Friday, April 10, 2015

166. අලුත් වැස්සක්...



මම ඔබව සොයමි....

වරෙක හිස් කඩදාසි කොලයක, වරෙක අළු-සුදු කෝලා සෙල්ලම් බඩුවක පසුපසට වී ඔබ ඇතැයි බියෙන් මම ඒවා අතින්වත් නොඅල්වමි. යලිත් ඔබ නැතැයි කියමින් නින්දට පෙර සුරංගනාවන්ට චෝදනා ගොනු කර තබායමි. නැවත සිහිනෙන් ඇවිත් පිහාටුවකින් ඇන මා බිමහෙලුවා යයි කියමින් දින ගණනක් දෙස් දෙවොල් තබමි.

දියසලකුණක් සේ ඒ සියල්ලටම ඇතුලෙන් නිරුපද්‍රිතව ඔබ ඇත්දැයි ඉඳහිට අතගා බලමි.

මේ කුරිරු සැලකිල්ලෙන් මරණිය කැළලක් නොඑන්නට ඔබ වගබලාගත්තේද?
නැත්තම් ඇත්තටම මිරිදිය කුඩමසෙකු සේ තණපත් අතරේ සැඟව හෝ ඔබට ඉන්නට හැකිවිද?
ඉඳහිට උනත් මුළු දියකඩිත්තම කළඹමින් ඔබ සොයා නිහඬ ඔබ සම්මුඛ වීමෙන් පසුව තොරතුරක් හෝ නොවිමසා ඔබට යන්නට හරින්නට මට හැකිවුණේ කිනම් අරුමයක් නිසාද?
මේ සියල්ලටම ඔබට උත්තර දියහැකිද?

රුදුරු සීතල මා දවාලන බව දන්නා බැවින්, කිසියම්ම මොහොතක ඔබ කවුළුවෙන් එබෙනු ඇතැයි සිතමින් , බොරු හේතුවකට කවුළුව ඇරතබා හිඳිමි. අහම්බෙන් මෙන් එලෙස එන විට සුපුරුදු ලෙසම කබායෙන් එලියට විහිදෙන උණුහුමක් ඔබ රැගෙන එන බව මම නොදන්නවා සේ හිඳින්නට තිරකරගනිමි.



ඉඳහිට පොත්රාක්කයේ පොත අතර සැඟවසිට එළියට පනින පොඩි පොතක, එක අතුරුදහන් පිටුවක කාබන් පෑන් සළකුණක ඇති අකුරු දෙස බලමින් හිඳ වෙනත් පොතකට කවියක් එකතු කරනෙමි. ඒ ඔබ සොයන්නට මගේ ඇති නොහැකියාව ගැන තුටුවෙමිනි.

සොයන්නාට සම්බවිය නොයුතුමය.

සම්බවීනම් , තවදුරටත් සොයන්නෙක් ඉතිරිවන්නේ නැති බැවිනි.

ඔබ සොයන සැමවිටම, මට මා හමුවීම කොතරම්ම අහ්ලාදජනකද?

එක් වරදකට සෑම ශිශිරයකදිම දඬුවම් ලබන්නට ඔබ කැමතිද?



~~~~~~ බිනූ ~~~~~

16 comments:


  1. //රුදුරු සීතල මා දවාලන බව දන්නා බැවින්//

    ඒ රුදුරු සීතලට පිච්චෙනවා... හරියට ඒ සී ගින්දර වගේ ..... පිච්චෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව්.... ගිනියම් පිච්චිල්ලට වඩා දරුණු පිලිස්සුමක් ඒක

      Delete
  2. "එක් වරදකට සෑම ශිශිරයකදිම දඬුවම් ලබන්නට ඔබ කැමතිද?"
    අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. වරදට එහෙම දඬුවම් ලැබෙන එකද අනර්ඝ? හි.. හි..

      Delete
  3. අලුත් වැස්සක් වහින්නට සැරසේ..
    පුරුදු ආකාසේ...
    දිගු කාලයක් නිහඬවී සිටි නුඹ වගේ..
    අලුත් වැස්සක් වහින්නට සැරසේ..

    අහසේ වැසි වසිනා නමුත්..
    කවදාද ඒ වැහි වහින්නේ නොදනී
    නියං කල හැමදා නැතත්
    කවදාද ඒ වැහි ගෙවෙන්නේ නොදනිම්..
    දුකක් වින්දොත් සැපක් ළඟමයි...

    දිය දහම ඒ විලසයි...//
    අලුත් වැස්සක් වහින්නට සැරසෙයි...

    වළාකුළු අහසට ඇවිත් මොනවාද මේ හැටි කරන්නේ සරදම්..
    ඇහේ තෙරපෙන දුක නිවා..
    කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්..
    දුකක් වින්දොත් සැපක් ළඟමයි..

    දිය දහම ඒ විලසයි...//

    අලුත් වැස්සක් වහින්නට සැරසෙයි...

    ගායනය සුනිල් එදිරිසිංහ

    https://www.youtube.com/watch?v=vIaHTGMrB2g

    ReplyDelete
    Replies
    1. මේ ගීතය මට ඕනෑම අවස්ථාවකදී මුඩ් ගහන්නට සමත්කමක් තියෙන සුසංයෝගයක්. පුදුම ගීතයක් නේද ඉවාන්? පෝස්ටුවට නම් ගීතයේ අර්ථය මුළුමනින්ම අදාළ නොවුනත්

      Delete
  4. බිනූ......??????
    බිනූ.................?
    දිලිසෙන ඇස්....අනෝද ගහේ අත්තක් උඩ ඉඳගෙන තෙමිච්ච..නෑ තෙමන දෙතොල්....
    අන්න රුහුණ එන සද්දේ ඇහෙනවා...
    බෑ අද අත් වනන්නේ නැතුව ඉමු...
    තෙමෙන්න ඔය නා දළු....
    ආසයි මට බලා ඉන්න..
    මම ඔබව හැමදා සොයමි..

    ReplyDelete
    Replies
    1. අනෝදා අත්තක සැඟවුණු රහස් ගණුදෙනුවක්? නොලියා ඉඳල කරන්නේ නම් අසාධාරණයක්...

      Delete
  5. පුදුමයි ඒත් අැත්තයි උපේක්ෂා...... ඔක තමයි ජීවිතය......... විදින්න. විදවන්න ඒපා

    ReplyDelete
    Replies
    1. ජිවිතේ විඳින්න අපි කරන විඳවිල්ලක් නේද?

      Delete
  6. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලස්සන ඇතුලේ තියෙන අවලස්සන , මිහිරි මතක

      Delete
  7. ලස්සනයි.. කාලෙක හිත දවපු හැගීමක්

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක දැවීමත් වෙනස් වෙන හැටි නේද?

      Delete
  8. //ඉඳහිට පොත්රාක්කයේ පොත අතර සැඟවසිට එළියට පනින පොඩි පොතක, එක අතුරුදහන් පිටුවක කාබන් පෑන් සළකුණක ඇති අකුරු දෙස බලමින් හිඳ වෙනත් පොතකට කවියක් එකතු කරනෙමි. ඒ ඔබ සොයන්නට මගේ ඇති නොහැකියාව ගැන තුටුවෙමිනි.//

    ReplyDelete
    Replies
    1. මොකෝ ගස් ලබ්බා? මේ කොටස ආයෙත් කොපි කලේ? කියන්නට ගියපුදේ වැටුනද බිමට?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...