ගොඩක් කාලෙක ඉඳලා ලියන්න හිතාගෙන හිටපු දෙයක් උනත්, එක එක හේතු හින්දා පස්සට ගියා.
මම නිතරම සිංදු අහන්න කැමති කෙනෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ලෝකේ හෝ ලංකාවේ නවතම සිංදු සහ ඒවායේ ප්‍රවණතාවයන් ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් කියලා. අනේ නෑ.. මං නවතම සිංදු ගැන දන්නවා තියා අළුත් ගායකයෙක්ගෙ නමක් කිව්වත් දන්නෙ නෑ.
ඒත් මම ( කලිනුත් කියලා ඇති) 60-70 සහ 80 දශකයේ සහ 90 දශකයේ වගේ ගීත වැඩිපුර අහන්න කැමති කෙනෙක්. ඒ සිංදු සමහර ඒවා මං ඉපදෙන්න හිතලවත් නැති ( කලින් ආත්මෙ මං බුලත් කොටන කාලෙ වගේ) කාලෙ කියපුවා. ඒත් ඒ ටේස්ට් එක මම ආසයි. ඒ වගේම හිංදි සිංදු ඒ අතරින් විශේෂයි.
අපේ ගෙදර තිබ්බ පරිසරය අනුව මම වැඩුනේ ඒ පරණ හිංදි සිංදු එක්ක. කොටින්ම මට සමහර පරණ හිංදි චිත්‍රපටවල ඔක්කොම සිංදු කට පාඩම්.
කාලයත් එක්ක මම මං අහන සිංදු වලින් වගේම බලන වැඩසටහන් අතරට ඔය හිංදි සිංදු ගැන යන 'භාරත ගී වින්දන' එකතු උනා. ඒක ඉදිරිපත් කරපු ඒ පුද්ගලයා පුදුමාකාර දැනුමක් තිබ්බ කෙනෙක්. එයා ඒ සිංදුව දාන්න කලින් ඒ ගැන මාරම විස්තරයක් කියනවා. ඒ ටික අහගෙන ඉන්න ආසයි. එයා ඒ විස්තර අතරේ නිතර කියන දෙයක් තිබ්බා
' මේ ගීතයේ තනුවට -මේ ගීතය- සිංහලෙන් කිව්වා -අහවල් ගායකයා- '
සෑ වෑව් මාරයි කියල !
ඔන්න ඔතනින් තමයි මගේ රසඤතාවයට මෙව්වා එකක් වෙන්නේ. ඔහු උත්කර්ෂවත් ලෙස කියන ඒ 'විලි ලැජ්ජා නැති' කොපි සිංදුව ඇහුවාම මට හිතෙනවා ඒ මොන ලැජ්ජා නැති හොරකමක්ද කියලා!
දැන් භාරත ගී වින්දන ෆෑන්ස්ලා මට නෙලන්න එයි! මාත් ඒකෙ ෆෑන් කෙනෙක්; ඒකෙ විවාදයක් නෑ. ඒත් මම ඒ උත්කර්ෂයට නංවන ඒ හොරකම තනිකරම අප්පිරියාසහගත ලෙස ප්‍රතික්ෂේප කරනවා.
අපි මෙහෙම හිතමු..
ඒක හොරකමක් වගේම, ලාංකික සංගීතයේ දුර්වලකමක් වගේ මට පේන්නේ. ඒ මෙල්ඩි අතිශය ලස්සනයි. ඒ ගානට තියෙන මෙලඩියකට වචන දාන්න මහ ලොකු ටැලන්ට් එකක් ඕනෙ වෙන්නෙ නෑ. ඒක එහෙම නෙවෙයි නම්, 'මැණිකේ මගේ හිතේ' කියන්නෙ ෆේලියර් එකක්! මොකද ඒ සිංදුවේ සාර්ථක බව තිබ්බෙ මෙලඩි එකේ! ඒකෙ පද මාලාවෙ ඇති කෙසෙල් ගෙඩියක් නෑ.
දැන් බලන්න ඒ විදියට කොපි කරපු ගීත උදාහරණයකට අරගෙන.
' මේ ජීවනයේ - මුලු සංසාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ..'
කියල කියන්නේ පද මාලාවෙන් කියන විදියට පොසිටිව් පද මාලාවක්. නමුත් මුල් ගීතයේ පද මාලාවට ගැලපෙන්න ඒ මෙලඩි එක තියෙන්නෙ දුක්බර වර්ගයේ ශානරයක්!
අහෝ ඒ මෙලඩියට වචන දාපු කෙනාගේ නොහැකියාව!!
මුල් ගීතයේ තිබ්බ ඒ පද-ස්වර-හඬ කියන ලස්සන සුසංයෝගය ගැනවත් මෙලෝ ගානක් නැතුව, මෙලඩිය හොරකම් කරලා මහා ලොකුවට වචන ගලපලා දාගත්ත එක මට නම් , ඒ කියනා තරම් උත්කර්ෂවත් නෑ.
ලාංකික සංගීතය කියලා දෙයක් ඒ කාලෙ තිබ්බද කියල හිතෙන තරම් දුප්පත් මෙලඩි තමයි මට නම් පෙනිල තියෙන්නේ. ඉන්දීය ආභාෂය තිබ්බට, ඊට ගව් ගානක් මෙහා තමයි අපේ සංගීත කලාව තිබිලා තියෙන්නෙ කොටින්ම. මට අනුව නම් රෝහණ වීරසිංහ හෝ සනත් නන්දසිරි වගේ අයගේ සංගීතයක් 'මාර සුපර්' මට්ටමේ නෑ. ඒ කාලේ ඉන්දියානු මියුසික් කරපු අයගෙ ඒ සංගීත ඛණ්ඩයක් ඇහුනත් 'මේ අහවලාගෙ' කියන්න ගානට ඒ මියුසික් එකිනෙකට වෙනස් වගේම අනන්‍යයි.
එහෙම වෙනස් මියුසික් එකක් කලා නම් ඒ කේමදාස විතරයි වෙන්න ඕන. අනිත් හැමෝම කලේ භාරත සංගීතය එක්කො කොපි කලා, නැතිනම් ඒකෙ ආභාෂයෙන් පතෝල වගේ මියුසික් කලා. ක්ලැරන්ස් ගැන මම ලියන්නෙ නෑ. ඒක වෙන ශානරයක් හින්දා.
ගොඩක්ම මේ හින්දි තනු වලට ගීත ලියපු 'සෑ වෑව්' රචකයෝ තාමත් කරේ තියාගෙන ඉන්න එකෙන්ම ඒ පරපුරේ ලොකු බුද්ධිමය අවුලක් තියෙනව කියලා හිතෙන්නෙ නැද්ද?
මෙලඩි එකක් කියන්නේ මට හිතෙන්නේ ගීතයක පද මාලාවට වඩා ප්‍රභලයි. හිතන්න ඔයාට ගීතයක පද මාලාව ඇහෙන්න කලින් ඇහෙන්නෙ මෙලඩි එක. ඒකෙන් තමයි ගීතයේ අනන්‍යතාව රැකෙන්නෙ. ඒ තාලෙට තමයි මිනිස්සු ගොඩක්ම ඇදෙන්නෙ. පදවැල් ප්‍රභල ඒත් මෙල්ඩිය අවුල් ගීත මම නම් ඕන තරම් දැකලා තියෙනවා.
මම ඒ හින්දා හින්දි ගීත අනුකරණයෙන් හදපු සිංහල ගීත කියන්නේ කිඩ්නැප් කරපු ලමයෙක් වගේ දකින්නෙ. ඒ ගැන මතවාදයක් හෝ ඕපන් ලිවීමක් මීට කලින් දැකලා නෑ.
මම කැමතියි ඒ ගැන එහෙම ලියනවා නම්.
මේක ලිව්වේ සංගීතය ගැන මහා ලොකු හැදෑරීමක් තිබිලා නොවුනත් මම ගීත රසිකාවියක් විදියට.
- නේද?
හෑ? නෑ??