවට පට්ට පොස්ට් එක කියල අත පිහදාගන්නේ නැතුව පොස්ට් එකට වඩා දිග කොමෙන්ට් ලියන ඒවා තමා පට්ට පොස්ට්.

      Delete
    2. සුදික: කෝච්චියට බෙල්ල තියන්න වගේ ඉඳල නැගිටින්න හිතිලා තියෙනවා.. ඇයි ස්ටේෂන් මාස්ටර් ගේ අර ලොකු වළල්ල උස්සගෙන දුවන්න හිතිලා තියෙනවා. අනිත්ව.... හ්ම්ම්... බලමු ගියාම සත්තු වත්තට...

      ජීවන : හි.. හි... අනේ මන්ද.. මට තේරෙන්නේ කාගේකාගේත් කිල්ලොටවල හුණු ඩිංග ඩිංග තියෙනවා කියල විතරයි. හෙක්... නොකියපු අය ඕනෙතරම් ඇති....

      Delete
    3. සුදික: බැංකුවේ නේද? හිතිලා නැද්ද කස්ටමර් කෙනෙක්ගේ බැංකුපොත අප්ඩේට් කරලා දෙනකොට දෙතුන් පාරක් ඒක දිහා බයවෙලා වගේ බලන් ඉඳල දෙන්න??

      Delete
    4. ++++++++++++ හා හා හාඅ සුදීක අයියා

      Delete
  17. උඹලා හිතනවා විතරයි මම නම් කරලත් තියෙනවා..

    1. රූබි එකට පොලීසියෙන් පැනපු වෙලාවක බැටන් පොල්ලක් උස්සාගෙන ගොස් කූඩුවේදි අම්බානක කෑම.

    2. අමරදේව මාස්ටර්ගේ ෂෝ එකක විසිල් ගැසීම

    ReplyDelete
    Replies
    1. අදනේ මේ කොමෙන්ටුව දැක්කේ...

      හෙහ්... හෙහ්... අය්යෝ.... බැටන් පොල්ල උස්සන් ගියාම ගුටි දෙනවද? සමාවෙන්න මට මැවිලා පේනවා, ඒ හින්ද හිනා යනවා. ඔන්න යන්තම් හිනාව කපා ගත්තා.

      අමරදේවගේ ෂෝ එකේ විසිල් ගහපු එකට මෙන්න මගෙන් විසිල් පාරක්!!! ( විසිල් පාර ඇටච් කොට ඇත)

      Delete
  18. විභාගෙ ලියන ගමන් කොපි කරනවා වගේ රඟපාලා තව ජුන්ඩෙන් මාව රිපීට් කොරනවා... ඩ්‍රෝවිං ප්‍රැක්ටිකල් වෙලාවට ඩිමෝලා එනකොට ටි රූලෙන් කලබලෙන් වහලා මල පන්නනවා කොහොමත්...
    ඇයි ගිනි නිවන කාබන් ඩයොක්සයිඩ් කෑන් එකක් ගහපුවාම එන සද්දෙ??
    කෝ මගෙ රම් බෝතලේ..???

    ReplyDelete
    Replies
    1. සැකයේ වාසිය ඔබට හිමිවෙන්න ඇති.... ඔන්න මම කළා නම් ඉතින් ආයේ දෙකක් නෑ මට පත්තු වෙනවා. ඔය කියන්නේ අර ගිනිනිවන ටැංකියද ? හෙහ්.. මට පේන විදියට වැඩිම දෙනෙක්ට ඇහේ වගේ ඔය ගිනිනිවන ටැංකි.. හිහ්.. කියන කියන එකා කියන්නෙම ඔය ටැංකි දැක්කම නලියන හිතුවිලි. මට පුදුමේ ඔතරම් තිබිලත් නොකරන හේතුව?

      Delete
  19. මම ඉන්දියාවේ ඉන්නෙද්දී ට්‍රැෆික් සිග්නල් ලගදි මිනිස්සු පාරේ මෙලෝ චාරයක් නැතුව වාහන එලවනකොට හිතුන කබල් වාහනයක් එළවන් ගිහින් පාරේ හරක් වගේ එලවන වාහන හප්පගෙන යන්න . ඇහුවොත් කියනවා මම හරි විදිහට හරි සිග්නල් අනුව ගියේ කියල .

    එහෙම කියන මමත් ඉතින් ලයිසොනුත් නැතුව සිග්නල් වරද්දල ගිහින් රුපියල් පනහේ සීයේ කෑලි දීල බේරුන එක වෙනම කතාවක්.

    ReplyDelete
    Replies
    1. අය්යෝ කොබෝ. මාවම කොටියා කන්ට, මම දැක්කේ නැහැනේ මේ කොමෙන්ටුව. මට නම් හිතිලා තියෙන දෙයක් කියන්නද... හැබැයි ඉඳල හිටලා කරලත් නැත්තේ නැහැ. ඔය සිරා මුඩ් දාගෙන එක්කෝ වයිෆ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි ඉස්සරහ සීට් එකේ වාඩිකරවාගෙන යන කොල්ලෝ හෝ කොල්ලෝ වගේ උන් ඉන්නවා නේද? මට හිතෙන්නෙම උන්ගේ ළඟටම කාර් එක ගෙනියලා ( සමාන්තරව තියල) එකපාරටම විරිත්තල අහක බලාගන්න.

      සිරාවටම උන් ෆොක්ස් වෙනවා. අන්ද මන්ද වෙලා එක්කෝ බ්රේක් එක වෙනුවට ඇක්සලේටර් එක හරි, වෙන මොකක් හරි පෑගෙනවා. ඕකම මට අනන්ත කරන්න හිතෙනවා ට්‍රැෆික් පොලිස් රාළහාමිලාට. කොහොමද 'ඩොන්' ගාල තිබ්බොත්! මට නිකන් සැකයක් තියෙනවා මගේ මේ අදහස දනගෙනද කොහේදෝ මේ ළඟදී රාළහාමිලාට පිස්තෝල දුන්නේ...

      Delete
  20. අපරාදෙ මම මේ බ්ලොග් බලන්න එන්න තිබුනේ කලින් නේ. පට්ටම පෝස්ට් මිස් වෙලා.
    ඔයාට හිතිල නැද්ද උපේක්ශා නිකං ඉස්කෝලේ ට්‍රිප් යනකොට ගුරාලට වතුර පාරක් ගහන්න. මමනම් ඒක කළා යාපනේදි. ඉතින් විහිලුවට නේ. අව්ලක් තියෙනව ද?
    ඉස්කෝලේ සීනුව ගලවලා මහ රෑ හයියෙන් බිමට අතාරින්න. ඒකත් මම කළා. ඉතින් විහිලුවට නේ මං කලේ.
    කට්ටිය නැගිටින්න 6.00ට ගහන්න ඕන සීනුව රෑ 2.00ට විතර ගහල පනින්න? ඒකත් මරු වැඩේ නේද? විහිලුවට කලේ ඉතින්. නැගිට්ටනම් පාඩම් කරන්න තිබුන නේද? දැකලා මට අල්ලගෙන හොඳටම නෙලන්න ඕනෙද?

    මේ පෝස්ටුවනම් පට්ටම පට්ට....
    අනේ ඔයාගෙ කොමෙන්ටුවක් තිබුනොත් කොපියක් ahasenenna@gmail.com එකටත් තරහ නැතුව එවනවද?

    ReplyDelete
    Replies
    1. නැහැ අහසෙන්.. මිස් වෙලා නැහැ. ඕනේ විදියට වෙලාව අරන් බලන්න. හැබැයි කලකිරෙන්න එපා මගේ කලවම් මැල්ලුම් දැකල. හි හි...

      සිරාවට කියන්න අපි 8 වසරේදී නම් එක ගුරුතුමියක්ට ගුරු පුටුවේ ගෝල්ඩ් ඩස්ට් දැම්මා. ඒ වගේ දෙයක් මිසක් වෙන සෙල්ලම් නැහැ මගේ ගුරුවරු එක්ක. ඔය මේන් හෝල් එකේ හය්යෙන් හූ කියන්න වගේ ඒවාට නම් යනවා. ඉස්කෝලේ කාලේ ඔය වගේ ඒවා කලේ අඩුවෙන්. ඔයාගේ පිස්ට් එක නම් මරු !

      පොස්ටුවේ යට තියෙනවා 'Notify me' කියල check box එකක්. ඒක check කරාම අලුතෙන් එන කොමෙන්ටු ගැන ඔයාගේ email එනවා notifications.

      Delete
  21. හික් හික්. මේකනම් ආතල් සාගරයක් ඔයි. උබට කියන්ට මට හිටිය "අෆ්ශාල්" කියල යාලුවෙක්. අපි දෙන්නට එකහාසමානව පිස්සු. හැමදාම වැඩ ඇරිල ගාලු පාරට ඇවිල්ල මගෙ යාළුව හොඳ හයියෙන් එන කාර් එකක් බලල කියනව "ටික්කො" මට මේ කාර් එක කොහොමහරි නවත්තන්ට ඕනි කියල එකසැරේ මමත් ඇදගෙන හෙන හෙමින් පාර මාරු වෙනකොට අර කාර් කාරය දන්න සෙල්ලම් ඔක්කොම දාගෙන අමාරුවෙන් කාර් එක නතරකරගෙන වීදුරුව පහත් කරල අපි දෙන්නට බනින්න හදනකොටම මගෙ යාලුව එකසරේම හය්යෙන් කියනව "ඔහොමද යකෝ පාරේ යන්නෙ පිස්සො වගේ". කියල.. හා හා.. කොහොමද අතල් එක ණේ...!!!!

    ReplyDelete
    Replies
    1. කොහොමද ඌ 'බ්රුම්' ගාල නවත්තන්නේ නැතුව ගියානම්? හික්....

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...