මම කැම්පස් යනකාලේ....
අනේ මේ.... හැමදාම ඔය පම්පෝරිය කියවන්නේ නැතුව කියනවකො කතාවක්, හරියට...
ඔන්න ඒ හින්ද මම ලියනවා වෙන විදියකට. අපේ අක්කත් එක්ක බෝඩිමක ගෙවපු කාලයක් තිබ්බ.
ඒ කාලේ තමයි කාලේ.
ඒ කියන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි, අපේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ පලාලි කෑම්ප් එකේ අවුරුදු ගානක් ලැබෙන පුහුණුවට වඩා ඉවසීම, විනය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මතක ශක්තිය ඕය එකී මෙකි සියලු දේ ගැන අත්දුටුවයි සත්තයි ජාතියේ පුහුණුවක් ලැබෙනවා ආයේ ජීවිතේට අමතක නොවෙන්න. අනේ ඔව්...
බොරුනම් අහල බලන්නකෝ අපේ අක්කගෙන්ම.. එයා කියයි එයා තරම් කිසි අවුලක් නැති රූමියක් වෙන කොහෙවත් නැහැ කියල.. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ..
වැඩි කතාවක් බහක් නැති මම කොහොමත් බෝඩිමට එන්නෙත් බිං කරුවල වැටිලා, කැම්පස් එකේ දොරවල් වහන වෙලාවට. ඒ වෙනකොට අපේ අක්කා බෝඩිමේ සියලු නෙට්වර්ක් සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන , උන්ගේ කෑම පිඟන් වලටත් වැඩේ දීල මම එනකල් දොර දිහා බලන් ඉන්නවා. මේ බෝඩිමේ හරි අපූරු දේවල් සිද්ධවුනා. වෙන වෙනම කියන්නම්කො.
මම කියලත් ඇති මේ බෝඩිම කියන්නේ බෝඩිම් අයිතිකාර ආන්ටිගේ පරණ මහ ගෙදර. එයාලගේ අලුත් ගෙදර තිබ්බෙත් ඒ වත්තෙමයි. එකම ගේට් එක තිබ්බේ. මුළු ගෙදරම එක එක රූම්ස් , වෙන වෙනම කෙල්ලොන්ට දීල තිබ්බේ. අපි වගේ ගොඩක් රූම්ස් ෂෙයාර් කරලා තිබ්බේ සහෝදරියෝ. සමහර රූම්ස් තනියෙන්.
බෝඩිමේ ආන්ටි හෙන නීතිකාරි. ඒ හින්ද හරි පරිස්සමෙන් තමයි වැඩකරන්න ඕනේ. බෝඩිමට මුලින් එනකොට අනිවාර්යයෙන් දෙමවුපියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් භාරදෙන්න ඕනේ. ගේට් එක ඇරෙන සද්දෙට කොහේ හරි ඉඳන් එයා එබිලා බලනවා, කවුද, කොයි වෙලේද , කොහොමද ආවේ කියල. කිසිම අමුත්තෙක් වැද්දගන්න තහනං ! ඒ වගේම ඉතින් විනය කියන්නේ ( කෙහෙල්මල් විනය) එයාට නැතුවම බැරි දෙයක් කියලයි කියන්නේ. කතාවට වැඩිය සෙට් උනත් අවුල්, නැතත් අවුල්... මම නම් කලේ කිසිම ඉන්ටරැක්ෂන් එකක නොකර ඒ කොටස අපේ අක්කට බාරදීලා බිල්ලෙක් වගේ ඉන්න එකයි. අපේ අක්කටත් ඉතින් ඒවා පුළුවන් එල කිරිවට! ආලවට්ටම් දාල ෂේප් එකේ ඉන්න දන්නවා, ඉතින් මම මොකටද නිකන් පෙට්‍රල් පුච්චගන්නේ?