Thursday, June 12, 2025

303 : මිට්ට මියාගී


 


මේක ඇත්තටම මට මතක් වෙන වෙලාවට ලියන්න බැරි වෙන කතාවක්..

මම අපේ අය්යා ගැන එහෙම අනන්ත ලියලා ඇති. ඊ උන්නාන්සේ ගැන මම මතක හැටියට 

1. අට්ටාලේ සෙල්ලම් 

2. ජම්බු ගහකින් වැටීම 

3. කුරුමිණි ජව්සම 


වගේ ලියලා ඇති. උඋට නම්බුවක් තිබීනම් ඒ ටික පටෝරියන් කරන වෑයමේ තවත් අංගයක් විදියට අද මේ කතාව ලියන්නේ.


ඔන්න අපේ අය්යා, උන්දැගේ හිරිමල් තරුණ කාලේ වගේ , හැදිච්ච අටෝරාසියක් ලෙඩවල් වලින් එකක් තමයි උන්දැගේ කුංෆු පිස්සුව. අපේ අප්පච්චිගේ ෆිල්ම් පිස්සුවට පින් සිද්ද වෙනද අපේ ගෙදර බෘස් ලී ගේ ගෙදරවත් නැති තරම් බෘස් ලී ගේ ෆිල්ම් තිබ්බා. හචාව් පචාව් ගගා ගහගන්න එක අපි සෙල්ලම් ගෙවල්වල පවා සාමාන්‍යයි. ඒ කියන්නේ සෙල්ලම් ගෙවල් දෙක තුනක් හදාගෙන , උන් අතරේ වෙන වැලි වලදීත් අපි හචාව් කියල තමයි අතපය විසික් කරන්නේ. ඉඳල හිටලා හැලි වලන් එහෙම විසික් වෙනවා, ඒවා අමතක කරමුකෝ!

ඔය ෆිල්ම් බලලා, තවත් මොනවද මන්දා වෙලා අපේ යයට කුංෆු ගාය හොඳටම වැඩි උනා. අපේ අම්මටත් ඉතින් 'පුචා' කිව්වොත් ඒ ඇති! ඉතින් මෑන් ව කුංෆු පංතියකටත් දැම්මා. 


දැන් මේ උන්දා ගෙදර ඇතුලේ හැචා පැචා ගානවා. මාත් එක්ක වලියක් ආවහම මු දැන් රිදෙන්න ගහනවා. කාමරේ වහගෙනත් හැචා පැචා ගානවා. මම ඉතින් කොහොමත් ඌක බලාගෙන ඉන්න අමාරුයි. ඒත් මම මොකක් කොරන්නද? ඉරිසියාවේ පැලි පැලී හිටියා.

ටික දවසකින් මෙන්න මේ උන්දා, අර බාච්චු කලිසම් ඇඳගෙන ගමන් බිමන් යන්ඩ ගත්තා.  වඳිනකොට මෙන්න බොලේ එක අතකින් මොකද්දෝ විකුරුත්තමක් කරනවා. 



මේ උන්දැට පටියක් හම්බුනාදත් කොහේදෝ. එක එක ස්ටයිල් වලින් පිංතුරත් ගන්නවා. තවමත් අපේ ගෙදර ෆැමිලි ඇල්බම් එකේ ඒ උන්දා තේ කෝප්ප දෙකක් අතේ තියාගෙන මොකද්දෝ කුන්ෆු ඉට්ටයිල් එකකින් ( වෙරි වගේ) ඉඳල ගත්ත පින්තුරයක් තියෙනවා. ඒ කෝප්පවල තින්ද ඕනේ සකේ ලු... හෙහ්... තිබ්බ කැපවීමේහැටියට , තව ඩින්ගෙන් අර මිට්ට මියාගී ( කරාටේ කිඩ් එකේ උන්නේ) වගේ රැවුලකුත් වවනවා ඇත්තමයි!


අය්යට හිටියා අපුරු යාලුවෝ සෙට් එකක්. අපූරුයි කියන්නේ උන්ටත් මේකාට වගේම ඔල්මාදේ. එකෙක්ගේ නම ගම් බට්ටා. ඌ ගම බට්ටෙක් වගේ කොටටම කොන්ඩේ කපලා . රෝහිත අය්යා නම් කලින් කතාවල් වලත් හිටියානේ. ( උගේ කොන්දට තමයි අය්යා අර වැටුනේ). තව එකෙක් හිටියා උගේ නම නම් මම දන්නේ නැහැ. ඌට කිව්වේ කිරි හොඳා කියල. ඒ අය්යා ටිකක් මොංගල් වගේ. මොංගල් කිව්වට එහෙමම නැහැ. කරන්නේ මහා මාරි මෝඩ වැඩ. අපේ අය්යාත් එක්ක මේ උන්දාටත් කුංෆු උන හැදිලා තිබ්බා. එයාගේ අම්මලා කඩයක් කලේ. මට මතක නැහැ එය අය්යාගේ ක්ලාස් එකටමද ගියේ කියලා. 


කොහොමහරි මේකා අපේ අය්යා එක්ක ආගියුමන්ට් එකකට ගිහින් ඔන්න වැඩේ ටිකක් දිගට ගිහින්. අවසානේදී ඔන්න අර ෆිල්ම් වලට වගේ ෆයිට් එකකට චැලේන්ජ් කරලා. අපි එතකොට පොඩි බට්ටෝ. කොහොමහරි වැඩේ තීන්දු වෙලා ආරංචිය ගෙදරට ආවේ ෆයිට් එක හෙට කියලා.

ඔක්කොටම වඩා වැඩේ කියන්නේ ෆයිට් එක සිද්දවෙන්නේ අපේ ගෙදර. හත්වලාමයි!

අපේ ගෙදර ඒ දවස්වල හදනවා. යට තට්ටුව හදලා , උඩ ස්ලැබ් එක දාලා තිබ්බේ. වටේට කිසි ආවරණයක් නැහැ. කොලම් වල කම්බි එහෙම එකතු කරලා ගැටගහල තිබ්බා. වැලි ගෙනාපුවාත්, ගල් ගෙනාපුවාත් තිබ්බේ ස්ලැබ් එක උඩ. කොටින්ම ඒක මාරක තැනක්. මේ ෆයිට් එක වෙන්නේ මේ කියනා ස්ලැබ් එක උඩලු! 

මේ කියල ස්ලැබ් එක බිම ඉඳලා ටිකක් උසයි. ඒ වගේම අපේ මිදුලවත් එතකොට හදලා තිබ්බේ නැහැ. ගල් ගෙනාපුවාත් තිබ්බ වගේ. අපේ පොර ඕක ගැන අපේ අම්මගේ කනේ තිබ්බ වෙලේ අපේ අම්මට සිහිය නැති උනේ නැති ටික විතරයි.

'අනේ පුතේ... ඔය වැඩේ නවත්තන්න..'

අපේ අම්මා අය්යාට කන්නලව් කරනවා මට මතකයි. මෙන්න බොලේ පොර අර චිත්‍රපටි දෙබස් කියනවා.

'එහෙම කරන්න බැහැ.. චැලේන්ජ් එකක් කරාම ඒක එහෙම්මම කරන්න ඕනේ'

' මේක නියම ජෙන්ටල්මන් ෆයිට් එකක්'

'අම්ම නිකන් මගේ බෙල්ට් එකට අපහාස කරන්ඩ එපා හරිද?'

මට හරියට මතක නැහැ කිරාගේ දෙමවුපියෝ මේ ගැන දැනගෙන හිටියද කියලා. ඒ ඔක්කොටම හපන් මුන්ගේ මේ ෆයිට් එක තියෙන්නේ රෑ. රෑට කොන්ක්‍රීට් එක උඩට ලයිට් නැහැ. අපි උඩට නගින්න දාන පොඩි ලයිට් එක විතරයි තිබ්බේ. නැතිනම් කට්ට කරුවලයි. 

අපේ අම්මට තියෙන ඉවසීම මට නම් බින්දු දශමයක් වත් නැහැ. මට නම් හිතාගන්න බැහැ මගේ එකෙක් ඔහොම වැඩක් කලොත් ඔහොම ඉඩ දෙයිද කියල. ගස් බැඳලා දිමිගොටු දායි මම නම්!

කොහොමහරි ඔය කියන දවසේ හවස 6 වගේ වෙනකොට මෙන්න බොලේ අර කිරා ආව නෙව බාච්චු කලිසමකුත් ගහගෙන අපේ ගෙදර. අපේ අය්යාගේ යාළුවො ආවහම මමයි අක්කයි කොහොමත් ගෙට වෙලා ඉන්නේ. ඒ හින්දා මොකද උනේ කියලා නම් දන්නේ නැහැ. නමුත් අම්මා විස්සෝපයෙන් ගෙට ආවා කියලා නම් මතකයි. 

මෙන්න බොලේ මුන් දෙන්නා මොකක්දෝ විකුරුත්තමක් කරලා ආචාර කරගන්නවා. මේවගේ කැටයම් ඇම්බැක්කේ වත්නේ නෑ අම්මප!  සමයන්! මම හොරෙන් ජනේලෙන් බලාගෙන හිටියා මොකද වෙන්නේ කියල.

ඔන්න ටිකකින් කොන්ක්‍රීට් එකට නඟින ලයිට් එක පත්තු උනා, දැන් අඩි සද්ද ඇහෙනවා. ඒ කියන්නේ මේ පොරවල් දෙක දැන් උඩ !

පුත්‍රවාදී අපේ අත්තම්ම ඔන්න හූ කියන්න ගත්තා. අම්මත් දැන් මාර අවුලෙන් ඉන්නේ. ඔයාලට කියන්න අපේ අම්මා අහිංසක කෙනෙක්. රණ්ඩු වෙන්නේ නැති නිවිච්ච ; සොමිබර කෙනෙක්. එයාට වඩා උස මහත අය්යාට එයා පාරක්වත් ගහල නෑ. කොටින්ම අපිටවත් ගහල නෑ. අත්තම්මා කොහොමත් අය්යාට යටයි. දෙන්නම විතරක් නෙවෙයි, මමයි අක්කයිත් දැන් බයෙන් වෙව්ල වෙව්ල , ඉස්තෝප්පුව හරියේ.

දැන් ඔන්න කොන්ක්‍රීට් එක උඩ අඩි පාරවල් ටිකක් සද්දේ වැඩි උනා. ඒ කියන්නේ මුන් දෙන්නගේ ෆයිට් එක යනවා. එකපාරටම ලයිට් එක ඕෆ් උනා. දැන් කොන්ක්‍රීට් එක උද කට්ට කරුවල ඇති. මෙන්න බොලේ ඒත් දිඩි බිඩි ගගා සද්දේ ඇහෙනවා. අම්මා දොර ගාවට දිව්වා මතකයි.

ඒ එක්කම 'දඩොස්' ගාලා තඩි වලහෙක් වගේ එකක් පොලවට පාත් උනා. ඒක බිම වැටෙන පමාවට 'බිදු අම්මෝ' ගෑවා. අම්මා දුවගෙන ගියා පිස්සුවෙන් වගේ. මමත් එලියට දිව්වා. කවුරුහරි ලයිට් එක දැම්මා. එතකොට තමයි දැක්කේ බිම පතබෑවිලා හිටිය වලහා!

ඒ හිටියේ කිරියා අය්යා..

උගේ අතපය හොඳටම හිරිලා තිබ්බා. සෑහෙන උඩකින්  උනත් වෙලාවට  වැටුනේ පහල තිබ්බ වැලි ගොඩට හින්දා උගේ බෙල්ල කැඩුනේ නැතුව ඇති. උඩ බලපු මම ලා එළියෙන් දැක්කේ අපේ අය්යා කාරය අර මිට්ට මියාගී වගේ දෙකට නැමිලා සටන ඉවර කරනවා.


තව ඩින්ගෙන් ඌ පොලිසියෙන් කුදලන් යනවා. උගේ වෙලාවටද, අපේ වෙලාවටද මන්දා කිරාගේ දෙමවුපියෝ පොලිසියට ගිහින් තිබ්බෙත් නැහැ. අපේ ගමේ අපේ අම්මට සෑහෙන දෙනෙක් රෙස්පෙක්ට් කරන හින්දා වෙන්න ඇති හැමදෙයක්ම ශේප් උනා.

ඔන්න ඔහොමයි අපේ අය්යා 'මිට්ට මියාගී' උනේ..

12 comments:

  1. බුරුස් ලී ගැහුවෙ කුංෆු නෙමෙයි කරා තේ නේද.
    ඒ දවස්වල ජාතික රූපවාහිනියෙ ගියා කුංෆු කියල ටෙලි සීරීස් එකක්. ඒකෙ අන්තිමේ තියෙනව වගේ ෂැවොලින් ටෙම්පල් එකෙන් අයින් වෙන්න ලොකු ගිනි හට්ටියක් උස්සල අතේ හංවඩු ගහගන්න සීන් එකක් අයිය දැක්කනං තමයි ආතල් එක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Yes Karathe. ඇත්ත තමයි.. ඒක විතරද මන්ද නොකළේ

      Delete
  2. මට තාත්තා මෑතකදි කිව්වා කේන් ගැන. දැන් මාත් ඒකට ඇබ්බැහි වෙලා. ඒ හිතන්‍නෙ ඔය උඩ ප්‍රසන්න කියලා ඇත්ත‍ෙ ඒ කතාව ගැන වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Kung_Fu_(2021_TV_series)

      Delete
    2. මේ 2021 වර්ෂන් එක නේද. මං කිව්‍ව‍ෙ 1972 මේ වර්ෂන් එක - https://en.wikipedia.org/wiki/Kung_Fu_(1972_TV_series)

      Delete
  3. අයිය දැන් ජපානේද

    ReplyDelete
  4. අඩේ නුවර කුමාරි ලියල කියල මම දැක්කේ අදනේ ..එල එල

    ඔය කාලේ අපිටත් ඔය උන තිබ්බා .. බ්රුස්ලි ගේ එන්ටර් ද ඩ්‍රැගන් බලල .. හෙහ් හෙහ්

    වෙලාවට මම නම් කොහොමත් සාමකාමී හින්ද කටින් සද්ද දැම්මා විතරයි ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ..

      අපේ අය්යලා එහෙම උන් නෙවෙයිනේ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...